Skip to content

පටුනට යන්න

ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න

ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න

ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න

“පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නමුත් දූෂ්‍ය වූ, ඇදහිල්ල නැති අයට කිසිවක් පවිත්‍ර නැත.”—තීතස් 1:15.

1. ක්‍රීට්හි සිටි සහෝදරයන් ගැන පාවුල් සැලකිලිමත් වුණේ ඇයි?

පාවුල්ගේ තුන්වන දේශනා සංචාරය අවසානයේදී ඔහුව අත්අඩංගුවට ගත්තා. පසුව ඔහුව රෝමයට ගෙන ගොස් අවුරුදු දෙකක් පුරා සිරගත කර තැබුවා. නිදහස ලැබූ පසු ඔහු කළේ කුමක්ද? ඔහු ක්‍රීට් නමැති කුඩා දිවයිනේ සිටි සහෝදරයන්ව බැහැදකින්න ගියා. ඒ ගමනට තීතස්ද එක් වුණා. ඔහුව එහි නවතා පැමිණි පාවුල් පසුව මෙවැනි දෙයක් ඔහුට ලියා යැව්වා. “මා ඔබව ක්‍රීට්හි නවත්වා ආවේ, මා ඔබට උපදෙස් දුන් පරිදි ඔබ විසින් අඩු පාඩු සකස් කරන පිණිසත්, සෑම නගරයකම වැඩිමහල්ලන්ව පත් කරන පිණිසත්ය.” (තීතස් 1:5) ක්‍රීට්හි සිටි සමහර ක්‍රිස්තියානීන්ගේ හෘදය සාක්ෂිය දෙවිගේ ප්‍රමිතිවලට අනුව පුහුණු කර නොතිබූ නිසා තීතස්ට ලැබුණු පැවරුම එතරම් පහසු දෙයක් වුණේ නැහැ.

2. ක්‍රීට් සභාවේ සිටියේ කුමන ගතිගුණ ඇති අයද?

2 වැඩිමහල්ලන්ව පත් කිරීමේදී ඔවුන්ට තිබිය යුතු සුදුසුකම් ගැන සඳහන් කිරීමෙන් පසු පාවුල් තවත් දෙයක් තීතස්ගේ අවධානයට ලක් කරනවා. එනම් සභාව තුළ සිටින “නොහික්මුණු, නිෂ්ඵල කතා කියන, රැවටිලිකාර” පුද්ගලයන් ගැනයි. ඔවුන් “ඉගැන්විය නොයුතු දේවල් උගන්වමින් පවුල් මුළුමනින්ම අවුල් කරමින්” සිටියා. ඒ නිසා ඔවුන්ට ‘නොකඩවා අවවාද කරන්න’ කියා පාවුල් තීතස්ට පැවසුවා. (තීතස් 1:10-14; 1 තිමෝති 4:7) පාවුල් පැවසූ ආකාරයට ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත් “දූෂ්‍ය” වී තිබුණේ හරියට අලංකාර වස්ත්‍රයක් තීන්ත පැල්ලම් නිසා අවලක්ෂණ වෙනවා වගෙයි. (තීතස් 1:15) පෙනෙන විදිහට එහි සිටි යුදෙව් ආභාෂය තිබූ සමහර ක්‍රිස්තියානීන් තරයේම කියා සිටියේ “චර්මච්ඡේදනය” අවශ්‍ය බවයි. එවැනි මතයක් දරන අය අද දින සභාවන්වල නැතත් පාවුල් තීතස්ට දුන් උපදෙස්වලින් හෘදය සාක්ෂිය ගැන තව බොහෝ දේ අපට ඉගෙනගන්න පුළුවන්.

දූෂ්‍ය වූ හෘදය සාක්ෂියක්

3. හෘදය සාක්ෂිය ගැන පාවුල් තීතස්ට ලිව්වේ කුමක්ද?

