Skip to content

පටුනට යන්න

ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත

ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත

ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත

“ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.”—යෙසායා 54:17, නව ලොව පරිවර්තනය, NW.

1, 2. යෙසායා 54:17හි සත්‍යතාව ඇල්බේනියාවේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීමෙන් ඔප්පු වන්නේ කෙසේද?

 ශක කිහිපයකට පෙර යුරෝපයේ එක් රටක ඉතාම නිර්භීත ක්‍රිස්තියානීන් පිරිසක් සිටියා. ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කර දමන්න ඒ රටේ සිටි කොමියුනිස්ට් පාලකයන් නොගත් උත්සාහයක් නැහැ. ඔවුන්ට වධ හිංසා කළා. බරපතළ වැඩ සහිත සිරදඬුවම් පැනෙව්වා. ඒ විතරක් නොවෙයි, ජනමාධ්‍යය මගින් ඔවුන් පිළිබඳව බොරු ප්‍රචාරය කළා. නමුත් ඔවුන්ව නැති කර දමන්න ඒ කිසිවකට හැකි වුණේ නැහැ. කවුද මේ අය? ඇල්බේනියාවේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුයි. ක්‍රිස්තියානි රැස්වීම් සඳහා එකතු වීම සහ දේශනා කිරීම ඔවුන්ට ඉතා දුෂ්කර දෙයක් වුණා. නමුත් දශක ගණනාවක් පුරා අත් නෑර එවන් ක්‍රියාකාරකම්වල හවුල් වීම නිසා දෙවිගේ නාමයට ඔවුන් මහත් ගෞරවයක් ගෙන දී තිබෙනවා. පසුගිය අවුරුද්දේදී ඒ රටේ අලුතින් ඉදි කළ ශාඛා කාර්යාලය කැප කළා. එහිදී දෙවිට බොහෝ කාලයක් විශ්වාසවන්තව සේවය කළ සහෝදරයෙක් මෙවන් දෙයක් පැවසුවා. “සාතන් කොච්චර පීඩා ගෙනාවත් ඔහුට අත් වන්නේ පරාජයයි. නමුත් හැමවිටම ජය ගන්නේ යෙහෝවා දෙවිමයි!”

2 මේ සෑම ජීවිත අද්දැකීමකින්ම ඔප්පු වන්නේ යෙසායා 54:17හි [NW] යෙහෝවා දෙවි පොරොන්දු වී ඇති දේවල සත්‍යතාවයි. එහි පවසන්නේ මෙසේයි. “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත. ඔබට විරුද්ධ කතා කරන සෑම කෙනෙකුවම ඔබ වරදකරුවන් වීමට සලස්වන්නෝය.” දෙවිගේ සෙනඟ ඔහුට කරන නමස්කාරය සම්පූර්ණයෙන් නතර කර දැමීම සඳහා සාතන්ටත් ඔහුගේ සගයන්ටත් කළ හැකි දෙයක් නැති බව ඉතිහාසයෙන් කදිමට තහවුරු වෙනවා.

සාතන්ගේ හිස් වූ උත්සාහයන්

3, 4. (අ) සාතන්ගේ ආයුධ සමහරක් මොනවාද? (ආ) ඒවා අසාර්ථක වී ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?

3 දෙවිගේ නමස්කාරකයන්ට පහර දීමට සාතන් යොදාගෙන තිබෙන ආයුධ හෙවත් පීඩා අතර දෙවිට කරන සේවය තහනම් කිරීම්, මැර ප්‍රහාර, සිරගත කිරීම් සහ “අයුක්තිසහගත නීති පනවා හිරහැර” කිරීම් වැනි දේ සඳහන් කළ හැකියි. (ගීතාවලිය 94:20NW) අප මේ ලිපිය සාකච්ඡා කරන මොහොතේ පවා සමහර රටවල සිටින දෙවිගේ සේවකයන් ඔවුන්ගේ ඇදහිල්ල නිසා ‘පරීක්ෂාවන්ට’ මුහුණ දෙමින් සිටිනවා.—එළිදරව් 2:10.

