Skip to content

පටුනට යන්න

ඔබේ හෘදය සාක්ෂියට සවන් දෙන්න

ඔබේ හෘදය සාක්ෂියට සවන් දෙන්න

ඔබේ හෘදය සාක්ෂියට සවන් දෙන්න

‘දෙවිගේ නීතිය නොමැති ජාතීන් ස්වභාවයෙන්ම එහි ඇති දේවල් කරයි.’—රෝම 2:14.

1, 2. (අ) බොහෝදෙනා අන් අයට සැලකිල්ල දක්වා ඇත්තේ කෙසේද? (ආ) ඒ හා සම්බන්ධ බයිබලයේ ඇති උදාහරණ මොනවාද?

දුම්රියපොළේ සිටි විසි හැවිරිදි තරුණයෙක් හදිසියේම මීමැස්මොරය හැදී රේල් පීල්ල මතට ඇද වැටුණා. එය දුටු එක් පුද්ගලයෙක් තම දියණියන් දෙදෙනාවද අතහැර වේදිකාවෙන් පහළට පැන ඒ තරුණයාවත් ඇදගෙන පීල්ල අසල තිබූ කාණුවේ දිගා වුණා. ඒ සමඟම වේගයෙන් පැමිණි දුම්රිය වේදිකාවේ නතර කළා. එහෙත් ඉන් ඔවුන්ට කිසිම හානියක් වුණේ නැහැ. ඒ තරුණයාව බේරාගත් තැනැත්තා වීරයෙක් බව සැමෝම කියා සිටියත් ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “මම එහෙම කළේ වීරයෙක් වෙන්න නෙවෙයි. එහෙම කළ යුතුයි කියා මගේ හිතට දැනුණු නිසයි.”

2 තම ජීවිතය පරදුවට තබා කටයුතු කළ කෙනෙකුව සමහරවිට ඔබත් දන්නවා ඇති. දෙවන ලෝක මහා යුධ සමයේදීත් බොහෝදෙනෙක් තම ජීවිතය ගැනවත් නොතකා තම ජාතියට අයිති නැති අයවත් ආරක්ෂා කළා. එමෙන්ම බයිබලයේ සඳහන් මේ සිද්ධීන්ද සලකා බලන්න. පාවුල් සහ තවත් 275දෙනෙකු රැගත් නැවක් මෝල්ටාව නමැති දූපත ළඟදී අනතුරට ලක් වුණා. එවිට එම දූපතේ සිටි මිනිසුන් දැක්වූ “අසාමාන්‍ය වූ මානව දයාව” ඔබට මතකද? (ක්‍රියා 27:27–28:2) ඒ වගේම සිරියාවේ වහල්භාවයේ සිටි කුඩා ඊශ්‍රායෙල් දැරියද ඇගේ ස්වාමියාගේ යහපත වෙනුවෙන් ඇයට හැකි දේ කළා. (2 රාජාවලිය 5:1-4) තම ජාතියේ මිනිසෙක් පහර කා වැටී සිටිනවා දුටු ලෙවීවරයෙක් සහ පූජකයෙක් ඔහුව ගණන් නොගෙන ගිය ආකාරය යේසුස්ගේ උපමාවක සඳහන් වෙනවා. නමුත් සමරිතානු ජාතිකයෙක් ඔහුව දැක ඒ මිනිසාට කරුණාව පෙන්නුවා.—ලූක් 10:29-37.

3, 4. පරාර්ථකාමිත්වය සහ පරිණාමවාදය අතර ඇති වෙනස කුමක්ද?

3 අද අප ජීවත් වන්නේ ‘යහපතට ප්‍රේම නොකරන, දරුණු’ මිනිසුන් සිටින “කටයුතු කිරීමට අසීරු” කාලයකයි. (2 තිමෝති 3:1-3) ඒ වුණත් අන් අයගේ යහපත උදෙසා පාඩු විඳගෙන වැඩ කරන මිනිසුන් තවමත් සිටිනවා. බොහෝදෙනා “මනුෂ්‍යකම” යන වචනය යොදාගන්නේ එවැනි මිනිසුන්ව හඳුන්වන්නයි.

