Skip to content

පටුනට යන්න

මිනිසුන්ව ගෝලයන් කිරීමේ කලාව දියුණු කරගන්න

මිනිසුන්ව ගෝලයන් කිරීමේ කලාව දියුණු කරගන්න

මිනිසුන්ව ගෝලයන් කිරීමේ කලාව දියුණු කරගන්න

“ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.”—මතෙව් 28:19.

1. පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ට අවශ්‍ය වූයේ කුමන ගුණාංග හා හැකියාවන්ද?

යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට මිනිසුන්ව ගෝලයන් කරන්න අවශ්‍ය හැකියාවන් අප වර්ධනය කරගත යුතුයි. පුරාණයේ සිටි ඔහුගේ සේවකයන්ද එසේ කළා. සමෘද්ධිමත් ඌර් දේශයේ සිටි ආබ්‍රහම්ට සහ සාරාට තම නිවස අත්හැර වෙනත් ප්‍රදේශයකට යන්න කියා යෙහෝවා දෙවි අණ කළා. එම ගමනේදී ඔවුන්ට වාසය කිරීමට සිදු වූයේ කූඩාරම්වලයි. ඒ සඳහා ඔවුන්ගේ ගුණාංග මෙන්ම හැකියාවන් දියුණු කරගන්නද ඔවුන්ට සිදු වුණා. (හෙබ්‍රෙව් 11:8, 9, 15) යෝෂුවාත් එවැනි කෙනෙක්. ඊශ්‍රායෙල් ජාතියව පොරොන්දු දේශයට මඟ පෙන්වීමේදී තව තවත් ධෛර්යය වඩවාගැනීමට, යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමට සහ ඔහුගේ නීති ප්‍රතිපත්ති ගැන තිබූ දැනුම තවත් වැඩි කරගැනීමට ඔහුට සිදු වුණා. (යෝෂුවා 1:7-9) බෙසලෙල් සහ ඔහොලියාබ් යනු දක්ෂ ගොඩනැඟිලි ශිල්පීන් දෙදෙනෙක්. ඒ වුණත් එම හැකියාවන් තව තවත් ඔප්නංවා ගැනීමට දෙවි තම බලයේ උපකාරය ඔවුන්ට දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ මණ්ඩපය සෑදීමටත් ඊට අදාළ වෙනත් වැඩකටයුතු ඉතා සාර්ථකව නිම කිරීමටත් ඔවුන්ට හැකි වුණා.—නික්මයාම 31:1-11.

2. අප දැන් සලකා බලන්න යන්නේ කුමන ප්‍රශ්නද?

2 පසුව යේසුස්ද මේ පොළොව මත සිටිද්දී ඔහුගේ අනුගාමිකයන්ට මෙවැනි අණක් දුන්නා. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) ඉතිහාසයේ පෙර කිසිදාක දෙවිගේ සේවකයන්ට මෙවැනි පැවරුමක් ලැබී නැහැ. මිනිසුන්ව ගෝලයන් කිරීමේ මෙම පැවරුම ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය කරන්නේ කුමන ගුණාංගද? ඒවා දියුණු කරගන්නේ කෙසේද?

දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක්

3. යේසුස් දුන් අණ ඉටු කිරීමේදී අපට අවස්ථාව ලැබෙන්නේ කුමක් පෙන්වීමටද?

