Skip to content

පටුනට යන්න

‘යටහත්පහත් මනසක් පැළඳගන්න’

‘යටහත්පහත් මනසක් පැළඳගන්න’

‘යටහත්පහත් මනසක් පැළඳගන්න’

අපි දැන් සලකා බලන්න යන්නේ ප්‍රසිද්ධ නගරයක සිටි පුද්ගලයෙක් වන සාවුල් ගැනයි. එවකට රෝම පුරවැසිභාවය ලබා සිටි ඔහු පැමිණියේ සමාජයේ පිළිගත් පවුලකින්. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ජීවත් වූ කෙනෙකුට ලැබිය හැකි උසස්ම විදිහේ අධ්‍යාපනයක් ලැබූ අතර අඩුම තරමින් ඔහු භාෂා දෙකක්වත් දැන සිටියා. ඒ විතරක් නෙමෙයි, සාවුල් යුදෙව් ආගමික නායකයෙක් වූ පරිසිවරයෙක් ලෙසත් කටයුතු කළා.

එවකට සිටි පරිසිවරුන් සිතුවේ තමන් සාමාන්‍ය ජනතාවට වඩා ධර්මිෂ්ඨයි කියලයි. පරිසිවරයෙක් හැටියට සාවුල් තුළත් එවැනිම ආකල්ප තියෙන්න ඇති. (ලූක් 18:11, 12; ක්‍රියා 26:5) පරිසිවරුන් ප්‍රසිද්ධිය හා තනතුරු ලබාගැනීමට ආශාවක් දැක්වුවා. (මතෙව් 23:6, 7; ලූක් 11:43) එවන් අයව ඇසුරු කිරීම නිසා සාවුල්ද උද්ධච්ච කෙනෙක් බවට පත් වී ක්‍රිස්තියානීන්ට දරුණු ලෙස පීඩා කරන්න පවා පෙලඹුණා. වසර කිහිපයකට පසු ඔහුම ඒ ගැන පැවසුවේ මෙලෙසයි. “මම දේවඅපහාස කරන්නෙකුවද, පීඩා කරන්නෙකුවද, නින්දා කරන්නෙකුවද සිටියෙමි.”—1 තිමෝති 1:13.

නමුත් කාලයත් සමඟ සාවුල් තම පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. එතැන් පටන් ඔහුව හැඳින්වූයේ පාවුල් ලෙසයි. ක්‍රිස්තියානියෙක් වූ ඔහු නිහතමානීව පැවසුවේ ‘මම ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු තැනැත්තෙක්’ කියලයි. (එෆීස 3:8) පාවුල් ඉතා දක්ෂ ලෙස දෙවිගේ පණිවුඩය මිනිසුන්ට දැනුම් දුන්නත් ඉන් තමාටම අවධානය ඇදගැනීමට උත්සාහ දැරුවේ නැහැ. ඒ වෙනුවට ඔහු එය කළේ දෙවිගේ ගෞරවය උදෙසායි. (1 කොරින්ති 3:5-9; 2 කොරින්ති 11:7) ඔහු සෙසු ක්‍රිස්තියානීන්ට පැවසුවේ “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත්පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න” කියායි.—කොලොස්සි 3:12.

පාවුල් ඉහත දුන් උපදෙස අදටත් ගැළපෙනවද? යටහත්පහත් වීමෙන් ප්‍රයෝජන තිබෙනවාද? නිහතමානිකම කියන්නේ දුර්වල ගුණාංගයක්ද? දැන් අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලමු.

සියලු බලැති මැවුම්කාර දෙවි නිහතමානිද?

