Skip to content

පටුනට යන්න

හොෂෙයා පොතෙන් විශේෂාංග

හොෂෙයා පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

හොෂෙයා පොතෙන් විශේෂාංග

සැබෑ නමස්කාරය ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයෙන් මුළුමනින්ම වාගේ නැති වී ගිහින්. දෙවැනි යෙරොබොවම් රජ සමයේ ඊශ්‍රායෙලය සමෘද්ධිමත් තත්වයක් භුක්ති වින්දත් ඔහුගේ මරණයෙන් පසු එම තත්වය අහිමි වී ගියා. ඒ සමඟම පැමිණියේ නොසන්සුන් කාලපරිච්ඡේදයක් වගේම දේශපාලනික අස්ථාවරභාවයක්. ඊළඟට පාලනය කළ රජවරුන් හයදෙනාගෙන් හතරදෙනෙකුවම ඝාතනය කරනු ලැබුවා. (2 රාජාවලිය 14:29; 15:8-30; 17:1-6) හොෂෙයා අනාවැකි පැවසීම ආරම්භ කළේ ක්‍රිස්තු පූර්ව 804දීයි. එතැන් පටන් කැලඹිලි සහිත මෙම කාලය දක්වා වූ අවුරුදු 59ක කාලය පුරා ඔහු තම සේවය ඇදහිලිවන්තව කරගෙන ගියා.

නොහික්මුණු ඊශ්‍රායෙල් ජාතිය පිළිබඳව යෙහෝවා දෙවිගේ හැඟීම් හොෂෙයාගේ විවාහය හා සම්බන්ධ සිදුවීම්වලින් මනාව පැහැදිලි වෙනවා. ඊශ්‍රායෙල්වරුන් කළ වරද හා ඔවුන්ට එරෙහිව ගෙනෙන විනිශ්චය ගැන මෙන්ම යූදා රාජ්‍යය ගැන තොරතුරුද හොෂෙයාගේ අනාවැකිවලට ඇතුළත්. හොෂෙයා තම නමින්ම ලියූ පොතේ ඉතාම හැඟීම්බර නමුත් ප්‍රබල ශෛලියක් යොදාගෙන එම තොරතුරු වාර්තා කර තිබෙනවා. දෙවිගේ බලයේ උපකාරයෙන් ලියා ඇති මෙම පොතේ තිබෙන පණිවිඩය ජීවමානයි, බලවත්.—හෙබ්‍රෙව් 4:12.

“ඔබ ගොස් ස්ත්‍රියක්ව විවාහ කරගන්න. පසු කාලයකදී ඇය වේශ්‍යාකමෙහි යෙදී දරුවන්ව බිහි කරයි.”

(හොෂෙයා 1:1–3:5, නව ලොව පරිවර්තනය, NW)

යෙහෝවා හොෂෙයාට මෙසේ පැවසුවා. “ඔබ ගොස් ස්ත්‍රියක්ව විවාහ කරගන්න. පසු කාලයකදී ඇය වේශ්‍යාකමෙහි යෙදී දරුවන්ව බිහි කරයි.” (හොෂෙයා 1:2) හොෂෙයා ඊට කීකරු වී ගෝමෙර් නමැති ස්ත්‍රියව විවාහ කරගත් අතර ඇය ඔහුට දාව පුතෙකු බිහි කළා. නැවතත් ඇය දරුවන් දෙදෙනෙකු බිහි කළත් පෙනෙන විදිහට ඔවුන් අවජාතක දරුවන්. ඔවුන්ට ලෝ-රුහාමා හා ලෝ-අම්මී යන නම් තැබුවා. ඔවුන්ගේ නම්වලින් අර්ථවත් වූ දෙයින් පෙන්වූයේ යෙහෝවා දෙවි තමන්ට පක්ෂපාත නොවූ ඊශ්‍රායෙල්වරුන්ට දයාව පෙන්වීම නවතා ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බවයි.

