Skip to content

පටුනට යන්න

ඔබේ දරුවාට සාමයෙන් ඉන්න උගන්වන්න

ඔබේ දරුවාට සාමයෙන් ඉන්න උගන්වන්න

ඔබේ දරුවාට සාමයෙන් ඉන්න උගන්වන්න

වයස අවුරුදු අටක් වූ නීකෝල් ඈත පළාතක පදිංචියට යන එක ගැන සතුටු වුණා. ඇගේ හොඳම මිතුරිය වූ ගේබ්‍රියෙල්ට ඒ ගැන හැම තොරතුරක්ම ඇය පැවසුවා. දවසක් එකපාරටම ගේබ්‍රියෙල් නීකෝල්ට තරහෙන් කිව්වා ‘ඉතිං මට මොකද යන එකයි ඇත්තේ’ කියලා. නීකෝල්ට හුඟක් දුක හිතුණා. තරහකුත් ආවා. ඇය ඇගේ මව ළඟට ගිහින් “මම නං ආයි ගේබ්‍රියෙල් එක්ක කතා කරන්නේ නැහැ” කියා පැවසුවා.

නීකෝල් සහ ගේබ්‍රියෙල් අතරේ ඇති වුණා වගේ ළමයින් අතර ඇති වන ප්‍රශ්න විසඳීමට බොහෝවිට දෙමාපියන් මැදිහත් විය යුතුයි. වේදනාකාරි හැඟීම්වලින් මිදෙන්න පමණක් නොව කාරණය හසුරුවන ආකාරය පෙන්වීමටත් ඔවුන්ට උපකාර අවශ්‍යයි. සාමාන්‍යයෙන් බාලයන් තුළ “බිලිඳෙකුගේ ගතිලක්ෂණ” තිබෙනවා. තමන් කරන කියන දේවලින් සිදු විය හැකි හානිය ගැන ඔවුන් දන්නේ නැහැ. (1 කොරින්ති 13:11) ඒ නිසා පවුලේ සාමාජිකයන් හා වෙනත් අය සමඟ සාමකාමීව සිටීමට අවශ්‍ය ගතිගුණ වර්ධනය කරගැනීමට ඔවුන්ට උපකාර කළ යුතුයි.

තම දරුවන්ව ‘සමාදානය සොයා, එය ලුහුබඳින’ අය ලෙස පුහුණු කිරීමට ක්‍රිස්තියානි දෙමාපියන් මහත් වෑයමක් දරනවා. (1 පේතෘස් 3:11) සාමකාමී නොවන කෙනෙක් තුළ සැකයේ, කලකිරීමේ සහ සතුරුකමේ හැඟීම් පහළ විය හැකියි. එම තත්වයෙන් ගොඩ ඒම සඳහා වෑයම් දරමින් වෙහෙසෙනවාට වඩා සාමකාමීව සිටීම මොන තරම් සතුට ගෙන දෙන්නක්ද? ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවන්ට සාමකාමීව ඉන්න ඉගැන්විය හැක්කේ කෙසේද?

‘සමාදානයේ දෙවිව’ සතුටු කිරීමේ ආශාව ඇති කරන්න

යෙහෝවා දෙවිව හඳුන්වන්නේ “සමාදානයේ දෙවි” සහ “සමාදානය දෙන දෙවි” ලෙසයි. (ෆිලිප්පි 4:9; රෝම 15:33) නැණවත් දෙමාපියන් තම දරුවන් තුළ දෙවිව සතුටු කිරීමේ ආශාවක් ඇති කිරීමටත්, දෙවිගේ ගුණාංග වර්ධනය කිරීමටත් බයිබලය දක්ෂ ලෙස යොදාගන්නවා. උදාහරණයකට, යොහන් දුටු මනහර දර්ශනය සිතේ මවාගැනීමට ඔබේ දරුවාට උපකාර කරන්න. ඔහු දුටුවේ යෙහෝවා දෙවිගේ සිංහාසනය වටා මරකත මෙන් විශාල දේදුන්නක් පායා තිබෙන ආකාරයයි. * (එළිදරව් 4:2, 3) මෙම දේදුන්නෙන් පෙන්නුම් කරන්නේ යෙහෝවා දෙවි ඉදිරියේ පවතින ශාන්තබව හා සමාදානය බව ඔබේ දරුවාට පැහැදිලි කරන්න. තමාට කීකරු වන සියල්ලන්ටම දෙවි එම සමාදානය ලබා දීමෙන් ආශීර්වාද කරන බවත් පවසන්න.

