Skip to content

පටුනට යන්න

‘ඔබේ පියාණන් දයාවන්තයි’

‘ඔබේ පියාණන් දයාවන්තයි’

‘ඔබේ පියාණන් දයාවන්තයි’

“ඔබේ පියාණන් දයාන්විතව සිටින්නාක් මෙන් ඔබත් දිගටම දයාන්විතව සිටින්න.”—ලූක් 6:36.

1, 2. දයාව පෙන්වීම එතරම්ම වැදගත් බව යේසුස් පරිසිවරුන්ට සහ ගෝලයන්ට කී දෙයින් පෙනෙන්නේ කෙසේද?

මෝසෙස්ට දුන් නීතියේ විවිධ අණ පනත් 600ක් පමණ ඇතුළත් වුණා. එම නීති රැකීම අත්‍යවශ්‍ය දෙයක් වුණත් අන් අයට දයාව පෙන්වීමද ඉතා වැදගත් දෙයක් වුණා. දයාව නොපෙන්වූ පරිසිවරුන්ට තරවටු කරමින් යේසුස් තම පියාගේ ආඥාවක් මෙලෙස ගෙනහැර දැක්වූවා. ඔහු පැවසුවේ මෙසේයි. “මට අවශ්‍ය දයාව මිස පූජාව නොවේ.” (මතෙව් 9:10-13; 12:1-7; හොෂෙයා 6:6) එමෙන්ම පොළොව මත තම සේවය අවසන් කරන්න ටික කලකට පෙරද යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. ‘ලියන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට දුක් වේ! මන්ද ඔබ මිංචි, සත පුෂ්ප, සූදුරු යන මේවායින් දසයෙන් කොටස දෙන නමුත් යුක්තිය, දයාව, විශ්වාසවන්තකම යන නීතියේ වඩා බැරෑරුම් කාරණා ඔබ නොසලකාහැර තිබේ.’—මතෙව් 23:23.

2 දයාව පෙන්වීම කොතරම් වැදගත්ද කියා යේසුස් නිතර නිතර කාවැද්දුවා. ඔහු වරක් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “ඔබේ පියාණන් දයාන්විතව සිටින්නාක් මෙන් ඔබත් දිගටම දයාන්විතව සිටින්න.” (ලූක් 6:36) අපත් යෙහෝවා “දෙවිව අනුකරණය කරන්න” නම් දයාව කියන්නේ කුමක්ද කියා හොඳින් අවබෝධ කරගැනීම ඉතාමත් වැදගත්. (එෆීස 5:1) දයාව පෙන්වීමෙන් මොන තරම් ප්‍රයෝජන අත් වෙනවාද කියා තේරුම්ගත්තොත් හැකි උපරිමයෙන් එය විදහාපෙන්වීමට අප පෙලඹෙනවා නිසැකයි.

අවශ්‍යතා ඇති අයට

3. දයාව පෙන්වන්නේ කෙසේද කියා අප යෙහෝවා දෙවිගෙන් ඉගෙනගත යුත්තේ ඇයි?

3 දෙවිගේ දයාව ගැන ගීතිකාකරු මෙසේ ගායනා කළා. “යෙහෝවා දෙවි කරුණාවන්තය. දයාන්විතය. ඔහු ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහුගේ ප්‍රේමණීය කරුණාව අතිමහත්ය. යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරයි. තමා මැවූ සියල්ලන්ට දයාව පෙන්වයි.” (ගීතාවලිය 145:8, 9, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම යෙහෝවා දෙවිව “දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවි” කියාද බයිබලයේ හඳුන්වා තිබෙනවා. (2 කොරින්ති 1:3) දයාවන්ත කෙනෙක් අන් අයට සලකන්නේ සානුකම්පිත විදිහටයි. දයාව පෙන්වීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි කදිම ආදර්ශයක්. එමනිසා දයාව පෙන්වන්නේ කෙසේද කියා අපට ඔහුගෙන් ඉගෙනගන්න පුළුවන්.

4. යෙසායා 49:15හි දයාව ගැන අපට උගන්වන්නේ කුමක්ද?

