Skip to content

පටුනට යන්න

‘දෙවිගේ ගැඹුරු දේවලින්’ ප්‍රයෝජන ලබන්න

‘දෙවිගේ ගැඹුරු දේවලින්’ ප්‍රයෝජන ලබන්න

‘දෙවිගේ ගැඹුරු දේවලින්’ ප්‍රයෝජන ලබන්න

“ආත්මය [දෙවිගේ බලය] සියලු දේ, දෙවිගේ ගැඹුරු දේ පවා සොයා බලන්නේය.”—1 කොරින්ති 2:10.

1. බයිබල් ශිෂ්‍යයන්ට සතුටක් ලැබෙන්නේ මුල් වරට කුමන කාරණා දැනගැනීමෙන්ද?

අපෙන් වැඩිදෙනෙකුට මුලින්ම බයිබලය අධ්‍යයනය කරද්දී දැනුණු සතුට අද වගේ මතකයි. දෙවිගේ නමේ ඇති වැදගත්කමත් කීකරු මිනිසුන්ට අනාගතයේ ලැබෙන්නේ කුමක්ද කියලත් අපි දැනගත්තා. ඒ වගේම සීමිත සංඛ්‍යාවක් විතරක් ස්වර්ගයට යෑමට හේතුවත් දුක් වේදනා පවතින්න දෙවි ඉඩහැර තිබීමට හේතුවත් දැනගත්තා. ඊට කලිනුත් අපි බයිබලය කියවලා තියෙන්න ඇති. ඒත් මේ දේවල් ගැන අපිට කවදාවත් දැනගන්න ලැබුණේ නැහැ. එය උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. හිතන්න කෙනෙක් පිහිනුම් කට්ටලයක් නොමැතිව මුහුදේ ඇති කොරල්පර බැලීමට උත්සාහ දරනවා කියා. ඔහුට ගැඹුරටම කිමිදෙන්න බැරි නිසා මුහුදු පතුලේ තිබෙන අලංකාරවත් කොරල්පර සහ එහි සිටින විවිධ වර්ණවලින් යුත් මසුන් පැහැදිලිව පෙනෙන්නේ නැහැ. නමුත් ඔහු පිහිනුම් කට්ටලය පැළඳ ගැඹුරට කිමිදෙද්දී තමයි ඒ සුන්දර දේවල් දකින්නේ. ඒ හා සමානව කෙනෙක් ඇවිත් අපිට බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් කරද්දී තමයි අපිට යන්තමින්වත් ‘දෙවිගේ ගැඹුරු දේවල්’ වැටහුණේ.—1 කොරින්ති 2:8-10.

2. දෙවිගේ වචනයේ ඇති ඔහුගේ ප්‍රඥාව ගැන ඉගෙනගන්න විට අපි ලබන සතුටට කෙළවරක් නැත්තේ ඇයි?

2 “දෙවිගේ ගැඹුරු දේ” කියන්නේ කුමක්ද? ඊට දෙවි තම බලය මාර්ගයෙන් ඔහුගේ සෙනඟට හෙළි කර තිබෙන නමුත් වෙනත් මිනිසුන් හරි හැටි අවබෝධ කරගෙන නැති කාරණා අයත් වෙනවා. හෙළි කරන ලද සෑම දෙයකින්ම පිළිබිඹු වෙන්නේ දෙවිගේ ප්‍රඥාවයි. එය තේරුම්ගැනීමට නම් බයිබලය උඩින් පල්ලෙන් දැන සිටීම ප්‍රමාණවත් නැහැ. (1 කොරින්ති 2:7) දෙවිගේ ප්‍රඥාවට සීමාවක් නැති නිසා බයිබලයේ ඇති දෙවිගේ ප්‍රඥාව ගැන ඉගෙනගැනීමෙන් අපි ලබන ප්‍රීතියටත් අවසානයක් නැහැ. අපි මුලින්ම බයිබලයේ ඇති මූලික ඉගැන්වීම් දැනගත් විට ලොකු ප්‍රීතියක් ලැබුවා. අපි නොකඩවාම ‘දෙවිගේ ගැඹුරු දේවල්’ තේරුම්ගැනීමට උත්සාහ කරනවා නම් ඒ ප්‍රීතිය දිගටම රඳවාගන්න පුළුවන්.

