Skip to content

පටුනට යන්න

යේසුස් ළඟ බයිබලයක් තිබුණාද?

යේසුස් ළඟ බයිබලයක් තිබුණාද?

යේසුස් ළඟ බයිබලයක් තිබුණාද?

යේසුස් ළඟ බයිබලයක් තිබුණේ නැහැ. එයට හේතුව අද දින තිබෙන්නාක් මෙන් සම්පූර්ණයෙන්ම ලියා අවසන් කරන ලද බයිබලයක් ඒ කාලයේ නොතිබීමයි. කොහොමවුණත් අපි දැනටමත් දන්නා පරිදි බයිබලයේ කොටස් බවට පත් වී තිබෙන්නේ ඒ කාලයේ සිනගෝග ලෙස හැඳින්වූ ශාලාවල රැස් කර තිබුණ අකුළන ලියවිලියි. යේසුස් පවා එක අවස්ථාවක නාසරෙත්හි තිබූ සිනගෝගයට ගොස් යෙසායාගේ අකුළන ලියවිල්ල කියෙව්වා. (ලූක් 4:16, 17) වතාවක් පිසිදියේ පිහිටි අන්තියෝකියේදී ‘නීතියත්, අනාගතවාක්‍යත් ප්‍රසිද්ධියේ කියවනවා’ පුරාණයේ සිටි පාවුල්ද අසා සිටියා. (ක්‍රියා 13:14, 15) එමෙන්ම යාකොබ්ද පැවසුවේ “සෑම සබත් දවසකදීම” මෝසෙස්ගේ “ලියවිලි සිනගෝගවල හඬ නඟා” කියෙවූ බවයි.—ක්‍රියා 15:21.

මුල් සියවසේ සිටි අයට අකුළන ලියවිලිවල පෞද්ගලික පිටපත් තිබුණාද? එක අවස්ථාවක පුරාණයේ සිටි ක්‍රිස්තියානියෙක් වූ ෆිලිප්ට, ගාසා නම් නගරයේදී කන්දසී රැජින යටතේ සේවය කළ ඉතියෝපියානු නිලධාරියෙකුව මුණගැසුණා. ඒ අවස්ථාවේදී එම නිලධාරියා ‘තමාගේ අශ්ව රථයේ ඉඳගෙන’ ඔහු ළඟ තිබූ ‘අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල හඬ නඟා කියවමිනුයි’ සිටියේ. (ක්‍රියා 8:26-30) තවත් අවස්ථාවක පාවුල් ‘අකුළන ලියවිලි, විශේෂයෙන් සම් ලියවිලි’ ගෙන එන්න කියා තිමෝතිට පැවසුවා. (2 තිමෝති 4:13) නමුත් ඒ ලියවිලි මොනවාද කියා පාවුල් පැවසුවේ නැහැ. බොහෝවිට ඒවා බයිබලයට අයත් හෙබ්‍රෙව් ලියවිලි විය හැකියි.

යුදෙව් භාෂාවන් පිළිබඳ විශාරදයෙක් වූ ඇලන් මිලර්ඩ් මෙසේ පවසනවා. “බොහෝවිට අකුළන ලියවිලිවල පෞද්ගලික පිටපත් තිබුණේ පලස්තීන සමාජයේ ඉහළ තැනක සිටින අය, දැන උගත් අය, ඇතැම් පරිසිවරුන් හා නිකදේමුස් වැනි ගුරුවරුන් ළඟ පමණයි.” එයට හේතුව වුණේ ඒවා ලබාගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීමයි. මිලර්ඩ් පවසන ආකාරයට “යෙසායාගේ පිටපත පමණක් ලබාගැනීමට ඩිනාරි හයත් දහයත් අතර මුදලක් වැය වී තිබෙනවා.” සම්පූර්ණ හෙබ්‍රෙව් බයිබලයට “අකුළන ලියවිලි 15ත් 20ත් අතර ප්‍රමාණයක් ඇතුළත් වුණා.” එය ලබාගැනීම සඳහා සාමාන්‍ය පුද්ගලයෙකුගේ මාස හයක වැටුපක් වියදම් කරන්න සිදු වුණා.

යේසුස්ට හෝ ඔහුගේ ගෝලයන්ට එවැනි අකුළන ලියවිලිවල පෞද්ගලික පිටපත් තිබුණාද කියා බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වුණත් එම ලියවිලිවල සඳහන් වූ දේවල් ගැන යේසුස්ට හොඳ දැනුමක් තිබුණා. ඒ නිසයි ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලෙන් කරුණු ගෙනහැර දක්වන්න ඔහුට හැකි වුණේ. (මතෙව් 4:4, 7, 10; 19:4, 5) අද දින වැඩි වියදමක් නොදරා සම්පූර්ණ බයිබලයේ පිටපතක් අපිට පහසුවෙන්ම ලබාගන්න පුළුවන්. ඒ නිසා අපිත් එය පිළිබඳව මනා දැනුමක් ලබාගැනීමට පෙලඹිය යුතු නැද්ද?