Skip to content

පටුනට යන්න

දුෂ්කර ප්‍රදේශවලටත් ශුභාරංචිය

දුෂ්කර ප්‍රදේශවලටත් ශුභාරංචිය

දුෂ්කර ප්‍රදේශවලටත් ශුභාරංචිය

අපේ ට්‍රක් රථය දැන් තියෙන්නේ මුරපොළක් අසලයි. මැෂින් තුවක්කුවලින් සන්නද්ධ පිරිසක් මේ පැත්තට එනවා. අපට නතර වෙන්න කියලා සංඥා කරනවා. පේන විදිහට මෙතන තරුණ ළමයිනුත් එක්ක ගැහැනු පිරිමි සොල්දාදුවෝ 60ක් විතර ඉන්නවා. සමහර අය ඇඳලා ඉන්නේ හමුදා ඇඳුම්. මේ අය අපේ පැත්තට තුවක්කු එල්ල කරගෙනයි ඉන්නේ. පේන විදිහට මේ අය අපි එනකං මඟ රැකගෙන ඉඳලා තියනවා වගේ. මෙහෙ හැමතැනම වගේ යුද්ධෙ.

අපි මේ ගමන එන්නේ දවස් හතරක් තිස්සෙයි. අපේ ට්‍රක් එකේ ටොන් දහයක් විතර බර බයිබල් පොත් පත් තියෙනවා. ඒත් අපිට මේ මුරපොළෙන් යන්න අවසර දෙයිද දන්නේ නැහැ. මේ අයට අපෙන් ඕනේ මොනවද? සල්ලිද? අපි මේ කරන්නේ හොඳ වැඩක් කියලා මේ අය තේරුම්ගනියිද?

මේ කණ්ඩායමේ ඉන්න එක්කෙනෙක් නම් වෙඩි තියන්න වැඩිපුර කැමැත්තක් දක්වනවා වගේ! එයා මේ අහසට වෙඩි තියලා අපිට නොකියා කියන්නේ එයා මේ කණ්ඩායමේ නායකයා කියලා වෙන්න ඇති. දැන් මොනවද එයා කරන්න යන්නේ? අපේ ජංගම දුරකථන ටික පෙන්නලා කියනවා ඒක එයාට ඕනෙලු. අපි ඒවා දෙන්න අදිමදි කෙරුව එක එච්චර ඇඟට ගුණ දෙයක් නම් නෙවෙයි. ඒවා ඔහුට දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

අන්න තවත් කාන්තා සොල්දාදුවෙක් එයාගේ තුවක්කුව අරන් මේ පැත්තට එනවා! පේන විදිහට එයත් මේ කණ්ඩායමේ ‘ලොක්කෙක්’ වගේ. එයාත් මොනවා හරි ඉල්ලන්නයි එන්නේ. මේ වගේ අවස්ථා මඟහරින එක ලෙහෙසි නැහැ. එයාට මොනවද දෙන්නේ? ඒ මදිවට තවත් එක්කෙනෙක් කෑන් එකක් අරගෙන ඇවිල්ලා අර මොනවද කරන්නේ? අපේ ටැංකියෙන් ඩීසල් අදිනවා! අපි කොච්චර එපා කිව්වත් ගණන්වත් ගන්නේ නැහැ. එයා කරන්නේ එයාට කියපු දේලු. අපි කියල ඉතිං මොනවා කරන්නද? අපි හිතුවේ තවත් අය ඇවිල්ලා ඩීසල් ගනියි කියලා. හැබැයි එහෙම නොවුණු එක කොච්චර හොඳද!