4 යෙසායා 49:15හි [NW] යෙහෝවා දෙවි මෙසේ අසනවා. “මවකට තම කිරි බොන දරුවාව අමතක වෙයිද? ඇය තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට අනුකම්පා නොකර සිටියිද?” මෙහි සඳහන් “අනුකම්පාව” යන වචනය ගීතාවලිය 145:8, 9හි [NW] සඳහන් දයාවට සම්බන්ධයි. කෙනෙකුට දයාව පෙන්වීමට යෙහෝවා දෙවි පෙලඹෙන ආකාරය, කිරි මවක් ඇගේ දරුවා කෙරෙහි දක්වන සෙනෙහෙබර හැඟීම්වලට සමාන කර තිබෙනවා. තම දරුවාට බඩගිනියි කියා හෝ යම් කිසිවක් අවශ්‍යයි කියා දැනෙන විට අනුකම්පාවෙන් පෙලඹෙන මව, තම බිලිඳාගේ අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් වෙනවා. ඒ හා සමානව යෙහෝවා දෙවිත් දයාව පෙන්වන්නේ, අවශ්‍යතා ඇති අය කෙරෙහි අනුකම්පාසහගත හැඟීමෙන් පෙලඹෙන නිසයි.

5. තමන් “දයාවෙන් පොහොසත්” බව දෙවි පෙන්වූයේ කෙසේද?

5 අවශ්‍යතාවක් ඇති කෙනෙකු කෙරෙහි අනුකම්පාවක් ඇතිවීම යහපත් දෙයක්. නමුත් එවැනි කෙනෙකු වෙනුවෙන් යමක් කිරීම ඊටත් වඩා යහපත් දෙයක්. මීට අවුරුදු 3,500කට පමණ පෙර තම නමස්කාරකයන් ඊජිප්තුවේ වහලුන්ව සිටියදී දෙවි ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සලකා බලන්න. දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවා. “ඊජිප්තුවේ සිටින මගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬ අඬා මට කරන කන්නලව්වලට මම ඇහුම්කන් දුන්නෙමි. ඔවුන් විඳින වේදනාව මට තේරුම් ගත හැකියි. ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවා ගන්නෙමි. ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙනයන්නෙමි.” (නික්මයාම 3:7, 8, NW) වහල්භාවයෙන් මිදී අවුරුදු 500කට පමණ පසු දෙවි මෙවැනි දෙයක් ඔවුන්ට මතක් කර දුන්නා. “ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ මමයි. ඊජිප්තුවරුන්ගේ අතින්ද ඔබට පීඩා කළ අන් සියලු ජාතීන්ගේ අතින්ද ඔබව ගලවාගත්තේ මමයි.” (1 සාමුවෙල් 10:18, NW) දෙවිගේ අණ පනත්වලට අකීකරු වීම නිසා ඔවුන් නැවත නැවතත් ඉතා වේදනාකාරී තත්වයන්ට මුහුණ දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම අනුකම්පාවෙන් පෙලඹුණු යෙහෝවා දෙවි ඔවුන්ට ගැලවීම ලබා දුන්නා. (විනිශ්චයකාරයෝ 2:11-16; 2 ලේකම් 36:15) දෙවි අවශ්‍යතා ඇති, යම් අනතුරුදායක හෝ දුෂ්කර තත්වයකට මුහුණ පා සිටින අය කෙරෙහි සැලකිලිමත් වන ආකාරය මේ උදාහරණයෙන් අපට පැහැදිලියි. ඔහුව “දයාවෙන් පොහොසත්” දෙවි හැටියට හඳුන්වා තිබෙන්නෙත් ඒ නිසයි.—එෆීස 2:4.

6. දයාව පෙන්වීම සම්බන්ධයෙන් යේසුස් තම පියාව ආදර්ශයට ගත්තේ කෙසේද?

6 පොළොව මත සිටින විට යේසුස්ද තම පියාගේ ආදර්ශය ඉතා කිට්ටුවෙන් අනුගමනය කළා. දිනක් අන්ධ මිනිසුන් දෙදෙනෙක් “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න” කියා යේසුස්ගෙන් බැගෑපත්ව අයැද සිටියා. තමන්ට පෙනීම ලබා දෙන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. යේසුස් ආශ්චර්යයක් මාර්ගයෙන් ඒ ඉල්ලීම ඉෂ්ට කළා. නමුත් ඔහු එසේ කළේ කිසිම හැඟීමක් නැතිව ඕනෑවට එපාවට නොවෙයි. ඒ වෙනුවට බයිබල් වාර්තාව පවසන්නේ ඔහු ඔවුන්ට ‘අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑවේය. එවෙලේම ඔව්හු පෙනීම ලැබුවේය’ කියායි. (මතෙව් 20:30-34) තවත් බොහෝ අවස්ථාවලදී අනුකම්පාවෙන් පෙලඹුණු යේසුස් අන්ධයන්ව, යක්ෂාවේශ වූවන්ව, කුෂ්ඨ රෝගීන්ව සුව කළා. ඒ විතරක් නොවෙයි විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් දරුවන්ටද සහනයක් ලබා දුන් අතර එය ඔවුන්ගේ දෙමාපියන්ටත් මහත් සැනසීමක් වුණා.—මතෙව් 9:27; 15:22; 17:15; මාක් 5:18, 19; ලූක් 17:12, 13.

