Skip to content

පටුනට යන්න

‘නොසැලී ස්ථිරව සිට දෙවි දෙන ගැලවීම බලන්න’

‘නොසැලී ස්ථිරව සිට දෙවි දෙන ගැලවීම බලන්න’

‘නොසැලී ස්ථිරව සිට දෙවි දෙන ගැලවීම බලන්න’

“යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින්නේය. ඒ නිසා මම භය නොවෙමි. මිනිසාට මට කළ හැක්කේ කුමක්ද?”—ගීතාවලිය 118:6, නව ලොව පරිවර්තනය, NW.

1. ඉදිරියේදී මිනිසුන් මුහුණ දීමට නියමිත භයානක තත්වය කුමක්ද?

මිනිස් ඉතිහාසයේ කිසිමදාක සිදු නොවූ ආකාරයේ භයානක කාලයකට මුහුණ දීමට තව ඇත්තේ ඉතාම කෙටි කාලයයි. ඒ ගැන යේසුස් තම ගෝලයන්ට පැවසුවේ මෙසේයි. “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ, නැවත නොවන්නාවූ මහත් පීඩාවක් එවිට වන්නේය. ඒ දවස් කෙටි නොකළේ නම් කිසි කෙනෙක් ගැලවෙන්නේ නැත. නමුත් තෝරාගත් අය නිසා ඒ දවස් කෙටි කරනවා ඇත.”—මතෙව් 24:21, 22.

2. දේවදූතයන් මහත් පීඩාව ප්‍රමාද කිරීමට හේතුව කුමක්ද?

2 ඒ මහත් පීඩාව දේවදූතයන් විසින් යම් කාලයකට වළක්වාගෙන සිටින බව බයිබලයේ පැහැදිලි කරනවා. ඊට හේතුව කුමක්ද? ස්වර්ගයට ගොස් සිටින යේසුස් විසින් එය යොහන්ට එළිදරව් කළ අතර ඔහු එය වාර්තා කර ඇත්තේ මෙසේයි. “දේවදූතයන් සතරදෙනෙකු පොළොවේ කොන් සතරෙහි සිටගෙන සිටිනවා මම දුටිමි. . . . ඔවුහු පොළොවේ සතරදිග සුළං තදින් අල්ලාගෙන සිටියහ. එවිට තවත් දේවදූතයෙකු මම දුටිමි. ඔහු, ජීවමාන දෙවිගේ මුද්‍රාවක් ඇතිව, නැඟෙනහිරෙන් නැඟී එනවා දුටිමි. . . . ඔහු, මහත් හඬකින් කතා කොට: ‘අපේ දෙවිගේ දාසයන්ගේ නළල්වල අප මුද්‍රා තබන තුරු, පොළොවටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්න’ යයි කීවේය.”—එළිදරව් 7:1-3.

3. මහත් පීඩාවේ ආරම්භයත් සමඟම සිදු වන්නේ කුමක්ද?

3 “අපේ දෙවිගේ දාසයන්” හෙවත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අවසන් මුද්‍රාව තැබීම දැන් අවසන් වෙමින් පවතිනවා. එම කාර්යය අවසන් වූ ගමන් දේවදූතයන් විසින් මහත් පීඩාව නමැති සුළං මුදාහරිනවා. ඉන්පසුව සිදු වන දේ එක් දේවදූතයෙක් විස්තර කරන්නේ මෙසේයි. “මහත් නුවර වන බැබිලෝනිය හෙළනු ලබන්නීය. නැවත කිසිදාක ඇය සම්බ නොවන්නීය.” (එළිදරව් 18:21) අසත්‍යය උගන්වන සියලුම ආගම් එයාකාරයෙන් විනාශ වෙද්දී ස්වර්ගයේ මොන තරම් ප්‍රීති ඝෝෂාවක් තිබෙනු ඇද්ද!—එළිදරව් 19:1, 2.

4. ඉදිරියේදී සිදුවීමට නියමිත තව කුමන දේවල්ද?

