Skip to content

පටුනට යන්න

ඔබදියා, යෝනා සහ මීකා පොත්වල විශේෂාංග

ඔබදියා, යෝනා සහ මීකා පොත්වල විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

ඔබදියා, යෝනා සහ මීකා පොත්වල විශේෂාංග

“ඔබදියාට ලැබුණු දර්ශනය.” මෙම වදන්වලිනුයි බයිබලයේ ඔබදියා පොත ඇරඹෙන්නේ. (ඔබදියා 1:1, නව ලොව පරිවර්තනය, NW) එය ඔබදියා විසින් ලියා අවසන් කළේ ක්‍රිස්තු පූර්ව 607දීයි. නමුත් ඔහු තමාගේ නම හැර තමා පිළිබඳව වෙන කිසිවක් එහි සඳහන් කර නැහැ. යෝනා පොත ලියා තිබුණේ ඊට සියවස් දෙකකට කලිනුයි. අනාගතවක්තෘ යෝනා තමාගේ පැවරුම ඉටු කරද්දී අද්දැක්ක දේ අවංකවම හෙළි කළා. මීකා පොත ලියනු ලැබුවේ ක්‍රි.පූ. 777 සිට 717 පුරා දිවගිය කාල වකවාණුවේදීයි. වසර 60ක් පුරා ඔහු අනාගතවක්තෘවරයෙක් ලෙස කටයුතු කළේ යෝනා සහ ඔබදියා ජීවත් වූ කාල වකවානුව අතරතුරේදීයි. නමුත් ඔහු ‘මොරෂෙත්හි [එනම් ගම්බද නගරයක]’ විසූ බවත්, යෙහෝවා දෙවි තමාට පණිවුඩය දුන්නේ “යෝතම්, ආහස් සහ හෙසකියා යන රජවරු යූදාහි රජකම් කළ කාලවලදී” බවත් පැවසූ නමුත් තමා ගැන වැඩි විස්තරයක් එහි සඳහන් කළේ නැහැ. (මීකා 1:1NW) ඔහු ඇතැම් කරුණු අවධාරණය කිරීමට යොදාගත් නිදසුන්වලින් පෙනී යන්නේ ඔහු ගම්බද ජීවිතයට හුරු පුරුදුව සිටි බවයි.

ඒදොම් ‘නැත්තටම නැති කර දමයි’

(ඔබදියා 1-21)

ඒදොම් සම්බන්ධයෙන් අනාගතවක්තෘ ඔබදියා පැවසුවේ මෙයයි. “ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා ඔබව ලැජ්ජාවට පත් කරන්නෙමි. ඔබව නැත්තටම නැති කර දමන්නෙමි.” ඒදොම්වරුන් ඊශ්‍රායෙල්වරුන්ට සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඔබදියාගේ මතකයේ හොඳින් රැඳී තිබුණා. බැබිලෝනිවරුන් ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ කළ විට ඒදොම්වරුන් ‘පැත්තකට වී බලා සිටියා’ පමණක් නොව පහර දීමට පැමිණි “විදේශිකයන්” සමඟ මිත්‍රත්වයක්ද ඇති කරගත්තා.—ඔබදියා 10, 11NW.

කෙසේවෙතත් යාකොබ්ගේ සෙනඟට යළි තම දේශයට පැමිණීමේ ප්‍රස්තාව ලැබෙන බවට ඔබදියා අනාවැකි පළ කළා. “බේරුණු අය සියොන් කන්දට යනු ඇත. නැවතත් එය ශුද්ධ තැනක් බවට පත් වෙයි.”—ඔබදියා 17NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

ඔබදියා 5-8NW—රාත්‍රියේ පැමිණෙන සොරුන් හා මිදි පල නෙළන්නන් සමඟ ඒදොම්හි විනාශය සැසඳීමෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද? ඒදොම් නගරය තුළට සොරු ආවා නම් ඔවුන් රැගෙන යන්නේ ඔවුන්ට අවශ්‍ය දේ පමණයි. මිදි පල නෙළන්නන් එහි ආවා නම් අන් අය ගැනත් හිතලා අස්වැන්නෙන් කොටසක් එහි තබා යාවි. නමුත් ඒදොම්වරු සමඟ ‘ගිවිසුම් ඇති කරගනිමින්’ මිත්‍ර වූ බැබිලෝනිවරුන් ඒදොම් පරාජය කර ඔවුන්ගේ මුළු සේසතම රැගෙන ගියා.—යෙරෙමියා 49:9, 10NW.

