Skip to content

පටුනට යන්න

මලාකි පොතෙන් විශේෂාංග

මලාකි පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

මලාකි පොතෙන් විශේෂාංග

යෙරුසලමේ දේවමාලිගාව යළි ගොඩනඟා අවුරුදු 70ක් පමණ ගත වෙලා. නමුත් මේ වන විට යුදෙව්වන්ට දෙවි සමඟ තිබූ මිත්‍රත්වය පවතින්නේ ඉතාම දුර්වල තත්වයකයි. පූජකයන් පවා දූෂිත ක්‍රියාවල නිරත වී සිටිනවා. ඔවුන් සිටින සැබෑ තත්වය ඔවුන්ට තේරුම් කර දී දෙවිට ළං වන්න ඔවුන්ට උපකාර කරන්නේ කවුද? මේ අභියෝගාත්මක කාර්යය යෙහෝවා දෙවි අනාගතවක්තෘ වූ මලාකිට භාර දෙන්නේ ඒ කාලයේදීයි.

අනාවැකි අඩංගු හෙබ්‍රෙව් ලියවිල්ලේ අවසාන පොත මලාකි විසින් ලියා ඇති අතර ඒ සඳහා ඔහු යොදාගෙන තිබෙන්නේ ඍජු භාෂා ශෛලියක්. එහි සඳහන් අනාවැකිවලට හොඳ අවධානයක් දීමෙන් අපට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. විශේෂයෙන්ම මේ දුෂ්ට සමාජ ක්‍රමය විනාශ කිරීමට ගෙනෙන ‘යෙහෝවා දෙවිගේ බිය උපදවන මහත් දවසට’ සූදානම් වීමට එමගින් අපට හැකි වෙනවා.—මලාකි 4:5, නව ලොව පරිවර්තනය, NW.

‘බොහෝදෙනෙකුව වැරදි මාර්ගයේ යවා ඇත’

(මලාකි 1:1–2:17NW)

“මම ඔබට කොතරම් ආදරයෙන් සැලකුවාද!” කියා යෙහෝවා දෙවි ඇසීමෙන් ඔහු ඊශ්‍රායෙල් ජනයා කෙරෙහි මොන තරම් දයාවක් දැක්වුවාද කියා පෙනෙනවා. නමුත් පූජකයන් දෙවිගේ නාමය කෙලෙසුවා. ඒ, දෙවිගේ “පූජාසනය මත අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන්” සහ “කොර සතෙක්ව එසේත් නැත්නම් ලෙඩ සතෙක්ව” ඔප්පු කිරීමෙනුයි.—මලාකි 1:2, 6-8.

පූජකයන් විසින් ‘බොහෝදෙනෙකුව වැරදි මාර්ගයේ යවා තිබුණා.’ සෙනඟ ‘එකිනෙකාට ද්‍රෝහිකම් කළා.’ සමහරු අන්‍යජාතික කාන්තාවන්ව විවාහ කරගත්තා. තවත් සමහරු තම “තරුණ කාලයේදී විවාහ කරගත් බිරිඳට ද්‍රෝහී” වුණා.—මලාකි 2:8, 10, 11, 14-16.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

2:2—යෙහෝවා දෙවි, නොඇදහිලිකාර පූජකයන් සෙනඟට කළ ‘ආශීර්වාද ශාපයකට හැරෙව්වේ’ කෙසේද? පූජකයන් දෙවිගේ ආඥා සෙනඟට ඉගැන්වූයේ නැති නිසා එවැනි පූජකයන් සෙනඟට කළ ආශීර්වාද දෙවි ශාප බවට හැරවීමෙනුයි.

2:3—පූජකයන්ගේ මුහුණුවලට ‘ගොම ඉසීමෙන්’ අදහස් කරන්නේ කුමක්ද? දෙවිගේ නීතියට අනුව පූජා කළ සතුන්ගේ ගොම කඳවුරෙන් පිටතට ගෙන ගොස් පුළුස්සා දැමිය යුතු වුණා. (ලෙවී කතාව 16:27) නමුත් එවන් පිළිකුල් දෙයක් පූජකයන්ගේ මුහුණුවලට ඉසීමෙන් අදහස් කළේ ඔවුන් ඉතාමත් පිළිකුල්සහගත පුද්ගලයන් වූ නිසා දෙවි ඔවුන්ගේ පූජාවන් ප්‍රතික්ෂේප කළ බවයි.

2:13—දෙවිගේ පූජාසනය තෙත් වී තිබුණේ කාගේ කඳුළුවලින්ද? දෙවි ඉදිරියේ තමන්ගේ හදවතේ දැඩි වේදනාව නිසා වැගිරූ යුදෙව් භාර්යාවන්ගේ කඳුළුයි. ඔවුන් එතරම් වේදනාවක් වින්දේ ඇයි? නීත්‍යානුකූල නොවූ හේතු මත ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන්ව දික්කසාද කර තිබූ නිසයි. පෙනෙන ආකාරයට ඔවුන් එසේ කර තිබුණේ අන්‍යජාතික තරුණ කාන්තාවන්ව විවාහ කරගැනීමේ අරමුණෙනුයි.

