Skip to content

පටුනට යන්න

හග්ගයි සහ සෙකරියා පොත්වල විශේෂාංග

හග්ගයි සහ සෙකරියා පොත්වල විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

හග්ගයි සහ සෙකරියා පොත්වල විශේෂාංග

වර්ෂය ක්‍රිස්තු පූර්ව 520. මේ වෙද්දී යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයෙන් ගැලවී තම මව් බිමට පැමිණ යෙරුසලමේ දේවමාලිගාව යළි ගොඩනැඟීම සඳහා අත්තිවාරම් දමා වසර 16ක් ගත වෙලා. ඒත් තවමත් එය ගොඩනඟා නැහැ. ගොඩනැඟීම තහනම් කරලා. මේ අතරතුර දෙවි තම පණිවුඩය ප්‍රකාශ කිරීමට හග්ගයිවත් සෙකරියාවත් අනාගතවක්තෲන් ලෙස තෝරාගන්නවා.

හග්ගයිව තෝරාගෙන මාස දෙකකට පසුවයි දෙවි සෙකරියාව අනාගතවක්තෘ කෙනෙක් ලෙස තෝරාගත්තේ. කෙසේවෙතත් හග්ගයිට සහ සෙකරියාට තිබුණේ එකම අරමුණක්. එය නම් දේවමාලිගාව නැවත ගොඩනැඟීම සඳහා සෙනඟව උනන්දු කිරීමයි. ඔවුන්ගේ වෑයම සාර්ථක වුණු අතර ඉන් වසර පහකට පසු දේවමාලිගාව ගොඩනඟා අවසන් කළා. බයිබලයේ අඩංගු හග්ගයි සහ සෙකරියා යන පොත් දෙකේ ඔවුන් ප්‍රකාශ කළ පණිවුඩය ඇතුළත් වී තිබෙනවා. හග්ගයි සිය පොත ලියා අවසන් කළේ ක්‍රි.පූ. 520 වන අතර සෙකරියා තම පොත ලියා අවසන් කළේ ක්‍රි.පූ. 518දීයි. ඒ අනාගතවක්තෲන් මෙන් අද අපිටත් යෙහෝවා දෙවිගෙන් විශේෂ පැවරුමක් ලැබී තිබෙනවා. එය රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයයි. මේ දුෂ්ට සමාජ ක්‍රමය අවසන් වීමට කලින් එම කාර්යය සම්පූර්ණ කිරීම අපේ වගකීමයි. එය ඉටු කිරීම සඳහා හග්ගයි මෙන්ම සෙකරියා පොත්වලින් අපිට ලබාගන්න පුළුවන් වන්නේ මොන වගේ දිරිගැන්වීමක්ද කියා අපි සොයා බලමු.

“ජනයෙනි ඔබ කරන දේ ගැන හොඳින් සිතා බලන්න”

(හග්ගයි 1:1–2:23)

යෙහෝවා දෙවි හග්ගයි මාර්ගයෙන් දවස් 112ක් තුළ පියවර ගැනීමට සෙනඟව පොලඹවන ආකාරයේ පණිවුඩ හතරක් ඉදිරිපත් කළා. ඉන් පළමුවැන්න වුණේ මෙයයි. “ජනයෙනි, ඔබ කරන දේ ගැන හොඳින් සිතා බලන්න. ‘කඳුකරයට ගොස් ගස් කපාගෙන ඇවිත්, මාව සතුටටත් ගෞරවයටත් පත් කිරීම සඳහා මේ ගෘහය ගොඩනඟන්න. එසේ කිරීමෙන් මාව සතුටට හා ගෞරවයට පත් කරන්න.’ මෙසේ පවසන්නේ යෙහෝවා දෙවිය.” (හග්ගයි 1:7, 8, නව ලොව පරිවර්තනය, NW) සෙනඟ ඊට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. දෙවෙනි පණිවුඩයට යම් පොරොන්දුවක්ද ඇතුළත්. දෙවි පවසන්නේ “ඒ කාලයේදී මෙම ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි” කියලයි.—හග්ගයි 2:7NW.