ඔබදියා 10NW—ඒදොම් ‘නැත්තටම නැති වුණේ’ කොහොමද? එසේ වුණේ, ඒදොම් ජාතියෙත් ඔවුන්ගේ පාලනයෙත් සේයාවක්වත් ඉතිරි නොවන තරමටම එය පොළොවෙන් තුරන් වී යෑමෙනුයි. මුලින්ම ක්‍රි.පූ. හයවෙනි සියවසේ මැදභාගයේදී පමණ බැබිලෝනියේ රජුව සිටි නැබොනිඩස් ඒදොම් අල්ලාගත්තා. ක්‍රිස්තු පූර්ව හතරවන සියවස වන විට ඒදොම් දේශය පුරාම නැබටියන්වරුන් පැතිර සිටි නිසා ඒදොම්වරුන්ට සිදු වුණා යුදයේ නෙගෙබ් ප්‍රදේශයට යන්න. එම ප්‍රදේශය පසු කලෙක හැඳින්වූයේ ඉදුමය කියායි. රෝමවරුන් ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලම විනාශ කළ විට එහි සිටි ඒදොම් ජාතිය නැත්තටම නැති වී ගියා.

අපට ගත හැකි පාඩම්

ඔබදියා 3, 4NW. ඒදොම්වරුන් ජීවත් වුණේ ඉතා උස් කඳුකරයේ පිහිටි නිම්නයක නිසා සතුරන්ට ඔවුන් සමඟ යුද්ධ කර ජයගන්න එක ලේසි වුණේ නැහැ. මෙම වාසිය නිසා ඔවුන් සිතුවේ තමන් සම්පූර්ණයෙන්ම සුරක්ෂිතයි කියායි. ඒ වුණත් යෙහෝවා දෙවිගේ විනිශ්චයෙන් බේරීමට නම් ඔවුන්ට හැකි වුණේ නැහැ.

ඔබදියා 8, 9, 15NW. ‘යෙහෝවා දෙවිගේ දවසේදී’ කිසි කෙනෙකුට මිනිස් ප්‍රඥාවෙන් හා බලයෙන් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.—යෙරෙමියා 49:7, 22.

ඔබදියා 12-14NW. දෙවිගේ සේවකයන් විපත්ති අද්දකිද්දී ඒ දෙස බලා ප්‍රීති වෙන්නන්ට සිදු වන්නේ ඒදොම්වරුන්ට සිද්ධ වුණ දේමයි. තම සෙනඟට හිරිහැර කිරීම යෙහෝවා දෙවි සුළු පටු දෙයක් ලෙස සලකන්නේ නැහැ.

ඔබදියා 17-20NW. යාකොබ්ගේ පුත්‍රයන්ට තම දේශය යළි ලැබීමේ අනාවැකියේ ඉටුවීම ඇරඹුණේ ඔවුන්ගෙන් ඉතිරි අය ක්‍රි.පූ. 537දී බැබිලෝනියෙන් නිදහස් වී යළි යෙරුසලමට ගිය දා සිටයි. දෙවිගේ වදන් සැබෑ වන බව ඉන් පැහැදිලි වෙනවා. එමනිසා ඔහුගේ පොරොන්දු කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්න අපටත් හැකියි.