යෙහෝවා දෙවි “සමාදානයේ කුමාරයා” වන තම පුත්‍රයා තුළින්ද මඟ පෙන්වීම් ලබා දෙනවා. (යෙසායා 9:6, 7, නව ලොව පරිවර්තනය, NW) එමනිසා අඬ දබර සහ වාද විවාදවලින් වැළකීම සඳහා යේසුස් ඉගැන්වූ වටිනා පාඩම් පිළිබඳ බයිබල් වාර්තා ඔබේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න. (මතෙව් 26:51-56; මාක් 9:33-35) උදාහරණයකට බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පවා එක් කාලයකදී “නින්දා කරන්නෙකුව” සිටියත් ඔහුගේ මාර්ග වෙනස් කරගත්තේ ඇයි කියා පැහැදිලි කරන්න. ඉන්පසු ඔහු මෙසේද ලිව්වා. ‘ස්වාමීන්ගේ දාසයෙකුට දබර කිරීමට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යයි. නපුර ඉවසා දරාගෙන සිටිය’ යුතුයි. (1 තිමෝති 1:13; 2 තිමෝති 2:24) එසේ පැහැදිලි කළොත් නොහිතන ලෙස ඔබේ දරුවා හොඳ ප්‍රතිචාරයක් දක්වයි.

දැන් අපි ඒවන්ගේ අද්දැකීම සලකා බලමු. ඔහුට වයස අවුරුදු හතක්ව සිටියදී පාසැල් බස් රථයේ සිටි පිරිමි ළමයෙක් ඔහුට විහිළු කළා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මට හොඳටම කේන්ති ගියා. මටත් හිතුණා අනිත් අතට මොනවා හරි කරන්න. ඒත් මට මතක් වුණා රණ්ඩු දබරවලට පැටලෙන අය ගැන මම ගෙදරදී ඉගෙනගත්ත පාඩම. යෙහෝවා දෙවි කැමති මම ‘කිසි කෙනෙකුට නපුරට නපුර නොකර සියලුදෙනා සමඟ සමාදානයෙන්’ ඉන්නවා දකින්නයි.” (රෝම 12:17, 18) ඒවන් ධෛර්යය උපදවාගෙන කාරුණිකව ප්‍රතිචාරය දැක්වුවා. රණ්ඩුවක් ඇති වෙන්න ගිය අවස්ථාව වළක්වාගන්න ඔහුට පුළුවන් වුණේ සමාදානයේ දෙවිව සතුටු කිරීමේ ආශාව ඔහු තුළ තිබූ නිසයි.

සාමකාමී දෙමාපියෙක් වන්න

ඔබේ නිවසේ තිබෙන්නේ සාමකාමී වාතාවරණයක්ද? එසේනම් ඔබේ දරුවන්ට හැකියි ඔබේ ආදර්ශය දෙස බලමින් සමාදානය ගැන බොහෝ දේ ඉගෙනගන්න. දරුවන්ට සාමයෙන් සිටීමට දක්ෂ ලෙස උගන්වන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ දෙවිගේ හා ක්‍රිස්තුස්ගේ සාමකාමී ක්‍රියා මාර්ගයන් අනුගමනය කළොත් පමණයි.—රෝම 2:21.

