Skip to content

පටුනට යන්න

සතුට ගෙන දෙන තීරණ

සතුට ගෙන දෙන තීරණ

සතුට ගෙන දෙන තීරණ

“ඒතීරණේ නොගෙන ඉන්නයි තිබුණේ!” මෙවැනි වදන් කී වතාවක් ඔබේ මුවින් පිට වී ඇද්ද? විවිධ තීරණ ගනිද්දී විශේෂයෙන්ම අපේ ජීවිතවලට බලපාන තීරණ ගද්දී අපි ආසයි පසුතැවීමට හේතු නොවන තීරණ ගන්න. එවැනි තීරණ ගැනීමට අපිට හැක්කේ කෙසේද?

ඒ සඳහා නිවැරදි මෙන්ම ස්ථිර ප්‍රමිති තිබිය යුතුයි. නමුත් එවැනි ප්‍රමිති තිබෙනවාද? බොහෝදෙනෙක් සිතන්නේ එවැනි ප්‍රමිති නැහැ කියායි. එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ පාසැල් ශිෂ්‍යයන් යොදාගෙන කළ සමීක්ෂණයකට අනුව ශිෂ්‍යයන්ගෙන් සියයට 75කගේම අදහස වුණේ හරි වැරැද්ද තීරණය කිරීමට ස්ථිර ප්‍රමිතියක් නැති බවත් ඒ වෙනුවට “වෙනස් වන සංස්කෘතිය අනුව තමන්ම පිහිටුවාගන්නා ප්‍රතිපත්ති” මත තීරණ ගත හැකි බවත්ය.

හරි වැරැද්ද තීරණය වන්නේ පුද්ගලයෙකුගේ හෝ බහුතරයකගේ මතයට අනුව කියා සිතීම සාධාරණද? කොහෙත්ම නැහැ. තම තමන්ට කැමති දේවල් කරන්න නිදහස තිබුණොත් අවුල්සහගත තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසයි නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් සහ උසාවි අවශ්‍ය වෙන්නේ. නීති ක්‍රියාත්මක නොවන තැනක ජීවත් වෙන්න කැමති වෙන්නේ කවුද? සමහරවිට අපිට හරියි කියලා හිතුණු තීරණයක් පස්සේ කාලෙක වැරදියි කියලා හැඟෙන්න පුළුවන්. මිනිස් ඉතිහාසය දෙස බලද්දී බයිබලයේ පවසන මෙම වදන් සත්‍යයක් බව ඔප්පු වී තිබෙනවා. ‘තමාගේ පියවර මෙහෙයවන්න මිනිසාට හැකියාවක් නැත.’ (යෙරෙමියා 10:23, නව ලොව පරිවර්තනය, NW) එසේනම් ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී හොඳ මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කොහෙන්ද?

කලින් ලිපියේ සඳහන් කළ පොහොසත් තරුණයා උපදෙස් ලබාගැනීමට යේසුස් වෙතට ගිය අවස්ථාවේදී යේසුස් දෙවිගේ ව්‍යවස්ථාව යොදාගත්තා. යෙහෝවා දෙවි සියලු ප්‍රඥාවේ සහ දැනුමේ උල්පත බවත්, මිනිසාට අවශ්‍ය හොඳම දේ ඔවුන්ගේ මැවුම්කරු වන දෙවි දන්නා බවත් යේසුස් දැනගෙන හිටියා. ඒ නිසයි යේසුස් මෙසේ පැවසුවේ. “මා උගන්වන දේ මාගේ නොව, මාව එවූ තැනැත්තාට අයිතිය.” (යොහන් 7:16) ඇත්තෙන්ම අපිට හොඳම තේරීම් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙවිගේ වචනයෙන් සොයාගන්න පුළුවන්. අදාළ කරගතහොත් අපට සන්තෝෂය ලැබෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් දැන් සලකා බලමු.

අපි අන් අයට සැලකිය යුතු අයුරු

එකිනෙකා සමඟ ඇති මිත්‍රත්වයට බලපාන මූලික ප්‍රතිපත්තියක් යේසුස් තම කන්ද උඩ දේශනාවේදී ඉගැන්නුවා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.”—මතෙව් 7:12.