4 ඕනෑම සමාජයක දැකගත හැකි මේ ස්වභාවය පරිණාමවාදයට එකඟ නැහැ. ඩාවින් පැවසුවේ ජීවීන් තම පැවැත්ම සඳහා නිතරම දුර්වලයාව යටපත් කරගෙන නැඟී සිටින බවයි. මිනිසුන්ද පරිණාමය වී ඇත්තේ මේ ස්වාභාවික ක්‍රියාවලියෙන් බව ඔහු පැවසුවා. නමුත් ජීව විද්‍යාඥයෙක් වන ෆ්‍රැන්සිස් කොලින්ස් පවසන්නේ මිනිසා තුළ ඇති පරාර්ථකාමිත්වය පරිණාමවාදීන්ට විශාල අභියෝගයක් වන බවයි. සමහර මිනිසුන් තමන්ට කිසිම නෑකමක් නැති ඔවුන් නොදන්නා අය වෙනුවෙන් පරාර්ථකාමී ලෙස දිවි පුදා තිබෙනවා. එසේ වන්නේ ඇයි කියා විස්තර කිරීමට පරිණාමවාදීන්ට හැකි වී නැහැ.

හෘදය සාක්ෂිය

5. මිනිසුන් බොහෝවිට කටයුතු කර තිබෙන්නේ කුමකට අනුවද?

5 ඉහත සඳහන් කළ විද්‍යාඥයා පරාර්ථකාමිත්වයේ තවත් පැත්තක් ගැන මෙසේ පවසනවා. “යමක් ආපිට බලාපොරොත්තු නොවී අන් අයට උදව් කරන්න කියා අපට පවසන්නේ අපේ හෘදය සාක්ෂියයි.” * “හෘදය සාක්ෂිය” ගැන ඔහු සඳහන් කරද්දී අපට මතක් වෙන්නේ ඒ ගැන පාවුල් පැවසූ මේ දෙයයි. “නීතිය නොමැති ජාතීන් ස්වභාවයෙන්ම නීතියේ දේවල් කරන විට, නීතිය නොමැතිව සිටියත් ඔවුහු තමන්ටම නීතියක්ව සිටිති. ඔවුන්ගේම හෘදය සාක්ෂියද සාක්ෂි දරමින් ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ටම චෝදනා කරන විට හෝ ඔවුන්ව නිදොස් කරන විට නීතියේ සාරය ඔවුන්ගේ සිත්වල ලියා තිබෙන බව පෙන්වන්නේ ඔවුන්මය.”—රෝම 2:14, 15.

6. සියලු මිනිසුන් දෙවිට වග කිව යුත්තේ ඇයි?

6 තමන් කටයුතු කරන ආකාරය ගැන සෑම මිනිසෙක්ම දෙවිට වග කිව යුතුයි කියා පාවුල් වරක් රෝමවරුන්ට පැවසුවා. ඒ ඇයි? දෙවි ජීවමානව සිටින නිසයි. ඒ බව “ලෝකය මැවීමේ පටන්” මේ දක්වා තිබෙන සාක්ෂිවලින් පැහැදිලිව දැකගත හැකියි. (රෝම 1:18-20; ගීතාවලිය 19:1-4) ඒ වුණත් බොහෝදෙනෙක් මැවිල්ලේ නිර්මාතෘව පිළි නොගෙන ඉතාම පහත් ජීවිතයක් ගත කරනවා. නමුත් දෙවි කැමති වන්නේ එවැනි අය අවංකව පසුතැවිලි වී ඔහුගේ ධර්මිෂ්ඨ නීතිවලට අනුව ජීවත් වෙනවාටයි. (රෝම 1:22–2:6) එසේ කිරීමට දෙවිව දැන සිටි යුදෙව්වන්ට හොඳ හේතු තිබුණා. ඊට හේතුව නම් දෙවි මෝසෙස් තුළින් ඔවුන්ට නීති ප්‍රතිපත්ති දී තිබූ නිසයි. ඔවුන් පමණක් නොව දෙවිගේ අරමුණු ගැන නොදැන සිටි අය පවා දෙවි ජීවමාන කෙනෙක් බවත් ඔවුනුත් දෙවිට වග කිව යුතු බවත් තේරුම්ගන්න අවශ්‍ය වුණා.—රෝම 2:8-13; 3:2.