අනිත් අය හිරිහැර කළත් ඔවුන් සමඟ ප්‍රේමණීය ලෙස කටයුතු කිරීමට රස් සහ සින්ඩි තම පුතුන් දෙදෙනාට මඟ පෙන්වීම් ලබා දෙනවා. සින්ඩි පවසන්නේ මෙවැනි දෙයක්. “පුතාලා එක්ක හරි, අනිත් අය එක්ක හරි අපි දෙන්නට ප්‍රශ්නයක් ඇති වුණොත් ප්‍රශ්නය උග්‍ර වෙන විදිහට අපි හැසිරෙන්නේ නැහැ. අපේ පුතාලත් කවදා හරි එවැනිම තත්වයන්ට මුහුණ දෙද්දී සාමකාමීව ඉන්නේ කොහොමද කියලා ඒ ආදර්ශයෙන් ඉගෙනගෙන තිබෙන නිසා ඒක ඔවුන්ට ලොකු උපකාරයක් වෙයි.”

ඔබ අතින් වරදක් වූ විටදී පවා වටිනා පාඩම් කියා දීමට එය අවස්ථාවක් කරගත හැකියි. ස්ටීවන් නම් තැනැත්තා පැවසුවේ මෙවැනි දෙයක්. “මායි මගේ බිරිඳයි (ටෙරි) සියලු තතු නොදැන අපේ දරුවන්ට දඬුවම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඔවුන්ගෙන් සමාව ඉල්ලුවා.” ඒ ගැන ටෙරි මෙසේ පවසනවා. “අපේ අතිනුත් වැරදි වෙනවා කියන එක අපි දරුවන්ට දැනෙන්න සලස්වනවා. මේ හින්දා අපේ පවුලේ සාමය රැකෙනවා විතරක් නෙවෙයි දරුවනුත් සාමකාමීව ඉන්නවා.”

ඔබ දරුවන්ට සලකන ආකාරය දැකීමෙන් සාමකාමීව ඉන්න විදිහ ඉගෙනගන්න ඔවුන්ට හැකි වී තිබෙනවාද? යේසුස් මෙවැනි අවවාදයක් දුන්නා. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12) ඔබ අතින් වැරදි සිදු වුවත් ඔබේ දරුවන්ට සෙනෙහස දැක්වීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගන්න පුළුවන් බව අමතක නොකරන්න. ආදරෙන් යමක් පෙන්වා දෙන විට ඔබේ දරුවන් නිතැතින්ම කීකරු වෙයි.

ඉක්මන් කෝපය හොඳ නැහැ

“තීක්ෂ්ණ බුද්ධිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි” කියා හිතෝපදේශ 19:11හි [NW] පවසනවා. ඔබේ දරුවන්ගේ තීක්ෂ්ණ බුද්ධිය වර්ධනය කළ හැක්කේ කෙසේද? ඩේවිඩ් සහ ඔහුගේ බිරිඳ වූ මරිඇන් තම පුතා සහ දුවට උපකාර කරන්න ප්‍රායෝගික ක්‍රමයක් අත්හදා බැලුවා. ඔහු පැවසුවේ මෙයයි. “කවුරු හරි ඒගොල්ලන්ගේ හිත රිදෙන දෙයක් කිව්වා නම් හෝ කළා නම් ඒ අයට දයාව පෙන්නන්න අපි අපේ දරුවන්ට උපකාර කළා. අපි ඒගොල්ලන්ගෙන් මේ වගේ ප්‍රශ්න අහලා හිතන්න සැලැස්සුවා. ‘එයා මහන්සි වෙලා ඉන්න ඇද්ද? එයාට ඊර්ෂ්‍යාවක් ඇති වෙලාද? නැත්නම් වෙන කෙනෙක් එයාගේ හිත රිද්දවන්න ඇද්ද?’” එමගින් ලැබෙන ප්‍රයෝජන ගැන මරිඇන් පැවසුවේ මෙයයි. “ඒ විදිහට හිතන්න සැලැස්වීමෙන් කවුද හරි කවුද වැරදි කියලා ඒගොල්ලෝ වාද කරන්නේ හෝ දිගටම ඒ ගැන හිත හිතා දුක් වෙන්නේ නැහැ.”