3 විවිධ අයගේ හෘදය සාක්ෂි ක්‍රියාත්මක වන ආකාරය ගැන පාවුල් පවසන්නේ මෙසේයි. “පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නමුත් දූෂ්‍ය වූ, ඇදහිල්ල නැති අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් ඔවුන්ගේ හෘදය සාක්ෂියත් දූෂ්‍ය වී තිබේ. ඔවුන් දෙවිව දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත්, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුහු ඔහුව ප්‍රතික්ෂේප කරති.” මින් පැහැදිලි වන්නේ එදා සිටි සමහර ක්‍රිස්තියානීන්ගේ දුර්වල ‘ඇදහිල්ල ශක්තිමත්’ කරගැනීමට අවශ්‍යව තිබූ බවයි. (තීතස් 1:13, 15, 16) ඔවුන්ට තිබූ ගැටලුව නම් පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතර වෙනස වටහාගැනීමට නොහැකි වීමයි. එසේ කිරීමට නම් ඔවුන්ගේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කළ යුතු වුණා.

4, 5. ක්‍රීට්හි සභාවල පැවති තත්වය කුමක්ද? එමෙන්ම එය සමහරුන්ට බලපෑවේ කෙසේද?

4 දෙවිගේ නමස්කාරකයෙකු වීම සඳහා චර්මච්ඡේදනය අවශ්‍ය නැති බව මේ සිද්ධියට අවුරුදු දහයකටත් කලින් එදා තිබූ පාලක මණ්ඩලය තීරණය කර තිබුණා. ඒ බව සභාවන්ටත් දැනුම් දුන්නා. (ක්‍රියා 15:1, 2, 19-29) නමුත් ක්‍රීට්හි සිටි සමහර ක්‍රිස්තියානීන් පැවසුවේ “චර්මච්ඡේදනය” අත්‍යවශ්‍ය බවයි. එවැනි අය පාලක මණ්ඩලය දුන් තීරණයට කෙළින්ම විරුද්ධ වෙමින් “ඉගැන්විය නොයුතු දේවල් උගන්වමින්” සිටියා. (තීතස් 1:10, 11) තවදුරටත් ඔවුන් ආහාර පාන සහ පවිත්‍ර වීම සම්බන්ධයෙන් මෝසෙස්ට දුන් නීතියේ අඩංගු නීති උලුප්පා දක්වමින් විකෘති දේවලුත් ඉගැන්නුවා විය හැකියි. එමෙන්ම යේසුස්ගේ කාලයේ සිටි නීතිය ගැන උගන්වන්නන් මෙන් මොවුන්ද යුදෙව් ප්‍රබන්ධ කථා සහ මිනිසුන් පැනවූ නීතිවලට මූලික තැන දෙමින් සිටියා විය හැකියි.—මාක් 7:2, 3, 5, 15; 1 තිමෝති 4:3.

5 එවැනි දේවල් නිසා ඔවුන්ගේ මනස් දූෂ්‍ය වී තිබුණා. ඒ නිසා හෘදය සාක්ෂියේ මඟ පෙන්වීමට අනුව නිවැරදි තීරණ ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. ඔවුන් කරමින් සිටි දේවල් වැරදියි කියා හෘදය සාක්ෂිය ඔවුන්ට පැවසුවෙත් නැහැ. “දූෂ්‍ය වූ, ඇදහිල්ල නැති අයට කිසිවක් පවිත්‍ර නැත” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. ඒ විතරක් නොවෙයි සභාවේ සිටි වෙනත් ක්‍රිස්තියානීන්, ඔවුන්ගේ හෘදය සාක්ෂියට එකඟව ගත් තීරණද මේ අය විසින් විවේචනය කළා. එම තීරණ ඇත්තටම දෙවි ඉදිරියේ වැරදි ඒවා නොවුණත් මේ අය ඒවා සැලකුවේ වැරදි දේවල් හැටියටයි. (රෝම 14:17; කොලොස්සි 2:16) තමන් දෙවිව දන්නවා කියා මෙවැනි පුද්ගලයන් පැවසුවත් ඔවුන්ගේ ක්‍රියාවෙන් පෙන්වූයේ ඔවුන් දෙවිව නාඳුනන බවයි.—තීතස් 1:16.

“පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය”

6. පාවුල් සඳහන් කළ කණ්ඩායම් දෙක කුමක්ද?

