Skip to content

පටුනට යන්න

යෝවෙල් සහ ආමොස් පොත්වල විශේෂාංග

යෝවෙල් සහ ආමොස් පොත්වල විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

යෝවෙල් සහ ආමොස් පොත්වල විශේෂාංග

යෝවෙල් තම නාමය දරන පොතේ දෙවිගේ පණිවුඩය හැරුණුකොට වෙනත් විෂයන් ගැන වැඩි යමක් සඳහන් කර නැහැ. උදාහරණයකට ඔහු තමන් ගැන දී තිබෙන එකම තොරතුර වෙන්නේ ඔහු “පෙතුයෙල්ගේ පුත් යෝවෙල්” කියායි. (යෝවෙල් 1:1, නව ලොව පරිවර්තනය, NW) ඒ නිසා ඔහු අනාවැකි පැවසූ කාලය පවා නිශ්චිතව සඳහන් කරන්න බැහැ. පෙනෙන විදිහට ඔහු එසේ කළේ ක්‍රිස්තු පූර්ව 820දී පමණ විය හැකියි. එනම් උසියා යූදාහි රජ වී අවුරුදු නවයක් ගත වූ පසුවයි. යෝවෙල්ට අවශ්‍ය වන්න ඇත්තේ දෙවිගේ පණිවුඩය දැනුම් දීමට මිසක් තමා ගැන විස්තර සපයන්න නෙවෙයි.

එමෙන්ම උසියාගේ පාලන සමයේදී යූදා දේශයේ ජීවත් වූ “එඬේරෙක් ලෙසත් අත්තික්කා ගස් බලාගන්නෙක් ලෙසත් වැඩ” කළ ආමොස්ව අනාගතවක්තෘවරයෙක් ලෙස පත් කරනු ලැබුවා. (ආමොස් 7:14NW) යෝවෙල් යූදා දේශයේ සිටි අතර ආමොස්ව උතුරු දෙසින් වූ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයට යවනු ලැබුවා. නැවතත් ආමොස් යූදා දේශයට පැමිණි පසු තේරුම්ගත හැකි විචිත්‍රවත් භාෂාවකින් තම නාමය දරන ආමොස් පොත ලිව්වා. ඔහු එය ලියා අවසන් කළේ ක්‍රි.පූ. 804දී පමණ විය හැකියි.

“යෙහෝවා දෙවිගේ දවස ළඟය!”

(යෝවෙල් 1:1–3:21)

දළඹුවන්, පළඟැටියන් හා කැරපොත්තන් දේශය ආක්‍රමණය කරන ආකාරය යෝවෙල් දකිනවා. එම කෘමීන්ව සමාන කර තිබෙන්නේ “ගණන් කිරීමට නොහැකි විශාල බලවත් සේනාවකට” හා “ශක්තිමත් මිනිසුන්ටයි.” (යෝවෙල් 1:4; 2:2-7NW) “යෙහෝවා දෙවිගේ දවස ළඟය! ඒ දවස නිසැකවම පැමිණෙන්නේය. එය සර්වපරාක්‍රම තැනැත්තාණන් ගෙනෙන විනාශයේ දවසය.” (යෝවෙල් 1:15NW) ඒ දවස පැමිණීමට කලින් “අවංක චේතනාවෙන් මා වෙතට හැරෙන්න” කියා දෙවි තම සෙනඟගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් එසේ කළොත් දෙවි “තම සෙනඟට අනුකම්පා කර” ‘උතුරෙන් පැමිණෙන සේනාවෙන්’ එනම් කෘමී ආක්‍රමණයෙන් ඔවුන්ව බේරාගන්නවා. යෙහෝවා දෙවිගේ මහත් දවස පැමිණීමට කලින් ඔහු තම සේවකයන්ට සිය බලය ලබා දී “අහසේ සහ පොළොවේ ලකුණු” පෙන්වනවා.—යෝවෙල් 2:12, 18-20, 28-31NW.