එවැනි පුහුණුවකින් හොඳ ප්‍රතිඵල රැසක් ලැබෙයි. මේ ලිපියේ මුලින්ම සඳහන් කළ නීකෝල්ව ඔබට මතකද? ඇගේ මව වූ මිෂෙල් ඇයට උපකාර කළේ ගේබ්‍රියෙල් එක්ක නැවත මිත්‍රකම ඇති කරගන්න විතරක් නෙවෙයි. ඇය මෙසේ පැවසුවා. “නීකෝලුයි මායි එකතු වෙලා උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොතේ 14වෙනි පරිච්ඡේදය කියෙව්වා. * වරදක් කළ කෙනෙක්ට ‘හැත්තෑහත් වරක්’ සමාව දෙන්න කියලා යේසුස් කිව්ව හේතුව මම පැහැදිලි කළා. ඊට පස්සේ දුවට හැඟුණ දේ ගැන කියද්දී මම එයාට හොඳින් ඇහුම්කන් දුන්නා. තමාගේ හොඳම මිතුරිය දුර පළාතක පදිංචියට යන එක ගැන ගේබ්‍රියෙල්ට මොන තරම් දුකක් ඇති වෙන්න ඇද්ද කියන එක තේරුම්ගන්න මම දුවට උපකාර කළා.”—මතෙව් 18:21, 22.

නීකෝල් තීක්ෂ්ණ බුද්ධිය පාවිච්චි කරලා ගේබ්‍රියෙල් එහෙම කිව්වේ ඇයි කියලා තේරුම්ගත්ත නිසා ඇයට ඇගේ මිතුරිය වූ ගේබ්‍රියෙල් ගැන අනුකම්පාවක් ඇති වුණා. ඒ නිසා දුරකථන ඇමතුමක් දීලා ගේබ්‍රියෙල්ගෙන් සමාව ඉල්ලුවා. “එදා ඉඳලා නීකෝල් අනිත් අයගේ හැඟීම් ගැන හිතන්නත්, ඔවුන්ගේ හිත නොරිදෙන විදිහට කාරුණිකව කටයුතු කරන්නත් පටන්ගත්ත නිසා එයා ඉන්නේ හරිම සතුටින්” කියා මිෂෙල් පැවසුවා.—ෆිලිප්පි 2:3, 4.

අන් අය තමන්ට වරදක් කරන විට හා තමන්ව වරදවා වටහාගන්නා විට කේන්ති නොගෙන සිටීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. එසේ කිරීමෙන් දරුවන් අන් අයට කාරුණිකව යහපත් දේ කරන්න පෙලඹෙන අතර එය දැකීමෙන් ඔබද සතුටට පත් වෙයි.—රෝම 12:10; 1 කොරින්ති 12:25.

සමාව දීම “අලංකාර” ගුණාංගයක්

හිතෝපදේශ 19:11හි [NW] පවසන්නේ ‘වරද අමතක කර දැමීම අලංකාර ගුණාංගයක්’ කියායි. කටුක වේදනාකාරි අද්දැකීමකට මුහුණ දුන් අවස්ථාවේදී යේසුස් තම පියාණන්ව අනුකරණය කරමින් තමන්ට වරද කළ අයට සමාව දුන්නා. (ලූක් 23:34) ඔබත් ඔබේ දරුවන්ට සමාව දෙද්දී එය අලංකාර ගුණාංගයක් බව ඔවුන් ඉගෙනගනියි.