6 පාවුල් තීතස්ට පැවසූ දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? “පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නමුත් දූෂ්‍ය වූ, ඇදහිල්ල නැති අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් ඔවුන්ගේ හෘදය සාක්ෂියත් දූෂ්‍ය වී තිබේ.” (තීතස් 1:15) “පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය” කියා පැවසීමෙන් ක්‍රිස්තියානියෙකුට ඕනෑම දෙයක් කිරීමට අවසර තිබෙනවා කියා පාවුල් අදහස් කළේ නැහැ. ඊට හේතුව නම් තවත් සභාවකට ලියද්දී ඔහු වේශ්‍යාකම, රූප වැඳීම සහ භූතවාදය වැනි දේවල නියැලෙන අයට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ” නැති බව පැහැදිලිවම පවසා තිබීමයි. (ගලාති 5:19-21) ඒ අනුව පාවුල් මෙහි අවධාරණය කළේ දෙවිගේ ප්‍රතිපත්ති රකින සහ එසේ නොකරන අය කටයුතු කරන ආකාරයයි.

7. හෙබ්‍රෙව් 13:4හි තහනම් කර තිබෙන්නේ කුමක්ද? එනමුත් මතු වන ප්‍රශ්නය කුමක්ද?

7 සමහර ක්‍රියාවන් බයිබලයේ කෙළින්ම තහනම් කර තිබෙනවා. නමුත් ක්‍රිස්තියානියෙක් වැළකී සිටින්නේ ඒ දේවලින්ම පමණක් නොවෙයි. උදාහරණයකට විවාහය ගැන බයිබලයේ සඳහන් දේ බලන්න. “විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද, විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරවද තිබේවා. මන්ද, වේශ්‍යාකම් කරන්නන්වද පරදාර සේවනයේ යෙදෙන්නන්වද දෙවි විනිශ්චය කරන්නේය.” (හෙබ්‍රෙව් 13:4) විවාහ වූ කෙනෙක් වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම දෙවි හෙළා දකින බව ඉහත බයිබල් පදයෙන් හා වෙනත් පදවලින් පැහැදිලි වෙනවා. අනෙක් අතට බයිබලය ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට වුණත් එය වැරදි ක්‍රියාවක් බව වැටහෙනවා. ඒ වුණත් විවාහ නොවූ දෙදෙනෙක් ලිංගික ක්‍රියාවන් සඳහා මුඛය යොදාගැනීම ගැන කියන්න පුළුවන් කුමක්ද? නහඹර වයසේ සිටින බොහෝදෙනා පවසන්නේ මෙය ලිංගික සම්බන්ධකමක් නොවන නිසා එහි වරදක් නැහැ කියායි. නමුත් ක්‍රිස්තියානීන් එය සලකන්නේ පවිත්‍ර ක්‍රියාවක් හැටියටද?

8. ක්‍රිස්තියානීන් මේ ලෝකයේ මිනිසුන්ට වඩා වෙනස් වන එක් ආකාරයක් වන්නේ කුමක්ද?

8 හෙබ්‍රෙව් 13:4 සහ 1 කොරින්ති 6:9 යන පදවලින් පැහැදිලිවම පෙන්වන්නේ යෙහෝවා දෙවි පරදාර සේවනය හෙවත් විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් හෙළා දකින බවයි. ඒ අනුව දෙවි වේශ්‍යාකම (ග්‍රීක භාෂාවෙන් පෝර්නියා) හෙළා දකින බවත් ඉන් පැහැදිලියි. වේශ්‍යාකම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? විවාහක දෙදෙනෙක් අතර සිදු වන ලිංගික සම්බන්ධකම් හැර අනෙකුත් සියලුම ලිංගික ක්‍රියාවන් මීට ඇතුළත් වෙනවා. මෙයට අවිවාහකයන් දෙදෙනෙක් තම ලිංගේන්ද්‍රයන් සංසර්ගය සඳහා යොදාගැනීම සහ තම කාමාශාව සන්සිඳුවා ගැනීමට තම ලිංගේන්ද්‍රයන් වෙනත් පිළිකුල් ක්‍රියාවල යොදාගැනීමද ඇතුළත් වෙනවා. ඒ අනුව ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ ලිංගික ක්‍රියා සඳහා මුඛය යොදාගැනීම වේශ්‍යාකමට සම්බන්ධ ක්‍රියාවක් බවයි. එය වැරදි නැහැ කියා බොහෝ යෞවනයන්ට පවසා තිබුණත් එහි වරදක් නැහැයි කියා ඔවුන් පෞද්ගලිකව සිතුවත් සැබෑ ක්‍රිස්තියානීන් එවන් ‘නිෂ්ඵල කතා කියන, රැවටිලිකාරයන්’ සිතන හෝ ක්‍රියා කරන ආකාරය අනුගමනය කරන්නේ නැහැ. (තීතස් 1:10) ඒ වෙනුවට ඔවුන් දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති ඉතා විශ්වාසවන්තව පිළිපදිනවා. අපවිත්‍ර ක්‍රියාවන්වල යෙදීමට ඔවුන් හේතු සොයන්නේ නැහැ. එවන් අපවිත්‍ර පුරුදු වේශ්‍යාකමට අයත් බව තේරුම්ගන්නා ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කිරීමට තම හෘදය සාක්ෂිය පුහුණු කරනවා. *ක්‍රියා 21:25; 1 කොරින්ති 6:18; එෆීස 5:3.

