Skip to content

පටුනට යන්න

යොනාතාන් “ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්”

යොනාතාන් “ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්”

යොනාතාන් “ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්”

ඊශ්‍රායෙලයේ පළමු රජුගේ පුත්‍රයා බැහැදකින්න සූදානම් වන්නේ තම පියා විසින් පිටුවහල් කළ කෙනෙකුවයි. “භය වෙන්න එපා” යයි පලා යන්නාට දිරි දෙන ඔහු තවදුරටත් පවසන්නේ “මගේ පියා කවදාවත් ඔබව අල්ලගන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි රජ වෙනවා. මම ඔබේ දෙවැනියා වෙනවා” කියායි.—1 සාමුවෙල් 23:17, නව ලොව පරිවර්තනය, NW.

පලා යමින් සිටින්නේ දාවිත්. ඔහුව බැහැදකින්න යන්නේ යොනාතාන්. ඒ මුණගැසීම සිදු වී වැඩි කලක් යන්න මත්තෙන් යොනාතාන් මිය ගියා. එසේ නොවුණා නම් ඔහු දාවිත්ගේ කිට්ටුම සහයකයා බවට පත් වෙනවා නොඅනුමානයි.

ඔවුන් අතර තිබූ මිත්‍රත්වය සුවිශේෂී එකක්. ඇත්තෙන්ම යොනාතාන් විශිෂ්ට පුද්ගලයෙක්. ඔහු සිටි කාලයේ ජීවත් වූ බොහෝදෙනෙක්ද සිතුවේ එසේමයි. වරක් ඔවුන් පැවසුවේ මෙසේයි. “ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්.” (1 සාමුවෙල් 14:45, NW) එසේ පැවසීමට හේතු වූයේ කුමක්ද? යොනාතාන්ට තිබුණේ මොන වගේ ගුණාංගද? ඔහුගේ ජීවිත කතාවෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

ඊශ්‍රායෙල්වරුන් කරදරේ වැටී

යොනාතාන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ඊශ්‍රායෙල්වරුන් “ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දෙමින්” සිටි අවස්ථාවක් විස්තර කරද්දීයි. පිලිස්තිවරුන් ඒ වන විටත් දේශය කොල්ලකා තිබුණා. පෙරළා පහර දීමට තිබූ අවස්ථාද ඔවුන් අවහිර කර තිබුණා.—1 සාමුවෙල් 13:5, 6, 17-19, NW.

නමුත් තමන්ගේ සෙනඟව අත්හරින්නේ නැති බව යෙහෝවා දෙවි පවසා තිබූ නිසා යොනාතාන්ට එය මහත් ශක්තියක් වුණා. “ඔහු මගේ සෙනඟව පිලිස්තිවරුන්ගේ අතින් ගලවා ගනී” කියා දෙවි පවසා තිබුණේ තමාගේ පියා වූ සාවුල් ගැන බව ඔහු දැන සිටියා. එම වචන ඔහු තදින්ම විශ්වාස කළා. කලින් වතාවකදී ප්‍රමාණවත් ආයුධ නොතිබූණත් 1,000ක් වැනි සුළු සෙබළුන් සංඛ්‍යාවක් සමඟ ගොස් පිලිස්තිවරුන්ව පරාජය කර තිබුණා. ඔහුට දැන් අවශ්‍යව තිබෙන්නේ ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නයි.—1 සාමුවෙල් 9:16; 12:22; 13:2, 3, 22, NW.

