Skip to content

පටුනට යන්න

දුෂ්ටකම් පැවතීමට හේතුව

දුෂ්ටකම් පැවතීමට හේතුව

දුෂ්ටකම් පැවතීමට හේතුව

දෙවි ගැන බයිබලයේ පවසා තිබෙන්නේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය” (ගීතාවලිය 145:17; එළිදරව් 15:3, නව ලොව පරිවර්තනය, NW) මෝසෙස් නමැත්තා පැවසුවේ “දෙවිගේ වැඩ සම්පූර්ණය. මක්නිසාද දෙවිගේ සියලු මාර්ග සාධාරණය. දෙවි අයුතුකමෙන් තොර වූ විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි. දෙවි සාධාරණය, ධර්මිෂ්ඨය” කියායි. (ද්විතීය කතාව 32:4) යාකොබ් නමැති බයිබල් ලේඛකයාද පැවසුවේ “යෙහෝවා [දෙවි] ඉතා ගැඹුරු ස්නේහය ඇති කෙනෙකු” කියායි.—යාකොබ් 5:11.

පැමිණෙන පීඩා පරීක්ෂා ගැන බයිබලයේ තවදුරටත් පවසා ඇත්තේ මෙසේයි. “පරීක්ෂා කරනු ලබද්දී, ‘දෙවි විසින් මාව පරීක්ෂා කරනු ලබන්නේයයි’ කිසිවෙක් නොකියාවා! මන්ද, ඔහු නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” (යාකොබ් 1:13) යෙහෝවා දෙවි දුෂ්ටකම් කරන්නේවත් ඒ සඳහා මිනිසුන්ව පොලඹවන්නේවත් නැහැ. එසේනම් දුෂ්ටකම්වලට වග කිව යුත්තේ කවුද?

වග කිව යුත්තේ කවුද?

දුෂ්ටකම්වලට එක් පැත්තකින් වග කිව යුත්තේ මිනිසුන් බව යාකොබ් පවසනවා. එය ඔහු විස්තර කරන්නේ මෙසේයි. “නමුත් එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය. එවිට ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි. ඉන්පසු පාපය සම්පූර්ණ වූ කල, මරණය උපදවයි.” (යාකොබ් 1:14, 15) මිනිසුන්ට තිබෙන නුසුදුසු ආශාවන් නිසා ඔවුන් බොහෝවිට පෙලඹෙන්නේ වැරදි දේ කිරීමටයි. ඒ ගැන බයිබලයේ පවසන්නේ මිනිසුන් පාපය උරුම කරගෙන සිටින බවයි. එනම් නිතරම වැරදි කිරීමට උරුම වූ නැඹුරුවාවක් තිබෙන බවයි. ඒ හේතුවෙන් ඔවුන් විහින්ම බොහෝ දුක් කරදරවලට වැටී තිබෙනවා. (රෝම 7:21-23) එම පාපය රජෙක් මෙන් මුළු මිනිස්වර්ගයා කෙරෙහි “රජකම්” කරන බවත් ඔවුන් ලවා දුෂ්ට ක්‍රියා කරවීමෙන් ඔවුන්ට දුක් වේදනා විඳීමට සලස්වන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 5:21) එමෙන්ම දුෂ්ට ක්‍රියා කරන මිනිසුන් අන් අයවද ඒ තත්වයට ඇද දමන්න උත්සාහ කරනවා.—හිතෝපදේශ 1:10-16.