3 මිනිසුන්ව සත්‍යය නමස්කාරකයන් බවට පත් කිරීමට නම් මුලින්ම දෙවි කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් අපට තිබිය යුතුයි. දෙවි කෙරෙහි ඇති තමන්ගේ ප්‍රේමය පෙන්වන්න පුරාණ ඊශ්‍රායෙල්වරුන්ටද අවස්ථාව තිබුණා. ඒ, මුළු සිතින්ම දෙවිගේ අණ පනත් පිළිපැදීමෙන්, දෙවිට පිළිගත හැකි පූජා ඔප්පු කිරීමෙන් සහ ප්‍රශංසා ගීතිකාවලින් ඔහුව පැසසීම මගිනුයි. (ද්විතීය කතාව 10:12, 13; 30:19, 20; ගීතාවලිය 21:13; 96:1, 2; 138:5) දෙවිගේ නීති ප්‍රතිපත්තිවලට මුළු සිතින්ම කීකරු වීමෙන් පමණක් නොව ඔහුගේ අරමුණු ගැන මිනිසුන්ට පැවසීමෙන්ද දෙවි කෙරෙහි අපට ඇති ප්‍රේමය පෙන්වීමට අවස්ථාවක් ලැබෙනවා. මිනිසුන්ට සාක්ෂි දැරීමේදී ස්ථිර විශ්වාසයකින් කතා කිරීමත් සුදුසු වචන යොදාගැනීමත් වැදගත්. එමෙන්ම දෙවි දී තිබෙන පොරොන්දු ඉටු වන තෙක් අප කොතරම් ආශාවෙන් බලා සිටිනවාද කියාත් පෙන්වන්න අවශ්‍යයි.—1 තෙසලෝනික 1:5; 1 පේතෘස් 3:15.

4. තම පියා ගැන අන් අයට පැවසීමෙන් යේසුස් ප්‍රීතියක් ලැබුවේ ඇයි?

4 යේසුස්ට යෙහෝවා දෙවි කෙරෙහි ඉමහත් ප්‍රේමයක් තිබුණා. තම පියාගේ අරමුණු ගැන, දේවරාජ්‍යය ගැන සහ සැබෑ නමස්කාරය ගැන අන් අයට පැවසීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලැබුවේ ඒ නිසයි. (ලූක් 8:1; යොහන් 4:23, 24, 31) එමෙන්ම ඒ ප්‍රේමය නිසා ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “මාගේ කෑම නම්, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය.” (යොහන් 4:34) යේසුස් ගැන ගීතිකාකරු මෙවැනි දෙයක් සඳහන් කර තිබුණා. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝසේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ ඇතුළාන්තයේම ලියා ඇත. ධර්මිෂ්ඨකම ගැන ශුභාරංචිය මම විශාල සභාව මැද කීවෙමි. බලන්න! මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි. යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව දන්නේය.”—ගීතාවලිය 40:8, 9, නව ලොව පරිවර්තනය; හෙබ්‍රෙව් 10:7-10.

5, 6. මිනිසුන්ව ගෝලයන් කිරීමේදී අත්‍යවශ්‍යම ගුණාංගය කුමක්ද?

5 යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් වන නවකයන්ද දෙවි කෙරෙහි මහත් ප්‍රේමයකින් පෙලඹී ඔහුට සේවය කරනවා. එමනිසා දෙවි සහ ඔහුගේ රාජ්‍යය ගැන මිනිසුන්ට ඉතාමත් උද්‍යෝගයෙන් සහ ස්ථිර විශ්වාසයකින් යුතුව සාක්ෂි දැරීමෙහි ඔවුන් සාර්ථක වී තිබෙනවා. (යොහන් 1:41) ඒ හා සමානව මිනිසුන්ව ගෝලයන් කිරීමට අපවත් පොලඹවන ප්‍රධානතම දෙය වන්නේ දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමයයි. දෙවිගේ වචනය නොකඩවා කියවීමෙන් සහ ඒ ගැන ගැඹුරින් කල්පනා කර බැලීමෙන් ඒ ප්‍රේමය තව තවත් වැඩි කරගන්න අපි උත්සාහ කරමු.—1 තිමෝති 4:6, 15; එළිදරව් 2:4.

6 කදිම ගුරුවරයෙක් හැටියට සුදුසුකම් ලැබීමට යේසුස්ට හැකි වුණේ යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමයයි. එමෙන්ම ඔහුගේ ඉගැන්වීම් මිනිසුන්ගේ හිත්වලට කාවදින්න හේතු වූ තවත් ගුණාංගයක් තිබෙනවා. ඒ කුමක්ද?

සැලකිල්ල දක්වන්න

7, 8. සෙසු මිනිසුන්ට යේසුස් සැලකිල්ල පෙන්නුවේ කෙසේද?

