Skip to content

පටුනට යන්න

මුහුද සිසාරා “කිත්තිම්හි නැව්”

මුහුද සිසාරා “කිත්තිම්හි නැව්”

මුහුද සිසාරා “කිත්තිම්හි නැව්”

නාවික යුද්ධ ගණනාවක්ම මධ්‍යධරණී මුහුදේදී සිදු වී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව හාරසිය ගණන්වල සිදු වූ එක් යුද්ධයක් ගැන ඔබේ සිතේ මවාගන්න. ට්‍රයිරීම් නමැති විශාල රුවල් නැවක් වේගයෙන් ඉදිරියට ඇදෙනවා. මෙම නැවේ හැඩි දැඩි හබල්කරුවන් 170ක් පමණ සිටින අතර මෙහි යට මහල තට්ටු තුනකින් සමන්විතයි. නැව දෙපැත්තේ ඇති කුඩා කවුළු අසල සිටින හබල්කරුවන්ගේ හබල් ඔබට පෙනෙනවාද? දිය දෙබෑ කරගෙන නැව ඉදිරියට තල්ලු කරන්න ඔවුන් වෙර දරන හැටි බලන්න.

පැයට කිලෝමීටර් 17ක පමණ උපරිම වේගයකින් මේ නැව සතුරු නැවක් දෙසට ඇදෙයි. සතුරු නැව පලා යන්න උත්සාහ කළත් ඉන් පලක් නැහැ. ට්‍රයිරීම් නැව සතුරු නැවේ බඳ දෙසට වේගයෙන් ඇදී එයි. නැවේ ඉදිරි කොටසේ උල් කළ ලෝකඩ පොල්ලක් සවි කර තිබෙනවා. ජලයෙන් යට කොටසෙහි සවි කර ඇති මෙය යොදාගන්නේ සතුරු නැව් සිදුරු කර මුහුදුබත් කරන්නයි. නැව් බඳට වදින දරුණු පහරෙන් සතුරු නැවේ පදාසයක්ම බිඳී ගොසින්. එමගින් ඇති වූ විශාල සිදුරෙන් ගලා එන ජල කඳ සතුරාව වියවුල් කරයි. ඒ සමඟම ආයුධ සන්නද්ධ සටන්කරුවන් සතුරු නැවට පැන එය ආක්‍රමණය කරයි. ඇත්තෙන්ම එවකට තිබූ සමහර නැව් මේ ආකාරයට සතුරු හමුදා දණ ගස්සවන්න සමත් වුණා.

“කිත්තිම්” සහ “කිත්තිම්හි නැව්” ගැන බයිබලය අධ්‍යයනය කරන අය මහත් උනන්දුවක් දක්වනවා. ඊට හේතුව නම් ඒ ගැන බයිබලයේ අනාවැකි පළ කර තිබීමයි. (ගණන් කතාව 24:24; දානියෙල් 11:30; යෙසායා 23:1, නව ලොව පරිවර්තනය, NW) කිත්තීම් පිහිටා තිබුණේ කොහේද? කිත්තිම්හි නැව් ගැන අප දන්නේ මොනවාද? ඒ ගැන දැනගැනීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද?

කිත්තිම් කියන්නේ කෙතිමොස් නම් ස්ථානයට බව යුදෙව් ඉතිහාසඥයෙක් වූ ජොසීෆස් සඳහන් කරනවා. තිබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ එය සයිප්‍රස් දූපත බවයි. ඊට තවත් සාක්ෂියක් නම් දූපතේ ගිනිකොන දෙසින් පිහිටි කිටියොන් නගරයයි. එය පිහිටා තිබුණේ ඉපැරණි වෙළඳ නැව් මාර්ගයකයි. නැඟෙනහිර මධ්‍යධරණී මුහුදේ පිහිටා තිබූ වරායන්ට ඉතා කිට්ටුවෙන් සයිප්‍රසය පිහිටා තිබූ නිසා ඊට පහසුවෙන්ම ළඟා විය හැකි වුණා. යුධ කටයුතු සඳහාත් එය වාසිදායක තැනක්. ඒ හේතුවෙන් විවිධ ජාතීන්ගේ යුද්ධවලට සහය දීමටත් ඔවුන්ට සිදු වුණා. මෙසේ සයිප්‍රසයේ භූගෝලීය පිහිටීම සමහර ජාතීන්ට සහනයක් වුණත් තවත් සමහරුන්ට විශාල හිසරදයක් වුණා.

