Skip to content

පටුනට යන්න

අර්ථවත් දිවියක් සොයා

අර්ථවත් දිවියක් සොයා

අර්ථවත් දිවියක් සොයා

“පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරත්වා.”—ගීතාවලිය 150:6, නව ලොව පරිවර්තනය, NW.

1. අර්ථවත් දිවියක් සොයා ගිය යෞවනයාගේ අද්දැකීම කුමක්ද?

“මම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගත්තේ මිනිසුන්ට උදව් කරන්න තිබුණු ආශාව හින්දයි. ඒකෙන් ගොඩක් මුදල් උපයන්නත්, හොඳ තත්වයක් ලබාගන්නත් පුළුවන් වෙන නිසා මගේ ජීවිතය සතුටෙන් ගත කරන්න පුළුවන් වෙයි කියලයි මම හිතුවේ. හැබැයි දොස්තර කෙනෙකුට රෝගීන් වෙනුවෙන් කරන්න පුළුවන් දේවලට සීමාවක් තියෙනවා කියලා දැනගත්තාම මම කලකිරුණා. පස්සේ මම චිත්‍ර කලාව හදෑරුවා. ඒකෙනුත් මටම හොඳක් වෙනවා මිසක් අනිත් අයට සේවයක් කරන්න ලැබෙන්නේ නැති නිසා ඒකත් අතහැරලා ගුරු වෘත්තිය භාරගත්තා. ගුරුවරයෙක් විදිහට මට පුළුවන් වුණේ ශිෂ්‍යයන්ට උගන්වන්න විතරයි. ඔවුන්ට අර්ථවත් ජීවිතයක් ගත කරන විදිහ කියලා දෙන්න මට බැරි වුණා.” මෙය පවසනු ලැබුවේ කොරියාවේ ජීවත් වෙන සන්ග් ජින් විසිනුයි. * අද දින අර්ථවත් දිවියක් සොයන දහසකුත් දෙනා අතරින් ඔහු එක්කෙනෙක් පමණයි.

2. (අ) අරමුණක් ඇති ජීවිතයක් ගත කිරීම සඳහා තිබිය යුත්තේ කුමක්ද? (ආ) නිර්මාතෘ අපව පොළොවේ පදිංචි කළේ අරමුණක් ඇතුව බව අප දන්නේ කෙසේද?

2 අරමුණක් ඇති ජීවිතයක් ගත කිරීමට නම් අපට ඉලක්ක තිබිය යුතු අතර අප ඒවා අත් කරගැනීමට උත්සාහ දැරිය යුතුයි. එමෙන්ම ජීවිතයට අර්ථයක්ද තිබිය යුතුයි. නමුත් ජීවිතයට අරමුණක් තිබෙනවාද කියා අපි දන්නේ කොහොමද? අපිව බුද්ධිය, හෘදය සාක්ෂිය සහ සිතීමේ හැකියාව ඇතුව නිර්මාණය කර, පොළොවේ පදිංචි කරවීමෙන් පෙනී යන්නේ මිනිසා සම්බන්ධයෙන් දෙවිට හොඳ අරමුණක් තිබෙන බවයි. ඒ නිසා එම අරමුණ දැනගැනීමටත්, ඒ අනුව ජීවත් වීමටත් අපට හැකියි. නිර්මාතෘගේ අරමුණට එකඟව ජීවත් වුණොත් පමණයි අපේ ජීවිතයට අර්ථයක් එක් වෙන්නේ.

3. දෙවිගේ අරමුණට එකඟව අපේ ජීවිත හැඩගස්වාගැනීමට ඇතුළත් වෙන්නේ කුමක්ද?