තුන්වෙනි පණිවුඩයට අනුව, සෙනඟ දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ කටයුතු අතපසු කරයි. ඒ නිසා ‘ඔවුන් කරන සියල්ල’ දෙවි ඉදිරියේ අපවිත්‍ර වෙයි. නමුත් ඔවුන් දේවමාලිගාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමත් සමඟම දෙවි ඔවුන්ට ‘ආශීර්වාද කරනවා.’ හතරවෙනි පණිවුඩයට අනුව යෙහෝවා දෙවි ‘ජාතීන්ගේ බලය සුනු විසුනු කර දමා’ සෙරුබාබෙල්ව “මුද්‍රා තබන මුද්දක්” ලෙස පත් කරනවා.—හග්ගයි 2:14, 19, 22, 23NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

2:6, 7, 21, 22—සොලවනු ලැබීම සිදු කරන්නේ කවුද? ඒ සමඟම සිදු වන්නේ කුමක්ද? රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයෙන් යෙහෝවා දෙවි ‘සියලු ජාතීන්ව සොලවනු ලබනවා.’ ශුභාරංචිය දේශනා කිරීම නිසා ‘ජාතීන්ගේ සම්පතද රැස් කර’ තිබෙන අතර ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ ගෘහය තේජසින් පිරී ඉතිරී යනවා. ඉදිරියේදී ‘ස්වර්ගීය සේනාවල අධිපති වන යෙහෝවා දෙවි අහස සහ පොළොවත් මුහුද සහ ගොඩබිමත් නැවත වරක් සොලවනවා.’ ඉන් අදහස් වන්නේ දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන බවයි.—හෙබ්‍රෙව් 12:26, 27.

2:9—“අලුත් ගෘහයේ තේජස කලින් තිබුණු ගෘහයේ තේජස අබිබවා” ගියේ කෙසේද? අඩුම තරමින් ඊට බලපෑ හේතු තුනක්වත් තිබෙනවා. පළමු කරුණ නම් දේවමාලිගාව කොපමණ කාලයක් පුරා පැවතුණාද යන්නයි. සාලමොන් රජ ඉදි කළ දේවමාලිගාව ක්‍රි.පූ. 1027 සිට ක්‍රි.පූ. 607 දක්වා වසර 420ක් පුරා පැවතුණා. නමුත් ‘අලුත් ගෘහය’ ක්‍රි.පූ. 515 සිට ක්‍රි.ව. 70දී එය විනාශ වෙන තුරු වසර 580ක් පුරා පැවතුණා. දෙවෙනි කරුණ නම් යේසුස් ක්‍රිස්තුස් පවා ඉගැන්වීම සඳහා ‘අලුත් ගෘහයට’ පැමිණීමයි. තුන්වෙනි කරුණ වන්නේ ‘කලින් තිබුණු’ ගෘහයේ රැස් වූවාට වඩා වැඩි සෙනඟක් දෙවිට නමස්කාර කිරීම සඳහා අලුත් ගෘහයේ රැස්වීමයි.—ක්‍රියා 2:1-11.

අපට ගත හැකි පාඩම්

1:2-4. දේශනා සේවයේදී අපිට පීඩාවලට මුහුණ දෙන්න සිදු වූ පමණින් ‘පළමුකොට රාජ්‍යය සෙවීම’ අමතක කර දමා, අපේ ඕනෑ එපාකම් ඉටු කරගැනීම වෙත අවධානය දීම කොහෙත්ම සුදුසු නැහැ.—මතෙව් 6:33.

1:5, 7NW.  අපි ‘කරන දේ ගැන හොඳින් සිතා බැලීම’ ඉතා වැදගත්. එසේ කිරීමෙන් දෙවි සමඟ ඇති අපේ සබඳතාවට අපි කරන දේවල් බලපාන්නේ කෙසේද කියා සෝදිසි කර බලන්න පුළුවන්.

1:6, 9-11; 2:14-17. හග්ගයිගේ කාලයේ සිටි යුදෙව්වන් දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීමේ වැඩ කටයුතු අත්හැර දැමූ නිසා ඔවුන්ට දෙවිගේ ආශීර්වාදය ලැබුණේ නැහැ. ඔවුන් කොපමණ වෙහෙස වී තමන්ටම දේවල් රැස් කරගැනීමට උත්සාහ කළත් ඔවුන්ට ඉන් කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. එසේනම් අපි මූලිකත්වය දිය යුත්තේ දෙවිව ප්‍රසන්න වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නියැලෙන්නයි. ආර්ථික අග හිඟකම් තිබුණත් නැතත් යෙහෝවා දෙවිට මුළු සිතින්ම සේවය කිරීමෙන් ලැබෙන ‘ඔහුගේ ආශීර්වාදය සැබෑ වස්තුවක්’ බව අපි මතක තබාගනිමු.—හිතෝපදේශ 10:22NW.