හදිසි ප්‍රහාරයක්

යොනාතාන්ගේ ඉලක්කය වුණේ මික්මාෂ්හි ප්‍රපාතය අසල පිහිටුවා තිබූ පිලිස්තිවරුන්ගේ මුරපොළයි. (1 සාමුවෙල් 13:23) එතැනට ළඟාවීම ඔහුට ඉතාම දුෂ්කර කාර්යයක් වන්න ඇති. සමහරවිට ඔවුන්ට බඩගාගෙන යන්නත් සිදු වෙන්න ඇති. නමුත් ඔහු එය බාධාවක් කරගත්තේ නැහැ. තම ආයුධ දරන්නා සමඟ එකතු වී පහර දීමට තීරණය කළ ඔහු මෙසේ පැවසුවා. “සමහරවිට යෙහෝවා දෙවි අපිට උදව් කරයි. සුළුදෙනෙක් හිටියත් බොහෝදෙනෙක් හිටියත් ගැලවීම ලබා දෙන්න යෙහෝවා දෙවිට පුළුවන්.” (1 සාමුවෙල් 14:6, 13, NW) දෙවි කෙරෙහි ඔහුට මොන තරම් විශ්වාසයක් තිබුණාද!

මොවුන් දෙදෙනා දෙවිගෙන් ලකුණක් ඉල්ලුවා. එනම් ඔවුන් පිලිස්තිවරුන්ට පෙනෙන මානයට ගිය විට, “අපි නුඹලා ළඟට එනකම් ඔතැන නැවතී ඉන්න” කියා පිලිස්තිවරුන් කීවොත් ඉන් අදහස් කරන්නේ එය සටන් කරන්න අවස්ථාව නොවන බවයි. නමුත් “අපිත් සමඟ සටන් කරන්න එන්න” කියා ඔවුන් කිව්වොත් ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි සතුරන්ව තමන් අතට පාවා දෙන බවයි. ඇත්තෙන්ම ඔවුන් මුරපොළට යන්න තීරණය කළේ සටන් කරන්න හිතාගෙනමයි. ඊට හේතුව දෙවිගේ උපකාර ඔවුන්ට තිබෙන බව ඔවුන් විශ්වාස කළ නිසායි.—1 සාමුවෙල් 14:8-10, NW.

සෙබළුන්ගෙන් පිරුණු මුරපොළකට පහර දී ජයගන්න දෙදෙනෙකුට පුළුවන්ද? පුරාණ ඊශ්‍රායෙලයේ සිටි විනිශ්චයකරුවන් ගැන කල්පනා කර බලන්න. මෝවාබ්වරුන්ට විරුද්ධව කළ සටනේදී ඒහුද්ට උපකාර කළේ කවුද? ගවයන්ව මට්ටු කරන කෙවිටකින් පිලිස්තිවරුන් 600ක් මරා දැමීමට ෂම්ගර්ට උදව් කළේ කවුද? පිලිස්තිවරුන් දහස් ගණනක් මරා දැමීමට සම්සොන්ව බලවත් කළේ කවුද? යෙහෝවා දෙවිම නොවේද? දෙවි තමාටත් එසේම උදව් කරන බව යොනාතාන් තුළ දැඩි විශ්වාසයක් තිබුණා.—විනිශ්චයකාරයෝ 3:12-31; 15:6-8, 15; 16:29, 30.

යොනාතාන්වත් ඔහුගේ සේවකයාවත් දුටු පිලිස්තිවරුන් කෑ ගසා මෙසේ කිව්වා. “අපිත් එක්ක සටනට එන්න. අපි නුඹලාට හොඳ පාඩමක් උගන්වන්නම්!” එය ඇසු ඔවුන් දෙදෙනා ධෛර්යයෙන් යුතුව පිලිස්තිවරුන් සමඟ සටන් කර ඔවුන්ගේ සෙබළුන් 20දෙනෙකුව මරා දැමුවා. දැන් මුරපොළ එකම අවුල් ජාලාවක්! මේ දෙදෙනාට පසුව තවත් අය සටනට පැමිණෙයි කියා පිලිස්තිවරුන් සිතීම ඊට හේතු වූවා විය හැකියි. ‘මුරපොළේ සිටි අය අතරේ මහත් කැලඹීමක් ඇති වුණා. දෙවි භූමිකම්පාවක් ඇති වීමට සැලැස්වූ නිසා පොළොවද දෙදරන්න පටන්ගත්තා.’ භූමිකම්පාවෙන් ඇති වූ කැලඹීම නිසා ‘පිලිස්තිවරුන් එක් එක්කෙනා තමන්ගේ සෙසු සෙබළුන්ට විරුද්ධව සටන් කරන්න’ පටන්ගත්තා. මෙයින් දිරිමත් වූ ඊශ්‍රායෙල් සෙබළුන් හා සැඟවී සිටි අයත් එමෙන්ම කලින් පිලිස්තිවරුන්ට එකතු වී සිටි අයත් එක්ව “මික්මාෂ්හි සිට ආයාලොන් දක්වා යමින් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ව මරා” දැමුවා.—1 සාමුවෙල් 14:11-23, 31, NW.

