Skip to content

පටුනට යන්න

ඔබ යෙහෝවා දෙවිගේ පාලනයට පක්ෂද?

ඔබ යෙහෝවා දෙවිගේ පාලනයට පක්ෂද?

ඔබ යෙහෝවා දෙවිගේ පාලනයට පක්ෂද?

“යෙහෝවා දෙවි රජ වී ඇත.”—ගීතාවලිය 96:10, නව ලොව පරිවර්තනය, NW.

1, 2. (අ) ක්‍රිස්තු වර්ෂ 29 ඔක්තෝබර් මාසයේදී පමණ සිදු වූ සුවිශේෂ සිද්ධිය කුමක්ද? (ආ) ඒ අවස්ථාවේ පටන් යේසුස් තේරුම්ගෙන සිටියේ කුමක්ද?

මීට පෙර කවදාවත් පොළොවේ සිදු වී නැති ඉතා සුවිශේෂ දෙයක් ක්‍රිස්තු වර්ෂ 29 ඔක්තෝබර් මාසයේදී පමණ සිදු වුණා. ඒ ගැන මතෙව් මෙසේ වාර්තා කරනවා. “බව්තීස්ම වීමෙන් පසු යේසුස් එකෙණෙහිම දියෙන් උඩට මතු විය. බලන්න! අහස විවර විය. දෙවිගේ ආත්මය [බලය] පරෙවියෙකු මෙන් [යේසුස්] පිටට බසිනවා [යොහන් බව්තීස්ත] දුටුවේය. බලන්න! ‘මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි’ යි පැවසූ හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය.” ශුභාරංචි පොත් හතර ලියූ හතරදෙනාම මේ සිද්ධිය ඔවුන් ලියූ පොත්වල සඳහන් කිරීම විශේෂ දෙයක්.—මතෙව් 3:16, 17; මාක් 1:9-11; ලූක් 3:21, 22; යොහන් 1:32-34.

2 ඒ අවස්ථාවේ දෙවිගේ බලය යේසුස්ට ලබා දීමෙන් පැහැදිලි වන්නේ අභිෂේක ලත් තැනැත්තා නැතහොත් ගැලවුම්කරු ඔහු වූ බවයි. (යොහන් 1:33) කාලයක් පුරා බලා සිටි, පැමිණීමට නියමිත “තැනැත්තා” ලෙස යේසුස් පෙනී සිටියේ ඒ අවස්ථාවේදීයි. දෙවිගේ පාලනයට විරුද්ධව නැඟී සිටි ප්‍රධාන සතුරා වන සාතන්ගේ හිස පොඩි කරන්නේ ඔහුයි. නමුත් ඊට කලින් සාතන් ඔහුගේ විලුඹ පොඩි කළ යුතුයි. (උත්පත්ති 3:15NW) බව්තීස්ම වූ අවස්ථාවේ සිට දෙවිගේ පාලන අයිතිය හා දේවරාජ්‍යය සම්බන්ධයෙන් වූ දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා තමා වෙහෙස විය යුතු බව යේසුස් හොඳින් දැනගෙන සිටියා.

3. දෙවිට පාලනය කිරීමට අයිතියක් ඇති බව තහවුරු කිරීම සඳහා යේසුස් සූදානම් වුණේ කෙසේද?

3 තමාට ලැබී තිබෙන පැවරුමට සූදානම් වීම සඳහා ‘දෙවිගේ බලයෙන් පිරී සිටි යේසුස් යොර්දානයෙන් පිටත්ව දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් පාළුකරයට ගියා.’ (ලූක් 4:1; මාක් 1:12) දෙවිට හොඳින් පාලනය කරන්න පුළුවන්ද කියා සාතන් මතු කළ ප්‍රශ්නය ගැනත්, දෙවිට පාලනය කිරීමට අයිතියක් තිබෙන බව තහවුරු කිරීමට තමන් කුමන ක්‍රියා මාර්ගයක් ගත යුතුද යන්න ගැනත් එහිදී දින 40ක් තිස්සේ යේසුස් ගැඹුරින් කල්පනා කළා. සාතන් මතු කළ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වර්ගයේ සහ පොළොවේ සිටින සියල්ලන්ට කිරීමට යමක් තිබෙනවා. අපිත් දෙවිගේ පාලනයට පක්ෂව ජීවත් වීමට නම් යේසුස් තැබූ ආදර්ශය ගැන හොඳින් කල්පනා කර බලා ඒ අනුව ක්‍රියා කළ යුතුයි.—යෝබ් 1:6-12; 2:2-6.