2:15, 18. යෙහෝවා දෙවි යුදෙව්වන්ට පැවසුවේ දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩ අත්හැර දැමූ කාලය අමතක කර දමා නැවත ගොඩනැඟීමේ කාර්යයට අවධානය දෙන්න කියායි. අපිත් දෙවිට නමස්කාර කරද්දී එම උපදෙස සිතට ගෙන නිතරම ඉදිරිය බලා වැඩ කරමු.

‘ඔබේ ශක්තියෙන් නොව මගේ බලයෙනි’

(සෙකරියා 1:1–14:21)

සෙකරියා අනාගතවක්තෘවරයෙක් ලෙස සිය පැවරුම ආරම්භ කරන්නේ ‘යෙහෝවා දෙවි වෙතට හැරෙන්න’ කියා යුදෙව්වන්ට ඇරයුම් කරමිනුයි. (සෙකරියා 1:3NW) ඔහු දකින දර්ශන අටෙන් පැහැදිලි වෙන්නේ දේවමාලිගාව යළි ගොඩනැඟීමේ කාර්යයට දෙවිගේ අනුග්‍රහය ලැබෙන බවයි. (“සෙකරියා දුටු සංකේතාත්මක දර්ශන අට” නමැති කොටුව බලන්න.) මේ කාර්යය සම්පූර්ණ වෙන්නේ ‘හමුදා බලයෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි.’ නමුත් ‘යෙහෝවා දෙවිගේ බලයෙන්.’ (සෙකරියා 4:6NW) පැළෑටිය ලෙස හඳුන්වනු ලබන තැනැත්තා ‘යෙහෝවා දෙවිගේ ගෘහය නැවත ගොඩනඟා’ ‘පූජකයෙක් ලෙස සිංහාසනය මත වාඩි වෙනවා.’—සෙකරියා 6:12, 13NW.

යෙරුසලමේ විනාශය සිහි කිරීම සඳහා තවදුරටත් නිරාහාරව සිටිය යුතුද නැද්ද කියා විමසීමට බෙතෙල් නගරයෙන් නියෝජිතයන් කිහිපදෙනෙකුව පූජකයන් වෙත යවනු ලැබුවා. යෙහෝවා දෙවි සෙකරියාට පැවසුවේ යෙරුසලමේ විනාශය වෙනුවෙන් නිරාහාරව සිටි කාලය තමා විසින් “මංගල්‍යය දවස්” හා ‘ප්‍රීතිවීමේ අවස්ථාවකට’ හරවන බවයි. (සෙකරියා 7:2; 8:19NW) ඊළඟට දෙවි ඉතා වැදගත් පණිවුඩ දෙකක් ප්‍රකාශ කරනවා. ජාතීන් හා බොරු අනාගතවක්තෲන් පිට පැමිණෙන විනිශ්චය ගැනත්, ගැලවුම්කරු ගැන අනාවැකි හා දෙවිගේ සෙනඟ යළිත් සැබෑ නමස්කාරයේ හවුල් වෙන බවත් එම පණිවුඩ දෙකට ඇතුළත් වුණා.—සෙකරියා 9:1; 12:1NW.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර

2:1—මිනිසෙක් ලණුවකින් යෙරුසලම මැනීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? මෙයින් අදහස් කරන්නේ නගරය වටා ආරක්ෂිත තාප්පයක් ඉදි කෙරෙන බවයි. එය සුවිසල් දේශයක් වෙන බවත් දෙවිගේ ආරක්ෂාව ඊට ලැබෙන බවත් දේවදූතයෙක් ඒ මිනිසාට පැවසුවා.—සෙකරියා 2:3-5.