තමන්ගේ මේ කැරලිකාර සෙනඟ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිට හැඟුණේ කෙසේද? ඔහු හොෂෙයාට ඒ බව පැවසුවේ මෙසේයි. “ගොස්, පරපුරුෂ සේවනයේ යෙදෙන ස්ත්‍රියකට ආදරය කරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඒ දෙවිවරුන්ට කැමැත්තෙන්ම මුද්දරප්පලම් කුට්ටි ඔප්පු කළ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි දිගටම ප්‍රේම කළාක් මෙන් ඔබත් ඇයට ආදරය කරන්න.”—හොෂෙයා 3:1.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:1හොෂෙයා තමන්ගේ දේවසේවා කාලය තුළ යූදා දේශය පාලනය කළ රජවරුන් හතරදෙනෙකු ගැන සඳහන් කරයි. නමුත් ඊශ්‍රායෙලය පාලනය කළ රජවරුන් අතරින් නම සඳහන් කර ඇත්තේ එක් අයෙකුගේ පමණයි. ඒ ඇයි? ඊට හේතුව වන්නේ දෙවිගේ තෝරාගත් සෙනඟව පාලනය කිරීමට දෙවි අයිතිය දී තිබුණේ දාවිත්ගේ පෙළපතින් පැමිණෙන රජවරුන්ට පමණක් වීමයි. නමුත් ඊශ්‍රායෙල් හෙවත් උතුරු රාජ්‍යයේ රජවරු පැමිණියේ යූදා ගෝත්‍රයේ දාවිත්ගේ පෙළපතින් නොවෙයි.

1:2-9හොෂෙයාගේ බිරිඳ පසු කාලයකදී ඇත්තටම වේශ්‍යාකමෙහි යෙදුණාද? ඔව්. ඔහුගේ පවුල් ජීවිතය හා බැඳි සිදුවීම්, දර්ශනයක් හෝ සිහිනයක් කියා හොෂෙයා කිසිවිටෙක අඟවා නැහැ.

1:7—දෙවි යූදා සෙනඟට දයාව පෙන්වා ඔවුන්ව ගලවාගත්තේ කවදාද? ක්‍රි.පූ. 732දී හෙසකියා රජ කළ සමයේයි. ඒ කාලයේදී ඇසිරියානුවන් යෙරුසලම ආක්‍රමණය කරන්න පැමිණියා. එවිට දේවදූතයෙක් විසින් එක රාත්‍රියකදී ඔවුන්ගේ කඳවුරේ සිටි භටයන් 1,85,000ක් විනාශ කර දැම්මා. (2 රාජාවලිය 19:34, 35) යෙහෝවා දෙවි යූදා සෙනඟව බේරාගත්තේ “දුන්නෙන්වත් කඩුවෙන්වත් යුද්ධයෙන්වත් අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන්වත් නොවෙයි.” නමුත් එක දේවදූතයෙකුව පමණක් යොදාගෙනයි.

1:10, 11ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය ක්‍රි.පූ. 740දී බිඳ වැටුණා. එසේනම් ඊශ්‍රායෙල් සෙනඟ යූදා සෙනඟ සමඟ “එකට එකමුතු” වුණේ කොහොමද? ක්‍රි.පූ. 607දී යූදා සෙනඟ බැබිලෝනියේ වහල්භාවයට ගෙන යෑමට පෙර උතුරු රාජ්‍යයේ සිටි ඊශ්‍රායෙල් සෙනඟගෙන් බොහෝදෙනෙක් යූදා දේශයට පැමිණ සිටියා. (2 ලේකම් 11:13-17; 30:6-12, 18-20, 25) ක්‍රි.පූ. 537දී බැබිලෝනියේ සිට යුදෙව්වන් නැවත ගම්බිම් කරා පැමිණෙන විට කලින් සඳහන් කළ ඊශ්‍රායෙල්වරුන්ගේ පැවතෙන්නන්ද ඔවුන් සමඟ පැමිණියා.—එස්රා 2:70.