සාතන් දෙවිගේ පාලනයට අභියෝග කරයි

4. දෙවිගේ පාලනයට අභියෝග කරමින් සාතන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

4 යේසුස්ගේ ජීවිතයේ සිදු වූ ඉහත සඳහන් හැම සිද්ධියක්ම සාතන්ගේ අවධානයටත් ලක් වුණා. ඒ නිසා ඔහු ඉක්මනින්ම ‘ස්ත්‍රියගෙන්’ පැමිණෙන මේ ප්‍රධාන ‘තැනැත්තාට’ පීඩා කරන්න පටන්ගත්තා. (උත්පත්ති 3:15NW) ඔහු යේසුස්ව තුන් වතාවක්ම පරීක්ෂා කරමින් කියා සිටියේ පියාණන්ගේ කැමැත්ත කිරීම අමතක කර දමා තමන්ගේම ප්‍රයෝජනය තකා වැඩ කරන්න කියලයි. තුන්වෙනි පරීක්ෂණය මූලිකවම දෙවිගේ පාලනය හා සම්බන්ධ වුණා. යේසුස්ට “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද පෙන්වා” සාතන් කිසිම භයක් නැතුව මෙසේ පැවසුවා. “ඔබ වැඳ වැටී මට වරක් නමස්කාර කළොත්, මම මේ සියල්ල ඔබට දෙන්නෙමි.” යේසුස් හොඳින් දැනගෙන සිටියා “ලෝකයේ සියලු රාජ්‍යයන්” සාතන්ගේ අතේ තිබෙන බව. ඒ අවස්ථාවේදී තමා සිටින්නේ පාලනය කිරීමට අයිතිය තිබෙන තැනැත්තා වන දෙවිගේ පැත්තේ බව පෙන්වමින් යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “සාතන්, අහක්ව යව! මන්ද, ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණක්ය’ කියා ලියා තිබේ.”—මතෙව් 4:8-10.

5. යේසුස්ට කිරීමට තිබූ අභියෝගාත්මක කාර්යය කුමක්ද?

5 යේසුස්ගේ ජීවිතයේ ප්‍රධානතම දේ වුණේ දෙවිගේ පාලනයට සහයෝගය දැක්වීමයි. පාලනය කිරීම සඳහා දෙවිට අයිතිය තිබෙන බව ඔප්පු කිරීමට නම් සාතන් අතින් මරණයට පත් වෙන තුරුම තමා දෙවිට විශ්වාසවන්තව සිටිය යුතු බව ඔහු දැනගෙන සිටියා. ඒ මරණය අනාවැකිමය ආකාරයෙන් සඳහන් වුණේ ‘ස්ත්‍රියගෙන්’ පැමිණෙන ‘තැනැත්තාගේ’ විලුඹ පොඩි කිරීම ලෙසයි. (මතෙව් 16:21; 17:12) එමෙන්ම දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවි සාතන්ව නිහඬ කරන බවත්, සියල්ල නැවතත් දෙවි මුලින් අරමුණු කළ තත්වයට ගෙනෙන බවත් සාක්ෂි දැරීමටද යේසුස්ට සිදු වුණා. (මතෙව් 6:9, 10) යේසුස් මේ අභියෝගාත්මක පැවරුම ඉටු කළේ කොහොමද?