4 ඉන්පසුව ඉතිරි වී සිටින දෙවිගේ නමස්කාරකයන්ට විරුද්ධව පොළොවේ සිටින සියලුම ජාතීන් නැගී සිටින බව බයිබලය පවසනවා. ඔවුන් දෙවිගේ නමස්කාරකයන්ව විනාශ කරයිද? එසේ කරන්න තමන්ට හැකියි කියා ඔවුන් සිතුවත් ඔවුන්ගේ අරමුණ ඉෂ්ට වන්නේ නැහැ. ඊට හේතුව නම් යේසුස් ඔහුගේ දේවදූත සේනාව සමඟ පැමිණ ඒ සියලු ජාතීන්ව විනාශ කර දමන නිසයි. (එළිදරව් 19:19-21) ඉන්පසුව සාතන්වත් ඔහුගේ භූතයන්වත් අවුරුදු දහසකට බැඳ තැබීමට යේසුස් කටයුතු කරනවා. එනම් මිනිස් වර්ගයාව කිසිම ආකාරයකින් නොමඟ යැවිය නොහැකි වන ලෙස ඔවුන්ව අක්‍රියාශීලී තත්වයකට පත් කිරීමට නියමිතයි. මේ පොළොව මත ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින මහත් සමූහයට එය මොන තරම් සැනසිලිදායක ආරංචියක්ද!—එළිදරව් 7:9, 10, 14; 20:1-3.

5. දෙවිට පක්ෂව සිටින අයට ප්‍රීති විය හැක්කේ කුමක් නිසාද?

5 එම පුදුමාකාර සිදුවීම් පෙළ දැකගැනීමට අපට ඇත්තේ තව කෙටි කාලයයි. මේ මුළු විශ්වයත් එහි ඇති සියල්ලත් පාලනය කිරීමට යෙහෝවා දෙවිට ඇති අයිතිය ඒ සියලු සිද්ධීන්වලින් තහවුරු වීමට නියමිතයි. එමනිසා අපි සෑම කාරණයකදීම දෙවිට පක්ෂව සිටිමින් අපිව පාලනය කිරීමට ඔහුට ඇති අයිතිය පිළිගනිමු. දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමේ සහ ඔහුගේ අරමුණු ඉටු කිරීමේ කාර්යයට දායක වීමට එමගින් අපට අවස්ථාව උදා වෙනවා. එයින් අපට ලැබෙන ප්‍රීතිය කියා නිම කරන්න බැරි වේවි!

6. මහත් පීඩාවට මුහුණ දීම සඳහා කුමන සිද්ධීන් සලකා බැලීම අපට උපකාරවත් වෙයිද?

6 එම සිදුවීම්වලට මුහුණ දීමට අප සුදුසු තත්වයක සිටිනවාද? අපව ගලවාගැනීමට දෙවිට ඇති හැකියාව ගැන අපට විශ්වාසද? ඒ සඳහා නිසි වේලාවට ඔහු ඉදිරිපත් වෙයි කියා අපට ස්ථිරද? ඒ ගැන හොඳින් සිතා බැලිය යුතු අතර පාවුල් දුන් මේ උපදෙසද මතකයේ තබාගනිමු. “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.” (රෝම 15:4) අපගේ ප්‍රයෝජනය සඳහා ලියා ඇති දේවල් අතර ඊජිප්තුවේ කෲර පාලකයන් අතින් දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත් ආකාරයත් සඳහන් වී තිබෙනවා. එවන් වාර්තා හොඳින් පරීක්ෂා කිරීමෙන් අපට සැනසිල්ලක් මෙන්ම බලාපොරොත්තුවක්ද ඇතිව සිටින්න පුළුවන්. දෙවි එදා ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත් ආකාරය, මහත් පීඩාව ආසන්නයේ සිටින අපට මහත් දිරිගැන්වීමක්ද සපයනවා. එමනිසා අපි දැන් පුරාණයේ සිදු වූ ඒ සිද්ධීන්වලට හොඳ අවධානයක් දෙමු.

දෙවි තම සෙනඟව ගලවයි

7. ක්‍රිස්තු පූර්ව 1513දී ඊජිප්තුවේ හටගත් කැළඹිලි සහිත තත්වය කුමක්ද?

