Skip to content

පටුනට යන්න

අදට පමණක් ජීවත් නොවන්න

අදට පමණක් ජීවත් නොවන්න

අදට පමණක් ජීවත් නොවන්න

“හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසේද කරදර තිබෙනු ඇත.” එම සුප්‍රසිද්ධ වදන් පැවසුවේ යේසුස් විසිනුයි.—මතෙව් 6:34.

මේ වදන්වල තේරුම කුමක්ද? ඉන් ඇඟවූයේ හෙට දවස ගැන නොසිතා අදට පමණක් ජීවත් විය යුතුයි කියාද? එම වදන් යේසුස් හා ඔහුගේ ගෝලයන් විශ්වාස කළ දෙයට එකඟද?

“කනස්සලු වීම නතර කරන්න”

මතෙව් 6:25-32 දක්වා සඳහන් යේසුස්ගේ කන්ද උඩ දේශනයේ වදන් කියවා බලන්න. එහි මෙසේ කියා තිබෙනවා. “කුමක් කන්නේද කුමක් බොන්නේද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න. . . . අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැත. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය. . . . කනස්සලු වීමෙන් තම ආයු කාලයට කිසිවක් එක් කරගන්න ඔබ අතරෙන් කාට පුළුවන්ද? තවද, ඔබ ඇඳුම් ගැන කනස්සලු වන්නේ කුමටද? තණබිම්වල ලිලී මල් වැවෙන ආකාරයෙන් පාඩමක් ඉගෙනගන්න. ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් නූල් කටින්නේවත් නැත. . . . එබැවින් ‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය.”

යේසුස් තම දේශනය අවසන් කරන්නේ මෙසේයි. ඔහු මුලින්ම පැවසුවේ, “පළමුකොට රාජ්‍යයද [දෙවිගේ] ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ” කියායි. ඔහු ඊළඟට පැවසුවේ මෙසේයි. “එහෙයින් හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසේද කරදර තිබෙනු ඇත. එක දවසක තිබෙන කරදර ඒ දවසට සෑහෙයි.”—මතෙව් 6:33, 34.

ඔබට අවශ්‍ය දේ දෙවි දනී

යේසුස්ගේ ගෝලයන් හා ගොවියන් ඇතුළු තව බොහෝදෙනෙක් එදා ඔහුගේ ඒ වදන් අසාගෙන සිටියා. ‘වපුරන්න, නෙළන්න, ගබඩාවල රැස් කරන්න, නූල් කටින්න හා වෙහෙසී වැඩ කරන්න’ එපා කියා යේසුස් ඔවුන්ට ඇඟෙව්වාද? (හිතෝපදේශ 21:5; 24:30-34; දේශනාකාරයා 11:4) කොහෙත්ම නැහැ. ඔවුන් වෙහෙසී වැඩ නොකළා නම් කන්න අඳින්න දෙයක් නැති නිසා ‘අස්වැන්න නෙළන කාලයේදී සිඟමන්’ යදින්න ඔවුන්ට සිදු වෙනවා නියතයි.—හිතෝපදේශ 20:4, නව ලොව පරිවර්තනය, NW.

කනස්සලු වීම ගැන කුමක් කිව හැකිද? තමන්ට සවන් දෙන අයට සම්පූර්ණයෙන්ම කනස්සල්ලෙන් මිදෙන්න පුළුවන් කියා යේසුස් පැවසුවාද? නැහැ. ඊට හේතුව කනස්සල්ලෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න කිසිවෙකුට බැරි නිසයි. යේසුස් පවා ඔහුව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී දැඩි සිත් වේදනාවකින් හා කනස්සල්ලකින් පසු වුණා.—ලූක් 22:44.

යේසුස් පැවසුවේ සැබෑවක්. අනවශ්‍ය ලෙස කනස්සලු වුණා කියා ඔබ මුහුණ දෙන ගැටලුව විසඳෙයිද? එසේ වදවීමෙන් ඔබේ ආයුෂ දික් වෙයිද? යේසුස් පැවසුවේ කනස්සලු වීමෙන් “ආයු කාලයට කිසිවක් එක් කරගන්න” කිසිවෙකුට නොහැකි බවයි. (මතෙව් 6:27) දිගින් දිගටම කනස්සලු වීමෙන් සිදු වන්නේ ආයුෂ කෙටිවීම පමණයි.