3 බයිබලයේ පෙන්වන ආකාරයට මිනිසා සම්බන්ධයෙන් දෙවි බොහෝ දෙවල් අරමුණු කර තිබෙනවා. දෙවි අපිව නිර්මාණය කර තිබෙන ආකාරය ගැන මොහොතකට සිතන්න. එයින් දෙවිගේ පරාර්ථකාමී ප්‍රේමය ඔබ දකින්නේ නැද්ද? (ගීතාවලිය 40:5; 139:14) දෙවිගේ අරමුණට එකඟව අපේ ජීවිත හැඩගස්වා ගන්න නම් අපිත් දෙවි මෙන් එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. (1 යොහන් 4:7-11) එමෙන්ම දෙවිගේ ආඥා පැවැත්වීමත් අවශ්‍යයි.—දේශනාකාරයා 12:13; 1 යොහන් 5:3.

4. (අ) අර්ථවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද? (ආ) අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද?

4 මිනිසා සාමයෙන් හා සතුටින් එකිනෙකා සමඟ ජීවත් වෙමින් මැවිල්ල භුක්ති විඳීමත් දෙවිගේ අරමුණට අයත් වුණා. (උත්පත්ති 1:26; 2:15) නමුත් අද දින සතුට, ආරක්ෂාව හා සිතේ සාමයද ඇතුව ජීවත් වෙන්න නම් අපි කළ යුත්තේ කුමක්ද? සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් ඔහුගේ මව සහ පියා සමඟ ඉන්න විට ලොකු සතුටක් මෙන්ම සුරක්ෂිතබවක්ද අද්දකිනවා. ඒ හා සමානව අපිත් දෙවිට ළං වුණොත් පමණයි අර්ථවත් ජීවිතයක් ගත කරන්න හැකි වෙන්නේ. (හෙබ්‍රෙව් 12:9) තමන් වෙතට ළං වෙන්න අපිට අවස්ථාව සලසා දීමෙන් හා අපේ යාච්ඤාවලට ඇහුම්කන් දීමෙන් යෙහෝවා දෙවිම, ඔහු සමඟ කිට්ටු සබඳතාවක් ඇති කරගැනීමට අපට උදව් කරනවා. (යාකොබ් 4:8; 1 යොහන් 5:14, 15) අපි ඇදහිල්ල ඇතුව ‘දෙවි සමඟ ගමන් කරමින්’ ඔහුගේ මිතුරන් වුණොත් අපිට හැකි වෙනවා දෙවිව සතුටු කරමින් ඔහුට ප්‍රශංසා කරන්න. (උත්පත්ති 6:9NW; හිතෝපදේශ 23:15, 16; යාකොබ් 2:23) අපිට අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි හොඳම ක්‍රමය එයයි. “පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරත්වා” කියා ගීතිකාකරු පැවසුවේ ඒ නිසයි.—ගීතාවලිය 150:6NW.

ඔබේ ජීවිතයේ අරමුණ කුමක්ද?

5. ලෞකික දේවලට ජීවිතයේ ප්‍රමුඛස්ථානය දීම අඥාන දෙයක් වන්නේ ඇයි?

5 අපි ගැනත් අපේ පවුලේ අය ගැනත් අපි සැලකිලිමන් වීම දෙවි අපෙන් බලාපොරොත්තු වන දේට අයත් වෙනවා. දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් තබාගැනීමට ඔවුන්ට උපකාර කිරීමත් ඔවුන්ගේ ශාරීරික ඕනෑ එපාකම් ඉටු කර දීමත් ඊට ඇතුළත්. නමුත් අපේ බාහිර වැඩ කටයුතු නමස්කාරයට බාධා නොවන ආකාරයෙන් කිරීමට අපි වගබලා ගත යුතුයි. (මතෙව් 4:4; 6:33) ඒත් බොහෝදෙනෙක් තමන්ගේ සම්පූර්ණ අවධානය දී තිබෙන්නේ ලෞකික සම්පත් අත් කරගැනීමටයි. එලෙස ලෞකික දේවලින් පමණක් අපේ අවශ්‍යතාවන් ඉටු කරගැනීමට උත්සාහ කිරීම අනුවණ දෙයක්. මේ උදාහරණය සලකා බලන්න. මෑතකදී ආසියාවේ සිටින කෝටිපතීන් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් හෙළි වුණේ “ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට සමාජයේ පිළිගැනීමක් තිබුණත් ඔවුන්ට එතරම් සුරක්ෂිතභාවයක් දැනෙන්නේ නැති” බවයි.—දේශනාකාරයා 5:11.

6. ධන සම්පත් රැස් කරගැනීම සම්බන්ධයෙන් යේසුස් දුන් උපදෙස කුමක්ද?

6 යේසුස් වතාවක් “ධනයේ මුළා කරවන බලපෑම” ගැන සඳහන් කළා. (මාක් 4:19) නමුත් ධනය මුළා කරවන දෙයක් වෙන්නේ කොහොමද? ධනය තිබීමෙන් සන්තෝෂය අද්දකින්න පුළුවන් බව පෙනෙන්න තිබුණත් එය එසේ නොවන නිසා ධනය මුළා කරවනසුලු දෙයක් කියා පැවසිය හැකියි. සලමොන් රජද පැවසුවේ ‘ධනයට ඇලුම් වන්නා තමා කොපමණ ආදායමක් ලැබුවත් සෑහීමට පත් නොවෙයි’ කියායි. (දේශනාකාරයා 5:10NW) ඒ නිසා මුදල් රැස් කරගැනීම වෙත අවධානය දෙන ගමන්ම දෙවිටත් මුළු හදවතින්ම සේවය කරන්න පුළුවන්ද? බැහැ. එයට හේතුව යේසුස් මෙසේ පැහැදිලි කළා. “ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට කිසිවෙකුට නොහැක. මන්ද ඔහු එක්කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරනවා ඇත. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකිනවා ඇත. ඔබට මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.” යේසුස් තම ගෝලයන්ට උනන්දු කළේ ධන සම්පත් රැස් කරන්න කියා නෙවෙයි. ඒ වෙනුවට ඔහු කිව්වේ “ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගන්න” කියායි. ඉන් අදහස් වුණේ “ඉල්ලන්නත් කලින්, ඔබට කුමන දේවල් අවශ්‍යදැයි” දන්න දෙවි ඉදිරියේ හොඳ නාමයක් ඇති කරගැනීමයි.—මතෙව් 6:8, 19-25.

7. “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” අපට හැක්කේ කෙසේද?

7 පාවුල් තිමෝතිට මෙසේ ලිව්වා. “අස්ථිර ධනය කෙරෙහි නොව, භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන දෙවි කෙරෙහි ඔවුන්ගේ බලාපොරොත්තු තබන ලෙස, දැන් පවතින සමාජ ක්‍රමයෙහි සිටින ධනවතුන්ට අණ කරන්න. එමෙන්ම . . . ත්‍යාගශීලී වීමටත්, බෙදාගැනීමට සූදානම්ව සිටීමටත් අණ කරන්න. එසේ කිරීමෙන් සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට හැකි වන ලෙස අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගෙන, එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.” එය මොන තරම් ප්‍රබල උපදෙසක්ද!—1 තිමෝති 6:17-19.

“සැබෑ ජීවිතය” යනු කුමක්ද?

8. (අ) ධන සම්පත් රැස් කිරීමට මිනිසුන් පෙලඹෙන්නේ ඇයි? (ආ) එවැනි අය තේරුම් නොගන්නේ කුමක්ද?