2:21-23‘යෙෂ්‍රෙයෙල්ව බීජ මෙන් පොළොව පුරා වපුරා ඇයට දයාව පෙන්වන්නෙමි’ කියා දෙවි පැවසුවා. ඉන් ඇඟවූයේ කුමක්ද? හොෂෙයාට දාව ගෝමෙර් වැදූ කුලුඳුල් පුත්‍රයාගේ නම යෙෂ්‍රෙයෙල්. (හොෂෙයා 1:2-4) එම නමේ අර්ථය නම් “දෙවි බීජ වපුරයි” යන්නයි. ඊට අනාගත ඉටුවීමක් තිබෙනවා. ක්‍රි.පූ. 537දී ඇදහිලිවන්ත යුදෙව්වන්ව එකට එකතු කර යූදා දේශය පුරා වැපිරීම හෙවත් විසිර වීම එමගින් සංකේතවත් කළා. අවුරුදු 70ක් පුරා පාළුව තිබූ භූමිය දැන් ධාන්‍යද අලුත් වයින්ද තෙල්ද දීමට සූදානම්. කාව්‍යමය ආකාරයෙන් අනාවැකිය පවසන්නේ, එවැනි යහපත් දේ නිපදවීමට ඒවා භූමියෙන් පෝෂණය ඉල්ලයි. භූමිය අහසෙන් වර්ෂාව ඉල්ලයි. අහසද වැසි වලාකුළු ඉල්ලා දෙවිට කන්නලව් කරයි. මේ සෑම දෙයක්ම සිදු වන්නේ නැවත පැමිණි අයගේ අවශ්‍යතා රකින්නයි. පාවුල් හා පේතෘස් හොෂෙයා 2:23 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස එක්රැස් කිරීමටද යොමු දක්වයි.—රෝම 9:25, 26; 1 පේතෘස් 2:10.

අපට ගත හැකි පාඩම්:

1:2-9; 3:1, 2. තමාගේ නොව දෙවිගේ කැමැත්තට අනුව විවාහයක් කරගැනීමට හොෂෙයාට සිදු වුණා. එහිදී ඔහු පෙන්වූ පෞද්ගලික කැප කිරීම ගැන සිතා බලන්න! දෙවිගේ කැමැත්ත වෙනුවෙන් අපගේ පෞද්ගලික කාරණා කොතෙක් දුරට කැප කිරීමට අප සූදානම්ද?

1:6-9. වේශ්‍යාකම මෙන්ම ඔහුගේ නමස්කාරයට ද්‍රෝහි වීමද යෙහෝවා දෙවි එක සේ පිළිකුල් කරයි.

1:7, 10, 11; 2:14-23. දෙවි ඊශ්‍රායෙල් සෙනඟ ගැනත් යූදා සෙනඟ ගැනත් කී දේ එලෙසම ඉටු වුණා. ඉන් පෙනෙන්නේ දෙවිගේ වචනය කිසිවිටෙක බොරු නොවන බවයි.

2:16, 19, 21-23; 3:1-4. අවංකවම පසුතැවිලි වන අයට යෙහෝවා දෙවි සමාව දෙන්න කැමැත්තෙන් සිටිනවා. (නෙහෙමියා 9:17) දෙවි මෙන් අපද අන් අය සමඟ දයානුකම්පාවෙන් යුතුව කටයුතු කළ යුතුයි.

“ඔවුන්ට විරුද්ධව පැමිණිල්ලක්”

(හොෂෙයා 4:1–13:16, NW)

‘දේශයේ වැසියන්ට විරුද්ධව පැමිණිල්ලක් යෙහෝවා දෙවිට තිබේ.’ ඊට හේතුව කුමක්ද? “සත්‍යයවත් ප්‍රේමණීය කරුණාවවත් දෙවි ගැන දැනුමක්වත් මේ දේශයේ වැසියන්ට නැති” නිසයි. (හොෂෙයා 4:1) කැරලිකාර ඊශ්‍රායෙල් සෙනඟ වංචා කර ලාභ ඉපයීම, ලේ වැගිරවීම හා වේශ්‍යාකම මෙන්ම ඔහුගේ නමස්කාරය අතහැර යෑම යනාදියට වරදකරුවන් වී සිටියා. එපමණක්ද නොව, දෙවිගෙන් උපකාරය පතනවා වෙනුවට ‘ඔවුන් ඊජිප්තුවරුන් වෙතට ගියා. ඇසිරියානුවන් පසුපස ගියා.’—හොෂෙයා 7:11.