හෘදය සාක්ෂිය තීරණවලට බලපාන අයුරු

9. “පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය” කියා පාවුල් පැවසුවේ කවුරුන් ගැනද? එමෙන්ම කෙනෙක් හෘදය සාක්ෂිය මත ගන්නා තීරණ අන් අය සැලකිය යුත්තේ කෙසේද?

9 “පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය” කියා පාවුල් පැවසූ විට ඔහු අදහස් කළේ කවුරුන් ගැනද? එනම් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව සිතන සහ ක්‍රියා කරන ක්‍රිස්තියානීන්වයි. දෙවි විසින් තහනම් කර නැති සමහර ක්‍රියාවන් තිබෙන බව ඔවුන් දන්නවා. එමනිසා හෘදය සාක්ෂියට අනුව එවැනි ක්‍රියාවල නිරත වීමට හෝ නොවීමට කෙනෙකුට නිදහස තිබෙන බව ඔවුන් තේරුම්ගන්නවා. එවැනි අවස්ථාවලදී අන් අය තමන්ගේ මතයට අනුව තීරණ ගත යුතුයි කියා ඔවුන් බලාපොරොත්තු වන්නේ නැහැ. එමෙන්ම සෙසු ක්‍රිස්තියානීන් ගන්නා එවන් තීරණ ඔවුන් විනිශ්චය කරන්නෙත් නැහැ. එවැනි අවස්ථා කිහිපයක් දැන් අපි සලකා බලමු.

10. විවාහ උත්සවයකට (හෝ අවමංගල්‍යයකට) සහභාගි වීම ක්‍රිස්තියානියෙකුට අභියෝගයක් විය හැක්කේ කෙසේද?

10 බොහෝ විවාහකයන් අතර යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ එක් අයෙක් පමණයි. (1 පේතෘස් 3:1; 4:3) එවැනි පවුලක නෑදෑයෙකුගේ විවාහ උත්සවයක් හෝ අවමංගල්‍යයක් සිදු වන විට දෙවිට නමස්කාර කරන සහකරුවාට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. එවැනි තත්වයක සිටින භාර්යාවක් ගැන සලකා බලන්න. ඇගේ ස්වාමිපුරුෂයාගේ ඥාතියෙක් විවාහ වන අතර එම උත්සවය පවත්වන්නේ පල්ලියකයි. (එසේත් නැත්නම් ඔහුගේ පියා, මව හෝ ඥාතියෙක් මිය ගොස් ඇති අතර අවමංගල්‍යය සිදු කෙරෙන්නේ පල්ලියකයි.) උත්සවය සඳහා මේ යුවළටත් ආරාධනා කර තිබෙනවා. පල්ලියේ පවත්වන උත්සවයට සහභාගි වීම ගැන ඇගේ හෘදය සාක්ෂිය පවසන්නේ කුමක්ද? ඇය ගන්නා තීරණය කුමක්ද? මේ සම්බන්ධයෙන් පහත සඳහන් අවස්ථා දෙක සලකා බලන්න.

11. තම ඇදහිල්ලට අභියෝගයක් විය හැකි තත්වයක් සම්බන්ධයෙන් සීතා සලකා බලන්නේ මොනවාද? එමෙන්ම ඇය ගත් තීරණය කුමක්ද?