7, 8. හරි දේ සහ වැරදි දේ පිළිබඳ හැඟීම මිනිසුන් අතර කොතරම් පුළුල්ව පැතිර තිබෙනවාද? ඉන් පැහැදිලි වෙන්නේ කුමක්ද?

7 දෙවි ජීවමාන බව පිළිගෙන ඒ අනුව ජීවත් වීමට කෙනෙකුව පොලඹවන ප්‍රධාන හේතුවක් තිබෙනවා. එය නම් හරි දේ සහ වැරදි දේ අතර වෙනස වටහාගැනීමට අප සෑම කෙනෙකු තුළම තිබෙන සහජ හැකියාවයි. අපට යමක් සාධාරණයි හෝ අසාධාරණයි කියා හැඟෙන්නේ අපගේ හෘදය සාක්ෂිය නිසයි. එය තේරුම්ගැනීමට මෙය ඔබේ සිතේ මවාගන්න. උද්‍යානයක ලිස්සන බෝට්ටුවේ යන්න කුඩා ළමයින් කණ්ඩායමක් පෝලිමේ සිටිනවා. පිටිපස්සේ සිටි ළමයෙක් එකවරම පෝලිම පැන ඉදිරියට යනවා. එය දකින අනෙක් ළමුන් ඊට විරෝධය පළ කරනවා. ඔවුන් එසේ කරන්නේ ඇයි? එය අසාධාරණයි කියා ඔවුන්ට හැඟුණු නිසයි. එසේ හැඟුණේ හරි දේ සහ වැරදි දේ අතර වෙනස ඔවුන්ට දැනෙන නිසයි. වෙනත් විදිහකින් පැවසුවොත් ඔවුන්ගේ හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වීම නිසයි. “නීතිය නොමැති ජාතීන්” ඉඳහිට නොව “ස්වභාවයෙන්ම නීතියේ දේවල් කරන” බව පාවුල් සඳහන් කළා ඔබට මතක ඇති. ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? බහුතරයකට දෙවිගේ නීති ප්‍රතිපත්ති ගැන අවබෝධයක් නැති වුණත් ඔවුන් ඒවා පැවැත්වීමට ස්වභාවයෙන්ම නැඹුරු වන බවයි. ඊට හේතුව වන්නේ හරි දේ කිරීමට ඔවුන් තුළ ඇති සහජ නැඹුරුවාව හෙවත් හෘදය සාක්ෂියයි.

8 මෙවැනි ස්වභාවයක් ලෝකයේ සෑම රටකම පාහේ දැකගන්න පුළුවන්. ඒ ගැන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් සඳහන් කරන්නේ බැබිලෝනිවරුන්, ඊජිප්තුවරුන්, ග්‍රීකයන් පමණක් නොව ඕස්ට්‍රේලියාවේ මෙන්ම ඇමරිකාවේද ආදිවාසීන් පවා “අයුක්තිය, අසාධාරණය මිනී මැරීම, වංචාව, බොරුව හෙළා දකිනවා. අනෙක් අතට මහලු අයට, බාලයන්ට සහ ආබාධිතයන්ට කාරුණිකව සැලකීම ගැන නීති පනවා තිබුණා” කියායි. කලින් සඳහන් කළ ආචාර්ය කොලින්ස්ද පවසන්නේ “හරි වැරැද්ද කුමක්ද යන්න ගැන මිනිස්වර්ගයා දරන එම මතය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දැකගත හැකි” බවයි. ඉන් අපට මතක් කර දෙන්නේ රෝම 2:14හි පාවුල් පැවසූ දේ නොවෙයිද?