7. දයාව පෙන්වීමට අයත් වන්නේ කුමක්ද?

7 යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ ආදර්ශයෙන් අපට පැහැදිලි වන්නේ දයාව පෙන්වීමට කාරණා දෙකක් අයත් වන බවයි. ඉන් එකක් නම් අවශ්‍යතා ඇති පුද්ගලයා කෙරෙහි අනුකම්පාවෙන් පෙලඹීමයි. දෙවැන්න නම් ඉන් ගොඩ ඒම සඳහා යමක් කිරීමයි. දයාව පෙන්වීමේදී මේ දේවල් දෙකම අවශ්‍යයි. බොහෝවිට බයිබලයේ දයාව නමැති ගුණාංගය යොමු දක්වන්නේ අවශ්‍යතා ඇති අය කෙරෙහි දක්වන කාරුණික සැලකිල්ලටයි. ඒ වුණත් වරදකරුවෙකුව විනිශ්චය කිරීමේදී දයාව පෙන්වන්න පුළුවන්ද? වරදකරුවෙකුට ලැබිය යුතු දඬුවම නොදී සිටීමත් දයාව පෙන්වීමට අයත්ද?

පව් කර ඇති අයට

8, 9. දාවිත්ගේ පාපය සම්බන්ධයෙන් බලද්දී, දෙවිගේ දයාවට ඇතුළත් වන්නේ තව කුමක්ද?

8 බැත්ෂෙබා සමඟ කළ පාපය ගැන අනාගතවක්තෘ නාතාන් දාවිත්ට පෙන්වා දුන් පසු සිදු වූ දේ බලන්න. තම වරද ගැන පසුතැවිලි වූ දාවිත් මෙසේ යාච්ඤා කළා. “අනේ දෙවියනි, ඔබේ ප්‍රේමණීය කරුණාවට අනුව මට අනුකම්පා කරන්න. ඔබේ මහත් දයානුකම්පාවට අනුව මාගේ වැරදි මකා දමන්න. මාව මුළුමනින්ම සෝදා මාගේ වරද ඉවත් කරන්න. මා කළ පාපය පහ කර මාව පවිත්‍ර කරන්න. මා කළ වැරදි මොනවාදැයි මම හොඳින් දනිමි. මා කළ පාපය නිතරම මා ඉදිරියේ තිබේ. මා පව් කළේ ඔබට විරුද්ධවය. ඔබ නපුරුයි කියා සලකන දේ මම කළෙමි.”—ගීතාවලිය 51:1-4, NW.

9 දාවිත් දැඩි සේ ශෝක වූ නිසා යෙහෝවා දෙවි ඔහුටත් බැත්ෂෙබාටත් ලැබිය යුතු දඬුවම යම් ප්‍රමාණයකට ලිහිල් කළා. නමුත් මේ කාරණය මෝසෙස්ට දුන් නීතියට අනුව විනිශ්චය කළා නම් මේ දෙදෙනාටම හිමි වන්නේ මරණ දඬුවමයි. (ද්විතීය කතාව 22:22) ඔවුන්ට ජීවත් වීමට අවස්ථාව ලැබුණත් ඔවුන්ගේ වරදේ ප්‍රතිඵල ඔවුන්ට විඳින්න සිදු වුණා. (2 සාමුවෙල් 12:13) මේ සිද්ධියෙන් පෙනෙන්නේ දෙවිගේ දයාවට සමාව දීමත් ඇතුළත් වන බවයි. එසේ වුණත් වැරදිකරුවන්ට නිසි දඬුවම් දීමෙන් දෙවි වැළකී සිටින්නේ නැහැ.

10. දෙවිගේ දයාව සැහැල්ලුවට නොගැනීමට අප වගබලා ගත යුත්තේ ඇයි?

