Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ පාලනය සහ දේවරාජ්‍යය

යෙහෝවා දෙවිගේ පාලනය සහ දේවරාජ්‍යය

යෙහෝවා දෙවිගේ පාලනය සහ දේවරාජ්‍යය

‘යෙහෝවා දෙවියනි, ඔබ ශ්‍රේෂ්ඨයි. බලවත්, අති උත්කෘෂ්ට වූ දෙවි ඔබයි. සියලුම ගෞරවය හිමි විය යුත්තේ ඔබටයි. යෙහෝවා දෙවියනි, සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.’ —1 ලේකම් 29:11, නව ලොව පරිවර්තනය, NW.

1. විශ්වය පාලනය කිරීමට යෙහෝවා දෙවිට අයිතිය තිබෙන්නේ ඇයි?

“යෙහෝවා දෙවි තම සිංහාසනය ස්වර්ගයේ ස්ථිර ලෙස පිහිටුවා ඇත. ඔහු සියල්ල කෙරෙහි රජකම් කරන්නේය.” (ගීතාවලිය 103:19NW) ගීතිකාකරු එම වදන්වලින් පාලනය පිළිබඳ වැදගත් සත්‍යයක් ගෙනහැර දක්වනවා. එම සත්‍යය නම් විශ්වය පාලනය කිරීමට නීත්‍යනුකූල අයිතිය තිබෙන්නේ සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට යන්නයි.

2. යෙහෝවා දෙවි දේවදූතයන්ව පාලනය කරන ආකාරය ගැන දානියෙල් පැවසුවේ කුමක්ද?

2 සාමාන්‍යයෙන් පාලකයෙක් සිටිනවා නම් ඔහුට යටත් වැසියනුත් සිටිය යුතුයි. යෙහෝවා දෙවි සම්බන්ධයෙන් බලන කල, ඔහුගේ ඒක ජාතක පුත්‍රයා ඇතුළු සියලුම දේවදූතයන් මැවීමත් සමඟ ඔවුන්ගේ පාලකයා බවට ඔහු පත් වුණා. (කොලොස්සි 1:15-17) එය සිදු වී බොහෝ කාලයකට පසු යෙහෝවා දෙවිගේ පාලනය පිළිබඳව අනාගතවක්තෘ දානියෙල් යම් දර්ශනයක් දැක්කා. ඔහු එය මෙසේ වාර්තා කරනවා. “මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තැබුවේය. පුරාතන තැනැත්තා එතැන හිඳගත්තේය. . . . දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය. ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.” (දානියෙල් 7:9, 10NW) මින් පැහැදිලි වන්නේ “පුරාතන තැනැත්තා” වන යෙහෝවා දෙවි සිතාගත නොහැකි තරම් කාලයක සිට මහත් දේවදූත කණ්ඩායමක් පාලනය කරමින් සිටි බවයි. එමෙන්ම ඔවුන්ද දෙවිගේ කැමැත්ත කරමින් ඔහුගේ “සේවකයන්” ලෙස කටයුතු කරමින් සිටියා.—ගීතාවලිය 103:20, 21NW.

3. යෙහෝවා දෙවි විශ්වයේ පාලකයා කියා කිව හැක්කේ ඇයි?

3 පෘථිවිය ඇතුළු මුළු විශ්වය මැවූ පසු ඒ සියල්ලේද පාලකයා බවට දෙවි පත් වුණා. (යෝබ් 38:4, 7) අහසේ තිබෙන ග්‍රහ වස්තූන් වෙනස් නොවී පිළිවෙළකට ක්‍රියාත්මක වන ආකාරය ගැන සිතද්දී කෙනෙකුට සිතෙන්න පුළුවන් මේවා පාලනය කිරීමට කවුරුත් අවශ්‍ය නැහැ කියා. නමුත් ගීතිකාකරු පැවසූ දේ බලන්න. “[යෙහෝවා දෙවි] අණ දුන් විට ඒවා මවන ලදි. ඔහු ඒවා සදාකාලයෙන් සදාකාලයට පවතින්න සැලැස්සුවේය. ඔහු දුන් නියෝගය කිසිදා පහ නොවන්නේය.” (ගීතාවලිය 148:5, 6NW) යෙහෝවා දෙවි, දේවදූතයන්ව මැවූ දා පටන් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම දෙමින් ඔවුන්ව පාලනය කර තිබෙන අතර විශ්වය මවා භෞතික නීති මාර්ගයෙන් එයද පාලනය කර තිබෙනවා.—නෙහෙමියා 9:6.