‘ඔබේ නගුල් තළවලින් කඩුද දෑකැතිවලින් පිහිද සාදාගෙන’ තමා සමඟ සටන් කිරීමට “යෙහෝෂපාට්ගේ මිටියාවතට පැමිණෙන්න” කියා දෙවි ජාතීන්ට අභියෝග කරනවා. එහිදී දෙවි ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරාජය කරනවා. නමුත් ‘යූදා දේශය සදාකාලයෙන් සදාකාලයට ජනයාගෙන් පිරී’ පවතින බව දෙවි පවසනවා.—යෝවෙල් 3:10, 12, 20NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

1:15; 2:1, 11, 31; 3:14NW.—“යෙහෝවා දෙවිගේ දවස” යනු කුමක්ද? සිය සතුරන් මත දෙවි තම විනිශ්චය ක්‍රියාත්මක කරමින් සිය සෙනඟව ගලවාගන්නා කාලය එම දවසයි. උදාහරණයකට ක්‍රි.පූ. 539දී මේද පර්සියානුවන් බැබිලෝනිය යටත් කරගත් අවස්ථාවේ යම් ලෙසකින් දෙවිගේ දවස ක්‍රියාත්මක වුණා. (යෙසායා 13:1, 6) ඉදිරියේදීද එවැනිම දවසක් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ සියලුම බොරු ආගම් නියෝජනය කරන “මහ බැබිලෝනිය” දෙවි විනිශ්චයට ලක් කරන දවසයි.—එළිදරව් 18:1-4, 21.

2:1-10, 28—කෘමී ආක්‍රමණය ගැන සඳහන් අනාවැකිය ඉටු වී තිබෙන්නේ කෙසේද? යෝවෙල් පොතේ සඳහන් වී ඇති දැවැන්ත කෘමී ආක්‍රමණය ගැන බයිබලයේ වෙනත් පොත්වල සඳහන් වෙන්නේ නැහැ. එසේනම් යෝවෙල් පොතේ විස්තර කරන කෘමී ආක්‍රමණයේ අනාවැකිමය ඉටුවීම සිදු වී තිබෙන්නේ ක්‍රි.ව. 33දී විය හැකියි. ඊට හේතුව එවකට සිටි ක්‍රිස්තියානීන්ට දෙවි තම බලය ලබා දීමෙන් පසු ඔවුන් දේශනා කළ නිසා ආගමික නායකයන්ට එය බලවත් හිරිහැරයක් වීමයි. (ක්‍රියා 2:1, 14-21; 5:27-33) අද දින අපටත් එවැනිම කාර්යයක හවුල් වීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

2:32NW.—‘යෙහෝවාගේ නාමයට අයැදීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් වෙන්නේ එම නාමයට ගැඹුරු ගෞරවයක් දැක්වීම හා එම නාමයෙන් නියෝජනය වන දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමයි.—රෝම 10:13, 14.

3:14NW.—‘තීන්දු දීමේ මිටියාවතෙන්’ අදහස් වෙන්නේ කුමක්ද? එය දෙවිගේ විනිශ්චය විස්තර කිරීමට භාවිත කරන යෙදුමක්. යූදාහි රජකම් කළ යෙහෝෂපාට්ගේ කාලයේදී දෙවි සතුරු ජාතීන්ව යම් මිටියාවතකදී වියවුලට පත් කිරීමෙන් පරාජය කළා. ඒ නිසා එය “තීන්දු දීමේ මිටියාවත” ලෙස හැඳින්වූවා. යෙහෝෂපාට් යන නමේ අර්ථය “යෙහෝවා දෙවි විනිශ්චයකරු” යන්නයි. ඒ නිසා එම මිටියාවත “යෙහෝෂපාට්ගේ මිටියාවත” ලෙසද හැඳින්වෙනවා. (යෝවෙල් 3:2, 12NW) මේ කාලයේදී එම මිටියාවත වන්නේ ජාතීන්ව දෙවි මිදි යන්ත්‍රයේ මිදි මෙන් පොඩි කර දමන සංකේතාත්මක ස්ථානයක්.—එළිදරව් 19:15.

අපට ගත හැකි පාඩම්

1:13, 14. ගැලවීම ලැබීමට නම් අවංක පසුතැවිල්ල හා යෙහෝවා සැබෑ දෙවි බව පිළිගැනීම ඉතා වැදගත්.

