Skip to content

පටුනට යන්න

බයිබල් වාර්තා සනාථ කරන තවත් ඉපැරණි සාක්ෂි

බයිබල් වාර්තා සනාථ කරන තවත් ඉපැරණි සාක්ෂි

බයිබල් වාර්තා සනාථ කරන තවත් ඉපැරණි සාක්ෂි

බයිබලය ලියවුණේ දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙනුයි. (2 තිමෝති 3:16) ඉපැරණි කාලවල විසූ මිනිසුන් හා ස්ථාන ගැන ආගමික හා දේශපාලනික වාතාවරණ ගැන එහි පවසා ඇති දේවල් නිවැරදියි. බයිබලයේ වාර්තා කර තිබෙන දේවල් පැහැදිලි කරගැනීමට පුරාවිද්‍යා සොයාගැනීම් උපකාරවත් වුණත් එහි නිවැරදිභාවය සනාථ කිරීමට එවැනි සොයාගැනීම් අත්‍යවශ්‍ය නැහැ.

පුරාවිද්‍යා කැණීම්වලින් බිඳුණු මැටි පුවරුවල කොටස් බොහෝමයක් සොයාගෙන තිබෙනවා. ඒවා ඔස්ට්‍රකා ලෙස හඳුන්වනවා. පුරාණ මැදපෙරදිග, ඊජිප්තුව හා මෙසපොතේමියාව වැනි ප්‍රදේශවල ලේඛන කටයුතුවලට මැටි පුවරු යොදාගත් අතර ඒ සඳහා එතරම් වියදමක් දැරීමට සිදු වූයේ නැහැ. නීත්‍යානුකූල තොරතුරු මෙන්ම ගිණුම් හා වෙළඳ කටයුතු වාර්තා කිරීමට එදා මෙවැනි මැටි පුවරු භාවිත කළේ අද අප හරියට ඒ සඳහා කඩදාසි පාවිච්චි කරනවා හා සමානවයි. මේ පුවරුවල ලිවීමට සාමාන්‍යයෙන් පාවිච්චි කළේ තීන්තයි. සමහර පුවරුවල තනි වචනයක් පමණක් සඳහන් වී තිබූ අතර තීරු ගණනාවක් ලියූ පුවරුද තිබුණා.

වර්තමාන ඊශ්‍රායෙලය පුරා කළ කැණීම්වලින් බයිබලය ලියූ කාලයට අයත් බිඳුණු මැටි පුවරුවල කොටස් එහි ප්‍රදේශ තුනකින් සොයාගෙන තිබෙනවා. ඒ සමාරිය, අරද් හා ලාකිෂ් යන ප්‍රදේශයි. ඒවා ක්‍රිස්තු පූර්ව හයසිය සහ හත්සිය ගණන් තරම් ඈත අතීතයේ ලියූ ඒවා බව විශ්වාස කරනවා. ඒ තුළින් බයිබලයේ සඳහන් වී ඇති ඉතිහාසය පිළිබඳ විවිධ තොරතුරු නිවැරදි බව ඔප්පු වෙනවා. දැන් අපි ඒ ප්‍රදේශවලට අයත් මැටි පුවරු කොටස් අධ්‍යයනය කරමු.