4. යෙහෝවා දෙවි මනුෂ්‍යයන්ව පාලනය කරන්නේ කෙසේද?

4 යෙහෝවා දෙවි පළමු මිනිස් යුවළ මැවූ පසු ඔහුගේ පාලනයේ තවත් සුවිශේෂි පැත්තක් දකින්න තිබුණා. ඔවුන්ගේ ජීවිතය සතුටින් ගත කරන්න අවශ්‍ය හැම දෙයක්ම ලබා දෙනවාට අමතරව සතුන්ව පාලනය කිරීමේ අයිතියත් දෙවි ඔවුන්ට පැවරුවා. එය යම් ආකාරයකින් තමන් සතු අධිකාරිය ඔවුන් සමඟ බෙදාගත්තා හා සමානයි. (උත්පත්ති 1:26-28; 2:8, 9) ඉන් පැහැදිලි වෙන්නේ දෙවිගේ පාලනය කාරුණික එකක් පමණක් නොව නමුත් තමන් යටතේ සිටින්නන්ට වගකීම් පැවරීමෙන් ඔහු ඔවුන්ව ගෞරවයටත් පත් කරන බවයි. ආදම් සහ ඒව දෙවිගේ පාලනයට කීකරු වුණා නම් ඔවුන්ට සදහටම පාරාදීස පොළොවක ජීවත් වීමේ ප්‍රස්තාව තිබුණා.—උත්පත්ති 2:15-17.

5. යෙහෝවා දෙවි තම පාලනය හොබවන ආකාරය සම්බන්ධයෙන් අපට කිව හැක්කේ කුමක්ද?

5 ඉහත කී සියල්ලෙන් තහවුරු වෙන්නේ මොනවාද? පළමුව යෙහෝවා දෙවි තම මැවිලි කෙරෙහි සැමවිටම පාලකයාව සිටි බව. දෙවනුව ඔහු කාරුණික මෙන්ම තමන් යටතේ සිටින අයව ගෞරවයට පත් කරන දෙවි කෙනෙක් බව. තුන්වනුව දෙවිට කීකරු වෙමින් ඔහුගේ පාලනයට සහයෝගය දෙනවා නම් අපි සදහටම ආශීර්වාද භුක්ති විඳිනවා යන කාරණය. පුරාණ ඊශ්‍රායෙලයේ දාවිත් රජ පවා මෙවැනි දෙයක් කීමට පෙලඹීම පුදුමයක් නොවෙයි. “යෙහෝවා දෙවියනි, ඔබ ශ්‍රේෂ්ඨයි. බලවත්, අති උත්කෘෂ්ට වූ දෙවි ඔබයි. සියලුම ගෞරවය හිමි විය යුත්තේ ඔබටයි. අහසේ හා පොළොවේ ඇති සියල්ල ඔබට අයිතියි. යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි. සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.”—1 ලේකම් 29:11NW.

දේවරාජ්‍යයක් අවශ්‍ය ඇයි?

6. දේවරාජ්‍යය හා දෙවිගේ පාලනය අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

6 යෙහෝවා දෙවි එදා පටන්ම තම බලය යොදාගෙන විශ්වය පාලනය කළා නම් දේවරාජ්‍යයක් පිහිටුවන්න අවශ්‍ය වුණේ ඇයි? සාමාන්‍යයෙන් ඕනෑම පාලකයෙක් යටත්වැසියන් වෙනුවෙන් තම පාලනය ගෙන යන්නේ ආණ්ඩුවක් හරහායි. ඒ හා සමානව දෙවිද මනුෂ්‍යයන් කෙරෙහි සිය පාලනය ක්‍රියාත්මක කරන්නේ දේවරාජ්‍යය මාර්ගයෙනුයි.

7. දේවරාජ්‍යයක් පිහිටුවීමට දෙවි තීරණය කළේ ඇයි?