“දෙවිගේ රාජ්‍යය ළඟා වී තිබේ”

6. දෙවි ‘යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන්නේ’ දේවරාජ්‍යය මාර්ගයෙන් බව යේසුස් පෙන්වූයේ කෙසේද?

6 තම පැවරුම ආරම්භ කරමින් ‘යේසුස් ගලීලයට ගොස් දෙවිගේ ශුභාරංචිය දේශනා කරමින් නියම කරන ලද කාලය සම්පූර්ණ වී ඇත. දෙවිගේ රාජ්‍යය ළඟා වී තිබේ’ කියා දේශනා කළා. (මාක් 1:14, 15) ඔහු මෙසේද පැවසුවා. “මා වෙනත් නුවරවලදීත් දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුය. මන්ද, මාව එවන ලද්දේ ඒ සඳහාය.” (ලූක් 4:18-21, 43) “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමින්ද ප්‍රකාශ කරමින්ද” යේසුස් දේශය පුරා ගමන් කළා. (ලූක් 8:1) ඒ විතරක් නෙවෙයි. මිනිසුන්ට කෑම සපයමින්, කුණාටු නිහඬ කරමින්, ලෙඩුන්ව සුව කරමින්, මියගිය අයට නැවත ජීවිතය ලබා දෙමින් ඔහු නොයෙකුත් බලවත් ක්‍රියාද කළා. මෙයින් ඔහු පෙන්වා දුන්නේ ඒදන් උයනේ සිදු වූ කැරැල්ල නිසා ඇති වී තිබෙන හානිය නැති කරමින් ‘යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමට’ දෙවිට හැකි බවයි.—1 යොහන් 3:8.

7. යේසුස් ගෝලයන්ට උපදෙස් ලබා දුන්නේ කුමක් කිරීම සඳහාද? එහි ප්‍රතිඵලය කුමක්ද?

7 ශුභාරංචිය මුළුමනින්ම ප්‍රචාරය කිරීම සඳහා යේසුස් ගෝලයන් 12දෙනෙකුව තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දී “දෙවිගේ රාජ්‍යය දේශනා කිරීමට” ඔවුන්ව පිටත් කළා. (ලූක් 9:1, 2) පසුව තවත් 70දෙනෙකුව “දෙවිගේ රාජ්‍යය ඔබ ළඟට පැමිණ තිබේ” යන පණිවුඩය ප්‍රකාශ කිරීම සඳහා පිටත් කරහැරියා. (ලූක් 10:1, 8, 9) ඔවුන් නැවත පැමිණ දේශනා සේවයේදී ලබපු කදිම අද්දැකීම් ගැන පවසද්දී යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “විදුලියක් අහසෙන් පහතට වැටෙන්නාක් මෙන් සාතන් මේ වන විටත් ස්වර්ගයෙන් පහතට වැටී සිටිනවා මට පෙනුණේය.”—ලූක් 10:17, 18.

8. යේසුස් තම ජීවිතය ගත කළ ආකාරයෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද?

8 යේසුස්ට ලැබුණු හැම අවස්ථාවකම ඔහු දේවරාජ්‍යය ගැන සාක්ෂි දැරුවා. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ ඔහු ජීවිතයේ සාමාන්‍ය පහසුකම්වත් භුක්ති වින්දේ නැහැ. “හිවලුන්ට බෙන තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (ලූක් 9:58; මාක් 6:31; යොහන් 4:31-34) තම මරණයට ටිකකට කලින් පොන්තියුස් පිලාත්ට යේසුස් පැවසුවේ ‘මා ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමට’ කියායි. (යොහන් 18:37) යේසුස් ජීවිතය ගත කළ ආකාරයෙන් පෙනී යන්නේ ඔහු පොළොවට පැමිණි ප්‍රධානතම හේතුව උතුම් ගුරුවරයෙක් වීමටවත්, බලවත් ක්‍රියා කරන්නෙක් වීමටවත්, අන් අය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරන්නෙක් ලෙස පෙනී සිටීමටවත් නොවන බවයි. ඒ වෙනුවට මුළු විශ්වයේම පාලකයා ලෙස යෙහෝවා දෙවිගේ අරමුණට උපරිම සහයෝගය දීමට සහ දේවරාජ්‍යය මාර්ගයෙන් දෙවිට ඒ අරමුණ ඉටු කිරීමට හැකි බව සාක්ෂි දැරීමටයි.—යොහන් 14:6.

