Skip to content

පටුනට යන්න

දෙවිගේ දයාව අනුකරණය කරමු

දෙවිගේ දයාව අනුකරණය කරමු

දෙවිගේ දයාව අනුකරණය කරමු

“එසේනම්, අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.”—ගලාති 6:10.

1, 2. සමරිතානුවරයාගේ උපමාවෙන් දයාව ගැන උගන්වන්නේ කුමක්ද?

නීතිය ගැන මනා දැනුමක් ඇති මිනිසෙක් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “ඇත්තටම මාගේ අසල්වැසියා කවුද?” යේසුස් උපමාවකින් ඔහුට පිළිතුරු දුන්නා. “එක්තරා මිනිසෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා බැස යද්දී කොල්ලකරුවන්ට හසු විය. ඔවුහු ඔහුගේ වස්ත්‍රත් ඔහු සතු සියල්ලත් පැහැරගෙන ඔහුට පහර දී ඔහුව අඩපණ කොට දමා යන්න ගියහ. එකල එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයේ බැස යන විට ඔහුව දැක, අනික් පැත්තෙන් ගියේය. එලෙසම, ලෙවීවරයෙක්ද එතැනින් බැස යන විට ඔහුව දැක, පාරේ අනෙක් පැත්තෙන් ගියේය. නමුත් ඒ මඟ දිගේ ගමන් කරමින් සිටි එක්තරා සමරිතානුවරයෙක් ඔහු වෙතට පැමිණ, ඔහුව දුටු විට අනුකම්පාවෙන් පෙලඹී, ඒ මිනිසා ළඟට ඇවිත් ඔහුගේ තුවාලවලට තෙල් සහ වයින් වත් කර බැන්දේය. ඉන්පසු ඔහු ඒ මිනිසාව තමාගේම මෘගයා පිට නංවා තානායමකට ගෙන ගොස් ඔහුව බලාගත්තේය. පසුවදා, ඔහු ඩිනාරි දෙකක් ගෙන ඒවා තානායම්කරුට දී, ‘මොහුව බලාගන්න. මීට වඩා යමක් ඔබට වියදම් වුණොත් මම නැවත ආ විට ඔබට එය ගෙවන්නෙමි’ යයි කීවේය.” ඊළඟට යේසුස් ප්‍රශ්නය ඇසූ මිනිසාගෙන් මෙසේ ඇසුවා. “කොල්ලකරුවන්ට හසු වූ මිනිසාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වැසියා වූයේ කවුරුන් කියාද ඔබ සිතන්නේ?” එවිට ඔහු පැවසුවේ “ඔහු කෙරෙහි දයාන්විතව ක්‍රියා කළ තැනැත්තාය” කියායි.—ලූක් 10:25, 29-37අ.

2 කොල්ලකරුවන්ට හසු වූ තැනැත්තාට සමරිතානුවරයා දැක්වූ සැලකිල්ල මොන තරම් උතුම්ද! සැබෑ දයාව කියන්නේ එයයි! අනුකම්පාවෙන් පෙලඹුණු සමරිතානුවරයා ක්‍රියා කළේ හිංසාවට ගොදුරු වූ තැනැත්තාට සහනයක් වන ආකාරයෙනුයි. වැටී සිටි ඒ පුද්ගලයාව ඔහු කලින් දැන සිටියේ නැති බව මතක තබාගන්න. මේ අනුව දයාව පෙන්වීමට ආගම, ජාතිය හෝ සංස්කෘතිය බාධාවක් නොවන බව අපට එම උපමාවෙන් කියා දෙනවා. උපමාව පැවසීමෙන් පසු යේසුස් එම මිනිසාට මෙසේ පැවසුවා. “ගොස්, ඔබත් එසේම කරන්න.” (ලූක් 10:37ආ) අප යේසුස්ගේ එම වචන සිතට ගෙන අන් අයට දයාව පෙන්වීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. නමුත් එදිනෙදා ජීවිතයේදී අන් අයට දයාව පෙන්විය හැක්කේ කිනම් පැතිවලින්ද?

කන්න අඳින්න නැති සහෝදරයෙකුට

3, 4. සෙසු නමස්කාරකයන්ට දයාව පෙන්වීම අත්‍යවශ්‍යම දෙයක් වන්නේ ඇයි?