7 එය ක්‍රිස්තු පූර්ව 1513යි. ඒ වන විටත් දෙවි ඊජිප්තුවරුන්ට පීඩා නවයකින් ප්‍රබල ලෙස පහර දී තිබුණා. නවවන පීඩාවෙන් පසුව පාරාවෝ මෝසෙස් කැඳවා රළු පරුෂ ලෙස මෙසේ පැවසුවා. “තව මොහොතක්වත් මෙහි රැඳී සිටින්න නුඹට බැහැ. මගේ දැහැට නොපෙනී මෙතැනින් යන්න. නුඹ මා ළඟට නැවත පැමිණියොත් නුඹව මරා දමනවා!” එවිට මෝසෙස් “ඔබ කියූ ලෙසම මම නැවත ඔබ ඉදිරියට එන්නේ නැහැ” කියා ඔහුට පිළිතුරු දුන්නා.—නික්මයාම 10:28, 29NW.

8. ගැලවීම සඳහා ඊශ්‍රායෙල්වරුන් කළ යුතු වුණේ කුමක්ද? ඉන්පසුව සිදු වූයේ කුමක්ද?

8 ඉන්පසුව තමන් ඊජිප්තු වැසියන් පිට ගෙනෙන අවසන් පීඩාව ගැන යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසුවා. ඒ අනුව නීසාන් මස 14වෙනිදා ඊජිප්තු වැසියන්ගේ සහ සතුන්ගේ කුලුඳුලන්ව විනාශ කිරීමට දෙවි තීරණය කළා. නමුත් ඊශ්‍රායෙල්වරුන්ට ඉන් ගැලවීමට අවස්ථාවක් තිබුණා. ඒ කෙසේද? දෙවි මෝසෙස් තුළින් දුන් මඟ පෙන්වීම් ඒ ආකාරයෙන්ම පිළිපැදීමෙනුයි. බැටළු පැටවෙකු මරා උගේ ලේ ඔවුන්ගේ නිවෙස්වල උළුවහු කණු දෙකේ සහ එහි උඩ ලීයේ තවරන්න කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කළා. ඉන්පසු ඔවුන්ගේ නිවෙස් තුළටම වී සිටින්න කියාත් දෙවි ඔවුන්ට පැවසුවා. එදින රාත්‍රියේදී සිදු වුණේ කුමක්ද? ඒ ගැන මෝසෙස් මෙසේ වාර්තා කළා. “මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවි ඊජිප්තු දේශයේ සිටි සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.” මෙයින් බොහෝ සේ කැලැඹුණු පාරාවෝ වහාම මෝසෙස්ව සහ ආරොන්ව කැඳවා මෙසේ පැවසුවා. “නුඹලා තව මොහොතක්වත් මගේ සෙනඟ අතරේ රැඳී නොසිටින්න. වහාම මෙතැනින් යන්න. නුඹලා කියූ ලෙස මුළු ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ගොස් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.” වහාම ක්‍රියාත්මක වූ මිලියන තුනක් පමණ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටවීමට පියවර ගත්තා. බයිබලයේ පවසන පරිදි “වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්ද” ඔවුන් සමඟ මේ ගමනට එක් වුණා.—නික්මයාම 12:1-7, 29, 31, 37, 38NW.

9. දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ගෙන ගියේ කුමන මාර්ගයෙන්ද? ඊට හේතුව කුමක්ද?

9 මොවුන්ගේ ගමනාන්තයට ළඟාවීම සඳහා කෙටි පාරක් තිබුණා. ඒ, මධ්‍යධරණී මුහුද අසලින් ගොස් පිලිස්තියන්ගේ ප්‍රදේශය මැදින් ගමන් කිරීමයි. නමුත් එහි සිටින සතුරු හමුදාවන්ගෙන් එල්ල විය හැකි තර්ජනවලින් බේරාගැනීමට දෙවි ඔවුන්ව රතු මුහුද අසල පාළුකරය ප්‍රදේශයෙන් ගෙන ගියා. මේ ගමනට මිලියන ගණනක් එක් වී සිටියත් ඔවුන් හිතුමනාපේ ගමන් කළේ නැහැ. අප එය දන්නේ කෙසේද? බයිබලයේ පවසන්නේ “යුද්ධයට යන හමුදාවක් මෙන් ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තු දේශයෙන් පිටතට ගියෝය” කියායි. එනම් ඔවුන් සංවිධානාත්මක ආකාරයෙන් ගමන් කළ බව පැහැදිලියි.—නික්මයාම 13:17, 18NW.

‘දෙවි දෙන ගැලවීම බලන්න’

10. පීහහීරොත් ඉදිරිපිට කඳවුරු බැඳගන්න කියා දෙවි අණ කිරීමට හේතුව කුමක්ද?