6:11-13—උත්තම පූජකයා වූ යොෂුවාට ඔටුනු පැළඳවීමෙන් අදහස් කළේ ඔහු රජෙක් බවද? නැහැ. ඊට හේතුව යොෂුවා පැමිණියේ දාවිත්ගේ රාජකීය පෙළපතින් නොවීමයි. නමුත් ඔහුට ඔටුනු පැළඳවීම යම් ආකාරයකින් යේසුස්ට යොමු දැක්වෙනවා. (හෙබ්‍රෙව් 6:20) “පැළෑටිය” සම්බන්ධයෙන් දෙන ලද අනාවැකිය ඉටු වන්නේ ස්වර්ගයේ රජෙක් හා පූජකයෙක් ලෙස කටයුතු කරන යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙනුයි. (යෙරෙමියා 23:5) එදා යුදෙව්වන් වෙනුවෙන් යොෂුවා නැවත ගොඩනැඟූ දේවමාලිගාවේ උත්තම පූජකයෙක් ලෙස සේවය කළා. ඒ හා සමානව යේසුස් ක්‍රිස්තුස්, දෙවිගේ සංකේතාත්මක දේවමාලිගාවේ සැබෑ නමස්කාරයට සම්බන්ධ උත්තම පූජකයා ලෙස කටයුතු කරනවා.

8:1-23—යෙහෝවා දෙවිගේ ප්‍රකාශයන් දහය ඉටු වුණේ කවදාද? මේ සෑම ප්‍රකාශයක්ම ආරම්භ වෙන්නේ “ස්වර්ගීය සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ කීවේය” කියා සඳහන් කිරීමෙනුයි. ඊට තම සෙනඟ සමාදානයෙන් විසීමට යන බවට වූ පොරොන්දුවද ඇතුළත්. මෙයින් සමහර ප්‍රකාශයන් ක්‍රි.පූ. 6වන සියවසේදී ඉටු වුණා. නමුත් එහි සඳහන් සෑම ප්‍රකාශයක්ම ඉටු වෙන්නේ ක්‍රි.ව. 1919 සිට වන අතර සමහර ඒවා දැන් පවා ඉටු වෙනවා. *

8:3NW—යෙරුසලම “සැබෑකමේ නුවර” කියා හඳුන්වන්නේ ඇයි? යෙරුසලම ක්‍රි.පූ. 607දී විනාශ වීමට කලින් එය හැඳින්වූයේ ‘කැරලිකාර දූෂ්‍ය නගරයක්’ ලෙසයි. ඊට හේතුව නම් දෙවිගේ අප්‍රසාදයට ලක් වූ පූජකයන්, අනාගතවක්තෲන් හා අකීකරු මිනිසුන් එහි විසීමයි. (ශෙපනියා 3:1; යෙරෙමියා 6:13; 7:29-34) නමුත් නැවත ගොඩනැඟූ දේවමාලිගාවේ යළිත් දෙවිට නමස්කාර කිරීම ඇරඹුණා. එමෙන්ම සෙනඟ සැබෑ නමස්කාරයට සම්බන්ධ සත්‍යතාවන් ගැන කතා කළා. ඒ නිසා එය “සැබෑකමේ නුවර” කියා හැඳින්නුවා.

11:7-14NW—“ප්‍රසාදය” හා “එකමුතුකම” නමැති සැරයටි සෙකරියා විසින් කඩා දැමීමෙන් අදහස් කළේ කුමක්ද? සෙකරියාව සමාන කර තිබෙන්නේ “මරණයට නියම වූ බැටළු රැළක්” හා සමාන පීඩා විඳින ජාතියක්ව බලාගන්නා එඬේරෙකුටයි. ඒ හා සමාන කාර්යයක් යේසුස් ක්‍රිස්තුස්ද කළා. නමුත් දෙවි තම තෝරාගත් සෙනඟ වෙතට යේසුස්ව යැව්වත් ඔවුන් ඔහුව පිළිගත්තේ නැහැ. “ප්‍රසාදය” නමැති සැරයටිය කැඩීමෙන් පෙන්නුම් කළේ නීතිය මාර්ගයෙන් දෙවි යුදෙව්වන් සමඟ ඇති කරගත් ගිවිසුම අවලංගු කරන බවයි. ඒ නිසා ඔවුන්ට දෙවිගේ ප්‍රසාදය අහිමි වුණා. “එකමුතුකම” නමැති සැරයටිය කැඩීමෙන් අදහස් කළේ දෙවිට නමස්කාර කිරීම නිසා යූදා හා ඊශ්‍රායෙල් අතර තිබෙන සහෝදරත්වයෙන් යුත් බැඳීම බිඳ දමන බවයි.