7 අපි මෙතෙක් දුරට සාකච්ඡා කළ දේවලින් දැනගත්තේ තම අරමුණ ක්‍රියාත්මක කිරීමට දෙවි තම පාලනය කැමති ආකාරයෙන් හසුරුවන බවයි. ඔහු දේවරාජ්‍යය පිහිටුවීමට පියවර ගත්තේ සාතන්ගේ කැරැල්ලට පිළිතුරක් ලෙසයි. තහනම් කළ ගසේ පල කෑවොත් ‘ඔබ කොහොමටවත් මැරෙන්නේ නැහැ’ කියා සාතන් ඒවට කිව්වා. එයින් සාතන් පෙන්වන්න උත්සාහ කළේ යෙහෝවා දෙවි බොරු කියන අවිශ්වාසවන්ත කෙනෙක් බවයි. සාතන් තවදුරටත් ඒවට මෙසේද පැවසුවා. ‘ඔබ එයින් කන දවසේම ඔබේ ඇස් ඇරී ඔබ යහපත සහ අයහපත දැනගෙන දෙවිට සමාන වන බව දෙවි දන්නවා.’ සාතන් නොකියා කිව්වේ ආදම් සහ ඒව දෙවිට පිටුපා ඔහුගෙන් ස්වාධීනව කටයුතු කළොත් ඔවුන්ට වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියායි. (උත්පත්ති 3:1-6NW) එසේ කිරීමෙන් පාලනය කරන්න දෙවිට අයිතියක් තියෙනවාද යන ප්‍රශ්නය ඔහු මතු කළා. දෙවි එයට කෙසේ ප්‍රතිචාරය දක්වයිද?

8, 9. (අ) යම් රජෙකුගේ රාජධානියක කැරැල්ලක් ඇති වුණොත් ඔහු ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) ඒදන් උයනේ ඇති වුණු කැරැල්ලේදී දෙවි කටයුතු කළේ කෙසේද?

8 යම් රජෙකුට විරුද්ධව ඔහුගේ රාජධානිය තුළ කැරලිගැසීමක් සිදු වුවහොත් ඔහු කුමක් කරයිද? මෙවැනි සිද්ධීන් ඉතිහාසය තුළ සිදු වී ඇති බව ඔබේ මතකයට නැඟිය හැකියි. කාරුණික පාලකයෙක් වුවත් මෙවැනි අවස්ථාවක ඇස් කන් පියාගෙන සිටින්නේ නැහැ. ඔහු වහාම කැරලිගැසූ අය වරදකරුවන් බව ප්‍රකාශ කිරීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ සඳහා ඔහු යම් කෙනෙකුව පත් කර තම රාජධානියේ සාමය ඇති කිරීමටත්, කැරලිකරුවන්ව නිහඬ කිරීමටත් කටයුතු කරයි. ඒ හා සමානව යෙහෝවා දෙවිද තම පාලනයට විරුද්ධව කැරලිගැසූ අයට ලැබිය යුතු දඬුවම ගැන පැවසීමෙන් පෙන්වූයේ ඔහු ඒ ගැන ඉතා විමසිල්ලෙන් සිටි බවයි. ආදම් සහ ඒව සදාකාල ජීවනය ලබන්න සුදුසු නැහැ කියා දෙවි පැවසුවා. ඒ නිසා ඔහු ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කළා.—උත්පත්ති 3:16-19, 22-24.

9 යෙහෝවා දෙවි සාතන්ට විනිශ්චය ප්‍රකාශ කළ අවස්ථාවේදී සියල්ල මුලින් තිබූ ආකාරයටම පත් කිරීම සඳහා ඔහු කරන දේ ගැන හෙළි කළා. ඔහු සාතන්ට පැවසුවේ මෙයයි. “ඔබ සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15NW) මෙලෙස තම අරමුණ වන්නේ යම් ‘තැනැත්තෙක්’ මාර්ගයෙන් සාතන්වත් ඔහුගේ පිරිසවත් නැති කර තම පාලනය සුදුසුම පාලනය කියා තහවුරු කිරීම බව දෙවි හෙළි කළා.—ගීතාවලිය 2:7-9; 110:1, 2.

10. (අ) පැමිණීමට නියමිතව සිටි “තැනැත්තා” වූයේ කවුද? (ආ) උත්පත්ති 3:15හි ඇති මුල් අනාවැකිය සම්බන්ධයෙන් පාවුල් පැවසුවේ කුමක්ද?

