Skip to content

පටුනට යන්න

දෙවිගේ පොරොන්දු කෙදිනකවත් බොරු නොවෙයි!

දෙවිගේ පොරොන්දු කෙදිනකවත් බොරු නොවෙයි!

දෙවිගේ පොරොන්දු කෙදිනකවත් බොරු නොවෙයි!

“දෙවි ඔබට පොරොන්දු වූ හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වුණා කියා ඔබ හොඳින්ම දන්නවා. ඔහු පැවසූ එක වචනයක්වත් බොරු වුණේ නැහැ.”—යොෂුවා 23:14, NW.

1. යොෂුවා මොන වගේ පුද්ගලයෙක්ද? තම ජීවිතයේ අවසානභාගයේදී ඔහු කළේ කුමක්ද?

යොෂුවා ඉතා ශක්ති සම්පන්න නිර්භීත සෙන්පතියෙක් මෙන්ම නොසැලෙන ඇදහිල්ලක් තිබූ දෙවිගේ පක්ෂපාත සේවකයෙක් බව අපි හොඳින්ම දන්නවා. ඔහු මෝසෙස්ව ඉතා කිට්ටුවෙන් ඇසුරු කළා. ඊශ්‍රායෙල් ජාතියව භයානක පාළුකරයක් හරහා කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙන යෑමේ වගකීම දෙවි පැවරුවෙත් යොෂුවාටයි. සියලුදෙනාගේම ගෞරවය ලැබූ යොෂුවා සිය ජීවිතයේ අවසානභාගයේදී ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන ආකාරයේ කතාවක් ඉදිරිපත් කළා. එදා ඔහු පැවසූ දේ ගැන ගැඹුරින් සිතා බැලීමෙන් අපේ ඇදහිල්ලත් ශක්තිමත් කරගන්න පුළුවන්.

2, 3. ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ට යොෂුවා කතා කළ කාලයේ ඊශ්‍රායෙලයේ තිබුණේ කුමන තත්වයක්ද? යොෂුවා මහත් විශ්වාසයකින් පැවසුවේ කුමක්ද?

2 යොෂුවා එම කතාව ආරම්භ කළ ආකාරය ගැන බයිබලයේ මෙසේ වාර්තා වී තිබෙනවා. “සතුරු ආක්‍රමණවලින් තොර සාමකාමී කාලයක් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදා කර දී තිබිණ. යොෂුවාද මහලු වයසේ පසු විය. එහෙයින් යොෂුවා, ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන් ඇතුළු මුළු සෙනඟ කැඳවා ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය: ‘මම දැන් හොඳටම වයසට ගිහින්.’”—යොෂුවා 23:1, 2NW.

3 ඒ වෙද්දී යොෂුවාට වයස අවුරුදු 110 පමණ වුණා. ඔහු ජීවත් වුණේ දෙවි තම සෙනඟ වෙනුවෙන් පුදුම දේවල් රැසක් සිදු කළ කාලයකයි. ඔහු ඒ දේවල් ඇස් පනාපිටම දැක තිබුණා. දෙවි තමා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරනවා ඔහු පෞද්ගලිකවම අද්දැක තිබුණු නිසයි මහත් විශ්වාසයකින් යුතුව මෙසේ පැවසුවේ. ‘ඔබ නමස්කාර කරන යෙහෝවා දෙවි ඔබට පොරොන්දු වූ හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කළා කියා ඔබ හොඳින්ම දන්නවා. ඔහු පැවසූ එක වචනයක්වත් බොරු වුණේ නැහැ.’—යොෂුවා 23:14NW.

4. ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් පොරොන්දු මොනවාද?

4 පළමුව ඔවුන්ව වහල්භාවයෙන් ගලවාගන්නා බවටත්, දෙවනුව ආරක්ෂා කරන බවටත්, තුන්වෙනුව රැකබලා ගන්නා බවටත් දෙවි පොරොන්දු වුණා. ඒ සියල්ල යොෂුවා ජීවත්ව සිටියදීම ඉටු වුණා. දෙවි වර්තමානයේ සිටින තම සෙනඟටත් එවැනිම පොරොන්දු දී තිබෙන අතර ඔහු ඒවා ඉටු කරන ආකාරය අපිට පැහැදිලිව දකින්න තිබෙනවා. ඒ සම්බන්ධව කතා කිරීමට කලින් එදා ඊශ්‍රායෙල් ජාතියට වූ පොරොන්දු දෙවි ඉටු කළේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.

