Skip to content

පටුනට යන්න

බැටළුපැටවා සමඟ එක්වීමේ ප්‍රීතිය

බැටළුපැටවා සමඟ එක්වීමේ ප්‍රීතිය

බැටළුපැටවා සමඟ එක්වීමේ ප්‍රීතිය

යෙහෝවා දෙවි වෙනුවෙන් කැප වී සේවය කළ මුල් අවුරුදු 50 මතකයට නඟමින්, 1971දී සහෝදර කැරී බාබර් විසින් ලියූ ලිපියේ මෙවැනි දෙයක් සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සේවය වෙනුවෙන් අවුරුදු 50ක් පුරා මම ගත කරපු ඒ කාලය මගේ ජීවිතයේ හොඳම කාලයයි. දෙවිගේ බොහෝ සේවකයන් සමඟ ආශ්‍රය කරන්නත් දුෂ්ටයාගේ ලෝකයෙන් ආරක්ෂා වී සිටින්නත් ස්වර්ගයේ ජීවත්වීමේ බලාපොරොත්තුව නමැති තෑග්ග ලබාගන්නත් මට අවස්ථාව ලැබුණේ ඒ කාලයේදීයි. ඒ වගේම දෙවිට කැප වී සේවය කිරීම නිසා මනසේ සාමයත් තෘප්තියත් මම භුක්ති වින්දා.”

එම ලිපිය ලියා අවුරුදු හයක් ගත වූ පසු එනම් 1977දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය ඔහුට ලැබුණා. එතැන් සිට ගෙවී ගිය අවුරුදු 30 පුරාමත් ඔහු සේවය කළේ ස්වර්ගයේ ජීවත්වීමේ බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි. වයස අවුරුදු 101ව සිටි ඔහු 2007 අප්‍රියෙල් 8වන ඉරුදින මිය ගියා. එතෙක් එනම් තම ජීවිතයේ අවසානය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටීම හේතුවෙන් තම බලාපොරොත්තුව අත් කරගැනීමට ඔහුට හැකි වුණා.—1 කොරින්ති 15:57.

සහෝදර කැරී බාබර් 1905දී එංගලන්තයේ උපත ලැබු අතර ඔහු බව්තීස්ම වුණේ 1921 කැනඩාවේ විනිපෙග් නගරයේයි. ඉන් අවුරුදු දෙකකට පසුව ඔහුටත් ඔහුගේ නිවුන් සහෝදරයා වූ නොර්මන්ටත් නිව්යෝක් බෙතෙල්හි අලුත් ව්‍යාපෘතියට දායක වීමට අවස්ථාවක් ලැබුණා. ඒ වන විටත් “මුළු ජනාවාස පොළොව පුරාම” ශුභාරංචිය දේශනා කිරීම සඳහා පොත් පත් මුද්‍රණය කිරීමේ අලුත් ව්‍යාපෘතියට දෙවිගේ සේවකයන් සුදානම් වෙමිනුයි සිටියේ. (මතෙව් 24:14) මුද්‍රණ අංශයේ සේවය කිරීම ඔහුට ලැබුණු මුල්ම පැවරුම්වලින් එකක්. එහිදී දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගෙන ගිය නඩුවල පිටපත් ඔහු මුද්‍රණය කළා. ඉන්පසු දේශනා සේවයේ වැඩකටයුතු හා සභාවන් අධීක්ෂණය කිරීම සඳහා ඔහුව සේවා අංශයට පත් කරනු ලැබුවා.

වර්ෂ 1948දී ඔහුව එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ සංචාරක අවේක්ෂකයෙකු හැටියට පත් කළ අවස්ථාවේදී එම අංශයෙන් ඔහු ලැබූ අද්දැකීම් ඔහුට බොහෝසෙයින් උපකාරවත් වුණා. එහි ගෙයින් ගෙට දේශනා සේවයේ හවුල් වීමෙන් ඔහු ලැබුවේ ඉමහත් ප්‍රීතියක්. ඒ වගේම සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකුව දැන හඳුනා ගන්නත් ඔහුට අවස්ථාව ලැබුණා. දේවසේවය සඳහා ඔහුට තිබූ උද්‍යෝගය හා කැපවීම තවත් වරප්‍රසාදයක් අත් කරගන්න ඔහුට රුකුලක් වුණා. ඒ, 26වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට ඇතුල් වීමේ වරප්‍රසාදයයි. සිඩ්නි ලී බෲවර් නමැති සහෝදරියව ඔහුට මුණගැසුණෙත් මේ පාසැලේදීයි. ජීවිතයේ නව පිටුවක් පෙරළමින් සහෝදර බාබර් ඇය සමඟ විවාහ වුණා. ඉන්පසු ඔවුන් දෙදෙනාම ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නම් ප්‍රදේශයේ සංචාරක සේවයේ හවුල් වුණා. මෙසේ අවුරුදු 20ක් පුරා ඔවුන් සංචාරක සේවයේ නියැලුණා. එතරම් දිගු කලක් පුරා මෙවැනි වගකීම්වලින් පිරි සේවයක නියැලෙන්න ඔහුගේ බිරිඳ ඔහුට ලබා දුන්නේ නොමද සහයෝගයක්.

බොහෝදෙනෙක් සහෝදර බාබර්ව හොඳින් හඳුනනවා. ඔහු දශක ගණනාවක් පුරා දිස්ත්‍රික් හා චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කළා. ඔහු අවුරුදු 30ක් පුරා සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සේවය කළ අතර පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියටත් ලොව පුරා සංචාරය කර තිබෙනවා. ඒ නිසා බොහෝ අයට ඔහුව මුණගැසී ඇති. මෙවැනි සහෝදරයෙක් අහිමි වීම අපට ලොකු දුකක් වුණත් ඔහු බැටළුපැටවා සමඟ එක්වීම ගැන අපට බොහෝසෙයින් සතුටු විය හැකියි.