2:12, 13. පුරාණයේදී කෙනෙක් තම වැරදි ගැන පසුතැවිලි වූ බව පෙන්වූයේ අන් අය ඉදිරියේ තම ‘වස්ත්‍ර ඉරාගැනීමෙනුයි.’ නමුත් සමහරුන් එය කළේ බොරු මවාපෑමක් ලෙසයි. ඒ වෙනුවට ඔවුන් කළ යුතුව තිබුණේ වැරදි සම්බන්ධයෙන් තම ‘සිත ඉරාගැනීමයි.’ එනම් මුළු හදවතින්ම පසුතැවිලි වීමයි.

2:28-32NW. ‘යෙහෝවා දෙවිගේ මහත් භය උපදවන දවසින්’ බේරෙන්නේ “යෙහෝවා යන දෙවිගේ නාමයට අයැදින” අය පමණයි. “දෙවිගේ මහිමාන්විත දේවල්” ගැන ප්‍රකාශ කිරීමට බාල මහලු සියලු සේවකයන්ට දෙවි තම බලය ලබා දීම ගැන අපි කොතරම් ස්තුතිවන්ත විය යුතුද! (ක්‍රියා 2:11) දෙවිගේ දවස ළං වෙත්ම අපි “ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද” සිටිය යුතුයි.—2 පේතෘස් 3:10-12.

3:4-8, 19. දෙවිගේ සෙනඟට පීඩා කිරීම සම්බන්ධයෙන් යූදා දේශය අවට සිටි ජාතීන් දෙවිට ගණන් දිය යුතු බව යෝවෙල් පැවසුවා. එම අනාවැකි සැබෑ කරවමින් තීර් වැසියන්ගේ ගොඩබිම් නගරය නෙබුකද්නෙෂර් රජු විනාශ කර දැමුවා. පසු කාලයකදී ඔවුන්ගේ දූපත් නගරය මහ ඇලෙක්සැන්ඩර් අතින් විනාශයට පත් වූ අතර තීර් වැසියන් 30,000ක් වහලුන් ලෙස විකුණනු ලැබුවා. එමෙන්ම ඔවුන්ගේ සෙබලුන් හා අධිපතීන්ව පවා මරා දැමුවා. ඇලෙක්සැන්ඩර් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් අතින් පිලිස්තිවරුන්ද පහර කෑවා. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී ඒදොම් දේශයද පාළු වුණා. (මලාකි 1:3) ඉන් පැහැදිලි වෙන්නේ අද දිනත් දෙවිගේ සෙනඟට පීඩා කරන ජාතීන්ට දෙවි දඬුවම් කරන බවයි. එමෙන්ම දෙවිගේ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙන බවත් ඉන් ඔප්පු වෙනවා.

3:16-21NW. ‘අහසත් පොළොවත් දෙදරා යනවා.’ දෙවිට විරුද්ධ වූ අය විනිශ්චයට ලක් වෙනවා. ‘නමුත් යෙහෝවා දෙවි තම සෙනඟගේ රැකවරණය’ වෙමින් ඔවුන්ට පාරාදීස පොළොවක් තුළ සදාකාල ජීවනය ලබා දෙනවා. එමනිසා මේ දුෂ්ට සමාජ ක්‍රමය මතට දෙවි සිය විනිශ්චය ගෙනෙන කාලය ආසන්න වෙත්ම අපි තව තවත් යෙහෝවා දෙවිට ළං විය යුතුයි.

‘ඔබේ දෙවි කවුද කියා ඔබ තේරුම්ගනීවි’

(ආමොස් 1:1–9:15)

දෙවිගේ සෙනඟට පීඩා කළ සිරියාව, පිලිස්තිය, තීර්, ඒදොම් සහ මෝවබ් යන ඊශ්‍රායෙල් අවට ජාතීන්ට විනාශය ළඟ ළඟම පැමිණෙන බව ආමොස් පවසනවා. එමෙන්ම “යෙහෝවා දෙවිගේ නීතිය ප්‍රතික්ෂේප” කිරීම නිසා යූදාද විනාශ වීමට නියමිතයි. (ආමොස් 2:4NW) ඊශ්‍රායෙල්හි දස ගෝත්‍ර රාජ්‍යයටද සිදුවීමට යන්නේ එයයි. ඔවුන් දිලිඳු ජනතාවට හා දෙවිගේ අනාගතවක්තෲන්ට පීඩා කරමින් දුරාචාරමය ජීවිත ගත කළා. ඒ නිසා ආමොස් මාර්ගයෙන් දෙවි ඔවුන්ට පවසන්නේ මෙයයි. “බෙතෙල් නගරයේ සෑදූ පූජාසන ගැනත් ඔවුන්ට ගණන් දෙන්න සිදු වෙයි.” තවදුරටත් දෙවි පවසන්නේ “ඔවුන් ශීත කාලයේදී පදිංචි වන ගෙවල් පමණක් නොව, ග්‍රීෂ්ම කාලයේදී වාසය කරන ගෙවල්ද මම කඩා දමන්නෙමි” කියායි.—ආමොස් 3:14, 15NW.