7 යේසුස් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඔහු එවැනි සැලකිල්ලක් දක්වන්න පටන්ගත්තේ මේ පොළොවට පැමිණීමටත් පෙර සිටයි. එනම් ස්වර්ගයේ යෙහෝවා දෙවිගේ “ප්‍රධාන සේවකයා” හැටියට කටයුතු කරමින් සිටි කාලයේ සිටයි. (හිතෝපදේශ 8:30, 31) පසුව මේ පොළොවේ ජීවත් වූ කාලයේදීත් මිනිසුන්ට අනුකම්පාවෙන් සැලකූ ඔහු, ඔවුන්ට මහත් සහනයක් ගෙන දුන්නා. (මතෙව් 11:28-30) මිනිසුන් යේසුස් වෙතට ඇදී ආවේ ඔහු යෙහෝවා දෙවිගේ ප්‍රේමය සහ දයානුකම්පාව එයාකාරයෙන්ම විදහාපෙන්වූ නිසයි. සෑම තරාතිරමකම මිනිසුන් යේසුස්ට ඇහුම්කන් දුන්නේ ඔහු ඒ සෑම කෙනෙකුගේම අවශ්‍යතාවන් කෙරෙහි ඉතාමත් උනන්දුවෙන් සැලකිල්ල දැක්වූ නිසයි.—ලූක් 7:36-50; 18:15-17; 19:1-10.

8 සදාකාල ජීවනය ලබාගන්න තමන් කළ යුත්තේ කුමක්ද කියා මිනිසෙක් එක් අවස්ථාවකදී යේසුස්ගෙන් විමසුවා. යේසුස් ‘ඔහු දෙස බැලූ අතර ඔහු කෙරෙහි ප්‍රේමයක් ඇති වුණා’ කියා බයිබලයේ පවසනවා. (මාක් 10:17-21) බෙතානියේදී යේසුස් ඉගැන්වූ සමහර පුද්ගලයන් ගැන බයිබලයේ වාර්තා වී තිබෙන්නේ මෙසේයි. “යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරුස්ටද ප්‍රේම කළේය.” (යොහන් 11:1, 5) මිනිසුන්ට ඉගැන්වීම වෙනුවෙන් යේසුස් තම විවේක කාලය පවා කැප කළා. යේසුස් දැක්වූයේ මොන තරම් සැලකිල්ලක්ද! (මාක් 6:30-34) මිනිසුන් සැබෑ නමස්කාරය වෙත ඇදී ඒමට හේතු වුණේ ඔහු ඔවුන් කෙරෙහි දැක්වූ ප්‍රේමණීය සැලකිල්ලයි.

9. මිනිසුන්ව ගෝලයන් කිරීමේදී පාවුල්ට තිබුණේ මොන වගේ ආකල්පයක්ද?

9 පාවුල්ද තමන් දේශනා කළ පුද්ගලයන් කෙරෙහි මහත් සැලකිල්ලක් දැක්වූ තැනැත්තෙක්. උදාහරණයකට තෙසලෝනියේ සිටි සැබෑ නමස්කාරකයන් බවට පත් වූ අයට ඔහු පැවසූ දේ බලන්න. “ඔබ අපට ඉතා හිතවත් වූ හෙයින් ගැඹුරු සෙනෙහසකින් යුතුව, දෙවිගේ ශුභාරංචිය පමණක් නොව, අපේ ජීවිත පවා ඔබට දීමට අපි බොහෝ සේ සතුටු වුණෙමු.” පාවුල් ඔවුන් කෙරෙහි දැක්වූ මහත් සැලකිල්ලේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගෙන් සමහරුන් ‘දේවතා රූප අතහැර දෙවි වෙතට හැරුණා.’ (1 තෙසලෝනික 1:9; 2:8) මිනිසුන් කෙරෙහි යේසුස් හා පාවුල් දැක්වූවා හා සමාන සැලකිල්ලක් දක්වන්න අපිත් උත්සාහ කරමු. එහි ප්‍රතිඵලයක් හැටියට “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” තිබෙන මිනිසුන් දෙවි ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරද්දී අපට මොන තරම් සතුටක් දැනෙයිද!—ක්‍රියා 13:48.

පරිත්‍යාගශීලී වන්න

10, 11. මිනිසුන්ව ගෝලයන් කිරීමේදී පරිත්‍යාගශීලී ස්වභාවයක් අවශ්‍ය ඇයි?