යේසුස් කී දේ ඉතාම ප්‍රායෝගිකයි. අනාගතයේදී සිදු වේයයි සිතන දේවල් ගැන අප කනස්සලු වුණත් ඒවායින් ඇත්තටම සිද්ධ වෙන්නේ කීයෙන් කීයද? දෙවන ලෝක මහා යුධ සමයේදී බ්‍රිතාන්‍ය ජාතික දේශපාලඥයෙක් වූ වින්ස්ටන් චර්චිල් මෙය තේරුම්ගත්තා. ඒ කාලයේදී ඔහු අනාගතයේදී සිදු විය හැකි දේවල් ගැන කනස්සලු වුණ අතර මෙවැනි දෙයක් වාර්තා කළා. “එක මහලු මිනිසෙක් මරණාසන්නව ඉද්දී කියූ කතාවක් මට මතක් වෙනවා. ඔහු මෙහෙම කිව්වා. ‘ජීවිතයේ ගොඩාක් දේවල් ගැන මම කනස්සලු වුණා. නමුත් ඒවායින් ඇත්තටම සිද්ධ වුණේ කීයෙන් කීයද?’” දැඩි කනස්සල්ලක් ඇති කරන ගැටලු හා පීඩනවලට දවස්පතාම අපට මුහුණ දීමට සිදු වෙනවා. එමනිසා ඥානවන්තම දේ වන්නේ හෙට තිබෙන කරදර ගැන සිත සිතා වදවීමෙන් වැළකී සිටීමයි.

‘පළමුකොට රාජ්‍යය නොකඩවාම සොයන්න’

යේසුස් තම සවන් දෙන්නන්ගේ එදිනෙදා අවශ්‍යතා හා හැඟීම් ගැන සැලකිලිමත් වුණත් ඊටත් වඩා දෙයක් ඔහුගේ මනසේ තිබුණා. මිනිසුන් සාමාන්‍යයෙන් තම ජීවිතයේ අවශ්‍යතා ගැන කනස්සලු වෙන බවත් ධන සම්පත් හා විනෝදාස්වාදය සඳහා ලොල්කමක් දක්වන බවත් යේසුස් දැන සිටියා. ඔවුන්ගේ මනස් වැදගත් දේවලින් වෙනතකට යොමු කරවන්න ඒවාට හැකි බවත් ඔහු තේරුම්ගත්තා. (ෆිලිප්පි 1:10) නමුත් කෙනෙක් මෙසේ අසන්න ඉඩ තිබෙනවා. ‘ජීවිතයේ අවශ්‍යතාවන් ලබාගැනීමට වඩා වැදගත් දෙයක් තවත් තිබෙනවාද?’ ඇත්තෙන්ම තිබෙනවා. ඒ, දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවන්. අපේ ජීවිතයේ වැදගත්ම දෙය ලෙස යේසුස් පෙන්වා දුන්නේ “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න” කියායි.—මතෙව් 6:33.

යේසුස්ගේ කාලයේ සිටි මිනිසුන් මුදල් හා ධන සම්පත් වැඩි කරගැනීමට වෙහෙස මහන්සි වූ අතර ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම දෙය වූයේ එයයි. නමුත් යේසුස් තමාට සවන් දුන් අයට උනන්දු කළේ ඊට වඩා වෙනස් දෙයක් කිරීමටයි. එනම් ‘සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපැදීමයි.’—දේශනාකාරයා 12:13NW.

එදා මෙන් ‘මේ සමාජ ක්‍රමය කරදරවලින්ද ධනයේ මුළා කරවන බලපෑම්වලින්ද’ පිරී පවතිනවා. ඒවායේ ඇලී ගැලී සිටියොත් තමාට සවන් දෙන්නන්ගේ ඇදහිල්ල විනාශ වී යා හැකි බව යේසුස් දැන සිටියා. (මතෙව් 13:22) “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය” කියා පාවුල් පවා සඳහන් කළා. (1 තිමෝති 6:9) එම ‘උගුලට’ හසු නොවන්න කියා යේසුස් තම අනුගාමිකයන්ට දිරිගැන්වූවා. උදාහරණයක් හැටියට දෙවි ‘අහසේ කුරුල්ලන්ගේ’ අවශ්‍යතා සපයන බව ඔවුන්ට මතක් කළා. ඒ අනුව බලද්දී දෙවි ඊටත් වඩා කොපමණ වැඩියෙන් ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙනවාද කියා යේසුස් පැහැදිලි කළා. (මතෙව් 6:26, 32) එමනිසා අනවශ්‍ය කාන්සාවෙන් යට නොවීමට ඔවුන් වගබලා ගත යුතු වුණා. තවදුරටත් ඔවුන්ගේ අවශ්‍යතා ලබාගැනීමට ඔවුන්ගේ පැත්තෙන් කළ හැකි සියල්ල කළ පසු ඉතිරිය දෙවිට විශ්වාසයෙන් බාර දෙන්න කියාද ඔවුන්ව දිරිගැන්වූවා.—ෆිලිප්පි 4:6, 7.

