Skip to content

පටුනට යන්න

සැබෑ ආලෝකය දෙසට ඇදෙන්න

සැබෑ ආලෝකය දෙසට ඇදෙන්න

සැබෑ ආලෝකය දෙසට ඇදෙන්න

දින ගණනාවක් පුරා යාත්‍රා කිරීම ඕනෑම නැවියෙකුට ඉතා මත් වෙහෙසකර අද්දැකීමක්. එවැනි කෙනෙකුට ඈත ක්ෂිතිජයෙන් මතු වන ප්‍රදීපාගාරයක ආලෝකය මහත් සහනයක් ගෙන දෙනවා. මෙවන් ප්‍රදීපාගාර අසංඛ්‍යාත පිරිසකගේ දිවි රැකගැනීමට හේතු වී තිබෙනවා. ඈතින් දිස්වන එම ආලෝකයෙන් නැවියෙකුට කියාපාන්නේ කුමක්ද? එය මතුපිටට නොපෙනෙන ගල්පර සහ වැලි කණ්ඩි ගැන අනතුරු ඇඟවීමක්. ඊටත් වඩා එය තම වෙහෙස කර ගමනේ නිමාව ආසන්න බවට සංඥාවක්. අද සිටින ක්‍රිස්තියානීන්වත් නැවියන්ට සමාන කළ හැකියි. ඔවුනුත් ඉතා වෙහෙසකර වූ දුෂ්කර ගමනක නිමාවට පැමිණ තිබෙනවා. නැවියන් හා සමානව ඔවුන්ටත් ගමන් කිරීමට සිදු වී තිබෙන්නේ අන්ධකාර වූ ඔවුන්ගේ ඇදහිල්ලට ප්‍රබල තර්ජනයක් වන්නාවූ ලෝකයකයි. මේ ලෝකය හෙවත් දෙවිගෙන් ඈත් වූ මිනිස්වර්ගයාව ‘සන්සුන් වීමට බැරි, මඩ සහ කුණු මතු කරන කැලඹුණු මුහුදකට’ බයිබලයේ සමාන කර තිබෙනවා. (යෙසායා 57:20, නව ලොව පරිවර්තනය, NW) දෙවිගේ සේවකයන් භයානක වාතාවරණයක ජීවත් වුණත් ඉතාමත් ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඔවුන් සතුයි. එය ඔවුන් සලකන්නේ තමන්ට මඟ පෙන්වීම් සපයන දීප්තිමත් ආලෝකයක් හැටියටයි. (මීකා 7:8) ඇත්තෙන්ම ‘ධර්මිෂ්ඨයා උදෙසා ආලෝකය බැබළවීම ගැනත් අවංක සිත් ඇති අයට ප්‍රීති වීමට’ හැකි කරවීම ගැනත් අප යෙහෝවා දෙවිට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද!—ගීතාවලිය 97:11NW. *

මුල් සියවසේ හා සමානව අද දිනත් සමහර ක්‍රිස්තියානීන්ද “ඔවුන්ගේ ඇදහිල්ල නමැති නැව මුහුදුබත්” කරගෙන තිබෙනවා. ධනවත් වීමට උත්සාහ කිරීම, අනාචාරය සහ ඇදහිල්ල අත්හැර යෑම වැනි දේවල් මුහුදේ ඇති සැඟවුණු ගල්පරවලට සමාන කළ හැකියි. සමහර ක්‍රිස්තියානීන් දෙවි සපයන ආලෝකයෙන් බැහැර වීම නිසා මෙවැනි දේවලට හසු වී ඉතා කටුක අද්දැකීම්වලට මුහුණ පා තිබෙනවා. (1 තිමෝති 1:19; 2 පේතෘස් 2:13-15, 20-22) ක්‍රිස්තියානීන් යන මේ ගමනේ වරාය හෙවත් ගමනාන්තය වන්නේ පාරාදීස පොළොවයි. එය අප ඉදිරියේ පෙනි පෙනී තිබියදීත් අපගේ ඇදහිල්ල නමැති නැව මුහුදුබත් වුණොත් එය මොන තරම් අපරාධයක්ද!