දුෂ්ටකම්වලට මූලිකවම වග කිව යුත්තේ සාතන් නමැති යක්ෂයායි. මොහු කලින් ස්වර්ගයේ සිටි පසුව දෙවිට අකීකරු වූ දේවදූතයෙක්. මේ ලෝකයට දුෂ්ටකම හඳුන්වා දුන්නේ ඔහුයි. යේසුස් ඔහුව “දුෂ්ටයා” කියාත් මේ “ලෝකයේ පාලකයා” කියාත් හැඳින්වූයේ ඒ නිසයි. (මතෙව් 6:13; යොහන් 14:30; 1 යොහන් 2:15-17) බොහෝ මිනිසුන් දුෂ්ට දේවල් කිරීමෙන් සාතන්ට කීකරු වන අතර එමගින් දෙවිට පිටු පා තිබෙනවා. තවදුරටත් බයිබලයේ සඳහන් වන්නේ “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” බවයි. (1 යොහන් 5:19) ඇත්තෙන්ම “මුළු පොළොවම නොමඟ” යවමින් සිටින සාතන් සහ ඔහුගේ දුෂ්ට දූතයන් ‘දුක’ හැරෙන්නට වෙන කිසිවක් මිනිසුන්ට ඉතිරි කර නැහැ. ඒ අනුව දුෂ්ටකම්වලට මූලිකවම වග කිව යුත්තේ සාතන් බව ඉතා පැහැදිලියි.—එළිදරව් 12:9, 12.

දුක් වේදනාවලට හේතු වන තවත් කාරණයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “නොසිතන වේලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම් සියලුදෙනා පිට පැමිණේ.” (දේශනාකාරයා 9:11, NW) එවැනි ඛේදජනක සිද්ධියක් ගැන වරක් යේසුස්ද සඳහන් කළා. හදිසියේම විශාල කුළුණක් කඩා වැටීමෙන් එතැන සිටි මිනිසුන් 18දෙනෙක් මිය ගියා. (ලූක් 13:4) ඊට හේතුව දෙවියන්ද? නැහැ. වැරදි වෙලාවේ වැරදි තැනක සිටීම එනම් බලාපොරොත්තු නොවූ මොහොතක අනතුරු සිදු වන ස්ථානවල සිටීම නිසාත් මිනිසුන් විපත්ති අද්දකිනවා. උදාහරණයකට හදිසියේම උස් ගොඩනැඟිල්ලකින් යම් කොටසක් ගැලවී ඇවිත් ඒ අසලින් යන කෙනෙකු පිට වැටී ඔහු මිය යන්න පුළුවන්. එය කොහෙත්ම බලාපොරොත්තු නොවූ සිදුවීමක්. කෙනෙක් හදිසියේම අසනීප වීමත් ඒ හා සමාන දෙයක්. හිටිහැටියේම පියා අසනීප වීම නිසා හෝ මිය යෑම නිසා දරුවන් අනාථ වෙනවා. භාර්යාව වැන්දඹුවක් වෙනවා. ඒ සියල්ලටම හේතුව දෙවියන්ද?

ඊට වග කිව යුත්තේ දෙවි නොවන බව පැහැදිලියි. ඒ නිසාම මිනිසුන් විඳින දුක් වේදනා සම්බන්ධයෙන් දෙවිට කිසි හැඟීමක් නැහැ කියා ඉන් අදහස් කරනවාද? නැහැ. ළඟදීම යේසුස් මාර්ගයෙන් “යක්ෂයාගේ [එනම් සාතන්ගේ] ක්‍රියා විනාශ” කර දැමීමට දෙවි සැලසුම් කර තිබෙන බව බයිබලයේ පවසනවා. (1 යොහන් 3:8) ඒ විතරක් නොවෙයි දුෂ්ට දේවලුත් ඒවාට හවුල් වන තණ්හාවෙන්, කෑදරකමින්, වෛරයෙන් සහ දුෂ්ටකමින් පිරී සිටින මිනිසුන්වත් ළඟදීම මේ පොළොවෙන් ඉවත් කර දැමීමට දෙවි අරමුණු කර තිබෙනවා. (හිතෝපදේශ 2:22) එමෙන්ම දෙවි දුක් වේදනා වින්ද සියලුම අයගේ ‘ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන’ බවටත් පොරොන්දු කර තිබෙනවා. (එළිදරව් 21:4) ඒ වුණත් ඔබ සමහරවිට මෙසේ අසන්න පුළුවන්. ‘දෙවියන් ඒ දේ කරන්න මෙතරම් කල් ගන්නේ ඇයි? එදා සිට අද වෙන තුරු දුෂ්ටකම් පවතින්න ඉඩ දී තිබෙන්නේ ඇයි?’ ඒ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි සලකා බලමු.