“එය ඉටු වී තිබේ”

9. ස්ත්‍රියගෙන් පැවත එන ‘තැනැත්තාගේ’ විලුඹ පොඩි කිරීමට සාතන් දැරූ උත්සාහය සාර්ථක වුණේ කෙසේද?

9 දේවරාජ්‍යය වෙනුවෙන් යේසුස් වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන සාතන් සිටියේ හරිම කෝපයෙන්. ඒ නිසා සාතන්ගෙන් “පැවත එන්නන්” ලෙස හැඳින්විය හැකි දේශපාලනය සහ ආගම් යොදාගෙන ස්ත්‍රියගෙන් ‘පැවත එන තැනැත්තාව’ මරන්නයි ඔහු නිතර උත්සාහ කළේ. යේසුස් ඉපදුණු දා සිට මිය යන තෙක්ම සාතන්ගෙත් ඔහුගේ සගයන්ගෙත් ඉලක්කය බවට ඔහු පත් වුණා. අවසානයේ ක්‍රි.ව. 33 වසන්තයේ මනුෂ්‍ය පුත්‍රයාගේ විලුඹ පොඩි කිරීමට එනම් යේසුස්ව සාතන් විසින් මරණයට පත් කිරීමට කාලය පැමිණියා. (මතෙව් 20:18, 19; ලූක් 18:31-33) යේසුස්ව හෙළා දැක ඔහුව වධකණුවක ඇණ ගසා මරා දැමීමට යූදස් ඉස්කාරියොත් ඇතුළු උත්තම පූජකයන්, ලියන්නන්, පරිසිවරුන් හා රෝමවරුන්ව සාතන් මෙහෙයවූ ආකාරය ශුභාරංචි පොත්වල පැහැදිලි කර තිබෙනවා.—ක්‍රියා 2:22, 23.

10. යේසුස්ගේ මරණයෙන් මූලික වශයෙන් ඉටු වුණේ කුමක්ද?

10 යේසුස් වධකණුවක් මත වේදනාකාරීව මරණයට පත් වූ ආකාරය ගැන සිතන විට ඔබේ මනසට නැඟෙන්නේ කුමක්ද? සමහරවිට පව්කාර මිනිසුන් වෙනුවෙන් ඔහු ඉතා කැමැත්තෙන් තම ජීවිතය දුන් ආකාරය ඔබට මතක් වේවි. (මතෙව් 20:28; යොහන් 15:13) නැත්නම් තම පුත්‍රයාව ලබා දීමෙන් දෙවි මොන තරම් ප්‍රේමයක් පෙන්නුම් කළාද කියා ඔබට සිහි වෙයි. (යොහන් 3:16) එහෙමත් නැත්නම් එක් රෝම හමුදා නිලධාරියෙක් පැවසූ ආකාරයට “සැබවින්ම මොහු දෙවිගේ පුත්‍රයා” කියා ඔබටත් හැඟෙයි. (මතෙව් 27:54) ඒ කොයි ආකාරයෙන් සිතුවත් එහි වරදක් නැහැ. නමුත් මරණයට පෙර යේසුස්ගේ මුවින් පිට වූ අවසන් වචන ස්වල්පය ඔබට මතකද? ඔහු පැවසුවේ “එය ඉටු වී තිබේ” කියායි. (යොහන් 19:30) ඇත්තටම ඉටු වී තිබුණේ කුමක්ද? යේසුස් තම ජීවිතයෙන් හා තමා අද්දුටු මරණයෙන් බොහෝ දේවල් ඉටු කළා කියා අපි දන්නවා. නමුත් යේසුස් ප්‍රධාන වශයෙන් පොළොවට ආවේ පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ගැන කළ අභියෝගයට පිළිතුරු දෙන්න නෙවෙයිද? දෙවිගේ නාමයට ඇති වී තිබුණු නින්දාව පහ කිරීම සඳහා පැවත එන “තැනැත්තා” ලෙස යේසුස් සාතන් අතින් දරුණු වේදනා විඳින බව කලින්ම පවසා තිබුණා නොවේද? (යෙසායා 53:3-7) ඇත්තෙන්ම මේවා ඉතා අභියෝගාත්මක කාර්යයන් වුණත් යේසුස් ඉතා සාර්ථකව ඒවා ඉටු කළා. ඒ නිසයි එය ඉටු වී තිබේ කියා පවසන්න ඔහුට හැකි වුණේ.

