Skip to content

පටුනට යන්න

පාවුල්ගේ ගමන් මඟේ නැවතුම්පොළක් වූ සිරකූසය

පාවුල්ගේ ගමන් මඟේ නැවතුම්පොළක් වූ සිරකූසය

පාවුල්ගේ ගමන් මඟේ නැවතුම්පොළක් වූ සිරකූසය

මධ්‍යධරණී මුහුදේ මෝල්ටාව නමැති දූපතේ සිට ඉතාලිය දක්වා නැවක් යාත්‍රා කළා. ඒ, ක්‍රිස්තු වර්ෂ 59දීයි. එම නැවේ ඉදිරිපස ‘සියුස්ගේ පුත්‍රයන්ගේ’ කැපූ රූපයක් සවි කර තිබුණා. මිනිසුන් ඔවුන්ව සැලකුවේ නාවිකයන්ගේ ආරක්ෂකයා හැටියටයි. එම නැව සිසිලිය නමැති දූපතේ ගිනිකොන මුහුදු තීරයේ “සිරකූසයෙහි වරායට ඇවිත්, එහි දවස් තුනක් නැවතී” සිටි බව බයිබල් ලේඛක ලූක් වාර්තා කරනවා. (ක්‍රියා 28:11, 12) නඩු විභාගයක් සඳහා මෙම නැවෙන් පාවුල්ව රෝමයට ගෙන යමින් සිටි අතර ලූක් සහ අරිස්තාකස්ද ඔහු සමඟ එහි සිටියා.—ක්‍රියා 27:2.

සිරකූසයේදී පාවුල්ට ගොඩ බසින්න අවසර දුන්නාද නැද්ද කියා ස්ථිරව කියන්න එහි බැහැ. නමුත් ඔහු හෝ ඔහු සමඟ ගිය අනෙක් දෙදෙනා එසේ ගොඩ බැස්සා නම් ඔවුන්ට කුමක් දැකගන්න හැකි වෙයිද?

ඇතන්ස් සහ රෝමය යන නගර මෙන්ම සිරකූසයත් එවකට ඉතා වැදගත් නගරයක්ව පැවතුණා. මෙම නගරය ක්‍රිස්තු පූර්ව 734දී පුරාණ කොරින්තිවරුන් විසින් ගොඩනැඟූ බව සඳහන් වෙනවා. යම් කලකට සිරකූසය මහත් කීර්තියෙන් වැජඹුණු අතර සුප්‍රකට පුද්ගලයන් කිහිපදෙනෙකුම මෙම නගරයෙන් බිහි වුණා. ප්‍රසිද්ධ නාට්‍යය රචකයෙක් වූ එපිකාමස් සහ ගණිතඥයෙක් වූ ආකිමීඩීස් ඒ අතරින් දෙදෙනෙක් පමණයි. කෙසේනමුත් ක්‍රි.පූ. 212දී සිරකූසය රෝමවරුන් විසින් ආක්‍රමණය කළා.

මෙම නගරයේ සංචාරය කිරීමට ඔබ සැලසුම් කර තිබෙනවාද? එසේ කර තිබෙනවා නම් එදා පාවුල්ගේ කාලයේදී මෙම නගරය පැවති ආකාරය ගැන යම් අවබෝධයක් ලබාගන්න ඔබට හැකි වෙයි. මෙම නගරය කොටස් දෙකකින් යුක්තයි. ඉන් එක් කොටසක් ඕටීග්ඉයා යන නමින් හැඳින්වෙන කුඩා දිවයිනක්. සමහරවිට පාවුල් ගමන්ගත් නැව සේන්දු වුණේ මෙතැනට විය හැකියි. අනෙක් කොටස ගොඩබිමට වෙන්න පිහිටා තිබෙනවා.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කළ ඇපලෝගේ දේවස්ථානයේ නටඹුන් එම කුඩා දිවයිනේ ඔබට දැකගත හැකියි. එමෙන්ම ඇතීනා දේවතාවියට කැප කළ දේවස්ථානයක කුලුනු කිහිපයක්ද එහි දක්නට තිබෙනවා. ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේදී එය ඉදි කළ අතර පසු කාලයේදී එය දේවස්ථානයක් බවට පත් කළා.

වර්තමාන සිරකූසයේ ඔබට පෞරාණික දේවල් බොහොමයක් ඇති විශාල උද්‍යානයක් දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අසලටම වෙන්න ග්‍රීක රංගභූමියකට ඇතුල්වීමේ දොරටුවක්ද දකින්න ලැබෙනවා. එම නටඹුන්වලින් කියාපාන්නේ ග්‍රීක රංගභූමි නිර්මාණ ශිල්පය මොන තරම් ඉහළ තලයක තිබුණාද යන්නයි. එය මුහුද දෙසට මුහුණලා නිර්මාණය කර තිබෙන නිසා එහි ඉදිරිපත් කළ රංගන සහ සංදර්ශනවලට එය ඉතාම කදිම පසුබිමක් ලබා දුන්නා. මෙම විශාල උද්‍යානයේ දකුණු දෙසට වෙන්න ක්‍රි.ව. තුනේදී පමණ නිර්මාණය කළ රෝම රංගභූමියක්ද තිබෙනවා. එය දිගින් මීටර් 140ක් සහ පළලින් මීටර් 119ක් වන අතර බිත්තරයක හැඩයෙන් යුක්තයි. ඉතාලියේ තිබෙන පුරාණ රංගභූමි අතරින් විශාලත්වයෙන් තුන්වන ස්ථානය හිමි වන්නේ මෙයටයි.

සිරකූසය නැරඹීමට ඔබට යම් දිනක අවස්ථාවක් ලැබුණොත් ඕටීග්ඉයා දිවයිනේ වෙරළ අසල මුහුද දෙසට මුහුණලා තිබෙන බංකුවක් මත ඉඳගෙන ඔබේ බයිබලයේ ක්‍රියා 28:12ට පෙරළාගන්න. ඉන්පසුව පාවුල් රැගත් ඒ නැව ඔබ අසල තිබෙන වරායට සෙමින් සෙමින් සේන්දුවන ආකාරය සිතින් මවාගන්න.

[30වන පිටුවේ රූප සටහන⁄සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මෝල්ටාව

සිසිලිය

සිරකූසය

ඉතාලිය

රෙජියම්

පුටෙයෝලිය

රෝමය

[30වන පිටුවේ පින්තූරය]

සිරකූසයේ ඇති ග්‍රීක රංගභූමියක නටඹුන්