12:11NW—“මෙගිද්දෝ නිම්නයේ පිහිටි හදද්රිම්මොන්හි ඇසුණු වැලපීමේ හඬ” කුමක් විය හැකිද? ‘මෙගිද්දෝ නිම්නයේදී’ ඊජිප්තුවේ පාරාවෝ නෙකෝ අතින් යූදාහි යොෂියා රජ මරණයට පත් වුණා. අවුරුදු ගාණක් තිස්සේ ඒ ගැන සෙනඟ “විලාප ගී” ගැයුවා. (2 ලේකම් 35:25NW) පෙනෙන ආකාරයට “හදද්රිම්මොන්හි ඇසුණු වැලපීමේ හඬ” යොෂියාගේ මරණය ගැන වැලපීමට යොමු දක්වනවා විය හැකියි.

අපට ගත හැකි පාඩම්

1:2-6; 7:11-14NW.  උපදෙස් ලබා ඒවා පිළිපදිමින් දෙවි වෙතට හැරී ඔහුට පූර්ණ හෘදයකින් නමස්කාර කරන අය ගැන දෙවි සතුටු වෙනවා. නමුත් ‘දෙවිට ඇහුම්කන් නොදී මුරණ්ඩු ලෙස පිටු පාමින් නොඇසෙන සේ තම කන් වසාගන්නා’ අයගේ ඉල්ලීම්වලට දෙවි ඇහුම්කන් දෙන්නේ නැහැ.

4:6, 7. දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩවලට නැවතීමේ තිත තබන්න කිසිම බාධකයකට නොහැකි වුණා. ඉන් පෙනී යන්නේ දෙවිගේ බලයට ඕනෑම බාධකයක් ජය ගත හැකි බවයි. ඒ නිසා අපිත් දෙවිට සේවය කිරීමේදී ඇති වන අභියෝග ජයගැනීමට දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටිමු.—මතෙව් 17:20.

4:10. දෙවිගේ උපකාරයෙන් සෙරුබාබෙල්ට හා ඔහුගේ සෙනඟට හැකි වුණා දෙවිගේ උසස් ප්‍රමිතිවලට එකඟව දේවමාලිගාව සාදා නිම කරන්න. එයින් පෙනී යන්නේ අපි පව්කාර දුර්වල අය වුණත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ආකාරයට ජීවත් වෙන්න පුළුවන් බවයි.

7:8-10; 8:16, 17. දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා අපි යුක්තිගරුකව හැසිරෙන, කරුණාව හා දයාව පෙන්වන, එකිනෙකාට සමාව දෙන හා නිතරම ඇත්ත කතා කරන අය විය යුතුයි.

8:9-13NW.  අපි ඉතා “ධෛර්යවත්ව” දෙවි අපිට දී තිබෙන කාර්යයේ හවුල් වෙනවා නම් ඔහු අපිට ආශීර්වාද කරනවා. එම ආශීර්වාදවලට සාමය, නිදහස හා දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් භුක්ති විඳීම ඇතුළත් වෙනවා.

12:6NW.  දෙවිගේ සෙනඟ අතරේ සිටින පෙරමුණ ගෙන ක්‍රියා කරන අය “ගිනි පන්දමක්” මෙන් විය යුතුයි. ඉන් අදහස් වෙන්නේ ඔවුන් ඉතා උද්‍යෝගයෙන් ක්‍රියා කරන අය විය යුතු බවයි.

13:3. යෙහෝවා දෙවිට හා ඔහුගේ සංවිධානයට දක්වන පක්ෂපාතකම හිතවත්ම අය ඇතුළු වෙනත් ඕනෑම කෙනෙක්ට දක්වන පක්ෂපාතකමට වඩා අපිට වැදගත් විය යුතුයි.

13: 8, 9. දේශයේ මුළු සෙනඟගෙන් තුනෙන් දෙකක්ම දෙවිට අකීකරු වූ නිසා දෙවි ඔවුන්ව හෙළා දැක්කා. තුනෙන් එකක් පමණයි ගින්නෙන් පිරිසිදු කිරීමකට ලක් වුණේ. ක්‍රිස්තියානි පල්ලිවලට අයිති බොහෝදෙනාද අද කියා සිටින්නේ තමන් සැබෑ ක්‍රිස්තියානීන් බවයි. ඒත් දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ‘දෙවිගේ නාමයට අයැදින’ කුඩා පිරිසක් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පමණයි පිරිසිදු කිරීමකට ලක් වී තිබෙන්නේ. අභිෂේක ලත් අය ඇතුළු ඔවුන් හා එක් වී සේවය කරන සෙසු අය නමට පමණක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස ජීවත් වෙන අය නෙවෙයි.