ඇදහිල්ල නමැති නැව ආරක්ෂා කරගන්න

පසුගිය සියවස් ගණනාව දෙස හැරී බලද්දී බොහෝ නැව් අනතුරට පත් වී තිබෙන්නේ ගැඹුරු මුහුදේදී නොවෙයි. නමුත් වරාය ආසන්නයේදීයි. ගමනේ අභියෝගාත්මක මෙන්ම දුෂ්කරම අවස්ථාව එයයි. ඒ හා සමානව මිනිස් ඉතිහාසයේ අතිභයානකම කාලය එළඹ ඇත්තේ අප ජීවත් වන “කටයුතු කිරීමට අසීරු” මේ “අන්තිම දවස්” තුළයි.—2 තිමෝති 3:1-5.

මෙම අන්තිම දවස් එතරම්ම භයානක ඇයි? ඊට ප්‍රධානම හේතුව නම් දෙවිගේ සෙනඟට විරුද්ධව කටයුතු කිරීමට “තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව” සාතන් දැන සිටීමයි. ඒ නිසා ඔහු අපේ ඇදහිල්ල බිඳ දමන්න කුරිරු වෑයමක යෙදෙනවා. (එළිදරව් 12:12, 17) නමුත් අප අසරණ වී නැහැ. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වන අයට ඔහු දිගටම ආරක්ෂාව සපයනවා. (2 සාමුවෙල් 22:31) එමෙන්ම සාතන්ගේ කූට මෙන්ම දුෂ්ට උපක්‍රම ගැන ඔහු අපව හොඳින් දැනුවත් කර තිබෙනවා. දැන් අපි පුරාණ ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශය අද්දරටම ගොස් සිටියදී සිදු වූ සිද්ධීන් දෙකක් සලකා බලමු.—1 කොරින්ති 10:11; 2 කොරින්ති 2:11.

පොරොන්දු දේශය අද්දර

මෝසෙස්ගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් ගැලවී ආවා. වැඩි කල් යන්නට මත්තෙන් ඔවුන් පොරොන්දු දේශයේ දකුණු සීමාවට ළඟා වුණා. එවිට මෝසෙස් එම දේශයේ තොරතුරු සෝදිසි කිරීම සඳහා 12දෙනෙකුව පිටත් කර හැරියා. ඉන් දසදෙනෙක්ම නැවත පැමිණ පැවසුවේ එහි සිටින කානානිවරුන් “හරිම බලසම්පන්න” ජාතියක් නිසා ඔවුන්ව පරාජය කරන්න තමන්ට කොහෙත්ම නොහැකි බවයි. එය ඇසූ ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රතිචාරය කුමක් වුණාද? ඔවුන් මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කොඳුරමින් මෙසේ පැවසුවා. “මිනිස්සුන්ගේ අතින් මැරුම් කන්න යෙහෝවා දෙවි අපිව මේ දේශයට ගෙනයන්නේ ඇයි? ඔවුන් අපේ භාර්යාවන්ව හා දරුවන්ව පැහැර ගනියි. . . . අපි නායකයෙක්ව පත් කරගෙන ඊජිප්තුවට හැරිලා යමු.”—ගණන් කතාව 13:1, 2, 28-32; 14:1-4NW.