3 පාවුල් පැවසුවේ මෙසේයි. “එසේනම්, අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.” (ගලාති 6:10) මුලින්ම, අපි අපේ සෙසු නමස්කාරකයන්ට දයාව පෙන්විය හැකි ආකාර ගැන සලකා බලමු.

4 එකිනෙකාට දයාව පෙන්වන්න කියා සැබෑ ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූ යාකොබ් මෙසේ සඳහන් කළා. “දයාව නොපෙන්වන තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් ලැබෙන්නේය.” (යාකොබ් 2:13) දයාව පෙන්විය හැකි ආකාර කිහිපයක් ගැන ඔහුගේ ලිපියේ ඊට පෙර සඳහන් කර තිබුණා. උදාහරණයක් හැටියට යාකොබ් 1:27හි මෙසේ කියා තිබෙනවා. “අපේ දෙවි සහ පියාණන් වන තැනැත්තා ඉදිරියෙහි පිරිසිදු වූ, දූෂ්‍ය නොවූ නමස්කාර පිළිවෙත නම් මේය: අනාථ දරුවන්ව හා වැන්දඹුවන්ව ඔවුන් අද්දකින පීඩාවලදී බලාගැනීමත්, තමන් ලෝකයෙන් කිලිටි නොවී සිටීමට වගබලා ගැනීමත්ය.” යාකොබ් 2:15, 16හි මෙසේද සඳහන් කර තිබෙනවා. “සහෝදරයෙකු හෝ සහෝදරියක ඇඳුම් නැතුව, දවසට අවශ්‍ය කෑම නොමැතිව සිටින නමුත් ඔබ අතරෙන් යමෙක්, ‘සමාදානයෙන් යන්න. උණුසුමට ඇඳ පැළඳ කෑම කා තෘප්තියෙන් සිටින්න’ යයි කියනවා මිස, ශරීරයට අවශ්‍ය දේවල් ඔවුන්ට දෙන්නේ නැත්නම්, එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?”

5, 6. සභාවේ සිටින අයට දයාව පෙන්විය හැකි තවත් පැති මොනවාද?

5 අන් අය ගැන සැලකිලිමත් වී ඔවුන්ට උදව් උපකාර කිරීම සැබෑ නමස්කාරය හඳුනාගැනීමේ එක් ලක්ෂණයක්. දයාව පෙන්වීම, වචනයට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. ඒ වෙනුවට එය අපව පොලඹවන්නේ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් යමක් කිරීමටයි. (1 යොහන් 3:17, 18) උදාහරණයක් හැටියට අසනීප වූ කෙනෙකුට කෑමක් පිළියෙල කර දීම, මහලු කෙනෙකුගේ ගෙදර දොරේ වැඩපළට උදව් කිරීම, හැකි අවස්ථාවලදී ක්‍රිස්තියානියෙකුට රැස්වීම් පැමිණීමට ප්‍රවාහණ පහසුකම් සැපයීම හා අඟ හිඟකම් තිබෙන අයට හැකි නම් මුදලින් පවා උපකාර කිරීම දයාව පෙන්විය හැකි ආකාර කිහිපයක්.—ද්විතීය කතාව 15:7-10.

6 ක්‍රිස්තියානි සභාවේ සිටින අයට එවැනි ආකාරයෙන් උපකාර කිරීම වටිනා දෙයක්. නමුත් ඊටත් වඩා වටිනා දෙයක් අපට කළ හැකියි. ඒ, දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔවුන්ට උපකාර කිරීමයි. මෙම වගකීම පැවරී තිබෙන්නේ කාටද? පොදුවේ අප සැමට උනන්දු කර තිබෙන්නේ ‘අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන්න හා දුර්වලයන්ට උපකාර කරන්න’ කියායි. (1 තෙසලෝනික 5:14) ‘යහපත් දේ උගන්වන අය වීමට වයස්ගතව සිටින ස්ත්‍රීන්ටද’ දිරිගන්වා තිබෙනවා. (තීතස් 2:3) එමෙන්ම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ‘සුළඟින් මුවා වීමට නිවහනක් මෙන් හා කුණාටුවෙන් සැඟවීමට ගුහාවක් මෙන්’ විය යුතු බව බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 32:2, නව ලොව පරිවර්තනය, NW.