“ඊශ්‍රායෙල්වරුන් සතුරාගේ අතට පත් වෙයි.” යෙහෝවා දෙවි තම විනිශ්චය ප්‍රකාශ කළේ එලෙසයි. (හොෂෙයා 8:8) යූදා දේශයේ වැසියන්ගේ පාපද සුළු පටු නැහැ. හොෂෙයා 12:2හි පවසන්නේ මෙසේයි. “යූදාට විරුද්ධව යෙහෝවා දෙවිට පැමිණිල්ලක් තිබේ. යාකොබ් කළ දේවල් ගැන දෙවි ඔහුව විභාග කරයි. ඔහු කළ දේවල්වලට දෙවි ඔහුට දඬුවම් දෙනු ඇත.” නමුත් ඔවුන් පෙර සිටි තත්වයට නැවත පැමිණෙන බවට දෙවි පොරොන්දු වෙනවා. “මිනීවළෙන් මම ඔවුන්ව ගලවාගන්නෙමි. මරණයෙන් ඔවුන්ව මුදවාගන්නෙමි.”—හොෂෙයා 13:14.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

6:1-3—“ජනයෙනි, එන්න අපි නැවත යෙහෝවා දෙවිට ළං වෙමු” කියා පවසන්නේ කවුද? දෙවිට ළං වෙන්න කියා නොඇදහිලිකාර ඊශ්‍රායෙල්වරුන් එකිනෙකාව දිරිගන්වනවා විය හැකියි. එසේ කරන්නේ ඔවුන් නම් එය ඇත්තටම පුහු පසුතැවිල්ලක්. ඔවුන් දක්වන කරුණාව “නිකම්ම නිකම් අලුයම මීදුම වැනිය. නිමේෂයකින් නැති වී යන පිනි වැනිය.” (හොෂෙයා 6:4) අනෙක් අතට දෙවිට ළං වෙන්න කියා සෙනඟට පවසන්නේ හොෂෙයා විසින්ම විය හැකියි. එය කවුරුන් විසින් කළත් නොහික්මුණු ඊශ්‍රායෙල් සෙනඟ අවංක ලෙස පසුතැවිලි වී යෙහෝවා දෙවිට ළං විය යුතු වුණා.

7:4දෙවිට ද්‍රෝහි වූ ඊශ්‍රායෙල් සෙනඟ ‘අවුළුවන ලද උදුනකට’ සමාන කිරීමෙන් පෙන්වූයේ කුමක්ද? ඔවුන්ගේ හිත්වල ඇති පව්කාරකම කොතරම්ද යන්නයි.

අපට ගත හැකි පාඩම්:

4:1, 6. අපට දෙවිගේ අනුමැතිය වුවමනා නම්, අප දිගටම දෙවි ගැන දැනුම ලබාගෙන ඉගෙනගන්නා දේවල් අදාළ කරගත යුතුයි.

4:9-13. අනාචාරයේ යෙදෙන හා බොරු නමස්කාරයේ යෙදෙන අයට යෙහෝවා දෙවි දැඩි ලෙස දඬුවම් කරයි.—හොෂෙයා 1:4.

5:1. දෙවිගේ සෙනඟ අතරේ පෙරමුණ ගෙන කටයුතු කරන අය ඇදහිල්ල අතහැර ගිය අය සමඟ ඇසුරු කිරීමෙන් හෝ ඔවුන්ගේ ප්‍රකාශන කියවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. එසේ නොකළොත්, ඔවුන් අනිත් අයව බොරු නමස්කාරයේ හවුල් වීමට පොලඹවන ‘උගුලක් නැතහොත් එළන ලද දැලක්’ බවට පත් විය හැකියි.

