Skip to content

පටුනට යන්න

ජෝන් මිල්ටන්ගේ අත්පිටපත

ජෝන් මිල්ටන්ගේ අත්පිටපත

ජෝන් මිල්ටන්ගේ අත්පිටපත

ජෝන් මිල්ටන් නම් වූ ඔහු පැරඩයිස් ලොස්ට් නමැති කාව්‍ය කෘතියේ කතුවරයායි. ලේඛන කලාවේ ප්‍රබල වෙනසක් ඇති කිරීමට ඔහු තරම් සමත් වූ වෙන ලේඛකයෙකු නැති තරම්. ඔහු ගැන එක් ලේඛකයෙක් සඳහන් කළේ “බොහෝදෙනෙකුගේ ආදරයට හා කිහිපදෙනෙකුගේ වෛරයට පාත්‍ර වුණත් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැත” කියායි. ඉංග්‍රීසි භාෂාව හා එහි සංස්කෘතිය අදටත් මේ ලේඛකයාට ණයගැතියි.

එවැනි ප්‍රබල වෙනසක් ඇති කිරීමට ජෝන් මිල්ටන්ට හැකි වුණේ කෙසේද? අවුරුදු 150ක් පුරා මුද්‍රණය නොවී තිබූ ඔන් ද ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති ඔහුගේ අවසන් කෘතිය එතරම් මතභේදයට තුඩු දුන්නේ ඇයි?

ඔහුගේ තරුණ කාලය

ජෝන් මිල්ටන් ඉපදුණේ 1608දී ලන්ඩන් නගරයේයි. ඔහුගේ දෙමාපියන් ධනවතුන්. “මගේ පියාගේ ආශාව වුණේ මම සාහිත්‍යය හැදෑරීමයි. ඊට මහත් උනන්දුවක් මා තුළද තිබූ නිසා මහා රෑ වන තුරු මම පාඩම් කළා. එසේ නොකර නින්දට ගියේ කලාතුරකින්” කියා වරක් මිල්ටන් පැවසුවා. ඉගෙනීමට දක්ෂයෙක් වූ ඔහු 1632දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලැබුවා. ඉන්පසු ඉතිහාසය මෙන්ම ග්‍රීක් හා රෝම සම්භාව්‍ය පොත පත කියවීමට ඔහු හුරු පුරුදු වුණා.

මිල්ටන්ට ඕනෑ වුණේ කවියෙකු වීමටයි. නමුත් එංගලන්තය ඒ කාලයේදී විප්ලවයට මැදි වෙලයි තිබුණේ. වර්ෂ 1649දී පළමුවන චාල්ස් රජුව මරණයට පත් කිරීමට මුල් වූ ඔලිවර් ක්‍රොම්වෙල්ගේ නව ආණ්ඩුවේ ක්‍රියා කලාපය වෙනුවෙන් මිල්ටන් කතා කළා. ඒ වෙනුවෙන් ඔහු දක්ෂ ලෙස තම ලේඛන හැකියාව පාවිච්චි කළා. ඇත්තෙන්ම ඔහු කවියෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූයේ පසු කාලයේදීයි. නමුත් ඊට පෙර සිට දේශපාලනය හා සාරධර්ම පිළිබඳ ලියූ අත්පත්‍රිකා නිසා ප්‍රසිද්ධියට පත් වී සිටියා.

වර්ෂ 1660දී දෙවන චාල්ස්ව ඔටුනු පැළඳවීමත් සමඟ රාජකීය පාලනය යළි පිහිටුවනු ලැබුවා. කලින් ක්‍රොම්වෙල්ට පක්ෂව කටයුතු කළ නිසා මිල්ටන්ගේ ජීවිතය තිබුණේ අනතුරේ. සැඟ වෙමින් ජීවත් වූ ඔහුගේ ජීවිතය බේරුණේ, රාජ්‍යයේ උසස් නිල හෙබවූ ඔහුගේ මිතුරන් නිසයි. නමුත් මේ කාලය අතරතුරේදී පවා තම ආගමික විශ්වාසයන් ගැන දැඩි උනන්දුවකින් ඔහු කටයුතු කළා.