4 උදාහරණයකට, තම රටේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක් අවුරුද්දකදී පමණක් මොන තරම් පීඩාවලට මුහුණ දී තිබෙනවාද කියා එක් ශාඛා කාර්යාලයක් වාර්තා කළා. ශුභාරංචිය දේශනා කරන විට ඔවුන්ට ශාරීරිකව පහර දුන් අවස්ථා 32ක්ද දේශනා කරමින් සිටි බාල මහලු සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගැනීම් 59ක්ද වාර්තා වෙනවා. සමහරුන්ගේ ඇඟිලි සලකුණු සහ ඡායාරූප ලබාගෙන ඇති අතර තවත් සමහරුන්ව සිරගතද කර තිබෙනවා. එමෙන්ම පහර දෙන බවටත් තවත් අයට තර්ජනය කර තිබෙනවා. තවත් රටක සිටින සාක්ෂිකරුවන්ව සිරගත කිරීම්, දඩ නියම කිරීම් සහ පහරදීම් පිළිබඳ සිද්ධීන් 1,100කටත් වඩා වැඩියෙන් වාර්තා වුණා. මෙයින් සිද්ධීන් 200කට වඩා සිදු වී ඇත්තේ යේසුස්ගේ මරණය සිහි කිරීමට එක්රැස් වූ දිනයි! ඒ කුමන තත්වයක් යටතේ වුණත් මොවුන්ට ආරක්ෂා වීමට හැකි වී තිබෙන්නේ යෙහෝවා දෙවිගේ බලය ඔවුන්ට ලැබී තිබෙන නිසයි. (සෙකරියා 4:6) සතුරන් කෝපයෙන් කොතරම් වියරු වැටී සිටියත් දෙවිට ප්‍රශංසා කරන අයගේ කටවල් වැසීමට ඔවුන්ට හැකි වී නැහැ. ඇත්තෙන්ම දෙවිගේ අරමුණු නිෂ්ප්‍රභ කිරීමට සාතන්ගේ කිසිම ආයුධයකට නොහැකි බව අපට සහතිකයි.

බොරු හෙළි කිරීම

5. පළමු සියවසේ සිටි දෙවිගේ සෙනඟට එල්ල කළ බොරු චෝදනා මොනවාද?

5 දෙවිගේ සෙනඟට විරුද්ධව එල්ල කරන බොරු චෝදනා ඔවුන් නිෂ්ප්‍රභ කරන බව යෙසායාගේ අනාවැකිය තුළ සඳහන් වෙනවා. පළමු සියවසේ සිටි දෙවිගේ සෙනඟ ගැනත් අසත්‍ය තොරතුරු පතළ කළ අය සිටියා. ඔවුන් පැවසුවේ මේ අය නීති විරෝධී දේවල් කරන පිරිසක් කියායි. ඔවුන්ට නැඟූ බොරු චෝදනා කිහිපයක් අපට ක්‍රියා 16:20, 21හි දැකගන්න පුළුවන්. එහි සඳහන් වන්නේ මෙසේයි. “‘මේ මිනිස්සු අපේ නගරය බොහෝ සෙයින් කලඹන්නෝය. . . . ඔවුහු රෝමවරුන් වන අපට පිළිගන්නටවත් පවත්වන්නටවත් තහනම් චාරිත්‍ර ගැන පවසන්නෝය.’” තවත් අවස්ථාවකදී එක් නගරයක සිටි පාලකයන්ව යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව පෙලඹවීමට ආගමික විරුද්ධවාදීන් පිරිසක් උත්සාහ කරමින් මෙවැනි බොරු චෝදනාවක් නැඟුවා. ‘මුළු ලෝකය පෙරළූ මිනිස්සු මෙතැනටත් ඇවිත් සිටිති. ඔවුන් සීසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියා කරති.’ (ක්‍රියා 17:6, 7) තවත් අවස්ථාවකදී පාවුල්ව “මහ වසංගතයක්” ලෙස හංවඩු ගැසූ ඒ බොරුකාරයන් පැවසුවේ ඔහු ‘ලෝකය පුරාම’ කැරලිකාර ස්වභාවයක් උපදවන්න කටයුතු කරන කෙනෙක් කියායි.—ක්‍රියා 24:2-5.