අපට ගත හැකි පාඩම්:

1:10. ගිජු පූජකයන්ගේ පූජාවන් ගැන දෙවි කොහෙත්ම සතුටු වුණේ නැහැ. දේවමාලිගාවේ දොරවල් වැසීම හෝ සත්ව පූජා සඳහා පූජාසනයේ ගිනි දැල්වීම වැනි සාමාන්‍ය සේවාවන් සඳහාත් ඔවුන් මිනිසුන්ගෙන් මුදල් අය කළා. දේවසේවය ඇතුළු දෙවිට කරන නමස්කාරයේදී වාසි ප්‍රයෝජන තකා නොව දෙවිටත් අසල්වැසියාටත් තිබෙන පරාර්ථකාමී ප්‍රේමය නිසා එය කිරීමට අප වගබලා ගත යුතුයි.—මතෙව් 22:37-39; 2 කොරින්ති 11:7.

1:14; 2:17. වංකකම යෙහෝවා දෙවි හෙළා දකිනවා.

2:7-9. රැස්වීම්වල ඉගැන්වීමේ වරප්‍රසාදය තිබෙන අය තමන් උගන්වන දේ දෙවිගේ වචනයටත් “විශ්වාසවන්ත සේවකයා” පළ කරන ප්‍රකාශනවලටත් එකඟ විය යුතුයි.—ලූක් 12:42; යාකොබ් 3:11.

2:10, 11. විවාහ විය යුත්තේ “ස්වාමීන් තුළ පමණි” යන උපදෙස පිළිපැදීම යෙහෝවා දෙවි තම නමස්කාරකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා.—1 කොරින්ති 7:39.

2:15, 16. දෙවිගේ නමස්කාරකයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ විවාහ පොරොන්දුව බැරෑරුම්ව මෙන්ම ගෞරවයෙන් සැලකිය යුතුයි.

‘සැබෑ ස්වාමීන් ඔහුගේ ගෘහයට පැමිණෙයි’

(මලාකි 3:1–4:6NW)

‘සැබෑ ස්වාමීන් [යෙහෝවා දෙවි] ඔබ නොසිතන වේලාවක ඔහුගේ ගෘහයට පැමිණෙයි. ගිවිසුමේ පණිවිඩකරුද [යේසුස්] ඔහුත් සමඟ පැමිණෙයි.’ දෙවි ‘තම සෙනඟව විනිශ්චය කරන’ අතර පව් කරන සියලුදෙනාටම වහාම දඬුවම් කරනවා. නමුත් යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව සිටින අයව “සිහි කිරීම සඳහා පොතක්” ලියනු ලබනවා.—මලාකි 3:1, 3, 5, 16.

“ගිනි උදුනක් මෙන් සියල්ල දවා දමන” දවස පැමිණ දුෂ්ටකම් කරන සියලුදෙනාවම විනාශ කරනවා. ඒ දවස පැමිණීමට පෙර ‘පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්න’ අනාගතවක්තෘවරයෙකුව යවනවා.—මලාකි 4:1, 5, 6.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

3:1-3—“සැබෑ ස්වාමීන්” හා “ගිවිසුමේ පණිවිඩකරු” ගෘහයට පැමිණියේ කවදාද? ඔවුන් ඉදිරියෙන් යන පණිවිඩකරුවා කවුද? යෙහෝවා දෙවි තම නියෝජිතයා වූ යේසුස් මාර්ගයෙන් තම ගෘහයට පැමිණ එය පවිත්‍ර කළා. එසේ කළේ ක්‍රිස්තු වර්ෂ 33 නීසාන් 10වැනිදායි. ඒ යේසුස් දේවමාලිගාවට ඇතුල් වී එහි විකුණමින්ද මිල දී ගනිමින්ද සිටි අයව පිටතට එළවා දැමූ අවස්ථාවේදීයි. (මාක් 11:15) එනම් ඔහුව අනාගත රජු ලෙස අභිෂේක කළ දා (බව්තීස්ම වූ දා) සිට අවුරුදු තුනහමාරකට පසුවයි. ඒ හා සමානව යේසුස් ස්වර්ගයේ රජ වී අවුරුදු තුනහමාරකට පසුව යෙහෝවා දෙවි සමඟ එකතු වී පොළොව මත සිදු කෙරෙන නමස්කාරය (දෙවිගේ ගෘහය) වෙත අවධානය යොමු කළා. එහිදී එම නමස්කාරය පවිත්‍ර කළ යුතු බව ඔවුන්ට පැහැදිලිව පෙනී ගියා. මුල් සියවසේදී යේසුස්ගේ පැමිණීම ගැන යුදෙව්වන්ගේ හදවත සූදානම් කිරීමට යොහන් බව්තීස්ත පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියා කළා. ඒ හා සමානව වර්තමානයේදීත් දෙවි තම සංකේතාත්මක ගෘහයට පැමිණෙන බව දැනුම් දීමට පණිවිඩකරුවෙකුව සූදානම් කළා. ඒ කවුද? වර්ෂ 1880 ගණන්වල බයිබලයේ ඇති සත්‍යය ගැඹුරින් අධ්‍යයනය කළ කණ්ඩායමයි. ඔවුන් දැනගැනීමට කැමති අයට එය ඉගැන්වුවා.

