Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න:

• අදටත් “පරණ ගිවිසුම” ප්‍රයෝජනවත් වීමට හේතුව කුමක්ද?

එහි කර්තෘ කෲර දෙවි කෙනෙකු නොව ප්‍රේමණීය දෙවි කෙනෙක්. ඔහු යෙහෝවා දෙවියි. යේසුස් සහ ඔහුගේ මුල් අනුගාමිකයන් ඉගැන්වීම සඳහා හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටාගත්තා. එමෙන්ම එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් මෙන්ම අනාගතය සඳහා පුදුමාකාර බලාපොරොත්තුවක්ද එහි අඩංගුයි.—9/1, පිටු 4-7.

• මුල් මිනිස් යුවළ පව් කළ දා පටන් මෙතරම් කාලයක් දෙවි දුෂ්ටකම්වලට ඉඩහැරීමෙන් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද?

මුලින්ම සාතන් බොරුකාරයෙක් බව ඔප්පු වී තිබෙනවා. ආදම් සහ ඒව මැරෙන්නේ නැති බව සාතන් පැවසුවත් ඔවුන් ඇතුළු ඔවුන්ගෙන් පැවතෙන්නන් මිලියන ගණනක් මේ වන විටත් මිය යෑමෙන් ඒ බව පැහැදිලියි. එමෙන්ම දෙවිගේ මඟ පෙන්වීම නොමැතිව මිනිසුන්ට සාර්ථක ජීවිතයක් ගත කිරීමට නොහැකි බවත් ඔප්පු වී තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට හැකියාවත් අයිතියත් නැති බවද ඔප්පු වී හමාරයි.—9/15, පිටු 6-7.

• ඒසව් මෙන් පෙනී සිටීමෙන් යාකොබ් කළේ වරදක් නොවේයයි පවසන්නේ ඇයි?

මුලින්ම, ඒසව් තම කුලුඳුල්කම යාකොබ්ට විකුණා තිබූ නිසා පියාගේ ආශීර්වාදය ලැබීමට යාකොබ්ට අයිතියක් තිබුණා. දෙවනුව, තමා යාකොබ්ට ආශීර්වාද කළ බව ඊසාක්ට අවබෝධ වූ විට එය වෙනස් කිරීමට ඔහු කිසි වෑයමක් දැරුවෙත් නැහැ. තුන්වනුව, ඊට මැදිහත් වෙන්න දෙවිට හැකිකම තිබුණත් දෙවිට වුවමනා කළෙත් ආශීර්වාදය යාකොබ්ට ලබා දීමටයි.—10/1, පිටුව 31.

• මිනිසා පරිණාමය නොවූ බව අපට තිබෙන හෘදය සාක්ෂියෙන් ඔප්පු වන්නේ කෙසේද?

අන් අයගේ යහපත උදෙසා පාඩු විඳගෙන වැඩ කරන මිනිසුන් ඕනෑම සමාජයක දැකගත හැකියි. නමුත් මිනිසා සතෙකුගෙන් පරිණාමය වූවා නම් ඔවුන් අතර එවන් පරාර්ථකාමීත්වයක් බලාපොරොත්තු විය නොහැකියි.—10/15, පිටුව 20.

• දෙවි නිහතමානී කෙනෙකු බව කිව හැක්කේ ඇයි? එමෙන්ම ඔහු එය විදහාපාන්නේ කෙසේද?

මුළු විශ්වයේම පාලකයා හා එහි මැවුම්කරු හැටියට දෙවිට මිනිසුන්ට මෙන් සීමාවන් නැහැ. නමුත් දෙවෙනි සාමුවෙල් 22:36ට එකඟව දෙවිව සතුටු කිරීමට උත්සාහ කරන අයට දයාව පෙන්වීමෙන් ඔහු නිහතමානී කෙනෙක් බව පෙන්වා තිබෙනවා. එමෙන්ම ඔහුට ගරුබිය දක්වන අයට කරුණාව පෙන්වීම සඳහා ඔවුන් වෙත අවධානය යොමු කරන බවද බයිබලය පවසනවා.—11/1, පිටු 4-5.

• ඉපැරණි මැටි පුවරුවලින් බයිබල් වාර්තා සනාථ කරන්නේ කෙසේද?

පුරාවිද්‍යාඥයන් සමාරියේදී කළ කැණීම්වලින් යෝෂුවා 17:1-6හි වාර්තා කර ඇති පෙළපත් නම් හතක් අඩංගු මැටි පුවරු හමු වී තිබෙනවා. අරද්හිදී සොයාගත් මැටි පුවරුවල බයිබලයේ සඳහන් පූජක පවුල් පිළිබඳ වාර්තා හමු වූ අතර දෙවිගේ නාමයද එහි සඳහන් වී තිබුණා. ලාකිෂ්හිදී සොයාගත් පුවරුවලින් බැබිලෝනියන් විසින් යූදා දේශය අත්පත් කරගැනීමට පෙර එහි තිබූ දේශපාලන වාතාවරණය හා කැළඹිලි සහිත තත්වය හෙළි කරගත හැකි වුණා.—11/15, පිටු 12-14.

• ක්‍රියා පොතේ ලේඛකයා ලූක් යයි පැවසීමට තිබෙන සාක්ෂි මොනවාද?

ලූක් තමාගේ නමින් ලියූ සුවිශේෂයත් ක්‍රියා පොතත් යන දෙකම ලියුවේ තෙයෝෆිලස් නමැති තැනැත්තාටයි. එමෙන්ම “අපි,” “අපේ” හා “අපට” යන වචන යොදාගැනීමෙන් ඇඟවෙන්නේ එහි ඇති යම් සිද්ධීන්වලට ඔහුත් සම්බන්ධ වී ඇති බවයි. (ක්‍රියා 16:8-15)—11/15, පිටුව 18.

• සතුන් දඩයම් කිරීම හා මසුන් ඇල්ලීම පිළිබඳව ක්‍රිස්තියානීන්ගේ ආකල්පය විය යුත්තේ කුමක්ද?

නෝවා සහ ඔහුගෙන් පැවතෙන්නන්ට සතුන්ගේ මස් කෑමට දෙවි අවසර දුන්නා. නමුත් එසේ කරද්දී රුධිරය ඉවත් කිරීමට නියෝගයක් පැනවීමෙන් අවධාරණය කළේ සතුන්ව මැව්වේ දෙවි නිසා ඒ ජීවිතවලට පවා ගරු කළ යුතු බවයි. එමනිසා ක්‍රිස්තියානීන් තමන්ගේ දස්කම් පෙන්වීමට හෝ විනෝදයට නිකරුණේ සතුන්ව නොමැරිය යුතුයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු නීතිවලට කීකරු වීමත් අන් අයගේ හෘදය සාක්ෂිය පිළිබඳව සැලකිලිමත් වීමත් ඉතාම වැදගත්. (රෝම 14:13)—12/1, පිටුව 31.