10 එම “තැනැත්තා” යේසුස් ක්‍රිස්තුස් වූ අතර ඔහු සමඟ හවුල් පාලකයන් කණ්ඩායමක්ද සිටිනවා. යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කිරීම සඳහා හඳුන්වා දුන් දේවරාජ්‍යය සකස් වී තිබෙන්නේ ඔවුන්ගෙනුයි. (දානියෙල් 7:13, 14, 27; මතෙව් 19:28; ලූක් 12:32; 22:28-30) මේ සියලුම කාරණා යෙහෝවා දෙවි එක විගස හෙළි කළේ නැහැ. උත්පත්ති 3:15හි දෙවි පැවසූ එම අනාවැකිය ඉටු වෙන ආකාරය ‘දිගු කාලයක් පුරා නිහඬව තිබුණු පරිශුද්ධ රහසක්ව’ පැවතුණා. (රෝම 16:25) සියවස් ගණනාවක් පුරා ඇදහිලිවන්තයන් “පරිශුද්ධ රහස” හෙළි වෙන තුරු බලාගෙන සිටියා. එමෙන්ම එම මුල් අනාවැකිය ඉටුවීම මාර්ගයෙන් විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි බව තහවුරු වනතෙක්ද ඔවුන් බලා සිටියා.—රෝම 8:19-21.

“පරිශුද්ධ රහස” ක්‍රමානුකූලව හෙළි වෙයි

11. යෙහෝවා දෙවි ආබ්‍රහම්ට හෙළි කළේ කුමක්ද?

11 කල් යත්ම ‘තම රාජ්‍යයේ පරිශුද්ධ රහසට’ අයත් දේවල් යෙහෝවා දෙවි ක්‍රම ක්‍රමයෙන් හෙළි කළා. (මාක් 4:11) උදාහරණයකට තම “මිත්‍රයා” ලෙස හැඳින්වූ ආබ්‍රහම්ට දෙවි ඒ සම්බන්ධයෙන් යම් දේවල් දැනුම් දුන්නා. (යාකොබ් 2:23) ආබ්‍රහම්ගෙන් “මහත් ජාතියක්” බිහි කරන බවට දෙවි පොරොන්දු වුණා. පසුව, දෙවි මෙසේද පැවසුවා. ‘ඔබගෙන් රජවරුන් බිහි වෙනවා.’ ඒ වගේම ‘ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබාගන්නවා.’—උත්පත්ති 12:2, 3; 17:6; 22:17, 18NW.

12. ජලගැල්මෙන් පසු සාතන්ගෙන් පැවත එන්නන් පෙනී සිටියේ කෙසේද?

12 ආබ්‍රහම්ගේ කාලයේදීත් මිනිස් පාලකයන් අන් අයව පාලනය කිරීමට තැත් කරමින් සිටියා. උදාහරණයකට, නෝවාගෙන් පැවතෙන්නෙක් වූ නිම්රොද් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පොළොවේ බලවන්තයෙකු වූ මුල්ම තැනැත්තා මොහුය. යෙහෝවා දෙවිට එරෙහිව නැඟී සිටි ඔහු, බලවත් දඩයක්කාරයෙකු විය.” (උත්පත්ති 10:8, 9NW) නිම්රොද් සහ පාලකයන් ලෙස නැඟී සිටි වෙනත් අය සාතන්ගේ ඉත්තන් වූ බව පැහැදිලියි. ඔවුන් හා ඔවුන්ගේ පැත්ත ගත් සියලුදෙනාම සාතන්ගෙන් පැවත ආ අය කියා පැවසිය හැකියි.—1 යොහන් 5:19.

13. යාකොබ් මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසුවේ කුමක්ද?

13 සාතන් මිනිස් පාලකයන්ව බිහි කරමින් සිටින අතරතුර යෙහෝවා දෙවි තම අරමුණ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ආබ්‍රහම්ගේ මුනුබුරා වූ යාකොබ්ට දෙවි මෙවැන්නක් හෙළි කළා. “ෂීලෝ පැමිණෙන තෙක් යූදා වෙතින් රාජ යෂ්ටිය අහක් වන්නේවත් පාලකයාගේ සැරයටිය ඔහුගේ පාද අතරින් අහක් වන්නේවත් නැත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.” (උත්පත්ති 49:10NW) “ෂීලෝ” යන වචනය යොදාගෙන තිබෙන්නේ “පාලනය කිරීම සඳහා නියම අයිතිය ඇති තැනැත්තාව” විස්තර කිරීමටයි. ඔහුට “රාජ යෂ්ටිය” සහ “පාලකයාගේ සැරයටිය” දීමෙන් පෙනී යන්නේ ඔහුට “ජාතීන්” නැතහොත් සියලුම මිනිසුන්ව පාලනය කිරීමට අයිතිය තිබෙන බවයි. මේ අනුව පාලනය ලබාගැනීමට අයිතිය ඇති කෙනෙක් ඉදිරියේදී පැමිණෙන බව පැහැදිලියි. ඔහු කවුද?

