Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සතුන් දඩයම් කිරීම හා මසුන් ඇල්ලීම පිළිබඳව අපගේ ආකල්පය විය යුත්තේ කුමක්ද?

සතුන් දඩයම් කිරීම හෝ මසුන් ඇල්ලීම වරදක් බව බයිබලයේ පවසන්නේ නැහැ. (ද්විතීය කතාව 14:4, 5, 9, 20; මතෙව් 17:27; යොහන් 21:6) ඒ වුණත් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් මතක තබාගත යුතුයි.

නෝවා සහ ඔහුගෙන් පැවත එන්නන්ට දෙවි අවසර දුන්නේ රුධිරය ඉවත් කළ සතුන්ගේ මස් පමණක් කෑමටයි. (උත්පත්ති 9:3, 4) සතුන්ව මැව්වේ දෙවි නිසා එවැනි නියෝගයක් පැනවීමෙන් අවධාරණය කළේ සත්ව ජීවිතවලට පවා ගරු කළ යුතු බවයි. මෙබැවින්, ක්‍රිස්තියානීන් තමන්ගේ දස්කම් පෙන්වීමට හෝ විනෝදයට නිකරුණේ සතුන්ව මරන්නේ නැහැ.—හිතෝපදේශ 12:10.

මෙහිදී අපේ ආකල්පය කුමක්ද යන්න ගැනත් අප සැලකිලිමත් විය යුතුයි. දක්ෂ ධීවරයන් වූ යේසුස්ගේ ගෝලයන් මසුන් ගොඩක් ඇල්ලූ අවස්ථාවල සෑහීමකට පත් වුණත් තමන්ගේ දස්කම් ගැන පුරසාරම් දෙඩුවේ නැහැ. සමහර මසුන් අල්ලන්නන් හෝ දඩයම්කරුවන් මෙන් ඔවුන් අනික් අය සමඟ තරඟ වදිමින් වින්දනයක් ලබාගැනීමේ හා තමන්ගේ හැකියාව මෙන්ම පෞරුෂත්වය පෙන්වීමේ අටියෙන් ක්‍රියා කළේ නැහැ.—ගීතාවලිය 11:5; ගලාති 5:26.

එබැවින් අපි මෙසේ අසාගමු. ‘යෙහෝවා දෙවි ජීවිතයට ගරු කරන විදිහටම මමත් ගරු කරනවාද? මම නිතරම හිතන්නෙත්, කතා කරන්නෙත් දඩයම් කිරීම ගැනයි, මාළු ඇල්ලීම ගැනයිද? මම ජීවත් වෙන විදිහෙන් මං ඒ පැත්තට බර කෙනෙක් බවද පේන්නේ? එහෙමත් නැත්නම් මං දෙවිගේ සේවකයෙක් බවද පේන්නේ? එවැනි දේවල හවුල් වීම නිසා දෙවිට නමස්කාර නොකරන අය එක්ක මම නිතරම ගැවසෙනවාද? ඒ නිසා මගේ පවුලේ අය එක්ක ගත කරන්න කාලය නැති වෙනවාද?’—ලූක් 6:45.

ආහාරයට ගැනීම සඳහා සතුන් දඩයම් කිරීමට හෝ මාළු ඇල්ලීමට නීතියෙන් අවසර දී තිබෙන රටවල සමහර ක්‍රිස්තියානීන් ඒ සඳහා වැඩි කාලයක් ගත කරමින් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් දෙවන තැනට දමන්න ඉඩ තිබෙනවා. නමුත් දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ දේවලට මුල් තැන දීමෙන් අපි දෙවි කෙරෙහි ඇදහිල්ල හා විශ්වාසය තබන බව පෙන්වනවා. (මතෙව් 6:33) ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තියානීන් සතුන් දඩයම් කරන විට හා මසුන් අල්ලන විට “සීසර්ගේ” නීති හෙවත් රජයෙන් පනවා ඇති සියලු නීතිවලටද කීකරු වෙනවා.—මතෙව් 22:21; රෝම 13:1.

සතුන් දඩයම් කිරීම හා මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි දරන ආකල්පයම දැරීමට නම් ඔහුගේ ප්‍රමිති අනුව තම සිතුවිලි වෙනස් කරගැනීමට සමහරුන්ට සිදු වෙයි. (එෆීස 4:22-24) පාවුල් දී තිබෙන උපදෙසට අනුව අපි අන් අය තම හෘදය සාක්ෂියට එකඟව ගන්නා තීරණවලට ගරු කළ යුතුයි. ඔහු මෙසේ පැවසුවා. “අපි මෙතැන් පටන් එකිනෙකාව විනිශ්චය නොකර සිටිමු. ඒ වෙනුවට, සහෝදරයෙකු ඉදිරියෙහි බාධාවට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකිරීමට තීරණය කරගන්න.” (රෝම 14:13) එකිනෙකා අතර ගෞරවය හා ප්‍රේමය පවතින විට ක්‍රිස්තියානි සභාවේ සාමය රැකෙන අතර ජීවිතයේ උල්පත වූ අප සියල්ලන්ගේ නිර්මාතෘව සතුටු කරන්නත් අපිට හැකි වෙනවා.—1 කොරින්ති 8:13. *

[පාදසටහන]

^ 8 ඡේ. වර්ෂ 1990 මැයි 15 මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපියත් බලන්න.—සිංහලෙන් නැහැ.