3:10—පලදාවෙන් “මුළු දසයෙන් කොටස” දීම කියද්දී අප සතු සියල්ල දෙවිට දිය යුතු බව අදහස් කරනවාද? නැහැ. මෝසෙස්ට දුන් නීතිය යේසුස්ගේ ජීවිත පූජාවත් සමඟම අහෝසි වූ නිසා මුදලින් දසයෙන් කොටසක් දීම තවදුරටත් අවශ්‍ය නැහැ. ඒ වුණත් අප තවමත් යම් ආකාරයක දසයෙන් කොටසක් දිය යුතුයි. (එෆීස 2:15) පුරාණ ඊශ්‍රායෙල්වරුන් සෑම වසරකම දසයෙන් කොටස දුන්නත් අප එය දෙන්නේ අපගේ ජීවිතයේ එකම එක වතාවක් පමණයි. ඒ, අපි දෙවිට කැප වී බව්තීස්ම වන අවස්ථාවේදීයි. එතැන් සිට අප සතු සියල්ල අයිති යෙහෝවා දෙවිටයි. ඒ වුණත් අපගේ තත්වයන් ඉඩ දෙන ප්‍රමාණයට අනුව අපගේ මුළු කැමැත්තෙන් ඔහුට සේවය කිරීමට ඔහු අපට ඉඩහැර තිබෙනවා. එසේ අප දෙවිට ඉදිරිපත් කරන පූජා වන්නේ නමස්කාරය සඳහා යොදවන අපේ කාලය, ශ්‍රමය හා ධන සම්පත් වගේම රැස්වීම්වලට යෑම අසනීප අයව හා මහලු අයව බැහැදැකීම වැනි දේවලුයි.

4:3—යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් ‘දුෂ්ටයන්ව පාගා දමන්නේ’ කෙසේද? දෙවිගේ සෙනඟ ‘දුෂ්ටයන්ව පාගා දැමීමට’ හෝ විනාශ කිරීමට හවුල් වන බවක් මින් අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට මින් අදහස් කරන්නේ දෙවි සාතන්ගේ මේ දුෂ්ට පිළිවෙළ විනාශ කළ පසු ලබන ඒ ජයග්‍රහණයේ ප්‍රීතියට ඔවුන් පූර්ණ වශයෙන් හවුල් වන බවයි.—ගීතාවලිය 145:20; එළිදරව් 20:1-3.

4:4—අප ‘මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිය සිහි කළ’ යුත්තේ ඇයි? ක්‍රිස්තියානීන් හැටියට අප එම නීතියට යටත් නැහැ. එය “පැමිණෙන්න තිබෙන යහපත් දේවල ඡායාවක්” පමණයි. (හෙබ්‍රෙව් 10:1) නමුත් ඊට කිට්ටු අවධානයක් දීමෙන් එහි ලියා තිබෙන දේවල් ඉටු වී ඇති ආකාරය ගැන අවබෝධයක් ලබන්න අපට හැකි වෙනවා. (ලූක් 24:44, 45) තවදුරටත් එම නීතිය මගින් “ස්වර්ගයේ තිබෙන දේවල සංකේතාත්මක ආදර්ශ” ගැනත් අවබෝධ කරගන්න පුළුවන්. අප බයිබල් ඉගැන්වීම් තේරුම්ගෙන ක්‍රිස්තියානිවරයෙක් වශයෙන් ජීවත් වීමට නම් මෝසෙස්ගේ නීතිය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි.—හෙබ්‍රෙව් 9:23.