“නිනිවය නගරය විනාශ වෙයි”

(යෝනා 1:14:11)

‘නිනිවය නම් මහත් නගරයට ගොස් මගේ විනිශ්චය ගැන එහි වැසියන්ට පවසන්න’ කියා දෙවි යෝනාට අණ කළ විට ඔහු එයට පිටුපා වෙනත් ප්‍රදේශයකට යන්න සූදානම් වුණා. පසුව “තද සුළඟක් මුහුදට හමන්න” සැලැස්වීමෙනුත්, “විශාල මත්ස්‍යයෙකුව” එවීමෙනුත් දෙවන වතාවටත් දෙවි ඔහුට පැවසුවේ අෂූරියේ අගනුවර වන නිනිවයට යන්න කියායි.—යෝනා 1:2, 4, 17; 3:1, 2NW.

යෝනා නිනිවයට ඇතුල් වී, “තව දවස් හතළිහකින් නිනිවය නගරය විනාශ වෙයි” කියා ප්‍රබල පණිවුඩයක් ප්‍රකාශ කළා. (යෝනා 3:4NW) ඒත් දෙවි එම තීරණය වෙනස් කළ විට යෝනා ‘කෝප වුණා.’ එමනිසා යෙහෝවා දෙවි දයාව පෙන්වීමේ අවශ්‍යතාව ගැන යෝනාට පාඩමක් ඉගැන්වීම සඳහා ලබු වැලක් යොදාගත්තා.—යෝනා 4:1, 6NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

3:3—‘දවස් තුනක් ගමන් කිරීමට’ සිදු වන තරමටම නිනිවය විශාල නගරයක් වුණාද? ඔව්. පුරාණයේදී, උතුරෙන් පිහිටි කෝර්සාබාද් සිට දකුණෙන් පිහිටි නිම්රඩ් හෙවත් කලා නම් ජනාවාසයත්, නිනිවය ඇතුළු වෙනත් ජනාවාසත් පිහිටා තිබුණේ චතුරස්‍රයක කොන් හතර පිහිටා තිබෙනවා වගෙයි. පසු කලෙක මේ සියලුම ජනාවාස නිනිවය ලෙස නම් කෙරුණා. එහි වට ප්‍රමාණය කිලෝමීටර් 100ක් වුණා.

3:4NW—නිනිවයේ ජනයාට දේශනා කිරීම සඳහා යෝනාට ඇසිරියානු භාෂාව ඉගෙනගන්න සිදු වුණාද? සමහරවිට ඒ වන විටත් යෝනා ඇසිරියානු භාෂාව දැනගෙන ඉන්න ඇති. එහෙමත් නැත්නම් ප්‍රාතිහාර්යමය ලෙස ඔහුට එම භාෂාව කතා කිරීමේ හැකියාව ලැබුණා කියා සිතිය හැකියි. එසේ නොවුණා නම් ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන්ම පණිවුඩය ඉදිරිපත් කරද්දී තව කෙනෙක් පරිවර්තනය කළා විය හැකියි. එසේ වූවා නම්, අමුත්තෙකු වූ ඔහුගේ පණිවුඩයෙන් නිනිවයේ වැසියන්ගේ කුතුහලය තවත් ඇවිස්සෙන්න ඇති.

අපට ගත හැකි පාඩම්

1:1-3NW. කෙනෙක් රාජ්‍යය පිළිබඳව දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයෙහි නිතිපතා හවුල් වීමෙන් වැළකෙන තරමටම වෙනත් වැඩකටයුතු යොදාගන්නවා නම් ඉන් පෙන්වන්නේ ඔහුට වැරදි චේතනාවක් තිබෙන බවයි. එලෙස ක්‍රියා කරන කෙනෙක් දෙවි දී තිබෙන පැවරුම ඉටු නොකර පැන යනවා හා සමානයි කියා පැවසිය හැකියි.

1:1, 2; 3:10NW. යෙහෝවා දෙවි දයාව පෙන්වන්නේ එක ජාතියකට හෝ විශේෂ ජන කණ්ඩායමකට පමණක් නොවෙයි. ඒ නිසයි බයිබලයේ මෙසේ පවසන්නේ. “යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරයි. තමා මැවූ සියල්ලන්ට දයාව පෙන්වයි.”—ගීතාවලිය 145:9NW.