සමාරියේ මැටි පුවරු කොටස්

ඉපැරණි ඊශ්‍රායෙලයේ උතුරෙන් පිහිටි දස ගෝත්‍ර රාජ්‍යයේ අගනුවර සමාරියයි. එය ක්‍රි.පූ. 740දී ඇසිරියානුවන් අතින් විනාශ වුණා. සමාරිය ගොඩනැඟුණු ආකාරය පළමුවන රාජාවලිය 16:23, 24හි [නව ලොව පරිවර්තනය, NW] වාර්තා වී තිබෙන්නේ මෙසේයි. ‘ආසා යූදාහි රජකම් කළ තිස්එක්වන අවුරුද්දේදී [ක්‍රි.පූ. 947] ඔම්රී ඊශ්‍රායෙලයේ රජකමට පත් වුණා. පසුව ඔහු, සමාරියේ පිහිටි කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලට ගෙන, ඒ කන්දේ නුවරක් ගොඩනැඟුවා. ඔහු ගොඩනැඟූ ඒ නුවර සමාරිය යන නමින් හැඳින්වුවා.’ රෝම අධිරාජ්‍යය පාලනය කරන කාලයේදීද එම නගරය පැවති අතර ඒ කාලයේදී එය හැඳින්වූයේ සෙබෙස්තෙ යන නමිනුයි. නමුත් ක්‍රිස්තු වර්ෂ පන්සිය ගණන්වලදී එම නගරය ඉතිහාසයෙන් මැකී ගියා.

නමුත් ක්‍රි.ව. 1910දී සමාරියේ කළ කැණීම්වලින් බිඳුණු මැටි පුවරු කොටස් රැසක් සොයාගත්තා. ඒවා ක්‍රි.පූ. හත්සිය ගණන්වලට අයිති බව තහවුරු වුණා. අවට රටවල්වලින් සමාරියට නැව් මගින් ගෙන්වන ලද තෙල් සහ වයින් පිළිබඳ වාර්තා එම පුවරුවල සටහන්ව තිබුණා. ඒ ගැන එක් පොතක සඳහන් වුණේ මෙසේයි. “වර්ෂ 1910දී ගොඩගත් බිඳුණු මැටි පුවරු කොටස් 63 පුරාණ ඊශ්‍රායෙල් දේශයෙන් සොයාගත් වැදගත්ම ශිලා ලේඛන එකතුවක් ලෙස සැලකිය හැකියි. එය ඒ තරම් වැදගත් වන්නේ එහි සඳහන්ව ඇති පුද්ගලයන්ගේ නම්, පෙළපත් නම් සහ ස්ථාන ගැන සඳහන් වී ඇති පැහැදිලි විස්තර නිසයි.” (Ancient Inscriptions—Voices From the Biblical World නම් පොත) බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදි බව එමගින් සනාථ වන්නේ කෙසේද?

ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශය අත්පත් කරගෙන එය ඔවුන්ගේ ගෝත්‍ර දොළොස අතරේ බෙදුවා. සමාරිය අයිති වුණේ මනස්සේගේ ගෝත්‍රයටයි. යෝෂුවා 17:1-6ට අනුව මනස්සේගේ මුණුපුරා වන ගිලියද්ගෙන් පැවතෙන්නන් දසදෙනෙකුට එම ප්‍රදේශය වෙන් කර දුන්නා. ඒ දසදෙනා වූයේ අබි-එෂෙර්, හේලෙක්, අස්‍රියෙල්, ෂෙකෙම්, ෂෙමිදා යන අය සහ හේෆෙර්ගේ මිනිපිරියන් පස්දෙනායි. ඔවුන් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂා නම් වුණා.—ගණන් කතාව 27:1-7.

සොයාගත් මැටි පුවරු කොටස්වල ඒ නම් දහයෙන් හතක් සඳහන් වී තිබෙනවා. ඒ අය නම් ගිලියද්ගේ පුතුන් පස්දෙනාගේ නම් සහ හේෆර්ගේ මිනිපිරියන් දෙදෙනෙක් වන හොග්ලා සහ නෝවා යන අයගේ නම්ය. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් කරනවා. “සොයාගත් මැටි පුවරු කොටස්වල සඳහන් පෙළපත් නම්වලින් හෙළි වන්නේ මනස්සේගේ පෙළපතේ අය හා ඔවුන් ජීවත් වූ ප්‍රදේශය ගැන බයිබලයේ සඳහන් වාර්තාව නිවැරදි බවයි. මෙම සොයාගැනීම බයිබලයේ සඳහන් එම වාර්තාව සනාථ කිරීමට අමතර සාක්ෂියක්ද සපයනවා.” (NIV Archaeological Study Bible නම් පොත) මෙසේ පුරාණ ඊශ්‍රායෙලයේ ගෝත්‍ර පිළිබඳව බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදි බව මෙම මැටි පුවරු කොටස් මගින් සහතික කරනවා.