නිහතමානිකම ගැන කතා කරන විට ඒ සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දරන ආකල්පය සලකා බැලීම ඉතා වැදගත්. ඔහු ඉතා බලවත් දෙවි කෙනෙක්. අපිව නිර්මාණය කර තිබෙන්නෙත් ඔහුමයි. යෙහෝවා දෙවි හා සසඳන විට මිනිසුන් වන අපිට කොතරම් සීමාවන් තිබෙනවාද කියා පැහැදිලි වෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම රඳා සිටිය යුත්තේ යෙහෝවා දෙවි මතයි. එක් පැරණි බයිබල් ලේඛකයෙක් වන එලීහු දෙවි ගැන මෙසේ පැවසුවා. “සර්වපරාක්‍රමයාණන් අපට දැනගන්ට බැරි කෙනෙකි. ඔහු පරාක්‍රමයෙන් උතුම්ය.” (යෝබ් 37:23) යෙහෝවා දෙවිගේ නිර්මාණයක් වන අපේ විශ්වය ගැන මදකට කල්පනා කර බලන්න. ඒ ගැන සිතන විට අපි දෙවි ඉදිරියේ කොතරම් නිහතමානී විය යුතුද කියා පැහැදිලි වෙනවා. දෙවිගේ බලය ගැන අනාගතවක්තෘ යෙසායා පැවසූ දේ බයිබලයේ මේ ආකාරයට සඳහන් වී තිබෙනවා. “අහස දෙස බලන්න. මේවා මැව්වේ කවුද? ඒ අන් කිසිවෙකු නොව සේනාවක් බඳු තාරකාවන්ට නමින් කතා කිරීමටත් ඒ සියල්ල ගණන් කිරීමටත් හැකි තැනැත්තාණෝය. ඔහු සතු අති මහත් බලයත් ශක්තියත් නිසා සෑම තරුවක් ගැනම ඔහු හොඳින් දනියි.”—යෙසායා 40:26, නව ලොව පරිවර්තනය, NW.

යෙහෝවා දෙවිට අති මහත් බලයක් තිබුණත් ඔහු නිහතමානී දෙවි කෙනෙක්. ඒ ගැන පුරාණයේ සිටි දාවිත් රජ මෙසේ පැවසුවා. “ඔබේ ගැලවීම නමැති පලිහ ඔබ මට දෙන්නේය. ඔබේ නිහතමානිකම මාව උසස් තත්වයකට ගෙනාවේය.” (2 සාමුවෙල් 22:36NW) දෙවි නිහතමානී වන්නේ කුමන ආකාරයෙන්ද? ඒ තම කැමැත්තට එකඟව කටයුතු කරන අය ගැන සැලකිල්ල දැක්වීමෙන් හා ඔවුන්ට දයාව පෙන්වීමෙනුයි. දෙවි උසස්ම ස්ථානයේ සිටියත් පොළොවේ සිටින තම පක්ෂපාත සේවකයන්ට කරුණාව දැක්වීමට ඔවුන් වෙත අවධානය යොමු කරනවා.—ගීතාවලිය 113:5-7.

තම සේවකයන් යටහත්පහත් නම් දෙවි ඔවුන්ව අගය කරනවා. බයිබලයේ සඳහන් වන්නේ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටින්නේය. නමුත් ඔහු යටහත් අයට මහත් කරුණාව දෙන්නේය” කියායි. (1 පේතෘස් 5:5) දෙවි උඩඟුකමට කොහෙත්ම කැමති නැහැ. ඒ නිසයි “උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලක්” කියා බයිබලයේ සඳහන් වෙන්නේ. (හිතෝපදේශ 16:5NW) දැන් අපි නිහතමානිකම දුර්වලකමක් නොවන්නේ කෙසේද කියා සලකා බලමු.

නිහතමානිකමට ඇතුළත් නොවන දේ

යටහත්පහත් කෙනෙක් කියන්නේ පහත් කෙනෙක් නෙවෙයි. අතීතයේ සමහර ජාතීන් යටහත්පහත් කෙනෙකුව දාසයෙක් ලෙස සලකා බාල්දුවට ලක් කළා. නමුත් යටහත්පහත් වීම ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස දෙයක්. එහි පවසන්නේ ‘යටහත්පහත් වීමෙන් සහ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතිව සිටීමෙන් වස්තුවද ගෞරවයද ජීවනයද ලැබෙනවා’ කියලයි. (හිතෝපදේශ 22:4NW) එමෙන්ම බයිබලයේ ගීතාවලිය 138:6හි [NW] සඳහන් වෙන්නේ මෙයයි. “යෙහෝවා දෙවි උසස් වුවත් ඔහු යටහත්පහත් තැනැත්තා ගැන සැලකිලිමත් වන්නේය. එහෙත් උඩඟු තැනැත්තා ගැන ඔහු දන්නේ අල්පය.”