7. දයාව පෙන්වීම ගැන අන්තියෝකියේ සිටි ගෝලයන්ගෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

7 මුල් සියවසේ සභාවන් විසින් එහි සිටි වැන්දඹුවන්, අනාථ දරුවන්, අධෛර්යයට පත් වූවන් හා වෙනත් උපකාර අවශ්‍ය අයව රැකබලා ගත්තා. ඊට අමතරව වෙනත් ප්‍රදේශවල සිටි අවශ්‍යතා තිබූ අයටද ඔවුන් සහනාධාර යැව්වා. උදාහරණයක් හැටියට අගබස් නමැති අනාගතවක්තෘවරයා “ලොව පුරාම මහත් සාගතයක් ඇතිවීමට යන බව” පුරෝකථනය කළා. ඒ අවස්ථාවේදී සිරියාවේ අන්තියෝකියේ සිටි ගෝලයෝ ‘තම තමාට පුළුවන් විදිහට යුදයේ සිටින සහෝදරයන්ට සහනාධාර යැවීමෙන් ඔවුන්ට සේවයක් කිරීමට අදිටන් කරගත්තා.’ ඒවා “බානබස් සහ සාවුල් අත” එහි සිටි වැඩිමහල්ලන් වෙත යැව්වා. (ක්‍රියා 11:28-30) ඒ හා සමානව අදත් චණ්ඩ මාරුත, භූමිකම්පා හා සුනාමි වැනි ස්වාභාවික ආපදාවලට ගොදුරු වූ අයට උපකාර අවශ්‍යයි. ඒ අයට සහනාධාර ලබා දීමට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් කමිටු පත් කර තිබෙනවා. (මතෙව් 24:45) අපේ කාලය, ශ්‍රමය හා අපේ හැකියාවන් කැමැත්තෙන්ම පිරිනැමීමෙන් එම සැලසුම්වලට සහයෝගය දැක්වීමට අපට හැකියි. එය දයාවන්ත ක්‍රියාවක්.

“ඔබ දිගටම අනිසි අනුග්‍රහයක් පෙන්වනවා නම්”

8. අනිසි අනුග්‍රහය පෙන්වීම දයාව පෙන්වීමට බාධාවක් වන්නේ කෙසේද?

8 දයාව හා “රාජකීය නීතිය” කියා හඳුන්වන ප්‍රේමය යන ගුණාංග පිළිබිඹු කිරීමට බාධා කරන යමක් ගැන යාකොබ් අනතුරු ඇඟෙව්වා. ඔහු පැවසුවේ “ඔබ දිගටම අනිසි අනුග්‍රහයක් පෙන්වනවා නම්, ඔබ කරන්නේ පාපයකි. මන්ද, ඔබ නීතිය උල්ලංගනය කරන්නන් බව නීතිය විසින්ම හෙළි කරනු ලැබේ” කියායි. (යාකොබ් 2:8, 9) සභාවේ සිටින ධනවත් අයට හෝ වගකීම් දරන අයට අප අනිසි අනුග්‍රහයක් පෙන්වනවා නම් “අසරණයා කන්නලව්” කරන විට එය අපට නොඇසෙන්න හෝ නොදැනෙන්න ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 21:13, NW) අනිසි අනුග්‍රහය පෙන්වීම දයාව පෙන්වීමට විශාල බාධාවක්. සැමට එක හා සමානව සලකන විට ඇත්තෙන්ම අප පෙන්වන්නේ දයාවයි.

9. විශේෂ සැලකිල්ලක් ලැබිය යුත්තන්ට එය දීම වැරදි නොවන්නේ ඇයි?