උද්‍යෝගයෙන් දෙවිට සේවය කිරීමට පෙලඹී

හග්ගයි සහ සෙකරියා පැවසූ දේවලට අවධානය දීම අපිට බලපෑ යුත්තේ කොහොමද? ඔවුන් ප්‍රකාශ කළ පණිවුඩය නිසා එදා සිටි යුදෙව්වන්ට දෙවිගේ ගෘහය ගොඩනඟන්න අවශ්‍ය දිරිගැන්වීම ලැබුණා. ඒ හා සමානව අපිත් ඔවුන් පැවසූ දේට අවධානය දෙනවා නම් උද්‍යෝගයෙන් රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පෙලඹෙනවා.

යේසුස් ක්‍රිස්තුස් “කොටලුවෙකු පිට නැඟී” එනවා කියා සෙකරියා අනාවැකියක් පැවසුවා. එමෙන්ම යේසුස්ව ‘රිදී කාසි තිහකට’ පාවා දෙන බවත්, ඔහුට පහර දීම නිසා “රැළේ බැටළුවන් සීසීකඩ විසිරී යයි” කියාත් සෙකරියා පැවසුවා. මේ අනාවැකි ඒ විදිහටම ඉෂ්ට වුණා. (සෙකරියා 9:9; 11:12; 13:7NW) යේසුස් ක්‍රිස්තුස් සම්බන්ධයෙන් සෙකරියා පැවසූ එවන් අනාවැකි ඉටු වී තිබෙන ආකාරය ගැන ගැඹුරින් සිතා බලද්දී අපේ ඇදහිල්ල කොතරම් ශක්තිමත් වෙනවාද! (මතෙව් 21:1-9; 26:31, 56; 27:3-10) ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ වචනය කෙරෙහිත් අපේ ගැලවීම උදෙසා දෙවි ලබා දී තිබෙන සැපයුම් කෙරෙහිත් අපිට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකියි.—හෙබ්‍රෙව් 4:12.

[පාදසටහන]

^ 3 ඡේ. වර්ෂ 1996 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 9-22 දක්වා පිටු බලන්න.

[11වන පිටුවේ කොටුව]

සෙකරියා දුටු සංකේතාත්මක දර්ශන අට

1:8-17: දේවමාලිගාව සම්පූර්ණයෙන්ම ඉදි කරන බවට හා යෙරුසලම ඇතුළු යූදා දේශයේ වෙනත් නගර සශ්‍රීක වෙන බවට වූ සහතිකය.

1:18-21NW:  ‘යූදා දේශය පාළු කළ අං වලින් නියෝජනය කළ බලවතුන්ව’ විනාශ කරන බවට දුන් පොරොන්දුව. සැබෑ නමස්කාරයට විරුද්ධ වන සියලුම පාලනයන් ඊට අයිතියි.

2:1-13NW:  යෙරුසලම සුවිසල් නගරයක් වෙන බව හා යෙහෝවා දෙවි “ඒ දේශය ගිනි පවුරකින් වට කරන” බවට එනම් ආරක්ෂාව සලසන බවට දුන් සහතිකය.

3:1-10: දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩ කටයුතුවලට සාතන් විරුද්ධ වීම. උත්තම පූජකයා වූ යොෂුවාගේ පව් මකා දැමීම.

4:1-14: කඳු හා සමාන බාධා ඉවත් කිරීම හා පාලකයෙකු වූ සෙරුබාබෙල් දේවමාලිගාවේ වැඩ අවසන් කරන බවට දුන් සහතිකය.

5:1-4: වැරදි කර දඬුවම් නොලැබූ අය මත පැමිණෙන ශාපය.

5:5-11: සියලුම දුෂ්ටකම්වල අවසානය ගැන ප්‍රකාශ කිරීම.

6:1-8: දේවදූතයන්ගේ අධීක්ෂණය හා රැකවරණය සම්බන්ධයෙන් දුන් පොරොන්දුව.

[8වන පිටුවේ පින්තූරය]

හග්ගයි හා සෙකරියා ප්‍රකාශ කළ පණිවිඩවල අරමුණ කුමක්ද?

[10වන පිටුවේ පින්තූරය]

පෙරමුණ ගෙන කටයුතු කරන අය “ගිනි පන්දමක්” මෙන් වෙන්නේ කෙසේද?