ඔබගේ හෘදය සාක්ෂිය ක්‍රියා කරන්නේ කෙසේද?

9. හෘදය සාක්ෂිය කියන්නේ කුමක්ද? එමෙන්ම යම් දෙයක් කිරීමට පෙර එය ඔබට උපකාර කරන්නේ කෙසේද?

9 හෘදය සාක්ෂිය කියන්නේ ඔබගේ ක්‍රියාවන් හරිද වැරදිද කියා තක්සේරු කිරීමට හෝ මැන බැලීමට ඔබටම ඇති හැකියාවයි. එය හරියට ඔබ කරන දේවල් හරියි කියා හෝ වැරදියි කියා ඔබ තුළින්ම ඔබට ඇසෙන කටහඬකට සමානයි. පාවුල්ට ඔහු තුළින් ඇසුණු ඒ කටහඬ ගැන ඔහු පවසන්නේ මෙසේයි. “මගේ හෘදය සාක්ෂිය මා හා එක්ව සාක්ෂි දරන්නේය.” (රෝම 9:1) ඒ අනුව ඔබ යම් දෙයක් කිරීමට පෙර ඒ කටහඬ හෙවත් හෘදය සාක්ෂිය කතා කරනවා ඔබටත් ඇසෙන්න පුළුවන්. ඒ තුළින් ඔබ කිරීමට යන දේ ගැන නැවත සිතා බලන්නත් ඔබ එම ක්‍රියාව කළොත් ඔබට කෙසේ හැඟෙයිද කියා තේරුම්ගන්නත් එය ඔබට උපකාර කරයි.

10. බොහෝ අවස්ථාවලදී හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?

10 නමුත් බොහෝ අවස්ථාවලදී ඔබේ හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වන්නේ යම් දෙයක් කිරීමෙන් පසුවයි. උදාහරණයක් හැටියට සාවුල් රජ දාවිත්ව ලුහුබැඳ පැමිණි එක් අවස්ථාවකදී දෙවි පත් කළ රජුගේ වස්ත්‍රයේ කොනක් දාවිත් රහසිගතව කපාගත්තා. ඉන්පසුව ඒ ගැන ඔහුට හැඟුණේ කෙසේද? බයිබලයේ පවසන්නේ “දාවිත්ගේ සිත ඔහුට වද දෙන්න පටන්ගත්තේය” කියායි. (1 සාමුවෙල් 24:1-5, නව ලොව පරිවර්තනය, NW; ගීතාවලිය 32:3, 5) දාවිත්ගේ හිත වද දුන්නේ ඔහුගේ ක්‍රියාවට ඔහුගේ හෘදය සාක්ෂිය ප්‍රතිචාරය දැක්වූ නිසයි. අපත් යම් වැරදි දෙයක් කළ පසු අපේ සිත අපට දොස් නැඟූ අවස්ථා ඕනෑ තරම් ඇති. සමහරු බදු ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවලදී ඔවුන්ගේ හෘදය සාක්ෂිය වද දීම නිසා පසුව ඒවා ගෙවා දමා තිබෙනවා. තවත් අය රහසිගතව අනාචාරයේ යෙදී ඇති අතර පසුව ඒ ගැන තම විවාහ සහකරුවාට හෙළි කර තිබෙනවා. (හෙබ්‍රෙව් 13:4) අනෙක් අතට කෙනෙක් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරන විට ඉන් තෘප්තියත් මනසේ සාමයත් ඔහුට අද්දකින්න හැකි වෙනවා.

11. මඟ පෙන්වීම සඳහා හෘදය සාක්ෂියට මුළුමනින්ම ඉඩහැරීම භයානක දෙයක් විය හැක්කේ ඇයි? උදාහරණයක් දෙන්න.