10 මිනිසුන්ව ගෝලයන් කිරීමේදී සාර්ථක වීමට නම් කෙනෙකු පරිත්‍යාගශීලී විය යුතුයි. ඔහුගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ වන්නේ ධනවත් වීම නොවෙයි. ධනවත් පුද්ගලයන් ගැන යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “මුදල් ඇත්තන්ට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වන්න මොන තරම් අමාරුද!” ඒ දෙය ඇසූ ඔහුගේ ගෝලයන් පුදුමයට පත් වුණා. පසුව යේසුස් මෙවැනි දෙයක්ද පැවසුවා. “දරුවෙනි, දෙවිගේ රාජ්‍යයට ඇතුල් වන්න මොන තරම් අමාරුද! ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුය.” (මාක් 10:23-25) මිනිසුන්ව ගෝලයන් කිරීමේ යෙදී සිටින අයට යේසුස් පවසන්නේ එම කාර්යයට වැඩි අවධානයක් දීමට හැකි වන පිණිස ඔවුන්ගේ ජීවිත හැකි තරම් සරල කරගන්න කියායි. (මතෙව් 6:22-24, 33) ගෝලයන් කිරීමේ කාර්යය සඳහා පරිත්‍යාගශීලී ස්වභාවයක් අවශ්‍ය වන්නේ ඇයි?

11 මිනිසුන්ව ගෝලයන් බවට පත් කිරීම සඳහා දැඩි වෑයමක් දරන්න අවශ්‍ය බව අප දන්නවා. උනන්දුව දැක්වූ පුද්ගලයන් සමඟ සෑම සතියකම බයිබල් පාඩම් පවත්වන්න අප උත්සාහ කරනවා. තවත් එවැනි පුද්ගලයන්ව සෙවීමට නම් ඊට වඩා වැඩි කාලයක් මිඩංගු කළ යුතු බව දෙවිගේ සේවකයන් වටහාගෙන තිබෙනවා. සමහරුන් තම පූර්ණ කාලීන රැකියාවෙන් ඉවත් වී අර්ධ කාලීන රැකියාවක් තෝරාගෙන තිබෙන්නේ ඒ නිසයි. තවත් දෙවිගේ සේවකයන් දහස් ගණනක් වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා අලුත් භාෂාවක් ඉගෙනගෙන තිබෙනවා. තවත් අය තම ගම් බිම් අත්හැර අවශ්‍යතා ඇති වෙනත් ප්‍රදේශයකට හෝ රටකට ගොස් සේවය කරමින් සිටිනවා. (මතෙව් 9:37, 38) ඒ සියලු පියවර සඳහා පරිත්‍යාගශීලී ස්වභාවයක් අවශ්‍ය බව පැහැදිලියි. මිනිසුන්ව ගෝලයන් කිරීමේදී අවශ්‍ය තවත් ගුණාංගයක් තිබෙනවා. ඒ කුමක්ද?

ඉවසන්න නමුත් කාලය අපතේ නොයවන්න

12, 13. මිනිසුන්ව ගෝලයන් කිරීමේදී ඉවසීම නැතිවම බැරි දෙයක් වන්නේ ඇයි?

12 මිනිසුන්ව ගෝලයන් කිරීම සඳහා අවශ්‍ය තවත් ගුණාංගයක් වන්නේ ඉවසීමයි. කාලය කෙටි නිසා අප ඉදිරිපත් කරන පණිවිඩයට මිනිසුන් ඉක්මනින් ප්‍රතිචාරය දැක්විය යුතු බව ඇත්තයි. නමුත් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගැනීමට යම් කාලයක් ගත වන අතර ඒ වන තෙක් අප ඉවසීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. (1 කොරින්ති 7:29) උදාහරණයකට යේසුස්ගේ අර්ධ සහෝදර යාකොබ් ගැන හිතන්න. යේසුස් දේශනා කළ දේවල් සම්බන්ධයෙන් ඔහු හොඳින් දැන සිටි බව පෙනෙන්න තිබෙනවා. ඒ වුණත් කලක් යන තුරුම ඔහු යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට පියවර ගෙන තිබුණේ නැහැ. (යොහන් 7:5) නමුත් ඔහු තම මව, සහෝදරයා සහ සෙසු ගෝලයන් සමඟ යාච්ඤා කරමින් සිටි බව ක්‍රියා පොතේ වාර්තා වෙනවා. (ක්‍රියා 1:13, 14) ඉන් පැහැදිලි වන්නේ ඔහු ගෝලයෙකු බවට පත් වී ඇත්තේ යේසුස්ගේ මරණය සහ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවස අතර කාලය තුළදී බවයි. එතැන් සිට ඔහු යේසුස්ගේ ගෝලයෙකු ලෙස බොහෝ වගකීම් උසුලමින් ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන්න පටන්ගත්තා.—ක්‍රියා 15:13; 1 කොරින්ති 15:7.

