පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාස්කු මංගල්‍යයේදී යීස්ට් හෙවත් “මුහුන් දැමූ කිසිම දෙයක්” නොකෑ යුතුයි කියා යුදෙව්වන්ට අණ කර තිබුණත්, තම අවසන් රාත්‍රි භෝජනයේදී යේසුස් පැසුණු වයින් පාවිච්චි කළේ ඇයි?—නික්මයාම 12:20, නව ලොව පරිවර්තනය, NW; ලූක් 22:7, 8, 14-20.
පාස්කු මංගල්‍යය පැවැත්වූයේ ක්‍රිස්තු පූර්ව 1513දී ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් මිදීම සැමරීමටයි. එම මංගල්‍යය සම්බන්ධයෙන් දෙවි මෙවන් මඟ පෙන්වීම් ලබා දුන්නා. “මුහුන් දැමූ කිසිම දෙයක් නොකන්න. ඔබේ නිවෙස්වල ජීවත් වන සෑම කෙනෙකුම මුහුන් නොදැමූ රොටි අනුභව කළ යුතුයි.” (නික්මයාම 12:11, 20, NW) එම නියෝගය අදාළ වුණේ පාස්කු මංගල්‍යයේදී අනුභව කළ රොටි සඳහා පමණයි. වයින් සඳහා නොවෙයි.
ඉහත සඳහන් නියෝගය ක්‍රියාත්මක කළ “සෙනඟ මුහුන් නොදමා ඇනූ පිටිද භාජනද තමන්ගේ වස්ත්‍රවල ඔතා කරේ තබාගෙන පිටත්ව ගියෝය” කියා බයිබලයේ පවසනවා. (නික්මයාම 12:34, NW) ඊශ්‍රායෙල්වරුන්ට එවැනි නියෝගයක් පැනවීමට ප්‍රධානම හේතුව වූයේ ඊජිප්තුවෙන් ඉක්මනින් පිටවීමට තිබූ නිසයි. ඔවුන්ගේ පසු පරම්පරාවලටත් මෙම වැදගත් කාරණාව සිහිගැන්වීම සඳහා පාස්කු භෝජනයට මුහුන් පාවිච්චි කළේ නැහැ.
පසු කාලයේදී මුහුන් මගින් බොහෝවිට සංකේතවත් කළේ පාපය හෝ දුෂ්ටකමයි. “මුහුන් ටිකකින් මුළු පිඩම පැසෙන බව ඔබ දන්නේ නැද්ද?” කියා ක්‍රිස්තියානි සභාවේ සිටි අනාචාරයේ යෙදුණු මිනිසෙකු සම්බන්ධයෙන් පාවුල් ඇසුවේ ඒ නිසයි. (1 කොරින්ති 5:6) යේසුස්ගේ පව් රහිත ශරීරය සංකේතවත් කිරීම සඳහා මුහුන් නොදැමූ රොටි භාවිත කළා. ඒ ගැන පාවුල් ඊළඟට පැවසුවේ මෙසේයි. “ඔබ මුහුන් නැතිව සිටින පිණිස අලුත් පිඩක් වීම සඳහා පරණ මුහුන් ඉවත් කරන්න. මන්ද, අපේ පාස්කු යාගය වන ක්‍රිස්තුස්ව පූජා කරන ලදි. එබැවින් අපි, පරණ මුහුන්වලින්වත් අයහපත සහ දුෂ්ටකම නමැති මුහුන්වලින්වත් නොව, අවංකකම සහ සැබෑකම නමැති, මුහුන් නොදැමූ රොටිවලින් මංගල්‍යය පවත්වමු.”—1 කොරින්ති 5:7, 8; හෙබ්‍රෙව් 7:26.
පාස්කු මංගල්‍යයේදී වයින් පානය කිරීමේ සිරිත ඊට එක් වුණේ පසු කාලයේදීයි. ඒ ඔවුන් බැබිලෝනියේ වහල්භාවයෙන් මිදීමෙන් පසුව විය හැකියි. බයිබලයේ කොතැනකවත් ඊට විරුද්ධ වී නැහැ. යේසුස් පවා පාස්කු භෝජනයේදී වයින් පානය කළා. පුරාණ කාලවලදී රොටිවලට මුහුන් දැමීමත් ස්වාභාවිකව වයින් පැසවීමත් අතර වෙනසක් තිබුණා. පිටි පිඩක් පැසීමට යීස්ට් හෙවත් මුහුන් දැමීම අවශ්‍යයි. නමුත් මිදිවලින් සෑදූ වයින් සඳහා එවන් අමතර ද්‍රව්‍යයක් අවශ්‍ය වුණේ නැහැ. ඊට හේතුව නම් වයින් පැසීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය ඒ තුළම තිබීමයි. වසන්ත ඍතුවේදී පාස්කුව සමරන විට අලුත් මිදි යුෂ නොතිබූ බව පැහැදිලියි. ඊට හේතුව නම් පාස්කුව සමරන විට මිදි පලදාව නෙළා බොහෝ කල් ගෙවී තිබීමයි.
මේ අනුව බලද්දී තම මරණය සිහි කිරීමේ සංකේතයක් ලෙස වයින් භාවිත කළ විට පාස්කුවේදී මුහුන් පාවිච්චි කිරීම සම්බන්ධ තහනම යේසුස් කිසිවිටක උල්ලංගනය කළේ නැහැ. යේසුස්ගේ ‘අනර්ඝ රුධිරය’ සංකේතවත් කිරීමට රසකාරක, බෙහෙත් පැළෑටි, කුළුබඩු හෝ වෙනත් මධ්‍යසාර එකතු නොකළ ඕනෑම රතු වයින් වර්ගයක් යෝග්‍යයි.—1 පේතෘස් 1:19.