Skip to content

පටුනට යන්න

‘රිදී මාගේය රන්ද මාගේය’

‘රිදී මාගේය රන්ද මාගේය’

‘රිදී මාගේය රන්ද මාගේය’

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ පර්සියානු රජ වන කෝරෙෂ් විසින් වහල්භාවයේ සිටි දෙවිගේ සෙනඟව නිදහස් කරනු ලැබුවා. නිදහස ලැබූ දහසකුත් දෙනා පිටව ගියේ යෙරුසලමේ ඇති දේවමාලිගාව නැවත ගොඩනැඟීමේ බලාපොරොත්තුව ඇතුවයි. නමුත් ඒ සඳහා විශාල මුදලක් ඔවුන් ළඟ තිබුණේ නැහැ. ඒ වගේම ඔවුන් විරුද්ධවාදීන්ගේ බලපෑම්වලටත් ලක් වුණා. මෙවැනි තත්වයක් තිබියදී ගොඩනැඟීමේ කාර්යය නිම කරන්න හැකි වෙයිද කියා සමහරුන් සිතන්න පටන්ගත්තා.

මෙම කර්තව්‍යයේදී යෙහෝවා දෙවි අනාගතවක්තෘ හග්ගයි මාර්ගයෙන් තම සෙනඟව මෙසේ දිරිගැන්නුවා. “මම සියලු ජාතීන්ව සොලවා, ඔවුන්ගේ සම්පත මෙතැනට රැස් කරන්නෙමි. ඒ කාලයේදී මෙම ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි.” සෙනඟ මුදල් සම්බන්ධයෙන් සැලකිලිමත් වූ නිසා හග්ගයි නැවතත් මෙසේ පවසනවා. “‘රිදී මාගේය. රන්ද මාගේය’ කියා ස්වර්ගීය සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසයි.” (හග්ගයි 2:7-9, නව ලොව පරිවර්තනය, NW) මෙම දිරිගන්වන වචන හග්ගයි පවසා අවුරුදු පහක් ගත වූ පසු ගොඩනැඟීමේ කර්තව්‍ය සම්පූර්ණ වුණා.—එස්රා 6:13-15.

හග්ගයි පැවසූ එම වදන් නිසා දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ තවත් විශාල කර්තව්‍යයන් කිරීමට දෙවිගේ සෙනඟ මෑත කාලයේදී පෙලඹී තිබෙනවා. වර්ෂ 1879දී විශ්වාසවන්ත නුවණ ඇති දාස පංතිය සයන්ස් වොච් ටවර් (මුරටැඹ) සඟරාව ප්‍රකාශයට පත් කළා. එහි මෙසේ පවසා තිබුණා. “අපි විශ්වාස කරන ආකාරයට මේ සඟරාවට අනුග්‍රහය දක්වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා එය කවදාවත් මිනිසුන්ගේ ආධාර මත රඳා පවතින්නේ නැහැ. ‘සියලු රන්ද රිදීද කඳුද මාගේය’ කියා පවසන දෙවි මේ සඳහා අනුග්‍රහය දැක්වීම නතර කළ දවසට අපි තේරුම්ගන්නවා මේ සඟරාව නතර කිරීමට කාලය පැමිණ තිබෙන බව.”

මුරටැඹ සඟරාව මුද්‍රණය කිරීමේ කාර්යය කිසි දිනක නතර වී නැහැ. මුලින්ම මුද්‍රණය කර තිබුණේ මුරටැඹ සඟරාවේ පිටපත් 6,000යි. එයද පළ වුණේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. නමුත් දැන් හැම මාසෙකම එම සඟරාවේ පිටපත් 2,85,78,000ක් මුද්‍රණය කෙරෙන අතර එය විවිධ භාෂා 161කින් පළ වෙනවා. * එමෙන්ම ඒ හා සමගාමීව දිවෙන පිබිදෙව් සඟරාවේ පිටපත් 3,42,67,000ක් සෑම මසකම භාෂා 81කින් මුද්‍රණය කෙරෙනවා.