ජීවිතය ගැලවේ

යුද්ධය ජයගන්නා තුරු කිසිවෙකු නොකෑ යුතුයි කියා සාවුල් රජ සෙනඟ සමඟ අඥාන දිවුරුමක් කර තිබුණා. නමුත් යොනාතාන් ඒ ගැන නොදැන සිටි නිසා කැලෑවේ මී වදයක් දුටු විට ඉන් ටිකක් ගෙන කෑවා. එයින් ඔහුට යුද්ධය නිම වන තුරු සටන් කිරීමට තරම් ශක්තියක් ලැබුණා.—1 සාමුවෙල් 14:24-27.

යොනාතාන් තම නියෝගයට පිටුපා ඇති බව දැනගත් සාවුල් ඔහුව මැරීමට අණ කළා. නමුත් යොනාතාන් ඊට භය වුණේ නැහැ. “මාව මරා දාන්න” කියා ඔහු කියා සිටියා. නමුත් සෙනඟ සාවුල්ට මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙලිතයන්ට මේ මහත් ගැලවීම අත් කර දුන් යොනාතාන්ව මරා දමන්නේ කොහොමද? එය අපට කළ නොහැකියි. යොනාතාන්ගේ එක කෙස් ගහක්වත් බිම වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ කියා යෙහෝවා දෙවිගේ නමින් අප ස්ථිරවම කියා සිටිනවා. ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්.” මෙසේ සෙනඟ මැදිහත් වී යොනාතාන්ව ගලවාගත්තා.—1 සාමුවෙල් 14:38-45, NW.

අද සිටින දෙවිගේ සේවකයන් එවැනි යුද්ධවල නිරත වන්නේ නැහැ. නමුත් ඔබේ ජීවිතයේදී ඇදහිල්ලත් ධෛර්යයත් අවශ්‍ය කරන අවස්ථා බොහොමයක් පැනනඟිනවා. ඔබ වටා සිටින අය වැරදි දේවල් කරද්දී හරි දේ කරන එක ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් ඔබ දෙවිගේ ප්‍රතිපත්ති රකින්න වෑයම් කරද්දී ඔහු ඔබට ආශීර්වාද කර ඔබව ශක්තිමත් කරනවා. අපගේ දේවසේවය හා සම්බන්ධ කටයුතු තවත් පුළුල් කරගැනීමට, අලුත් පැවරුමක් භාරගැනීමට එසේත් නැත්නම් වැඩි අවශ්‍යතාවක් ඇති ප්‍රදේශයක සේවය කිරීම වැනි කටයුතු සඳහා මහත් ධෛර්යයක් අවශ්‍ය විය හැකියි. එවැනි පැවරුමක් භාරගැනීමට ‘මම සුදුසුද’ කියා ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්. නමුත් යෙහෝවා දෙවිට වුවමනා ආකාරයට ඔබව යොදාගන්න ඔහුට ඉඩහරිනවා නම් එය ඉතා ප්‍රශංසනීයයි. යොනාතාන්’ ඒ දේ කළේ දෙවිගේ උපකාරයෙන්’ බව ඔබට මතකද.