9 සැමට එක හා සමානව සලකනවා යන්නෙන් අදහස් කරන්නේ කිසිම කෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන්න බැරි බවද? නැහැ. උදාහරණයකට තමා සමඟ සේවයේ හවුල් වූ එපෆ්‍රොදිතස් ගැන පාවුල් ලියා යැවූ දෙය සැලකිල්ලට ගන්න. “එවැනි පුරුෂයන්ව අගය කොට සලකන්න.” එසේ පැවසීමට හේතුව කුමක්ද? පාවුල් ෆිලිප්පියේ ක්‍රිස්තියානීන්ට පවසන්නේ ‘මට පෞද්ගලිකව සේවය කිරීමට ඔබ මෙහි නොසිටීමේ අඩුව ඔහු මුළුමනින්ම පිරිමැසූ බවත් ඔහුගේ ජීවිතය පරදුවේ තබා ස්වාමීන්ගේ සේවයේ නිරත’ වූ නිසා කියායි. (ෆිලිප්පි 2:25, 29, 30) ඒ අනුව එපෆ්‍රොදිතස්ගේ ඇදහිලිවන්ත සේවය නිසා ඔහු විශේෂ සැලකිල්ලක් ලැබීමට වටින කෙනෙක් වුණා. තවදුරටත් 1 තිමෝති 5:17හි සඳහන් කර ඇත්තේ මෙසේයි. “හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන, විශේෂයෙන්ම කතා කිරීමෙහිත් ඉගැන්වීමෙහිත් වෙහෙස වී වැඩ කරන වැඩිමහල්ලන් දෙගුණයක් ගෞරවය ලැබීමට වටින බව සැලකිල්ලට ගන්න.” එමෙන්ම ක්‍රිස්තියානි ගුණාංග විදහාපෙන්වන අයද එවැනිම සැලකිල්ලක් ලබන්න වටිනවා. එවැනි විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිසි අනුග්‍රහය පෙන්වීමක් නොවෙයි.

‘ඉහළින් පැමිණෙන ප්‍රඥාව දයාවෙන් පූර්ණය’

10. අපේ දිව පාලනය කරගත යුත්තේ ඇයි?

10 අපේ දිව ගැන යාකොබ් මෙසේ පැවසුවා. “නොහික්මුණු, හානිකර දෙයක් වන එය, මාරාන්තික විෂවලින් පිරී තිබේ. එයින් අපි යෙහෝවාට, එනම් පියාණන්ට ප්‍රශංසා කරන්නෙමු. නමුත් එයින්ම, ‘දෙවිට සමානව’ සාදන ලද මිනිසුන්ට ශාප කරන්නෙමු. ප්‍රශංසා කිරීමත් ශාප කිරීමත් එකම කටින් නික්මෙන්නේය.” ඉන්පසු යාකොබ් පවසන දෙය බලන්න. “ඔබේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාවත් විවාදශීලීකමත් ඇත්නම්, පුරසාරම් දොඩමින්ද සත්‍යයට විරුද්ධව බොරු කියමින්ද නොසිටින්න. එම ප්‍රඥාව ඉහළින් පැමිණෙන්නක් නොවේ. එය භූමික වූ, තිරිසන් වූ, භූතයන්ගෙන් වූවකි. මන්ද, ඊර්ෂ්‍යාව සහ දබර ඇති තැන, වියවුලත් සියලු ආකාර පිළිකුල්කමත් ඇත්තේය. එහෙත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට නිර්මලය. ඊළඟට සාමකාමීය. සාධාරණය. කීකරු වීමට සූදානම්ය. දයාවෙන් සහ යහපත් පලවලින් පූර්ණය. සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය. කුහකකමින් තොරය.”—යාකොබ් 3:8-10අ, 14-17.

11. අපේ කතාවෙන් දයාව පෙන්විය හැක්කේ කෙසේද?

11 අප දිව පාවිච්චි කරන ආකාරයෙන් හෙවත් කතා කරන ආකාරයෙන් අඟවන්නේ අපට ‘දයාවෙන් පූර්ණ වූ ප්‍රඥාව’ තිබෙනවාද නැද්ද යන කාරණයයි. ඊර්ෂ්‍යාවත් විවාදශීලීකමත් නිසා අප පුරසාරම් දොඩමින් බොරු කියමින් ඕපාදූප පතුරුවනවා නම් තත්වය කුමක්ද? තමන් ගැනම පුරසාරම් දොඩන අයව ගීතාවලිය 94:4හි [NW] හඳුන්වා තිබෙන්නේ ‘හානි පමුණුවන තමන් ගැන උජාරුවෙන් කතා කරන’ අය හැටියටයි. එමෙන්ම හානිකර කතා බහ නිසා නිදොස් කෙනෙකුගේ හොඳ නාමයට මොන තරම් අපකීර්තියක් ඇති විය හැකිද! (ගීතාවලිය 64:2-4) එපමණක්ද නොව, ‘බොරුකාරයෙකුට’ කළ හැකි හානිය කොතරම්ද කියාත් කල්පනා කර බලන්න. (හිතෝපදේශ 14:5, NW; 1 රාජාවලිය 21:7-13) දිව අයුතු ලෙස පාවිච්චි කිරීමේ බරපතළකම ගැන සඳහන් කළ පසු යාකොබ් මෙසේ පවසනවා. “මාගේ සහෝදරයෙනි, මේ දේවල් මෙසේ සිදුවීම සුදුසු නැත.” (යාකොබ් 3:10ආ) සැබෑ දයාව පෙන්වීම යන්නට නිර්මල, සාමකාමී හා සාධාරණ ආකාරයෙන් අපේ දිව පාවිච්චි කිරීමත් අයත් වෙනවා. මේ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මිනිසුන් කියන සෑම නිෂ්ප්‍රයෝජන දෙයක් ගැනම ඔවුන් විනිශ්චය දවසේදී ගණන් දිය යුතුයයි මම ඔබට කියමි.” (මතෙව් 12:36) ඒ නිසා අප කතා කරද්දී දයාවෙන් යුතුව වචන හසුරුවන්න ඉගෙනගැනීම කොතරම් ඥනවන්තද!