11. ඒදන් උයනේ ප්‍රකාශ කළ අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම සඳහා යේසුස් කුමක් කරයිද?

11 යේසුස්ගේ පක්ෂපාතකම නිසා දෙවි ඔහුව මරණයෙන් නැඟිටෙව්වේ මිනිසෙකු ලෙස නොව “ජීවනදායක ආත්මයක් [ස්වර්ගික පුද්ගලයෙක්]” ලෙසයි. (1 කොරින්ති 15:45; 1 පේතෘස් 3:18) පසුව දෙවි ඔහුට මෙසේ පොරොන්දු වුණා. “මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව කරන තුරු මාගේ දකුණු පැත්තේ ඉඳගන්න.” (ගීතාවලිය 110:1NW) මේ ‘සතුරන්ට’ ප්‍රධාන වරදකරු වූ සාතන් හා ඔහුගෙන් ‘පැවත එන’ සියලුදෙනාම ඇතුළත්. දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්, දෙවිට විරුද්ධව කැරලි ගැසූ සියලු මිනිසුන්ව හා දේවදූතයන්ව විනාශ කරනවා. (එළිදරව් 12:7-9; 19:11-16; 20:1-3, 10) එදාට උත්පත්ති 3:15 ඇති අනාවැකිය හා ‘ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා’ කියා යේසුස් ඉගැන්වූ යාච්ඤාවද සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා.—මතෙව් 6:10; ෆිලිප්පි 2:8-11.

අනුගමනය කිරීමට කදිම ආදර්ශයක්

12, 13. (අ) අද දින ශුභාරංචියට ලැබී තිබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද? (ආ) යේසුස්ව ආදර්ශයට ගන්න නම් අපි අපෙන්ම අසාගත යුත්තේ මොනවාද?

12 යේසුස් පැවසූ ලෙස අද රාජ්‍යයේ ශුභාරංචිය ලොව පුරාම දේශනා කෙරෙනවා. (මතෙව් 24:14) ඒ නිසා මිලියන ගණන්දෙනෙකුට හැකි වී තිබෙනවා දෙවිට කැප වී සේවය කරන්න. පාරාදීස පොළොවක් තුළ සුරක්ෂිතව සහ සතුටින් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටින ඔවුන් දේවරාජ්‍යය මගින් ලැබෙන ආශීර්වාද භුක්ති විඳීමට මහත් ආශාවක් දක්වන අතර එම බලාපොරොත්තුව ගැන අන් අයටත් ප්‍රකාශ කරනවා. (ගීතාවලිය 37:11; 2 පේතෘස් 3:13) ඔබත් එසේ කරනවා නම් ඔබවත් ඇත්තෙන්ම අගය කළ යුතුයි. කොහොමවුණත් අපි මතක තබාගත යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා.