“මිනුම් දණ්ඩ ලෙස බයිබලය”

මුල් කාලයේදී ආගමික විශ්වාසයන් ගැන තමා දැක්වූ උනන්දුව සම්බන්ධයෙන් මිල්ටන් මෙසේ සඳහන් කළා. “මම බාල වයසේ සිටම මුල් භාෂාවලින් ලියවී තිබූ බයිබල් අධ්‍යයනය කිරීමට ලොකු උනන්දුවක් දැක්වුවා.” එවකට තිබූ ආගමික පොත් පත් ගැන ඔහු කලකිරීමට පත් වෙලයි සිටියේ. ඒ ගැන ඔහු පැවසුවේ “ඒවායේ තිබෙන දේවල් විශ්වාස කිරීමට කොහොමටවත් පුළුවන්කමක් නැහැ” කියායි. ඒ වන විටත් ආගමික හා සාරධර්ම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි එකම පොත බයිබලය බව මිල්ටන් වටහාගෙන තිබුණා. ඒ නිසා තමන් විශ්වාස කරන දේ නිවැරදිද කියා සොයා බැලීමට “මිනුම් දණ්ඩ ලෙස බයිබලය” යොදාගැනීමට ඔහු තීරණය කළා. ඒ සඳහා ඔහු ක්‍රමයක් සකස් කළා. එනම් යම් විෂයන් යටතේ ප්‍රධාන බයිබල් පද ලැයිස්තුගත කර ඉන් බයිබල් පද උපුටාගැනීමයි.

අදටත් ජෝන් මිල්ටන් යන නම ඇසෙද්දී බොහෝදෙනෙකුට මතක් වන්නේ පැරඩයිස් ලොස්ට් නමැති කාව්‍ය කෘතියයි. එහි ඇත්තේ මුල් මිනිස් යුවළට දෙවි සමඟ තිබූ මිත්‍රත්වය අහිමි වීම පිළිබඳව බයිබලයේ (උත්පත්ති 3වන පරිච්ඡේදයේ) සඳහන් වාර්තාවයි. එම කෘතිය මුද්‍රණයට පත් වුණේ 1667දීයි. මිල්ටන්ට එමගින් මහත් කීර්තියක් අත් වුණා. ඒ හා බැඳි පැරඩයිස් රිගේන්ඩ් නමැති කෘතිය පසු කාලයේදී ප්‍රකාශයට පත් වුණා. එහි ඇත්තේ මිනිස් වර්ගයා සඳහා දෙවිට තිබූ මුල් අරමුණ වන පාරාදීස පොළොවක පරිපූර්ණ ජීවිතය ගැන හා එම පාරාදීසය යේසුස් තුළින් නැවත ලබා දෙන ආකාරය ගැනයි. උදාහරණයක් හැටියට පැරඩයිස් ලොස්ට් නමැති කෘතියේ යේසුස් අනාගතයේදී කිරීමට නියමිත දේ ගැන සඳහන් කර තිබුණා. ස්වර්ගයේ හෝ පොළොවේ සිටින තම විශ්වාසවන්ත සේවකයන්ට ආශීර්වාද කරමින්, ඒදන් උයනට වඩා අලංකාර මෙන්ම ප්‍රීතිමත් පාරාදීසයක් ගැන එහි රචනා කර තිබුණා.

ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති ලේඛනය

ක්‍රිස්තියානීන් ජීවත් විය යුතු ආකාරය හා ඔවුන්ගේ විශ්වාසයන් ගැන තොරතුරු ඇතුළත් පොතක් ලිවීමට කාලයක් පුරා මිල්ටන් බලා සිටියා. වර්ෂ 1652දී ඔහුගේ ඇස් පෙනීම මුළුමනින්ම අහිමි වුණත් 1674දී ඔහු මිය යන තුරුම තම ලේකම්වරුන්ගේ උදව් ඇතිව එය කරගෙන ගියා. මෙසේ ඔහු ශුද්ධ ලියවිලිවලින් පමණක් ලබාගත් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් පිළිබඳ අත්පිටපත නමින් තම අවසන් ලේඛනය සකස් කළා. එහි පෙරවදනෙහි ඔහු මෙසේ සඳහන් කළා. “අතීතයේ සිටි බොහෝ ලේඛකයන් තමන්ගේ අත්පිටපත්වල වැඩිපුරම සඳහන් කර තිබුණේ බයිබල් විශ්වාසයන් සම්බන්ධයෙන් ඔවුන් දැරූ මතයි. එම මතවලට එකඟ බයිබල් පද අත් පිටපතේ තීරුවල සඳහන් කර තිබුණේ කිහිපයක් පමණයි. නමුත් මම කළේ ඊට වෙනස් දෙයක්. බයිබල් විශ්වාසයන්ට එකඟ බොහෝ යොමු දැක්වීම් උපුටාගෙන අත්පිටපත සකස් කරමින් ඒ ගැන මා දැරූ මතය එහි තීරුවල විටින් විට සඳහන් කෙරුවා.” බයිබලයෙන් කෙළින්ම හෝ වක්‍රාකාරව උපුටාගත් යොමු දැක්වීම් 9,000කට වඩා ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති අත්පිටපතෙහි දකින්න තිබීමෙන් ඔහු සඳහන් කළේ සත්‍යයක් බව පැහැදිලියි.