3. අපේ විශ්වාසයන්වලට පදනම සපයන හේතුව අපි හරි හැටි තේරුම්ගෙන සිටිය යුත්තේ ඇයි?

3 ‘දෙවිගේ ගැඹුරු දේවල්’ තේරුම්ගැනීමට අපි උත්සාහ කළ යුත්තේ ඇයි? අපි යම් දෙයක් විශ්වාස කරන්නේ හොඳ හේතු ඇතුවයි කියලා අපිටම සහතික කරගන්න නම් ඒ විශ්වාසයට පදනම සපයන හේතුව හරි හැටි දැනගෙන සිටිය යුතුයි. එමගින් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ අපේ “කල්පනා ශක්තිය භාවිත කර” ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්ද කියා [අපිටම] ඔප්පු කරගන්න’ කියායි. (රෝම 12:1, 2) යෙහෝවා දෙවි යම් ආකාරයකට ජීවත් වෙන්න කියා උපදෙස් දී තිබෙන හේතුව අපි හොඳින් අවබෝධ කරගන්නවා නම් ඔහුට කැමැත්තෙන්ම කීකරු වෙන්න අපි පෙලඹෙනවා. මෙලෙස “දෙවිගේ ගැඹුරු දේ” තේරුම්ගැනීමෙන් නරක දෙයින් ඉවත් වී “යහපත් ක්‍රියා ගැන උද්‍යෝගිමත්” වෙන්න අපිට පුළුවන්.—තීතස් 2:14.

4. බයිබලය අධ්‍යයනය කිරීමට ඇතුළත් වෙන්නේ මොනවාද?

4 ගැඹුරු කාරණා තේරුම්ගන්න නම් අධ්‍යයනය කිරීම හරිම වැදගත්. එය නිකම්ම යමක් කියවනවාට වඩා වෙනස් දෙයක්. අධ්‍යයනය කිරීමේදී කලින් ඉගෙනගෙන තිබෙන තොරතුරු එක්ක අපි සලකා බලන කාරණා සම්බන්ධ වෙන්නේ කොහොමද කියා සිතා බැලිය යුතුයි. එමෙන්ම යම් දෙයක් මේ ආකාරයට සඳහන් කිරීමට හේතුව කුමක්ද කියා අපි කල්පනා කිරීමද වැදගත්. (2 තිමෝති 1:13) අධ්‍යයනය කිරීමේදී කළ යුතු තවත් වැදගත් දෙයක් වන්නේ, අපි ලබාගත් දැනුම නිවැරදි තීරණ ගැනීමටත් අන් අයගේ ප්‍රයෝජනය සඳහාත් යොදාගත හැක්කේ කෙසේද කියා ගැඹුරින් කල්පනා කර බැලීමයි. ‘මුළු ශුද්ධ ලියවිල්ලම යෙහෝවා දෙවිගේ මුඛයෙන් නික්මෙන වචනය’ ලෙස අපි සලකන නිසා අපි එය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කළ යුතුයි. (මතෙව් 4:4; 2 තිමෝති 3:16, 17) එය අධ්‍යයනය කිරීමට වෑයමක් දැරිය යුතු වුණත් එසේ කිරීමෙන් ලොකු සතුටක් ලබාගන්න පුළුවන්. එහි ඇති “දෙවිගේ ගැඹුරු දේ” තේරුම්ගන්න එක අමාරු කාර්යයක්ද නෙවෙයි.

දෙවි නිහතමානී අයට තේරුම්ගන්න උදව් කරයි

5. “දෙවිගේ ගැඹුරු දේ” තේරුම්ගත හැක්කේ කාටද?

5 ඔබ පාසැලේදී හොඳින් සමර්ථ වුණු කෙනෙක් නොවෙන්න පුළුවන්. නැතිනම් අධ්‍යයනය කරන එක ඔබට පුරුදු නැති දෙයක් වෙන්න ඇති. ඒ නිසාම ‘දෙවිගේ ගැඹුරු දේවල්’ ඔබට කවදාවත් තේරුම්ගන්න බැහැ කියා සිතන්න එපා. යේසුස් පොළොවේ සිටි කාලයේදී දෙවි තමාගේ අරමුණු ගැන අවබෝධය ලබා දුන්නේ එදා සිටි ප්‍රඥාවන්තයන්ටවත් බුද්ධිමතුන්ටවත් නෙවෙයි. යේසුස්ගෙන් ඉගෙනගැනීමට තරම් නිහතමානී වූ නූගත් මෙන්ම සාමාන්‍ය අයටයි එය ලබා දුන්නේ. හොඳ අධ්‍යාපනයක් ලබා තිබූ අය එක්ක බලද්දී ඔවුන් බිලිඳුන් හා සමාන වුණා. (මතෙව් 11:25; ක්‍රියා 4:13) “තමාට ප්‍රේම කරන්නන් උදෙසා දෙවි සූදානම් කර තිබෙන” දේ ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘දෙවි තම [බලය] මාර්ගයෙන් ඒ දේ හෙළි කර තිබෙන්නේ අපටය. මන්ද, දෙවිගේ බලය මාර්ගයෙන් සියලු දේ, දෙවිගේ ගැඹුරු දේ පවා සොයා’ දැනගත හැකියි.—1 කොරින්ති 2:9, 10.