13 පේතෘස් මෙවැනි දෙයක් සඳහන් කළා. “ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය.” (1 පේතෘස් 2:21) එහිදී පේතෘස් සඳහන් කරන්නේ යේසුස් නිර්භීතව දේශනා කළ ආකාරය ගැනවත් උගන්වන්න දක්වපු දක්ෂකම ගැනවත් නෙවෙයි. ඒ වෙනුවට ඔහු වින්ද දුක් පීඩා ගැනයි. දෙවිගේ පාලනයට පක්ෂව සිටිමින් සාතන් බොරුකාරයෙක් බව ඔප්පු කිරීමට යේසුස් ඕනෑම දුකක් විඳින්න පවා සූදානම්ව සිටි ආකාරය පේතෘස් දැක්කා. එසේනම්, අපිට යේසුස්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද? අපි අපෙන්ම මෙසේ අසාගමු. ‘යෙහෝවා දෙවිගේ පාලනයට පක්ෂපාතව සිටින බව පෙන්වීමට ඕනෑම දුකක් විඳින්න මම සූදානම්ද? මම ජීවත් වෙන විදිහෙන් හා දේශනා සේවය සම්බන්ධයෙන් මම දරන ආකල්පයෙන් පෙනී යන්නේ දෙවිගේ පාලනයට පක්ෂපාතව ජීවත් වීම මගේ ජීවිතයේ මූලිකම දේ බවද?’—කොලොස්සි 3:17.

14, 15. (අ) තමන්ගේම වාසිය වෙනුවෙන් වැඩ කිරීමට යේසුස්ට පැමිණි යෝජනාවලට ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එවැනි ප්‍රතිචාරයක් දැක්වූයේ ඇයි? (ආ) අපි නිතරම මතක තබාගත යුත්තේ කුමක්ද? (“යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න” යන කොටුවේ අදහස්ද ඇතුළත් කරන්න.)

14 අපිට දිනපතාම විවිධ පරීක්ෂාවන්ට මහුණ දෙන්න සිදු වෙන අතර සුළු මෙන්ම බැරෑරුම් තීරණත් ගන්න සිදු වෙනවා. උදාහරණයකට දෙවිගේ ප්‍රමිති කඩ වෙන ආකාරයේ පරීක්ෂාවක් හමුවේ අපි කළ යුත්තේ කුමක්ද? යේසුස්ද එවැනි තත්වයන්ට මුහුණ දුන් අතර ඔහු ක්‍රියා කළ ආකාරය සලකා බැලීම ඉතා වැදගත්. තමන් ගැනත් ටිකක් හිතන්න කියා පේතෘස්, යේසුස්ට පැවසූ අවස්ථාවේදී යේසුස් ඔහුට පිළිතුරු දුන්නේ ‘සාතන් මා පස්සට යන්න! ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ’ කියායි. (මතෙව් 16:21-23) දෙවි සමඟ ඇති අපේ සම්බන්ධතාවට හානි ගෙනෙන හෝ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් අතපසු වෙන විදිහේ මුදල් ඉපයීමේ ප්‍රස්තාවක් හෝ රැකියාවේ උසස්වීමක් ලැබුණොත් අපි යේසුස් මෙන් ක්‍රියා කරනවද? යේසුස් කළ බලවත් ක්‍රියා දැක මිනිසුන් ඔහුව “රජකමට පත් කරගන්නා” පිණිස සූදානම් වෙන බව දැනගත්තම යේසුස් ඉක්මනින්ම පලා ගියා.—යොහන් 6:15.

15 යේසුස් එලෙස ඉතා ස්ථිර ලෙස ප්‍රතිචාරය දැක්වූයේ ඇයි? තමන්ගේ වාසියට වඩා යේසුස්ට වැදගත් වුණේ පාඩු විඳිමින් හරි දෙවිගේ පාලනයට පක්ෂපාතව සිටිමින් ඔහුගේ කැමැත්ත කරන්නයි. (මතෙව් 26:50-54) යේසුස් මෙන් අපිත් දෙවිගේ පාලනයට සාතන් අභියෝග කර තිබෙනවා යන කාරණය සැමවිටම මතක තබාගත යුතුයි. නැත්නම් සාතන් ඉතා කපටි විදිහට අපව රවටා වැරදි දේ කිරීමට අපව පෙලඹවිය හැකියි. එදා ඒවට කළාක් මෙන් වැරදි දේ හරි බව පෙන්වීමට තරම් සාතන් අතිදක්ෂයෙක් බව අපි අමතක නොකළ යුතුයි.—2 කොරින්ති 11:14; 1 තිමෝති 2:14.