“ෂීලෝ පැමිණෙන තෙක්”

14. යෙහෝවා දෙවි දාවිත්ට දුන් පොරොන්දුව කුමක්ද?

14 යූදා ගෝත්‍රයෙන් පැමිණි අය අතරින් දෙවි මුලින්ම රජකමට තෝරාගත්තේ යෙස්සේගේ පුතා වූ දාවිත්වයි. ඔහු එඬේරෙක්. * (1 සාමුවෙල් 16:1-13) දාවිත් අතින් වැරදි සිදු වුණත් දෙවිගේ පාලනයට පක්ෂව සිටි නිසයි දෙවි ඔහුව තෝරාගත්තේ. ඒදන් උයනේදී ප්‍රකාශ කළ අනාවැකියට අයත් වූ තවත් දේවල් හෙළි කරමින් දෙවි දාවිත්ට පොරොන්දුවක් දුන්නා. ‘ඔබෙන් පසු ඔබෙන්ම පැවතෙන ඔබේ වංශයේ කෙනෙකුට රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.’ මෙහිදී කතා කරන්නේ දාවිත්ගෙන් පසු පාලනය හිමි ඔහුගේ පුතා වන සලමොන් ගැන නොවෙයි. මන්ද ඔහුගේ පාලනය සදහටම පැවතුණේ නැහැ. එමනිසා ඉන් හෙළි වුණේ දේවරාජ්‍යය පාලනය කරන “තැනැත්තා” නියමිත කාලයේදී දාවිත්ගේ පෙළපතෙන් පැමිණෙන බවයි.—2 සාමුවෙල් 7:12, 13NW.

15. යූදා රාජ්‍යයේ පාලනය දේවරාජ්‍යය සංකේතවත් කළ බව කිව හැක්කේ කෙසේද?

15 දාවිත්ගේ පෙළපතෙන් රාජකීය පරම්පරාවක්ම බිහි වුණා. ඔවුන්ව උත්තම පූජකයා විසින් ශුද්ධ තෛලයෙන් අභිෂේක කරනු ලැබුවා. එමනිසා මෙම රජවරුන්ව අභිෂේක ලත් අය ලෙස හඳුන්වන්න පුළුවන්. (1 සාමුවෙල් 16:13; 2 සාමුවෙල් 2:4; 5:3; 1 රාජාවලිය 1:39) මොවුන් දෙවිගේ සිංහාසනයේ වාඩි වී යෙරුසලම පාලනය කළ බව පැවසෙනවා. (2 ලේකම් 9:8) එමනිසා යූදා රාජ්‍යය දේවරාජ්‍යයේ පාලනය නියෝජනය කළා කිව හැකියි. එයින් පිළිබිඹු වුණේ යෙහෝවා දෙවිගේ පාලනයයි.

16. යූදා රජවරුන්ගේ පාලනයේ ප්‍රතිඵල මොනවාද?

16 රජ සහ සෙනඟ යෙහෝවා දෙවිගේ පාලනයට යටත් වූ විට ඔවුන් ඔහුගේ ආරක්ෂාවත් ආශීර්වාදත් භුක්ති වින්දා. උදාහරණයකට සලමොන් පාලනය කළ කාලයේ ඊශ්‍රායෙල් දේශයේ පුදුමාකාර සාමයක් හා සෞභාග්‍යයක් තිබුණා. එයින් පිළිබිඹු වුණේ දේවරාජ්‍යය මගින් යෙහෝවා දෙවිගේ පාලන අයිතිය තහවුරු කර, සාතන්ගේ බලපෑම් මුළුමනින්ම තුරන් කළ පසු ඇති වන තත්වයයි. (1 රාජාවලිය 4:20, 25) කෙසේවෙතත් දාවිත්ගේ පෙළපතින් බිහි වූ බොහෝ රජවරුන් දෙවිට පිටුපාමින් රූප වන්දනාවේ හා දුරාචාරයේ නියැලීම කනගාටුවට කරුණක්. ඒ නිසා දෙවි තීරණය කළා ක්‍රිස්තු පූර්ව 607දී යූදා රාජ්‍යය බැබිලෝනිය අතට පත්වීමට සලස්වන්න. සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් යෙහෝවා දෙවිගේ පාලනයට නිග්‍රහ කිරීමට සාතන් දැරූ වෑයම සාර්ථක වුණා කියා.