පීඩා දහයක් ගෙනෙමින් ලෝක බලයක්ව තිබූ ඊජිප්තුව අඩපණ කර, රතු මුහුදේ ජල කඳ දෙබෑ කර ඔවුන්ව ගලවාගත් ආකාරය ඔවුන් කොතරම් ඉක්මනින් අමතක කළාද? දැන් පොරොන්දු දේශය තිබෙන්නේ ඔවුන්ට පේන තෙක් මානයේයි. ඔවුන්ට තිබුණේ ආලෝකයක් බඳු දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වී ඉදිරියට යන්න පමණයි. ඊජිප්තු අධිරාජ්‍යයත් සමඟ සසඳද්දී කානානිවරුන් කිසිත් නැති තරම්. ඒත් ඒ බව විශ්වාස කරන්න තරම් ඇදහිල්ලක් මේ ජාතියේ බහුතරයකට තිබුණේ නැහැ. ඔවුන් හිතුවේ එතරම් මහත් දේ කළ දෙවිට මෙතරම් සුළු දෙයක් කරන්න බලය නැහැ කියායි. මේ ක්‍රියාව මගින් යෙහෝවා දෙවිත් ඔත්තු බැලීමට ගිය අනෙක් දෙදෙනාත් මොන තරම් දුක් වෙන්න ඇද්ද! එම දේශය පිළිබඳ සැබෑ තොරතුරු දැන සිටි යෝෂුවා සහ කාලෙබ් යන ඔත්තුකරුවන් දෙදෙනා නම් කානානිවරුන්ට බය වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පැවසුවේ “අපිට හරි ලේසියෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්” කියායි. ඊශ්‍රායෙල් ජාතියේ නොඇදහිලිකාරකම නිසා යෝෂුවාට සහ කාලෙබ්ට වසර ගණනාවක් පුරා පාළුකරයේ ජීවත් වන්නට සිදු වුණත් ඔවුන් එහි මිය ගියේ නැහැ. මේ දෙදෙනාගේ නායකත්වය යටතේ ඊළඟ පරම්පරාව පාළුකරයෙන් පිට වී පොරොන්දු දේශය කරා නැවතත් ගමන් ඇරඹුවා. (ගණන් කතාව 14:9, 30NW) මේ අවස්ථාවේදී ඔවුන් මුහුණ දුන්නේ වෙනස් ආකාරයක පරීක්ෂණයකටයි. ඒ කුමක්ද?

මෝවබ්හි රජ වූ බාලාක්, බොරු අනාගතවක්තෘවරයෙක් වූ බාලාම් ලවා ඊශ්‍රායෙල්වරුන්ට ශාප කිරීමට උත්සාහ කළා. නමුත් යෙහෝවා දෙවි මේ උත්සාහය කනපිට පෙරළමින් ඊශ්‍රායෙල් ජාතියට ආශීර්වාද කළා. (ගණන් කතාව 22:1-7; 24:10) එයින් නොනැවතුණු බාලාම් පොරොන්දු දේශය ඔවුන්ට අහිමි කරවීමට දුෂ්ට කුමන්ත්‍රණයක් දියත් කළා. ඒ කුමක්ද? ඔවුන්ව බාල් නමස්කාරයට සහ දුරාචාරයට පොලඹවාගන්න උත්සාහ කිරීමයි. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක නොවුණත් ඊශ්‍රායෙල්වරුන් 24,000ක් දුරාචාරයට සහ බාල් නමස්කාරයට ඇද වැටුණා.—ගණන් කතාව 25:1-9.

එය මොන තරම් ඛේදවාචකයක්ද! යෙහෝවා දෙවි තමන්ව “මහත් භයංකර පාළුකරය මැදින්” ඉතාමත් ආරක්ෂිතව ගෙනා ආකාරය ඒ අයගෙන් බොහෝදෙනෙක් දැක තිබුණා. (ද්විතීය කතාව 1:19NW) නමුත් දුරුකතර ගෙවාගෙන අත් කරගන්න පැමිණි පොරොන්දු දේශය දැක දැකත් ඔවුන් කළේ කුමක්ද? තමන්ගේ පව්කාර ආශාවන්ට වහල්වීමයි. එහි ප්‍රතිඵලය වුණේ විනාශයයි. මීටත් වඩා මහත් උරුමයක් ලබන්න සිටින දෙවිගේ නවීන දින සේවකයන්ට එය ප්‍රබල අනතුරු ඇඟවීමක් නොවෙයිද?