දෙවි තම සෙනඟව ගලවාගනියි

5, 6. දෙවි තම සෙනඟව ඊජිප්තුවෙන් ගලවාගත්තේ කෙසේද? ඉන් ඔප්පු වූයේ කුමක්ද?

5 තම සෙනඟව ගලවාගන්නා බවට දෙවි දුන් පොරොන්දුව ඔහු ඉටු කළේ කෙසේද කියා අපි බලමු. ඊජිප්තුවේ වහලුන් ලෙස සිටි ඊශ්‍රායෙල්වරු තම දුක්ගාවිනා ගැන දෙවිට කන්නලව් කළ විට ඔහු ඊට ඇහුම්කන් දුන්නා. (නික්මයාම 2:23-25) පසුව දෙවි ඇවිළෙන පඳුර අසලදී මෝසෙස්ට මෙසේ පැවසුවා. “මම [මගේ සෙනඟව] ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි. ඔවුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනැවිත් කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට ගෙනයන්නෙමි.” (නික්මයාම 3:8NW) මේ පොරොන්දුව දෙවි ඉටු කරන ආකාරය දැකබලා ගැනීම මොන තරම් හද දනවන අද්දැකීමක් වෙයිද? ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවෙන් යන්න දෙන්න බැහැ කියා පාරාවෝ රජ මෝසෙස්ට පැවසුවා. එවිට මෝසෙස් පිළිතුරු දුන්නේ ඔබ එසේ කළොත් දෙවි නයිල් ගඟේ වතුර ලේ බවට හරවයි කියලයි. දෙවි එය ඒ ආකාරයෙන්ම සිදු කළා. ප්‍රතිඵලයක් ලෙස ගඟේ සිටි මසුන් මැරුණු අතර එහි වතුරද බීමට නොහැකි වුණා. (නික්මයාම 7:14-21) නමුත් මේ උද්ධච්ච රජ තමන්ගේ තීරණය වෙනස් කළේ නැහැ. ඒ නිසා දෙවි තවත් වසංගත නවයකින් ඊජිප්තුවට පහර දුන් අතර එක් එක් වසංගතය ගැන කලින්ම දැනුම් දුන්නා. (නික්මයාම 8–12 දක්වා පරිච්ඡේද) දහවෙනි වසංගතයෙන් ඊජිප්තුවරුන්ගේ සියලුම කුලුඳුලන් මිය යෑමත් සමඟම ඊජිප්තුවෙන් පිට වී යන ලෙසට පාරාවෝ නියෝග කළා.—නික්මයාම 12:29-32.

6 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් ගලවාගත් නිසයි දෙවිගේ තෝරාගත් ජාතිය බවට පත් වී ඔහුගේ නීති හා ප්‍රතිපත්ති පිළිපදින්න ඔවුන්ට හැකි වුණේ. මේ සියල්ලෙන් පෙනී යන්නේ දෙවි තමා දෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරන බවයි. ඒවා කෙදිනකවත් බොරු වෙන්නේ නැහැ. වෙනත් දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඉන් පැහැදිලි වෙනවා. දෙවි තම සෙනඟව ගලවාගැනීම ගැන සඳහන් වාර්තාව කියවීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා නම් එදා ඒ සියල්ල හැබැහින් දකිද්දී යොෂුවාට කෙසේ හැඟෙන්න ඇද්ද! යෙහෝවා දෙවි “මුළු පොළොවටම මහෝත්තමයාණන්” කියා ඔහු තේරුම්ගත් බවට කිසිම සැකයක් නැහැ.—ගීතාවලිය 83:18NW.

දෙවි තම සෙනඟව ආරක්ෂා කරයි

7. පාරාවෝගේ හමුදාව හඹා එද්දී දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කළේ කෙසේද?

