Skip to content

පටුනට යන්න

ජීවිතයට සැබෑ අරමුණක් සොයා

ජීවිතයට සැබෑ අරමුණක් සොයා

ජීවිතයට සැබෑ අරමුණක් සොයා

ඉතා ඉහළ වැටුපක් ලබන සමාගමක සේවය කළ කෙනී ගමන් බිමන් ගියෙත් ඉතා මිල අධික මෝටර් රථයකයි. එමෙන්ම ඔහුගේ අධිසුඛෝපභෝගී නිවස පිහිටා තිබුණෙත් ධනවතුන් ජීවත් වන ප්‍රදේශයකයි. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවෙන්ද ඔහු මහත් ආස්වාදයක් ලැබුවා. පෙනෙන විදිහට ඔහු නම් කිසිම දෙයකින් අඩුවක් නැති සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් වගෙයි. නමුත් වරක් ඔහු එක් සඟරාවකට පැවසුවේ ඊට වෙනස් දෙයක්. “දැන් මට වයස අවුරුදු 45යි. මට හිතෙන්නේ මගේ ජීවිතයට හරි අරමුණක් නැහැ කියලයි. ඒ විතරක් නෙවෙයි, මගේ ජීවිතයේ ලොකු හිස්කමක් මට දැනෙනවා.”—Wall Street නම් සඟරාව.

එලින් නමැති කාන්තාවට හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවෙන් ඉහළටම යන්න ආශාවක් තිබුණා. ඒ සඳහා ඇය මහන්සි නොබලා පුහුණුවීම් කටයුතු කළා. අවසානයේදී ඇයගේ ආශාව ඉටු කරගනිමින් ඇය මහත් කීර්තියක්ද අත් කරගත්තා. ඉන් ටික කලකට පසු ඇය ඉතා දුක්මුසුව මෙවැනි දෙයක් පවසනවා. “මම ගොඩාක් මහන්සි වෙලා ලබාගන්න උත්සාහ කළ සතුට මෙච්චරද? මම ටිකෙන් ටික වයසට යනවා. මට සල්ලි ඕන තරම් තියෙන බව ඇත්තයි. ඒත් මට හරිම තනිකමක් දැනෙනවා. ජීවිතය කියන්නේ මේ හිස්කමටද?”

දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ හීඩියෝ, ඔහුගේ මුළු ජීවිත කාලයම කැප කළේ කලා කටයුතු වෙනුවෙනුයි. තමාගේ චිත්‍ර විකිණීම ඔහු සැලකුවේ ඒ චිත්‍රවලට කරන අගෞරවයක් හැටියටයි. ඔහුගේ ජීවිතයේ අන්තිම කාලයේදී එනම් වයස අවුරුදු 98දී ඔහුගේ චිත්‍රවලින් වැඩි හරියක්ම කෞතුකාගාරයකට පරිත්‍යාග කළා. කලාවට තම ජීවිත කාලයම කැප කළත් හීඩියෝ තම හැකියාව ගැන සෑහීමකට පත් වුණේ නැහැ. එය ඉහළම මට්ටමට ගෙන ඒමට මේ කෙටි ජීවිත කාලය ප්‍රමාණවත් නොවන බව ඔහු තේරුම්ගත්තා.

තවත් අය දුප්පත් ජනයාට උදව් උපකාර කිරීමට තම මුළු ජීවිත කාලයම කැප කරනවා. ඇමරිකාවේ හොලිවුඩ්හි චිත්‍රපට සමාගමක ඉහළ තනතුරක් දැරූ පුද්ගලයෙකුගේ අද්දැකීම සලකා බලන්න. ඔහු ඇසුරු කළේ ඉතා සුප්‍රසිද්ධ නළු නිළියන්වයි. ජීවත් වුණේ අධිසුඛෝපභෝගී නිවසකයි. දිනක් නිවාඩුවක් ගත කිරීම සඳහා ඔහු කාම්බෝජයට ගිය අවස්ථාවේදී දිලිඳු දැරියක් ඇවිත් ඔහුගෙන් සිඟමන් ඉල්ලුවා. එවිට මේ තැනැත්තා ඇයට ඩොලර් එකක් සහ බීම එකක් දුන්නා. එදා එම දැරිය ඉන් සෑහීමට පත් වුණත් ඊළඟ දවසෙත් ඇය පැමිණියා. දිලිඳු කෙනෙකුට කෑම වේලක් දෙනවාට වඩා වැඩි යමක් කළ යුතුයි කියා ඒ අවස්ථාවේදී ඔහු තේරුම්ගත්තා.

ඉන් වසරකට පසු ඔහු රැකියාවෙන් ඉවත් වී කාම්බෝජයේ සිටින දුප්පත් ජනයාට උදව් කිරීමට තීරණය කළා. පාසැල්, නිවාස, අධ්‍යාපනය සහ කෑම බීම වැනි පහසුකම් ලබා දීමට ඔහු පියවර ගත්තා. නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ගොඩගැසෙමින් තිබූ ප්‍රශ්න කන්දරාව සමඟ නිරන්තර සටනක යෙදෙන්නත් මේ අතර ඔහුට සිදු වුණා. අන් අයට උදව් උපකාර කිරීමෙන් ප්‍රීතිය සහ තෘප්තිය ලබන්න උත්සාහ කළත් එය ඉතාමත් අපහසු දෙයක් බව ඔහුට වැටහුණා.

ඉහත සඳහන් පුද්ගලයන් ධනය, විනෝදය, කීර්තිය සහ අන් අයට උපකාර කිරීම වැනි දේවල් තුළින් සන්තෝෂය සහ ජීවිතයේ සැබෑ අරමුණ සොයාගන්න හැකි බව සිතුවා. නමුත් ඔවුන් කොතරම් වෙහෙසුණත් අවසානයේදී ඔවුන් අත් කරගත්තේ හිස්කම සහ කලකිරීම පමණයි. එසේනම් ඔබ ජීවත් වන්නේ කුමන අරමුණක් ඇතිවද? ඔබේ ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන්නේ කුමන දේවලටද? ඔබ ජීවත් වන ආකාරය අනුව අවසානයේදී ඒ ගැන කනගාටු වෙන්න සිදු වෙන්නේ නැහැයි කියා ඔබට හොඳටම විශ්වාසද?