රූප වන්දනාවේ යෙදෙන ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දඬුවම් කළත් ඔවුන් දිගටම මුරණ්ඩු ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ව ‘දමස්කය නගරයෙනුත් බොහෝ ඈතට රැගෙන යෑමට’ නියමිතයි. ඉන් අදහස් වෙන්නේ ඔවුන්ව අෂූරියයන් අතට පත් වෙන බවයි. (ආමොස් 5:27NW) එවිට “දෙවි කවුද කියා” ඔවුන් තේරුම්ගන්නවා. (ආමොස් 4:12NW) වසු නමස්කාරයට සම්බන්ධ පූජකයෙකුගෙන් ආමොස්ට තර්ජන ආවත් ඔහු පසු බැස්සේ නැහැ. යෙහෝවා දෙවි ආමොස් මාර්ගයෙන් මෙසේ පවසනවා. “මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ අවසානය ළංව තිබේ. මම තවදුරටත් ඔවුන්ට සමාව නොදෙන්නෙමි.” (ආමොස් 8:2NW) ඔවුන් පොළොවේ ගැඹුරුම තැන්වල සැඟවුණත් කඳු මුදුනේ සැඟවුණත් දෙවිගේ විනිශ්චයෙන් බේරෙන්න බැහැ. (ආමොස් 9:2, 3) නමුත් දෙවි මෙම පොරොන්දුවද සපයනවා. “මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි. ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය. මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු වතු වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.”—ආමොස් 9:14NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

4:1NW.—‘බාෂාන් දේශයේ එළදෙනුන්’ යනු කවුරුන්ද? ගලීල මුහුදට නැඟෙනහිරෙන් පිහිටි උස් සමභූමියක් වූ බාෂාන් දේශයේ එළදෙනුන් ඇතුළු තවත් සතුන් හොඳින් වර්ධනය වුණා. ඊට හේතුව නම් එහි බහුලව තණකොළ වැඩීමයි. ආමොස් සාමාරියේ සිටි සැප ජීවිකාවන් ගත කළ කාන්තාවන්ව සමාන කළේ එම එළදෙනුන්ටයි. ඒ අය දුප්පත් මිනිසුන්ට වංචා කර මුදල් ලබාගැනීමට තම ‘ස්වාමිවරුන්ව’ එනම් ස්වාමිපුරුෂයන්ව පෙලඹෙව්වා.

4:6—‘දත්වල පවිත්‍රකම’ යන යෙදුමෙන් අදහස් වන්නේ කුමක්ද? මෙය යොදාගෙන තිබෙන්නේ “කෑම හානිය” යන යෙදුම සමඟයි. ඉන් පෙනී යන්නේ සාගතය පැවති කාලයේ ආහාර ගැනීමට නොහැකි වූ නිසා දත් පවිත්‍රව තිබූ බවයි.

5:5NW.—ඊශ්‍රායෙල්වරුන්ට “බෙතෙල් නගරය සොයා නොයන්න” කියා පැවසුවේ කුමන අර්ථයෙන්ද? යෙරොබෝවම් රජ බෙතෙල් නගරයේ වසු නමස්කාරය පිහිටුවීමත් සමඟ එය බොරු නමස්කාරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. ගිල්ගාල් හා බෙයර්-ෂෙබා නගරවලද බොරු නමස්කාරය සිදු වෙන්න ඇති. පැමිණීමට නියමිත විනාශයෙන් ගැලවීමට නම් ඊශ්‍රායෙල්වරු බොරු නමස්කාරය සඳහා විවිධ නගරවලට යෑමෙන් වැළකී දෙවි වෙතට හැරිය යුතු වුණා.