17. යූදා රාජ්‍යය අවසන් වුණත් දෙවි තම පාලනය ක්‍රියාත්මක කරමින් සිටි බව පෙනී යන්නේ කුමකින්ද?

17 යූදා රාජ්‍යයේ පාලනයේ අවසානය හා ඊට කලින් ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ අවසානය මගින් ඔප්පු වුණේ යෙහෝවා දෙවිට සාර්ථක ලෙස පාලනය කළ නොහැකි බවද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට, එයින් ඔප්පු වුණේ මිනිසුන් සාතන්ගේ බලපෑමට හසුවීම නිසාත්, දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීම නිසාත් අමිහිරි ප්‍රතිඵල අද්දැක්ක බවයි. (හිතෝපදේශ 16:25; යෙරෙමියා 10:23) කොහොමවුණත් දෙවි තම පාලනය ක්‍රියාත්මක කරමින් සිටි බව ඔහු එසකියෙල්ට පැවසූ මෙම වදන්වලින් පැහැදිලි වෙනවා. ‘හිස් වැස්ම ගලවා දමන්න. ඔටුන්න ඉවත් කරන්න. විනාශයක්! විනාශයක්! මම මහත් විනාශයක් සිදු කරන්නෙමි. නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක් ඔටුන්න කිසිවෙකුට හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.’ (එසකියෙල් 21:26, 27NW) ඉන් පැහැදිලි වුණේ “නීත්‍යනුකූල අයිතිය” තිබූ “තැනැත්තා” අනාගතයේදී පැමිණීමට නියමිතව සිටි බවයි.

18. ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට පැවසුවේ කුමක්ද?

18 දැන් අපි එතැන් සිට වසර 600කට පසු එනම් ක්‍රි.පූ. 2දී පමණ සිදු වූ දෙයකට අවධානය යොමු කරමු. ගලීලයේ නාසරෙත් නුවර සිටි කන්‍යාවක් වූ මරියා වෙතට ගාබ්‍රියෙල් දේවදූතයාව දෙවි එව්වා. ඔහු මෙසේ පැවසුවා. “බලන්න! ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නෙහිය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.”—ලූක් 1:31-33.

19. කාලය ළඟා වී තිබුණේ ප්‍රීතිය ගෙන දෙන කුමන සිදුවීම් ඉටුවීමටද?

19 “පරිශුද්ධ රහස” හෙළි කිරීමේ කාලය ළඟා වුණා. දෙවි එවන බවට පොරොන්දු වූ ප්‍රධාන “තැනැත්තා” පැමිණීමට කාලය උදා වෙලා! (ගලාති 4:4; 1 තිමෝති 3:16) සාතන් ඔහුගේ විලුඹ පොඩි කරයි. නමුත් ඒ “තැනැත්තා” සාතන්ගේ හිස පොඩි කර ඔහුගේ පිරිසත් විනාශ කර දමයි. එමෙන්ම සාතන් සිදු කර තිබෙන හානිය දේවරාජ්‍යය මාර්ගයෙන් නැති කර විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි බව ඔහු ප්‍රකාශ කරයි. (හෙබ්‍රෙව් 2:14; 1 යොහන් 3:8) යේසුස් මෙය කරන්නේ කෙසේද? ඔහු තැබුවේ මොන වගේ ආදර්ශයක්ද? පිළිතුරු ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 14 ඡේ. ඊශ්‍රායෙල්හි පාලනය සඳහා දෙවි තෝරාගත් මුල්ම රජ වූ සාවුල් බෙන්ජමින් ගෝත්‍රයේ කෙනෙක්.—1 සාමුවෙල් 9:15, 16; 10:1.

ඔබට පැහැදිලි කළ හැකිද?

• විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා දෙවි වීමට හේතුව කුමක්ද?

• දේවරාජ්‍යය පිහිටුවන්න දෙවි අරමුණු කළේ ඇයි?

• යෙහෝවා දෙවි “පරිශුද්ධ රහස” ක්‍රමානුකූලව හෙළි කළේ කෙසේද?

• යූදා රාජ්‍යය අවසන් වුණත් යෙහෝවා දෙවි පාලකයාව සිටි බව පෙනී යන්නේ කුමකින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවි ආබ්‍රහම්ට හෙළි කළේ කුමක්ද?

[25වන පිටුවේ පින්තූරය]

යූදා රාජ්‍යයේ පාලනය අවසන් වීමෙන් ඔප්පු වුණේ දෙවිගේ පාලනය අසාර්ථක වූ බව නොවේ