16. අන් අයට උපකාර කිරීමේදී අපේ මූලික අරමුණ කුමක් විය යුතුද?

16 අපි දේශනා සේවයේ යද්දී වෑයම් කරන්නේ මිනිසුන්ගේ උනන්දුවට ලක් වී තිබෙන දේවල් ගැන කතා කර ඔවුන්ට බයිබලයෙන්ම පිළිතුරු දෙන්නයි. බයිබලය අධ්‍යයනය කිරීම සඳහා ඔවුන් තුළ උනන්දුවක් ඇති කිරීමට එය කදිම ක්‍රමයක්. නමුත් අපේ මූලික අරමුණ වන්නේ බයිබලයේ පවසන දේ දැනගන්න හෝ දේවරාජ්‍යය මගින් ගෙන එන ආශීර්වාද ලබාගන්න ජනයාට උපකාර කිරීම පමණක්ම නෙවෙයි. ඒ වෙනුවට අපි දෙවිගේ පාලනය සම්බන්ධයෙන් සාතන් මතු කර තිබෙන ප්‍රශ්නය අවබෝධ කරගන්න ඔවුන්ට උදව් කළ යුතුයි. ඔවුන් සැබෑ ක්‍රිස්තියානීන් වී තම “වධකණුව” රැගෙන දේවරාජ්‍යය වෙනුවෙන් දුක් විඳින්න කැමති වෙයිද? (මාක් 8:34) යෙහෝවා දෙවිගේ පාලනයට පක්ෂව සිටින අය සමඟ එක් වී සාතන් බොරුකාරයෙක් හා නින්දා කරන්නෙක් බව ඔප්පු කිරීමට ඔවුන් සූදානම්ද? (හිතෝපදේශ 27:11) මේ සම්බන්ධයෙන් අපිට යම් අවබෝධයක් තිබීමත් අන් අයට දෙවිගේ පැත්ත ගන්න උපකාර කරන්න ලැබීමත් මොන තරම් ලොකු වරප්‍රසාදයක්ද!—1 තිමෝති 4:16.

“දෙවි සියල්ලන්ට සියල්ල” වන විට

17, 18. අපි දෙවිගේ පාලනයට පක්ෂපාත වුණොත් කුමන ප්‍රීතිමත් කාලය පැමිණෙන තුරු බලා සිටිය හැකිද?

17 අපේ හැසිරීමෙන් හා දේවසේවයේ හවුල් වීමෙන් අපි දෙවිගේ පාලනයට පක්ෂපාතයි කියා පෙන්වමින් සිටින ගමන්ම යේසුස් ක්‍රිස්තුස් ‘තම දෙවිද පියාණන්ද වන තැනැත්තාට රාජ්‍යය භාර දෙන’ කාලය පැමිණෙන තුරු මහත් ආශාවෙන් බලා සිටින්නත් පුළුවන්. එය සිදු වෙන්නේ කවදාද? ඒ ගැන පාවුල් මෙසේ පවසනවා. ‘සියලු ආණ්ඩුද සියලු අධිකාරියද බලයද නැති කර දමා, දෙවි සියලු සතුරන් ඔහුගේ පාද යට දමන තුරු ඔහු රජකම් කළ යුතුය. සියල්ල ඔහුට යටත් කළ පසු පුත්‍රයාද, තමන්ට සියල්ල යටත් කර දුන් තැනැත්තාට යටත් වන්නේය. එසේ කරන්නේ දෙවි සියල්ලන්ට සියල්ල වන පිණිසය.’—1 කොරින්ති 15:24, 25, 28.