8 “සැබෑ ජීවිතය” ගැන කතා කරද්දී සුඛෝපභෝගි ජීවිතයක් ගැන පින්තූරයක් සමහරුන්ගේ මනසේ මැවෙන්න පුළුවන්. එක් ආසියානු සඟරාවක සඳහන් වුණු දේ සලකා බලන්න. “චිත්‍රපටි හෝ රූපවාහිනිය නරඹන අය ඒවායින් දකින දේවල් ලබාගැනීමට සිහින මවනවා.” එවැනි අය ධන සම්පත් ඇතුළු තවත් දේවල් රැස් කරගැනීම ජීවිතයේ අරමුණ කරගන්නවා. ඒ වෙනුවෙන් තම යෞවන කාලය, සෞඛ්‍යය, පවුල් ජීවිතය හෝ දෙවිට කරන නමස්කාරය පවා ඔවුන් පරිත්‍යාග කරනවා. රූපවාහිනිය අපි ඉදිරියේ මවන වැඩි හරියක් දේවල් සාතන්ගේ බලපෑම යටතේ තිබෙනවා කියා සිතන්නේ කීයෙන් කීදෙනාද? වැඩිදෙනෙක් එයට හසු වී තිබෙන අතර දෙවිගේ අරමුණට විරුද්ධව කටයුතු කරනවා. (1 කොරින්ති 2:12; එෆීස 2:2) ඒ නිසා අද මෙතරම් මිනිසුන් සංඛ්‍යාවක් අසතුටින් සිටීම පුදුමයක් නෙවෙයි!—හිතෝපදේශ 18:11; 23:4, 5.

9. කොතරම් උත්සාහ කළත් මිනිසුන්ට කළ නොහැක්කේ කුමක්ද? ඊට හේතුව කුමක්ද?

9 අද දසත පැතිරී තිබෙන අයුක්තිය, සාගින්න හා ලෙඩ රෝග මර්දනය කරමින් මිනිසුන්ට යම් සෙතක් සලසන්න උත්සාහ කරන පුද්ගලයන් ගැන කිව හැක්කේ කුමක්ද? ඔවුන් දරන ඒ උත්සාහය හා කැපවීම නිසා බොහෝදෙනා ප්‍රයෝජන ලබනවා. නමුත් කොතරම් උත්සාහ කළත් මේ දුෂ්ට සමාජ ක්‍රමය හොඳ තත්වයකට ගෙන එන්න ඔවුන්ට පුළුවන් වෙයිද? බැහැ. හේතුව මේ ‘මුළු ලෝකයම’ සාතන් වන ‘දුෂ්ටයාගේ බලයට යටත්ව’ තිබීමයි. ඔහු කැමති නැහැ මේ ලෝකය හොඳ තත්වයකට පත් වෙනවා දකින්න.—1 යොහන් 5:19.

10. දෙවිගේ සේවකයන්ට “සැබෑ ජීවිතය” භුක්ති විඳින්න ලැබෙන්නේ කවදාද?

10 සියල්ල මේ ජීවිතයෙන් අවසන් වෙනවා නම් එය කොතරම් කනගාටුදායක දෙයක්ද! පාවුල්ට ඒ ගැන හැඟුණු ආකාරය ඔහු මෙසේ විස්තර කළා. “අපට ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තුවක් ඇත්තේ මේ ජීවිතයේදී පමණයි නම්, සියල්ලන්ටම වඩා අනුකම්පා කළ යුත්තේ අපටය.” සියල්ල මේ ජීවිතයෙන් අවසන් වෙනවා කියා සිතන අය “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු” යන ආකල්පය දරනවා. (1 කොරින්ති 15:19, 32) එහෙත් “[දෙවිගේ] පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක්” පැමිණෙන බව අපි හොඳින්ම දන්නවා. (2 පේතෘස් 3:13) එදාට දෙවිට සේවය කරන ක්‍රිස්තියානීන් ස්වර්ගයේ හෝ පොළොවේ “සැබෑ ජීවිතය” එනම් “සදාකාල ජීවනය” භුක්ති විඳිනවා.—1 තිමෝති 6:12.

11. දේවරාජ්‍යය වෙනුවෙන් වෙහෙස වී වැඩ කිරීම නිෂ්ඵල දෙයක් නොවන්නේ ඇයි?