වැදගත් ප්‍රශ්නයක් මතු වෙයි

දුෂ්ටකම් පවතින්න ඉඩ දීමට හේතුව සොයා බැලීමට නම් මිනිස් ඉතිහාසයේ මුල් කාලයේදී සිදු වූ දෙයක් සලකා බැලිය යුතුයි. එදා මිනිස් වර්ගයාගේ නිර්මාණකරු වන යෙහෝවා දෙවිට විරුද්ධව එක් පුද්ගලයෙක් බොරු චෝදනාවක් එල්ල කළා. එය ඉක්මනින් විසඳිය හැකි දෙයක් වුණේ නැහැ. ඔහු එල්ල කළ චෝදනාවට දැන් අපි හොඳ අවධානයක් දෙමු.

යෙහෝවා දෙවි ආදම් සහ ඒව යන මුල් මිනිස් යුවළ නිර්මාණය කර ඒදන් නමැති උයනේ ජීවත් වීමට සැලැස්සුවා. පොළොව මත වෙනත් කිසිම ජීවියෙකුට නොදුන් වටිනා යමක් දෙවි ඔවුන්ට දුන්නා. එය නම් තීරණ ගැනීමේ නිදහසයි. (උත්පත්ති 1:28; 2:15, 19) එමගින් හරි වැරැද්ද කුමක්ද කියා හොඳින් අවබෝධ කරගෙන තමන්ට කැමති පරිදි තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ තුළින් ඔවුන්ට ඔවුන්ගේ දෙවිට ප්‍රේම කරන්න, සේවය කරන්න සහ කීකරු වෙන්න අවස්ථාව තිබුණා. අනෙක් අතට ඔහුගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර ඔහුට අකීකරු වීමට තීරණය කරන්නත් අවස්ථාව තිබුණා.

තමන් කෙරෙහි ඇති ඔවුන්ගේ ප්‍රේමය පෙන්වීමට දෙවි ඔවුන්ට අවස්ථාවක් දුන්නා. ඒ, මුල් පුරුෂයා වූ ආදම්ට මෙවැනි අණක් දීමෙනුයි. “ඔබට උයනේ සියලු ගස්වලින් ඇති තරම් කන්නට පුළුවන. නමුත් ඔබ යහපත සහ අයහපත දැනගැන්මේ ගසෙන් නොකෑ යුතුය. මන්ද ඔබ එයින් කෑ දවසේදී අනිවාර්යයෙන්ම ඔබ මැරෙන්නෙහිය.” (උත්පත්ති 2:16, 17, NW) දෙවිගේ අනුමැතිය ඇතිව සිටීමටත් ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ගේ ශුභසිද්ධිය උදෙසාත් ඔවුන් කළ යුතුව තිබුණේ ඉතා සුළු දෙයක්. එනම් දෙවි අණ කළ ගසෙන් නොකා සිටීම පමණයි. ඔවුන් කළේ කුමක්ද?