අපි දැන් උදාහරණයක් බලමු. විලී පස්හැවිරිදි දරුවෙක්. එයා හරි කැමතියි එයාගේ ආච්චි එක්ක එකතු වෙලා පින්තූරු පාට කරන්න. දවසක් එහෙම කරද්දී එකපාරටම ආච්චි ඒක නවත්වලා විලීට බැනලා එතනින් ගියා. විලීට හුඟක් දුක හිතුණා. ඔහුගේ පියා සෑම් මෙසේ පවසනවා. “විලීගේ ආච්චිට ඇල්සයිමර්ස් රෝගය තියෙනවා. ඒ නිසයි ආච්චිට කේන්ති යන්නේ කියලා අපි විලීට තේරුම් කරලා දුන්නා.” විලී වැරදි කළ අවස්ථාවලදීත් විලීට මොන තරම් සමාව දීලා තිබෙනවාද කියා සෑම් ඔහුට මතක් කර දුන්නා. ඔයත් එහෙම කරන්න ඕන කියලා අපි විලීට කිව්වා. ඉන්පසු විලී කළ දේ ගැන සෑම්ට පුදුම හිතුණා. “අපේ පුංචි පුතා අවුරුදු 80ක් වයසැති ආච්චි ළඟට ගිහින් බැගෑපත්ව කතා කරලා ඇගේ අතත් අල්ලගෙන මේසේ ළඟට ආපහු එක්කගෙන ගියා. මටත් මගේ බිරිඳටත් මොන වගේ හැඟෙන්න ඇද්ද කියලා ඔබට හිතාගන්න පුළුවන්ද” කියා සෑම් ඇසුවා.

අනිත් අය වැරදි කරන විට “එකිනෙකා ගැන ඉවසමින්” ඔවුන්ට සමාව දීමට දරුවන් ඉගෙනගැනීම ඇත්තෙන්ම අලංකාර ක්‍රියාවක්. (කොලොස්සි 3:13) ‘මිනිසෙකුගේ ක්‍රියාමාර්ගය යෙහෝවා දෙවිට ප්‍රසන්න වූ විට ඔහු ඒ තැනැත්තාගේ සතුරන්ට පවා ඔහු හා සමාදාන වීමට සලස්වනවා.’ ඉන් පැහැදිලි වෙන්නේ කවුරු හරි හිතා මතාම තමන්ගේ හිත රිදවන විට දෙවිගේ මඟ පෙන්වීම අනුව සන්සුන්ව ප්‍රතිචාරය දැක්වීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන බවයි.—හිතෝපදේශ 16:7NW.

ඔබේ දරුවාට සාමකාමීව සිටීමට උගන්වන්න

‘සාමය ඇති කරන’ දෙමාපියන් “සමාදානය ඇති විට” තම දරුවන්ට උපදෙස් දීම සඳහා දෙවිගේ වචනය යොදාගන්නවා නම් ඔවුන් තම දරුවන්ට ඇත්තෙන්ම ආශීර්වාදයක්. (යාකොබ් 3:18) එවැනි දෙමාපියන් තම දරුවන්ව අඬ දබර නොකර සාමකාමීව ඉන්න සූදානම් කරනවා. එය දරුවන්ට තම ජීවිත කාලය පුරාම සතුටෙන් සිටින්න මහඟු උපකාරයක්.

ඩැන් සහ කැතී යන දෙපළගේ නහඹර වියේ දරුවන් තිදෙනාම යෙහෝවා දෙවිගේ සේවයෙහි උද්‍යෝගයෙන් සහභාගි වෙනවා. “අපේ දරුවන්ව කුඩා කාලයේදී පුහුණු කරන එක එතරම් පහසු වුණේ නැහැ. ඒත් දැන් ඒගොල්ලන් ඉන්න විදිහ දැක්කහම අපිට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒගොල්ලන් අනිත් අය එක්ක හොඳින් පෑහී කටයුතු කරනවා විතරක් නෙවෙයි, සාමයට බාධා වන තත්වයක් උද්ගත වෙද්දී අදි මදි නොකර සමාව දෙනවා” කියා ඩෑන් පැවසූ අතර “අපි විශේෂයෙන්ම ඒ ගැන සතුටු වන්නේ සමාදානය දෙවිගේ ගුණාංගයක් වන නිසයි” කියා කැතීත් පැවසුවා.—ගලාති 5:22, 23.