මුරටැඹ සඟරාවේ අරමුණ වන්නේ මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය ඇත්තේ යෙහෝවා දෙවිට බව පෙන්වමින් දේවරාජ්‍යය ගැන දැනුම් දීමයි. ඒ අරමුණ ඉටු කරගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ක්‍රමද යොදාගන්නවා. (මතෙව් 24:14; එළිදරව් 4:11) වර්ෂ 1879දී තමන්ගේ කාර්යයන්වලට අවශ්‍ය මූල්‍යම උපකාර දෙවි ලබා දෙයි කියා සාක්ෂිකරුවන්ට තිබුණු විශ්වාසයමයි අදත් ඔවුන්ට තිබෙන්නේ. නමුත් අද දින මේ කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ලොව පුරාම ශුභ ආරංචිය දේශනා කිරීම සඳහා අද දින ඔවුන් කරන්නේ කුමනාකාරයේ ක්‍රියාවන්ද?

මුදල් ලැබෙන ආකාරය

සාක්ෂිකරුවන් දේශනා සේවයේ සහභාගි වෙද්දී “ඕගොල්ලන්ට ඔය වැඩේට සල්ලි ගෙවනවා නේද” කියා ඔවුන්ගෙන් ඇසීම හුරු පුරුදු දෙයක්. නමුත් ඇත්තෙන්ම ඒ සඳහා ඔවුන්ට කිසිම මුදලක් ගෙවන්නේ නැහැ. යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් කර තිබෙන දේවල් නිසාත් ශුභ ආරංචිය ඔවුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කර තිබෙන නිසාත් අන් අයට දෙවි ගැනත්, බයිබලයේ සඳහන් ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැනත් පැවසීමට තම කාලය යොදවන්න ඔවුන් පෙලඹෙන්නේ කැමැත්තෙන්මයි. එසේ කිරීමෙන් ඔවුන් පිළිපදින්නේ යේසුස් දුන් මෙම ප්‍රතිපත්තියයි. “ඔබට නොමිලේ ලැබුණේය, නොමිලේ දෙන්න.” (මතෙව් 10:8) යෙහෝවා දෙවි ගැනත්, යේසුස් ගැනත් සාක්ෂි දරන්න තියෙන ආශාව නිසා දුර ඈත සිටින මිනිසුන්ටත් තමන්ගේ විශ්වාසයන් ගැන පැවසීමට ඔවුන් තම මුදල් වැය කරනවා.—යෙසායා 43:10; ක්‍රියා 1:8.

දේශනා සේවයේ කර්තව්‍යය සඳහා මුද්‍රණාල, කාර්යාල, සමුළු ශාලා, විදේශ රටවලින් පැමිණ සේවය කරන අය සඳහා නිවාස යනාදියට විශාල මුදලක් වැය වෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මිනිසුන් කැමැත්තෙන්ම දෙන සම්මාදම් ඒ සඳහා යොදවනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සභාවේ සාමාජිකයන්ගෙන් ඒ සඳහා මුදල් අය කරන්නේ නැති අතර ඔවුන් බෙදාහරින සඟරාවලටත් නිශ්චිත මුදලක් අය කරන්නේ නැහැ. කෙනෙක් කැමැත්තෙන්ම යම් සම්මාදමක් කළොත් සාක්ෂිකරුවන් එය සතුටින් භාරගන්නවා. මෙසේ දේශනා කිරීමේ කාර්යය සඳහා සඟරා විවිධ භාෂාවලට පරිවර්තනය කිරීමට කොතරම් වෙහෙසක් දැරිය යුතුද කියා අපි දැන් සලකා බලමු.