යොනාතාන් හා දාවිත්

එය සිදුවී අවුරුදු 20ක් ගත වූ පසු පිලිස්තිවරුන්ගේ යෝධයා වූ ගොලියත් ඊශ්‍රායෙල් හමුදාවට නින්දා කරමින් සිටියා. එවිට දාවිත් ඔහුව මරා දැමුවා. යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30ක් පමණ වැඩිමල් වුණත් දෙදෙනා තුළ එක සමාන ගුණාංග තිබුණා. * මික්මාෂ්හිදී යොනාතාන් පෙන්වූ ධෛර්යවන්තකම දාවිත් තුළද දකින්න තිබුණා. දෙදෙනා තුළ තිබූ කැපීපෙනෙන සමානකම වන්නේ ගලවාගැනීමට දෙවිට ඇති හැකියාව කෙරෙහි ඔවුන් තුළ තිබූ විශ්වාසයයි. මුළු ඊශ්‍රායෙල් හමුදාවම ගොලියත්ට බියෙන් හැකිළෙද්දී අභීතව ඔහුට මුහුණ දීමෙන් දාවිත් එය පෙන්නුම් කළා. ඒ නිසා ‘යොනාතාන්ගේ සිත දාවිත් වෙතට ඇදී ගියා. ඔහු පණ මෙන් දාවිත්ට ආදරේ කරන්න පටන්ගත්තා.’—1 සාමුවෙල් 17:1–18:4, NW.

දාවිත් තුළ වූ නිර්භීතකම සාවුල් රජ දුටුවේ තමාගේ රජකමට තර්ජනයක් විදිහටයි. නමුත් යොනාතාන් තුළ නම් දාවිත් කෙරෙහි කිසිම ඊර්ෂ්‍යාවක් තිබුණේ නැහැ. ඔහු හා දාවිත් ඉතාම සමීප මිතුරන් බවට පත් වුණා. තමාව ඊශ්‍රායෙල්හි ඊළඟ රජු හැටියට දෙවි විසින් පත් කර තිබෙන බව රහසිගතව හමු වූ අවස්ථාවලදී දාවිත් යොනාතාන්ට කී බව සිතිය හැකියි. දෙවිගේ එම තීරණයට යොනාතාන් ගරු කළ බව ඉතාම පැහැදිලියි.

දාවිත්ව මැරීමට සාවුල් රජ කළ කුමන්ත්‍රණය ගැන යොනාතාන් දාවිත්ට අනතුරු ඇඟෙව්වා. එමෙන්ම දාවිත්ගෙන් කිසිම අනතුරක් සිදු නොවන බව යොනාතාන් සාවුල්ට තේරුම් කර දුන්නා. ඒ, රජට විරුද්ධව දාවිත් කිසිම පාපයක් කර නොතිබූ නිසයි. ගොලියත් සමඟ කළ සටනේදී දාවිත් තමන්ගේ දිවි පරදුවට තැබුවා නොවේද? අසාධාරණයට ලක්වූ තම මිතුරා වෙනුවෙන් යොනාතාන් අයැදිද්දී සාවුල්ගේ හිත නිවී ගියා. නමුත් වැඩි කල් යන්න පෙර නැවතත් මිනිමරු සිතුවිලි මතු වී ආ නිසා සාවුල්, දාවිත් පසුපස ලුහුබඳින්න පටන්ගත්තා.—1 සාමුවෙල් 19:1-18.

මේ අවස්ථාවේදී යොනාතාන් දාවිත් වෙනුවෙන් ඉදිරිපත් වුණා. මිතුරන් දෙදෙනා ඉදිරි සැලසුම් ගැන කතා කරගත්තා. තම මිතුරාට පක්ෂපාතව සිටි යොනාතාන්, පියාටත් පක්ෂපාතව සිටීමට උත්සාහ කළා. ඔහු දාවිත්ට මෙසේ පැවසුවා. “මට ඒක විශ්වාස කරන්න බැහැ. මගේ පියා ඔබව මරන්නේ නැහැ.” නමුත් දාවිත් ඔහුට පිළිතුරු දුන්නේ මෙසේයි. ‘මගේ ජීවිතේ තව ඉතිරිව තිබෙන්නේ ඉතා කෙටි කාලයයි!’—1 සාමුවෙල් 20:1-3, NW.