11 නමුත් අපට මඟ පෙන්වීම සඳහා හෘදය සාක්ෂියට මුළුමනින්ම ඉඩහැරීම හරිද? එයට සවන් දීම හොඳ දෙයක්. නමුත් ඇතැම්විට ‘අපේ ඇතුළාන්ත මිනිසාගේ’ හඬ හෙවත් හෘදය සාක්ෂිය අපව සම්පූර්ණයෙන්ම නොමඟ යැවිය හැකියි. (2 කොරින්ති 4:16) බයිබලයේ සඳහන් උදාහරණයක් සලකා බලන්න. “කරුණාවෙන් හා බලයෙන් පූර්ණ” මිනිසෙක් වූ ස්තේපන් යේසුස්ගේ අනුගාමිකයෙක්. සමහර යුදෙව්වන් ඔහුට ගල් ගසා මරණයට පත් කළා. සාවුල්ද (පාවුල්) ඒ අසල සිට ස්තේපන්ව ‘මරා දැමීම අනුමත කළා.’ එම ක්‍රියාව ගැන ඒ යුදෙව්වන්ට හැඟුණේ කෙසේද? තමන් කළ දේ හරියි කියා ඔවුන්ට හැඟුණු නිසා ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට වද දුන්නේ නැහැ. සාවුල්ට හැඟුණෙත් එසේමයි. ඔහු ඉන්පසුවත් “ස්වාමීන්ගේ ගෝලයන්ට තර්ජනය කරමින්ද, ඔවුන්ව මරමියි කියමින්ද” කටයුතු කළේ ඒ නිසයි. ඒ අවස්ථාවේදී ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට නිවැරදි මඟ පෙන්වීමක් නොදුන් බව මනාව පැහැදිලියි.—ක්‍රියා 6:8; 7:57–8:1; 9:1.

12. හෘදය සාක්ෂිය අපව නොමඟ යැවිය හැකි එක් හේතුවක් කුමක්ද?

12 සාවුල්ගේ හෘදය සාක්ෂිය එසේ ක්‍රියා කළේ ඇයි? ඊට එක් හේතුවක් විය හැක්කේ ඔහු කිට්ටුවෙන් ඇසුරු කළ අයයි. උදාහරණයකට මෙහෙම සිතන්න. බොහෝවිට පුතාගේ කටහඬ ඔහුගේ පියාට සමානයි. පියාගේ කටහඬේ යම් ලක්ෂණ ඔහුට උපතින්ම පිහිටා තිබුණත් පියාගේ කතා ශෛලිය අනුගමනය කරන්න පුතා උත්සාහ කරනවා විය හැකියි. ඒ හා සමානව යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට දැඩි සේ වෛර කළ මිනිසුන්ව කිට්ටුවෙන් ඇසුරු කළ සාවුල්ටද ඒ අයගේ ඇසුර තදින් බලපාන්න ඇති. (යොහන් 11:47-50; 18:14; ක්‍රියා 5:27, 28, 33) මින් පැහැදිලි වන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය නොමඟ යැවීමට ඔහු කිට්ටුවෙන් ඇසුරු කළ අය හේතු වූ බවයි.

13. අපේ හෘදය සාක්ෂියට බලපෑම් කිරීමට අපේ පරිසරය හේතු විය හැක්කේ කෙසේද?