ඊට පිළිතුර බයිබලයේ වාර්තා වෙනවා. සාතන් වන යක්ෂයා ඒවගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “උයනේ ගස්වලින් ඔබ නොකෑ යුතුය කියා දෙවි කී බව ඇත්තද?” දෙවි තමන්ට අණ කළ දේ ඇය සාතන්ට පැවසුවා. එවිට සාතන් පැවසුවේ “ඔබ කොහෙත්ම මැරෙන්නේ නැත. මන්ද ඔබ එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත සහ අයහපත දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය” කියායි. සාතන්ව විශ්වාස කළ “ඈ එයින් ගෙඩියක් ගෙන කෑවා” පමණක් නොව ‘තම ස්වාමිපුරුෂයාටත් කන්න දුන්නා. ඔහුද එය කෑ’ බව බයිබලයේ පවසනවා. (උත්පත්ති 3:1-6, NW) මොවුන් දෙදෙනාම කළේ කුමක්ද? දෙවි ඔවුන්ට දී තිබූ වටිනා ත්‍යාගය වන තීරණ ගැනීමේ නිදහස අයුතු ලෙස භාවිත කරමින් දෙවිට අකීකරු වීමයි.

ඒ සිද්ධියේ ඇති බරපතළකම ඔබට වැටහෙනවාද? සාතන් ඒවට පැවසූ දේ දෙවි කලින් ඇයට කී දේට හාත්පසින්ම විරුද්ධයි. එමෙන්ම සාතන් ඇඟවූයේ හරි වැරැද්ද කුමක්ද කියා තීරණය කිරීමට ආදම් සහ ඒවට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය නැති බවයි. ඒ අනුව බලද්දී සාතන් නැඟූ ප්‍රධානතම චෝදනාව කුමක්ද? එනම් මිනිසුන්ව පාලනය කිරීමට දෙවිට අයිතියක් තිබෙනවාද යන්නයි. දෙවි ඊට පිළිතුරු දුන්නේ කෙසේද?

ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි

යෙහෝවා දෙවිට ඉමහත් බලයක් තිබෙන නිසා සාතන්වත් ආදම් සහ ඒවවත් ඒ මොහොතේම විනාශ කර දැමීම ඔහුට එතරම් දෙයක් නොවෙයි. නමුත් මෙහිදී සාතන් ප්‍රශ්න කළේ දෙවි සතු බලය ගැන නොවෙයි. ඒ වෙනුවට මිනිසුන්ව පාලනය කිරීමට ඔහුට ඇති අයිතිය ගැනයි. දෙවිගේ පාලනයක් නැතිව මිනිසාට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කියාද ඔහු ඇඟෙව්වා. ඔහුගේ චෝදනාව තීරණ ගැනීමේ නිදහස ඇති සියලුම ජීවීන්ට බලපානවා. එනම් ස්වර්ගයේ සිටින දේවදූතයන් සහ පොළොවේ සිටින සියලුම මිනිසුන් ඊට අයත්. ඒ නිසා තීරණ ගැනීමේ නිදහස නිසි ආකාරයෙන් භාවිත කිරීමේ ඇති වැදගත්කම ඒ සියලුදෙනාම වටහාගත යුතුයි. දේවදූතයන් ඇතුළු අප සියලුදෙනාගේ ප්‍රයෝජනය සඳහා දෙවි යම් සාධාරණ තහංචි පනවා තිබෙනවා. ඒවා උල්ලංගනය කිරීම තමන්ට ඉතා හානි කර බව ඔවුන් තේරුම්ගත යුතුයි. උදාහරණයකට ගුරුත්වාකර්ෂණය ගැන කල්පනා කර බලන්න. යම් පුද්ගලයෙක් උස ගොඩනැඟිල්ලකින් බිමට පැන්නොත් කුමක් වෙයිද? විශාල හානියක් වන බව ස්ථිරයි. (ගලාති 6:7, 8) ඒ හා සමානව දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීම නිසා මිනිසුන් අද්දකින භයානක ප්‍රතිඵල දැකගන්න බුද්ධිමත් ජීවීන්ට අවස්ථාවක් දීමට දෙවි තීරණය කළා. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි.