10 ඊළඟට සිදු වූ දේවල් මොන තරම් පුදුමාකාරද! දෙවි මෝසෙස්ට කතා කර මෙසේ පැවසුවා. “නැවත හැරී ගොස් මුහුද හා මිග්දෝල් අතර පිහිටි පීහහීරොත්හි කඳවුරු බැඳගන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. ඔබ මුහුදට කිට්ටුවෙන් බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගත යුතුයි.” දෙවි අණ කළ ලෙසම ඔවුන් කළා. නමුත් ඔවුන් කඳවුරු බැඳගත් ස්ථානයේ එක් පැත්තකින් කඳු, අනෙක් පැත්තෙන් රතු මුහුදත් නිසා ඔවුන් කොටු වී ඇති බවක් ඔවුන්ට හැඟුණා. නමුත් දෙවි එම ස්ථානයට යන්න කියා අණ කළේ අරමුණක් ඇතිවයි. ඒ ගැන දෙවි මෝසෙස්ට හෙළි කළේ මෙසේයි. “පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩ හරින්නෙමි. නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය මහිමයට පමුණුවන්නෙමි. එවිට ඊජිප්තුවරුන් මම යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”—නික්මයාම 14:1-4NW.

11. (අ) පාරාවෝ කළේ කුමක්ද? එමෙන්ම ඊශ්‍රායෙල්වරුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ කුමක්ද?

11 ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩහැරීමෙන් තමන් කළේ ලොකු මෝඩකමක් කියා පාරාවෝට සිතුණා. ඒ නිසා ඔහු වහාම ඔහුගේ විශේෂ යුධ රථ 600ක් සමඟ මුළු යුද හමුදාවම සූදානම් කරගෙන ඊශ්‍රායෙල්වරුන් පසුපස ලුහුබැන්දා. ඈතින් එන ඊජිප්තු හමුදාව දුටු ඊශ්‍රායෙල්වරුන් මහත් සේ බියට පත් වී මෝසෙස්ට මෙසේ චෝදනා කළා. “ඔබ අපිව ඊජිප්තු දේශයේ සිට මේ පාළුකරයට ගෙනාවේ ඇයි? අපිව මරා දමන්නද? ඊජිප්තු දේශයේ මිනී වළවල් නැති නිසාද?” නමුත් දෙවිට තම සෙනඟව ගලවාගැනීමට හැකි බව දැඩි සේ විශ්වාස කළ මෝසෙස් ඔවුන්ට මෙසේ පැවසුවා. “භය වෙන්න එපා. නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය ඔබේ ඇස් දෙකෙන්ම බලන්න. . . . යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සටන් කරයි. ඔබ නිශ්චලව බලා සිටින්න.”—නික්මයාම 14:5-14NW.

12. දෙවි තම සෙනඟව ගලවාගත්තේ කෙසේද?

12 මෝසෙස්ගේ වචන සැබෑ කරමින් යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් මැදිහත් වී ඔවුන්ව ගලවාගත්තා. මෙතෙක් ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් මඟ පෙන්වමින් ගිය වලා ටැඹ, ඔවුන්ගේ පසුපසින් යෑමට දෙවි සැලැස්සුවා. එමගින් ඊජිප්තුවරුන්ට අන්ධකාරයත් ඊශ්‍රායෙල්වරුන්ට ආලෝකයත් ලැබුණා. (නික්මයාම 13:21, 22; 14:19, 20) දෙවිගෙන් ලැබූ අණ පරිදි මෝසෙස් තම අත රතු මුහුද දෙසට දිගු කළා. ඉන්පසු සිදු වූ දේ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්සුවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය. මුහුදු පතුල මතු විය. පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය. ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය තාප්පයක් මෙන් තිබිණ.” ඊජිප්තුවරුන්ද දිගටම ඔවුන් පසුපස හඹා ආවා. නමුත් යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් සටන් කළා. සතුරු හමුදාව තුළ මහත් වියවුලක් ඇති කළ දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවා. “මුහුද නැවත එකතු වී ඊජිප්තුවරුන්වද ඔවුන්ගේ යුධ රථද අසරුවන්ද සම්පූර්ණයෙන්ම යට වී යන පිණිස දැන් ඔබේ අත මුහුද දෙසට දිගු කරන්න.” එහි ප්‍රතිඵලයක් හැටියට, පාරාවෝ ඇතුළු මුළු ඊජිප්තු හමුදාවම විනාශ වුණා.—නික්මයාම 14:21-28NW; ගීතාවලිය 136:15.