11 මුලින්ම සීතා නම් ක්‍රිස්තියානි භාර්යාව මුහුණ දෙන තත්වය සලකා බලමු. ඇය ‘මහා බැබිලෝනියෙන් ඉවත්ව යන්න’ කියා බයිබලයේ දී ඇති උපදෙසට අනුව පල්ලියේ පවත්වන උත්සවයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කරනවා. (එළිදරව් 18:2, 4) ඇය කලින් පල්ලි ගිය කෙනෙක්. විවාහ උත්සවයට සහභාගි වන අය යාච්ඤා සහ ගීතිකා ඇතුළු චාරිත්‍රවලට සහභාගි විය යුතු බව ඇය හොඳින්ම දන්නවා. මේ නිසා ඊට කිසිම ආකාරයකින් සහභාගි නොවන්නටද, තම ඇදහිල්ලට අභියෝගයක් වන දේවලින් වළකින්නටද ඇය අධිෂ්ඨාන කරගන්නවා. තම ස්වාමිපුරුෂයාට ගරු කරන සීතා තමන්ට හැකි උපරිමයෙන් ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කළත් බයිබල් ප්‍රතිපත්ති කඩ කරන්න ඇය කැමති නැහැ. (ක්‍රියා 5:29) ඒ අනුව තමන්ට එම උත්සවයට සහභාගි වීම සඳහා පල්ලියට පැමිණීමට නොහැකි වීමට හේතු ඇය ඉතා ඥානවන්ත ලෙස ඔහුට පවසනවා. එමෙන්ම තමන් පල්ලියට ගියත් එහි පවත්වන චාරිත්‍රවලට සහභාගි විය නොහැකි බවත් එය අන් අය දුටුවොත් ඔහු අපහසුතාවට පත් විය හැකි බවත් ඇය පහදා දෙනවා. ඒ නිසා හොඳම දේ වන්නේ තමන් උත්සවයට සහභාගි නොවී සිටීම බව ඇය පැහැදිලි කරනවා. ඇයගේ හෘදය සාක්ෂියට අනුව ගත් ඒ තීරණය ගැන ඇය සතුටු වෙනවා.

12. පල්ලියේ පැවැත්වෙන විවාහ මංගල්‍යයකට සහභාගි වීම ගැන රමණිට හැඟෙන්නේ කෙසේද?

12 රමණි නමැති ක්‍රිස්තියානි භාර්යාවත් ඒ හා සමාන අභියෝගයකට මුහුණ දෙනවා. දෙවිගේ නමස්කාරකයෙක් නොවන තම පුරුෂයාට ගෞරවයෙන් සලකන ඇය සියලු කාරණාවලදී දෙවිට පක්ෂව සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. එමෙන්ම ඇය කටයුතු කරන්නේ දෙවි ඉදිරියේ පුහුණු කරන ලද ඇගේ හෘදය සාක්ෂියට එකඟවයි. තීරණයක් ගැනීමට පෙර සීතා සලකා බැලූ තොරතුරු රමණිද සලකා බැලුවායින් පසුව ඇය දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කර 2002 මැයි 15 මුරටැඹ කලාපයේ පළ වූ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” නමැති ලිපියේ තොරතුරුද ගවේෂණය කරනවා. හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාට රජගේ අණ පරිදි රූප නමස්කාර කරන ස්ථානයක යන්න සිදු වුණත් එහි සිදු වන කිසිම නමස්කාරයකට සහභාගි නොවීමට ඔවුන් වගබලා ගත් බව ඇය ඒ තොරතුරුවලින් තේරුම්ගනියි. (දානියෙල් 3:15-18) ඒ අනුව ඇය ස්වාමිපුරුෂයා සමඟ එම විවාහ මංගල්‍යය උත්සවයට යෑමට තීරණය කරන අතර අසත්‍ය නමස්කාරය හා සම්බන්ධ කිසිම දෙයකට සහභාගි නොවීමටත් අධිෂ්ඨාන කරගන්නවා. රමණි මෙය තීරණය කරන්නෙත් දෙවි ඉදිරියේ පුහුණු කරන ලද ඇගේ හෘදය සාක්ෂියට එකඟවයි. එමෙන්ම උත්සවය පැවැත්වෙන ස්ථානයේදී තමන්ට කළ හැකි දේවල් සහ නොහැකි දේවල් මොනවාද කියාත් ඇය තම ස්වාමිපුරුෂයාට ඥානවන්තව පැහැදිලි කරනවා. සැබෑ ආගම සහ අසත්‍ය උගන්වන ආගම් අතර ඇති වෙනස තම ස්වාමිපුරුෂයා වටහාගනියි කියා ඇය බලාපොරොත්තු වෙනවා.—ක්‍රියා 24:16.