එය තේරුම්ගැනීමට අපි උදාහරණයක් සලකා බලමු. වැඩිම ශක්තියක් තිබෙන්නේ කාටද කියා එක් පියෙක් තවත් පියෙකුට අභියෝග කරනවා කියා සිතන්න. දෙදෙනාගෙන් වැඩිම බරක් ඔසවන්න පුළුවන් කෙනා තමයි ශක්තිමත්ම පියා. එවැනි අභියෝගයකට පිළිතුරු ලබාගැනීමට වැඩි වෙලාවක් යන්නේ නැහැ. නමුත් තමන්ගේ දරුවන්ට වැඩියෙන්ම ආදරේ කොයි පියාද නැත්නම් දරුවන් වැඩියෙන්ම ආදරය කරන්නේ කොයි පියාටද කියා දැනගන්න අවශ්‍ය වුණා කියා සිතන්න. එසේත් නැත්නම් තම පවුලේ අයව වඩාත්ම ආදරයෙන් රැකබලා ගන්නේ කොයි පියාදැයි දැනගන්න අවශ්‍යයි කියා සිතන්න. ඒ සඳහා තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමෙන්වත් කට වචනයෙන් එය පැවසීමෙන්වත් පලක් නැහැ. ඊට අවශ්‍යම දේ වන්නේ කාලයයි! එවිට ඔවුන් ක්‍රියා කරන ආකාරය බලා නිවැරදි නිගමනයකට පැමිණිය හැකියි.

ඉතිහාසයෙන් ඔප්පු වී ඇති දේ

දෙවිට විරුද්ධව සාතන් චෝදනා කළ දා සිට මේ දක්වා අවුරුදු 6,000ක් ගත වී හමාරයි. ගෙවී ගිය කාලයෙන් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද? සාතන් කළ චෝදනාවේ අංග දෙකක් සලකා බලන්න. මුලින්ම, ඔහු ඒවට පැවසුවේ “ඔබ කොහෙත්ම මැරෙන්නේ නැත” කියායි. (උත්පත්ති 3:4, NW) එම ප්‍රකාශයෙන් සාතන් කෙළින්ම පැවසුවේ යෙහෝවා දෙවි ඔවුන්ට බොරු කියා ඇති බවයි. එය මොන තරම් බරපතළ චෝදනාවක්ද! එදා දෙවි පැවසූ දේ බොරුවක් නම් ඔහු පවසා ඇති අනෙක් දේවල් විශ්වාස කරන්නේ කොහොමද? නමුත් බොරු කිව්වේ කවුද කියා කාලයා විසින් ඔප්පු කර තිබෙනවා.

දෙවිට අකීකරු වීම නිසා ආදම් සහ ඒව බොහෝ දුක් කරදරවලට, අසනීපවලට, මහලු වියට මෙන්ම අවසානයේදී මරණයටත් ගොදුරු වුණා. ආදම් ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. ඔහු “අවුරුදු නවසිය තිහක් ජීවත් වී මිය ගියේය.” (උත්පත්ති 3:19; 5:5, NW) ඒ ඛේදජනක තත්වය අද්දැක්කේ ඔහු විතරක් නොවෙයි. ඔහුගෙන් පැවත එන මුළු මිනිස් වර්ගයාටම එය උරුම වුණා. (රෝම 5:12) ඉන් පැහැදිලි වන්නේ සාතන් කී දේ බොරුවක් බවයි. ඔව්, සාතන් ‘බොරුකාරයෙක්.’ ඔහු “බොරුවේ පියා” බව බයිබලයේ පවසන්නේ හොඳ හේතු ඇතිවයි. ඊට වෙනස්ව යෙහෝවා “සත්‍යතාවේ දෙවි” බව කාලය විසින් ඔප්පු කර තිබෙනවා.—යොහන් 8:44; ගීතාවලිය 31:5, NW.