සයිප්‍රස් වැසියන් හා මුහුදු ගමන්

සයිප්‍රසයේ නැව් ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබා දීමට පුරාණ ලියකියවිලිවල මෙන්ම මැටි භාණ්ඩවල ඇඳ තිබූ සිතුවම් උපකාර වෙනවා. එමෙන්ම සොහොන් ගෙවල් හා මුහුදු පතුලේ කළ කැණීම් ආදියෙන් සොයාගත් තොරතුරුද මහත් රුකුලක්. පුරාණ සයිප්‍රස් වැසියන්, නැව් තනන්න රුසියන්. සයිප්‍රස් දූපත වටා පිහිටා තිබූ මුහුදු බොකු නිසා ස්වාභාවික වරායන් ගණනාවක්ම තිබුණා. එවකට එම දූපත ඝන කැලෑවෙන් වැහිලයි තිබුණේ. ඔවුන් ගස් කපා හෙළුවේ නැව් තනන්න පමණක් නොවෙයි. එහි බහුලව තිබූ තඹ උණු කිරීමටත් දැව පාවිච්චි කළා.

සයිප්‍රසය වෙළඳාම අතින් දියුණු වුණා. ෆිනීෂියානුවන්ද නිකම් සිටියේ නැහැ. ඔවුන්ද එහි පැමිණ වෙළඳ නැව් මාර්ගවල ජනපද පිහිටුවාගත්තා. කිටියොන් එවන් එක් ජනපදයක්.—යෙසායා 23:10-12

තීර් නගරය බිඳ වැටුණු පසු එහි වැසියන් වූ ෆිනීෂියානුවන් සරණාගතයන් ලෙස කිත්තිම් වෙත ගිය බව පෙනී යනවා. මුහුදු ගමන්වල යෙදී අද්දැකීම් බහුලව සිටි මේ ජනපදවාසීන් නැව් තැනීමේ තාක්ෂණය සයිප්‍රස් වැසියන්ට ලබා දුන් බව පැහැදිලියි. ෆිනීෂියානු නැව්වලට කිටියොන්හි පිහිටීම විශාල ආරක්ෂාවක් සැපයුවා.

ජාත්‍යන්තර වෙළඳාම

පුරාණ කාලයේ මේ ප්‍රදේශවල කළ වෙළඳ කටයුතු දියුණු මුහුණුවරක් ගත්තා. වටිනා වෙළඳ ද්‍රව්‍ය ක්‍රීට්, සාඩිනියාව හා සිසිලිය ඇතුළු ඒජියන් මුහුදේ දූපත්වලටත් සයිප්‍රසයෙන් රැගෙන ගියා. සයිප්‍රස් සිට ගෙනා මැටි බඳුන් එවැනි ප්‍රදේශවලදී සොයාගෙන තිබෙනවා. එමෙන්ම ග්‍රීසියෙන් ගෙනා මැටි බඳුන් බොහෝ ප්‍රමාණයක් සයිප්‍රසයෙන්ද සොයාගෙන තිබෙනවා. සාඩිනියාවෙන් සොයාගත් තඹ කුට්ටි සයිප්‍රසයෙන් ගෙනා ඒවා බව සමහර විශාරදයන් පවසනවා.