එසේනම් සාමකාමීව ජීවත් වීමට දරුවන්ට උගන්වද්දී ක්‍රිස්තියානි දෙමාපියන්ට වෙහෙස වීමට සිදු වුවත් ඔවුන් එය ‘අත් නොහරින්නේ’ හෝ ‘විඩාවට පත් නොවන්නේ’ හොඳ හේතු ඇතුවයි. ඔබ එවැනි වෑයමක් දරද්දී ‘ප්‍රේමයේද සමාදානයේද දෙවි ඔබ සමඟ සිටින’ බව ස්ථිරයි.—ගලාති 6:9; 2 කොරින්ති 13:11.

[පාදසටහන්වල]

^ 6 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කළ එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි! යන පොතේ 75වන පිටුවේ පින්තූරය බලන්න.

^ 16 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[20වන පිටුවේ කොටුව/පින්තූරය]

හොඳක් වෙයිද?

එක්තරා මාධ්‍ය ආයතනයක් “විනෝදාස්වාදය ලබා දෙන වැඩසටහන්වල ප්‍රචණ්ඩත්වය” (“Violence in Media Entertainment”) යන මාතෘකාවෙන් යුත් වාර්තාවක් පළ කළා. එහි මෙවැනි දෙයක් සඳහන් වුණා. “රූපවාහිනි දර්ශනවල රඟපාන දුෂ්ටයන් හා වීරවරයන් හැම ප්‍රශ්නයක්ම විසඳන්නේ ප්‍රචණ්ඩත්වයෙන්. ඉන් පෙන්වීමට වෑයම් කරන්නේ ගැටලු විසඳීමට හොඳම ක්‍රමය ප්‍රචණ්ඩත්වය බවයි.” රූපවාහිනි නාට්‍ය, චිත්‍රපටි සහ පසුබිම් දර්ශන ඇතුළත් ගීත පිළිබඳව සිදු කළ අධ්‍යයනයකට අනුව ප්‍රචණ්ඩත්වයේ නරක ප්‍රතිඵල දකින්න තිබුණේ ඒවායින් සියයට දහයක් වැනි ඉතා සුළු සංඛ්‍යාවක පමණයි. ඒ වාර්ථාවේ තවදුරටත් සඳහන් වුණේ රූපවාහිනියේ විකාශනය වන වැඩසටහන්වල “ප්‍රචණ්ඩත්වය” පෙන්නුම් කරන්නේ “සාධාරණ, සාමාන්‍ය සහ වැළැක්විය නොහැකි දෙයක් වගේම ගැටලු විසඳීමට තිබෙන හොඳම ක්‍රමය” කියායි.

රූපවාහිනිය නැරඹීම සම්බන්ධයෙන් ඔබේ නිවසේ යම් වෙනසක් සිදු කළ යුතුයි කියා ඔබට හැඟෙනවාද? ඔබේ දරුවන්ට සාමකාමීව සිටීමට උගන්වන්න ඔබ දරන වෙහෙස නිෂ්ඵල කිරීමට මාධ්‍යයෙන් ලබා දෙන විනෝදාස්වාදයට ඉඩ දෙන්න එපා.

[17වන පිටුවේ පින්තූරය]

‘සමාදානයේ දෙවිව’ සතුටු කිරීමේ ආශාව ඔබේ දරුවන් තුළ ඇති කරන්න

[18වන පිටුවේ පින්තූරය]

හිත රිදෙන වචන හා ක්‍රියා හරිගැස්වීමට කාලය ගන්න

[19වන පිටුවේ පින්තූරය]

සමාව ඉල්ලන්න හා සමාව දෙන්න ඔබේ දරුවන් ඉගෙනගත යුතුයි