දෙවනුව, සාතන් ඒවට මෙවැනි දෙයක්ද පැවසුවා. “ඔබ එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත සහ අයහපත දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” (උත්පත්ති 3:5, NW) එම කපටි වචන මගින් සාතන් ඇඟවූයේ මිනිසුන්ට දෙවිගේ මඟ පෙන්වීමක් නැතිව, තමන්ව තනිවම පාලනය කරගත හැකි බවයි. ඒ තුළින් මිනිසා සාර්ථක වී තිබෙනවාද?

අධිරාජ්‍ය ක්‍රම ඇතුළු සෑම ආකාරයේ පාලන ක්‍රමයක්ම මිනිසා විසින් අත්හදා බලා තිබෙනවා. මේ සියල්ලෙන් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද? මිනිසුන් ඉතාමත් දුක්ඛිත තත්වයට ඇද වැටී ඇති බවයි. ඒ ගැන මීට අවුරුදු 3,000කටත් පමණ පෙර බයිබලයේ පවසා තිබුණේ “මිනිසා තවත් මිනිසෙකුට හානි වන ලෙස බලය ක්‍රියාත්මක” කරනවා කියායි. (දේශනාකාරයා 8:9, NW) එමෙන්ම යෙරෙමියාද පැවසුවේ “තමාගේ පියවර මෙහෙයවන්න මිනිසාට හැකියාවක්ද නැති” බවයි. (යෙරෙමියා 10:23, NW) මිනිසා විද්‍යාව හා තාක්ෂණය අතින් කොතරම් ප්‍රගතියක් ලබා තිබුණත් ඉහත සඳහන් ප්‍රකාශ බොරු කිරීමට ඔවුන්ට හැකි වී නැහැ. එම වචන මොන තරම් සත්‍යයක්ද කියා ඉතිහාසයෙන් තහවුරු වී තිබෙනවා.

ඔබ ගන්නා තීරණය කුමක්ද?

යක්ෂයා අමූලික බොරුකාරයෙක් බව යෙහෝවා දෙවි ඔප්පු කර තිබෙනවා. මිනිසා ඇතුළු සියලුම නිර්මාණ පාලනය කිරීමට තමන්ට අයිතිය ඇති බවත් තමන්ගේ පාලනය මිනිසා සඳහා සුදුසුම එක බවත් දෙවි තහවුරු කර තිබෙනවා. ගණන් කළ නොහැකි අවුරුදු ගණනාවක් පුරා දෙවිගේ පාලනය යටතේ සිටින දේවදූතයන් පවා පවසන්නේ කුමක්ද? “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.”—එළිදරව් 4:11.

ඔබ පිළිගන්නේ කාගේ පාලනයද? අපව පාලනය කිරීමට දෙවිට අයිතියක් තිබෙනවා කියා ඔබ පිළිගන්නවාද? එසේනම් මුළු විශ්වයම පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැන ඔබ හොඳින් වටහාගත යුතුයි. ඔබට මෙය කරන්න පුළුවන් කොහොමද? දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් වටිනා සත්‍යයන් සහ උපදෙස් ඉගෙනගෙන ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගැනීමෙනුයි. දෙවි තම උපදෙස් සහ මඟ පෙන්වීම් අපට ලබා දී තිබෙන්නේ ඔහු අපට ප්‍රේම කරන නිසයි. (1 යොහන් 4:8) අපට ප්‍රයෝජනවත් වන කිසි දෙයක් දෙවි අපෙන් සඟවා නැහැ. එමනිසා බයිබලයේ සඳහන් මේ වදන් හොඳින් හිතට ගැනීම උචිතයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු සිතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සිහි කරන්න. එවිට ඔහු ඔබේ මාවත් කෙළින් කරනු ඇත.”—හිතෝපදේශ 3:5, 6, NW.

[7වන පිටුවේ පින්තූරය]

බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමෙන් සහ එහි උපදෙස් අදාළ කරගැනීමෙන් ඔබ පිළිගන්නේ දෙවිගේ පාලනය බව පෙන්වන්න

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Jeroen Oerlemans/Panos Pictures