දෙවිගේ සේවකයන්ට ලැබීමට නියමිත ත්‍යාගය ඔවුන්ට අහිමි කරවීමට මේ කෙටි කාලය තුළ සාතන් නොගන්නා උත්සාහයක් නැහැ. ඒ සඳහා ඔහු භාවිත කරන්නේ නවීන උපක්‍රමම නොවෙයි. එදා ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටවී මුල්ම වතාවට පොරොන්දු දේශය අද්දරට පැමිණි අවස්ථාවේදී සාතන් කළේ කුමක්ද? තර්ජන, පීඩා හා අපහාස මගින් ඔවුන් තුළ භය, සැකය සහ අධෛර්ය කිරීම් ඇති කළා. අදත් වෙනසක් නැහැ. සමහර ක්‍රිස්තියානීන්, තර්ජනවලට බිය වී ඔවුන්ගේ ඇදහිල්ල දුර්වල කරගෙන තිබෙනවා. (මතෙව් 13:20, 21) සාතන්ගේ තවත් සාර්ථක උපක්‍රමයක් වී ඇත්තේ දුරාචාරයයි. එදා දෙවන වතාවට ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශය අද්දරට පැමිණි අවස්ථාවේදි සාතන් කරන්න උත්සාහ කළේත් ඒ දේමයි. අදත් ක්‍රිස්තියානි සභාව තුළ සිටින බොරු මවාපෑම් කරන අය විසින් ඇදහිල්ල දුර්වල අයගේ මනස් දූෂ්‍ය කර ඔවුන්ව දුරාචාරයට පොලඹවා තිබෙනවා.—යූද් 8, 12-16.

නමුත් අනෙක් අතට දෙවිගේ ආලෝකයේ ස්ථිරව ගමන් කරන අය ගැන කුමක් කිව හැකිද? මේ ලෝකයේ සදාචාරය පහත් අඩියටම වැටෙනවා දකිද්දී ඔවුන් යම් දෙයක් තේරුම්ගන්නවා. එනම් සාතන්ට ඇති කාලය අවසන් වේගන යන බවයි. අනෙක් අතට, දෙවිගේ සේවකයන්ගේ ඇදහිල්ල බිඳ දමන්න තමාට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක් බව දන්නා සාතන්ද වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටිනවා. ක්‍රිස්තියානීන් වන අප සියලුදෙනාම විශේෂයෙන් මේ කාලයේදී දැඩි සෝදිසියෙන් සිටිය යුත්තේ එමනිසයි.

සෝදිසියෙන් සිටීමට උපකාර

දෙවිගේ වචනය වන බයිබලය අපට ඔහුගේ අරමුණු ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන නිසා පේතෘස් එය ‘අඳුරු තැනක බැබළෙන පහනකට’ සමාන කළා. (2 පේතෘස් 1:19-21) දෙවිගේ වචනයට ඇලුම් කර එහි මඟ පෙන්වීම් නොකඩවා පිළිපදින ඕනෑම කෙනෙකුට ඇදහිල්ලේ ස්ථිරව සිටීමට දෙවි උපකාර කරනවා. (හිතෝපදේශ 3:5, 6) එවැනි අයට දීප්තිමත් බලාපොරොත්තුවක් තිබෙන නිසා ඔවුන් සිතේ “ප්‍රීතියෙන් ඉපිල” යනවා. නමුත් දෙවිව දැනගැනීම ප්‍රතික්ෂේප කරන හෝ ඔහුව අත්හැර යන අයට උරුම වන්නේ “හදවතේ වේදනාවෙන් කෑ මොර” ගැසීම පමණයි. (යෙසායා 65:13, 14NW) එමනිසා සුළු මොහොතකට පමණක් තෘප්තියක් ගෙනෙන නුසුදුසු ආශාවන් අපි ප්‍රතික්ෂේප කරමු. ඒ වෙනුවට දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කර එහි ඇති දේවල් අදාළ කරගන්න උත්සාහ කරමු. ඒ තුළින් අපට ඇති ස්ථිර බලාපොරොත්තුව දීප්තිමත්ව තබාගන්න පුළුවන්.

දෙවි සමඟ අපේ මිත්‍රත්වය දිගටම ශක්තිමත්ව තබා ගැනීමට තවත් උපකාරකයක් වන්නේ යාච්ඤාවයි. මෙම දුෂ්ට සමාජයේ අවසානය ගැන පවසමින් යේසුස් මෙවැනි දෙයක් සඳහන් කළා. “සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අයැදිමින් අවදිව සිටින්න.” (ලූක් 21:34-36) මෙහිදී යේසුස් පැවසූ ‘අයැදින්න’ යන වචනය සැලකිල්ලට ගන්න. ‘අයැදීමක්’ කියන්නේ ඉතාමත් බැගෑපත්ව කරන අවංක යාච්ඤාවක්. ඔහු එසේ කරන්න කියා පැවසුවේ ඇයි? මෙම අන්තරා සහිත දවස්වලදී අපගේ සදාකාල ජීවනය නමැති වරප්‍රසාදය අනතුරේ තිබෙන බව ඔහු දැන සිටි නිසයි. එසේනම් ඔබත් ශක්තිමත් ඇදහිල්ලක් ඇතිව සිටින්න උපකාර ඉල්ලා දැඩි ඕනෑකමකින් දෙවිට යාච්ඤා කරනවාද?