11 මිනිසුන් අද්දකින දුක් කරදර සම්පූර්ණයෙන්ම විසඳිය හැක්කේ දෙවිගේ රාජ්‍යය මගින් පමණයි. එමනිසා අර්ථවත් ජීවිතයක් ගත කිරීමට නම් අපි එම රාජ්‍යය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරමින් දෙවිගේ කැමැත්ත කරමු. (යොහන් 4:34) අපි එසේ කරනවා නම් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳින්න හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි දේවරාජ්‍යට මුල් තැන දීම ජීවිතයේ ඉලක්කය කරගත් තවත් බොහෝ සහෝදර සහෝදරියන් සමඟ හවුල් වී මෙම කාර්යය කරන්නත් හැකි වෙනවා.

පසුතැවීමට හේතු නොවන කැප කිරීම්

12. අද අපි ගත කරන ජීවිතයත් ‘සැබෑ ජීවිතයත්’අතර ඇති වෙනස කුමක්ද?

12 “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය.” මේ වචනවලින් පැහැදිලි වෙන්නේ සාතන්ගේ පාලනය යටතේ තිබෙන දුෂ්ට සමාජය විනාශ වන විට එහි ඇති කීර්තිය, ධන සම්පත් යන සියල්ලත් විනාශ වී යන බවයි. ‘නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතිනවා.’ (1 යොහන් 2:15-17) නැති වී යෑමට නියමිත ධන සම්පත්, කීර්තිය හා ලෞකික ආස්වාදයන්ට වඩා “සැබෑ ජීවිතය” කොතරම් වෙනස්ද! එය කවදාවත් නැති වී යන දෙයක් නෙවෙයි. ඒ නිසා සදාකාල ජීවනය ලබාගැනීම වෙනුවෙන් අපි කරන ඕනෑම කැප කිරීමක් ඉතාමත් වටිනවා.

13. එක් යුවළක් පසුතැවීමට හේතු නොවන ආකාරයෙන් කළ කැප කිරීම කුමක්ද?

13 දේවරාජ්‍යට මුල් තැන දුන්නොත් දෙවි තමන්ව බලාගන්නවා කියන විශ්වාසයෙන් කටයුතු කළ හෙන්රි හා සුසෑන්ගේ අද්දැකීම අපි දැන් සලකා බලමු. (මතෙව් 6:33) ගොඩක් ලොකු ගෙයක ජීවත් වුණොත් ඒකෙ කුලිය ගෙවන්න දෙන්නටම රස්සාවක් කරන්න වෙන නිසා ඔවුන් තීරණය කළා කුලිය අඩු නිවසක ජීවත් වෙන්න. එසේ කිරීමෙන් දරුවන් සමඟ දේවරාජ්‍යයේ වැඩ කටයුතු වෙනුවෙන් වැය කරන්න කාලය සොයාගැනීමට ඔවුන්ට හැකි වුණා. (හෙබ්‍රෙව් 13:15, 16) දිනක් සුසෑන්ගේ කිට්ටු මිතුරියක් ඇයට මෙහෙම කිව්වා. “සුසෑන් මීට වඩා හොඳ ගේක ජීවත් වෙන්න නම් මොනවා හරි කැප කරන්න වෙනවා.” නමුත් හෙන්රි සහ සුසෑන් දැනගෙන හිටියා ‘දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත් පොරොන්දුවේ’ ඉටුවීම ඔවුන්ට අද්දකින්න ලැබෙන්නේ දෙවිට මුල් තැන දුන්නොත් පමණයි කියා. (1 තිමෝති 4:8; තීතස් 2:12) පසු කාලයකදී ඔවුන්ගේ දියණියන් දෙදෙනත් පූර්ණකාලීන දේවසේවකයන් බවට පත් වුණා. අතීතය දිහා හැරිලා බලද්දී ජීවිතයේ වටිනා කියන කිසිම දෙයක් අහිමි නොවූ බවයි ඔවුන්ට දැන් හැඟෙන්නේ. “සැබෑ ජීවිතය” ලබාගැනීම තම ජීවිතයේ අරමුණ කරගත් නිසා ඔවුන් මහත් ප්‍රයෝජන අද්දැක්කා.—ෆිලිප්පි 3:8; 1 තිමෝති 6:6-8.