6, 7. අපට කරන නින්දා, අපහාස සහ බොරු චෝදනා නිෂ්ප්‍රභ කළ හැකි එක් ආකාරයක් විස්තර කරන්න.

6 ඒ අනුව බලද්දී අද දින සිටින දෙවිගේ සේවකයන් වන අප ගැන පළ කරන අමූලික බොරු ප්‍රචාරයන් සහ අපට නිග්‍රහා කිරීමට සංවිධානය කර ඇති කිසිම දෙයක් ගැන අප පුදුම වන්නේ නැහැ. නමුත් ඒ බොරු චෝදනා නිෂ්ප්‍රභ කරන්න අපට පුළුවන්. ඒ කෙසේද?—යෙසායා 54:17.

7 දෙවිගේ නමස්කාරකයන් හැටියට අපගේ කදිම හැසිරීම තුළින් එය කළ හැකියි. (1 පේතෘස් 2:12) අපි රටේ නිතීවලට අනුව කටයුතු කරන, යහපත් ගතිගුණ ඇති, සෙසු මිනිසුන්ගේ යහපත ගැන සැලකිලිමත් වන අය බව ක්‍රියාවෙන් පෙන්වමු. එමගින් අපට එල්ල කර ඇති චෝදනා බොරු බව තේරුම්ගන්න අන්‍යයන්ට හැකි වෙනවා. එමෙන්ම යහපත් ලෙස කටයුතු කිරීමට අප ගන්නා උත්සාහය දකින අන් අය, අපගේ දෙවි යෙහෝවාට ගෞරව කරන්න පෙලඹෙන අතර ජීවත් විය යුතු හොඳම ආකාරය එය බවත් තේරුම්ගනියි.—යෙසායා 60:14; මතෙව් 5:14-16.

8. (අ) නමස්කාර කිරීමට ඇති අයිතිය වෙනුවෙන් තව කුමක් කළ හැකිද? (ආ) යේසුස් මෙන් බොරු චෝදනා නිෂ්ප්‍රභ කිරීමට අපට හැක්කේ කෙසේද?

8 ඊට අමතරව කළ හැකි තවත් දෙයක් වන්නේ, නමස්කාර කිරීමට ඇති අපේ අයිතිය වෙනුවෙන් ආණ්ඩුවේ නිලධාරීන් වෙතට සහ උසාවිවලට ගොස් නීතිමය පියවර ගැනීමයි. (එස්තර් 8:3; ක්‍රියා 22:25-29; 25:10-12) බොරු චෝදනා එල්ල කළ විට යේසුස් කළේ කුමක්ද? එවන් අවස්ථාවලදී ඔහු නිර්භීතව මෙන්ම තර්කානුකූලව කරුණු පැහැදිලි කරමින් ඔවුන්ගේ චෝදනා බොරු බව ඔප්පු කළා. (මතෙව් 12:34-37; 15:1-11) යේසුස්ව ආදර්ශයට ගනිමින් අපගේ විශ්වාසයන් පිළිබඳව අන් අයට පැහැදිලි කිරීමට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගනිමු. (1 පේතෘස් 3:15) දේවවචනයේ සඳහන් සත්‍යය දේශනා කිරීමෙන් අපව වැළැක්වීමට පාසැලේ මිතුරන්ගෙන්, රැකියා ස්ථානයේ සේවකයන්ගෙන් හෝ නෑදෑයන්ගෙන් පැමිණෙන සමච්චල් කිරීම්වලට අපි කිසිවිටෙකත් ඉඩ නොදෙමු.—2 පේතෘස් 3:3, 4.

“නොසෙල්වෙන ගලක්”

9. සෙකරියා 12:3හි “නොසෙල්වෙන ගලක්” ලෙස හඳුන්වා ඇත්තේ කුමන යෙරුසලමද? ඉන් නියෝජනය වන්නේ පොළොව මත සිටින කුමන අයවද?

9 පොළොවේ ජාතීන් දෙවිගේ සෙනඟට විරුද්ධ වීමට හේතුව සෙකරියා විස්තර කළා. සෙකරියා 12:3හි [NW] ඔහු පවසන දේ බලන්න. “ඒ කාලයේදී යෙරුසලම, ජාතීන් ඉදිරියේ නොසෙල්වෙන ගලක් මෙන් ස්ථිරව පිහිටුවන්නෙමි.” මෙහි සඳහන් වන්නේ කුමන යෙරුසලම ගැනද? “ස්වර්ගික යෙරුසලම” ගැනයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව කැඳවා තිබෙන්නේ ඒ යෙරුසලමටයි. එනම් ස්වර්ග රාජ්‍යටයි. (හෙබ්‍රෙව් 12:22) එම රාජ්‍යයට අයත් ඔවුන්ගෙන් කුඩා කොටසක් තවමත් මේ පොළොවේ සිටිනවා. ඔවුන් තම සහයකයන් වන “වෙනත් බැටළුවන්ද” සමඟින් ජනයාට උනන්දු කරන්නේ එම රාජ්‍යයේ යටත්වැසියන් වීමට ඉක්මන් පියවර ගන්න කියායි. (යොහන් 10:16; එළිදරව් 11:15) ඊට ජනයා ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද? ඊට දෙවිගේ උපකාර ලැබී ඇත්තේ කෙසේද? සෙකරියා 12වන පරිච්ඡේදයේ අර්ථය තේරුම්ගැනීමෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න අපට හැකියි. එය දැනගැනීම මගින් දෙවිගේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහ ඔවුන්ගේ සහයකයන්ට විරුද්ධව ‘සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැති’ බවට සහතික විය හැකියි.

10. (අ) දෙවිගේ සෙනඟ පීඩා විඳීමට හේතුව කුමක්ද? (ආ) “නොසෙල්වෙන ගල” පෙරළන්න උත්සාහ කළ අයට සිදු වී ඇත්තේ කුමක්ද?

10 ජාතීන් “බරපතළ ලෙස තුවාල” ලබන බව සෙකරියා 12:3හි [NW] පවසනවා. එය සිදු වන්නේ කෙසේද? ලොව පුරා ශුභාරංචිය දේශනා කළ යුතු බවට දෙවි දී තිබෙන අණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වගකීමකින් යුතුව පිළිපදිමින් සිටිනවා. මිනිස් වර්ගයාගේ ප්‍රශ්න ගැටලුවලට තිබෙන එකම විසඳුම දේවරාජ්‍යය පමණක් බව ඔවුන් දේශනා කරනවා. ලෝකයේ ජාතීන්ට එය හරියට ඔවුන් ඉදිරියේ තිබෙන “නොසෙල්වෙන ගලක්” වගෙයි. ඔවුන් ඒ ගල ඉවත් කරන්න හෝ අහකට පෙරළන්න උත්සාහ කරනවා. එනම් ශුභාරංචිය දේශනා කිරීම නතර කරන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලය කුමක්ද? ඔවුන් ඔවුන්ටම “බරපතළ ලෙස තුවාල” කරගැනීමයි! එමෙන්ම ඔවුන් ලබන නින්දිත පරාජයන් නිසා ඔවුන්ගේ නමටත් නින්දා ඇති වී තිබෙනවා. මේ සියල්ලෙන් ඔප්පු වන්නේ අවසානය පැමිණීමට පෙර “සදාකාල ශුභාරංචිය” දේශනා කරන්නන්ව නැවැත්වීමට ඒ ජාතීන්ට කොහෙත්ම හැකි වී නැති බවයි. (එළිදරව් 14:6) දෙවිගේ සෙනඟට විරුද්ධව කළ සැහැසික ක්‍රියා දුටු එක් බන්ධනාගාර නිලධාරියෙක් පැවසුවේ මෙවැනි දෙයක්. ‘ඔය මිනිස්සුන්ට වද දෙන එකෙන් වෙන්නේ නිකම් කාලය නාස්ති වෙන එක විතරයි. එයාලට තව තවත් මිනිස්සු එකතු වෙනවා. ඒ අය කවදාවත් ප්‍රතිපත්ති පාවා දෙන පිරිසක් නම් නෙවෙයි.’

11. සෙකරියා 12:4හි සඳහන් පොරොන්දුව දෙවි ඉටු කර තිබෙන්නේ කෙසේද?

11 දැන් අපි සෙකරියා 12:4 [NW] කියවමු. එහි යෙහෝවා දෙවි පවසන්නේ ශුභාරංචිය දේශනා කරන්නන්ට විරුද්ධ වන අයව සංකේතාත්මක ආකාරයකින් අන්ධ කර ඔවුන්ව “වියරු වැටෙන්නට” සලස්වන බවයි. ඔහු කී දේ එලෙසින්ම ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් උදාහරණයක් බලන්න. එක් රටක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණා. නමුත් ඔවුන්ට අවශ්‍ය බයිබල් පොත් පත් ලැබෙන එක වළක්වන්න නම් එහි පාලකයන්ට හැකි වුණේ නැහැ. ඒ ගැන එක් පුවත්පතක සඳහන් වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගුවන් බැලූම් මගින් ඔවුන්ගේ පොත් පත් ගෙන්වා ගන්නා බවයි. යෙහෝවා දෙවි පැවසුවේ “ජාතීන්ට අයිති අශ්වයන්ව අන්ධ කරන්නෙමි” කියායි. දෙවි තම සේවකයන්ට දී තිබූ එම පොරොන්දුව කඩ කළේ නැහැ. කෝපයෙන් වියරු වැටී, ව්‍යාකූල වී සිටින ඔවුන් සිටින්නේ කුමක් කරන්නද කියාවත් නොදන්නා තත්වයකයි. නමුත් අපගේ ආරක්ෂාව ගැන අප කලබල නොවන්නේ යෙහෝවා දෙවි තම සෙනඟව කණ්ඩායමක් හැටියට ආරක්ෂා කරන බවටත් අවශ්‍ය උපකාර ලබා දෙන බවටත් අපට ඒ තරම්ම විශ්වාස නිසයි.—2 රාජාවලිය 6:15-19NW.

12. (අ) යේසුස් මේ පොළොව මත ගින්නක් ඇවිළුවේ කෙසේද? (ආ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද එය කර තිබෙන්නේ කෙසේද? එමෙන්ම කුමන ප්‍රතිඵල ඇතිවද?

12 දැන් අපි සෙකරියා 12:5 සහ 6 [NW] කියවමු. එහි සඳහන් ‘යූදා දේශයේ පාලකයන්ගෙන්’ නියෝජනය කරන්නේ දෙවිගේ සෙනඟව රැකබලා ගන්නා අයවයි. දෙවි තම බලය මගින් ඔවුන් තුළ මහත් උද්‍යෝගයක් ඇති කර තිබෙන්නේ ඔහුට අයිති අයව ඕනෑකමින් රැකබලා ගැනීම සඳහායි. එක් අවස්ථාවකදී යේසුස් ඒ හා සම්බන්ධ දෙයක් පැවසුවා. “මා ආවේ පොළොවෙහිදී ගින්නක් අවුළන්නය.” (ලූක් 12:49) ඇත්තෙන්ම ඔහු යම් ආකාරයක ගින්නක් ඇවුළුවා. එය නම් ඔහු ආරම්භ කළ දේශනා කිරීමේ කාර්යයයි. ඔහුගේ දේශනාවේ ප්‍රධානතම තේමාව වූයේ දේවරාජ්‍යයයි. එය මුළු යූදා ජාතිය පුරාම ගින්නක් මෙන් පැතිරී ගිය අතර මහත් මතභේදයටද ලක් වුණා. (මතෙව් 4:17, 25; 10:5-7, 17-20) යේසුස් මෙන් අද සිටින ඔහුගේ අනුගාමිකයන්ද ‘ලැව් ගින්නක් සහ අලුත කැපූ ධාන්‍ය ගොඩවල් විනාශ කර දමන ගිනි පන්දමක් මෙන්’ දෙවිගේ විනිශ්චයන් ඇතුළත් ශුභාරංචිය පතුරුවමින් සිටිනවා. උදාහරණයක් හැටියට 1917දී අභිරහසේ නිමාව * (සිංහලෙන් නැත.) යන පොත මගින් ක්‍රිස්තියානි ලෝකයේ කුහකකම හෙළි කළා. ඔවුන්ගේ පූජකයන් ඉන් මහත් සේ කුපිත වුණා. ඒ හා සමානව මෑතකදීද “ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?” යන රාජ්‍ය ආරංචි අංක 37 ලෝක ව්‍යාප්තව බෙදාහැරියා. දෙවිගේ රාජ්‍යයට තමන් පක්ෂ වෙනවාද නැද්ද කියා තීරණය කිරීමට බොහෝ අයව ඉන් පොලඹවා තිබෙනවා.