1:17; 2:10. විශාල මත්ස්‍යයා සම්බන්ධයෙන් වූ යෝනාගේ අද්දැකීමෙන් පෙන්වූයේ යේසුස්ගේ මරණය හා නැවතනැඟිටීම පිළිබඳවයි.—මතෙව් 12:39, 40; 16:21.

1:17; 2:10; 4:6NW. කැලඹිලි සහිත මුහුදේදී යෙහෝවා දෙවි යෝනාව ගලවාගත්තා. එමෙන්ම දෙවි ‘යෝනාට සෙවණක් ලැබීමට ලබු වැලක් වැවෙන්න සැලැස්සුවා. යෝනා ඒ ලබු වැල ගැන ඉතා සතුටු වුණා.’ මෙලෙස යෙහෝවා දෙවි ප්‍රේමණීය කරුණාව පෙන්වන නිසා අද දින දෙවිට නමස්කාර කරන අයටත් ඔහු තමන්ව ආරක්ෂා කර ගලවාගනියි යන නිසැකකම ඇතුව සිටිය හැකියි.—ගීතාවලිය 13:5; 40:11.

2:1, 2, 9, 10. යෙහෝවා දෙවි තම සේවකයන්ගේ යාච්ඤාවලට සහ බැගෑපත් ඉල්ලීම්වලට සවන් දෙනවා.—ගීතාවලිය 120:1; 130:1, 2.

3:8, 10NW.  සැබෑ දෙවි නිනිවයේ ජනයාට ‘දඬුවම් කරන්න ගත් තීරණය වෙනස් කළ’ නිසා ඔවුන් පිටට ගෙනෙනවායයි පැවසූ ‘විපත්තිය ගෙන ආවේ නැහැ.’ එයට හේතුව නිනිවයේ ජනයා “කලින් කළ දුෂ්ට ක්‍රියා නතර කර, [දෙවි] වෙතට හැරී” ඒමයි. අද දිනත් වැරදි කරන කෙනෙක් අවංකවම පසුතැවිලි වෙනවා නම් ඔහුට විරුද්ධව තමා ගෙනෙන විනිශ්චය වෙනස් කරන්න දෙවිට පුළුවන්.

4:1-4. දෙවි දක්වන දයාවට සීමා පනවන්න කිසිම මිනිසෙකුට බැහැ. එමෙන්ම ඔහු දයාව පෙන්වන ආකාරය ගැන විවේචනය නොකිරීමටද අපි වගබලා ගත යුතුයි.

4:11NW. නිනිවයේ සිටි 1,20,000දෙනාට අනුකම්පාව දැක්වූ ලෙසම ලොව පුරා “හරි වැරැද්ද කුමක්ද කියා නොදන්න” අයට රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනු ලබන තෙක් යෙහෝවා දෙවි ඉවසීමෙන් බලා සිටියි. අපිත් අපේ බලප්‍රදේශයේ සිටින ජනයාට අනුකම්පා කර දේවරාජ්‍යය ගැන දේශනා කරමින් ගෝලයන් සෑදීමේ කාර්යයේ උද්‍යෝගයෙන් හවුල් විය යුතු නැද්ද?—2 පේතෘස් 3:9.