“හෙට දවසේද කරදර තිබෙනු ඇත.” යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? එනම් ඉදිරියේදී විය හැකි දේවල් ගැන කරදර වී අද තිබෙන කරදර සමඟ ඒවා පටලවාගත්තොත් ප්‍රශ්නය තවත් උග්‍ර වන බවයි. වෙනත් බයිබල් පරිවර්තනයක එය දක්වා තිබෙන්නේ මෙසේයි. “හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”—මතෙව් 6:34, නව අනුවාදය.

“ඔබගේ රාජ්‍යය පැමිණේවා”

කෙසේවෙතත්, හෙට ගැන අනවශ්‍ය ලෙස කනස්සලු නොවීම හා හෙටක් ගැන නොසිතා කටයුතු කිරීම අතර විශාල වෙනසක් තිබෙනවා. හෙට දවස ගැන නොසිතා කටයුතු කරන්න කියා යේසුස් කිසිවිටෙකත් තම ගෝලයන්ට දිරිගැන්වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ අනාගතය ගැන උනන්දුවක් දක්වන්න කියායි. ඔවුන්ගේ දිනපතා භෝජනය හෙවත් එදිනෙදා අවශ්‍යතා දෙවිගෙන් ඉල්ලිය හැකියි. නමුත් එසේ ඉල්ලද්දී මේ පොළොව මතට දෙවි අනාගතයේදී ගෙන ඒමට නියමිත රාජ්‍යය ගැනත් ඔහුගේ අරමුණු ගැනත් මුලින්ම සඳහන් කරන්න කියා ඔහු පැවසුවා.—මතෙව් 6:9-11.

පුරාණයේ ජීවත් වූ නෝවාගේ කාලයේ සිටි මිනිසුන් මෙන් අප ක්‍රියා නොකළ යුතුයි. “ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටි” බවත් අනාගතයේදී සිදුවීමට නියමිතව තිබූ දේ ගැන ඔවුන් ‘කිසි තැකීමක් නොකළ’ බවත් බයිබලයේ පවසනවා. එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන” ගියා. (මතෙව් 24:36-42) එම අතීත සිදුවීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? එනම් ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල් ගැන මනසේ තබාගෙන ජීවත් වීමේ අවශ්‍යතාවයි. ඒ ගැන බයිබලයේ සඳහන් කර තිබෙන්නේ මෙසේයි. “මේ සියල්ල මෙසේ නැති වී යෑමට තිබෙන හෙයින්, ඔබ කෙබඳු අය විය යුතුදැයි සිතා බලන්න. ශුද්ධ වූ හැසිරීමෙහි නිරත වෙමින්ද දේවභක්තික ක්‍රියා කරමින්ද, යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටිමින්, එය මනසෙහි ප්‍රමුඛව තබාගන්න.”—2 පේතෘස් 3:5-7, 11, 12.

ස්වර්ගයෙහි වස්තු රැස් කරන්න

යෙහෝවා දෙවිගේ දවස “මනසෙහි ප්‍රමුඛව තබාගෙන” අපි ජීවත් වෙමු. එසේ කරනවා නම් අපේ කාලය, ශ්‍රමය, හැකියාවන් වැනි දේවල් යොදාගන්නා ආකාරය ගැන අප පරෙස්සම් වෙනවා. නමුත් අපේ ජීවිතයේ අවශ්‍යතාවන්ට, විනෝදාස්වාදයට හෝ ධනය රැස් කිරීමට වැඩි කාලයක් ගත නොකළ යුතුයි. ඊට හේතුව නම් එසේ කළොත් “දේවභක්තික” ක්‍රියා හෙවත් දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවල නිරත වීමට අපට කාලයක් ඉතිරි නොවන නිසයි. අද ගැන පමණක් සිතා ජීවත් වීමෙන් ලැබෙන ක්ෂණික ප්‍රතිඵල තාවකාලිකයි. එමනිසා යේසුස් කී ලෙස පොළොවෙහි නොව ‘ස්වර්ගයෙහි වස්තු රැස් කරගැනීම’ හෙවත් දෙවි අනුමත කරන දේවල නිරත වීම කොතරම් ඥානවන්තද!—මතෙව් 6:19, 20.