6. ‘ගැඹුරු දේවල්’ තේරුම්ගැනීමට දෙවිගේ බලය උපකාරවත් වෙන්නේ කෙසේද?

6 දෙවිගේ බලයේ උපකාරයෙන් ‘සියලු දේ, දෙවිගේ ගැඹුරු දේවල් පවා’ තේරුම්ගන්න පුළුවන් කියා පැවසිය හැක්කේ කොහොමද? දෙවි තම සංවිධානය මෙහෙයවන්නේ ඔහුගේ බලය මාර්ගයෙනුයි. ඔහු එක් එක්කෙනාට පෞද්ගලිකව දේවල් හෙළි කරනවා වෙනුවට තම සංවිධානය හරහා තම සෙනඟට බයිබලයේ ඇති දේවල් තේරුම්ගැනීමට උපකාර කරනවා. (ක්‍රියා 20:28; එෆීස 4:3-6) මේ නිසා ලොව වටා තිබෙන සභා බොහොමයකට යම් කාලයක් ඇතුළත බයිබලයේ ඇති වැදගත් දේවල් රාශියක් ගැන ඉගෙනගැනීමට අවස්ථාව සැලසෙනවා. දෙවිගේ බලය සභාව තුළිනුත් ක්‍රියාත්මක වෙන නිසා ‘දෙවිගේ ගැඹුරු දේවල්’ තේරුම්ගැනීමට එකිනෙකාව පොලඹවන්න එම බලයට හැකියි.—ක්‍රියා 5:32.

‘දෙවිගේ ගැඹුරු දේවලට’ අයත් වන දේ

7. වැඩිදෙනෙකුට “දෙවිගේ ගැඹුරු දේ” සම්බන්ධයෙන් අවබෝධයක් නැත්තේ ඇයි?

7 අපි කවදාවත් හිතන්න නරකයි ‘දෙවිගේ ගැඹුරු දේවල්’ තේරුම්ගන්න අමාරුයි කියලා. වැඩිදෙනෙකුට ‘දෙවිගේ ගැඹුරු දේවල්’ සම්බන්ධයෙන් අවබෝධයක් නැත්තේ ඒවා තේරුම්ගන්න අමාරු නිසා නෙවෙයි. නමුත් දෙවි තම සංවිධානය මාර්ගයෙන් ලබා දෙන උපකාරය ප්‍රතික්ෂේප කිරීමට සාතන් මිනිසුන්ව පොලඹවා තිබෙන නිසයි.—2 කොරින්ති 4:3, 4.

8. එෆීසවරුන්ට ලියූ ලිපියේ තුන්වන පරිච්ඡේදයේ පාවුල් සඳහන් කරන්නේ කුමන ගැඹුරු කාරණා ගැනද?