13. මේ දෙදෙනා ගත් වෙනස් තීරණ නිසා අප බාධාවට පත් නොවිය යුත්තේ ඇයි?

13 ඒ දෙදෙනා ගත් එකිනෙකට වෙනස් තීරණවලින් පැහැදිලි වන්නේ කුමක්ද? කෙනෙක් කුමක් කළත් එහි වරදක් නැහැ කියන එකද? එසේත් නැත්නම් මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුගේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කර නැහැ කියන එකද? කොහෙත්ම නැහැ. දෙවිගේ නමස්කාරකයෙක් වීමට කලින් පල්ලියේ පැවති එවන් උත්සවවලට සීතා සහභාගි වී තිබෙන නිසා එහි තිබෙන සංගීතය සහ සිදු කරන චාරිත්‍ර මොනවාද කියාත් ඇය දන්නවා. එවැනි දේවල් සිදු වන ස්ථානයකට යෑම විශේෂයෙන්ම ඇයගේ ඇදහිල්ලට තර්ජනයක් විය හැකි බව ඇය තේරුම්ගත්තා. එමෙන්ම මීට කලින් වතාවලදීත් සීතා එවැනි අභියෝගවලට මුහුණ දී තිබෙනවා. මේ සියලු තොරතුරු සලකා බැලීමෙන් පසුව, ඥානවන්තම දේ වන්නේ එම විවාහ මංගල්‍යයට සහභාගි නොවී සිටීම බව ඇය තීරණය කළා.

14. ක්‍රිස්තියානියෙක් පෞද්ගලික තීරණ ගන්නා විට අප නොකළ යුත්තේ කුමක්ද?

14 එසේනම් රමණි ගත් තීරණය වැරදිද? ඇය ගත් තීරණය විනිශ්චය කිරීමට අන් අයට අයිතියක් නැහැ. ඇය පල්ලියේ උත්සවයට යෑම සම්බන්ධයෙන් අන් අය ඇයව විවේචනය නොකළ යුතුයි. ආහාර සම්බන්ධයෙන් තීරණ ගැනීම ගැන පාවුල් දුන් උපදෙස ඔබට මතකද? ඔහු පැවසුවේ “කන තැනැත්තා, නොකන තැනැත්තාව හෙළා නොදැකිය යුතුය. එසේම නොකන තැනැත්තාද, කන තැනැත්තාව විනිශ්චය නොකළ යුතුය. . . . ඔහු සිටගෙන සිටියත් වැටුණත් ඒක අයිති ඔහුගේ ස්වාමියාටය. සැබවින්ම ඔහුව සිටුවනු ලබන්නේය. මන්ද ඔහුව සිටුවන්නට යෙහෝවාට හැකිය” කියායි. (රෝම 14:3, 4) එමනිසා දෙවි ඉදිරියේ හොඳින් පුහුණු කළ හෘදය සාක්ෂියක් ඇති කෙනෙක් ගන්නා තීරණවලට බලපෑම් කිරීමට හෝ ඒවා විවේචනය කිරීමට සෙසු ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ නැහැ.

15. තීරණයක් ගැනීමේදී තමාගේ හෘදය සාක්ෂිය මෙන්ම අන් අයට එය බලපාන ආකාරයත් සලකා බැලිය යුත්තේ ඇයි?