7 තම සෙනඟව ආරක්ෂා කරන බවට දුන් පොරොන්දුව දෙවි ඉටු කළේ කෙසේද? ඔහු එය ඉටු කළේ ඊජිප්තුවෙන් පිට වී පොරොන්දු දේශයේ පදිංචි වීම දක්වා කාලය තුළ ඊශ්‍රායෙල්වරුන්ට ආරක්ෂාව සැපයීමෙනුයි. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටව ගියාට පසුව පාරාවෝ යුධ රථ සියගණනකින් යුත් බලවත් හමුදාවක් සමඟ ඔවුන් පසුපස හඹා ගියා. ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරු කඳුකරය හා රතු මුහුද අතර කොටු වී සිටිය නිසා ඔවුන්ව පහසුවෙන්ම අල්ලගන්න පුළුවන් වෙයි කියලා අහංකාර පාරාවෝ සිතන්න ඇති. නමුත් දෙවි තම සෙනඟව ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඔහු ඊජිප්තු හමුදාවත් ඊශ්‍රායෙල් සෙනඟත් අතරේ වලා ටැඹක් පිහිටෙව්වා. එමගින් දෙවිගේ සෙනඟට ආලෝකය ලැබුණු අතර ඊජිප්තුවරුන්ට අන්ධකාරයේ සිටීමට සිදු වුණා. ප්‍රතිඵලයක් ලෙස තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් පසුපස හඹා යෑමට ඔවුන්ට හැකි වුණේ නැහැ. දෙවි පැවසූ පරිදි මෝසෙස් තමාගේ සැරයටිය මුහුද දෙසට දිගු කළ විට රතු මුහුද දෙබෑ වූ අතර දෙවිගේ සෙනඟ බේරී ගියා. එසේ දෙවි තම සෙනඟව ආරක්ෂා කරද්දී ඔවුන්ව අල්ලා ගැනීමට පැමිණි ඊජිප්තු හමුදාවට සිදු වුණේ මහා ජල කඳට යට වී මිය යන්නයි.—නික්මයාම 14:19-28.

8. (අ) පාලුකරයේදීත් (ආ) පොරොන්දු දේශයට ගියායින් පසුවත් ඊශ්‍රායෙල්වරු දෙවිගේ ආරක්ෂාව අද්දැක්කේ කෙසේද?

8 රතු මුහුදෙන් එතෙර වූ පසුව ‘ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ගැවසෙන වතුර නැති මහත් භයානක පාලුකරයක්’ මැදින් යන්න ඊශ්‍රායෙල් ජාතියට සිදු වුණා. (ද්විතීය කතාව 8:14) ඒ අවස්ථාවේදීත් දෙවි ඔවුන්ව ආරක්ෂා කළා. පොරොන්දු දේශයට ඇතුල් වීමේදී බලවත් කානානිවරුන් ඔවුන්ට සතුරුකම් පෑවා. නමුත් දෙවි යොෂුවාට කිව්වේ මෙයයි. “දැන් ඔබත් මේ මුළු සෙනඟත් යොර්දාන් ගඟෙන් එගොඩ වී, මා ඊශ්‍රායෙල්වරුන්ට දෙන දේශයට ඇතුල් වෙන්න. ඔබ ජීවත් වන තාක්කල් ඔබට විරුද්ධව නැඟී සිටින කිසිවෙකුවත් සාර්ථක වන්නේ නැත. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටින්නෙමි. මා ඔබව කිසි දවසක තනි කරන්නේවත් අතහැර යන්නේවත් නැත.” (යොෂුවා 1:2, 5NW) දෙවි ඒ පොරොන්දුව එලෙසම ඉටු කළා. ඒ නිසයි කානාන් දේශයට ඇතුළු වී අවුරුදු හයක් වැනි කාලයක් තුළ එහි සිටි රජවරුන් 31දෙනෙකුව පරදවා විශාල ප්‍රදේශයක් අත් පත් කරගන්න යොෂුවාට හැකි වුණේ. (යෝෂුවා 12:7-24) දෙවිගේ ආරක්ෂාව නොලැබුණා නම් යොෂුවාට කවදාවත් එම ජයග්‍රහණය ලැබෙන්නේ නැහැ.