‘ඔබේ හිසත් භූ ගාගන්න’

(මීකා 1:17:20)

ඊශ්‍රායෙල් හා යූදා ජනයාගේ පාප හෙළි කළ මීකා ඔවුන්ගේ අගනුවර පාලු වන බව පුරෝකථනය කළා. ඒ සමඟම යළි ඔවුන්ව තමන්ගේම දේශයේ පදිංචි කරවන බවටත් පොරොන්දු වුණා. සමාරියාව ‘නටබුන් ගොඩක් බවට පත් වෙනවා’ කියා ඔහු පැවසුවා. එමෙන්ම ඊශ්‍රායෙල් හා යූදා ජනයා රූප වන්දනාවේ නිරත වූ නිසා ඔවුන් “හිස මුඩු” වූ තත්වයකට නැතහොත් ලැජ්ජාවට පත් විය යුතු වුණා. තමන්ව වහල්භාවයට ගැනීමට ඉඩහැරීමෙන් “රාජාලියෙකුගේ හිස මෙන්” ඔවුන්ගේ හිස භූ ගාගත් තත්වයකට පත් වුණා. සමහර රාජාලි වර්ගවලට අයත් පක්ෂීන්ගේ හිසේ තිබෙන්නේ හිසකෙස් කීපයක් පමණයි. කෙසේවෙතත් යෙහෝවා දෙවි ඔවුන්ට මෙවැනි පොරොන්දුවක් දුන්නා. “යාකොබ්ගේ සෙනඟෙනි, මම නැවත ඔබව එක්රැස් කරන්නෙමි.” (මීකා 1:6, 16; 2:12NW) දූෂිත නායකයන් හා වැරදි කරන ප්‍රොපේතවරුන් නිසා යෙරුසලමත් “නටබුන් ගොඩක් බවට පත් වෙයි.” නමුත් යෙහෝවා දෙවි “තම සෙනඟව එකතු කරගනු ඇත.” එමෙන්ම ‘ඊශ්‍රායෙල් පාලනය කරන තැනැත්තා බෙත්ලෙහෙම් එෆ්‍රාතා’ නගරයෙන් පැමිණීමට නියමිතයි.—මීකා 3:12; 4:12; 5:2NW.

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කළේ අසාධාරණයක්ද? එමෙන්ම ඔවුන්ට කරන්න බැරි දෙයක් ඔහු ඔවුන්ගෙන් අපේක්ෂා කළාද? නැහැ. යෙහෝවා දෙවි තම නමස්කාරකයන්ගෙන් ඉල්ලා සිටියේ ‘යුක්තිය ඉටු කරන්න. කරුණාවන්තව ක්‍රියා කරන්න.’ දෙවි ඉදිරියේ ‘නිහතමානීව හැසිරෙන්න’ කියායි. (මීකා 6:8) නමුත් මීකාගේ කාලයේ සිටි අය මොන තරම් නරක දේවල් කළාද කියනවා නම් “ඔවුන් අතරේ සිටින හොඳම අය වුවද” තමන් අවට සිටි අයට වේදනා දීමෙන් ‘කටු පඳුරු හා සමාන වුණා. එමෙන්ම ඔවුන් අතරේ සිටින අවංක අය කටු වැටක් හා සමාන වුණා.’ නමුත් “[යෙහෝවා] දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටීද” කියා ඇසූ අනාගතවක්තෘවරයා ‘ඔබ ඔවුන්ගේ සියලු පාප මුහුදු පත්ලටම හෙළන්නේය’ කියාද පැවසුවා. ඉන් පෙනී යන්නේ දෙවි නැවතත් තම සෙනඟට දයාව පෙන්වන බවයි.—මීකා 7:4, 18, 19NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

2:12—‘ඊශ්‍රායෙල්ගෙන් ඉතිරි අයව එකතු කරන’ බවට වූ අනාවැකිය ඉටු වුණේ කවදාද? ඉතිරි වූ යුදෙව් සෙනඟ බැබිලෝනියේ වහල්භාවයෙන් මිදී ක්‍රි.පූ. 537දී යළි තම දේශයට ගිය විට එහි මුල් ඉටුවීම සිදු වුණා. දෙවෙනි ඉටුවීම සිදු වුණේ “දෙවිගේ ඊශ්‍රායෙල්” වන අභිෂේක ලත් අය සම්බන්ධයෙනුයි. (ගලාති 6:16) එම ක්‍රිස්තියානීන්ව 1919 සිට “එකම ගාලක සිටින බැටළු රැළක් මෙන්” එක්රැස් කරනු ලැබුවා. විශේෂයෙන්ම 1935 සිට “වෙනත් බැටළුවන්ට” අයත් “මහත් සමූහයක්” ඔවුන් හා එක් වී “ප්‍රීති ඝෝෂා නඟමින්” සිටිනවා. (එළිදරව් 7:9; යොහන් 10:16) මේ දෙගොල්ලන්ම එක්සත්ව උද්‍යෝගයෙන් සැබෑ නමස්කාරයේ යෙදෙනවා.