භාෂා 437කින් ප්‍රකාශන

දශක ගණනාවක් පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන ලොව වටා විශාල ප්‍රමාණයකින් පරිවර්තනය වී තිබෙනවා. විවිධ පත්‍රිකා, විවරණිකා, සඟරා සහ පොත් ආදිය භාෂා 437කට පරිවර්තනය කර තිබෙනවා. පරිවර්තන ක්‍රියාවලිය මූලිකවම සිදු කරන්නේ ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සඳහායි. මේ පරිවර්තන ක්‍රියාවලියට ඇතුළත් වන්නේ මොනවාද?

සෑම ප්‍රකාශනයක්ම මුලින්ම ලියනු ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉන්පසු ලොව පුරා සිටින විවිධ පරිවර්තන කණ්ඩායම් වෙත ඒවා යවනු ලබනවා. එම තොරතුරු නිවැරදිව අදාළ භාෂාවන්වලට පරිවර්තනය කිරීමේ වගකීම ඒ ඒ පරිවර්තන කණ්ඩායම සතුයි. යම් රටක සිටින පරිවර්තන කණ්ඩායමක් කොතරම් ප්‍රකාශන සංඛ්‍යාවක් පරිවර්තනය කරනවාද සහ අදාළ භාෂාවට එය පරිවර්තනය කිරීම කොතරම් සංකීර්ණද යන කරුණු මත කණ්ඩායමේ සිටින සාමාජිකයන් ගණන 5 සිට 25 දක්වා වැඩි වෙනවා.

පරිවර්තනයේදී වැදගත් වෙන්නේ ඉංග්‍රීසි පිටපතේ තිබූ අදහස් ඒ විදහටම සහ පැහැදිලිව පරිවර්තනය කිරීමයි. පසුව පරිවර්තනය කළ ලිපි ඉංග්‍රීසි පිටපත් සමඟ සසඳා බලමින් අදහස් නිවැරදිව පරිවර්තනය වී තිබෙනවාද කියා බැලිය යුතු අතර සෝදුපත් කියවා බැලීමද කරනවා. ඇතැම් ලිපි පරිවර්තනය කිරීමේදී යම් පර්යේෂණ පවා කරන්න අවශ්‍යයි. උදාහරණයකට පිබිදෙව් සඟරාවල තාක්ෂණික හෝ ඓතිහාසික තොරතුරු දී තිබෙන විට ඒවා නිවැරදිව පරිවර්තනය කිරීම සඳහා පර්යේෂණ කිරීමට සිදු වෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල තුළ සිටින බොහෝ පරිවර්තකයන් පූර්ණකාලීනව හෝ අර්ධකාලීනව එහි සේවය කරනවා. තවත් සමහර පරිවර්තකයන් සේවය කරන්නේ ඔවුන් පරිවර්තනය කරන භාෂාව කතා කරන ප්‍රදේශවල සිටයි. පරිවර්තකයන්ට ඔවුන් කරන කාර්යය වෙනුවෙන් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. පූර්ණකාලීන සේවකයන්ට නවාතැනක් සහ කෑම බීම ලබා දෙන අතර අනෙකුත් මූලික අවශ්‍යතාවන් සඳහා සුළු ගෙවීමක් කරනු ලබනවා. ලොව පුරාම සිටින සාක්ෂිකරුවන් අතරින් 2,800ක් පමණ දෙනෙක් පරිවර්තකයන් ලෙස සේවය කරනවා. දැනට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිවර්තකයන් නැවතී සේවය කරන හෝ වෙනත් ප්‍රදේශවල සිටින පරිවර්තන කණ්ඩායම් අධීක්ෂණය කරන ශාඛා කාර්යාල 98ක් තිබෙනවා. උදාහරණයකට රුසියාවේ ශාඛා කාර්යාලය විසින් භාෂා 30කට වැඩි ගණනකට පරිවර්තනය කරන පරිවර්තකයන් 230කට වඩා වැඩි පිරිසක්ව අධීක්ෂණය කරනවා. එම භාෂාවලට වැඩිපුර භාවිතයේ නැති චූවාෂ්, ඕසෙටීයන් සහ වීගු යන භාෂාද ඇතුළත්.