15 නමුත් මෙහිදී සීතා සහ රමණි යන දෙදෙනාම වටහාගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. එනම් තමන් ගන්නා තීරණ අන් අයට බලපාන බවයි. ඒ ගැනත් පාවුල් උපදෙස් දුන්නේ මෙසේයි. “සහෝදරයෙකු ඉදිරියෙහි බාධාවට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකිරීමට තීරණය කරගන්න.” (රෝම 14:13) මීට කලින්ද මේ හා සමාන දේවල් සිදු වී ඇති නිසා සභාවේ මෙන්ම තම පවුලේ අයත් බාධාවට පත් වූ බව සීතා දන්නවා ඇති. ඒ විතරක් නෙවෙයි තමන් ගන්නා තීරණවලින් දරුවන්ටත් විශාල බලපෑමක් ඇති වන බවත් ඇය දන්නවා. අනෙක් අතට රමණිගේ තත්වය සිතා බලන්න. තමන් මීට කලිනුත් ඒ හා සමාන තීරණ ගෙන තිබෙන අතර ඉන් සභාවේ අයවත් වෙනත් අයවත් බාධාවට පත් වෙලා නැති බව ඇය දන්නවා වෙන්න පුළුවන්. ඒ හා සමානව අපත් හෘදය සාක්ෂිය පුහුණු කිරීමේදී අන් අයගේ හැඟීම් සැලකිල්ලට ගැනීම අවශ්‍යයි. යේසුස් ඒ ගැන අවධාරණය කළේ මෙසේයි. “මා කෙරෙහි ඇදහිල්ල තබන මේ කුඩා අයගෙන් එක් කෙනෙකුටවත් යමෙක් බාධා කරන්නේද, බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක් ඔහුගේ බෙල්ල වටේ එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත.” (මතෙව් 18:6) නමුත් ක්‍රිස්තියානියෙක් අනුන්ව බාධාවට පත් කරන ආකාරයේ තීරණ ගන්නවා නම් ක්‍රමානුකූලව ඔහුගේ හෘදය සාක්ෂිය දූෂ්‍ය වීමට ඉඩ තිබෙනවා. එවැනි අය ක්‍රීට් සභාවේ සිටි සමහර ක්‍රිස්තියානීන් මෙන් විය හැකියි.

16. ක්‍රිස්තියානියෙකු හෘදය සාක්ෂිය සම්බන්ධයෙන් කුමක් කළ යුතුද?

16 ක්‍රිස්තියානියෙකු නිවැරදි තීරණ ගැනීම සඳහා තම හෘදය සාක්ෂිය නොකඩවා පුහුණු කළ යුතුයි. ඒ හා සමානව දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයත් දිනෙන් දින වර්ධනය කරගත යුතුයි. මෑතකදී බව්තීස්ම වූ ජයන්ත ගැන සිතා බලන්න. රූප නමස්කාරය සහ රුධිරය ශරීරගත කිරීම වැනි යෙහෝවා දෙවි හෙළා දකින පුරුදුවලින් වළකින්න අවශ්‍ය බව ඔහුට වැටහෙනවා. (ක්‍රියා 21:25) ඒ විතරක් නොවෙයි දෙවි තහනම් කර ඇති දේවලට යම් සමානකමක් ඇතැයි පෙනෙන දේවලින් පවා ඔහු සම්පූර්ණයෙන්ම වාගේ ඈත් වෙලා. නමුත් තමන්ට සුදුසුයි කියා හැඟෙන රූපවාහිනි වැඩසටහන් අනිත් අය වැරදියි කියා පවසන්නේ ඇයි කියා ජයන්තට විශාල ප්‍රහේලිකාවක්.

17. කාලයත් සමඟම ලැබූ ප්‍රගතිය ජයන්ත ගත් තීරණවලට බලපෑවේ කෙසේද?

17 නමුත් කාලයත් සමඟම ජයන්ත බයිබල් සත්‍යයන් ගැන මනා අවබෝධයක් ලබාගෙන දෙවි සමඟ වඩා ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගත්තා. (කොලොස්සි 1:9, 10) එහි ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ හෘදය සාක්ෂිය දැන් පෙරටත් වඩා හොඳින් පුහුණු වී තිබෙනවා. එමනිසා බයිබලයේ ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය ගැන මනා අවබෝධයක් දැන් ඔහු සතුයි. දෙවි තහනම් කර ඇති දේවලට යම් සමානකමක් ඇතැයි පෙනෙන දේවලින් ඔහු මීට පෙර ඈත්ව සිටියත් ඒවා ඇත්තටම බයිබලයේ ප්‍රතිපත්තිවලට පටහැනි නොවන බවත් ජයන්තට දැන් තේරෙනවා. ඒ වගේම කලින් සුදුසුයි කියා තමන්ට හැඟුණු ඒ රූපවාහිනි වැඩසටහන් නැරඹීම නුසුදුසුයි කියා ඔහුගේ හෘදය සාක්ෂිය දැන් ඔහුට පවසනවා. මින් පැහැදිලි වන්නේ ජයන්තගේ හෘදය සාක්ෂිය දෙවිගේ ප්‍රමිතිවලට එකඟව පුහුණු කරමින් තිබෙන නිසා දැන් පෙරටත් වඩා එය හොඳින් ක්‍රියාත්මක වන බවයි.—ගීතාවලිය 37:31.