7:1NW.—‘රජතුමාගේ සතුන් සඳහා වෙන් කළ තණකොළවලින්’ නියෝජනය වුණේ කුමක්ද? පෙනෙන ආකාරයට එමගින් රජුගේ අසරුවන්ව හා සතුන්ව බලාගැනීම සඳහා අය කළ බද්දක් නියෝජනය වුණා. එම බදු රජට ගෙවිය යුතු වුණේ “අන්තිමට වැපුරූ බීජ දළුලන කාලයේදීයි.” ඉන්පසුවයි සෙනඟට අස්වැන්න නෙළීමට හැකි වුණේ. නමුත් එසේ කිරීමට කලින් පළඟැටියන් ඇවිත් සියලුම වගාවන් නැති නාස්ති කර දමනවා.

8:1, 2NW.—‘පලතුරු කූඩයෙන්’ අදහස් කළේ කුමක්ද? ඉන් අදහස් වුණේ යෙහෝවා දෙවිගේ දවස ළඟ බවයි. ඊශ්‍රායෙල්වරු පලතුරු එක්රැස් කළේ අස්වැන්න නෙළන කාලය අවසානයේදීයි. දෙවි ආමොස්ට ‘පලතුරු කූඩයක්’ පෙන්වීමෙන් අදහස් වුණේ ඊශ්‍රායෙල්වරුන්ගේ අවසානය ළඟ බවයි. දෙවි ආමොස්ට පවසන්නේ “මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ අවසානය ළංව තිබේ. මම තවදුරටත් ඔවුන්ට සමාව නොදෙන්නෙමි” කියායි.

අපට ගත හැකි පාඩම්

1: 3, 6, 9, 11, 13; 2:1, 4, 6NW. ඊශ්‍රායෙල් හා යූදා ඇතුළු ඔවුන් අවට සිටි ජාතීන් හයකට දෙවි මෙසේ පවසනවා. “මම මගේ තීරණය වෙනස් නොකරන්නෙමි.” ඉන් පැහැදිලි වෙන්නේ වැරදි කරන්නන්ට දෙවිගේ විනිශ්චයෙන් බේරෙන්නට බැරි බවයි.—ආමොස් 9:2-5.

2:12NW. වෙහෙස මහන්සි වී දෙවිට සේවය කරන පුරෝගාමීන්ට, සංචාරක අවේක්ෂකයන්ට, වෙනත් රටකට ගොස් දෙවිට සේවය කරන අයට හෝ බෙතෙල් පවුලේ සාමාජිකයන්ට ඔවුන්ගේ පූර්ණකාලීන සේවය අත්හැර සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න කියා උනන්දු නොකළ යුතුයි. ඒ වෙනුවට ඔවුන් කරන සේවය දිගටම කරගෙන යෑමට ඔවුන්ව දිරිගැන්විය යුතුයි.

3:8. සිංහයෙක් ගර්ජනා කරන විට බියක් ඇති වෙන්නා සේ “ගොස් මගේ සෙනඟ වන ඊශ්‍රායෙලයට අනාවැකි කියන්න” කියා දෙවි පැවසූ විට ආමොස් දේවගරුබිය නිසා එය කළා. (ආමොස් 7:15NW) දේවරාජ්‍යය ගැන ශුභාරංචිය උද්‍යෝගයෙන් ප්‍රකාශ කිරීම සඳහා අපි තුළත් දේවගරුබිය තිබිය යුතුයි.

3:13-15; 5:11. ආමොස් බැටළුවන් බලාගත් සාමාන්‍ය මිනිසෙක් වුණත් ධනවත් උඩඟු මිනිසුන්ට “විරුද්ධව සාක්ෂි” දීමට අවශ්‍ය ශක්තිය දෙවි ඔහුට සැපයුවා. ඒ හා සමානව අද දිනත් අපි රාජ්‍ය පණිවිඩය ප්‍රකාශ කරන බල ප්‍රදේශයේ මිනිසුන් කුමනාකාරයේ අය වුණත් අපේ කාර්යය සාර්ථකව කිරීමට දෙවි උපකාර කරනවා.