තමන් දරන මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මුල් කාලයේදී මිල්ටන් පසුබට නොවුණත් මෙම අත්පිටපත ප්‍රකාශයට පත් කිරීමට එතරම් උනන්දු වුණේ නැහැ. ඊට එක් හේතුවක් වුණේ එවකට පිළිගත් ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට වඩා මෙහි ඇති ශුද්ධ ලියවිලි විග්‍රහයන් මුළුමනින්ම වාගේ පටහැනි වීමයි. එමෙන්ම රජුගේ සහයෝගය ඔහුට නොලැබීමද තවත් හේතුවක් වුණා. එමනිසා ඊට සුදුසු අවස්ථාවක් පැමිණෙන තුරු ඔහු සිටියා වෙන්න පුළුවන්. ඒ කෙසේවෙතත් මිල්ටන්ගේ මරණයෙන් පසු එම අත්පිටපත මුද්‍රණය කිරීමට ඔහුගේ ලේකම්වරයා උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. පසුව එය රාජසන්තක කළ අතර එම පිටපත ගැන අපට අසන්න ලැබෙන්නේ අවුරුදු 150කට පසුවයි.

වර්ෂ 1823දී එංගලන්තයේ රාජ්‍ය ලේඛනාගාරයේ සේවය කළ ලිපිකරුවෙකු විසින් යාන්තමින් ඔතා තිබූ මුද්‍රිත කඩදාසි දෙක තුනක් සොයාගත්තා. එවකට එංගලන්තය පාලනය කළේ 4වන ජෝර්ජ් රජුයි. ලතින් භාෂාවෙන් ලියා තිබූ එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට ඔහු අණ කළා. ඉන් අවුරුදු දෙකකට පසුව එය මුද්‍රණය කළා. එම ලියවිල්ල දැඩි මතභේදයට තුඩු දෙන බව එහි පරිවර්තකයා කල්තියාම තේරුම්ගත්තා. ඒ නිසා පැරඩයිස් ලොස්ට් නමැති මිල්ටන්ගේ සුප්‍රසිද්ධ කෘතියෙන් සමාන්තර යොමු දැක්වීම් 500ක් එහි පාද සටහන්වලට ඔහු එක් කළා. එසේ කළේ ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති මේ අත්පිටපත ජෝන් මිල්ටන් විසින්ම කළ එකක් බව තහවුරු කිරීමටයි. එම පරිවර්තකයා සිතූ ආකාරයටම සිදු වුණා. එම අත්පිටපත දැඩි සේ විවේචනය කළ එක් බිෂොප්වරයෙක් පැවසුවේ එය වංචාකරුවෙකු විසින් ලියූ එකක් බවයි. ඔහු තවදුරටත් පැවසුවේ එංගලන්තයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ආගමික කතුවරයා වූ ජෝන් මිල්ටන් පල්ලියේ විශ්වාසයන් කිසිදාක එතරම් දැඩි ලෙස හෙළා නොදකින බවයි. *

මිල්ටන් විශ්වාස කළ දේ

එංගලන්තය රෝමානු කතෝලික ආගමෙන් වෙන් වී රෙපරමාදු ආගම වැලඳගත්තේ මිල්ටන් ජීවත් වූ අවදියේමයි. ඇදහිල්ල හා සාරධර්ම සම්බන්ධ කාරණාවලදී තීරණ දිය යුත්තේ පාප්වරයා නොව බයිබලය විසින් බව රෙපරමාදු භක්තිකයන් විශ්වාස කළා. ඒ වුණත් බොහෝ රෙපරමාදු ඉගැන්වීම් හා චාරිත්‍රවලද බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි තැන් තිබෙන බව ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති ලේඛනයේ මිල්ටන් සඳහන් කළා. මිනිසාගේ අනාගතය දෙවි විසින් කලින්ම නියම කර තිබෙනවා යන රෙපරමාදු ඉගැන්වීම මිල්ටන් ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු විශ්වාස කළේ බයිබලයේ උගන්වා තිබෙන දෙයයි. එනම් දෙවි මිනිසාට තීරණ ගැනීමේ නිදහස දී ඇති බවයි. එමෙන්ම දෙවිගේ නාමය යෙහෝවා බව පිළිගත් ඔහු තම ලේඛනවල ඒ නාමය නිතරම පාහේ පාවිච්චි කළා.

තවදුරටත් බයිබලය යොදාගෙන ඔහු තර්කානුකූල ලෙස පහදා දුන්නේ, මිනිසා මිය යන විට අමරණීය යමක් ඔහුගේ ශරීරයෙන් වෙන් වී නොයන බවයි. ලූක් 20:37 හා යොහන් 11:25 වැනි පද යොදාගෙන මිය ගිය අයට ඇති එකම බලාපොරොත්තුව නැවත නැඟිටීම බව ඔහු පෙන්වා දුන්නා.

යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් ඔහුට වඩා දෙවි උසස් බවත් එම ලේඛනයේ ඔහු සඳහන් කළා. ඒ සඳහා ඔහු යොදාගත්තේ යොහන් 17:3 හා යොහන් 20:17 වැනි වගන්තියි. එම සරල නමුත් ප්‍රබල බයිබල් ඉගැන්වීම දැඩි මතභේදයට හේතු වුණා.

මිල්ටන් ඒ ගැන මෙසේද කරුණු දැක්වුවා. “පුත්‍රයාණන් වන යේසුස් පමණක් නොව ඔහුගේ ගෝලයන්ද ඔවුන් ලියූ දේවල්වලින් පිළිගත්තේ, හැම අතින්ම පියාණන් පුත්‍රයාණන්ට වඩා උතුම් බවයි.” (යොහන් 14:28) ඔහු තවදුරටත් මෙසේ සඳහන් කර තිබුණා. “මාගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය මා කෙරෙන් පහවීමට ඉඩහරින්න. නමුත් මාගේ කැමැත්ත නොව, ඔබේ කැමැත්ත ලෙස වේවා කියා මතෙව් 26:39හි පැවසුවේ යේසුස් විසින්මයි. තමන් එකම දෙවියන් නම් ඔහු පියාණන්ට යාච්ඤා කළේ ඇයි? ඔහු සර්වපරාක්‍රම දෙවියන් නම් වෙන කෙනෙකුගෙන් බලයක් ඉල්ලිය යුතුද? පුත්‍රයාණන් සැමවිටම පියාණන්ට තම නමස්කාරය පිදූ අතර ඔහු අපට ඉගැන්නුවේද එසේම කරන්නයි.”

ඔහුගේ දුර්වලකම්

ජෝන් මිල්ටන් බයිබලයේ ඇති සත්‍යය සෙවූ කෙනෙක්. නමුත් ඔහු අද්දුටු සමහර කටුක දේවල් නිසා ඔහුගේ මත සැමවිටම නිවැරදි වූයේ නැහැ. උදාහරණයක් හැටියට ඔහු ධනවත් ඉඩම් හිමියෙකුගේ දියණියක සමඟ විවාහ වුණත් අවුරුදු තුනකට පසු ඇය ඔහුව අතහැර ඇගේ පවුලේ අය වෙත ගියා. කෙනෙකුට දික්කසාද වීම සඳහා යේසුස් දුන් එකම හේතුව වේශ්‍යාකමයි. නමුත් සහකරුවන් අතර නොගැළපීම් ඇති වන විට දික්කසාද වීමේ වරදක් නැත යන මතය දැරූ මිල්ටන් එය සාධාරණීයකරණය කෙරුවා. (මතෙව් 19:9) ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති අත්පිටපතේද ඔහුගේ එම මතය සඳහන් කර තිබුණා.

මිල්ටන් දුර්වලකම් අඩු පාඩු තිබෙන කෙනෙක් වුණත් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති ලේඛනයෙහි ඔහු බයිබලයේ ඉගැන්වීම් ගණනාවක්ම ඉතාම ප්‍රබල ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. තමා විශ්වාස කරන දේ බයිබලය නමැති මිනුම් දණ්ඩෙන් මැන බැලීමට එම අත්පිටපත කියවන අය තුළ අදටත් පෙලඹීමක් ඇති වෙනවා නොඅනුමානයි.

[පාදසටහන]

^ 14 ඡේ. වර්ෂ 1973දී යේල් විශ්වවිද්‍යාලය මගින් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් නමැති ලේඛනය නැවත පරිවර්තනය කළා. එය වඩා නිවැරදි පරිවර්තනයක් කියා කිව හැකියි.

[11වන පිටුවේ පින්තූර]

මිල්ටන් ආශාවෙන් බයිබලය අධ්‍යයනය කළා

[හිමිකම් විස්තර]

Courtesy of The Early Modern Web at Oxford

[12වන පිටුවේ පින්තූර]

මිල්ටන්ව ජනාදරයට පත් කළේ “පැරඩයිස් ලොස්ට්” නමැති කෘතියයි

[හිමිකම් විස්තර]

Courtesy of The Early Modern Web at Oxford

[12වන පිටුවේ පින්තූර]

මිල්ටන්ගේ අවසාන ලේඛනය අවුරුදු 150ක් පුරා සැඟවී තිබුණා

[හිමිකම් විස්තර]

Image courtesy of Rare Books and Special Collections, Thomas Cooper Library, University of South Carolina

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Image courtesy of Rare Books and Special Collections, Thomas Cooper Library, University of South Carolina