13 ක්‍රිස්තියානීන්ව ගොවියන්ට සමාන කරන්න පුළුවන්. ඔවුන්ද නවක ගෝලයන් තුළ දෙවිගේ ප්‍රතිපත්ති හා ඔහු කෙරෙහි ප්‍රේමයක් මෙන්ම යේසුස් තුළ තිබුණා හා සමාන ගුණාංග වගා කරන්න උත්සාහ කරනවා. ඒවා මුල් ඇද පැළවෙන්න යම් කලක් ගත වන බව ඔවුන් දන්නවා. ඒ සඳහා ඉවසීමෙන් බලා සිටින්න අවශ්‍යයි. ඒ ගැන යාකොබ් පැවසූ දේ බලන්න. “සහෝදරයෙනි, ස්වාමීන්ගේ පැමිණ සිටීම දක්වා ඉවසිල්ලෙන් සිටින්න. බලන්න! පළමු වර්ෂාවත් අන්තිම වර්ෂාවත් ලැබෙන තුරු ඉවසිල්ලෙන් සිටිමින් ගොවියා පොළොවේ අනර්ඝ පල ගැන බලා සිටින්නේය. ඔබත් ඉවසිල්ලෙන් සිටින්න. ස්වාමීන්ගේ පැමිණ සිටීම ළඟා වී තිබෙන නිසා, ඔබේ සිත් ස්ථිර කරගන්න.” (යාකොබ් 5:7, 8) යාකොබ් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “ස්වාමීන්ගේ පැමිණ සිටීම දක්වා ඉවසිල්ලෙන් සිටින්න” කියායි. එදා යේසුස්ගේ ගෝලයන් යම් යම් දේවල් තේරුම්ගන්න අපොහොසත් වුණ විට යේසුස් ඒවා පැහැදිලි කර දුන්නේ ඉතාමත් ඉවසීමෙනුයි. (මතෙව් 13:10-23; ලූක් 19:11; 21:7; ක්‍රියා 1:6-8) නමුත් දැන් ස්වාමීන් වන යේසුස් පැමිණ සිටිනවා. මේ කාලයේදීත් මිනිසුන්ව ගෝලයන් කිරීමේදී සහ ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දීමේදී අපට ඉවසීම අවශ්‍යයි.—යොහන් 14:9.

14. අප ඉවසීමෙන් කටයුතු කළ යුතු වුණත් අපගේ කාලය ඥානවන්ත ලෙස පාවිච්චි කළ හැක්කේ කෙසේද?

14 නමුත් අප ඉවසීමෙන් කටයුතු කළත් බොහෝදෙනෙක් සත්‍යය තුළ ප්‍රගතියක් ලබන්නේ නැති බව ඇත්තයි. (මතෙව් 13:18-23) ඔවුන්ට උපකාර කරන්න උපරිම උත්සාහයක් දැරුවායින් පසුව පවා ඔවුන් ප්‍රගතියක් ලබන්නේ නැති බව පෙනේ නම් ඥානවන්තම දෙය වන්නේ එම කාලය වඩා උනන්දුව දක්වන කෙනෙකු වෙනුවෙන් යෙදවීමයි. (දේශනාකාරයා 3:1, 6) බයිබල් සත්‍යය දැනගැනීමට අවංක උනන්දුවක් දක්වන පුද්ගලයෙකුට වුණත් ඔහුගේ ආකල්ප, සිතුවිලි සහ ඔහුගේ ජීවිතයේ මුල් තැන ගෙන තිබෙන දේවල් සකස් කරගැනීමට යම් කාලයක් පුරා උපකාර අවශ්‍ය විය හැකියි. යේසුස්ගේ ගෝලයන්ටත් ඔවුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපයන් වෙනස් කරගැනීම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඒ නිසා යේසුස් දිගින් දිගටම ඉවසීමෙන් ඔවුන්ට උපකාර කළා. අපත් එසේම කරමු.—මාක් 9:33-37; 10:35-45.