4:1-4—“අන්තිම දවස්වලදී,” යෙහෝවා දෙවි ‘බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නෙත්’ ‘දුර සිටින බලවත් ජාතීන් අතරේ තිබෙන ගැටලු විසඳා කාරණා නිවැරදි කරන්නෙත්’ කෙසේද? “බොහෝ ජාතීන්” හා “බලවත් ජාතීන්” යන යෙදුම්වලින් යොමු දැක්වුවේ යම් ජාතීන්ට හෝ දේශපාලනමය කණ්ඩායම්වලට නොවෙයි. එයින් ඇඟවූයේ යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් වී සිටින සියලු ජාතීන්ට අයත් පුද්ගලයන්වයි. දෙවි විනිශ්චයක් කරමින් තමන් හා ඔවුන් අතර බැඳීම ශක්තිමත් කිරීමට අවශ්‍ය කාරණා නිවැරදි කරයි.

අපට ගත හැකි පාඩම්

1:6, 9; 3:12; 5:2. මීකාගේ කාලයේදීම ඇසිරියානුවන් ක්‍රි.පූ. 740දී සමාරියාව පාලු කළා. (2 රාජාවලිය 17:5, 6) පසුව හෙසකියා රජුගේ පාලන සමයේදී ඇසිරියානුවන් අවට නගර අල්ලාගනිමින් යෙරුසලම අසලටම පැමිණියා. (2 රාජාවලිය 18:13) ක්‍රිස්තු පූර්ව 607දී බැබිලෝනිවරුන් යෙරුසලම විනාශ කර දැමුවා. (2 ලේකම් 36:19) පුරෝකථනය කර තිබූ පරිදි ගැලවුම්කරු ඉපදුණේ ‘බෙත්ලෙහෙම් එෆ්‍රාතාවලයි.’ (මතෙව් 2:3-6) මේ අනුව යෙහෝවා දෙවිගේ අනාවැකි කිසිදා බොරු නොවන බව ස්ථිරයි.

2:1, 2. දෙවිට සේවය කරන බව පවසමින් “රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද” සොයනවා වෙනුවට මුදල් සෙවීම මොන තරම් අනතුරුදායකද?—මතෙව් 6:33; 1 තිමෝති 6:9, 10.

3:1-3, 5. තම සෙනඟ අතරේ පෙරමුණ ගන්නා අය සාධාරණව කටයුතු කරයි කියා යෙහෝවා දෙවි අපේක්ෂා කරනවා.

3:4. යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවාට අපි කැමති නම් පව් කිරීමෙන් හෝ දෙබිඩි ජීවිත ගත කිරීමෙන් වැළකිය යුතුයි.

3:8. ශුභාරංචිය දේශනා කිරීමට විනිශ්චය පණිවුඩයත් ඇතුළත් වන නිසා එය ප්‍රකාශ කළ හැක්කේ දෙවිගේ බලයේ උපකාරය ලබාගෙන අපි ශක්තිමත් වුවහොත් පමණයි.

5:5. දෙවිගේ සෙනඟ තම සතුරන්ගෙන් පහර ලබන විට “එඬේරුන් සත්දෙනෙක් [සම්පූර්ණ ගණනක්]” හා “අධිපතීන් අට දෙනෙක්” එනම් දක්ෂ මිනිසුන් විශාල සංඛ්‍යාවක් යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ පෙරමුණ ගන්නා බවත් ගැලවුම්කරු පිළිබඳ පණිවුඩයෙන් අපට සහතිකයක් දෙයි.