ලෝකය ‘මුළුමනින්ම භුක්ති නොවිඳින්න’

14. ජීවිතයේ සැබෑ අරමුණ අමතක කර දැමීමෙන් කුමන නරක ප්‍රතිඵල අත්විඳින්න සිදු වෙයිද?

14 ජීවිතයේ අරමුණ අමතක කර දමමින් “සැබෑ ජීවිතය” ලබාගැනීම වෙනුවෙන් දරන වෑයම අපි අතහැරියොත් අපට විශාල අනතුරක් සිදු වෙයි. එවිට අපි “ජීවිතයේ කරදර නිසාත් ධනය නිසාත් සැපසෙල්ලම නිසාත් ගසාගෙන” යන තත්වයකට පත් වෙයි. (ලූක් 8:14) කනගාටුවට කරුණක් වන්නේ සමහරුන්ට එය සිදු වී තිබීමයි. ධන සම්පත් රැස් කරගැනීමට තිබෙන අධික ආශාව හා ‘ජීවිතයේ කරදර නිසා’ කෙනෙක් වෙනත් දිශාවකට යොමු වෙන්න පුළුවන්. (ලූක් 21:34) එවැනි අය ‘ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගෙන’ තිබෙනවා. එමෙන්ම දෙවි සමඟ තිබූ සම්බන්ධතාවද නැති කරගෙන තිබෙනවා. ‘සදාකාල ජීවනය තදින් අල්ලාගෙන’ සිටියේ නැත්නම් මොන තරම් ලොකු විපතකට මුහුණ දෙන්න සිදු වෙනවද!—1 තිමෝති 6:9, 10, 12; හිතෝපදේශ 28:20.

15. ‘ලෝකය මුළුමනින්ම භුක්ති නොවිඳීම’ නිසා එක් පවුලක් අද්දැක්ක ප්‍රතිඵලය කුමක්ද?

15 “මේ ලෝකය භුක්ති විඳින අය මුළුමනින්ම එය භුක්ති නොවිඳින්නන් මෙන්ද විය යුතුය” කියා පාවුල් පැවසුවා. (1 කොරින්ති 7:31) එම උපදෙස කීත් හා බොනී කියන යුවළ හිතට ගත්තා. කීත් මෙසේ පවසනවා. “වෛද්‍යවරයෙක් හැටියට මගේ පුහුණුවීම් ඉවර වෙනවත් එක්කම තමයි මම සාක්ෂිකරුවෙක් විදිහට කැප වෙලා බව්තීස්ම වුණේ. ඕනෙ නම් මගේ මුළු කාලයම රැකියාවට දීලා ගොඩක් සල්ලි හොයාගන්න මට පුළුවන්කම තිබුණා. හැබැයි මම එහෙම කළා නම් පවුලක් හැටියට අපි දෙවිට කරන නමස්කාරයට ඒක ලොකු බාධාවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මගේ බිරිඳ එක්කත් දුවලා පස්දෙනා එක්කත් ගත කරන්න මට කාලය ඉතිරි වෙන්නෙත් නැහැ. ඉතිං මම තීරණය කළා මගේ රැකියාවට වැඩි කාලයක් නොදී ඉන්න. එහෙම කරපු නිසා මට පුළුවන් වුණා හරිම සතුටෙන් අපේ පවුල් ජීවිතය ගත කරන්න. අපිට ඉඳලා හිටලා ටිකක් වැඩිපුර මුදල් ලැබුණත් අපි ඒවා පාවිච්චි කළේ හරිම අරපරෙස්සමින්. පස්සේ කාලෙක අපි ඔක්කොම පූර්ණකාලීන දේවසේවය පටන්ගත්තා. දැන් අපේ දරුවන් පස්දෙනාම විවාහ වෙලා. තුන්දෙනෙකුට දරුවොත් ඉන්නවා. යෙහෝවා දෙවිගේ අරමුණට ජීවිතයේ මුල් තැන දීලා කටයුතු කරන නිසා ඒ හැමදෙනාම ඉන්නේ ගොඩක් සතුටින්.”