දෙවි තම සෙනඟව රැකබලා ගනියි

9, 10. පාලුකරයේ සිටි කාලය තුළ දෙවි තම සෙනඟව රැකබලා ගත්තේ කොහොමද?

9 තුන්වෙනුව ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගන්නා බවටත් දෙවි පොරොන්දු වුණා. ඔවුන්ව ඊජිප්තුවෙන් ගෙනා පසු දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “මම ඔබට අහසෙන් කෑම වැටෙන්න සලස්වන්නෙමි. සෙනඟ තම තමන්ට අවශ්‍ය කෑම ප්‍රමාණය දවසින් දවස අහුලා ගත යුතුයි.” තමා පොරොන්දු වූ ලෙසම දෙවි “අහසෙන් කෑම” වැටෙන්න සැලැස්සුවා. ඒවා හැඳින්වූයේ මන්නා ලෙසයි. ‘ඊශ්‍රායෙල් සෙනඟ එය දුටු විට ඒ මොනවාද කියා එකිනෙකාගෙන් අහන්න’ පටන්ගත්තා.—නික්මයාම 16:4, 13-15NW.

10 අවුරුදු 40ක් පුරා ඊශ්‍රායෙල් ජාතිය පාලුකරයේ සිටි කාලයේදී යෙහෝවා දෙවි ඔවුන්ට ආහාර මෙන්ම වතුරද සැපයුවා. එමෙන්ම සෙනඟගේ ඇඳුම් නොදිරන බවට හා ඔවුන්ගේ කකුල් ඉදිමෙන්නේ නැති බවටත් දෙවි වගබලා ගත්තා. (ද්විතීය කතාව 8:3, 4) යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම තම සෙනඟව ගලවාගෙන ආරක්ෂා කරමින් රැකබලා ගත් ආකාරය යොෂුවා දැක්කා.

අද දින ගැලවීම ලැබීම

11. වර්ෂ 1914දී බෘක්ලින්වල පිහිටි බෙතෙල් ගෘහයේ කළ නිවේදනය කුමක්ද? ඒ වෙද්දී කාලය උදා වී තිබුණේ කුමක් සඳහාද?

11 බයිබල් ශිෂ්‍යයන් අතර පෙරමුණ ගෙන ක්‍රියා කළ සහෝදර චාර්ල්ස් රසල් 1914 ඔක්තෝබර් 2වෙනිදා ඉතා වැදගත් නිවේදනයක් කළා. ඔහු බෘක්ලින් නගරයේ බෙතෙල් ගෘහයේ කෑම කාමරයට පැමිණි ගමන්ම හැමදෙනාවම සාදරයෙන් පිළිගෙන ඉතා සතුටින් මෙසේ පැවසුවා. “ජාතීන් වෙනුවෙන් නියම කරපු කාලවල් දැන් ඉවරයි. ලෝක පාලකයන්ට හිමි වී තිබුණු කාලය අවසන් වෙලා.” ඉන් පෙනී ගියේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිට තම සෙනඟ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට යළි කාලය උදා වූ බවයි.

12. වර්ෂ 1919දී දෙවිගේ සෙනඟ අද්දුටු ගැලවීම කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

12 එම නිවේදනය කර වසර පහක් ඇතුළත යෙහෝවා දෙවි තම සෙනඟව බොරු උගන්වන ආගම් නියෝජනය කරන ‘මහ බැබිලෝනියෙන්’ ගලවාගත්තා. (එළිදරව් 18:2) අප අතරේ සිටින වැඩිදෙනෙකුට එම විශිෂ්ට ගලවාගැනීම දැකගත නොහැකි වුණත් එහි ප්‍රතිඵල දැකිය හැකියි. යෙහෝවා දෙවි සැබෑ නමස්කාරය යළි පිහිටුවා තමාට නමස්කාර කිරීමට ආශාවෙන් සිටින අයව එක්රැස් කරමින් සිටිනවා. අනාගතවක්තෘ යෙසායා කලින්ම ඒ ගැන පැවසුවේ මේ ආකාරයටයි. “අන්තිම දවස්වලදී, යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද අන් සියලුම කඳුවලට වඩා ඉහළින්ද ස්ථිර ලෙසද පිහිටවනු ලබන්නේය. එය සියලුම කඳුවලට වඩා උසස් වන්නේය. ඒ කාලයේදී සියලු ජනයා වැල නොකැඩී ඒ කන්දට නඟින්නෝය.”—යෙසායා 2:2NW.