18. අප දිනෙන් දින දෙවිට වඩාත් ළං වෙද්දී ප්‍රීතිවීමට අපට තිබෙන හේතු මොනවාද?

18 සමහර ක්‍රිස්තියානීන් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න පටන්ගෙන තිබෙන්නේ මෑතක සිටයි. ඔවුන් ගන්නා සමහර තීරණවලදී ඔවුන්ගේ හෘදය සාක්ෂිය කිසිත් පවසන්නේ නැති වුණත් තවත් සමහර කාරණාවලදී එය ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. එවැනි අයට තම හෘදය සාක්ෂිය දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව පුහුණු කර ඒ අනුව තීරණ ගැනීමට කාලයක් ගත වන අතර අන් අයගේ උපකාරයද ඔවුන්ට අවශ්‍යයි. (එෆීස 4:14, 15) එමෙන්ම අවුරුදු ගණනාවක් පුරා දෙවිට සේවය කරන අයත් සභාවල සිටිනවා. බයිබල් ප්‍රමිති හොඳින් අවබෝධ කරගෙන ඒවා ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඔවුන්ට බොහෝ අද්දැකීම් තිබෙනවා. දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වීමට ඔවුන් පුරුදු වී සිටිනවා. ඒ අනුව දෙවිගේ ප්‍රමිතිවලට එකඟව තිබෙන දේවල් “පවිත්‍රයි” කියා සලකන එවැනි “පවිත්‍ර අය” සමඟ ඇසුරු කිරීමට ලැබීම මොන තරම් ප්‍රීතියට හේතුවක්ද! (එෆීස 5:10) එමනිසා අපි සියලුදෙනාත් දෙවි පිළිබඳ නිවැරදි දැනුම නොකඩවා ලබමු. ඒ තුළින් දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව දිනපතාම අපගේ හෘදය සාක්ෂිය පුහුණු කිරීමට අධිෂ්ඨාන කරගනිමු. එවිට පවිත්‍ර ක්‍රිස්තියානීන් මෙන් කටයුතු කිරීමට අපටත් හැකි වෙයි.—තීතස් 1:1.

[පාදසටහන]

^ 8 ඡේ. විවාහකයන්ට සලකා බැලීම සඳහා යම් යෝජනා කිහිපයක් 1983 මාර්තු 15 මුරටැඹ කලාපයේ 30-31 දක්වා පිටුවල පළ වුණා.—සිංහලෙන් නැත.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• ක්‍රීට්හි සිටි සමහර ක්‍රිස්තියානීන්ට දූෂ්‍ය වූ හෘදය සාක්ෂියක් තිබෙන්න හේතුව කුමක්ද?

• හොඳින් පුහුණු කළ හෘදය සාක්ෂියක් තිබෙන ක්‍රිස්තියානීන් දෙදෙනෙක් පවා එකිනෙකට වෙනස් තීරණ ගන්නේ ඇයි?

• කාලයත් සමඟම අපගේ හෘදය සාක්ෂිය කුමන තත්වයකට පත් විය යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සිසිලිය

ග්‍රීසිය

ක්‍රීට්

සුළු ආසියාව

සයිප්‍රසය

මධ්‍යධරණී මුහුද

[28වන පිටුවේ පින්තූරය]

එක හා සමාන තත්වයන්ට මුහුණ දෙන ක්‍රිස්තියානීන් දෙදෙනෙක් එකිනෙකට වෙනස් තීරණ ගැනීමට ඉඩ තිබේ