10 “එක් මිනිසෙකුගෙන් [ආදම්ගෙන්]ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල්” වී ඇති නිසා සියලු මිනිසුන් සිටින්නේ මරණ දඬුවමට සුදුසු තත්වයකයි. (රෝම 5:12; 6:23) එසේ සිටියදීත් යෙහෝවා දෙවි අපට දක්වා තිබෙන දයාව සම්බන්ධයෙන් අප ඔහුට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! එමනිසා ඔහුගේ දයාව සැහැල්ලුවට නොගැනීමට අප වගබලා ගත යුතුයි. තවදුරටත් බයිබලයේ පවසන්නේ “දෙවිගේ සියලු මාර්ග සාධාරණය [යුක්තිසහගතය, NW]” කියායි. (ද්විතීය කතාව 32:4) ඒ අනුව දෙවි දයාව පෙන්වද්දී කිසි විටෙකත් තම යුක්තියේ ප්‍රමිති බාල කරන්නේ නැහැ.

11. දාවිත්ගේ වරද විනිශ්චය කිරීමේදී දෙවි යුක්තිය පෙන්වූයේ කෙසේද?

11 අපි නැවතත් දාවිත් සහ බැත්ෂෙබාගේ පාපය ගැන සලකා බලමු. ඔවුන්ට ලැබිය යුතුව තිබූ මරණ දණ්ඩනය අහෝසි කිරීමට නම් ඊට පෙර ඔවුන්ගේ පාපයට සමාව දිය යුතු වුණා. එදා ඊශ්‍රායෙල්හි සිටි විනිශ්චයකරුවන්ට නම් ඒ සඳහා බලයක් තිබුණේ නැහැ. ඔවුන්ට දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව මේ කාරණය විනිශ්චය කළා නම් ඔවුන් දෙදෙනාටම අත් වන්නේ මරණ දඬුවමයි. නමුත් දාවිත් සමඟ කළ ගිවිසුම සැලකිල්ලට ගනිමින් ඔවුන්ට සමාව දීමට හොඳ හේතුවක් තිබෙන බව දෙවි දුටුවා. (2 සාමුවෙල් 7:12-16) එමනිසා “මුළු පොළොවේම විනිශ්චයකාරයාණන්” සහ “සිත් සෝදිසි කරන” තැනැත්තා හැටියට මේ කාරණය යෙහෝවා දෙවි විසින්ම විනිශ්චය කිරීමට තීරණය කළා. (උත්පත්ති 18:25; 1 ලේකම් 29:17, NW) දාවිත්ගේ හදවතේ තිබෙන දේ ඒ ආකාරයෙන්ම දැකීමටත් ඔහුගේ අවංක පසුතැවිල්ල තේරුම්ගැනීමටත් දෙවිට හැකි වූ නිසා අවසානයේදී ඔහුට සමාව දීමට දෙවි තීරණය කළා.

12. පව්කාර මිනිසුන්ට දෙවිගේ දයාවෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් කෙසේද?

12 මරණ දණ්ඩනයට සුදුස්සන්ව සිටින අපටත් ඉන් නිදහස් වීමට දෙවි අවස්ථාව ලබා දී තිබෙනවා. එසේ අපට සමාව ලබා දීමේදී ඔහුගේ යුක්තිය නමැති ගුණාංගය උල්ලංගනය නොවන ලෙස ඔහු යම් සැලැස්මක් ඇති කළා. එය නම් ඔහුගේ පුත්‍රයාගේ ජීවිත පූජාවයි. එය දෙවි අපට පෙන්වා ඇති උතුම්ම දයාවයි! (මතෙව් 20:28; රෝම 6:22, 23) දෙවිගේ දයාවෙන් ප්‍රයෝජන ලැබීමට, එනම් මරණ දණ්ඩනයෙන් නිදහස් වීමට නම් අප දෙවිගේ ‘පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්විය’ යුතුයි.—යොහන් 3:16, 36.

දයාවේ සහ යුක්තියේ දෙවි

13, 14. දයාව පෙන්වීමේදී දෙවි යුක්තිය බාල කරනවාද? පැහැදිලි කරන්න.

13 ඉහත සලකා බැලූ ආකාරයට දෙවි දයාව පෙන්වීමේදී ඔහුගේ යුක්තිය උල්ලංගනය නොවුණත් යම් ආකාරයකින් හෝ ඊට බලපෑමක් ඇති විය හැකිද? දෙවිගේ දයාව මගින් ඔහුගේ යුක්තිය බාල කිරීමක් වෙනවාද? කොහෙත්ම නැහැ.