“කූඩාරම්වල” සිටින අයව ගලවයි

13. “යූදා දේශයේ කූඩාරම්” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම අනාරක්ෂිතව සිටින අයව දෙවි ආරක්ෂා කරන්නේ කුමක් නිසාද?

13 දැන් අපි සෙකරියා 12:7 සහ 8 [NW] කියවමු. එදා ඊශ්‍රායෙලය පුරා එඬේරුන් සහ ගොවියන් භාවිත කළ කූඩාරම් සුලබව දැකගන්න ලැබුණා. නමුත් යෙරුසලම ආක්‍රමණය කිරීමට සතුරන් පැමිණියහොත් මුලින්ම ඊට ගොදුරු වන්නේ එම කූඩාරම්වල වාසය කළ අයයි. එමනිසා මුලින්ම ආරක්ෂාව අවශ්‍ය වුණෙත් ඔවුන්ටයි. “යූදා දේශයේ කූඩාරම්” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ මේ පොළොව මත සිටින අභිෂේක ලත් ඉතිරි සාමාජිකයන් සිටින තත්වයයි. ඔවුන් හරියට අනාරක්ෂිත නුවරක වාසය කරනවා හා සමානයි. ඔවුන් දේවරාජ්‍යය හා සම්බන්ධ වැඩ කටයුතුවල දියුණුව සඳහා නිර්භීතව සේවය කරමින් සිටිනවා. ඒ හේතුවෙන් ඔවුන් සාතන්ගේ ප්‍රහාරවල මූලික ඉලක්කය නිසා තම දූතයන් මාර්ගයෙන් දෙවි ඔවුන්ව ආරක්ෂා කරනවා.

14. දෙවි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව වැටෙන්න නොදී ආරක්ෂා කරන්නේ කෙසේද?

14 ඇත්තෙන්ම ඉතිහාසයේ වාර්තාවලින් තහවුරු වන්නේ දෙවි, අනාරක්ෂිත ප්‍රදේශයේ ඇති ‘කූඩාරම්වලට’ එනම් පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ආරක්ෂාව සපයා ඇති බවයි. * එමෙන්ම ඔවුන්ව “පැකිළීමට” හෝ වැටීමට ඉඩ නොදී රණශූර දාවිත්ව මෙන් දෙවි ඔවුන්වද ශක්තිමත් කර ධෛර්යමත් කර තිබෙනවා.

15. දෙවි ‘ජාතීන්ව නැති කර දමන්නේ’ ඇයි? ඒ කුමන අවස්ථාවේදීද?

15 දැන් අපි සෙකරියා 12:9 [NW] කියවමු. දෙවි ‘ජාතීන්ව නැති කර දමන්නේ’ ඇයි? ඒ ඔවුන් නොනවත්වාම දේවරාජ්‍යයට විරුද්ධව කටයුතු කරන නිසයි. එමෙන්ම දෙවිගේ සෙනඟව තාඩන පීඩනවලට හා කුරිරු වධ හිංසාවලට ලක් කිරීම නිසා එවැනි දෙයක් ලබන්න ඔවුන් වටිනවා. ඉතාම ළඟදී පොළොව මත සිටින සාතන්ට පක්ෂ සියලුම ජාතීන් දෙවිගේ නමස්කාරකයන්ට විරුද්ධව ඔවුන්ගේ අන්තිම සටන දියත් කරයි. හර්–මගෙදොන් කියා බයිබලයේ හඳුන්වන යුද්ධය පටන්ගන්නේ එවිටයි. (එළිදරව් 16:13-16) එහිදී තම සෙනඟට විරුද්ධව සටන් කරන අයට එරෙහිව යෙහෝවා දෙවි නැඟී සිටින අතර ඔහුගේ නාමය කොතරම් පරිශුද්ධද කියා එවිට එම ජාතීන් දැකගනියි.—එසකියෙල් 38:14-18, 22, 23.