5:7, 8. “යෙහෝවා දෙවි වෙතින් නික්මුණු පිනි” බඳු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව බොහෝදෙනා උදෙසා දෙවිගෙන් ලද ආශීර්වාදයක් ලෙස සැලකිය හැකියි. ඊට හේතුව දෙවි ඔවුන්ව රාජ්‍යය පිළිබඳ පණිවුඩය ප්‍රකාශ කිරීමට යෙදවීමයි. එමෙන්ම “වෙනත් බැටළුවන්ද” අභිෂේක ලත් අයට කඩිසර ලෙස සහයෝගය දෙමින් දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට ජනයාට උපකාර කරමින් සිටිනවා. (යොහන් 10:16) අන් අයට ප්‍රබෝධයක් ගෙන දෙන මෙම සේවයෙහි හවුල් වීමට ලැබීම මොන තරම් අගනා වරප්‍රසාදයක්ද!

6:3, 4. පෑහී සිටීමට අපහසු හෝ ඇදහිල්ල දුර්වල කරගෙන සිටින අයට කරුණාව හා දයාව දක්වමින් අපත් යෙහෝවා දෙවිව අනුකරණය කළ යුතුයි.

7:7NW.  මෙම දුෂ්ට සමාජ ක්‍රමයේ අවසාන කාලයේ සිටින අපි ගැටලු සමඟ පොරබදන විට අධෛර්යට පත් නොවී මීකා මෙන් ‘[අපේ] දෙවි ගැන බලාපොරොත්තුවෙන් සිටිය’ යුතුයි.

7:18, 19. දෙවි අපේ වරදට සමාව දෙන ලෙසම අපිත් අපට විරුද්ධව පව් කරන අයට සමාව දිය යුතුයි.

‘අපේ දෙවි වන යෙහෝවාගේ කැමැත්ත කරමින්’

තමාටත් තම සෙනඟටත් විරුද්ධව සටන් කරන අයව දෙවි ‘නැත්තටම නැති කර දැමීමට’ නියමිතයි. (ඔබදියා 10) කෙසේවෙතත්, යෙහෝවා දෙවිගේ අවවාදයට සවන් දී “දුෂ්ට ක්‍රියා නතර කර” දමනවා නම් දඬුවම් කිරීමට ගත් තීරණය ඔහු වෙනස් කළ හැකියි. (යෝනා 3:10) මෙම “අන්තිම දවස්වලදී” සියලුම බොරු ආගම් අබිබවා සැබෑ නමස්කාරය පිහිටුවා තිබෙන අතර කීකරු ජනයා ඒ වෙත ඇදී එමින් පවතියි. (මීකා 4:1; 2 තිමෝති 3:1) එසේනම් අපි “අපේ දෙවි වන යෙහෝවාගේ කැමැත්ත කරමින් ඔහුට කීකරුව ජීවත්” වීමට අදිටන් කරගනිමු.—මීකා 4:5NW.

ඔබදියා, යෝනා හා මීකා යන පොත්වලින් අපට අගනා පාඩම් ඉගෙනගත හැකියි. මේවා ලියනු ලැබුවේ වසර 2,500කට පෙර වුවද ඒවායෙහි ඇති පණිවුඩය අදටත් “ජීවමානය, බලවත්ය!”—හෙබ්‍රෙව් 4:12.

[13වන පිටුවේ පින්තූරය]

ඒදොම් ‘නැත්තටම නැති කර දමයි’ කියා ඔබදියා පැවසුවා

[15වන පිටුවේ පින්තූරය]

මීකා මෙන් ‘දෙවි ගැන බලාපොරොත්තුවෙන් සිටින්න’

[16වන පිටුවේ පින්තූරය]

දේශනා සේවයේ හවුල් වීමට ලැබීම වරප්‍රසාදයක්