13 තවත් හේතුවක් නම් අපගේ හෘදය සාක්ෂිය අප ජීවත් වන පරිසරයට, සංස්කෘතියට අනුව හැඩගැසෙන්න ඉඩ තිබීමයි. (මතෙව් 26:73) එය හරියට යම් ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ කතා විලාසයට අනුව කතා කරන්න හුරු වෙනවා වගෙයි. උදාහරණයක් හැටියට පුරාණයේ සිටි ඇසිරියානුවන්ගේ හෘදය සාක්ෂියට සිදු වන්න ඇත්තේ එයයි. ගල් කැටයම්වල දක්වා තිබෙන ආකාරයට ඔවුන් යුද්ධයේදී අල්ලාගත් අයට කෲර ලෙස වධ හිංසා කළා. (නාහුම් 2:11, 12; 3:1) බයිබලයේ පවසා ඇත්තේ ඔවුන්ට දෙවිගේ ප්‍රමිතිවලට අනුව ‘හරි දේ සහ වැරදි දේ පිළිබඳව කිසිම අවබෝධයක් නොතිබුණු’ බවයි. එසේනම් ඒ පරිසරයේ හැදී වැඩුණු කෙනෙකුගේ හෘදය සාක්ෂිය කෙසේ හැඩගැසෙන්න ඇද්ද කියා ඔබට සිතාගන්න පුළුවන්ද? (යෝනා 3:4, 5; 4:11NW) ඒ හා සමානව අදත් කෙනෙකුගේ හෘදය සාක්ෂියට අහිතකර ලෙස බලපෑම් කරන්න ඔහු හැදී වැඩෙන පරිසරය හේතු විය හැකියි.

හෘදය සාක්ෂිය පුහුණු කරන්න

14. හෘදය සාක්ෂිය ගැන අපට උත්පත්ති 1:27න් තේරුම්ගත හැක්කේ කුමක්ද?

14 යෙහෝවා දෙවි ආදම් සහ ඒවට හෘදය සාක්ෂිය නමැති ත්‍යාගය ලබා දුන් අතර ඔවුන්ගෙන් අපටත් එය දායාද වී තිබෙනවා. එමෙන්ම උත්පත්ති 1:27හිසඳහන් වන්නේ අපව නිර්මාණය කර තිබෙන්නේ දෙවිගේ ස්වරූපයෙන් බවයි. ඉන් අදහස් කරන්නේ දෙවි හා සමාන ශරීරයක් අපට තිබෙනවා කියන එක නොවෙයි. ඒ වෙනුවට අපව නිර්මාණය කර තිබෙන්නේ දෙවිගේ ගුණාංග ඇතිවයි. එමෙන්ම දෙවිගේ ප්‍රමිතියට අනුව හරි වැරැද්ද කුමක්ද කියා තේරුම්ගැනීම සඳහා හෘදය සාක්ෂියක්ද ඇතිවයි. එමනිසා අපගේ නිර්මාණකරු වන යෙහෝවා දෙවි ගැන වඩ වඩා ඉගෙනගනිමු. ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගනිමු. ඒ තුළින් අපගේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කිරීමටත් එයින් වඩාත් නිවැරදි මඟ පෙන්වීමක් ලබාගැනීමටත් අපට හැකියි.

15. අපගේ පියා වන දෙවි ගැන දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 අප සැමදෙනාටම ජීවිතය ලබා දී තිබෙන්නේ යෙහෝවා දෙවි නිසා බයිබලයේ ඔහුව අපගේ පියා ලෙසත් හඳුන්වා දී තිබෙනවා. (යෙසායා 64:8) අප ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ පොළොව මත වුණත් ස්වර්ගයේ වුණත් දෙවිව පියාණන් හැටියට අමතන්න අපට හැකියි. (මතෙව් 6:9) මෙසේ අප අපේ දෙවිට වඩාත් ළං වී ඔහු සිතන ආකාරය ගැන ඉගෙනගන්න ආශාවක් ඇති කරගත යුතුයි. (යාකොබ් 4:8) නමුත් බහුතරයක් එසේ කරන්නේ නැහැ. ඔවුන්ව යේසුස්ගේ කාලයේ සිටි සමහර යුදෙව්වන්ට සමාන කළ හැකියි. යේසුස් ඔවුන් ගැන පැවසුවේ මෙසේයි. “ඔබ කිසි කලක ඔහුගේ හඬ ඇසුවේවත් ඔහුගේ රූපය දුටුවේවත් නැත. තවද, ඔහුගේ වචනය ඔබ තුළ පවතින්නේද නැත.” (යොහන් 5:37, 38) අප දෙවිගේ කටහඬ අසා නැති බව ඇත්තයි. ඒ වුණත් ඔහුගේ වචනය වන බයිබලය අපට තිබෙනවා. දෙවි සිතන ආකාරය ගැන තේරුම්ගෙන ඒ අනුව අපගේ ජීවිත සකස් කරගන්න එමගින් අපට හැකි වෙනවා.