දැන්නම් අපිට යන්න පුළුවන්. මටත් මගේ යාළුවාටත් ඒක නිකං ලොකු බරකින් නිදහස් වුණා වගෙයි. ඒ වගේ වෙලාවට හරිම පීඩනයක් දැනෙනවා තමයි. ඒත් අපි දැන් ඒවට හුරු වෙලා. පසුගිය 2002 අප්‍රියෙල් මාසයේ සිට 2004 ජනවාරි දක්වා අපි කැමරූන්වල ඩොයුලා වරායේ ඉඳලා මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ බැන්ගුයි කියන අගනුවරට මේ වගේ ගමන් 18ක් විතර ඇවිත් තියෙනවා. කිලෝමීටර් 1,600ක් විතර දුර මේ ගමන රසබර එකක් වුණත් දුෂ්කර අද්දැකීම්වලින් නම් අඩුවක් නැහැ. *

ජෝසෆ් සහ එම්මානුවෙල් කියන්නේ මේ ගමනේ පළපුරුදු රියදුරන් දෙන්නෙක්. මේ ගමන ගැන ඔවුන් කියන්නේ මෙහෙමයි. “අපි ගිය මේ වගේ ගමන්වලින් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. දුෂ්කර අවස්ථාවලදී නිහඬව යාච්ඤාවක් කර, පුළුවන් තරම් සන්සුන්ව ඉන්න එක තමයි හොඳම දේ. ගීතිකාකරු කියපු විදිහට ‘මම දෙවි කෙරෙහි විශ්වාසය තබමි. මම භය නොවෙමි. මිනිසාට මට කළ හැක්කේ කුමක්ද?’ යන ආකල්පය වර්ධනය කරගන්න අපි හැම තිස්සෙම උත්සාහ කරනවා. ඒ වගේම අපි මේ කරන දේ ගැන යෙහෝවා දෙවි හොඳින්ම දන්නවා කියලත් අපිට විශ්වාසයි.”—ගීතාවලිය 56:11, නව ලොව පරිවර්තනය.

උපකාර කිරීමට මහත් වෑයමක්

අප්‍රිකාවේ, විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ සිටින මිනිසුන් ශුභාරංචියට දක්වන්නේ පුදුම ආශාවක්. අපි අරගෙන යන සඟරා පොත් පත් ඔවුන්ට ප්‍රයෝජන ගත හැකි ආකාරයෙන් සකස් කර තියෙන්නේ ඒ නිසයි. (මතෙව් 5:3; 24:14) කැමරූන්වල ඩොයුලා ශාඛා කාර්යාලය මගින් එහි සිටින 30,000ක් පමණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට, උනන්දුව දක්වන අයට මෙන්ම අසල්වැසි රටවල් හතරකට නොකඩවා අවශ්‍ය පොත් පත් සපයමින් සිටිනවා.

මෙම පොත් පත් අප්‍රිකාවේ ඈත පිටිසර පළාත්වලට දැනටමත් බෙදාහැර තියෙනවා. ඒවායින් බොහෝ ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙන්නේ එංගලන්තය, ෆින්ලන්තය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවලයි. ඊට පස්සේ ඒවා ප්‍රංශයේ සිට නැව් මගින් ප්‍රවාහණය කරනවා. ඒ අනුව සාමාන්‍යයෙන් සෑම සතියකම බයිබල් පොත් ඇතුළත් කන්ටේනරයක් ඩොයුලා වරායට පැමිණෙනවා.

එතැනින් ඒ කන්ටේනරය ට්‍රක් රථයකට පටවා ඩොයුලා ශාඛා කාර්යාලයට ගෙන එනවා. එහිදී නැව්ගත කිරීම් අංශයේ සේවය කරන අය ඒවා බෙදාහැරිය යුතු නියමිත ස්ථාන පිළිවෙළට වෙන් කරනවා. මේ රටේ දුර ඈත පළාත්වලට සඟරා පොත් පත් බෙදාහැරීම ලෙහෙසි කාර්යයක් නොවෙයි. නමුත් බයිබලයේ සඳහන් විදිහට “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” ශුභාරංචිය බෙදාහරින්න නම් එසේ කළ යුතුයි. (ක්‍රියා 1:8) එවැනි දුෂ්කර සහ අනතුරුදායක කාර්යයක් සඳහා බොහෝදෙනා කැමැත්තෙන්ම ඉදිරිපත් වීම මෙම වැඩය වඩාත් පහසු එකක් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අප්‍රිකාවේ මධ්‍යම ප්‍රදේශය පුරාම බයිබලය මත පදනම් පොත් පත් නොකඩවා බෙදාහැරීමට හැකි වී තිබෙනවා.