තම අනාගතය ගැන මහත් දේවල් සැලසුම් කළ මිනිසෙක් ගැන උපමාවක් යේසුස් පැවසුවා. ඒ මිනිසා ඔහුගේ ඉඩකඩම්වලින් බොහෝ පලදාවක් රැස් කරගත්තා. පසුව ඔහු සිතුවේ පරණ ගබඩා කඩා දමා වඩා විශාල ඒවා සාදා එහි තම පලදාව රැස් කර තබන්නයි. එයින් කා, බී, සුව පහසු ජීවිතයක් ගත කළ හැකි බවත් ඔහු සිතුවා. එහි ඇති වරද කුමක්ද? එය නම් ඔහු තම ජීවිතයේ මූලිකම දේ කරගත්තේ වස්තුව රැස් කරගැනීමයි. ඔහුගේ ජීවිතයේ දෙවි වෙනුවෙන් කිසිම ඉඩක් තිබුණේ නැහැ. කෙසේවෙතත් පලදාව භුක්ති විඳින්නත් කලින් ඔහු මිය ගියා. ඒ නිසා යේසුස් මෙවන් නිගමනයකට පැමිණෙනවා. “දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නේත් ඒ දේමය.”—ලූක් 12:15-21; හිතෝපදේශ 19:21.

ඔබේ තීරණය කුමක්ද?

ඉහත උපමාවේ සඳහන් කළ මිනිසා කළ වරද ඔබේ අතිනුත් සිදු නොවන්න වගබලා ගන්න. දෙවි අපගේ අනාගතය වෙනුවෙන් සැලසුම් කර තිබෙන්නේ මොනවාද කියා සොයා බලන්න. ඊට අනුකූලව ඔබේ ජීවිතය සකස් කරගන්න. දෙවි ඉදිරියේදී කිරීමට නියමිත දේවල් ගැන මිනිසුන්ගෙන් සඟවා නැහැ. පුරාණයේ විසූ ආමොස් නමැති අනාගතවක්තෘවරයාද පැවසුවේ “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඉදිරියේදී කිරීමට අරමුණු කරන දේ තම සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට හෙළි නොකර කිසිවක් කරන්නේ නැත” කියායි. (ආමොස් 3:7NW) දෙවි තම අනාගතවක්තෲවරුන් මාර්ගයෙන් හෙළි කර තිබෙන දේවල් බයිබලයෙන් සොයා දැනගැනීමට ඔබට හැකියි.—2 තිමෝති 3:16, 17.

ඉතාම ළඟදී මේ මුළු පොළොවටම බලපාන්නාවූ සිදුවීමක් ගැන බයිබලයේ හෙළි කර තිබෙනවා. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය.” (මතෙව් 24:21) ඒ සිදුවීමත් සමඟම දෙවි පොළොවෙන් දුෂ්ටකම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතයි. ඉන්පසු දේවරාජ්‍යයේ පාලනය යටතේ ධර්මිෂ්ඨ මිනිසුන් ජීවත් වන සමාජයක් බිහිවීමටද නියමිතයි. දෙවි එදාට ජීවත් වන මිනිසුන්ගේ ‘ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමා මරණයද වැලපීමද හැඬීමද වේදනාවද නැති කරන’ බව පොරොන්දු වී තිබෙනවා.—එළිදරව් 21:1-4.

එම සිදුවීම් ඉටු වන ආකාරය ගැන බයිබලයෙන් සොයා බැලීම බුද්ධිමත් දෙයක් කියා ඔබ සිතන්නේ නැද්ද? එසේ කිරීමට ඔබට යම් උපකාරයක් අවශ්‍යද? එසේනම්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබට උපකාර කිරීමට ආශාවෙන් සිටිනවා. මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලිවීමෙන් මේ ගැන තවදුරටත් තොරතුරු දැනගැනීමට ඔබට හැකියි. ඒ අනුව, අදට පමණක් ජීවත් නොවී ලස්සන හෙට දවසක් වෙනුවෙන් ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න.

[7වන පිටුවේ පින්තූර]

“කනස්සලු වීම නතර කරන්න. . . . මන්ද හෙට දවසේද කරදර තිබෙනු ඇත”