14 අනාගතවක්තෘ හොෂෙයා තුළින් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙවැනි දෙයක් පැවසුවා. “මම ඔබත් සමඟ සදහටම විවාහ වී සිටීමට ගිවිසගන්නෙමි. ධර්මිෂ්ඨකමද යුක්තියද ප්‍රේමණීය කරුණාව හා දයාවද පෙන්වා ඔබත් සමඟ ගිවිසගන්නෙමි.” (හොෂෙයා 2:19, NW) ඉන් පැහැදිලි වෙන්නේ දෙවි දයාව පෙන්වන විට එය, නිතරම යුක්තිය ඇතුළු ඔහුගේ අනෙකුත් ගුණාංග සමඟ එකඟතාවකින් තිබෙන බවයි. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. . . . අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන්ට දිය යුතු දඬුවමින් මම කිසි විටෙක ඔවුන්ව නිදහස් නොකරන්නෙමි” කියා දෙවිම පවසා තිබෙනවා. (නික්මයාම 34:6, 7, NW) තවදුරටත් බයිබලයේ ඒ ගැන පවසන්නේ “දෙවි පර්වතයය. දෙවිගේ වැඩ සම්පූර්ණය. මක්නිසාද දෙවිගේ සියලු මාර්ග සාධාරණය [යුක්තිසහගතය, NW]” කියායි. (ද්විතීය කතාව 32:4) දෙවි දයාව වගේම යුක්තියත් ඉෂ්ට කරන්නේ කිසිම අඩුවක් නැතිවයි. යෙහෝවා දෙවි දයාව පෙන්වීමේදී යුක්තිය බාල කරන්නේ නැති බවත් මේ ගුණාංග දෙකම ඉතා සමබරව විදහාපෙන්වන බවත් අපට පැහැදිලියි.

15, 16. (අ) දෙවිගේ යුක්තිය දැඩි එකක් නොවන බව පෙන්වන්නේ කුමකින්ද? (ආ) අනාගතයේ දෙවි ගෙනෙන විනිශ්චයේදී අපට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද?

15 යෙහෝවා දෙවි යුක්තිය ඉෂ්ට කිරීමේදී වැරදිකරුවන්ට දඬුවම් කරනවාට අමතරව, සුදුස්සන්ට ගැලවීමත් ලබා දෙනවා. උදාහරණයක් හැටියට දුෂ්ට මිනිසුන් විසූ නගර දෙකක් වූ සොදොම් සහ ගොමෝරාව විනාශ කරද්දී දෙවි ලොත්වත් ඔහුගේ දූවරුන් දෙදෙනාවත් ගලවාගත්තා.—උත්පත්ති 19:12-26.

16 ඒ හා සමානව වර්තමාන දුෂ්ට සමාජයට විනිශ්චය ගෙන ඒමේදී “තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගත්” දෙවිගේ සේවකයන්ගෙන් යුත් “මහත් සමූහය” දෙවි විසින් ගලවාගන්න බව අපට ස්ථිරයි. මෙසේ ඔවුන් “මහත් පීඩාවෙන් බේරී” ජීවත් වෙයි.—එළිදරව් 7:9-14.

දයාව පෙන්වීමට හේතු

17. දයාව පෙන්වීමට තිබෙන ප්‍රධාන හේතුවක් වන්නේ කුමක්ද?

17 දයාව පෙන්වීම කියන්නේ කුමක්ද කියා අපට යෙහෝවා දෙවිගෙන් සහ යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. අවශ්‍යතා ඇති අයට දයාව පෙන්වීමට ප්‍රධාන හේතුවක් හිතෝපදේශ 19:17හි [NW] පෙන්වා දෙනවා. “දුප්පතාට කරුණාව දක්වන්නා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.” අප එකිනෙකාට දයාව පෙන්වද්දී යෙහෝවා දෙවි සහ යේසුස් ඒ ගැන සතුටු වෙනවා. (1 කොරින්ති 11:1) අප එසේ කරද්දී අන් අයද දයාව පෙන්වීමට පෙලඹෙනවා.—ලූක් 6:38.

18. දයාව පෙන්වීමට අප උත්සාහ කළ යුත්තේ ඇයි?