නිහතමානී කෙනෙක්, දක්ෂතා නැති කෙනෙක්වත් කිසිවක් කරගන්න බැරි කෙනෙක්වත් නෙවෙයි. උදාහරණයකට යේසුස් ගැන සලකා බලන්න. ඔහු නිහතමානී කෙනෙක් වුණත් තමන් මේ පොළොවේ කළ සේවයේ වැදගත්කම පෙන්වීමටත් තමා දෙවිගේ පුත්‍රයා බව ප්‍රකාශ කිරීමටත් පසුබට වුණේ නැහැ. (මාක් 14:61, 62; යොහන් 6:51) යේසුස් තමා සතු බලය යොදාගෙන සෙසු ජනයාව පාලනය කිරීමට හා ඔවුන්ට පීඩා කිරීමට උත්සාහ කරනවා වෙනුවට ඒ බලය යොදාගෙන ඔවුන්ට උදව් කළා. එමෙන්ම තමන් කළ සියල්ල සඳහා තමාටම ප්‍රශංසාව ලබාගන්නවා වෙනුවට තම පියාණන්ට ප්‍රශංසාව ලබා දුන්නා. එසේ කිරීමෙන් යේසුස් නිහතමානී කෙනෙක් බව ඔප්පු වුණා.

ශක්තියේ ලකුණක්

සමහරුන් යේසුස්ව හැඳින්වූයේ ‘බලවත් ක්‍රියා’ කරන්නෙක් ලෙසයි. (ක්‍රියා 2:22) තවත් අය ඔහුව දැක්කේ ‘මිනිසුන් අතරින් පහත්ම කෙනෙක්’ හැටියටයි. (දානියෙල් 4:17NW) යේසුස් පොළොවේ සිටියදී ගත කළේ සාමාන්‍ය ජීවිතයක්. එමෙන්ම නිහතමානිකමේ වැදගත්කම ගැනත් ඔහු නිතරම ඉගැන්නුවා. (ලූක් 9:48; යොහන් 13:2-16) ඔහු නිහතමානී වුණත් දුර්වල කෙනෙක් වුණේ නැහැ. උදාහරණයකට තම පියාගේ නාමයට වූ කැළල මකා දැමීමට නිර්භීතව කටයුතු කළ යේසුස් දේවරාජ්‍යය ගැනත් ප්‍රසිද්ධියේම දේශනා කළා. (ෆිලිප්පි 2:6-8) ඒ නිසයි බයිබලයේ ඔහුව සිංහයෙකුට සමාන කර තිබෙන්නේ. (එළිදරව් 5:5) යේසුස්ගේ ආදර්ශයෙන් පෙන්වන්නේ නිහතමානී පුද්ගලයෙකුට අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමටත් හැකි බවයි.

නිහතමානීව සහ යටහත්පහත්ව කටයුතු කිරීම සඳහා නිතරම ලොකු උත්සාහයක් දැරීමට සිදු වෙනවා. ඒ සඳහා අපිට හරියයි පෙනෙන මාර්ගවල ගමන් නොකර, අපේ ආශාවන්වලට වහල් නොවී සැමවිටම දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් විය යුතුයි. යටහත්පහත් ලෙස කටයුතු කිරීමට නම් අපේ ඕනෑ එපාකම් දෙවෙනි තැනට දමා අන් අයට හා දෙවිට සේවය කළ යුතුයි. එසේ කිරීමට අධිෂ්ඨාන ශක්තිය තිබිය යුතුයි.

නිහතමානී වීමේ ප්‍රයෝජන

නිහතමානී වීමට නම් උඩඟුකමෙන් හා අහංකාරකමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. ඒ සඳහා ‘යටහත්පහත් මනසක්’ තිබීම වැදගත් බව බයිබලයේ සඳහන් වෙනවා. (එෆීස 4:2) යටහත්පහත් කෙනෙක් තමාගේ දුර්වලතාවන් හොඳින් හඳුනාගෙන සිටින අතර තමාට කරන්න පුළුවන් දේවල් හා බැරි දේවල් මොනවාද කියා අවබෝධ කරගෙන සිටිනවා. තමන් සාර්ථක වී හා අසාර්ථක වී තිබෙන අවස්ථා ගැනත් ඔහුට වැටහීමක් තිබෙනවා. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘මා ඔබ අතරේ සිටින සියල්ලන්ට කියන්නේ, තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතන්න’ කියායි. (රෝම 12:3) පාවුල් දුන් එම උපදෙස පිළිපදින ඕනෑම කෙනෙක් නිහතමානිකම පෙන්වනවා.