18 “දෙවි සියල්ලන්ට සියල්ල වන” කාලය කොතරම් ප්‍රීතිමත් කාලයක් වේවිද කියා සිතා බලන්න. එදාට දේවරාජ්‍යය පිහිටුවීමේ අරමුණ සම්පූර්ණ වී තිබේවි. දෙවිගේ පාලනයට විරුද්ධ වූ සියලුදෙනාම විනාශ වී ගිහින්, නැවතත් මේ මුළු විශ්වයේම සාමය ඇති වෙනවා. ඒ කාලයේදී අපි හැමෝම ගීතිකාකරු මෙන් ‘යෙහෝවා දෙවිගේ නාමයට දිය යුතු ගෞරවය ගැන කතා කරමින් යෙහෝවා දෙවි රජ වී ඇත’ කියා මහත් හඬින් ඔහුට ප්‍රශංසා කරාවි.—ගීතාවලිය 96:8, 10NW.

ඔබට පිළිතුරු දිය හැකිද?

• දෙවිගේ පාලනයට සාතන් කළ අභියෝගයට පිළිතුරු දීම යේසුස් තම ජීවිතයේ මූලිකම දේ කරගත්තේ කෙසේද?

• තම මරණයෙන් හා දේවසේවයෙන් යේසුස් මූලිකවම ඉටු කළේ කුමක්ද?

• යේසුස්ව ආදර්ශයට ගනිමින් පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා දෙවි බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ කොටුව/පින්තූරය]

යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න

කොරියාවේ සිටින අපේ සහෝදරයන් ඇතුළු බොහෝ සාක්ෂිකරුවන් මෙන්, දෙවිගේ සෙනඟ දරුණු පීඩාවලට මුහුණ දෙන විට, ඒවා පැමිණීමට හේතුව නිතරම මනසේ තබාගැනීම ඉතා වැදගත්.

සෝවියට් සමූහාණ්ඩුව පැවති කාලයේ හිරේ සිටි එක් සාක්ෂිකරුවෙක් මෙවැන්නක් පැවසුවා. “දෙවිට පාලනය කරන්න අයිතියක් තියෙනවාද කියා සාතන් මතු කළ ප්‍රශ්නය ගැන අපිට පැහැදිලි අවබෝධයක් තිබුණ නිසා පීඩා දරාගන්න අපිට පුළුවන් වුණා. පාලනය කිරීමට අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට බව ඔප්පු කිරීමට අපිට අවස්ථාව උදා වෙලා තියෙන බව අපි තේරුම් අරන් හිටියා. ශක්තිමත්ව සිටිමින් විශ්වාසවන්තභාවය රැකගන්න අපිට පුළුවන් වුණේ ඒ නිසයි.”

තවත් සාක්ෂිකරුවෙක් ඔහුට හා වෙනත් සාක්ෂිකරුවන්ට සිරකඳවුරේදී විඳදරාගන්න උදව් කළේ කුමක්ද කියා පැහැදිලි කළා. “මොන පීඩාවක් ආවත් අපි නිතරම උත්සාහ කළේ දෙවි එක්ක තියෙන අපේ සම්බන්ධතාව රැකගන්නයි. දෙවි ඒ සඳහා අපිට උදව් කළා. යෙහෝවා දෙවිගේ පාලනය සම්බන්ධයෙන් මතු වී තිබෙන ප්‍රශ්නයේදී අපි දෙවිගේ පැත්ත ගෙන තිබෙන බව මතක් කරමින් අපි එක් එක්කෙනාව නිතරම දිරිගැන්නුවා.”

[26වන පිටුවේ පින්තූරය]

සාතන්ගේ පරීක්ෂා හමුවේ යේසුස් දෙවිගේ පාලනයට පක්ෂපාතව සිටියේ කෙසේද?

[28වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ මරණය මාර්ගයෙන් ඉටු වුණේ කුමක්ද?