අපට ගත හැකි පාඩම්

13. ලැබූ ගැලවීම ගැන ඊශ්‍රායෙල්වරුන් දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

13 දෙවි ලබා දුන් ඒ පුදුමාකාර ගැලවීම අද්දුටු අයට ඒ ගැන හැඟුණේ කෙසේද? ඒ ගැන ප්‍රීතියෙන් උතුරා ගිය මෝසෙස් සහ මුළු ඊශ්‍රායෙල් සෙනඟ, යෙහෝවා දෙවිට මෙසේ ගීතිකාවලින් ප්‍රශංසා කරන්න පටන්ගත්තා. “මම ඔහුට ගී ගයන්නෙමි. යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයට රජකම් කරන්නේය.” (නික්මයාම 15:1, 18NW) දෙවි ලබා දුන් ගැලවීම සම්බන්ධයෙන් ඔවුන් මුලින්ම කළේ කුමක්ද? දෙවිට ප්‍රශංසා කිරීමයි. එම සිද්ධියෙන් තවත් දෙයක් තහවුරු වුණා. එනම් මුළු විශ්වයේම පාලකයා ඔහු බවයි.

14. (අ) ඊශ්‍රායෙල්වරුන් ලැබූ ගැලවීම සම්බන්ධයෙන් අපට දෙවි ගැන ඉගෙනගත හැක්කේ මොනවාද? (ආ) එමෙන්ම 2008 වාර්ෂික පදය කුමක්ද?

14 එම පුදුම දනවන සිද්ධීන්වලින් අපට බොහෝ දේ ඉගෙනගන්නත් සැනසිල්ලක් ලබන්නත් බලාපොරොත්තුවක් ඇතිව සිටින්නත් පුළුවන්. ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? අප කොතරම් භයානක තත්වයන්ට මුහුණ දුන්නත් දෙවි අපගේ පැත්තේ සිටිමින් අපව ගලවාගැනීමට ඔහුට හැකි බවයි. රතු මුහුද දෙබෑ කිරීමට දෙවි බලවත් සුළඟක් යොදාගත්තා. එයින්ද පෙන්නුවේ තම සෙනඟට බාධා කිරීමට මහා ජල කඳකටවත් ඉඩ නොදෙන බවයි. ඊශ්‍රායෙල් සෙනඟ ඔවුන්ගේ ගැලවීම සඳහා පය තබා ගිය මඟ ඊජිප්තුවේ හමුදාවට විනාශයේ මඟක් වුණා. ඒ දේවල් ගැන බැරෑරුම්ව සිතා බලනවා නම් ගීතිකාකරු මෙන් ස්ථිර විශ්වාසයකින් මෙසේ පවසන්න අපටත් හැකියි. “යෙහෝවා දෙවි මාගේ පැත්තේ සිටින්නේය. ඒ නිසා මම භය නොවෙමි. මිනිසාට මට කළ හැක්කේ කුමක්ද?” (ගීතාවලිය 118:6NW) එමෙන්ම රෝම 8:31හි පාවුල් පැවසූ වදන්ද අපට මහත් සැනසිල්ලක් ගෙන දෙනවා. “දෙවි අපේ පැත්තේ නම්, අපට විරුද්ධ වන්නේ කවුද?” එම වචන අපට මොන තරම් ශක්තියක්ද! අනාගතය ගැන අප තුළ ඇති විය හැකි බිය සැක දුරු කරගෙන අපගේ බලාපොරොත්තුව ශක්තිමත් කරගන්නත් එය මහත් උපකාරයක්. එමෙන්ම 2008 වාර්ෂික පදය සඳහා යොදාගෙන ඇති වචන කොතරම් යෝග්‍යද! එහි සඳහන් වන්නේ මෙසේයි. ‘නොසැලී ස්ථිරව සිට, යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය බලන්න.’—නික්මයාම 14:13NW.