13. දෙවිගේ සෙනඟගේ වර්ධනය ගැන ඔබට පැවසිය හැක්කේ කුමක්ද?

13 යෙසායා පැවසූ වදන් අද දින ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා. වර්ෂ 1919දී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නිර්භීතව ලොව වටා සාක්ෂිදැරීමේ කාර්යය සිදු කළ නිසා සැබෑ නමස්කාරය උසස් කරනු ලැබුවා. එක්දාස් නවසිය තිස්ගණන්වල සිට ‘වෙනත් බැටළුවන්ටත්’ සැබෑ නමස්කාරයේ හවුල් වීමට ආරාධනා කරනු ලැබුවා. (යොහන් 10:16) මුලින්ම සුළු සංඛ්‍යාවකින් පැමිණි ඔවුන් අද මිලියන ගණනක් දක්වා වර්ධනය වෙලා! යොහන් ඔවුන්ව විස්තර කළේ ‘සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද’ පැමිණෙන ‘කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්’ ලෙසයි. (එළිදරව් 7:9) මොහොතකට සිතා බලන්න ඔබ සත්‍යයට පැමිණි කාලයේ සිටි අයට වඩා අද කීදෙනෙක් සැබෑ නමස්කාරයේ හවුල් වෙනවාද කියා. ගණනින් කියනවා නම් 67,00,000කටත් වඩා පිරිසක් අද එසේ කරමින් සිටිනවා. ලොව වටා දකින්න තිබෙන මේ වර්ධනය සිදු වෙන්නේ දෙවි තම සෙනඟව මහ බැබිලෝනියෙන් ගලවාගත් නිසයි.

14. දෙවි ඉදිරියේදී සිදු කිරීමට නියමිත ගැලවීම කුමක්ද?

14 ඉදිරියේදීත් දෙවි සිය බලය යොදාගෙන ලොව පුරා සිටින තම සේවකයන්ව ගලවාගැනීමට නියමිතයි. ඔහු එය සිදු කරන්නේ තමාට විරුද්ධ වන අයව විනාශ කර තම සෙනඟට ධර්මිෂ්ඨකම රජයන පාරාදීස පොළොවක් ලබා දීමෙනුයි. සියලුම දුෂ්ටකම්වල නිමාව දකින්න ලැබීම හා මිනිස් ඉතිහාසයේ දීප්තිමත්ම යුගයේ ආරම්භය දැකීම මොන තරම් ප්‍රීතියක් වේවිද!—එළිදරව් 21:1-4.

වර්තමානයේ දෙවිගේ ආරක්ෂාව ලැබීම

15. වර්තමානයේ දෙවිගේ ආරක්ෂාව අපිට අවශ්‍ය වන්නේ ඇයි?

15 අපි මෙතෙක් සලකා බැලූ ආකාරයට යොෂුවාගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගේ ආරක්ෂාව අත්‍යවශ්‍ය වුණා. ඒ හා සමානව අද දින සිටින දෙවිගේ සේවකයන්ටත් එම ආරක්ෂාව අත්‍යවශ්‍යයි. ඒ බව යේසුස් පැවසූ මේ වදන් මගින් පැහැදිලි වෙනවා. ඔහු කිව්වේ “මිනිස්සු ඔබව පීඩා විඳින්න පාවා දී මරණයට පත් කරති. තවද, මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත” කියලයි. (මතෙව් 24:9) මේ වදන්වල ඇති සත්‍යතාව ඔප්පු කරමින් වර්තමානයේ රටවල් බොහොමයක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දැඩි වද හිංසා හා පීඩා ගෙනැවිත් තිබෙනවා. මෙවන් තත්වයන් යටතේ වුණත් දෙවි කවදාවත් ඔවුන්ව තනි කරලා නැහැ. (රෝම 8:31) බයිබලයේ ඔහු දී තිබෙන සහතිකය මෙයයි. ‘ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ.’ ඉන් පැහැදිලි වෙන්නේ කිසිම දෙයකට රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය නැවැත්වීමට නොහැකි බවයි.—යෙසායා 54:17NW.