එදා ඊශ්‍රායෙලයේ පැවති ආගමික වාතාවරණය ගැනද බයිබලයේ සඳහන් කර තිබෙනවා. එම මැටි පුවරු කොටස් මගින් එයද සනාථ වෙනවා. එම මැටි පුවරු ලියූ කාලයේදී සමාරියේ සිටි ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිටත් බාල් දෙවියාටත් නමස්කාර කරමිනුයි සිටියේ. අනාගතවක්තෘ හොෂෙයාද තම නම සඳහන් පොත ලියනු ලැබුවේ ඒ කාලයේදීයි. එනම් ක්‍රි.පූ. හත්සිය ගණන්වලදීයි. පසුතැවිලි වූ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට “මාගේ ස්වාමියා” නොකියා “මාගේ ස්වාමිපුරුෂයා” කියා පවසන කාලයක් පැමිණෙන බව ඔහු සඳහන් කළා. (හොෂෙයා 2:16, 17NW) සමාරියෙන් සොයාගත් මැටි පුවරු කොටස්වල සඳහන් වූ සමහර පුද්ගලයන්ගේ නම්වල අර්ථ නම් “බාල් මගේ පියායි,” “බාල් ගී ගයයි,” “බාල් බලවත්” සහ “බාල්ට මතකයි” යනාදියයි. බාල් නමස්කාරය කොතරම් පුළුල්ව පැවතුණාද කියනවා නම් ඊශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙකුගේ නම්වලට “බාල්” යන නමින් කොටසක් ඈඳාගෙන තිබූ බව එම පුවරු මගින් පෙනී යනවා.

අරද්හි මැටි පුවරු කොටස්

අරද් නම් ඉපැරණි නගරය පිහිටා තිබුණේ යෙරුසලමෙන් දකුණට වෙන්න තිබූ නෙගෙබ් නමැති ප්‍රදේශයෙයි. අරද්හි කළ කැණීම්වලින් ඊශ්‍රායෙල්වරුන්ගේ බලකොටු හයක් සොයාගත හැකි වුණා. ඒවා සලමොන් රජුගේ කාලයේ (ක්‍රි.පූ. 1037-998 දක්වා) සිට ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ වන තුරු පැවතුණු ඒවායි. හෙබ්‍රෙව්, ඇරමයික හා වෙනත් භාෂාවලට අයත් මැටි පුවරු කොටස් 200කට වඩා එහිදී සොයාගනු ලැබුවා. ඒවා බයිබලය ලියවුණු කාලවලින් සොයාගත් විශාලම මැටි පුවරු කොටස්වල එකතුවයි.

අරද්හි සමහර මැටි පුවරු කොටස් මගින් පූජක පවුල් ගැන බයිබලයේ සඳහන් තොරතුරු සනාථ කර තිබෙනවා. උදාහරණයක් හැටියට, නික්මයාම 6:24 [NW] සහ ගණන් කතාව 26:11 [NW] සඳහන් කරන “කෝරාගේ පුත්‍රයෝ” ගැන එක් මැටි පුවරු කොටසක වාර්තා කරනවා. ගීතාවලිය 42, 44-49, 84, 85, 87 සහ 88 යන කොටස් රචනා කර ඇත්තේ ඔවුන් විසිනුයි. එමෙන්ම පෂ්හූර් සහ මෙරේමොත් යන පූජක පවුල් ගැනත් එම මැටි පුවරුවල සඳහන් වෙනවා.—1 ලේකම් 9:12; එස්රා 8:33.