සාවුල්ගේ අරමුණු දැනගැනීමට යොනාතාන් හා දාවිත් සැලසුමක් යෙදුවා. දාවිත් රාජ භෝජනයට නොපැමිණීම ගැන සාවුල් දැනගත්තොත් ඔහුට කිව යුතු දේ ඔවුන් කතා කරගත්තා. රාජ භෝජනයට දාවිත් නොපැමිණීම හේතුවෙන් සාවුල් කෝප වුණොත් ඉන් අදහස් කරන්නේ දාවිත්ව මැරීමට සාවුල් තවමත් සිතාගෙන සිටින බවයි. යොනාතාන් තම මිතුරාට ආශීර්වාද කර ඔහුගේ අනාගත රජකම පිළිගන්නා බව නොකියා පැවසුවේ මේ ආකාරයටයි. “යෙහෝවා දෙවි මගේ පියාට ආශීර්වාද කළා වගේම ඔබටත් ආශීර්වාද කරයි කියා මට විශ්වාසයි.” එකිනෙකාව අත් නොහරින බවට දෙදෙනා එකිනෙකාට පොරොන්දු වුණා. එමෙන්ම සැලසුමේ ප්‍රතිඵල දාවිත්ට දැනුම් දීමට ක්‍රමයක්ද ඔවුන් කතා කරගත්තා.—1 සාමුවෙල් 20:5-24, NW.

රාජ භෝජනයට දාවිත් පැමිණ නැති බව දුටු සාවුල්, ඒ ගැන යොනාතාන්ගෙන් විමසද්දී ඔහු පැවසුවේ “ඉතින් දැන් ඔබ මට කරුණාව පෙන්වනවා නම් මගේ අයියලාව හම්බ වෙන්න මට යන්න දෙන්න” කියා දාවිත් කී බවයි. තමන් දාවිත්ට කරුණාව පෙන්වූ බව පැවසීමට යොනාතාන් බිය වූණේ නැහැ. එවිට රජ මහත් සේ කෝප වී කෑගසා පැවසුවේ, යොනාතාන්ගේ අනාගත රජකමට දාවිත් තර්ජනයක් බවයි. දාවිත්ව මරන්න තමන් වෙතට ගෙනෙන ලෙස සාවුල් යොනාතාන්ට පැවසුවත් ඔහු මෙසේ ඇසුවා. “ඇයි දාවිත්ව මරන්න හදන්නේ? ඔහු කළ වරද කුමක්ද?” කෝපයෙන් ඇවිළුණු සාවුල් තම හෙල්ලයෙන් තමාගේ පුත්‍රයාට දමා ගැසුවා. යොනාතාන් ඉන් ගැලවී ගියත් තම පියා දාවිත්ට කළ නින්දා අපහාස ගැන ඔහු බොහෝ සේ දුක් වුණා.—1 සාමුවෙල් 20:25-34, NW.

යොනාතාන් කොයි තරම් පක්ෂපාත කෙනෙක්ද! මිනිසුන් බලන කෝණයෙන් බැලූ විට දාවිත් සමඟ තිබූ ඔහුගේ මිත්‍රත්වයෙන් ඔහුට බොහෝ දේ අහිමි වෙනවා මිස අත් වන දෙයක් නම් නැහැ. නමුත් සාවුල්ට පසුව, රජකමට යෙහෝවා දෙවි පත් කර තිබෙන්නේ දාවිත්ව බව ඔහු දැන සිටියා. එමෙන්ම දෙවි අරමුණු කර තිබූ දෙය ඔහුගේත් අන් අයගෙත් යහපතට බව ඔහු වටහාගත්තා.