වර්ෂ 1982දී තුර්කියේ දකුණු දෙසින් වූ මුහුදු පත්ලෙන් නැවක සුන්බුන් සොයාගත්තා. එය ක්‍රි.පූ. එක්දහස් තුන්සිය ගණන්වලට අයත් එකක්. විවිධ රටවලින් ගෙනා භාණ්ඩ එහි තිබී සොයාගත්තා. සයිප්‍රසයෙන් යයි සිතිය හැකි තඹ කුට්ටි, රන් ආභරණ, කානාන් දේශයට අයිති මැටි ජෝගු මෙන්ම රන් හා රිදී ආභරණ, කළුවර දැව, ඇත් දළ හා ඊජිප්තුවරුන්ගේ පූජනීය වස්තු ඉන් සමහරක්. නැවේ තිබූ මැටි භාජන පරීක්ෂා කළ පසු එම නැව සයිප්‍රසයට අයත් එකක් යයි විශාරදයන් කියා සිටියා.

මේ නැව මුහුදුබත් වූවා යයි සිතන කාලයට ආසන්න කාලයේ ජීවත් වූ බාලාම් නැමති පුද්ගලයා කිත්තිම්හි සිට පැමිණෙන නැව් ගැන ‘අනාවැකි’ පවසා තිබීම විශේෂත්වයක්. (ගණන් කතාව 24:15, 24NW) මැද පෙරදිග නම් මේ නැව් ප්‍රකටව තිබෙන්න ඇති බව පෙනී යනවා. මේ නැව් මොන වගේද?

වෙළඳ නැව්

නැව්වල හා බෝට්ටුවල මැටි ආකෘති බොහෝමයක් සයිප්‍රසයේ ඉපැරණි ඇමතස් නගරයේ පිහිටි සොහොන් කුටිවලින් සොයාගත හැකි වුණා. සයිප්‍රස් වැසියන් තැනූ නැව් මොන වගේද කියා එමගින් වටිනා තොරතුරු සපයනවා. ඒවායින් සමහරක් කෞතුකාගාරවල දැකගත හැකියි.

මෙම මැටි ආකෘති මගින් පැහැදිලි වන්නේ එම පුරාණ නැව් සාමකාමී ලෙස වෙළඳ කටයුතු සඳහා යොදාගත් බවයි. කුඩා නැව්, හබල්කරුවන් 20දෙනෙකු විසින් යාත්‍රා කරවනු ලැබුවා. සයිප්‍රසයේ වෙරළාසන්න මුහුදේ මඟීන් හා භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා පළල් ගැඹුරු බඳක් සහිත නැව් තනා තිබුණා. රාත්තල් දෙලක්ෂයක් පමණ බර පැටවිය හැකි නමුත් සැහැල්ලු මෙන්ම කුඩා හබල් නැව් සයිප්‍රස් වැසියන් විසින් තැනූ බව රෝම විශාරදයෙක් පවසනවා.

කලින් සඳහන් කළ, තුර්කියේ වෙරළාසන්න මුහුදෙන් සොයාගත් නැව හා සමාන විශාල වෙළඳ නැව්ද තිබුණා. එවැනි නැව්වලට රාත්තල් දස ලක්ෂයක් පමණ බර පටවාගෙන යා හැකි වුණා. විශාල නැව් අඩි 100ක් පමණ දිගයි. කුඹ ගස අඩි 30කට වඩා උසයි. එම නැව් හබල්කරුවන් 50දෙනෙකුගේ ආධාරයෙන් යාත්‍රා කළා.

බයිබලයේ සඳහන් “කිත්තිම්හි” යුධ නැව්

යෙහෝවා දෙවිගේ බලයේ උපකාරයෙන් බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “කිත්තිම්හි සිට නැව් පැමිණ ඇසිරියාවට හිරිහැර කරන්නෝය.” (ගණන් කතාව 24:2, 24NW) මේ අනාවැකිය ඉටු වුණාද? එම ඉටු වීමේදී සයිප්‍රසයෙන් පැමිණි නැව් සිදු කළේ කුමක්ද? එම ‘නැව් කිත්තිම් සිට පැමිණියේ’ සාමකාමී වෙළඳ කටයුතු සඳහා නම් නොවෙයි. ඒ වෙනුවට යුද්ධය සඳහායි.

