ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න ඔබත් සූදානම්ද?
ඔබේ විශ්වාසයන් ගැන කතා කරන්න ඔබත් සූදානම්ද?
“සත්‍යය කියා දෙයක් තිබෙනවාද?” පෝලන්තයේ පැවති එක් රචනා තරඟයක මාතෘකාව වුණේ එයයි. මෙම රචනාව පෙළ ගැස්විය යුතු වුණේ “මිනිසුන්ට සත්‍යය අවශ්‍ය නැහැ” සහ “සත්‍යය කියා දෙයක් නැහැ” කියන කරුණු යටතෙයි. වයස අවුරුදු 15ක් වූ ආජාටා නම් සාක්ෂිකාර දැරිය තීරණය කළා ඇගේ ආගමික විශ්වාසයන් ගැන කතා කිරීම සඳහා මේ රචනා තරඟය අවස්ථාවක් කරගන්න.
රචනා තරඟයට සූදානමක් වශයෙන් ඇය මුලින්ම කළේ යෙහෝවා දෙවිට යාච්ඤා කර ඔහුගෙන් උපකාරය ඉල්ලීමයි. පසුව ඇය රචනාවට අදාළ තොරතුරු හොයන්න පටන්ගත්තා. ඇයට හැකි වුණා 1995 ජූලි 1 මුරටැඹ සඟරාවෙන් අවශ්‍ය තොරතුරු සොයාගන්න. “සත්‍යය කියන්නේ කුමක්ද” කියා පිලාත් යේසුස්ගෙන් ඇසූ ප්‍රශ්නයද ආජාටා රචනාවට ඇතුළත් කළා. (යොහන් 18:38) එම ප්‍රශ්නයෙන් පිළිබිඹු වුණේ ‘සත්‍යය කියන්නේ මොකක්ද? එහෙම දෙයක් නැහැනේ’ කියා මිනිසුන් දරන විවේචනාත්මක මතයයි. “පිලාත්ගේ ප්රශ්නය මගින් රචනාව පෙළගැස්විය යුතු කරුණු සිහිගැන්වුණා” කියාද ආජාටා තම රචනාවේ සඳහන් කළා.
ඇය කරුණු ගොඩනැඟුවේ මේ ආකාරයෙනුයි. කෙනෙක්ට හරියි කියා හැඟෙන දේ තව කෙනෙකුට වැරදියි කියා හැඟෙන්න පුළුවන්. නමුත් දෙදෙනාම “හරි” වෙන්නත් පුළුවන්. පසුව ඇය මෙවැනි ප්‍රශ්නයක්ද නැඟුවා. “පෘථිවියේ භෞතික නීති රීති තියෙනවා කියන සත්‍යය අපි පිළි නොගන්නවා නම් ඒ නීති රීතිවලට එකඟව පියාසර කරන ගුවන් යානයක යන්න අපි පෙලඹෙයිද?” එසේ ඇසීමෙන් සත්‍යය කියා දෙයක් තිබෙන බව පෙන්වා දුන්නා. පසුව ඇය මෙසේද සඳහන් කළා. “දෙවිගේ වචනය වන බයිබලයේ තිබෙන්නේ ඔප්පු කළ හැකි සත්‍යයන්.” එම සත්‍යයන් අවංකවම සොයන කෙනෙකුට ඉවසීම තිබිය යුතුයි කියාත් ඇය සඳහන් කළා.
ආජාටාගේ රචනාව වෙනුවෙන් ඇයට ඩිප්ලෝමා සහතිකයක් ලැබුණු අතර මුළු පංතියම ඉදිරියේ කතාවක් දෙන්නත් ඇයට හැකි වුණා. ළමුන් කිහිපදෙනෙක්ම ඇය සමඟ බයිබලය පාඩම් කිරීමට කැමැත්ත පළ කළා. ඇගේ විශ්වාසයන් ගැන හැමෝටම කියන්න ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම නිසා ඇය සිටින්නේ හරිම සතුටෙන්. ඔබටත් හැකියි ඔබේ ඇදහිල්ල ගැන කතා කිරීමට අවස්ථාව සලසාගැනීමෙන් මහඟු ප්‍රතිඵල නෙළාගන්න. එවන් අවස්ථාවලින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවාද?