Skip to content

පටුනට යන්න

අන් අයට “දයානුකම්පාව” පෙන්වමු

අන් අයට “දයානුකම්පාව” පෙන්වමු

අන් අයට “දයානුකම්පාව” පෙන්වමු

අද දින බොහෝදෙනා සාගත, වසංගත, දුප්පත්කම, අපරාධ, ජනවාර්ගික ගැටුම් සහ ස්වාභාවික විපත්වලින් දිනපතාම පහර කනවා. ඒ නිසා එවැනි අය මින් පෙර කිසිදාක නොතිබූ ආකාරයේ අවශ්‍යතාවයකින් පෙළෙමින් සිටිනවා. එය නම් අන් අයගේ අනුකම්පාව ලැබීමේ අවශ්‍යතාවයි. එවන් අයට අනුකම්පාව පෙන්වන්නේ කෙසේද? ඔවුන්ගේ තත්වය හොඳින් තේරුම්ගෙන ඉන් ගොඩ ඒමට උපකාර කිරීමෙනුයි. දැඩි සීතලෙන් වෙවුලන කෙනෙකුට හිරුගෙන් ලැබෙන උණුසුම මොන තරම් සහනයක්ද! ඒ හා සමානව ප්‍රශ්න ගැටලු නිසා දැඩි වේදනාවකින් සිටින කෙනෙකුට අනුකම්පාව පෙන්වීම ඔහුට මහත් සහනයක් මෙන්ම ශක්තියක්ද වෙයි.

එමනිසා අපගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් ඔවුන්ට අනුකම්පාව පෙන්විය යුතුයි. ඔවුන්ට උපකාර අවශ්‍ය වන විට ඒවා ලබා දීමත් ඊට ඇතුළත්. මෙහිදී අප පෙන්වන අනුකම්පාව අපේ පවුලේ අයට, මිතුරන්ට සහ දන්නා හඳුනන අයට පමණක් සීමා නොකළ යුතුයි. දුකින් පෙළෙන අය වෙනුවෙන් මහත් අනුකම්පාවක් පෙන්වූ තැනැත්තෙක් වන යේසුස් වරක් මෙසේ පැවසුවා. “ඔබට ප්‍රේම කරන අයටම ඔබ ප්‍රේම කරනවා නම්, ඔබට ඇති විපාකය කුමක්ද?” එමෙන්ම ඔහු මෙවැනි දෙයක්ද පැවසුවා. “එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.”—මතෙව් 5:46, 47; 7:12.

යේසුස් කී එම වචන රන් අණ කියා හඳුන්වන අතර බයිබලයේ ඒවා සඳහන් වී තිබෙනවා. අන් අයට අනුකම්පාව පෙන්වන්නේ කෙසේද යන්න ගැන හොඳම මඟ පෙන්වීම් සපයා ඇත්තේ බයිබලයේ බව බොහෝදෙනා පිළිගන්නවා. එමෙන්ම මොනම හේතුවක් නිසා හෝ යම් කෙනෙක් අසරණ වී සිටිනවා නම් ඔහුට උපකාර කරන්න කියාත් බයිබලයේ පවසනවා. එම උපදෙස් සපයා ඇත්තේ අපගේ නිර්මාණකරු මෙන්ම බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවියි. මුළු මහත් මිනිස්වර්ගයාටම අනුකම්පාව පෙන්වීම සම්බන්ධයෙන් උතුම්ම ආදර්ශය තබා ඇත්තේද ඔහුයි.

ඒ ගැන බයිබලයේ සඳහන් මේ උදාහරණය සලකා බලන්න. “දෙවි, පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ට කොට විදේශියාට කෑම ඇඳීම දෙමින් ප්‍රේම කරන්නේය.” (ද්විතීය කතාව 10:18) දෙවිව තවදුරටත් විස්තර කර තිබෙන්නේ මෙසේයි. “අසාධාරණකම් වින්ද අයට යුක්තිය ඉටු කර දෙන්නේ ඔහුය. කුසගින්නෙන් සිටින අයට ආහාර දෙන්නේ ඔහුය.” (ගීතාවලිය 146:7, නව ලොව පරිවර්තනය, NW) එමෙන්ම වෙනත් රටවලින් ඊශ්‍රායෙලයට පැමිණි දිලිඳුන්ට අනුකම්පාව පෙන්වීම ගැනද දෙවි මෙවන් අණක් දී තිබුණා. ‘ඔබ සමඟ ජීවත් වන විදේශිකයාට ඔබ සැලකිය යුත්තේ ඔබේම ජාතියේ කෙනෙකුට මෙනි. ඔබ ඔබට මෙන් ඔහුටත් ප්‍රේම කළ යුතුයි.’—ලෙවී කතාව 19:34NW.

අවශ්‍යතා ඇති අයට අනුකම්පාව පෙන්වීම හැමවිටම ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් බයිබලයේ දෙන මෙම මඟ පෙන්වීම පිළිපැදීමෙන් එය කළ හැකියි. “පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව, නිවැරදි දැනුම මාර්ගයෙන් දිගටම එය අලුත් වන්නේය. එබැවින්, දෙවිගේ තෝරාගත්, ශුද්ධ, ප්‍රේමණීය අය මෙන්, දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න.”—කොලොස්සි 3:9, 10, 12.

මේ දුෂ්ට ලෝකය තුළ අන් අයට අනුකම්පාව පෙන්වීමට දැඩි උත්සාහයක් දරන්න අවශ්‍යයි. නමුත් එසේ කිරීමට නම් “අලුත් පෞද්ගලිකත්වය” හෙවත් දෙවිගේ ප්‍රමිතිවලට එකඟව අපගේ ජීවිත හැඩගස්වා ගැනීම අවශ්‍යයි. බයිබලයේ සඳහන් ඉහත වචන ලියනු ලැබුවේ එදා රෝම අධිරාජ්‍යය යටතේ පැවති කෲර, අනුකම්පා විරහිත සමාජයක ජීවත් වූ ක්‍රිස්තියානීන්ටයි. එවන් සමාජයක අනුකම්පාව පෙන්වමින් ජීවත් වීමට නම් ඔවුන්ගේ ජීවිත බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව වෙනස් කරගත යුතුයි.

අනුකම්පාව පෙන්වීමේ ප්‍රයෝජන

සමහරුන් සිතන්නේ අන් අයට අනුකම්පාව පෙන්වීම දුර්වලකමක් කියායි. එය සත්‍යයක්ද?

කොහෙත්ම නැහැ. කෙනෙක් තව කෙනෙකුට අනුකම්පා කරන්නේ ඔහු තුළ ඇති ගැඹුරු ප්‍රේමය නිසයි. ඒ ගුණාංගය මිනිසුන්ට ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවිගෙනුයි. “දෙවි ප්‍රේමයය” කියා බයිබලයේ හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (1 යොහන් 4:16) දෙවිට “ස්තුතිවන්ත නොවන්නන්ටද දුෂ්ටයන්ටද ඔහු කාරුණිකය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 6:35) එමෙන්ම “දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද” කියා ඔහුව හඳුන්වා තිබීමත් ඉතා උචිතයි. (2 කොරින්ති 1:3) “දයානුකම්පාව” කීමෙන් අදහස් කරන්නේ “අන් කෙනා විඳින වේදනාව ගැන කනගාටුවක්, අනුකම්පාවක් දැනීමයි.”

අන් අයට අනුකම්පාව පෙන්වීම යෙහෝවා දෙවි අපෙනුත් බලාපොරොත්තු වෙනවා. ඒ ගැන පවසා තිබෙන්නේ මෙසේයි. “මනුෂ්‍යය, යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා තිබේ. ඔහු සතුටු වන්නේ ඔබ යුක්තිය ඉටු කිරීමත්, කරුණාවන්තව ක්‍රියා” කිරීමත්ය. (මීකා 6:8NW) එමෙන්ම බයිබලයේ මෙසේද පවසනවා. “මිනිසාගේ ප්‍රේමණීය කරුණාව අගනා දෙයකි.” (හිතෝපදේශ 19:22NW) යේසුස් තම පියා වන යෙහෝවා දෙවිගේ ගතිගුණ ඉතා කදිමට විදහාපෙන්නුවා. ඔහුද තම අනුගාමිකයන්ට අණ කළේ මෙසේයි. “ඔබේ පියාණන් දයානුකම්පා ඇතිව සිටින්නාක් මෙන් ඔබද දයානුකම්පා ඇතිව සිටින්න.”—ලූක් 6:36, නව අනුවාදය.

අන් අයට අනුකම්පාව පෙන්වීමෙන් බොහෝ ප්‍රයෝජන අත් කරගන්න අපට හැකියි. ඉන් එකක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. “ප්‍රේමණීය කරුණාවෙන් කටයුතු කරන්නා තමාටම යහපතක් කරගනියි.” (හිතෝපදේශ 11:17NW) ඒ කෙසේද? අවශ්‍යතා ඇති අයට අප අනුකම්පාව පෙන්වනවා නම් දෙවි ඒ ක්‍රියාව සලකන්නේ තමා කළ උපකාරයක් හැටියටයි. එවැනි පුද්ගලයන්ට දෙවි ආශීර්වාද කරන බවට පොරොන්දු වී තිබෙනවා. බයිබලයේ තවදුරටත් පවසන්නේ මෙසේයි. “දුප්පතාට කරුණාව දක්වන්නා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.” (හිතෝපදේශ 19:17NW) එමෙන්ම “යමෙකු කරන යහපත් දේ අනුව ඒ සඳහා ඔහුට යෙහෝවා විපාක දෙන බව ඔබ දන්නහුය” කියාද එහි පවසනවා.—එෆීස 6:8.

අනුකම්පාව පෙන්වීමේ ඇති තවත් ප්‍රයෝජනයක් වන්නේ ඒ මගින් එකිනෙකා අතර සමාදානය ඇතිව සිටීමටත් මතගැටුම් මඟහැරීමටත් හැකිවීමයි. අපට යම් දේවල් ගැන හැඟෙන ආකාරය අප බොහෝවිට අනිත් අයට ප්‍රකාශ කරන්නේ ඉතාම අඩුවෙන් නිසාත් අප කටයුතු කරන ආකාරය නිසාත් අන් අය අපව වරදවා වටහාගන්න ඉඩ තිබෙනවා. අපට අනුකම්පාව තිබෙනවා නම් එවන් වැරදි වැටහීම් නැති කරගැනීමට හැකි වන අතර අන්‍යයන්ට සමාව දීමටත් ඉන් මඟ සැලසෙනවා. අනුකම්පාසහගත පුද්ගලයෙකු අතින් වරදක් වූ විට, ඒ පුද්ගලයාට සමාව දීමට අන් අයට පහසුයි. නමුත් එසේ නොවන අවස්ථාවලදී පවා අප අන් අයට සමාව දෙනවා නම්, බයිබලයේ සඳහන් මේ උපදෙසට අප කීකරු වෙනවා කියා පවසන්න පුළුවන්. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න.”—කොලොස්සි 3:13.

එය පෙන්විය හැකි ආකාර

කටුක අද්දැකීමක් නිසා වේදනාවෙන් පෙළෙන කෙනෙකුගේ තත්වය තේරුම්ගෙන ඔහුට අවශ්‍ය උපකාර පිරිනැමීම මොන තරම් යහපත් දෙයක්ද! අනුකම්පාව පෙන්වනවා කියන්නේ එයයි.

අන් අයට අනුකම්පාව පෙන්වීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක්. ඔහු කොතරම් කාර්යබහුල පුද්ගලයෙක් වුණත් අන් අයට උපකාර කිරීම අතපසු කළේ නැහැ. උපකාර අවශ්‍ය කාටද කියා හොඳින් අවබෝධ කරගත් යේසුස්, දෙවි ගැන ඉගැන්වීමට පමණක් නොව ශාරීරික අවශ්‍යතා ගැනද සැලකිල්ල දැක්වුවා. අපත් එසේ කිරීමෙන් යේසුස්ව අනුකරණය කරමු.

දෙවි පිළිබඳව ඉගෙනගැනීමට මහත් ආශාවෙන් සිටි මිනිසුන්ව දුටු විට යේසුස් කටයුතු කළ ආකාරය ගැන බයිබලයේ මෙසේ වාර්තා කරනවා. “ඔහු සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළේය.” (මතෙව් 9:36) මෙහි සඳහන් “අනුකම්පාව” යන වචනයෙන් අදහස් කරන්නේ ‘යමක් කිරීම සඳහා පුද්ගලයෙකුව බලවත් ලෙස පොලඹවන හැඟීමක්’ කියා එක් බයිබල් විශාරදයෙක් පවසනවා. එමෙන්ම අන් අය කෙරෙහි කාරුණික සැලකිල්ල දැක්වීමේදී ග්‍රීක් භාෂාවේ භාවිත කරන ප්‍රබලම වචනය වන්නෙත් එය බව ඔහු තවදුරටත් පවසනවා.

යේසුස් හා සමානව ඔහුගේ අනුගාමිකයන්ද සෙසු මිනිසුන්ට අවශ්‍ය උපකාර නොපමාව සපයන්න සූදානමින් සිටිනවා. ඒ ගැන යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස් පැවසුවේ මෙසේයි. “ඉතින්, ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව, යටහත් පහත් මනසක් ඇතිව සිටින්න.” (1 පේතෘස් 3:8) මෙම සිද්ධිය සලකා බලන්න. එක් දුප්පත් ක්‍රිස්තියානි පවුලකට අසනීප හේතුවෙන් ඔවුන්ගේ පදිංචිය වෙනස් කිරීමට සිදු වුණා. ඒ ප්‍රදේශයේ සිටි ක්‍රිස්තියානි සහෝදරයන් ඔවුන්ට ජීවත් වීම සඳහා නිවසක් ලබා දුන් අතර ඒ සඳහා ඔවුන් සිටි කාලය පුරාවට කිසිම කුලියක් ගත්තේ නැහැ. ඒ ගැන මේ පවුලේ ස්වාමිපුරුෂයා මෙසේ පවසනවා. “අපේ ක්‍රිස්තියානි සහෝදරයන් අපේ සැප දුක් බලන්න හැමදාම ආවා. ඒ අයගේ දිරිගන්වනසුලු වචනවලින් අපිට ලොකු ධෛර්යයක් ලැබුණ නිසා අපි මේ ඉන්නේ පිට තැනක කියලා අපිට දැනුණේ නැහැ.”

දැන අඳුනන්නේ නැති අය කෙරෙහි පවා යේසුස්ගේ අනුගාමිකයන් අනුකම්පාව පෙන්වනවා. එවැනි අය සඳහා ඔවුන් තම කාලය, ශක්තිය සහ තමන් සතු වටිනා දේවල් යොදවන්නේ ඉතා සතුටින්. කලින් ලිපියේ සඳහන් ස්වාභාවික අනතුරට ගොදුරු වූ ඒ නිවැසියාට උපකාර කළා හා සමානව තවත් අයට උපකාර කිරීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ස්වේච්ඡා සේවක කණ්ඩායම් සූදානමින් සිටිනවා.

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අන් අයට අනුකම්පාව පෙන්වන ආකාරය පැහැදිලිව දැකගත හැකියි. ඔවුන් නිතරම අන් අයට උපකාර කළ හැකි ක්‍රම සොයමින් සිටිනවා. ප්‍රශ්න ගැටලුවලින් මිරිකී සිටින වැන්දඹුවන් හා මව්පියන් නැති දරුවන් ඔබගේ සභාවෙත් සිටිය හැකි අතර ඔබේ අනුකම්පාව ඔවුන්ටත් අවශ්‍ය විය හැකියි. ඔවුන්ටත් දිලිඳු, අසනීප, ඉන්න හිටින්න තැනක් නැති හෝ වෙනත් ගැටලුවලින් පෙළෙන අයටත් අවශ්‍ය උපකාර සැපයීමට ඔබටත් පුළුවන්ද?