යුධ උපායන් ක්‍රමානුකූලව වෙනස් වෙත්ම වඩා වේගවත් ශක්තිමත් නැව් තනන්න පටන්ගත්තා. සිතුවම්වල දක්වා ඇති ආකාරයට සයිප්‍රස් වැසියන් මුලින්ම තැනූ යුධ නැව් ෆිනීෂියානු යුධ නැව්වලට සමානයි. ඒවායේ බඳ පටුයි, දිගයි. එහි අවරය (පසු කොටස) ඉහළට ගොස් ඇතුළට නැමී තිබෙනවා. ඉදිරිපස මුහුණතේ උල් ලෝකඩ පොල්ලක් සවි කර ඇති අතර නැවේ අවරයේ සිට ඉදිරිපස දක්වා රවුම් පලිස් සවි කර තිබෙනවා.

මුලින්ම බයිරීම් (හබල්කරුවන් තට්ටු දෙකක සිට යාත්‍රා කරවන) නැව් තැනුවේ ක්‍රි.පූ. හත්සිය ගණන්වලදී ග්‍රීකයන් විසිනුයි. මෙම නැව් අඩි 10ක් පමණ පළල්, අඩි 80ක් පමණ දිග ඒවායි. ඒවා මුලින්ම යොදාගත්තේ ගොඩබිමේ සිදු වන යුද්ධ සඳහා සෙබළුන්ව ප්‍රවාහණය කිරීමටයි. වැඩි කල් යන්න මත්තෙන් තුන්වන තට්ටුවක් ඊට එකතු කළ අතර කලින් මෙන් නැවේ ඉදිරිපස මුහුණතට උල් පොල්ලක්ද සවි කළා. එම අලුත් නැව ට්‍රයිරීම් ලෙස නම් කළා. සලමිසයේදී (ක්‍රි.පූ. 480දී) ග්‍රීකයන් විසින් පර්සියානු නාවික හමුදාව පරාජය කළ අවස්ථාවේදී මෙම නැව් ප්‍රසිද්ධියට පත් වුණා.

පසු කාලයක රටවල් අල්ලාගැනීමට වේගවත් ගමනක යෙදුණු මහා ඇලෙක්සැන්ඩර් රජද ඔහුගේ ට්‍රයිරීම් නැව් සමූහය ග්‍රීසියේ සිට නැඟෙනහිර දෙසට යාත්‍රා කෙරෙව්වා. එම නැව් විශේෂයෙන්ම තනා තිබුණේ යුධ කටයුතු සඳහායි. දිගු කාලයක් පුරා මුහුදේ යාත්‍රා කරන්න නොවෙයි. ඒවා ප්‍රමාණයෙන් කුඩා වූ නිසා බොහෝ දේවල් එහි ගෙනයාමට හැකි වුණේ නැහැ. එමනිසා අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමටත් අලුත්වැඩියා කටයුතු සඳහාත් ඒජියන් මුහුදේ දූපත්වල නවත්වන්න ඔවුන්ට සිදු වුණා. ඇලෙක්සැන්ඩර් රජුගේ එකම අරමුණ වුණේ පර්සියානු නාවික හමුදාව විනාශ කර දැමීමයි. එසේ කිරීමට පෙර තීර් නම් ප්‍රබල බලකොටු නගරය පරාජය කළ යුතු වුණා. ඊට පෙර කෙටි විවේකයක් සඳහා ඔවුන් සයිප්‍රසයේ නැවතුණා.