දෙවිගේ අරමුණට මුල් තැන

16, 17. බයිබලයේ සඳහන් වෙන්නේ කුමනාකාරයේ හැකියාවන් තිබූ අය ගැනද? ඔවුන් අපේ මතකයේ රැඳී තිබෙන්නේ කවුරුන් ලෙසද?

16 දෙවිගේ අරමුණට එකඟව ජීවත් වූ සහ නොවූ අය ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒවායින් අපි හැමෝටම ඉතා වටිනා පාඩම් ඉගෙනගත හැකියි. (රෝම 15:4; 1 කොරින්ති 10:6, 11) බයිබලයේ සඳහන් නිම්රොද් දෙවිගේ අරමුණට විරුද්ධව කටයුතු කරමින් විශාල නගර ගොඩනැඟුවා. (උත්පත්ති 10:8-12) මෝසෙස් ක්‍රියා කළේ ඊට හාත්පසින්ම වෙනස් විදිහටයි. ඔහු ඊජිප්තුවේ උසස් තත්වයේම සිටින්න අරමුණු කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවිගෙන් ලැබුණු පැවරුමට අවධානය දෙමින් “ඊජිප්තුවේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්ගේ නින්දාව උතුම් සම්පතක්යයි” සැලකුවා. (හෙබ්‍රෙව් 11:26) වෛද්‍යවරයෙක් හැටියට ලූක්, පාවුල් ඇතුළු සෙසු ඇදහිලිවන්තයන් අසනීපව සිටියදී ඔවුන්ට ප්‍රතිකාර කරන්න ඇති. නමුත් ඔහු අන් අය වෙනුවෙන් ඊටත් වඩා වටිනා සේවයක් කළේ දේවසේවකයෙක් හා බයිබල් ලේඛකයෙක් ලෙසයි. පාවුල්ටද නීතිය ගැන මනා දැනුමක් තිබුණා. ඒ වුණත් ඔහුව අපේ මතකයේ රැඳී තිබෙන්නේ නීතිය ගැන මනා දැනුමක් තිබුණු කෙනෙක් ලෙස නෙවෙයි. නමුත් ‘අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්’ වූ කෙනෙක් ලෙසයි.—රෝම 11:13.

17 දාවිත් නිර්භීත සෙන්පතියෙක්, දක්ෂ වීනා වාදකයෙක් හා ගීත රචකයෙක් වුණත් අපේ මතකයට ඔහුව නැඟෙන්නේ ‘දෙවිගේ සිතට එකඟව ක්‍රියා කළ’ කෙනෙක් ලෙසයි. (1 සාමුවෙල් 13:14, NW) දානියෙල් බැබිලෝනියේ ඉතා උසස් නිලයක් දැරුවත් අපි ඔහුව හඳුනන්නේ දෙවිට විශ්වාසවන්තව සිටි අනාගතවක්තෘ කෙනෙක් ලෙසයි. එස්තර්ව අපේ මතකයේ රැඳී තිබෙන්නේ පර්සියාවේ රැජින ලෙස නොව නමුත් නිර්භීතකම හා ඇදහිල්ල සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ ස්ත්‍රියක් විදිහටයි. පේතෘස්, අන්දෘ, යාකොබ් හා යොහන් දක්ෂ ධීවරයන් වුණත් ඔවුන්ව අපි හඳුනන්නේ ධීවරයන් විදිහට නොව යේසුස්ගේ ගෝලයන් ලෙසයි. යේසුස්ව අපි දකින්නේ “වඩුවෙක්” ලෙස නෙවෙයි. නමුත් “ක්‍රිස්තුස්” ලෙසයි. (මාක් 6:3; මතෙව් 16:16) මේ සියලුදෙනාටම දක්ෂතාවන්, වත්කම් හා හැකියාවන් තිබුණත් ඔවුන් තේරුම්ගත්තේ සිය ජීවිත තමන්ගේ වෘත්තිය මත නොව නමුත් දෙවිගේ සේවය වටා ගොඩනඟා ගත යුතු බවයි. එමෙන්ම අර්ථවත් ජීවිතයක් ගත කරන්න නම් දේවගරුබිය ඇතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් වටහාගෙන සිටියා.