8 පාවුල් එෆීසවරුන්ට ලියූ ලිපියේ තුන්වන පරිච්ඡේදයේ ‘දෙවිගේ ගැඹුරු දෙවල්වලට’ අයත් සමහර කාරණා සඳහන් වෙනවා. ඒවාට අපි දැනටමත් දන්න පොරොන්දු වූ තැනැත්තාගේ පැමිණීම, මිනිසුන් අතරින් ස්වර්ගික ජීවිතයක් සඳහා පිරිසක්ව තෝරාගැනීම සහ දේවරාජ්‍යය වැනි කාරණා අයිති වෙනවා. පාවුල් මෙසේ පැවසුවා. ‘[දෙවිගේ බලය] මාර්ගයෙන් ඔහුගේ ශුද්ධ ප්‍රේරිතයන්ටත් අනාගතවක්තෘවරුන්ටත් දැන් එළිදරව් කර තිබෙන ලෙස, කලින් පරම්පරාවලදී ඒ රහස මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වා තිබුණේ නැහැ. ඒ රහස නම්, අන්‍යජාතිකයන් ක්‍රිස්තුස් යේසුස් සමඟ එක්සත්ව සිටින හවුල් උරුමක්කාරයන්ද ශරීරයේ සෙසු අවයවයන්ද අප සමඟ පොරොන්දුවේ පංගුකාරයන්ද විය යුතු බවයි.’ පාවුල් පැවසුවේ ‘දෙවි තුළ අසීමිත කාලයක සිට සැඟවී තිබුණාවූ පරිශුද්ධ රහස හසුරුවනු ලබන්නේ කෙසේදැයි මිනිසුන්ට පෙන්වීමට’ දෙවි ඔහුව පත් කළා කියායි.—එෆීස 3:5-9.

9. ‘දෙවිගේ ගැඹුරු දේවල්’ දැනගන්න ලැබීම වරප්‍රසාදයක් කියා පැවසිය හැක්කේ ඇයි?

9 දෙවි ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වන ආකාරයෙන් පිළිබිඹු වෙන “බොහෝ සේ විවිධාකාර වූ දෙවිගේ ප්‍රඥාව” තේරුම්ගෙන “ස්වර්ගීය ස්ථානවල” සිටින දේවදූතයන් පවා ප්‍රයෝජන ලබනවාට යෙහෝවා දෙවි කැමති බව පාවුල් පැවසුවා. (එෆීස 3:10) දේවදූතයන් පවා දැනගන්න ආශාවෙන් සිටින කාරණා ගැන අපිටත් යම් අවබෝධයක් ලැබී තිබීම මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද! (1 පේතෘස් 1:10-12) පාවුල් තවදුරටත් කියන්නේ අපි හැමෝම “සත්‍යයෙහි පළලත් දිගත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන් වටහාගැනීමට” උත්සාහ කළ යුතු බවයි. (එෆීස 3:11, 18) අපේ අවබෝධය තවත් වැඩි කරගැනීම සඳහා දෙවිගේ ගැඹුරු දේවල්වලට අයත් කාරණා කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

ගැඹුරු කාරණා කිහිපයක්

10, 11. ශුද්ධ ලියවිල්ලට අනුව ‘ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා’ බවට යේසුස් පත් වුණේ කවදාද?

10 උත්පත්ති 3:15හි [නව ලොව පරිවර්තනය, NW] ඇති අනාවැකියේ සඳහන් “ස්ත්‍රිය” එනම් දෙවිගේ භාර්යාව හා සමාන ස්වර්ගික සංවිධානයෙන් එන “තැනැත්තා” යේසුස් ක්‍රිස්තුස් කියා අපි දන්නවා. ඒත් අපේ අවබෝධය තවත් වැඩි කරගැනීම සඳහා අපෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගත හැකියි. ‘යේසුස් පොරොන්දු වූ තැනැත්තා බවට පත් වුණේ කවදාද? ඔහු පොළොවට එන්න කලින්ද? ඔහු මිනිසෙක් ලෙස උපත ලැබූ අවස්ථාවේදීද? බව්තීස්ම වූ විටද? නැත්නම් නැවතනැඟිටීමෙන් පසුවද?’