සුපුරුදු ගමනකට සූදානමින්

කැමරූන්, චැඩ්, ගැබොන්, සමක ගිනියාව සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට සඟරා පොත් පත් බෙදාහරින්නේ ට්‍රක් රථවලිනුයි. ඔබත් ඒ වගේ දුර ගමනක් යන්න කැමතිද? එහෙමනම් අපි දැන් මේ ට්‍රක් රථයට ගොඩ වෙමු. මේ ඉන්නේ මේකේ රියදුරු සහ එයාගේ සහයට යන අයයි. ත්‍රාසයෙන් පිරුණු දින දහයකට නොඅඩු ගමන යන්න සියල්ල සූදානම්.

මේ ට්‍රක් රථයේ රියදුරන් හයදෙනෙක් ඉන්නවා. මේ අය නම් හොඳ ශක්තිමත්, දක්ෂ, ඉවසීමෙන් කටයුතු කරන සහ පිළිවෙළකට අඳින පළදින අය වෙන්න ඕනෙ. මේ අය සාමාන්‍යයෙන් අඳින්නේ අප්‍රිකානු ඇඳුමක්. එහෙම නැත්නම් බටහිර පන්නයේ ඇඳුමක්. මීට කලින් මේ රියදුරන්ව දැකපු රේගු නිලධාරීන් මේ අයව අගය කරලා තියෙනවා. ඒ අය මෙහෙම කියලා තියෙනවා. “බලන්න මේ අය ට්‍රක් එක කොච්චර ලස්සනට තියාගෙන ඉන්නවද කියලා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලනුත් හරිම පිළිවෙළට අඳිනවා. මේ අය හරියටම එයාලගේ සඟරා පොත් පත්වල තියෙන පින්තූරවල ඉන්නවා වගේමයි.” ඒ අය ඇඳ පැළඳගෙන ඉන්න විදිහට වඩා කැපිලා පේන දේ වෙන්නේ ඕනෑම තැනක සිටින මිනිසුන්ට ශුභාරංචිය ඉදිරිපත් කිරීමට ඔවුන්ට තියෙන කැමැත්තයි.—ගීතාවලිය 110:3.

එහෙමනම් අපි එළිය වැටෙනවාත් එක්කම වගේ ඩොයුලාවලින් පිට වෙමු. එතකොට අපිට පුළුවන් නගරයේ වාහන තදබදයට අහුවෙන්නේ නැතුව ගමන පටන්ගන්න. අපි දැන් මේ යන්නේ නැඟෙනහිර පැත්තටයි. ඒ කියන්නේ අපේ පළමුවෙනි නැවතුම වන කැමරූන්වල යෝන්ඩේ කියන අගනුවරටයි.

අපේ මේ රියදුරන් හයදෙනා ඔබට කියයි, ටොන් දහයක් බර සඟරා පොත් පත් අරගෙන යන මේ ගමන කොයි තරම් දුෂ්කරද කියලා. පාරට තාර දාලා තියෙන නිසා මේ ගමනේ මුල් දවස් තුනේ නම් ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඔන්න එහෙම කියද්දිම මොර සූරන වැස්සක් පටන්ගත්තා. දැන්නම් පාර එච්චර හොඳ නැහැ. හේතුව, මෙතන ඉඳලා ඉස්සරහට පාරේ තාර දාලා නැති නිසයි. ඉස්සරහා හරියට පේන්නෙත් නැහැ. පාරේ හැමතැනම වළවල්, ඒ මදිවට ලිස්සන්නත් බලනවා. ඒක නිසා බොහොම හෙමින් තමයි ට්‍රක් එක එළවන්න ඕනේ. දැන්නම් ටිකක් අඳුරු වැටීගෙන එනවා. ඒ නිසා අදට ගමන මෙතනින් නතර කෙරුවොත් හොඳයි වගේ. දැන් අපි රෑට කාලා ටිකක් නිදාගමු. හැබැයි අත පය දිග ඇරලා නිදාගන්න තරම් මේකේ ඇතුළේ පහසුකම් නැහැ. මේ වගේ ගමන්වලදී ඉතිං ඔහොම තමයි.