18. එක් යෞවන ක්‍රිස්තියානියෙක් තීරණය කළේ කුමක් කිරීමටද? ඔහු තේරුම්ගත්තේ කුමක්ද?

18 මුල්ම ඡේදයේ සඳහන් කළ සන්ග් ජින්ද පසුව තේරුම්ගත්තා දෙවිට සේවය කිරීමේ ඇති වටිනාකම ගැන. ඔහු දැන් මෙහෙම කියනවා. “වෛද්‍යවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් හෝ ගුරුවරයෙක් විදිහට වැඩ කරනවාට වඩා මම තීරණය කළා මගේ ජීවිතය දෙවිට කැප කරන්න. දැන් මම දේවසේවකයන්ගේ අවශ්‍යතාව වැඩියෙන් තියෙන පළාතක සේවය කරමින් මිනිසුන්ට සදාකාල ජීවනයට යන මඟ සොයාගන්න උදව් කරනවා. මම මුලින් හිතුවේ නැහැ පූර්ණකාලීන සේවය එච්චර කාර්යබහුල දෙයක් කියලා. ඒත් දැන් මට තේරෙනවා ඒක ලොකු වගකීමක් බව. මගේ පෞද්ගලිකත්වය හදාගෙන විවිධ සංස්කෘතීන්ට අයිති අයට ශුභාරංචිය ගැන උගන්වන එක ලොකු වගකීමක්. ජීවිතය අර්ථවත් එකක් වෙන්න නම් යෙහෝවා දෙවිගේ අරමුණ අපේ අරමුණ කරගන්න ඕනේ කියන එක මම තේරුම්ගත්තා.”

19. ජීවිතයට සැබෑ අර්ථයක් ලැබෙන්නේ කෙසේද?

19 සදාකාල ජීවනය ලබාගැනීමට අවශ්‍ය දැනුම අපිට ලැබී තිබෙන එක මහත් ආශීර්වාදයක්. (යොහන් 17:3) ඒ නිසා අපි කවදාවත් ‘දෙවිගේ මහත් කරුණාව පිළිගෙන, එහි අරමුණ තේරුම්ගැනීමට අපොහොසත්’ නොවෙමු. (2 කොරින්ති 6:1) අපේ වටිනා ජීවිතය හා කාලය යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා යොදවමු. සැබෑ සතුට හා සදාකාල ජීවනය ගෙන දෙන දැනුම අන් අයට ලබා දෙමු. එසේ කිරීමෙන් යේසුස්ගේ මෙම වචනවල ඇති සත්‍යතාව අපිට අද්දකින්න පුළුවන්. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” (ක්‍රියා 20:35) එමගින් අපේ ජීවිතයට සැබෑ අර්ථයක්ද ලැබෙනවා.

[පාදසටහන්]

^ 1 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

ඔබට විස්තර කළ හැකිද?

• අපිට අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි හොඳම ක්‍රමය කුමක්ද?

• ධන සම්පත් රැස් කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල දෙයක් වෙන්නේ ඇයි?

• දෙවි පොරොන්දු වී තිබෙන “සැබෑ ජීවිතය” කුමක්ද?

• දෙවිගේ අරමුණට එකඟව අපේ ජීවිතය ගත කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීන්ට යම් දේවල් කැප කිරීමට සිදු වෙනවා