උදාහරණයකට යහපත් සමරිතානුවරයා ගැන යේසුස් පැවසූ උපමාව සලකා බලමු. දිනක් මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරවලට ලක් වූ යුදෙව්වෙක් හොඳටම තුවාල වී බිම වැටී සිටියා. ඒ අසලින් ගිය ලෙවීවරයෙක් හා පූජකයෙක් බිම වැටී සිටි මිනිසාව දැක්කත් නොදැක්කා වගේ යන්න ගියා. ඔවුන් “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය” කියා යේසුස් දුන් ආඥාව පිළිපැද්දේ නැහැ. නමුත් එතැනින් ගිය සමරිතානුවරයෙක් එම මිනිසාව දැක බොහෝ අනුකම්පා කොට ඔහුගේ තුවාලවලට බෙහෙත් දමා, තානායමකට ගෙන ගියා. තමාට සලකනවාට කැමති ආකාරයෙන් එම යුදෙව්වාට සැලකූ සමරිතානුවරයා ඇත්තෙන්ම යේසුස් දුන් ආඥාව පිළිපැද්දා.—ලූක් 10:30-37.

අපිට මෙම ප්‍රතිපත්තිය අදාළ කරගත හැකි පැති ගණනාවක් තිබෙනවා. ඔබේ නිවස අසල පදිංචියට අලුතින් පවුලක් ආවායයි සිතන්න. ඔවුන්ව පිළිගැනීමට ඔබ මූලික පියවර ගන්නේ නැත්තේ ඇයි? එම ප්‍රදේශයට හුරුවීමටත්, ඔවුන්ගේ යම් අවශ්‍යතා පිරිමසා ගැනීමටත් ඔවුන්ට උදව් කරන්න ඔබට හැකියි. ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වීමට මුල පිරීමෙන් හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමට අවස්ථාවක් උදා විය හැකියි. එමෙන්ම යෙහෝවා දෙවිට ප්‍රසන්න ආකාරයෙන් හැසිරීමට ලැබීම නිසා ඔබටම තෘප්තිමත් හැඟීමක් ඇති වේවි. එය ඥානවන්ත තීරණයක් නෙවෙයිද?

අන් අයට ප්‍රේම කරන නිසා අපි ගන්නා තීරණ

ඉහත සඳහන් ප්‍රතිපත්තියට අමතරව නැණවත් තීරණ ගැනීමට අවශ්‍ය තවත් වටිනා ප්‍රතිපත්ති යේසුස් සඳහන් කළා. මෝසෙස්ගේ නීතිය තුළ ඇති උතුම්ම ආඥාව කුමක්ද කියා ඇසූ විට යේසුස් මෙසේ පැවසුවා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය. දෙවැන්නද ඒ හා සමානය. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.’ මේ ආඥා දෙක මත මුළු නීතියද අනාගතවාක්‍යයද රඳා පවතී.”—මතෙව් 22:36-40.

යේසුස්ගේ මරණයට පෙර රාත්‍රියේදී ඔහු ගෝලයන්ට “අලුත් ආඥාවක්” දෙමින් එකිනෙකාට ප්‍රේම කරන්න කියා පැවසුවා. (යොහන් 13:34) යේසුස් එය අලුත් ආඥාවක් කියා හැඳින්වූයේ ඇයි? මෝසෙස්ගේ නීතිය තුළත් “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියා ආඥා කර තිබුණා. (ලෙවී කතාව 19:18NW) එමෙන්ම අසල්වැසියන්ට ප්‍රේම කිරීම, මුළු නීතියම රඳා පැවති ආඥා දෙකෙන් එකක් කියාත් ඔහු පවසා තිබුණා නේද? එසේ පවසා තිබුණත් මේ අවස්ථාවේදී යේසුස් ගෝලයන්ට ආඥා කරන්නේ ඊටත් වඩා වැඩි දෙයක් කිරීමටයි. එදිනම රාත්‍රියේදී යේසුස් ගෝලයන්ට පැවසුවා තව ටික මොහොතකින් ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පූජා කරනවා කියා. ඉන්පසු ඔහු පැවසුවේ මෙලෙසයි. “මාගේ ආඥාව මෙයයි. එනම්, මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. යමෙකු තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:12, 13) මෙසේ තමන්ගේ අවශ්‍යතාවලට වඩා අන් අයගේ අවශ්‍යතාවලට මුල් තැන දෙන්න කියා පැවසූ නිසා ඇත්තෙන්ම එය අලුත් ආඥාවක් වුණා.