11 ස්වර්ගික සංවිධානය නමැති ‘ස්ත්‍රියගෙන්’ එන තැනැත්තා සාතන්ගේ හිස පොඩි කරන බවට දෙවි පොරොන්දුවක් දී තිබුණා. එම පොරොන්දුව දී වසර දහස් ගණනක් ගෙවී ගියත් එම ස්ත්‍රිය සාතන්ටවත් ඔහුගේ දුෂ්ටකම්වලටවත් අවසානයක් ගෙනෙන ඒ තැනැත්තාව බිහි කළේ නැහැ. ඒ නිසා යෙසායා ඇයව හැඳින්වූයේ ‘වඳ ස්ත්‍රියක්’ හා “දුක් ගැහැට විඳින භාර්යාවක්” ලෙසයි. (යෙසායා 54:1, 5, 6NW) කාලයාගේ ඇවෑමෙන් යේසුස් බෙත්ලෙහෙමේ උපත ලැබුවා. නමුත් ඔහු බව්තීස්ම වූ අවස්ථාවේදියි දෙවි ඔහුට තම බලය ලබා දෙමින් “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා” කියා පැවසුවේ. එතැන් සිට යේසුස්ට දෙවි සමඟ විශේෂ බැඳීමක් ඇති කරගන්න පුළුවන් වුණා. (මතෙව් 3:17; යොහන් 3:3) ඒ අවස්ථාවේදී තමයි ස්ත්‍රියගෙන් පැමිණෙන පොරොන්දු වූ තැනැත්තා බවට යේසුස් පත් වුණේ. එතැන් සිට යේසුස්ගේ අනුගාමිකයන්ටත් දෙවි තම බලය ලබා දී ඔවුන්වත් අභිෂේක කළා. කාලයක් පුරා ‘දරුවන් බිහි නොකර වඳ ස්ත්‍රියක්ව’ සිටි දෙවිගේ ස්වර්ගික සංවිධානය අවසානයේදී ‘ප්‍රීති වුණා.’—යෙසායා 54:1NW; ගලාති 3:29.

12, 13. ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ පොළොවේ සිටින සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අයිති බව ඔප්පු කළ හැක්කේ කුමන බයිබල් පදවලින්ද?

12 දෙවි විසින් මිනිසුන් 1,44,000ක් තෝරාගැනීමත් ගැඹුරු දේවලට අයත් කාරණයක්. (එළිදරව් 14:1, 4) යේසුස් පැවසූ ලෙස නියමිත වෙලාවට ඇදහිල්ල ශක්තිමත් කරන “ආහාර” සපයන ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ ඕනෑම කාල පරිච්ඡේදයක පොළොවේ ජීවත් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අයිති බව අපි විශ්වාස කරනවා. (මතෙව් 24:45) අපි විශ්වාස කරන ඒ දේ හරියි කියා ඔප්පු කිරීමට බයිබලයේ තිබෙන සාක්ෂි මොනවද? යේසුස් පැවසුවේ තම සහෝදරයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන ඕනෑම ක්‍රිස්තියානියෙක් ඊට අයිතියි කියලද?

13 දෙවි ඊශ්‍රායෙල් ජාතියට “මාගේ සාක්ෂිකරුවන් ඔබයි. මාගේ සේවකයන් ලෙස මම තෝරාගත්තේ ඔබවයි” කියා පැවසුවා. (යෙසායා 43:10NW) ඒත් ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 11වෙනිදා යේසුස් ඊශ්‍රායෙල්හි නායකයන්ට පැවසුවේ දෙවි තවදුරටත් එම ජාතිය ඔහුගේ සේවකයා ලෙස සලකන්නේ නැහැ කියායි. යේසුස් මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන, එම රාජ්‍යයෙහි පල උපදවන ජාතියකට දෙනු ලැබේ.” ඔහු ඊශ්‍රායෙල් සෙනඟටත් පැවසුවේ “බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ” කියලයි. (මතෙව් 21:43; 23:38) මින් පැහැදිලි වෙන්නේ දෙවිගේ සේවකයා ලෙස කටයුතු කළ ඊශ්‍රායෙල් ජාතිය විශ්වාසවන්තව සිටියේවත් නුවණ ඇතුව කටයුතු කළේවත් නැති බවයි. (යෙසායා 29:13, 14) එදාම යේසුස් මෙවැනි ප්‍රශ්නයක්ද ඇසුවා. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?” වෙනත් විදිහකින් කියනවා නම් යේසුස් ඇසුවේ ‘ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට තම සේවකයා ලෙස කටයුතු කිරීමට දෙවි තෝරාගන්න යන්නේ කුමන ජාතියද’ කියායි. ඒ ප්‍රශ්නයට පිළිතුරු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පේතෘස් ලියූ මේ දෙයින් සොයාගන්න පුළුවන්. “ඔබ ශුද්ධ වූ ජාතියක්ද, දෙවිට අයත් විශේෂ වස්තුවක් ලෙස තෝරාගත් සෙනඟක්ද” වන්නහුය.” (1 පේතෘස් 1:4; 2:9) මින් පෙනී යන්නේ “දෙවිගේ ඊශ්‍රායෙල්” හෙවත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දෙවිගේ නව දාසයා බවට පත් වුණු බවයි. (ගලාති 6:16) එදා ඊශ්‍රායෙල් ජාතියට විශාල පිරිසක් අයිති වුණත් ඔවුන් සියලුදෙනාවම හැඳින්වූයේ එක ‘සේවකයෙක්’ හැටියටයි. ඒ හා සමානව ඕනෑම කාල පරිච්ඡේදයක් තුළ පොළොවේ ජීවත් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව හඳුන්වන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලෙසයි. දෙවි විසින් තෝරාගත් එම දාසයාගෙන් ඇදහිල්ල ශක්තිමත් කරන “ආහාර” අපිට ලැබීම මොන තරම් කදිම වරප්‍රසාදයක්ද!