16. අපගේ හෘදය සාක්ෂිය පුහුණු කිරීම හා ඊට කීකරුවීම වැදගත් බව යෝසෙප්ගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ කෙසේද?

16 යෝසෙප්, දෙවි සිතන ආකාරය තේරුම්ගත් කෙනෙක්. දිනක් පොතිෆර්ගේ බිරිඳ ඔහුව අනාචාරයට පොලඹවාගන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේදී ඔහු ප්‍රතිචාරය දැක්වූයේ මේ ආකාරයටයි. “මම මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව පව් කරන්නේ කොහොමද?” (උත්පත්ති 39:9NW) ඔහු එම ක්‍රියාවට විරුද්ධ වුණේ යෙහෝවා දෙවිගේ සිත සතුටු කරන්නයි. විවාහය සම්බන්ධයෙන් දෙවි සිතූ ආකාරය ඔහු තේරුම්ගෙන තිබුණා. පුරුෂයෙකුට සිටිය යුත්තේ එක භාර්යාවක් බවත් ඔවුන් දෙදෙනාම “එක මාංසයක්” වන බවත් ඔහු දැන සිටියා. වරක් අබිමෙලෙක් නමැති රජ රෙබෙකාව අයිති කරගන්න උත්සාහ කළා. ඇය විවාහක කාන්තාවක් බව පසුව ඔහු දැනගත් විට, තමා කළේ වරදක් කියා අබිමෙලෙක්ට වැටහී ඔහු ඉන් වැළකී සිටියා. ඒ නිසා දෙවි ඔහුට ආශීර්වාද කළා. මෙම සිද්ධියත් යෝසෙප් අසා තිබෙන්න ඇති. එදා ඔහුට බයිබලයවත් දසපනතවත් තිබුණේ නැති වුණත් ඒ අවස්ථාවේදී දෙවි කටයුතු කළ ආකාරයෙන් අනාචාරය පිළිබඳ දෙවිගේ මතය කුමක්ද කියා යෝසෙප් තේරුම්ගන්න ඇති. ඒ ආකාරයෙන් පුහුණු කර තිබූ ඔහුගේ හෘදය සාක්ෂිය අනාචාරයෙන් වැළැකීමට ඔහුව පෙලඹුවා.—උත්පත්ති 2:24, NW; 12:17-19; 20:1-18; 26:7-14.

17. දෙවිව කිට්ටුවෙන් අනුකරණය කරන්න උත්සාහ කරද්දී යෝසෙප්ට වඩා අපට පහසු ඇයි?

17 යෝසෙප්ගේ කාලයට වෙනස්ව අද අපට මුළු බයිබලයම තිබෙනවා. ඒ නිසා අපගේ පියාණන් වන යෙහෝවා දෙවි අනුමත කරන දේවල් සහ ඔහු හෙළා දකින දේවල් ගැන පුළුල් අවබෝධයක් අපට තිබෙනවා. ශුද්ධ ලියවිල්ල වැඩි වැඩියෙන් අධ්‍යයනය කිරීම මගින් දෙවිට වඩා ළං වෙන්නත් ඔහුව කිට්ටුවෙන් අනුකරණය කරන්නත් අපට හැකියි. එසේ කරද්දී අපගේ හෘදය සාක්ෂිය වඩ වඩා දෙවිගේ ප්‍රමිතිවලට අනුව ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා. එය හරියට යෙහෝවා දෙවිම අපට කතා කරනවා හා සමානයි.—එෆීස 5:1-5.

18. හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළ හැක්කේ කෙසේද?

18 අප ජීවත් වන පරිසරය අපගේ හෘදය සාක්ෂියට බලපාන්නේ කෙසේද? අපගේ නෑයන් සහ වෙනත් අය සිතන හා කටයුතු කරන ආකාරය අපට බලපෑ හැකියි. ප්‍රතිඵලයක් හැටියට අපේ හෘදය සාක්ෂිය අපව නොමඟ යවන්න ඉඩ තිබෙනවා. අප අතීතයේදී කළ දේවල් වෙනස් කරන්න බැරි බව ඇත්තයි. නමුත් අපගේ හෘදය සාක්ෂිය නොමඟ යැවිය හැකි ආශ්‍රිතයන්ගෙන් සහ පරිසරයෙන් ඉවත් වී සිටින්න අපට පුළුවන්. එසේ කිරීමට අපට උපකාර කරන එක් දෙයක් නම් දීර්ඝ කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයව ආශ්‍රය කිරීමයි. ක්‍රිස්තියානි රැස්වීම්වලදී ඒ සඳහා අපට කදිම අවස්ථා උදා වෙනවා. එමෙන්ම හොඳින් පුහුණු කළ හෘදය සාක්ෂියක් ඇති අය විවිධ තත්වයන්වලදී කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කරන්න. කාලයත් සමඟම අපේ හෘදය සාක්ෂියත් ඒ ආකාරයට පුහුණු කරන්න අපට හැකි වෙයි. එසේ කිරීමෙන් දෙවිව වඩා කිට්ටුවෙන් අනුකරණය කළ හැකියි. අවසානයේදී අපට වඩාත් නිවැරදි මඟ පෙන්වීම් ලබා දීමට අපගේ හෘදය සාක්ෂියට හැකි වෙයි.—යෙසායා 30:21.

19. හෘදය සාක්ෂිය පිළිබඳව අප ඊළඟට සලකා බලන්නේ කුමක්ද?

19 නමුත් හෘදය සාක්ෂියට අනුව සමහර තීරණ ගැනීම සමහරුන්ට විශාල අභියෝගයක්. ඒ කුමන අවස්ථාවන්වලදීද සහ ඉන් ජය ගන්නේ කෙසේද කියා ඊළඟ ලිපියේදී අපි සලකා බලමු. හෘදය සාක්ෂිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ ඇයි කියාත් හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන්නේ කෙසේද කියාත් පැහැදිලි අවබෝධයක් ලබන්න එමගින් අපට හැකි වෙයි.—හෙබ්‍රෙව් 6:11, 12.

[පාදසටහන]

^ 5 ඡේ. ඔවන් ගිංග්‍රිච් නමැති මහාචාර්යවරයා පවසන ආකාරයට මිනිසා තුළ දකින්න තිබෙන පරාර්ථකාමිත්වය පැහැදිලි කිරීමට පරිණාමවාදයට නොහැකියි. සමහරවිට මේ පරාර්ථකාමිත්වය අප තුළ දක්නට ලැබෙන්නේ මිනිසුන් වන අපට දෙවිගෙන් ලද හෘදය සාක්ෂියේ ප්‍රතිඵලයක් නිසා විය හැකියි.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• සැමදෙනාටම හෘදය සාක්ෂියක් තිබෙන්නේ ඇයි?

• මඟ පෙන්වීම සඳහා හෘදය සාක්ෂියට මුළුමනින්ම ඉඩහැරීමේ අන්තරාය කුමක්ද?

• හෘදය සාක්ෂිය පුහුණු කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

දාවිත්ගේ හෘදය සාක්ෂිය ඔහුට වද දුන්නත් . . .

සාවුල්ගේ හෘදය සාක්ෂිය ඔහුට වද දුන්නේ නැහැ

[24වන පිටුවේ පින්තූරය]

අපට අපේ හෘදය සාක්ෂිය පුහුණු කළ හැකියි