අපි අපේ ආශාවන් ගැන පමණක් සිතනවා වෙනුවට අන් අයට පරාර්ථකාමී ප්‍රේමය පෙන්විය හැකි පැති ගණනාවක්ම තිබෙනවා. උදාහරණයකට සිතන්න ඔබ ශබ්දය වැඩි කර සංගීතයට සවන් දීමට කැමතියි කියා. නමුත් ඉන් ඔබේ අසල්වැසියන් බාධාවට පත් වෙයි නම් තත්වය කුමක්ද? ඔබට පුළුවන්ද අසල්වැසියාව බාධාවට පත් නොවන විදිහට සංගීතයේ රස විඳින්න? වෙනත් විදිහකින් පවසනවා නම් ඔබට පුළුවන්ද ඔබේ අවශ්‍යතාවලට වඩා අන් අයගේ අවශ්‍යතාවලට මුල් තැන දෙන්න?

තවත් අද්දැකීමක් සලකා බලමු. කැනඩාවේ හිම වැටෙන කාලගුණයක් සහිත දිනක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක්, වයසක තැනැත්තෙක්ව හමුවීමට ගියා. ඔවුන් කතා කර කර ඉද්දී එම තැනැත්තා කිව්වා ඔහුගේ දුර්වල සෞඛ්‍යය තත්වය නිසා ගේ ඉස්සරහ වැටිල තියෙන හිම අයින් කරන්න හැකියාවක් නැහැ කියලා. ඉන් පැයකට විතර පස්සේ ඔහුට ඇහුණා සවලෙන් හිම අරන් දාන සද්දයක්. බලද්දී කලින් ආපු සාක්ෂිකරුවන් දෙන්නා ආයෙත් ඇවිල්ලා ගේ ඉස්සරහ වැටිලා තියෙන හිම සුද්ද කරනවා. එය දුටු වයසක තැනැත්තා පැවසුවේ මෙයයි. “සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා මම අද අද්දැක්කා.” ඔහු කැනඩාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලිපියක් ලියමින් මෙසේ පැවසුවා. “ලෝකයේ අනිත් මිනිස්සුන්ට වගේ අනාගතය ගැන මටත් තිබුණේ ලොකු කලකිරීමක්. හැබැයි දැන් මට අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඕගොල්ලන් ලෝක ව්‍යාප්තව කරන සේවයට මගේ ගෞරවය පුද කරන්න කැමතියි.” ඔව් අපි අනිත් අයට සුළු වශයෙන් හරි උදව් කරද්දී, එමගින් ඔවුන් තුළ හොඳ පෙලඹීමක් ඇති වෙනවා. ඇත්තෙන්ම පරිත්‍යාගශීලී වීමෙන් කොතරම් සතුටක් අද්දැකිය හැකිද!

දෙවි කෙරෙහි ඇති ප්‍රේමය නිසා ගන්නා තීරණ

අපි තීරණ ගනිද්දී සලකා බැලිය යුතු තවත් දෙයක් වන්නේ දෙවිට ප්‍රේම කරන්න කියා යේසුස් පැවසූ ආඥාවයි. යේසුස් එය පැවසුවේ දෙවිට කැප වූ ජාතියක්ව සිටි යුදෙව්වන්ටයි. නමුත් හැම ඊශ්‍රායෙලිතයෙකුටම සිදු වුණා තමන් මුළු ආත්මයෙනුත්, මුළු හදවතිනුත් දෙවිට සේවය කරනවාද කියා තීරණය කිරීමට.—ද්විතීය කතාව 30:15, 16.

ඒ හා සමානව ඔබට දෙවි ගැන තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද කියා ඔබ ගන්නා තීරණවලින් පිළිබිඹු වෙනවා. උදාහරණයකට බයිබලයේ තිබෙන ප්‍රායෝගික වටිනාකම ගැන ඔබේ අගය වැඩි වෙද්දී, යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට බයිබලය ක්‍රමානුකූලව ඉගෙනගන්නවාද නැද්ද කියා තීරණය කිරීමට ඔබට සිදු වෙනවා. ඉගෙනගැනීමට ඔබ තීරණය කළොත් සැබෑ සන්තෝෂය අද්දකින්න ඔබට පුළුවන්. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය.”—මතෙව් 5:3.