6:1-4; 7:14, 16. වචනෙට පමණක් පසුතැවිලි වීම කුහක මෙන්ම නිරර්ථක දෙයක්. පව්කාරයෙකුට දෙවිගේ දයාව ලබන්න ඕනෑ නම් ඔහු හෘදයාංගමව පසුතැවිලි විය යුතුයි. සැබෑ නමස්කාරය වෙත නැවත හැරී ඒමෙන් එය පෙන්විය යුතුයි. එමෙන්ම ඔහුගේ ක්‍රියාවන් දෙවිගේ උසස් ප්‍රමිතිවලට එකඟ විය යුතුයි.—හොෂෙයා 7:16.

6:6. කෙනෙකු දිගින් දිගටම පව් කිරීමෙන් අඟවන්නේ ඔහුට දෙවි කෙරෙහි ප්‍රේමයේ ඌනතාවක් ඇති බවයි. ඔහු නමස්කාරය හා බැඳි ක්‍රියාවල කොතරම් හවුල් වුණත් ඒ අඩුව පුරවන්න බැහැ.

8:7, 13; 10:13. “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” යන ප්‍රතිපත්තිය සැබෑවක් බව රූප නමස්කාරයට ඇදී ගිය ඊශ්‍රායෙල්වරුන්ට අද්දකින්න සිදු වුණා.—ගලාති 6:7.

8:8; 9:17; 13:16. ඇසිරියානුවන් උතුරු රාජ්‍යයේ අගනුවර වූ සමාරියට විරුද්ධව පැමිණ එය අල්ලාගත් විට ඒ ගැන කියා තිබූ අනාවැකි ඉටු වුණා. (2 රාජාවලිය 17:3-6) ඒ අනුව දෙවි කී ඕනෑම දෙයක් අනිවාර්යයෙන්ම ඉටු කරන බව අපට නිසැක විය හැකියි.—ගණන් කතාව 23:19.

8:14. ක්‍රි.පූ. 607දී යෙහෝවා දෙවි ‘යූදාහි නුවරවලට ගින්නක් එව්වා.’ එය සිදු වූයේ බැබිලෝනිවරුන් අතින්. එමගින් යූදා දේශයත් යෙරුසලමත් පාළු කරන බවට කී අනාවැකිය ඉටු වුණා. (2 ලේකම් 36:19) දෙවිගේ වචනය කිසිදා බොරුවක් වන්නේ නැහැ.—යෝෂුවා 23:14.

9:10. ඊශ්‍රායෙල්වරු, සැබෑ දෙවිට කැප වූ ජාතියක්ව සිටියත් “පෙයෝර් කන්දේ සිටි නින්දිත බාල් දෙවියාට කැප වූහ.” ඔවුන්ගේ අවාදර්ශය හිතට ගෙන යෙහෝවා දෙවිට අපි කර තිබෙන කැපවීමට අනුව ජීවත් වීමට අදිටන් කරගනිමු.—1 කොරින්ති 10:11.

10:1, 2, 12. අප දෙවිට නමස්කාර කළ යුත්තේ අවංක සිතින්. අප ‘ධර්මිෂ්ඨකම නමැති බීජ වපුරනවා’ නම් ‘ප්‍රේමණීය කරුණාව නෙළාගත’ හැකියි.

10:5. බෙතෙල් (තේරුම “දෙවිගේ ගෘහය”) යන නම වෙනුවට හොෂෙයා මෙහිදී බෙත්-ආවෙන් (තේරුම “නින්දිත ගෘහය”) යන නම භාවිත කරනවා. එය බෙතෙල් වෙනුවට දී ඇති නින්දා නාමයක්. බෙත්-ආවෙන් නගරයේ තිබෙන වසු රූපය සතුරු සේනාවන් විසින් ගෙන ගිය විට තමන් නමස්කාර කළ රූපය නැති වූ නිසා සමාරියේ වැසියන් වැලපුණා. රූපයට යම් බලයක් තිබුණා නම් එය රැගෙන යන්න සතුරන්ට ඉඩ දෙයිද? පණ නැති රූප කෙරෙහි විශ්වාසය තැබීම මොන තරම් අඥානකමක්ද!—ගීතාවලිය 135:15-18; යෙරෙමියා 10:3-5.