ඉගැන්වීමේ කලාව දියුණු කරගන්න

15, 16. පැහැදිලිව සහ සරල ලෙස ඉගැන්වීමට නම් හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍ය ඇයි?

15 මෙතෙක් අප සලකා බැලූ ලෙස මිනිසුන්ව ගෝලයන් කිරීමේදී දෙවි කෙරෙහි ප්‍රේමය, මිනිසුන් කෙරෙහි සැලකිල්ල, පරිත්‍යාගශීලී ස්වභාවය සහ ඉවසීම වැනි ගුණාංග අත්‍යවශ්‍යයි. ඊට අමතරව බයිබල් ඉගැන්වීම් ඉතා සරලව සහ පැහැදිලිව විස්තර කරන්නේ කෙසේද යන්නත් ඉගෙනගැනීම අවශ්‍යයි. මෙයාකාරයෙන් ඉගැන්වීම සම්බන්ධයෙන් යේසුස් තැබුවේ කදිම ආදර්ශයක්. ඔහු පැවසූ බොහෝ දේවල් එතරම් බලපෑමෙන් යුක්ත වීමට හේතුව වුණෙත් ඒවා ඉතාමත් පැහැදිලි සහ සරල ඒවා වීමයි. ඔහු පැවසූ දේවල් අතර “ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගන්න,” “ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න,” “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ” සහ “සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න” යන කියමන් දැකගන්න පුළුවන්. (මතෙව් 6:20; 7:6; 11:19; 22:21) යේසුස් සැමවිටම සරල කෙටි යෙදුම් භාවිත කළේ නැහැ. අවශ්‍ය වූ විට යම් ගැඹුරු කාරණා පවසා ඒවා තේරුම්ගත හැකි ලෙස පැහැදිලි කළා. එසේනම් යේසුස් ඉගැන්වූ ආකාරය අනුගමනය කරන්න අපට පුළුවන් කොහොමද?

16 සරලව සහ පැහැදිලිව ඉගැන්වීමට අවශ්‍ය මූලිකම දෙය නම් හොඳ සූදානමයි. ප්‍රචාරකයෙක් එසේ නොකර බයිබල් පාඩමක් පවත්වනවා නම් ඔහු අනවශ්‍ය ලෙස කතා කරන්න පෙලඹෙනවා. සූදානම මදිකම නිසා උගන්වන විෂය ගැන ඔහු දන්නා සෑම දෙයක්ම සඳහන් කරන්න යෑමෙන් වැදගත් කරුණු ගිලිහී යා හැකියි. නමුත් හොඳින් සූදානම් වන ප්‍රචාරකයෙක් තම බයිබල් ශිෂ්‍යයා ගැන හොඳ සැලකිල්ලක් දක්වනවා. එමෙන්ම උගන්වන විෂය ගැන හොඳින් කල්පනා කරන අතර අදාළ තොරතුරු පමණක් සාකච්ඡා කිරීමට වගබලා ගන්නවා. (හිතෝපදේශ 15:28; 1 කොරින්ති 2:1, 2) තම ශිෂ්‍යයා එම විෂය ගැන දැනටමත් දන්නා තොරතුරු මොනවාද කියා ප්‍රචාරකයා මනසේ තබාගන්නවා. ඒ අනුව ඔහුට අවධාරණය කළ යුත්තේ කුමන කරුණුද කියා ඔහු දන්නවා. එමෙන්ම සාකච්ඡා කරන විෂය ගැන බොහෝ වැදගත් තොරතුරු මේ ප්‍රචාරකයා දන්නවා වෙන්න පුළුවන්. නමුත් පැහැදිලි ලෙස ඉගැන්වීමට නම් අනවශ්‍ය තොරතුරු සියල්ලම බැහැර කළ යුතු බව ඔහු වටහාගන්නවා.