18 දයාව කියන්නේ බොහෝ යහපත් ගුණාංගවල එකතුවක්. ඊට ප්‍රේමය, කරුණාව සහ යහපත්කම යන ගුණාංග ඇතුළත්. කෙනෙකුව දයාව පෙන්වීමට පොලඹවන්නේ අනුකම්පාවයි. යෙහෝවා දෙවි හැම විටම දයාව පෙන්වන්නේ ඔහුගේ යුක්තියට එකඟවයි. කෝපවීමට ප්‍රමාද වන දෙවි, වරදකරුවන්ට පසුතැවිලි වීම සඳහා ප්‍රමාණවත් කාලයක් දී තිබෙනවා. (2 පේතෘස් 3:9, 10) දයාව නමැති ගුණාංගයට බොහෝ ඉවසීමද අයත් වන බව පැහැදිලියි. එමනිසා අපිත් දයාව පෙන්වීමට හැකි සෑම උත්සාහයක්ම දරමු. එවිට ඉතාමත් සිත්ගන්නා සුළු අනෙකුත් ගුණාංග වර්ධනය කරගැනීමට අපටත් හැකියි.—ගලාති 5:22, 23.

“දයාවන්ත අය සන්තෝෂවත්ය”

19, 20. විනිශ්චය පරදවා දයාව ජය නාද කරන්නේ කුමනාකාරයෙන්ද?

19 දයාව අපට නැතිවම බැරි ගුණාංගයක් බව යාකොබ් අවධාරණය කරන්නේ මෙසේයි. “විනිශ්චය පරදවා දයාව ජය නාද කරන්නේය.” (යාකොබ් 2:13ආ) ඒ අනුව ‘එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දෙන’ අවස්ථාවේදී දයාව පෙන්වා ඇති අයට දෙවිද දයාව පෙන්වයි. මෙහිදී ඒ පුද්ගලයා තම ජීවිතයේ අන් අයට දයාව පෙන්වා තිබෙන ආකාරය සැලකිල්ලට ගන්නා දෙවි තම පුත්‍රයාගේ ජීවිත පූජාවේ පදනම මත ඔහුට සමාව දෙනවා. (රෝම 14:12) දෙවි දාවිත්ට සමාව දුන් හේතුව එමගින් අපට තේරුම්ගන්න පුළුවන්. ඊට හේතුව වූයේ දාවිත්ද අන් අයට බොහෝ සේ දයාව පෙන්වූ පුද්ගලයෙක් වීමයි. (1 සාමුවෙල් 24:4-7) නමුත් අනෙක් අතට ‘දයාව නොපෙන්වන තැනැත්තාට ලැබෙන්නේ දයා විරහිත විනිශ්චයක්’ බව බයිබලයේ පැහැදිලිවම පවසා තිබෙනවා. (යාකොබ් 2:13අ) දෙවි “අනුකම්පාවක් [හෙවත් දයාවක්] නැති” අයව සලකන්නේ “මරණය ලැබීමට සුදුසු” අය හැටියටයි. එය පුදුමයට කරුණක් නොවෙයි.—රෝම 1:31, 32.

20 කන්ද උඩ දේශනාවේදී යේසුස්ද පැවසුවේ මෙසේයි. “දයාවන්ත අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබන්නේය.” (මතෙව් 5:7) දෙවිගේ දයාව ලබන්න උත්සාහ කරමින් සිටින අය, අන් අයට දයාව පෙන්වීමේ වැදගත්කම එම වචනවලින් මොන තරම් ප්‍රබල ලෙස කාවද්දනවාද! අන් අයට දයාව පෙන්විය හැකි ආකාර ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• දයාව කියන්නේ කුමක්ද?

• යෙහෝවා දෙවි දයාව පෙන්වන පැති මොනවාද?

• යෙහෝවා දෙවි දයාව සහ යුක්තිය පෙන්වා තිබෙන්නේ කුමන පැතිවලින්ද?

• අප දයාව පෙන්විය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූර]

දෙවි අවශ්‍යතා ඇති අය කෙරෙහි දයාව පෙන්වන්නේ, කිරි මවක් ඇගේ දරුවාට සලකනවා හා සමානවයි

[23වන පිටුවේ පින්තූර]

යේසුස් කළ ආශ්චර්යයන්ගෙන් දයාව ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?

[24වන පිටුවේ පින්තූර]

දාවිත්ට දයාව පෙන්වීමේදී දෙවි තම යුක්තිය බාල කළාද?

[25වන පිටුවේ පින්තූර]

දෙවි පව්කාර මිනිසුන්ට දයාව පෙන්වන්නේ ඔහුගේ යුක්තියට පටහැනි නොවන ආකාරයටයි