11:1-4. යෙහෝවා දෙවි සැමවිටම ක්‍රියා කරන්නේ ඉතාම ප්‍රේමණීය ආකාරයටයි. ඒ නිසා ඔහුට කීකරු වීම අපට බරක් නොවෙයි.

11:8-11; 13:14. සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා තම සෙනඟව නිදහස් කරන බවට දෙවි කී වචන ‘ඉටු නොවී නැවත ඔහු වෙත හැරී යන්නේ නැහැ.’ (යෙසායා 55:11, NW) ක්‍රි.පූ. 537දී බැබිලෝනියේ වහල්භාවයෙන් මිදී කුඩා කණ්ඩායමක් යෙරුසලමට නැවත පැමිණියා. (එස්රා 2:1; 3:1-3) දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කී සෑම දෙයක්ම බොරු නොවී ඉටු වෙනවා.

12:6. ප්‍රේමණීය කරුණාව පෙන්වන්නත් යුක්තිය ඉටු කරන්නත් සැමවිටම දෙවි කෙරෙහි විශ්වාසය තබන්නත් අප දැඩි අධිෂ්ඨානයක් ගත යුතුයි.

13:6. ඊශ්‍රායෙල්වරුන් ‘තෘප්තියට පත් වී උඩඟු වුණා. ඔවුන් දෙවිව අමතක කළේ ඒ නිසයි.’ උඩඟු වීමට අප තුළ ඇති නැඹුරුවාවන් ගැන අවදියෙන් සිට ඊට එරෙහි විය යුතුයි.

“යෙහෝවා දෙවිගේ මාර්ග යහපත්ය”

(හොෂෙයා 14:1-9, NW)

හොෂෙයා ආයාචනා කරන්නේ මෙසේයි. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබේ දෙවි වන යෙහෝවා ළඟට නැවත හැරී එන්න. ඔබට මෙවන් විපතක් සිදු වී ඇත්තේ ඔබේම වරදින්ය.” ඊළඟට ඔහු දෙවිගෙන් මෙසේ අයැදින්න කියා සෙනඟට දිරිගන්වනවා. “අප කළ වැරදිවලට සමාව දෙන්න. අපට කරුණාව පෙන්වන්න. එවිට අපේ මුඛයෙන් නැඟෙන ප්‍රශංසාව අපි ඔබට ඔප්පු කරන්නෙමු.”—හොෂෙයා 14:1, 2.

පසුතැවිලි වූ පව්කාරයෙක් යෙහෝවා දෙවි වෙතට හැරී යා යුතුයි. ඉන්පසු ඔහුගේ මඟ පෙන්වීම් පිළිගත යුතුයි. පසුව ඔහු දෙවිව මහිමයට පත් කරන ක්‍රියාවල නිරත විය යුතුයි. ඊට හේතුව කුමක්ද? “යෙහෝවා දෙවිගේ මාර්ග යහපත්ය. ඒ මඟෙහි ගමන් කරන්නේ ධර්මිෂ්ඨයෝය.” (හොෂෙයා 14:9) බොහෝදෙනෙක් ‘අන්තිම දවස්වලදී යෙහෝවා දෙවි වෙතට වෙව්ලමින් පැමිණ ඔහුගේ යහපත්කම අද්දකිනවා’ දැකීම අපට මොන තරම් ප්‍රීතියක්ද!—හොෂෙයා 3:5.

[15වන පිටුවේ පින්තූරය]

හොෂෙයාගේ පවුල් ජීවිතයෙන් පෙන්නුම් කළේ ඊශ්‍රායෙල්වරුන් සමඟ යෙහෝවා දෙවි කටයුතු කළ ආකාරයයි

[17වන පිටුවේ පින්තූරය]

ක්‍රි.පූ. 740දී සමාරියේ වැටීමත් සමඟ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යය නැති වී ගියා