බොහෝ නැව් අනතුරට පත් වන්නේ කොහේදිද කියා ඔබට මතකද? අපටත් භයානක තත්වයන්ට මුහුණ දීමට සිදු වන්නේ මේ ගමන අවසානයේදී බව අපි හොඳින් මතක තබාගනිමු. එමනිසා දෙවි සපයන ආලෝකය බඳු ඔහුගේ මඟ පෙන්වීම් ඉතා කිට්ටුවෙන් අනුගමනය කිරීමට වෑයම් කරමු. එසේ කිරීම අපගේ ගැලවීම සඳහා අත්‍යවශ්‍යයි.

මුළා කරවන ආලෝකයන්

බොහෝ නාවිකයන් මුහුණපාන තවත් අනතුරක් තිබෙනවා. එය නම් කොල්ලකරුවන් විසින් මුහුදු වෙරළේ දල්වා ඇති මුළා කරවන ආලෝකයි. සඳ නැති රාත්‍රිවල ගල්පර සහිත මුහුදු තීරයන්හි ගිනි ගොඩවල් ගසන ඔවුන් නාවිකයන්ව නොමඟ යවා නැව් ඒ දෙසට ගෙන්වාගන්න උත්සාහ කරනවා. එවන් මුළා කරවන ආලෝකවලට රැවටෙන සමහර නැවියන් වරායක් ඇතැයි සිතා තම නැව් වෙරළ දෙසට යාත්‍රා කරවනවා. ඒ සමඟම ඒවා ගල්පරවල වැදී හානියට ලක් වන අතර කොල්ලකරුවන් පැමිණ එහි ඇති වටිනා භාණ්ඩ සොරාගන්නා අතර ජීවිත හානිද සිදු වෙනවා.

රැවටිලිකාර “ආලෝකයේ දූතයෙකු” වන සාතන්ද ඒ හා සමාන දුෂ්ට උපා යොදාගනිමින් සිටිනවා. ඔහු උත්සාහ කරමින් සිටින්නේ දෙවිගේ සේවකයන්ට දෙවි සමඟ ඇති අනර්ඝ මිත්‍රත්වය කොල්ලකන්නයි. සාතන් ඒ සඳහා සමහරවිට ‘බොරු ප්‍රේරිතයන්ව’ සහ “ධර්මිෂ්ඨකමේ සේවකයන්” ලෙස පෙනී සිටින ඇදහිල්ල අත්හැර ගිය මිනිසුන්ව යොදාගන්නවා. (2 කොරින්ති 11:13-15) මුළා කරවන ආලෝකයන් මොනවාද කියා අද්දැකීම් ලත් නාවිකයෙක් සහ ඔහුගේ පිරිස දුරදීම දන්නවා. ඔවුන්ව නොමඟ යවන්න ඒ බොරු ගිනිමැලවලට බැහැ. ඒ හා සමානව “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව ඇති” ක්‍රිස්තියානීන් බොරු ඉගැන්වීම්වලට සහ විනාශකාරී මිනිස් මතිමතාන්තරවලට රැවටෙන්නේ නැහැ.—හෙබ්‍රෙව් 5:14; එළිදරව් 2:2.