පරිවර්තනයේ ගුණය දියුණු කිරීම

වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට උත්සාහ කළ ඕනෑම කෙනෙක් දන්නවා බැරෑරුම් කාරණා නිවැරදිව තවත් භාෂාවකට පරිවර්තනය කිරීම පහසු කාර්යයක් නොවන බව. මොකද එම කාරණා පැහැදිලිව හා නිවැරදිව පරිවර්තනය කරන ගමන්ම ස්වාභාවික ලෙස පරිවර්තනය කළොත් පමණයි පාඨකයාට එය තමන්ගේම භාෂාවෙන් ලියන ලද්දක් කියා හැඟෙන්නේ. මෙය එතරම් පහසු කාර්යයක් නොවෙයි. නවක පරිවර්තකයන්ට මෙම හැකියාව වර්ධනය කරගැනීමට කලක් ගත විය හැකියි. ඒ සඳහා සාක්ෂිකරුවන් විශේෂ වැඩසටහනක් පවත්වනවා. අද්දැකීම් ලත් පරිවර්තකයන් විවිධ රටවල සිටින පරිවර්තන කණ්ඩායම් බැහැදැක පරිවර්තන කටයුතු දියුණු කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන අතර පරිගණක තාක්ෂණය යොදාගන්නා ආකාරයද පහදා දෙනවා.

මෙම පුහුණු වැඩසටහනින් කදිම ප්‍රතිඵල ලැබෙනවා. ඒ ගැන නිකරාග්වා ශාඛා කාර්යාලය මෙසේ පවසනවා. “මිස්කීටෝ පරිවර්තන කණ්ඩායමට පුහුණුවක් ලබා දීම සඳහා පළමු වතාවට මෙක්සිකෝ ශාඛා කාර්යාලයෙන් උපදේශකයෙක්ව එව්වා. ඒ නිසා අපේ පරිවර්තකයන් ඔවුන්ගේ පැවරුම්වලදී විශාල දියුණුවක් ලැබූ අතර පරිවර්තනවල ගුණය වැඩි වුණා.”

හදවතට කාවදින වචන

බයිබලය සහ බයිබල් ප්‍රකාශන මිනිසුන්ට තමන්ගේම භාෂාවෙන් දීමේ ඉලක්කය වන්නේ එම තොරතුරු මිනිසුන්ගේ හදවතටම කාවැද්දවීමයි. වර්ෂ 2006දී බල්ගේරියානු භාෂාවෙන් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය මුදාහැරිය විට ඔවුන් සතුටින් ඉපිළ ගියා. ඒ වෙනුවෙන් බල්ගේරියාවේ ශාඛා කාර්යාලයට ස්තුති කාඩ්පත් රාශියක් ලැබුණා. සභාවක එක් සාමාජිකයෙක් මෙසේ පැවසුවා “දැන් නම් බයිබලයේ තියෙන තොරතුරු මනසට විතරක් නෙවෙයි හදවතටත් කාවදිනවා.” තවත් වයසක පුද්ගලයෙක් පැවසුවේ “මම අවුරුදු ගණනාවක් තිස්සේ බයිබලය කියවලා තියෙනවා. හැබැයි මේ තරම් පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් හදවතට කාවදින පරිවර්තනයක් මම මීට කලින් කියවලා නැහැ” කියායි. ඒ හා සමානව ඇල්බේනියන් භාෂාවෙන් නව ලොව පරිවර්තනයේ සම්පූර්ණ පිටපතක් ලැබුණු අවස්ථාවේ ඒ රටේම සාක්ෂිකරුවෙක් මෙසේ පැවසුවා. “ඇල්බේනියන් භාෂාවෙන් දෙවිගේ වචනය කියවද්දී එය කොතරම් ලස්සනද! යෙහෝවා දෙවි අපේම භාෂාවෙන් කතා කිරීම මොන තරම් වරප්‍රසාදයක්ද?”