ඊළඟ උදේ අපි නැවතත් සුපුරුදු ගමනේ. එක්කෙනෙක් හැම තිස්සෙම පාරේ තත්වය ගැන අවධානයෙන් ඉන්නවා. වාහනේ ටිකක් හරි අයිනේ තියෙන කාණුවට කිට්ටු වෙද්දී ඔහු ඉක්මනින්ම ඒ ගැන අනතුරු අඟවනවා. ඒකට හේතුව, ඒගොල්ලන් දන්නවා බැරි වෙලාවත් ට්‍රක් එක කාණුවට ගියොත් ඒක ගන්න දවස් ගාණක් යනවා කියලා. මධ්‍යම අප්‍රිකාවේ සීමාව පසුකරනකම්ම පාර ඉතිං ඔහොම තමයි. දැන් අපිට පාරේ දෙපැත්තෙම දකින්න තියෙන්නේ ගස් කොළන්වලින් පිරිච්ච කඳු යායක්. ඒක බලන්න හරිම ලස්සනයි. කිලෝමීටර් 650ක් යනකම්ම මේ වගේ තමයි. ඔන්න දැන් අපි යන්නේ ගම්බද ප්‍රදේශයක් පසුකරගෙනයි. පාර දෙපැත්තේ ඉන්න පොඩි ළමයි, ආච්චිලා සීයලා අපිට අත වනනවා. මේ යුද්ධය නිසා කාර් දෙක තුනක් ඇරෙන්න පාරේ එච්චර වාහන යන්නෙත් නැහැ. පාර දෙපැත්තේ ඉන්න අය අපි දිහා ටිකක් අමුතුවෙන් බලන්නේ ඒ නිසා වෙන්න ඇති.

ප්‍රීතිමත් අද්දැකීම්

ජැන්විය අපේ රියදුරන්ගෙන් එක්කෙනෙක්. එයා කියන්නේ මේ ගමන කොයි තරම් කාර්යබහුල එකක් වුණත් එක්තරා පුංචි ගමක වාහනේ ටිකක් නතර කරලා, ගමේ අයට සඟරා පොත් පත් බෙදලා දෙන්න අවස්ථාව ගන්නවා කියලයි. ඒ අතරින් එක අද්දැකීමක් ගැන ඔහු සඳහන් කරන්නේ මේ විදිහටයි. “බබුආ කියන ගමේ, බයිබලය ඉගෙනගන්න උනන්දු රෝහල් සේවකයෙක් ඉන්නවා. අපි යන මේ හැම වතාවකම වගේ එයත් එක්ක ටික වෙලාවකට බයිබල් පාඩමකුත් කරනවා. දවසක් අපි එයාගේ ගෙදරදී නෝවාගේ වීඩියෝ පටය පෙන්නුවා. එයාගේ ගෙදර අය විතරක් නෙවෙයි ටික වෙලාවක් යද්දී එයාගේ යාළුවෝ සහ වටේ පිටේ අයත් ආව නිසා මුළු ගේම පිරුණා. මේ ඔක්කොම වගේ නෝවා ගැන අහලා තියෙනවා. ඒ නිසා වීඩියෝ පටයේ දකින දේවල් තේරුම්ගන්න එයාලට ලෙහෙසි වුණා. එයාලා ඒ ගැන අගය කරපු විදිහ දැකලා අපිට පුදුම හිතුණා. ඊට පස්සේ ඒ අය අපිට විශේෂ කෑමක් ලෑස්ති කෙරුවා විතරක් නෙවෙයි රෑ නතර වෙන්න කියලත් බල කෙරුවා. ඒත් අපිට වෙලා තිබුණේ නැති නිසා අපි ඉක්මනින්ම පිටත් වුණා. කොහොමවුණත් ඒ වගේ අවංක නිහතමානී මිනිසුන් එක්ක ශුභාරංචිය බෙදාගන්න ලැබුණු එක ගැන අපිට දැනුණේ පුදුමාකාර සතුටක්.”