16. දෙවි තම සෙනඟව ආරක්ෂා කරන බවට තිබෙන සාක්ෂි මොනවාද?

16 දැඩි පීඩා මැද වුණත් රටවල් 236ක සිටින යෙහෝවා දෙවිගේ සෙනඟ වැඩි වී තිබෙන්නේ පුදුමාකාර ලෙසයි. මෙයින් පෙනී යන්නේ අපිට පීඩා කර අපව නිහඬ කිරීමට උත්සාහ දරන අයගෙන් දෙවි අපව ආරක්ෂා කර ඇති බවයි. දෙවිගේ සෙනඟට දැඩි ලෙස විරුද්ධ වූ දේශපාලන නායකයන් හෝ ආගමික නායකයන්ව ඔබට මතකද? ඔවුන්ට සිදු වුණේ කුමක්ද? අතීතයේ දෙවිගේ සෙනඟට පීඩා කළ පාරාවෝ මෙන් ඔවුනුත් කිසිවක් කර කියාගත නොහැකි තත්වයට පත් වී තිබෙනවා. නමුත් දෙවිට විශ්වාසවන්තව සිටිමින් මිය ගිය දෙවිගේ සේවකයන් ගැන කිව හැක්කේ කුමක්ද? දෙවිට ඔවුන්ව මතක තිබෙන අතර ඔහුගේ මතකයේ රැඳී සිටීමට ලැබීම ඔවුන්ට මොන තරම් ලොකු ආරක්ෂාවක්ද! ඒ සියල්ලෙන් පෙනී යන්නේ තම සෙනඟව ආරක්ෂා කරන බවට දෙවි දී තිබෙන පොරොන්දුව බොරු වී නැති බවයි.

දෙවි අද දිනත් තම සෙනඟව රැකබලා ගන්නවා

17. තමාට ළංවීම සඳහා අවශ්‍ය කරන දැනුම සම්බන්ධයෙන් දෙවි දුන් පොරොන්දුව කුමක්ද?

17 පාලුකරයේදී ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගත්තාක් මෙන් දෙවි අද දිනත් තම සේවකයන්ව රැකබලා ගන්නවා. ඔහු එය කරන්නේ තමා වෙතට ළංවීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් අපිට ලබා දීමෙනුයි. (මතෙව් 24:45) සියවස් ගණනාවක් පුරා දෙවි පිළිබඳව හෙළි නොකරන ලද කාරණා අද අපට දැනගන්න ලැබී තිබෙනවා. දානියෙල්ට දේවදූතයෙක් පැවසුවේ මෙයයි. “ඔබට හෙළි කළ මේ වචන පොතක ලියා අවසාන කාලය දක්වා වසා තබන්න. ඒ දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝදෙනෙක් ගවේෂණය කරන්නෝය. සැබෑ දැනුමද බොහෝ සෙයින් වැඩි වන්නේය.”—දානියෙල් 12:4NW.

18. සැබෑ දැනුම අද බොහෝසෙයින් වැඩි වී තිබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි?