කඳුළින් සමුගනී

සැලසුමේ ප්‍රතිඵලය දැනුම් දීමට යොනාතාන් දාවිත්ව මුණගැසුණා. නැවත කිසිදාක දාවිත්ට සාවුල්ගේ රජවාසලේ පය තැබීමට නොහැකි වන බව නම් හොඳටම විශ්වාසයි. දෙදෙනා එකිනෙකාව සිපගනිමින් බොහෝ සේ හැඬුවා. ඉන්පසු දාවිත් එතැනින් පිට වී ගියා.—1 සාමුවෙල් 20:35-42.

යොනාතාන් පලා යන දාවිත්ව තව එක් වතාවක් මුණගැසුණා. ඒ ‘හෝරෙෂ්හි ෂිප් පාළුකරයේදීයි.’ යොනාතාන් දාවිත්ව දිරිමත් කළේ ඒ අවස්ථාවේදීයි. “භය වෙන්න එපා. මගේ පියා කවදාවත් ඔබව අල්ලගන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි රජ වෙනවා. මම ඔබේ දෙවැනියා වෙනවා. මගේ පියාත් ඒ ගැන දන්නවා.” (1 සාමුවෙල් 23:15-18, NW) එම සිද්ධිය වී වැඩි කලක් යන්න මත්තෙන් යොනාතාන් හා සාවුල් පිලිස්තිවරුන් සමඟ කළ යුද්ධයකදී මරණයට පත් වුණා.—1 සාමුවෙල් 31:1-4, NW.

දෙවිට ප්‍රේම කරන සියලුදෙනාටම යොනාතාන්ව ආදර්ශයට ගත හැකියි. ඔබ පක්ෂපාත විය යුත්තේ කාටද යන්න ගැන ප්‍රශ්නයක් මතු වී තිබෙනවාද? තමා ගැන පමණක් සිතන්න කියා සාවුල් යොනාතාන්ට පැවසූ හැටි මතක් කරගන්න. නමුත් ඔහු හද පත්ලෙන්ම යෙහෝවා දෙවිට කීකරුකමත් භක්තියත් පිදුවා. ඊශ්‍රායෙලයේ අනාගත රජ සම්බන්ධයෙන් දෙවිගේ තීරණය ගැන යොනාතාන් අවංකවම සතුටු වුණා. යොනාතාන් දාවිත්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඊටත් වඩා යෙහෝවා දෙවිට පක්ෂපාත වුණා.

යොනාතාන්ට විශිෂ්ට ගුණාංග රැසක් තිබුණා. ඒ නිසා සෙනඟ යොනාතාන් ගැන කීවේ “ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්” කියායි. යොනාතාන්ට කී ආකාරයටම අන් අය ඔබ ගැනත් කියනවාට ඔබ කැමතිද? එසේනම් ඔබත් යොනාතාන්ව ආදර්ශයට ගන්න!—1 සාමුවෙල් 14:45, NW.

[පාදසටහන]

^ 18 ඡේ. යොනාතාන්ව සාවුල්ගේ හමුදාවේ අණ දෙන නිලධාරියෙක් හැටියට පත් කරද්දී ඔහුට වයස, අඩුම තරමින් අවුරුදු 20ක්වත් විය යුතුයි. ඒ සාවුල්ගේ හතළිස් අවුරුදු රජ සමයේ මුල් අවධියේදීයි. (ගණන් කතාව 1:3; 1 සාමුවෙල් 13:2) ඒ අනුව බලද්දී ක්‍රිස්තු පූර්ව 1078දී ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 60කට ආසන්න විය යුතුයි. ඒ වන විට දාවිත්ට වයස අවුරුදු 30යි. මේ අනුව යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30ක් පමණ වයසින් වැඩි බව පෙනී යනවා.—1 සාමුවෙල් 31:2; 2 සාමුවෙල් 5:4.

[19වන පිටුවේ පින්තූර]

යොනාතාන් දාවිත්ට ඊර්ෂ්‍යා කළේ නැහැ