16, 17. (අ) ‘යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය’ කුමක්ද? (ආ) අප සාතන්ගේ පීඩා විඳදරාගන්නවා නම් ඉන් පැහැදිලි වන්නේ කුමක්ද?

16 ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල සහ උද්‍යෝගය හීන කරන්න තරම් සාතන්ගේ ආයුධ බලසම්පන්න නැහැ. අපට සම්පූර්ණ ආරක්ෂාව දීමට දෙවිට හැකි බව දැන සිටීම නිසා අපට මහත් සාමයක් භුක්ති විඳින්න හැකි වී තිබෙනවා. “යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.” (යෙසායා 54:17NW) අප සැමදෙනා සැබෑ නමස්කාරකයන් හැටියට භුක්ති විඳින දෙවිගේ ආශීර්වාද අපෙන් උදුරාගන්න කිසිවෙකුට බැහැ. (ගීතාවලිය 118:6) මේ අන්තිම කාලයේදී දෙවිගේ සෙනඟට පීඩා කරන්නන්ව සාතන් වැඩි වැඩියෙන් උසිගන්වයි. නමුත් ඒ කුමන පීඩාවක් යටතේ වුණත් අප විඳදරාගන්නවා නම් ඉන් ඔප්පු වන්නේ දෙවි ඔහුගේ බලය අපට දී ඇති බවයි. (1 පේතෘස් 4:14) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරා දේශනා කරන විට සංකේතාත්මක ‘ගල් පටි ප්‍රහාර’ හෙවත් විරුද්ධවාදිකම් දෙවිගේ සෙනඟට එල්ල වී තිබෙනවා. නමුත් ඒවා පවා විඳදරාගන්න දෙවි ඔවුන්ට ශක්තිය දී තිබෙනවා. (සෙකරියා 9:15NW) ඒ නිසා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වත් ඔවුන්ගේ සහයකයන්වත් නතර කිරීමට ඒ කිසිවකට හැකි වී නැහැ!

17 අප හැමදෙනාම බලා සිටින්නේ සාතන්ගේ ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම ගැලවීම ලැබෙන දවස එනතුරුයි. ඒ වන තෙක් සාතන් විසින් ‘අපට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ. අපට විරුද්ධ කතා කරන සෑම කෙනෙකුවම වරදකරුවන් බවට පත් කිරීමට අපට හැකියි.’ ඒ බව ස්ථිර වශයෙන්ම දැන සිටීම අපට මොන තරම් සහනයක්ද!

[පාදසටහන්වල]

^ 12 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

^ 14 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් මුද්‍රිත දේවරාජ්‍යය ප්‍රකාශ කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යන පොතේ 675-676 පිටු බලන්න.—සිංහලෙන් නැත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• සාතන්ගේ ආයුධ හෙවත් ප්‍රහාර අසාර්ථක වී ඇති බව පෙනෙන්නේ කුමකින්ද?

• ස්වර්ගික යෙරුසලම “නොසෙල්වෙන ගලක්” වන්නේ කෙසේද?

• යෙහෝවා දෙවි ‘යූදාහි කූඩාරම්වල’ සිටින අයව ගලවන්නේ කෙසේද?

• හර්–මගෙදොන් යුද්ධයට ළං වෙත්ම අපට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූර]

සාතන්ගේ ප්‍රහාර හමුවේ පවා ඇල්බේනියාවේ සාක්ෂිකරුවන් දෙවිට විශ්වාසවන්තව සිටියා

[23වන පිටුවේ පින්තූරය]

යේසුස් බොරු චෝදනා නිෂ්ප්‍රභ කළා

[24වන පිටුවේ පින්තූර]

ශුභාරංචිය දේශනා කරන්නන්ට එරෙහිව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