තරුණ පාලකයා තමන් ගත් තීරණය ගැන ඇත්තටම පසුතැවුණාද කියා අපි දන්නේ නැහැ. කොහොමවුණත් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ලැබුණු එක ගැන පේතෘස්ට හැඟුණේ කෙසේද කියා අපි දන්නවා. ඔහු මිය යෑමට ආසන්නව සිටියදී එනම් ක්‍රි.ව. 64දී පමණ සෙසු අනුගාමිකයන්ව දිරිගන්වමින් මෙසේ පැවසුවා. “නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුක්තව අන්තිමේදී ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට හැකි වන පිණිස උපරිම ලෙස උත්සාහ කරන්න.” (2 පේතෘස් 1:14; 3:14) අවුරුදු 30කට කලින් යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට තමා ගත් තීරණය ගැන පේතෘස් කවදාවත් පසුතැවුණේ නැහැ. ඒ වෙනුවට සෙසු නමස්කාරකයන්ට ඔවුන් ගෙන තිබූ තීරණයට දිගටම ඇලී සිටින්න කියා දිරිගැන්නුවා.

පේතෘස්ගේ උපදෙස පිළිපැදීමට නම් යේසුස්ගේ ගෝලයෙක් වීමේ වගකීම භාරගෙන දෙවිගේ ආඥා පැවැත්විය යුතුයි. (ලූක් 9:23; 1 යොහන් 5:3) මෙය අභියෝගයක් මෙන් පෙනුණත් යේසුස් ඒ ගැන මෙසේ සහතික කළා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි. මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30.

ආතර්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු වයස අවුරුදු දහයේදී පමණ දක්ෂ වයලින් වාදකයෙක් වීමේ අටියෙන් පුහුණුවක් ලැබුවා. වයස 14දී ඔහුට හැකි වුණා ප්‍රසංග වේදිකාවල පවා වයලිනය වාදනය කරන්න. ඒ වුණත් ඔහු සිටියේ සතුටින් නෙවෙයි. ඔහුත් පවුලේ අයත් දෙවි කෙනෙක් ඉන්නවද, එහෙමනම් ඇයි ඔහු දුෂ්ටකම්වලට ඉඩහරින්නේ කියන එක ගැන කතා කළා. ඔහුගේ පියා නිතරම ආගම උගන්වන ගුරුවරුන්ගෙන් ජීවිතයේ අරමුණ කුමක්ද කියා ප්‍රශ්න කළා. නමුත් සෑහීමට පත් විය හැකි පිළිතුරක් ඔහුට ලැබුණේ නැහැ. පස්සේ ආතර්ගේ පියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුවා. ප්‍රතිඵලයක් හැටියට ඔහුත් පවුලේ අයත් බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා.

කාලයක් ගත වෙද්දී ආතර් තේරුම්ගත්තා දෙවි දුෂ්ටකම්වලට ඉඩහැරීමට හේතුව සහ ජීවිතයේ අරමුණ කුමක්ද කියා. පසුව ආතර් ඇතුළු පවුලේ තිදෙනෙක් පසුතැවීමට සිදු නොවන තීරණයක් ගත්තා. තම ජීවිතය දෙවිට කැප කිරීමට ඔහු තීරණය කළා. ඒ ගැන ආතර් මෙසේ පවසනවා. “මිනිසුන් ඕනෑම දෙයක් කරලා සාර්ථක වෙන්න උත්සාහ කරන මේ ලෝකයේ, දක්ෂ වයලින් වාදකයෙක් වෙනවාට වඩා සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමට දෙවි මට ආශීර්වාද කරපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.”

ආතර් තවමත් වයලීනය වාදනය කරමින් මිතුරන්ව සතුටු කරන්න කැමති වුණත් ඔහුගේ ජීවිතය ඒ වටා බැඳී නැහැ. ඒ වෙනුවට ඔහු මුල් තැන දෙන්නේ දෙවිට කරන සේවයටයි. ඔහු දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරමින් සිටිනවා. ඔබටත් හැකියි පොහොසත් තරුණ පාලකයා මෙන් නොවී, ආතර් මෙන් යේසුස්ගේ අනුගාමිකයෙක් වීමේ ආරාධනය පිළිගෙන සැබෑ සතුට භුක්ති විඳින්න.

[වන පිටුවේ පාඨය 6]

ඔබට හැකියි අන් අයට යහපතක් ගෙන දෙන තීරණ ගන්න

[වන පිටුවේ පාඨය 7]

ඔබ බයිබලය අධ්‍යයනය කරමින් යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වෙනවාද?