අපිත් එක්ක හිටිය තවත් රියදුරෙකුටත් හොඳ අද්දැකීමක් තිබුණා. එයාගේ නම ඊශ්‍රායෙල්. අපි මේ යන බැන්ගුයි කියන නගරයට දවසක් එයා යද්දී සිදු වුණු දෙයක් ගැනයි, එයා මේ කියන්න යන්නේ. “බැන්ගුයිවලට කිට්ටු කරද්දී ගොඩාක් මාර්ග බාධක තියෙනවා. හැබැයි එහේ ඉන්න ගොඩාක් සොල්දාදුවන් අපිත් එක්ක යාළුයි. අපි කලින් වතාවලත් ඇවිත් තියෙන නිසා සමහර අයට අපිව හොඳට මතකයි. බොහෝ අවස්ථාවල ඒ අය අපිට ඉඳගන්න දීලා අපිත් එක්ක කතා බහ කරනවා. අපේ සඟරා පොත් පත් කියවන්නත් ඒ අය හරි කැමතියි. අපි දුන්නු පොත් ඒගොල්ලන් බොහොම ඉහළින් අගය කළා. ඒ පොතේ එයාලගේ නම සහ දිනය විතරක් නෙවෙයි පොත දුන් කෙනාගේ නමත් ලිව්වා. සමහර සොල්දාදුවන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන නෑදෑයනුත් ඉන්නවා. මේ අය අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීමට ඒකත් එක හේතුවක් වුණා.”

මේ වගේ ගමන්වලට පළපුරුදුම රියදුරා තමයි ජෝසෆ් කියන්නේ. ඔහු මේ වගේ ගමන්වල විශේෂ අවස්ථා හැටියට සලකන්නේ ගමනේ අවසානයයි. ඒ වගේ අවස්ථාවක් ගැන ඔහු මතක් කරන්නේ මේ විදිහටයි. “බැන්ගුයිවලට කිලෝමීටර් කිහිපයක් තියලා අපි එහෙ ඉන්න සහෝදරයන්ට දුරකථන ඇමතුමක් දීලා කිව්වා, තව ටික වෙලාවකින් අපි එනවා කියලා. එයාලා අපිව එක්කගෙන යන්න ආවා විතරක් නෙවෙයි, එහෙ රජයේ බලධාරීන්ගෙන් ගන්න අවශ්‍ය ලියකියවිලි ලබාගැනීමටත් අපිට උදව් කළා. ඒ විතරක් නෙවෙයි අපි බැන්ගුයිවලට එනකොට ශාඛා කාර්යාලයේ සහෝදරයෝ ඇවිල්ලා අපිව වැලඳගෙන ඉතාමත් ඉහළින් පිළිගත්තා. ඒ එක්කම වගේ, ළඟපාත සභාවලින් අපිට උදව් කරන්නත් සහෝදරයෝ ආවා. පැය කිහිපයයි ගියේ, බයිබල්, පොත්, පොත් පිංච, සඟරා අහුරලා තිබුණු පෙට්ටි ඔක්කොම ටික බාලා ට්‍රක් එක හිස් කළා.”