පෞද්ගලික අධ්‍යයනයෙන් තෘප්තියක් ලබන්න

14. බයිබලය නිකම්ම කියවනවාට වඩා එය අධ්‍යනය කිරීම ප්‍රීතිමත් දෙයක් වෙන්නේ ඇයි?

14 ශුද්ධ ලියවිල්ලේ ඇති කාරණා සම්බන්ධයෙන් අපිට අලුත් අවබෝධයක් ලැබෙද්දී අපේ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙන නිසා අපි ප්‍රීතියට පත් වෙනවා. ඒ නිසා තමයි බයිබලය නිකම්ම කියවනවාට වඩා එය අධ්‍යයනය කිරීම වටින්නේ. අපේ ප්‍රකාශන කියවන විට අපි සිතීමේ හැකියාව පාවිච්චි කර මේ වගේ ප්‍රශ්න අසාගැනීම වැදගත්. ‘මම දැන් අධ්‍යයනය කරන විෂය ගැන දී තිබෙන පැහැදිලි කිරීම, කලින් මේ විෂය ගැන දැන සිටිය තොරතුරුවලට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම අධ්‍යයනය කරන ප්‍රකාශනයේ සඳහන් තොරතුරු තහවුරු කරගැනීමට උපකාරවත් වන වෙනත් බයිබල් පද සහ අමතර කරුණු මොනවාද? මෙම ප්‍රශ්න අසාගැනීමෙන් පසු තවත් තොරතුරු අවශ්‍යයි කියා ඔබට හැඟෙනවා නම් එය සටහන් කරගෙන පසුව ඒ ගැන පර්යේෂණය කරන්න.

15. කුමන දේවල් ගැන අධ්‍යයනය කිරීමෙන්ද අපිට ප්‍රීතියක් ලබන්න පුළුවන් වෙන්නේ? එසේ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

15 අපේ අවබෝධය තවත් වැඩි කරගෙන අපිට තෘප්තියක් ලැබිය හැකි වන්නේ කුමන කාරණා ගැන අධ්‍යයනය කිරීමෙන්ද? දෙවි මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ඇති කර තිබෙන නොයෙක් ගිවිසුම් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න අපට පුළුවන්. එමෙන්ම යේසුස් ක්‍රිස්තුස් ගැන සඳහන් වී තිබෙන අනාවැකි අධ්‍යයනය කිරීමෙන් හා බයිබලයේ අනාවැකි පොතක සඳහන් හැම පදයක්ම අධ්‍යයනය කිරීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැකියි. සාක්ෂිකරුවන්ගේ නවීන දින ඉතිහාසය ගැන සඳහන් වෙන ප්‍රොක්ලේමස් * පොත කියවීමෙන්ද අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. යම් බයිබල් පද ගැන අපේ අවබෝධය තවත් වැඩි කරගැනීම සඳහා මුරටැඹ සඟරාවල පළ වී ඇති “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කොටස උපකාරවත් වෙනවා. අපි අධ්‍යයනය කරන කාරණය තහවුරු කිරීමට යොදාගෙන ඇති බයිබල් පද ගැන ගැඹුරින් සිතා බලන්න. එසේ කිරීමෙන් ඔබේ “වටහාගැනීමේ හැකියාව” තවත් ප්‍රගුණ කරගත හැකි අතර හරි වැරැද්ද හඳුනාගැනීමේ හැකියාවද වර්ධනය වෙනවා. (හෙබ්‍රෙව් 5:14) ඔබ සොයාගත් කරුණු ඔබේ බයිබලයේ හෝ වෙනත් පොතක සටහන් කරගන්න. එසේ කිරීමෙන් ඔබට මෙන්ම අන් අයටත් ප්‍රයෝජන ගෙන දෙන ආකාරයෙන් ඒවා යොදාගත හැකියි.

