Skip to content

පටුනට යන්න

පොහොසතෙක් අනුවණ තීරණයක් ගනියි

පොහොසතෙක් අනුවණ තීරණයක් ගනියි

පොහොසතෙක් අනුවණ තීරණයක් ගනියි

දිනක් ආගම දහමට ලැදි නීති ගරුක තරුණ පොහොසතෙක් යේසුස් ළඟට ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී මෙසේ ඇසුවා. ‘යහපත් ගුරුතුමෙනි, සදාකාල ජීවනය ලබාගන්න මා කුමක් කළ යුතුද?’

දෙවිගේ ප්‍රමිති රැකීමෙන් ජීවනය ලබාගත හැකි බව යේසුස් පැවසුවා. තවදුරටත් අවශ්‍ය වන්නේ මොනවාද කියා ඔහු ඇසූ විට යේසුස් මෙසේ පැවසුවා. “මිනී නොමරන්න, පරදාර සේවනයේ නොයෙදෙන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොදෙන්න, ඔබේ පියාටද ඔබේ මවටද ගෞරව කරන්න, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” මේවා මෝසෙස්ට දුන් නීතියේ සඳහන්ව තිබූ ප්‍රධාන නීති අතරින් කීපයක්. එම තරුණයා නැවතත් මෙසේ පැවසුවා. “මම මේ සියල්ල පැවැත්වූයෙමි. එහෙත් මට තව අඩු කුමක්ද?”—මතෙව් 19:16-20.

එවිට “ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති වී” යේසුස් මෙසේ පැවසුවා. “ඔබට එක දෙයක් අඩුය. යන්න. ඔබට තිබෙන සියල්ල විකුණා දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඉන්පසු ඇවිත් මාගේ අනුගාමිකයා වන්න.”—මාක් 10:17-21.

මේ අවස්ථාවේදී තරුණ පොහොසතාට බැරෑරුම් තීරණයක් ගැනීමට සිදු වුණා. ඔහු කුමක් කරයිද? තමන් සතු සියල්ල විකුණා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙයිද? නැත්නම් ඔහු සතු ධන සම්පත් තියාගෙන ඉඳියිද? ඔහු පොළොවේ වස්තු රැස් කරයිද නැත්නම් ස්වර්ගයේ වස්තු රැස් කරයිද? එම තරුණයා නමස්කාරය හා සම්බන්ධ දේවල් අගය කළ බව පැහැදිලි වන්නේ ඔහු මෝසෙස්ට දුන් නීතියට එකඟව ජීවත් වෙමින්, දෙවිගේ අනුමැතිය දිනාගැනීමට තවත් අවශ්‍ය මොනවාද කියා යේසුස්ගෙන් විමසූ නිසයි. අන්තිමේදී ඔහු ගත් තීරණය කුමක්ද? බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ඔහු ඒ කීම ගැන දුක් වී, ශෝකයෙන් යන්න ගියේය. මන්ද ඔහුට බොහෝ ධන සම්පත් තිබුණේය.”—මාක් 10:22.

තරුණ පාලකයා ගත්තේ ඥානවන්ත තීරණයක් නෙවෙයි. ඔහු යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා නම් සදාකාල ජීවිතය උරුම කරගැනීමට ඔහුට අවස්ථාව තිබුණා. අවසානයේදී ඔහුට කුමක් වුණාද කියා බයිබලයේ සඳහන් වී නැහැ. කොහොමවුණත් ඉන් වසර 40කට පමණ පසු රෝමවරුන් විසින් යෙරුසලමත්, යුදයේ වැඩි කොටසකුත් විනාශ කළ බව අපි දන්නවා. එවිට බොහෝ යුදෙව්වන්ට තම ධනයත්, ජීවිතත් අහිමි වුණා.

තරුණ ධනවතා මෙන් නොවී පේතෘස් ඇතුළු අනෙකුත් ගෝලයන් බුද්ධිමත් තීරණයක් ගත්තා. එනම් ඔවුන් “සියල්ල අත්හැර” යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා. එමගින් ඔවුන් කොතරම් ප්‍රයෝජන ලැබුවද! ඔවුන් අත්හැරිය දේවල්වලට වඩා වැඩියෙන් දේවල් ලැබෙන බව යේසුස් ඔවුන්ට පැවසුවා. වඩාත් වැදගත් දේ නම් ඔවුන්ට ඉදිරියේදී සදා ජීවනයද හිමිවීමයි. ඔවුන් ගත් තීරණය ගැන පසුතැවීමට කිසිම හේතුවක් තිබුණේ නැහැ.—මතෙව් 19:27-29.

අපිටත් එදිනෙදා ජීවිතයේදී ලොකු කුඩා තීරණ ගැනීමට සිදු වෙනවා. එවැනි තීරණ ගැන යේසුස් දී ඇති උපදෙස් මොනවාද? අපි එම උපදෙස් පිළිගන්නවාද? එසේ කළොත් අපිටත් මහඟු ලෙස ආශීර්වාද ලැබේවි. යේසුස්ව අනුගමනය කළ හැක්කේ කෙසේද සහ ඔහු පැවසූ දේවලින් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.