17. බයිබලයේ ඇති වැදගත් තොරතුරු ගැන කල්පනා කිරීමට ශිෂ්‍යයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

17 දක්ෂ ගුරුවරයෙක් හැටියට යේසුස් තමන් කියන දේවල් ගැන කල්පනා කිරීමට අසන්නන්ට අවස්ථාවක් දුන්නා. එක් අවස්ථාවකදී ඒ සඳහා ඔහු තම ගෝලයෙකුගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “සීමොන්, ඔබ හිතන්නේ කුමක්ද? පොළොවේ රජවරුන් තීරු බදු හෝ ඇඟ බදු හෝ ලබාගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නැත්නම් අන්‍යයන්ගෙන්ද?” (මතෙව් 17:25) ඒ හා සමානව, ඔවුන් ඉගෙනගන්නා දේ ගැන ඔවුන්ට හැඟෙන ආකාරය ප්‍රකාශ කිරීමට අප ඔවුන්ට අවස්ථාව දෙන්න අවශ්‍යයි. බයිබලයේ තොරතුරු පැහැදිලි කරමින් ඒවා ඉගැන්වීමට අප මහත් ආශාවක් දක්වනවා වෙන්න පුළුවන්. නමුත් බයිබල් ශිෂ්‍යයාට ඔහුගේ අදහස් පළ කරන්න අවස්ථාවක් නොලැබෙන තරමටම අප පමණක් කතා නොකරන්න වගබලා ගත යුතුයි. අනෙක් අතට ඔහුගෙන් එක දිගට ප්‍රශ්න වැලක් ඇසීමෙන්ද අප වැළකිය යුතුයි. ඒ වෙනුවට දක්ෂ ලෙස නිදර්ශන භාවිතයෙන් සහ උනන්දුව අවදි කරන ප්‍රශ්න ඇසීමෙන් බයිබලයේ ඇති වැදගත් තොරතුරු තේරුම්ගැනීමට ශිෂ්‍යයාට උපකාර කිරීම අවශ්‍යයි.

18. ‘ඉගැන්වීමේ කලාවට’ අයත් වන්නේ කුමක්ද?

18 “ඉගැන්වීමේ කලාව” ගැන බයිබලයේ සඳහන් කර තිබෙන අතර එය භාවිත කරමින් ඉගැන්වීම කියන්නේ ශිෂ්‍යයන්ට බයිබලයේ තොරතුරු කටපාඩම් කිරීමට උපකාර කිරීම නොවෙයි. (2 තිමෝති 4:2; තීතස් 1:9) ඒ වෙනුවට සැබෑව සහ බොරුව, යහපත සහ අයහපත මෙන්ම ප්‍රඥාව සහ මෝඩකම අතර වෙනස වටහාගැනීමට උපකාර කිරීමයි. (මතෙව් 6:5, 6) එමෙන්ම යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කරගැනීමට ඔහුට උපකාර කිරීමත් අවශ්‍යයි. එවිට යෙහෝවා දෙවිට කීකරු විය යුත්තේ ඇයි කියා ඔහුම තේරුම්ගනියි.

උද්‍යෝගයෙන් නිරත වන්න

19. ගෝලයන් කිරීමේ කාර්යයට සෑම ක්‍රිස්තියානියෙක්ම දායක වෙනවා කියා පැවසිය හැක්කේ කෙසේද?