‘වැරදිවලට සමාව දෙන්න’

12, 13. (අ) ස්වාමියාට විශාල මුදලක් ණයව සිටි දාසයා ගැන උපමාවෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? (ආ) “හැත්තෑහත් වරක්” සමාව දෙන්න කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

12 දයාව පෙන්විය හැකි විශේෂ ආකාරයක් ගැන යේසුස් තවත් උපමාවකින් ඉගැන්වුවා. එනම් ඩිනාරි හය කෝටියක් තම ස්වාමියාට ණයව සිටි දාසයා පිළිබඳ උපමාවයි. එතරම් ණයක් ගෙවාගැනීමට නොහැකිව සිටි මේ දාසයා තමාට දයාව පෙන්වන්න කියා ඔහුගෙන් අයැද සිටියා. ස්වාමියා ඔහු “ගැන අනුකම්පා කොට” ණය බරින් ඔහුව නිදහස් කළා. වෙනත් ආකාරයකින් පැවසුවොත් ඔහුට සමාව දුන්නා. නමුත් මේ දාසයා ඊට පසුව කළ දේ බලන්න. ඔහු තමාට ඩිනාරි 100ක් වැනි සුළු මුදලක් ණයව සිටි කෙනෙකුව හමු වී එය ගෙවන ලෙස ඔහුට බල කළා. ඒ මුදල ගෙවාගන්න බැරි වූ නිසා ඔහුට කිසිම දයාවක් නොපෙන්වා ඔහුව හිරගෙට දැමුවා. සිදු වූ දෙය මුල් ස්වාමියාට ආරංචි වූ විට ඔහු සමාව දුන් දාසයාට අඬ ගසා මෙසේ ඇසුවා. “දුෂ්ට දාසය, ඔබ මාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි විට, මම ඔබේ ඒ මුළු ණයම අහෝසි කළෙමි. මා ඔබට අනුකම්පා කළාක් මෙන්ම ඔබත් ඒ දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේද?” ස්වාමියා එසේ පවසා ණය මුදල ගෙවන තුරු ඔහුවත් හිරගෙට යැව්වා. එම උපමාව කියා අවසන් කළ යේසුස් මෙසේ පැවසුවා. “ඔබ එකිනෙකාත් තම තමාගේ සහෝදරයාට ඔබේ හදවතින්ම සමාව නොදුන්නොත්, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ද ඔබට එසේම කරනවා ඇත.”—මතෙව් 18:23-35.

13 දයාව පෙන්වීමට ඇතුළත් වන තවත් වැදගත් කාරණයක් එම උපමාවෙන් ප්‍රබල ලෙස කාවද්දනවා. එනම් සමාව දීමට සූදානමින් සිටිය යුතු බවයි. යෙහෝවා දෙවිත් අපගේ පාපවලට මොන තරම් සමාව දී තිබෙනවාද! එසේනම් අපත් ‘මිනිසුන්ගේ වැරදිවලට සමාව දිය යුතු’ නොවෙයිද? (මතෙව් 6:14, 15) යේසුස් එම උපමාව පැවසීමට පෙර පේතෘස් ඔහුගෙන් මෙසේ අසා තිබුණා. “ස්වාමිනි, මට විරුද්ධව පව් කරන මාගේ සහෝදරයාට මා කොපමණ වතාවක් සමාව දිය යුතුද? හත් වරක් දක්වාද?” එවිට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “මම ඔබට කියමි, හත් වරක් දක්වා නොව, නමුත් හැත්තෑහත් වරක් දක්වාය.” (මතෙව් 18:21, 22) ඇත්තෙන්ම දයාවෙන් පූර්ණ කෙනෙක් “හැත්තෑහත් වරක්” හෙවත් සීමාවක් නැතුව සමාව දීමට සූදානමින් සිටිනවා.