තවත් උදාහරණයක් සලකා බලන්න. එක් බලකොටුවක සිටි හමුදා ප්‍රධානියෙකුට එවා තිබූ සටහනක් සහිත මැටි පුවරු කොටසක් නටඹුන් අතරින් සොයාගත්තා. එය බැබිලෝනිය විසින් යෙරුසලම විනාශ කරන්න ටික කලකට පෙර ලියූ එකක් බව විශ්වාස කරනවා. එහි මෙසේ ලියා තිබූ බව එක් පොතක සඳහන් වෙනවා. “එලියාෂිබ් උතුමාණෙනි, ඔබට යාහ්වේගේ [යෙහෝවා දෙවි] පිහිටයි. ඔබ සුවෙන් පසුවෙතැයි මා හිතනවා. . .. ඔබ මට අණ කළ කාරණය මම හොඳින් ඉටු කළා. ඔහු දැන් යාහ්වේගේ මාලිගාවේ නැවතී සිටිනවා.” (The Context of Scripture නම් පොත) මෙහි සඳහන් කරන මාලිගාව සලමොන් රජුගේ කාලයේ ඉදි කළ යෙරුසලමේ දේවමාලිගාව බව බොහෝ විශාරදයන් විශ්වාස කරනවා.

ලාකිෂ්හි මැටි පුවරු කොටස්

ලාකිෂ් යනු යෙරුසලමේ සිට කිලෝමීටර 43ක් පමණ නිරිත දෙසට වෙන්න පිහිටි පුරාණ බලකොටු නගරයක්. වර්ෂ 1930දී එම ප්‍රදේශයේ කළ කැණීම්වලින් මැටි පුවරු කොටස් බොහෝමයක් ගොඩගත් අතර ඉන් 12ක් ලිපි ලෙස සැලකිය හැකියි. ඒවා ලියා තිබෙන්නේ “යුදෙව්වන් [බැබිලෝනියේ] නෙබුකද්නෙශර් රජුගේ ආක්‍රමණයට සූදානම් වෙද්දීයි. ඒවා යූදා දේශයේ පැවති දේශපාලනික තත්වයත් නොසන්සුන් වාතාවරණයත් විස්තර කරන ඉතාම වැදගත්” ලිපි ලෙස සැලකෙනවා.

මෙම ලිපි ලාකිෂ්හි සිටි යහෝෂ් නම් හමුදා ප්‍රධානියාට ඔහුගේ පහළ නිලධාරියෙක් විසින් යැවූ ඒවායි. එය ලියා තිබෙන භාෂා ශෛලිය එම කාලයේම සිටි අනාගතවක්තෘ යෙරෙමියාගේ ලේඛන ශෛලියට බොහෝදුරට සමානයි. එම අර්බුදකාරී කාලයේදී යෙරෙමියා ලියූ දේ එම ලිපිවලින් සනාථ වන ආකාරය සලකා බලමු.

යෙරෙමියා 34:7හි [NW] අනාගතවක්තෘවරයා විස්තර කරන්නේ “බැබිලෝනියේ රජුගේ යුධ සේනාව යෙරුසලමටත් යූදාහි ඉතිරි වී තිබූ ආරක්ෂිත නගර වන ලාකිෂ්ටත් අෂේකාටත් විරුද්ධව යුද්ධ” කළා කියායි. පෙනෙන විදිහට ඒ හා සමාන සිද්ධියක් සොයාගත් මැටි පුවරු කොටසකද දක්නට තිබෙනවා. එහි වාර්තා වන්නේ මෙසේයි. “අෂේකාහි දුම් සංඥාව අපට නොපෙනෙන නිසා ලාකිෂ්හි දුම් සංඥාව දකින තුරු අප බලා සිටිනවා.” අෂේකා නගරය ඒ වන විටත් බැබිලෝනියන් අතට පත්ව තිබූ නිසා ලාකිෂ් පරාජය වීමට ආසන්නව තිබූ බව බොහෝ විශාරදයන් පවසනවා. එහි සඳහන් “දුම් සංඥාව” සැලකිල්ලට ගන්න. එය එදා තොරතුරු දැනුම් දීම සඳහා යොදාගත් ක්‍රමයක් බව යෙරෙමියා 6:1හි [NW] සඳහන් “ගින්නක් අවුලුවා සංඥාවක්” දීම යන ප්‍රකාශය මගිනුත් සනාථ වෙනවා.