එවැනි නොමඟ යවනසුලු ආලෝකවලින් ආරක්ෂා වීමට නැවියන් යම් ක්‍රමයක් අනුගමනය කරනවා. එනම් තම ගමන් මාර්ගයේදී හමු වන ප්‍රදීපාගාර හා ඒ එක් එක් ප්‍රදීපාගාරවලින් නිකුත් කරන විශේෂිත සංඥාවල තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් රැගෙන යෑමයි. එක් පොතක ඒ ගැන සඳහන් වන්නේ මෙසේයි. “තමන් සතුව ඇති ලැයිස්තුව හොඳින් පරීක්ෂා කරන ඔවුන්, තමන් මේ දකින්නේ කුමන ප්‍රදීපාගාරයද කියා ඊට ආවේණික වූ සංඥා මගින් තේරුම්ගන්නවා. එමෙන්ම තමන් සිටින ප්‍රදේශය හඳුනාගන්නත් ඔවුන්ට ඉන් හැකි වෙනවා.” (එම පොත The World Book Encyclopedia) මේ දුෂ්ට සමාජය තුළත් අවංක මිනිසුන් හට හරි මඟ පෙන්වීම් ලබා දෙන යමක් තිබෙනවා. එය නම් දෙවිගේ වචනය වන බයිබලයයි. ඒ තුළින් සැබෑ ආගමත් එය පිළිපදින්නන්වත් හඳුනාගන්න අවශ්‍ය උපකාර සපයනවා. විශේෂයෙන්ම දෙවි මේ කාලයේදී සැබෑ නමස්කාරය, අසත්‍ය උගන්වන අනෙකුත් ආගම්වලට වඩා උසස් කරද්දී එය ඔවුන්ට වඩාත් පහසු වෙනවා. (යෙසායා 2:2, 3; මලාකි 3:18) සැබෑ ආගම හා අසත්‍ය උගන්වන ආගම් අතර ඇති පැහැදිලි වෙනස ගෙනහැර දක්වමින් යෙසායා 60:2, 3හි [NW] පවසන්නේ මෙසේයි. “පොළොව අඳුරෙන් වැසී යයි. ඝන අන්ධකාරය ලෝ වැසියන්ව වෙළාගනියි. එහෙත් ඔබ මත යෙහෝවා දෙවිගේ ආලෝකය බැබළෙයි. ඔහුගේ තේජසද ඔබ වෙතින් දිස් වෙයි. ඔබේ ආලෝකයට ජාතීන් ඇදී එයි. ඔබේ ආලෝකයේ දීප්තියට රජවරු පවා ඇදී එයි.”

සියලුම ජාතීන්ගෙන් පැමිණෙන මිලියන ගණනක් ජනයාට යෙහෝවා දෙවි තම ආලෝකය නොකඩවා විහිදුවමින් එනම් මඟ පෙන්වමින් සිටිනවා. ඒ නිසා ඇදහිල්ල නමැති ඔවුන්ගේ සංකේතාත්මක නැව ආරක්ෂිතව තිබෙන බව ඔවුන්ට ස්ථිරයි. ඔවුන් සිටින්නේ ජීවනයට යන ගමනේ නිමාව අද්දරයි. ඔව්, ඉතිරිව ඇති මෙම කෙටි කාලයේ නිමාවත් සමඟම ඔවුන් ඉතාමත් ආරක්ෂිතව දෙවි ලබා දෙන ඒ ධර්මිෂ්ඨ නව සමාජය නමැති වරායට සේන්දු වීමට නියමිතයි.

[පාදසටහන]

^ 2 ඡේ. බයිබලයේ “ආලෝකය” යන වචනය බොහෝවිට යොදාගෙන තිබෙන්නේ යම් දේවල් සංකේතවත් කිරීමට හා උපමාලංකාරයක් හැටියටයි. උදාහරණයක් හැටියට යෙහෝවා දෙවිව ආලෝකයට සමාන කර තිබෙනවා. (ගීතාවලිය 104:1, 2; 1 යොහන් 1:5) එමෙන්ම දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් අපට ලැබෙන අවබෝධයද ආලෝකයට සමාන කරනවා. (යෙසායා 2:3-5; 2 කොරින්ති 4:6) පොළොව මත සිටියදී යේසුස්ද ආලෝකයක් ලෙස ක්‍රියා කළා. (යොහන් 8:12; 9:5; 12:35) ඔහුගේ අනුගාමිකයන්ටද ආලෝකය බබළවන්න කියා ඔහු අණ කළා.—මතෙව් 5:14, 16.

[15වන පිටුවේ පින්තූරය]

නාවිකයන් හා සමානව ක්‍රිස්තියානීන්ද මුළා කරවන ආලෝකයන්ගෙන් ප්‍රවේසම් වෙනවා