14. මතෙව් 7:1-4 අනුව දයාව පෙන්විය හැකි තවත් ආකාරයක් සඳහන් කරන්න.

14 දයාව පෙන්විය හැකි තවත් ආකාරයක් ගැන කන්ද උඩ දේශනාවේදී යේසුස් සඳහන් කළා. “විනිශ්චය කිරීම නතර කරන්න. එවිට ඔබවද විනිශ්චය කරනු නොලබන්නේය. මන්ද ඔබ යම් ආකාරයකින් විනිශ්චය කරන්නේද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා ඇත.” යේසුස් තවදුරටත් පවසන්නේ මෙසේයි. “එසේනම්, ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ දෙස බලන්නේ මන්ද? බලන්න! ඔබේම ඇසෙහි පරාලයක් තිබියදී, ඔබේ සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසෙන් රොඩ්ඩ ඉවතට ගන්න මට ඉඩ දෙන්න’ කියා ඔබට කිව හැක්කේ කෙසේද?” (මතෙව් 7:1-4) එසේනම් අපට දිනපතාම දයාව පෙන්විය හැකි ආකාරයක් වන්නේ අන් අයව විනිශ්චය කිරීමෙන් හෝ විවේචනය කිරීමෙන් වැළකී ඔවුන්ගේ දුර්වලකම් දරාගැනීමෙනුයි.

‘සියල්ලන්ටම යහපත්කම් කරන්න’

15. අප පෙන්වන දයාව සෙසු ඇදහිලිවන්තයන්ට පමණක් සීමා නොවිය යුත්තේ ඇයි?

15 ක්‍රිස්තියානි සභාවේ සිටින අයට දයාව පෙන්වීම ගැන යාකොබ් සඳහන් කළා. නමුත් දයාව පෙන්වීම සෙසු ඇදහිලිවන්තයන්ට පමණක්ම සීමා වෙන්නේ නැහැ. යෙහෝවා දෙවිට නමස්කාර නොකරන අයටත් අප දයාව පෙන්විය යුතුයි. ගීතාවලිය 145:9හි [NW] පවසා ඇත්තේ “යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරයි. තමා මැවූ සියල්ලන්ට දයාව පෙන්වයි” කියායි. එමෙන්ම “දෙවිව අනුකරණය” කර ‘සියල්ලන්ටම යහපත්කම් කරන්න’ කියාත් බයිබලය අපව දිරිගන්වනවා. (එෆීස 5:1; ගලාති 6:10) අප ‘ලෝකයට හා ලෝකයේ තිබෙන දේවල්වලට ප්‍රේම’ නොකරන බව ඇත්තයි. ඒ වුණත් ඇදහිලිවන්තයන් නොවන අයගේ හදිසි අවශ්‍යතා අප ගණන් නොගෙන සිටින බව ඉන් අදහස් කරන්නේ නැහැ.—1 යොහන් 2:15.

16. දයාව පෙන්වීමේදී අප සලකා බැලිය යුත්තේ මොනවාද?

16 ‘නොසිතන වේලාවක, බලාපොරොත්තු නොවූ සිදුවීම්වලට’ ගොදුරු වන අයට උපකාර කිරීමට ක්‍රිස්තියානීන් පසුබට වන්නේ නැහැ. (දේශනාකාරයා 9:11, NW) එවැනි අය වෙනුවෙන් අපට කළ හැක්කේ මොනවාද, එය කළ හැක්කේ කොතරම් දුරකටද යන්න තීරණය වන්නේ අපට ඇති කාලය, මුදල් හා හැකියාව මතයි. (හිතෝපදේශ 3:27) මෙවැනි උපකාර පිරිනමද්දී එය අලසකමට දිරි දීමක් නොවීමට අප වගබලා ගැනීමත් අවශ්‍යයි. (හිතෝපදේශ 20:1, 4; 2 තෙසලෝනික 3:10-12) එමනිසා දයාව පෙන්වීමේදී අප අනුකම්පාව සමඟ හොඳ සිහිකල්පනාවෙන් යුතුවද කටයුතු කළ යුතුයි.