ග්‍රීසියේ සිටි එක් යුවළකට යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් අනුකම්පාව පෙන්වූ ආකාරය බලන්න. ස්වාමිපුරුෂයාට හදිසියේම අංශභාග රෝගය වැලඳුන අතර ප්‍රතිකාර සඳහා ඔවුන්ට දුර ඈත ප්‍රදේශයකට යෑමට සිදු වුණා. ඔවුන් තම ජීවිතය ගෙන ගියේ දොඩම් වගාවෙන් ලැබුණු සුළු ආදායමෙනුයි. මේ වන විට අස්වැන්න නෙළන කාලය පැමිණ තිබුණා. නමුත් ඔවුන් වෙනුවෙන් දැන් එය කරන්නේ කවුද? ඔවුන් අයත්ව සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ සාමාජිකයන් එම කටයුත්ත භාරගත්තා. ඔවුන් දොඩම් කඩා ඒවා අලෙවි කර ලැබුණු මුදල් මේ යුවළට දුන්නා. එම උපකාරය නිසා ඔවුන් ලැබුවේ මහත් සහනයක්.

අන් අයට අනුකම්පාව පෙන්විය හැකි ක්‍රම බොහෝමයක් තිබෙනවා. විවිධ හේතූන් නිසා බොහෝදෙනා සිටින්නේ දුකෙන් බව සැබෑ ක්‍රිස්තියානින් වටහාගෙන තිබෙනවා. එමනිසා ඔවුන් එවැනි අයගේ නිවෙස්වලටම ගොස් ඔවුන්ගේ දුක බෙදාගන්නා අතර බයිබලයේ තිබෙන සැනසිලිදායක බලාපොරොත්තුද ඔවුන් සමඟ බෙදාගන්නවා. ඔවුන් එය සලකන්නේ මේ කාලයේ කළ යුතු අත්‍යවශ්‍යම දෙයක් හැටියටයි.—රෝම 12:15.

එය අද්දකින්න ඔබටත් හැකියි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අන් අයට මොන තරම් අනුකම්පාවෙන් සහ කරුණාවෙන් සලකනවාද කියා ඔවුන්ගේ සභාව තුළ දැකගන්න ඔබටත් හැකියි. අනුකම්පාව කියන්නේ මොන තරම් කදිම ගුණාංගයක්ද කියාත් කෲරකම කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් අප්‍රසන්න දෙයක් කියාත් දෙවිගේ සේවකයන් හොඳින් වටහාගෙන තිබෙනවා. එමනිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ගේ සැබෑ දෙවි වන යෙහෝවා මෙන් අවශ්‍යතා ඇති අයට ඔවුන්ගේ ක්‍රියා තුළින් “අනුකම්පාව” පෙන්වීමටයි.

එමනිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඇති එම ප්‍රේමය, අනුකම්පාව සහ කරුණාව අද්දැක බලන්න කියා ඔබට ඉතාමත් සාදරයෙන් ඇරයුම් කරන්න කැමතියි. ඔබ ඉන් මහත් සහනයක් සහ ප්‍රීතියක් ලබනවාට කිසිම සැකයක් නැහැ.—රෝම 15:7.

[5වන පිටුවේ පින්තූරය]

වුල් කොලොස්සියේ සිටි ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ දයානුකම්පාව ඇතිව සිටින්න කියායි

[7වන පිටුවේ පින්තූර]

උපකාර අවශ්‍ය කෙනෙකුව දුටු විට යේසුස් ඔහුට අනුකම්පා කර අවශ්‍ය උපකාර සැපයුවා