19 ක්‍රිස්තියානි සභාව කියන්නේ සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන සංවිධානයක්. එක් පුද්ගලයෙක් යේසුස්ගේ ගෝලයෙක් බවට පත් වන විට එහි ප්‍රීතිය අද්දකින්නේ ඒ පුද්ගලයාට උපකාර කළ තැනැත්තා පමණක් නොවෙයි. උදාහරණයකට නැති වූ කුඩා දරුවෙකුව සොයන්න යම් කණ්ඩායමක් වෙහෙස මහන්සි වෙනවා කියා සිතන්න. ඒ දරුවාව බොහෝදුරට සම්බ වන්නේ ඒ කණ්ඩායමේ එක් පුද්ගලයෙකුට පමණයි. නමුත් ඒ දරුවාව දෙමාපියන්ට බාර දුන්නායින් පසුව ඒ ප්‍රීතිය භුක්ති විඳින්නේ ඒ සඳහා වෙහෙසුණු සියලුදෙනාමයි. (ලූක් 15:6, 7) ඒ හා සමානව මිනිසුන්ව ගෝලයන් කිරීම තනි පුද්ගලයෙකුගේ වෑයමක් නොවෙයි. කණ්ඩායමක් හැටියට කරන වැඩක්. අප සියලුදෙනාම නිරත වී සිටින්නේ යේසුස්ගේ අනුගාමිකයෙක් විය හැකි අයව සෙවීමේ කාර්යකයි. ඒ නිසා මෙය මුළු ක්‍රිස්තියානි සභාවේම වෑයමක්. එවැනි කෙනෙක් සභාවේ රැස්වීම්වලට සහභාගි වන විට ඔහුව ඇදහිල්ලේ ස්ථිර කිරීමට සභාවේ සිටින සෑම සාමාජිකයෙකුම දායක වෙනවා. (1 කොරින්ති 14:24, 25) එමනිසා සෑම වසරකම ක්‍රිස්තියානි සභාවට අලුතින් ඇතුළත් වන සිය දහස් ගණන් ගෝලයන් ගැන සෑම ක්‍රිස්තියානියෙකුටම ප්‍රීති විය හැකියි.

20. අන් අයට බයිබල් සත්‍යය ඉගැන්වීමට නම් ඔබ කුමක් කළ යුතුද?

20 යෙහෝවා දෙවි ගැන අන් අයට ඉගැන්වීමට ඔබේ පැත්තෙන් උපරිම උත්සාහයක් දරා ඇතත් එය සාර්ථක වී නැතිව ඇති. නමුත් අධෛර්යය වෙන්න එපා! ඔබත් එවැනි කෙනෙක් නම් අත්නෑර යෙහෝවා දෙවි කෙරෙහි ඇති ඔබගේ ප්‍රේමය තව තවත් ශක්තිමත් කරගන්න. දේශනා සේවයේදී හමු වන මිනිසුන් කෙරෙහි අවංක සැලකිල්ල, පරිත්‍යාගශීලී ස්වභාවය තවත් වැඩි කරගන්න. එමෙන්ම ඔබගේ ඉගැන්වීමේ කලාවද තව තවත් දියුණු කරගන්න. ඒ සියල්ලටම වඩා ඔබේ ආශාව ගැන දෙවිට කන්නලව් කරන්න. (දේශනාකාරයා 11:1) යෙහෝවා දෙවිට කරන සේවය තුළ මිනිසුන්ව ගෝලයන් කිරීම සඳහා ඔබ දරන ඕනෑම උත්සාහයක් ඉතාමත් වටිනා බව මතක තබාගන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිට ඇති අපේ ප්‍රේමය මිනිසුන්ව ගෝලයන් කිරීම මගින් ඔප්පු වන්නේ කෙසේද?

• මිනිසුන්ව ගෝලයන් කිරීමේදී අවශ්‍ය ගුණාංග මොනවාද?

• ‘ඉගැන්වීමේ කලාවට’ අයත් වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

මිනිසුන්ව ගෝලයන් කිරීම මගින් පෙන්වන්නේ දෙවිට තිබෙන අපගේ ඉමහත් ප්‍රේමයයි

[23වන පිටුවේ පින්තූරය]

මිනිසුන්ව ගෝලයන් කිරීමේදී අන් අය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

[24වන පිටුවේ පින්තූරය]

මිනිසුන්ව ගෝලයන් කිරීම සඳහා අවශ්‍ය ගුණාංග මොනවාද?

[25වන පිටුවේ පින්තූරය]

අප කරන සේවයේ ප්‍රතිඵල දැකීම අප සැමෝටම මහත් සන්තෝෂයට හේතුවක්