මුළු බයිබලයම පරිවර්තනය කර අවසන් කිරීම සඳහා ඇතැම් පරිවර්තන කණ්ඩායම්වලට අවුරුදු කිහිපයක් ගත විය හැකියි. නමුත් එමගින් මිලියන ගණන් මිනිසුන්ට බයිබලය කියවීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වෙනුවෙන් ලොව පුරාම දරන වෑයම ප්‍රයෝජනවත් කියා ඔබට සිතෙන්නේ නැද්ද?

“අපි දෙවි සමඟ හවුල් වැඩකරුවෝ”

පරිවර්තන ක්‍රියාවලිය ශුභාරංචිය ඵලදායක ලෙස ඉදිරිපත් කිරීමට ඉවහල් වන එක් පියවරක් පමණයි. සඟරාවල පළ වන ලිපි ලියන්න, මුද්‍රණය කරන්න සහ නැව්ගත කරන්නත්, ශාඛා කාර්යාලවල, චාරිකාවල සහ සභාවන්වල විවිධ ක්‍රියාකාරකම් සඳහාත් යම් මුදලක් මෙන්ම ශ්‍රමයක්ද වැය වෙනවා. දෙවිගේ සෙනඟ ඒ සඳහා ‘ඉදිරිපත් වන්නේ කැමැත්තෙන්මයි.’ (ගීතාවලිය 110:3NW) ඒ සඳහා දායක වීමට ලැබීම ඔවුන් සලකන්නේ වරප්‍රසාදයක් හා ගෞරවයක් ලෙසයි. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා දෙවි ඔවුන්ව තමන්ගේ “හවුල් වැඩකරුවෝ” ලෙස සලකනු ලබනවා.—1 කොරින්ති 3:5-9.

යෙහෝවා දෙවි “රිදී මාගේය. රන්ද මාගේය” කියා පැවසීමෙන් පැහැදිලි වන්නේ තම කාර්යය ඉටු කිරීමට දෙවිට අපේ මූල්‍යමය උපකාරය අවශ්‍ය වන්නේ නැති බවයි. නමුත් “සියලු ජාතීන්ට” ශුභාරංචිය දේශනා කිරීමෙන් දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කිරීමේ කාර්යයට යම් ආකාරයකින් හෝ දායක වීමට දෙවි අපට අවස්ථාව දී තිබෙනවා. (මතෙව් 24:14; 28:19, 20) නැවත කිසිදා සිදු නොවන මෙම ක්‍රියාවලියට හැකි උපරිමයෙන් සහයෝගය දෙන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද?

[පාදසටහන]

^ 5 ඡේ. නිකුත් කරන භාෂා ඇතුළත් ලැයිස්තුවක් මෙම සඟරාවේ 2වන පිටුවේ සඳහන් කර ඇත.

[18වන පිටුවේ කොටුව]

“ගැඹුරින් සිතන්න අපි පෙලඹෙනවා”

කැමරූන්හි 14 හැවිරිදි දැරියක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට එවූ ලිපියක මෙසේ සඳහන් වුණා. “මේ අවුරුද්දේ ඉස්කෝලෙට අවශ්‍ය වන දේවල් ගත්තට පස්සේ මට පුළුවන් වුණා මං ළඟ තිබුණු ගිය අවුරුද්දේ පොත් දෙකක් ඩොලර් 5කට විකුණන්න. තවත් මම ඉතුරු කරපු ඩොලර් 2කුත් තියෙනවා. මම මේ ඔක්කොම සල්ලි සම්මාදම් කරනවා. ඒ වගේම ඕගොල්ලන් කරන යහපත් වැඩ දිගටම කරගෙන යන්න කියලත් ඕගොල්ලන්ව දිරිගන්වන්න කැමතියි. මුරටැඹ සහ පිබිදෙව් සඟරාවලට බොහොම ස්තුතියි. ඒ සඟරාවල තියෙන තොරතුරු ගැන ගැඹුරින් සිතන්න අපි පෙලඹෙනවා.”