මහා ඇලෙක්සැන්ඩර් රජ තීර් නගරය අල්ලාගැනීමට (ක්‍රි.පූ. 332දී) යද්දී සයිප්‍රස් වැසියන් නැව් 120ක් සපයමින් ඔහුට එකතු වුණා. එවකට සයිප්‍රසය පාලනය කළ රජවරු තුන්දෙනාද එම යුද්ධයට එක් වී මාස හතක් පුරාම රජට සහය දැක්වුවා. තීර් නගරය විනාශ වීමත් සමඟම බයිබලයේ සඳහන් කළ අනාවැකියද ඉටු වුණා. (එසකියෙල් 26:3, 4; සෙකරියා 9:3, 4) මහා ඇලෙක්සැන්ඩර් රජ තමන්ට සහය වූ එම රජවරුන්ට අමතර බලතල දී ඔවුන්ට කෘතගුණ සැලකුවා.

විශිෂ්ට ඉටුවීමක්

මහා ඇලෙක්සැන්ඩර් රජ අරාබිකරයේ කළ යුද්ධ සඳහාද සයිප්‍රසයේ හා ෆිනීෂියාවේ නැව්වල සහය ලබාගත් බව මුල් සියවසේ සිටි ඉතිහාසඥයෙක් සඳහන් කරනවා. එම නැව් පහසුවෙන් ගලවා නැවත සවි කළ හැකි සැහැල්ලු ඒවායි. එහි ප්‍රතිඵලයක් හැටියට දින හතකින් සිරියාවේ උතුරෙන් පිහිටි තිප්සා නගරයට ඔවුන් පැමිණියා. (1 රාජාවලිය 4:24) එවැනි නැව් උපයෝගී කරගෙන එතැන් සිට යුප්‍රටීස් ගඟ දිගේ බැබිලෝනියට පැමිණියා.

මෙසේ බයිබලයේ එතරම් කැපී නොපෙනෙන අනාවැකියක් අවුරුදු 1,000කට පමණ පසුව ඉතාම විශිෂ්ට ආකාරයකින් ඉටු වුණා! ගණන් කතාව 24:24හි පවසා ඇති ආකාරයටම මහා ඇලෙක්සැන්ඩර් රජගේ යුධ හමුදාව මැසිඩෝනියාවේ සිට නැඟෙනහිර දෙසට ගමන් කළා. පසුව ඇසිරියානු දේශයම ආක්‍රමණය කරමින් අවසානයේදී බලවත් මේද පර්සියානු අධිරාජ්‍යයද පරාජයට පත් කළා.

“කිත්තිම්හි නැව්” ගැන අපට බොහෝ තොරතුරු නැතත්, තිබෙන තොරතුරු මගින් බයිබලයේ අනාවැකි ඉටු වී ඇති ආකාරය තේරුම්ගැනීමට හැකි වී තිබෙනවා. බයිබල් අනාවැකි විශ්වාස කිරීමටත් අපගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගැනීමටත් එවන් ඓතිහාසික සාක්ෂි අපට උපකාරවත් වෙනවා. එවන් අනාවැකි කෙරෙහි ඇදහිල්ලක් වර්ධනය කරගැනීම, බොහෝ ආශීර්වාදවලට මඟ පාදන නිසා අප ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුයි.

[16, 17වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉතාලිය

සාඩිනියාව

සිසිලිය

ඒජියන් මුහුද

ග්‍රීසිය

ක්‍රීට්

ලිබියාව

තුර්කිය

සයිප්‍රසය

කිටියොන්

තීර්

ඊජිප්තුව

[16වන පිටුවේ පින්තූරය]

ට්‍රයිරීම් නමැති ග්‍රීක යුධ නැවක ආකෘතියක්

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[17වන පිටුවේ පින්තූරය]

බයිරීම් නමැති පුරාණ ෆිනීෂියානු යුධ නැවක ආකෘතියක්

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[17වන පිටුවේ පින්තූරය]

බඳුනක සිතුවම් කර ඇති සයිප්‍රසයට අයත් නැවක්

[හිමිකම් විස්තර]

Published by permission of the Director of Antiquities and the Cyprus Museum

[18වන පිටුවේ පින්තූරය]

යෙසායා 60:9හි සඳහන් කර ඇති ආකාරයේ පුරාණ බඩු නැවක්