බයිබලය අධ්‍යයනය කිරීමට දරුවන්ට උදව් කරන්න

16. බයිබලය අධ්‍යයනය කිරීම සඳහා දරුවන් තුළ ආශාවක් ඇති කළ හැක්කේ කෙසේද?

16 බයිබලය අධ්‍යයනය කිරීම සඳහා දරුවන් තුළ ආශාවක් ඇති කරන්න දෙමව්පියන්ට පුළුවන්. දරුවන්ට ගැඹුරු දේවල් තේරුම්ගන්න බැහැ කියා සිතන්න එපා. පවුල් පාඩමේදී සාකච්ඡා කිරීමට නියමිත කාරණයක් ගැන පර්යේෂණය කිරීමට දරුවන්ට දිරිගන්වන්න. පසුව පවුල් පාඩම අතරතුර ඔවුන් ඉගෙනගත්තේ කුමක්ද කියා විමසන්න. තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් කතා කරන්නේ කෙසේද කියාත් ඔවුන් ඉගෙනගෙන ඇති දේවල් සත්‍යය බව ප්‍රකාශ කරන ආකාරය ගැනත් පවුල් පාඩමේදී දරුවන් සමඟ පෙරහුරු කරන්න. මීට අමතරව ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ * නම් විවරණිකාව යොදාගෙන සතිපතා බයිබලය කියවද්දී එම කොටස්වල සඳහන් දේශ පිළිබඳව දරුවන්ව දැනුවත් කරන්නත් පුළුවන්.

17. පෞද්ගලික අධ්‍යයනයේදී අපි සමබර විය යුත්තේ ඇයි?

17 බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙන අතර පොත් පාඩමේදී හෝ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සාකච්ඡා කරන බයිබල් විශේෂාංග කොටසේදී හොඳ අදහස් ඉදිරිපත් කරන්නත් හැකි වෙනවා. මෙහිදී අපි පරෙස්සම් විය යුතු පැත්තක්ද තිබෙනවා. අපි පෞද්ගලික අධ්‍යයනයට වැඩි කාලයක් යෙදවීමෙන් රැස්වීම්වලට සූදානම් වීම අතපසු වෙන්න පුළුවන්. නමුත් රැස්වීම් තුළින් යෙහෝවා දෙවි අපට වටිනා උපදෙස් ලබා දෙන බව අපි අමතක නොකළ යුතුයි.

18. ‘දෙවිගේ ගැඹුරු දේවල්’ අධ්‍යයනය කිරීමට අපි ගන්නා උත්සාහය වටින්නේ ඇයි?

18 දේවවචනය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ඔබට හැකියි දෙවිට ළං වෙන්න. එලෙස අධ්‍යයනය කිරීමේ ඇති ප්‍රයෝජනය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුමෙහි ප්‍රයෝජනය මෙයයි. දැනුමත් ප්‍රඥාවත් ඇති අයගේ ජීවිත රැකෙනු ඇත.” (දේශනාකාරයා 7:12NW) දෙවි හෙළි කර තිබෙන සත්‍යය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට ඔබ දරන වෑයම වටිනවා. ඒ නිසයි එවැනි අයට ‘දෙවි පිළිබඳව දැනුම ලැබෙන’ බව දේවවචනයේ සහතික කර තිබෙන්නේ.—හිතෝපදේශ 2:4, 5NW.

[පාදසටහන්වල]

^ 15 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.—සිංහලෙන් නැහැ.

^ 16 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ‘දෙවිගේ ගැඹුරු දේවල්’ මොනවාද?

• අපි දිගටම ගැඹුරු දේවල් අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

• සියලුම ක්‍රිස්තියානීන්ට ‘දෙවිගේ ගැඹුරු දේවල්’ අධ්‍යයනය කිරීමෙන් ප්‍රීතිය ලබන්න පුළුවන් වන්නේ ඇයි?

• ‘දෙවිගේ ගැඹුරු දේවලින්’ ඔබට ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

යේසුස් පොරොන්දු වූ තැනැත්තා ලෙස පෙනී සටියේ කවදාද?

[31වන පිටුවේ පින්තූරය]

පවුල් පාඩම සඳහා සූදානමක් වශයෙන් යම් කාරණයක් ගැන පර්යේෂණය කිරීමට දරුවන්ට පවරන්න