[18වන පිටුවේ කොටුව/පින්තූරය]

සුවිශේෂ පරිත්‍යාගයක්

මෙක්සිකෝවේ ශාඛා කාර්යාලයට අවුරුදු හයක් වයසැති මැනුවෙල්ගෙන් අගය පළ කිරීමේ ලිපියක් ලැබුණා. ඔහු අකුරු ලියන්න දැනගෙන හිටියේ නැති නිසා යාළුවෙක්ට කියලයි මේ ලිපිය ලියවගෙන තියෙන්නේ. ඒකේ මෙහෙම සඳහන් වුණා. “මගේ ආච්චි මට ඊරියෙක්ව දුන්නා. ඌ පැටව් දැම්මට පස්සේ එතන හිටපු ලස්සනම පැටියව තෝරගෙන තවත් සහෝදරයෙකුගේ උදව්ව ඇතුව මම ඌව ඇති කළා. කිලෝග්‍රෑම් 100ක් බර ඒ ඌරාව මම ඩොලර් 110කට විකුණුවා. මං කැමතියි මේ සල්ලි යෙහෝවා දෙවිගේ සේවය වෙනුවෙන් දෙන්න.”

[19වන පිටුවේ කොටුව]

‘බයිබලය පරිවර්තනය කරන්න මේ සල්ලි යොදාගන්න’

වර්ෂ 2005 යුක්‍රේනයේ පැවති දිස්ත්‍රික්ක සමුළුවකදී ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය යුක්‍රේනියානු භාෂාවෙන් මුදාහැරියා. ඊට පසු දින සමුළු ශාලාවේ තිබූ සම්මාදම් පෙට්ටියක මෙම සටහන තිබුණා. “මට වයස අවුරුදු නවයයි. ග්‍රීක් ලියවිලිවලට ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අපේ අම්මා මටයි මගේ මල්ලිටයි බස් එකෙන් ඉස්කෝලෙට යන්න සල්ලි දුන්නා. හැබැයි වැස්ස නැති දවස්වලට අපි දෙන්නා පයින් ගිහින් ඒ සල්ලි ඉතුරු කළා. දැන් ඩොලර් දහයක් එකතු වෙලා තියෙනවා. මල්ලියි, මමයි කැමතියි ඕගොල්ලන් මේ සල්ලි මුළු බයිබලයම යුක්‍රේනියානු භාෂාවට පරිවර්තනය කරන්න යොදවනවට.”

[20, 21වන පිටුවේ කොටුව]

සමහරු පරිත්‍යාගයන් කරන ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩ සඳහා සම්මාදම්

“ලෝක ව්‍යාප්ත වැඩ සඳහා සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් වෙන් කරනවා.

සෑම මසකම සභාවන් මෙම මුදල ඒ රටේ ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවනවා. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබ ජීවත් වෙන්නේ වෙනත් රටක නම් ඒ රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. චෙක්පත් “වොච්ටවර්” යන නමට ලිවිය යුතුයි. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රම තිබෙනවා. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වෙයි.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැකියි.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච් ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දෙන්න පුළුවන්.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැකියි.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළ සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, නේවාසික ඉඩමක් ලෙස පරිත්‍යාග කරන්න පුළුවන්. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුයි.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ යමෙක් තමා සතු මුදල් හෝ සුරැකුම්, වොච් ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලැස්මක්. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබ වෙසෙන රටෙහි තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දන්වන්න පුළුවන්. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.

[19වන පිටුවේ පින්තූර]

නිකරාග්වා ශාඛා කාර්යාලයේ මිස්කීටෝ පරිවර්තකයන්