18 අපි අද ජීවත් වෙන්නේ අවසාන කාලයේ වන අතර ඉහත සඳහන් පරිදි දෙවි පිළිබඳ නිවැරදි දැනුමත් බොහෝසෙයින් ලබාගන්න පුළුවන් වී තිබෙනවා. සත්‍යය කෙරෙහි අවංක උනන්දුවක් දක්වන අයට දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් නිවැරදි දැනුම ලබාගැනීමට හැකි වී තිබෙනවා. දෙවිගේ වචනය වන බයිබලය අද විවිධ භාෂාවලින් ලොව පුරාම ව්‍යාප්ත වී ඇති අතර එහි ඇති වටිනා සත්‍යයන් තේරුම්ගැනීමට උපකාරවත් වන ප්‍රකාශනත් අද ලබාගන්න පුළුවන්. උදාහරණයකට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ පටුනේ ඇති සමහර පරිච්ඡේද ගැන සලකා බලන්න. * ඒ අතර “ඇත්තටම දෙවි මොන වගේ කෙනෙක්ද?” “මරණයේදී සිදු වන්නේ කුමක්ද?” “දේවරාජ්‍යය යනු කුමක්ද?” “දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?” වැනි විෂයන් ඇතුළත් වෙනවා. මිනිසාට වසර දහස් ගණනක් තිස්සේ පිළිතුරු සොයාගත නොහැකි වූ ඒ ප්‍රශ්නවලට අද පිළිතුරු ලැබී තිබෙනවා. කාලයක් තිස්සේ බයිබලයේ ඉගැන්වීම් ගැන මිනිසුන් නොදැන සිටියත්, ක්‍රිස්තියානි ආගම්වල බයිබලයට පටහැනි දේවල් උගන්වා තිබුණත් දෙවිට සේවය කිරීමට කැමැත්තෙන් සිටින අයට නිසි අවබෝධය බයිබලය මගින් ලැබී තිබෙනවා.

19. දෙවිගේ පොරොන්දු ඉටු වෙන ආකාරය ඔබ දැක තිබෙන්නේ කෙසේද? ඔබේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 දෙවි තම සේවකයන්ට දී තිබෙන පොරොන්දු ඉටු කරන ආකාරය අද අපි පැහැදිලිවම දකිනවා. ඒ නිසා අපිටත් නිසැකවම මෙසේ පැවසිය හැකියි. ‘අප නමස්කාර කරන යෙහෝවා දෙවි අපට පොරොන්දු වූ හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වුණා. ඔහු කිවූ එක වචනයක්වත් බොරු වුණේ නැහැ.’ (යෝෂුවා 23:14NW) දෙවි තම සෙනඟට ගැලවීම ලබා දී ඔවුන්ව ආරක්ෂා කර රැකබලා ගන්නවා. දෙවි දුන් පොරොන්දුවලින් එකක් හෝ ඉටු කළේ නැහැ කියා පැවසිය හැකිද? එසේ පැවසිය නොහැකි නිසා ඥානවන්තම දේ වන්නේ දෙවිගේ වචනය කෙරෙහි අපේ විශ්වාසය තැබීමයි.

20. අපිට අනාගතය සම්බන්ධයෙන් නිසැකකමක් තබාගත හැක්කේ ඇයි?

20 අනාගතයේදී අපෙන් වැඩිදෙනෙකුට පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලබා දීමට දෙවි පොරොන්දු වී තිබෙනවා. අප අතරින් කිහිපදෙනෙකුට තිබෙන්නේ යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමේ අපේක්ෂාවයි. අපේ බලාපොරොත්තුව කුමක් වුණත් එය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන විශ්වාසය තබාගන්න යොෂුවා මෙන් අපිටත් හොඳ හේතු තිබෙනවා. ඒ පොරොන්දු සැබෑවක් වූ දාට අපිටත් කියන්න තිබෙන්නේ දෙවි “පැවසූ එක වචනයක්වත් බොරු වුණේ නැහැ” කියායි.

[පාදසටහන]

^ 18 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

ඔබට පැහැදිලි කළ හැකිද?

• යොෂුවා දැක්කේ දෙවි දුන් කුමන පොරොන්දු ඉටු වෙන ආකාරයද?

• ඔබ දැක තිබෙන්නේ දෙවි දී ඇති කුමන පොරොන්දු ඉටු වෙන ආකාරයද?

• දෙවිගේ වචනය ගැන අපිට ස්ථිරවම පැවසිය හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

තම සෙනඟව ගලවාගැනීමට දෙවි මැදිහත් වුණා

[23වන පිටුවේ පින්තූරය]

රතු මුහුදේදී යෙහෝවා දෙවි තම සෙනඟව ආරක්ෂා කළේ කෙසේද?

[24වන පිටුවේ පින්තූරය]

පාලුකරයේදී දෙවි තම සෙනඟව රැකබලා ගත්තේ කෙසේද?

[25වන පිටුවේ පින්තූරය]

අද දිනත් තම සෙනඟ ගැන දෙවි සැලකිල්ලෙන් සිටිනවා