අපේ අවශ්‍යතාවයන්ට වඩා අන් අයගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙනවා නම් ඉන් පෙන්වන්නේ අපි නිහතමානී බවයි. පාවුල් දෙවිගේ බලයේ උපකාරයෙන් ක්‍රිස්තියානීන්ට දුන්නේ මෙම අවවාදයයි. “දබරකාරීව හෝ හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර, යටහත්පහත් මනසකින් යුක්තව ඔබට වඩා අන් අය උතුම්යයි සලකමින් කටයුතු කරන්න.” (ෆිලිප්පි 2:3) එම වචන යේසුස් තම අනුගාමිකයන්ට දුන් මේ උපදෙසට එකඟයි. “ඔබ අතරේ උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුය. තමන්වම උසස් කරගන්නා කවරෙක් නමුත් පහත් කරනු ලබන්නේය. තමන්වම පහත් කරගන්නා කවරෙක් නමුත් උසස් කරනු ලබන්නේය.”—මතෙව් 23:11, 12.

මනසින් යටහත්පහත් අයව දෙවි උසස් කරනවා. ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වෙන්නේ ‘යෙහෝවා දෙවිගේ ඇස් ඉදිරියෙහි යටහත්පහත් වන්න. එවිට ඔහු ඔබව උසස් කරන්නේය’ කියලයි. (යාකොබ් 4:10) යෙහෝවා දෙවි විසින් තමන්ව උසස් කරනවාට අකමැති වෙන්නේ කවුද?

නිහතමානී නොවීම නිසා එක් එක්කෙනා අතරත් යම් කණ්ඩායම් අතරත් හැලහැප්පීම් ඇති වෙනවා. ඊට වෙනස්ව නිහතමානී කෙනෙකුට යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගැනීමට හැකි වෙනවා. (මීකා 6:8) උඩඟු කෙනෙකුට වඩා නිහතමානී කෙනෙකුට සන්සුන් සිතක් ඇතුව සතුටෙන් සිටින්න පුළුවන්. (ගීතාවලිය 101:5) පවුලේ අය, මිතුරන්, සෙසු සේවකයන් සහ වෙනත් අය සමඟ සාමකාමීව කටයුතු කිරීමටත් එවැනි කෙනෙකුට හැකියි. කේන්ති අවුස්සන, මිතුදම් කඩා දැමීමට මඟ පාදන අනවශ්‍ය එකඟ නොවීම්වලින් හා අන් අයට බල කිරීමෙන් වැළකී සිටීමට නිහතමානිකම උදව් වෙනවා.—යාකොබ් 3:14-16.

මේ සියල්ලෙන් පෙනී යන්නේ මනසින් යටහත්පහත් වීමෙන් අන් අය සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගත හැකි බවයි. අද සමාජයේ සුලබව දැකිය හැකි ආත්මාර්ථකාමී මෙන්ම තරඟකාරී ආකල්පවලින් මිදෙන්නත් එම ගතිලක්ෂණය දායක වෙනවා. අපි මුලින්ම සාකච්ඡා කළ ආකාරයට පාවුල්ට හැකි වුණා යෙහෝවා දෙවිගේ උපකාරයෙන් ඔහු තුළ තිබූ උඩඟුකම නැති කරගන්න. අනිත් අයට වඩා මම උසස් කියන අදහස අපි තුළත් තිබේ නම් එය සම්පූර්ණයෙන්ම නැති කරගැනීමට උත්සාහ කරමු. “වැටෙන්න කලින් උඩඟුකමද පය පැටලෙන්න කලින් ආඩම්බර සිතක්ද ඇත” කියා බයිබලයේ අනතුරු අඟවන බව මතක තබාගන්න. (හිතෝපදේශ 16:18NW) පාවුල් තැබූ ආදර්ශය හා ඔහුගේ උපදෙස් සිතට ගනිමින් අපිත් ‘යටහත්පහත් මනසක් පැළඳගනිමු.’ එසේ කරනවා නම් එහි ඇති ප්‍රයෝජන කොතරම්ද කියා අපිටම වටහාගැනීමට පුළුවන්.—කොලොස්සි 3:12.

[4වන පිටුවේ පින්තූරය]

පාවුල්ට හැකි වුණා උඩඟුකම පරාජය කරන්න

[7වන පිටුවේ පින්තූරය]

මනසින් යටහත්පහත් වීමෙන් අන් අය සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගත හැකියි

[5වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Anglo-Australian Observatory/David Malin Images