15. ගැලවීම සඳහා ඊශ්‍රායෙල්වරුන්ට කීකරුකම කොතරම් වැදගත් වුණාද? එමෙන්ම අද සිටින අපට එය කොතරම් වැදගත්ද?

15 ඊජිප්තුවෙන් පිට වී ආ ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපට තව ඉගෙනගත හැක්කේ මොනවාද? එදා පාස්කු මංගල්‍යයට සූදානම් වීම සඳහා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අණ කළ සෑම දෙයකටම ඔවුන් කීකරු වුණා. එමෙන්ම දෙවි කී ලෙස ඔවුන් නීසාන් මස 14දා රාත්‍රියේදී ඔවුන්ගේ නිවෙස් තුළටම වී සිටියා. ඔවුන් ඊජිප්තුවෙන් පිට වී යා යුතු වුණේ “යුද්ධයට යන හමුදාවක්” ලෙසයි. ඔවුන් එයටත් කීකරු වුණා. (නික්මයාම 13:18NW) ඒ හා සමානව දෙවි අපට අණ කරන ඕනෑම දෙයක් කරන්න අපත් සූදානමින් සිටිය යුතුයි. අද දින දෙවි අපට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළින් ලබා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වීම ඉතාමත් වැදගත්. (මතෙව් 24:45) එමෙන්ම අප “යා යුතු මාර්ගයේ නොගොස් දකුණටවත් වමටවත් හැරුණොත්, . . . ‘යා යුතු මාර්ගය මෙයයි’” කියා දෙවිගේ වචනය අපට මඟ පෙන්වද්දී අප ඊට අවනත විය යුතුයි. (යෙසායා 30:21NW) මහත් පීඩාව ළඟා වෙනවාත් සමඟම දාස පන්තිය අපට විශේෂ මඟ පෙන්වීම් සපයන බවට සැකයක් නැහැ. මෙම කලබලකාරී අන්තිම දවස්වලදී අප යන ගමන ආරක්ෂාකාරීව යෑමට හැකි වන්නේ අපත් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් සමඟ එකට ගමන් කරනවා නම් පමණයි.

16. ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගැනීමට දෙවි ක්‍රියා කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

16 දෙවි එක් අවස්ථාවකදී පීහහීරොත්හි කඳවුරු බඳින්න කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ අවස්ථාව ඔබට මතකද? එක් පැත්තකින් කඳුත් අනෙක් පැත්තෙන් රතු මුහුදත් නිසා තමන් පැමිණියේ වැරදි තැනකට කියා ඔවුන්ට සිතෙන්න ඇති. නමුත් දෙවි තම නාමය මහිමයට පත් කිරීම සඳහාත් තම සෙනඟගේ ගැලවීම සඳහාත් සියල්ල නිවැරදිව සැලසුම් කර තිබුණා. ඒ හා සමානව අද දිනත් දෙවිගේ සංවිධානය මගින් ගන්නා යම් තීරණ හෝ යම් කාරණා හසුරුවන ආකාරය ගැන අපට පූර්ණ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් දෙවි ඔහුගේ විශ්වාස වූ නුවණ ඇති දාසයා මගින් සපයන මඟ පෙන්වීම් සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට අපට ඕනෑ තරම් හේතු තිබෙනවා. එමෙන්ම සමහර අවස්ථාවලදී අපගේ සතුරන් ඉදිරියේ අප අසරණ වී ඇති බවක් අපට හැඟෙන්න පුළුවන්. නමුත් අතීතයේදී මෙන් නියම වේලාවට තම සේවකයන්ව ගලවාගන්න දෙවිට හැකි බව අපට විශ්වාසයි.—හිතෝපදේශ 3:5.

දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න

17. දෙවිගේ මඟ පෙන්වීම් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමට අපට තිබෙන හේතු මොනවාද?