4:6-11; 5:4, 6, 14NW. ඊශ්‍රායෙල්වරු දෙවි වෙතට ‘හැරුණේ නැතත්’ දෙවි ඔවුන්ට කීප වතාවක්ම කිව්වේ “මාව සොයන්න. එවිට ඔබට බේරී ජීවත් වීමට පුළුවන්” කියායි. මේ දුෂ්ට සමාජ ක්‍රමය පැවතීමට දෙවි ඉඩහරින තුරු ඔහු වෙතට හැරෙන්න අපි මිනිසුන්ට උපකාර කළ යුතුයි.

5:18, 19NW. කිසිම සූදානමක් නොමැතිව ‘යෙහෝවා දෙවිගේ දවස එන තෙක් මහත් ආශාවෙන් බලා සිටීම’ අඥාන දෙයක්. එය සමාන කළ හැක්කේ සිංහයෙක් වෙතින් පලා ගියත් වලසෙකුට මුහුණ දී පසුව වලසාගෙන් බේරී දිව්වත් සර්පයෙකුගේ දෂ්ට කිරීමකට ලක් වෙන පුද්ගලයෙකුගේ තත්වයටයි. එමනිසා ඥානවන්තම දේ වන්නේ ‘අවදිව සිටිමින්’ සූදානම්ව සිටීමයි.—ලූක් 21:36.

7:12-17. අපි නිර්භයව හා දැඩි විශ්වාසයක් ඇතුව දෙවිගේ පණිවුඩය ප්‍රකාශ කළ යුතුයි.

9:7-10. අකීකරු ඊශ්‍රායෙල් ජාතිය දෙවිට විශ්වාසවන්තව සිටි ඇදහිලිවන්තයන්ගෙන් පැවතුණත් ඔවුන් දෙවිගේ තෝරාගත් සෙනඟ ලෙස ඊජිප්තුවෙන් මිදීම අද්දැක්කත් කූෂ්වරුන් මෙන් ඔවුන්ටත් දෙවි ඉදිරියේ පිළිගැනීමක් නැහැ. දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා බලපාන්නේ කෙනෙකුගේ පෙළපත නොවෙයි. ඒ වෙනුවට ‘දෙවි කෙරෙහි භය ඇතුව, ධර්මිෂ්ඨකම් කිරීමයි’ වැදගත් වෙන්නේ.—ක්‍රියා 10:34, 35.

අපි කළ යුත්තේ කුමක්ද?

සාතන්ගේ ලෝකය මතට දෙවි සිය විනිශ්චය ගෙනෙන කාලය ඉතා ළඟයි. දෙවි තම සේවකයන්ට ඔහුගේ බලය ලබා දී පැමිණීමට නියමිත ඒ දවස පිළිබඳව අනතුරු ඇඟවීමට ඔවුන්ව සූදානම් කර තිබෙනවා. ඒ නිසා දෙවිව හඳුනාගෙන ‘දෙවිගේ නාමයට අයැදීමට’ හැකි උපරිමයෙන් අපි මිනිසුන්ට ඉගැන්විය යුතුයි.—යෝවෙල් 2:31, 32NW.

“දුෂ්ට දේ පිළිකුල් කර, යහපත් දේ කිරීමට ආශා වන්න. දොරටුව අසල වාඩි වී යුක්තිය ඉටු කරන්න” කියා ආමොස් උනන්දු කරනවා. (ආමොස් 5:15NW) දෙවිගේ දවස ළඟා වෙත්ම මේ දුෂ්ට ලෝකයෙන් හා එහි තිබෙන පිළිකුල් දේවලින් ඉවත් වී දෙවිට ළං වී සිටීම ඥානවන්තම දෙයයි. එසේ කිරීම සඳහා කදිම කාලෝචිත උපදෙස් යෝවෙල් හා ආමොස් පොත්වලින් සොයාගත හැකියි.—හෙබ්‍රෙව් 4:12.

[12වන පිටුවේ පින්තූරය]

“යෙහෝවා දෙවිගේ දවස ළඟ” බව යෝවෙල් පැවසුවා

[15වන පිටුවේ පින්තූර]

ආමොස් මෙන් නිර්භීතව හා දැඩි විශ්වාසයකින් යුතුව අපිත් දෙවිගේ පණිවුඩය දේශනා කළ යුතුයි