4:5, 6—‘අනාගතවක්තෘ එලියාගෙන්’ නියෝජනය වන්නේ කාවද? දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට “එලියා” මිනිසුන්ගේ සිත් සූදානම් කරන බව කලින් පවසා තිබුණා. මුල් සියවසේදී ‘එලියාගෙන්’ නියෝජනය වුණේ යොහන් බව්තීස්ත බව යේසුස් පැවසුවා. (මතෙව් 11:12-14; මාක් 9:11-13) “යෙහෝවා දෙවිගේ බිය උපදවන මහත් දවස” පැමිණෙන්න කලින්ද එලියා පැමිණීමට නියමිතයි. අද දින එලියාගෙන් නියෝජනය වන්නේ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාවයි.’ (මතෙව් 24:45) මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා මිනිසුන්ගේ සිත් සූදානම් කිරීමේ කාර්යයේ ඉතා උද්‍යෝගයෙන් යෙදී සිටිනවා.

අපට ගත හැකි පාඩම්:

3:10. අපේ උපරිමය දෙවිට දුන්නේ නැත්නම් ඔහුගේ ආශීර්වාද අපට අහිමි වෙනවා.

3:14, 15. පූජකයන්ගේ නරක ආදර්ශය නිසා යුදෙව් ජනයා දෙවිට කරන සේවය එතරම් බැරෑරුම්ව සැලකුවේ නැහැ. ඒ නිසා ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන අය ආදර්ශවත් විය යුතු බව එයින් මතක් කර දෙනවා.—1 පේතෘස් 5:1-3.

3:16. තමන්ට ගරුබිය දක්වන ඇදහිලිවන්ත අය ගැන වාර්තාවක් දෙවි සතුයි. දෙවිට ඔවුන්ව මතකයි. සාතන්ගේ දුෂ්ට ලෝකය විනාශ කරද්දී දෙවි ඔවුන්ව ආරක්ෂා කරන බව ස්ථිරයි. එමනිසා දෙවිට තිබෙන අපේ පක්ෂපාතකම නැති කර නොගැනීමට අධිෂ්ඨාන කරගනිමු.—යෝබ් 27:5.

4:1. යෙහෝවා දෙවි විනාශය ගෙනෙන විට “මුලක්වත් අත්තක්වත්” නෑර ඔවුන් සියල්ලන්ව විනාශ කරනවා. ඉන් අදහස් කරන්නේ බාල දරුවන්ටත් දෙමාපියන්ටත් එකම දඬුවම විඳින්න සිදු වන බවයි. තමන්ගේ බාලයන් සම්බන්ධයෙන් දෙමාපියන්ට තිබෙන්නේ මොන තරම් විශාල වගකීමක්ද! ක්‍රිස්තියානි මව්වරුන් හා පියවරුන් දෙවිගේ අනුමැතිය ලබාගෙන ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට කොතරම් වෙහෙසිය යුතුද!—1 කොරින්ති 7:14.

‘සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිටින්න’

‘යෙහෝවා දෙවිගේ බිය උපදවන මහත් දවසෙන්’ ගැලවෙන්නේ කවුද? (මලාකි 4:5) ‘මාගේ නාමයට ගරුබිය දක්වමින් ජීවත් වන අයයි’ කියා දෙවි පවසනවා. තවදුරටත් ඔහු පවසන්නේ මෙසේයි. ‘ඔවුන්ට ධර්මිෂ්ඨකමේ සූර්යයා නිසැකවම උදා වනු ඇත. ඒ හිරු රැස් දහරින් ඔබට සුවයක් ලැබෙයි. ඔබ තර වසු පැටියෙක් මෙන් සතුටින් පැන යන්නෝය.’—මලාකි 4:2.

“ධර්මිෂ්ඨකමේ සූර්යයා” වන යේසුස් දෙවිගේ නාමයට ගරුබිය දක්වන අයට දෙවිගේ අනුමැතිය ලබා දෙනවා. (යොහන් 8:12) ඔවුන්ට “සුවයක්” එනම් දෙවි සමඟ මිත්‍රත්වයක් යළි ලබාගැනීමට අවස්ථාවක් මෙන්ම දෙවිගේ නව පිළිවෙළේදී සම්පූර්ණ ශාරීරික හා මානසික සුවයක් ලබන්න නියමිතයි. (එළිදරව් 22:1, 2) සතුටින් ඉපිල ගොස් ඇති ඔවුන් ‘තර වසු පැටවුන්’ මෙන් පැන යනවා. ඉදිරියේදී අපි එවැනි ආශීර්වාද ලැබීමට නියමිත නිසා සලමොන් රජුගේ මෙම උපදෙස සිතට ගනිමු. “සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.”—දේශනාකාරයා 12:13NW.

[26වන පිටුවේ පින්තූරය]

මලාකි දෙවිට උද්‍යෝගයෙන් හා භක්තියෙන් සේවය කළ අනාගතවක්තෘවරයෙක්

[29වන පිටුවේ පින්තූරය]

අප උගන්වන දෙය බයිබලයට එකඟ විය යුතුයි

[29වන පිටුවේ පින්තූරය]

දෙවිගේ සේවකයන් තම විවාහ ගිවිසුම ගෞරවයෙන් රැකගන්නවා