17 එදා ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පැමිණෙද්දී ඔවුන්ට මඟ පෙන්වීමට දහවල් කාලයේ වලා ටැඹක්ද රාත්‍රි කාලයේ ගිනි ජාලාවක්ද ඔවුන් ඉදිරියෙන් ගමන් කළා. එමගින් දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් ඔවුන් තුළ ඇති කරන්න ඇද්ද! “සැබෑ දෙවිගේ දූතයා” පෙරමඟ යමින් ඔවුන්ට මඟ පෙන්වන බවට එය ඔවුන්ට කදිම සාක්ෂියක් ලබා දුන්නා. (නික්මයාම 13:21, 22; 14:19NW) ඒ හා සමානව අද දිනත් දෙවි අප සමඟ සිට අපට අවශ්‍ය මඟ පෙන්වීම, ආරක්ෂාව සහ ගැලවීම ලබා දෙන බව අපට සහතිකයි. එමෙන්ම බයිබලයේ සඳහන් මේ පොරොන්දුවද අපි මතකයේ තබාගනිමු. “තමාට පක්ෂපාත අයව ඔහු අත් නොහරියි. ඔවුහු සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නෝය.” (ගීතාවලිය 37:28NW) අපිට බලවත් දේවදූත සේනාවකගේ ආරක්ෂාව ලැබෙන බවද කිසිවිටෙක අමතක නොකරමු. ඔවුන්ගේ උපකාර ඇතිව ‘නොසැලී ස්ථිරව සිට, යෙහෝවා දෙවි දෙන ගැලවීම බලා සිටින්න’ ඒ නිසා අපට හැකියි.—නික්මයාම 14:13NW.

18. අප “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” අවශ්‍ය ඇයි?

18 එසේනම් ‘නොසැලී ස්ථිරව සිටින්න’ අපට හැකියාව ලබා දෙන්නේ කුමක්ද? පාවුල් එෆීසවරුන්ට ලියූ ලිපියේ සඳහන් කළ ආයුධ කට්ටලය පැළඳ සිටීමයි. පාවුල් එහි අපට පවසන දේ හොඳින් සැලකිල්ලට ගන්න. ඔහු උපදෙස් දෙන්නේ “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” කියායි. අප මෙම ආයුධ කට්ටලයේ සියලුම කොටස් පැළඳ සිටිනවාද? අපගේ දුර්වලකම් මොනවාද කියා අපේ සතුරා වන සාතන් හොඳින් දන්නා අතර ඒවාට පහර දී අපගේ ඇදහිල්ල දුර්වල කිරීමට ඔහු නිතරම උත්සාහ කරනවා. එමනිසා සාතන් සහ ඔහුගේ භූතයන්ට එරෙහිව දිගටම ‘පොරබැදීමට’ අපට සිදු වී තිබෙනවා. අපි එම යුද්ධායුධ කට්ටලයේ සියලුම කොටස් සවිමත් ලෙස පැළඳගෙන සිටිනවාද කියා පෞද්ගලිකව පරීක්ෂා කර බැලීමට එළඹෙන අවුරුද්ද තුළදී අධිෂ්ඨාන කරගනිමු. එවිට යෙහෝවා දෙවි සපයන ශක්තිය සමඟින් එම පොරබැදීමෙන් ජය ගන්න අපට හැකියි.—එෆීස 6:11-18; හිතෝපදේශ 27:11.

19. විඳදරාගැනීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

19 වරක් යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “ඔබේ විඳදරාගැනීම නිසා ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේය.” (ලූක් 21:19) විවිධාකාර අභියෝග හමුවේ දෙවිට විශ්වාසවන්තව විඳදරාගත් අය මෙන් වීමට අපත් උත්සාහ කරමු. එවිට ‘නොසැලී ස්ථිරව සිට, යෙහෝවා දෙවි දෙන ගැලවීම බලා සිටීමට’ අවශ්‍ය උපකාර දෙවිගෙන් අපට ලැබෙයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ඉදිරියේදී සිදුවීමට නියමිත මවිතකර දේවල් මොනවාද?

• ගලවාගැනීම සඳහා දෙවි තමන්ට ඇති බලය ක්‍රි.පූ. 1513දී පෙන්වූයේ කෙසේද?

• ඔබගේ අධිෂ්ඨානය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වර්ෂ 2008 සඳහා වාර්ෂික පදය වන්නේ මෙයයි. ‘නොසැලී ස්ථිරව සිට, යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය බලන්න.’—නික්මයාම 14:13NW.

[17වන පිටුවේ පින්තූරය]

“කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත”

[18වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවට මහත් විනාශයක් ගෙන ආවේ පාරාවෝගේ මුරණ්ඩුකමයි

[19වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම ලැබුණේ ඔවුන් දෙවි අණ කළ සියල්ල කළ නිසයි