17. ඇදහිලිවන්තයන් නොවන අයට දයාව පෙන්විය හැකි හොඳම ක්‍රමය කුමක්ද?

17 ඇදහිලිවන්තයන් නොවන අයට දයාව පෙන්විය හැකි හොඳම ක්‍රමය නම් ඔවුන්ට බයිබලයේ සඳහන් සත්‍යයන් ඉගැන්වීමයි. ඊට හේතුව වන්නේ දෙවි පිළිබඳ නිවැරදි දැනුමක් නැතිව බොහෝදෙනාගේ ජීවිත මංමුළා වී තිබීමයි. අනාගතයට ස්ථිරසාර බලාපොරොත්තුවක් නැති මෙවැනි අය සිටින්නේ “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින්.” (මතෙව් 9:36) ඔවුන්ගේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට දෙවිගේ වචනය යොදාගෙන උපකාර කළොත් එය ‘ඔවුන්ගේ පාදවලට පහනක්’ වේවි. අනාගතයට දීප්තිමත් අපේක්ෂාවක් ලබා දෙන දෙවිගේ අරමුණු ගැන දැනගැනීම ‘ඔවුන්ගේ මාවතට එළියක්’ වේවි. (ගීතාවලිය 119:105, NW) ඒ නිසා බයිබලයේ අඩංගු ශුභාරංචිය, සැබෑ අවශ්‍යතාවක් තිබෙන මිනිසුන් වෙත රැගෙන යෑම මොන තරම් වරප්‍රසාදයක්ද! දෙවි පුරෝකථනය කර ඇති “මහත් පීඩාව” අත ළඟටම පැමිණ තිබෙන නිසා උද්‍යෝගයෙන් යුතුව ශුභාරංචිය දේශනා කිරීමටත් මිනිසුන්ව ගෝලයන් කිරීමටත් කාලය දැනුයි! (මතෙව් 24:3-8, 21, 22, 36-41; 28:19, 20) දයාව පෙන්විය හැකි මීට වඩා හොඳ ක්‍රමයක් තවත් තිබෙනවාද?

“ඇතුළත තිබෙන දෙයින්ම දෙන්න”

18, 19. දයාව පෙන්වීමට අප ප්‍රස්තා සෙවිය යුත්තේ ඇයි?

18 “දයාන්විත ලෙස කරන පරිත්‍යාග ඔබේ ඇතුළත තිබෙන දෙයින්ම දෙන්න” කියා යේසුස් පැවසුවා. (ලූක් 11:41) එය සැබවින්ම දයාන්විත ක්‍රියාවක් වීමට නම් එය අපේ හද පත්ලෙන්ම පැමිණිය යුතුයි. එය ප්‍රේමණීය මෙන්ම කැමැත්තෙන්ම කරන දෙයක් විය යුතුයි. (2 කොරින්ති 9:7) අන් අයගේ ගැටලු හා දුක් වේදනා ගැන කිසි තැකීමක් නැති, තමන් ගැනම පමණක් සිතන, හැඟීමක් දැනීමක් නැති ලෝකයක එවැනි ආකාරයේ දයාවක් පෙන්වීම මොන තරම් සහනයක්ද!

19 එසේනම් දයාව පෙන්වීමට අපි ප්‍රස්තා සොයමු. වැඩි වැඩියෙන් එසේ කරත්ම අප අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිවයි. අරමුණක් ඇති තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න එය අපට උපකාර කරනවා නොඅනුමානයි!—මතෙව් 5:7.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• සෙසු නමස්කාරකයන්ට දයාව පෙන්වීම අත්‍යවශ්‍යම දෙයක් වන්නේ ඇයි?

• සෙසු ඇදහිලිවන්තයන්ට දයාව පෙන්විය හැකි ආකාර මොනවාද?

• ඇදහිලිවන්තයන් නොවන අයට දයාව පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

සමරිතානුවරයා දයාන්විතව ක්‍රියා කළා

[27වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීන් දයාන්විත ක්‍රියාවලින් පිරී සිටිනවා

[30වන පිටුවේ පින්තූරය]

දයාව පෙන්විය හැකි හොඳම ක්‍රමය නම් අන් අයට බයිබල් සත්‍යයන් ඉගැන්වීමයි