බැබිලෝනියට විරුද්ධව කැරලිගැසීම සඳහා යුදෙව්වන්ගේ රජ ඊජිප්තුවෙන් සහයෝගය ලබාගැනීමට වෑයම් කළා. ඒ ගැන යෙරෙමියා සහ එසකියෙල් යන අනාගතවක්තෘවරුන් කියූ දේ ලාකිෂ්හි වෙනත් මැටි පුවරුවලින් සනාථ වෙනවා. (යෙරෙමියා 37:5-8; 46:25, 26; එසකියෙල් 17:15-17) එවැනි මැටි පුවරුවක මෙසේ සඳහන් වෙනවා. “ඔබේ සේවකයාට පහත සඳහන් තොරතුර ලැබී තිබෙනවා. එල්නාතාන්ගේ පුත් කොන්යාහු ජෙනරාල්වරයා ඊජිප්තුව බලා පිටත් වීමට නියමිතයි.” විශාරදයන් පවසන ආකාරයට ඔහු ඊජිප්තුවට ගියේ යුද්ධයට උපකාර ලබාගැනීමේ අදහසිනුයි.

ලාකිෂ්හි මැටි පුවරු කොටස්වල බයිබලයේ යෙරෙමියා පොතේ සඳහන් සමහර නම්ද ඇතුළත්. ඒවා නම් නෙරියා, යයශනියා, ගෙමරියා, එල්නාතාන් සහ හෝෂායායි. (යෙරෙමියා 32:12; 35:3; 36:10, 12; 42:1) එම නම්වලින් හැඳින්වූයේ බයිබලයේ සඳහන් පුද්ගලයන්මද කියා නිවැරදිව කියන්න බැහැ. ඒ වුණත් යෙරෙමියා ජීවත් වූ කාලයයි මේ මැටි පුවරුවල සඳහන් කාලයයි අතර තිබෙන සමානකම් සලකා බැලීම වටිනවා.

පොදු කරුණක්

සමාරිය, අරද් සහ ලාකිෂ් යන ප්‍රදේශවලින් සොයාගත් මැටි පුවරු කොටස් මගින් බයිබලයේ තිබෙන තොරතුරු ගණනාවක්ම සනාථ කරනවා. ඊට පෙළපත් නාම, ස්ථාන මෙන්ම එවකට පැවති ආගමික හා දේශපාලනික වාතාවරණත් ඇතුළත්. නමුත් එම ප්‍රදේශ තුනෙන්ම සොයාගත් තොරතුරුවල පොදු කරුණක් තිබෙනවා.

ලාකිෂ්හිදී සොයාගත් පුවරු හතකම දෙවිගේ නාමය 11 වතාවක් සඳහන් වෙනවා. එමෙන්ම මේ ප්‍රදේශ තුනෙන්ම සොයාගත් පුවරුවල සඳහන් පුද්ගලයන්ගේ නම්වලින් වැඩි හරියක යෙහෝවා යන දෙවිගේ නාමයෙන් කොටසක් හෝ සඳහන් වෙනවා. එදා ඊශ්‍රායෙල්වරු දෙවිගේ නාමය කිසි පැකිළීමකින් තොරව භාවිත කළ බව මෙයින් පැහැදිලි වෙනවා.

[13වන පිටුවේ පින්තූරය]

අරද් මැටි පුවරු කොටස එලියාෂිබ් නැමැත්තාට ලියූ එකක්

[හිමිකම් විස්තර]

Photograph © Israel Museum, Jerusalem; courtesy of Israel Antiquities Authority

[14වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නම සඳහන් ලාකිෂ් මැටි පුවරුවක්

[හිමිකම් විස්තර]

Photograph taken by courtesy of the British Museum