ජෝසෆ් මෙහෙමත් කියනවා. “සමහර දවස්වලට පොත් පත් විතරක් නෙවෙයි සහෝදරයන් පරිත්‍යාග කරපු ඇඳුම්, සපත්තු වගේම පොඩි ළමයින්ට අවශ්‍ය දේවලුත් අපි අරගෙන එනවා. අපි මේවා ගේන්නේ අසල්වැසි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉන්න අපේ සහෝදරයන්ටයි. ඒවා ලබන සහෝදර සහෝදරියන්ගේ සිනහා මුසු මුහුණුවලින් පෙනෙන්නේ ඒ අය මේ පරිත්‍යාග කොයි තරම් අගය කරනවාද කියන එකයි.”

දවසක විවේකයෙන් පසුව අපි නැවතත් ගෙදර එන්න සූදානම්. අපි ආයෙත් යද්දී තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවෙන එක ඇත්තයි. ඒ වුණත් මේ ගමනේදී අපි ලබපු තෘප්තිමත් අද්දැකීම් එක්ක බලද්දී ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි.

ගව්ගාණක් දුර ගමන, මොර සූරන වැස්ස, වාහනේ කැඩුනම විතරක් නෙවෙයි ටයර්වල හුළං ගියාම, එතකොට සොල්දාදුවන් අකාරුණික විදිහට සලකනකොට, ඇත්තෙන්ම මේවා කලකිරවන අද්දැකීම් තමයි. නමුත් රාජ්‍යයේ ශුභාරංචිය අඩංගු ප්‍රකාශන අප්‍රිකාවේ දුර ඈත ප්‍රදේශවල සිටින අය අතට පත් කරන්න හැකිවීමත් මිනිසුන් ඒවායින් ප්‍රයෝජන ලබන ආකාරය දැකීමත් මෙම රියදුරන්ට ගෙන දෙන්නේ පුදුමාකාර තෘප්තියක්.

දුෂ්කර ප්‍රදේශවලටත් ශුභාරංචිය අඩංගු ප්‍රකාශන බෙදාහැරීමට මෙයාකාරයෙන් බොහෝ වෑයම් දරා තිබෙනවා. ඒ නිසා මධ්‍යම අප්‍රිකාවේ දුර බැහැර පළාතක ජීවත් වන එනම් සුඩානයේ දේශ සීමාව ආසන්නයේ ජීවත් වන එක් පුද්ගලයෙකුට, අලුතින්ම පරිවර්තනය කළ බයිබලයක් කියවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔහුගේ භාර්යාව නොකඩවාම මුරටැඹ සඟරාව කියවන අතර මේ දෙදෙනාගේ දරුවන් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු කියන පොත කියවීමෙන් ප්‍රීතියක් ලබනවා. * මේ අයට මෙන්ම දුර ඈත පළාත්වල ජීවත් වන වෙනත් ජනයාටත් ජනාකීර්ණ නගරවල සිටින සෙසු ක්‍රිස්තියානීන් මෙන් නොකඩවා ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට අවශ්‍ය සැපයුම් ලැබෙනවා. ඇත්තෙන්ම එය තේරුම්ගැනීම මෙම දුෂ්කර කාර්යයේ නිරත වන අයට ගෙන දෙන්නේ මොන තරම් මහත් තෘප්තියක්ද!

[පාදසටහන්වල]

^ 6 ඡේ. මේ වතාවේ සිට ඩොයුලා සිට බැන්ගුයි දක්වා ගමන් මඟේ ආරක්ෂාව තහවුරු කිරීමට බොහෝ සැලසුම් යොදා තිබෙනවා.

^ 25 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[9වන පිටුවේ සිතියම්⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කැමරූන්

ඩොයුලා

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව

බැන්ගුයි

[9වන පිටුවේ පින්තූරය]

ජෝසෆ්

[9වන පිටුවේ පින්තූරය]

එම්මානුවෙල්

[10වන පිටුවේ පින්තූරය]

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ බැන්ගුයිවල පිහිටා තිබෙන ශාඛා කාර්යාලය

[10වන පිටුවේ පින්තූරය]

බැන්ගුයිවලට පැමිණි පසු ට්‍රක් රථයෙන් පොත් පත් බාන අවස්ථාවක්