Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ දවසට ඔබ සූදානම්ද?

යෙහෝවා දෙවිගේ දවසට ඔබ සූදානම්ද?

යෙහෝවා දෙවිගේ දවසට ඔබ සූදානම්ද?

“යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී තිබේ. ඒ දවස ඉතා ආසන්නය.”—ශෙපනියා 1:14, නව ලොව පරිවර්තනය, NW.

1-3. (අ) දෙවිගේ දවස ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? (ආ) අප මුහුණ දීමට නියමිත “දෙවිගේ දවස” කුමක්ද?

දුෂ්ටයන් පිටට ගෙන ඒමට නියමිත යෙහෝවා දෙවිගේ මහත් දවස පැය 24ක දවසක් නොවෙයි. දෙවිගේ එම විනිශ්චය දවස ගැන බයිබලයේ පවසන්නේ එය ඝන අන්ධකාරයෙන් වැසී ගිය, උදහස සහ කෝපය මෙන්ම දුක් කරදර හා වේදනාවලින් පිරුණු විනාශකාරී දවසක් කියායි. (යෙසායා 13:9; ආමොස් 5:18-20; ශෙපනියා 1:15) ඇත්තෙන්ම දෙවිගේ කැමැත්ත නොකරන අයට නම් එය ඉතා බියකරු දවස් වෙනවාමයි. අනාගතවක්තෘ යෝවෙල්ද තවදුරටත් පවසන්නේ “යෙහෝවා දෙවිගේ දවස ළඟය! ඒ දවස නිසැකවම පැමිණෙන්නේය. එය සර්වපරාක්‍රම තැනැත්තාණන් ගෙනෙන විනාශයේ දවසය” කියායි. (යෝවෙල් 1:15NW) නමුත් යෙහෝවා දෙවි ‘නිර්දෝෂ සිත්’ ඇති අයව ඒ භයානක දවසේදී ආරක්ෂා කරන බවට පොරොන්දු වී තිබෙනවා.—ගීතාවලිය 7:10NW.

2 “යෙහෝවා දෙවිගේ දවස” කීමෙන් දුෂ්ටයන් පිටට දෙවි ගෙනෙන විනිශ්චය අදහස් කරනවා. පුරාණයේ සිටි සමහර ජාතීන් යම් ආකාරයකින් එය අද්දැක්කා. උදාහරණයකට යුදෙව් ජාතිය “දෙවිගේ දවස” අද්දැක්කේ ක්‍රිස්තු පූර්ව 607දී ඔවුන්ට දඬුවම් කිරීමට දෙවි බැබිලෝනිවරුන්ව යොදාගත් අවස්ථාවේදීයි. (ශෙපනියා 1:4-7NW) ඔවුන් නැවතත් ක්‍රිස්තු වර්ෂ 70දීත් ඒ හා සමාන තත්වයකට මුහුණ පෑවා. එවර ඔවුන් දෙවිගේ දවස අද්දැක්කේ ඔවුන්ව විනාශ කිරීමට දෙවි රෝම හමුදාව යොදාගත් විටයි. (දානියෙල් 9:24-27; යොහන් 19:15) එමෙන්ම දෙවි ඉතාම ළඟදී මේ පොළොවේ ‘ජාතීන්ට විරුද්ධව යුද්ධ කිරීමට’ පැමිණෙන “දෙවිගේ දවස” ගැනත් බයිබලයේ පවසනවා. (සෙකරියා 14:1-3NW) එම දවස සහ 1914න් පටන්ගත් ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම අතර සම්බන්ධයක් තිබෙන බව පාවුල්ගේ වචනවලින් පැහැදිලියි. (2 තෙසලෝනික 2:1, 2) එම දවස ළඟ ළඟම පැමිණෙන නිසා 2007 වාර්ෂික පදය ලෙස ශෙපනියා 1:14 [NW] යොදාගැනීම ඉතා උචිත වුණා. එහි සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වී තිබේ.”

3 එම දවස එතරම්ම ළං වී තිබෙන නිසා අප ඊට මුහුණ දීමට සූදානම් බව පෙන්වීමට කාලය දැන්! නමුත් අප ඊට සූදානම් වන්නේ කෙසේද? ඒ සඳහා අපේ ජීවිතයේ සකස්වීම් කරගත යුතු පැති මොනවාද?

සූදානම් බව ක්‍රියාවෙන් පෙන්වමු

4. යේසුස් මුහුණ දීමට සූදානම්ව සිටි දැඩි පරීක්ෂණය කුමක්ද?

4 අද පවතින දුෂ්ට සමාජයේ විනාශය ගැන යේසුස් තම අනුගාමිකයන්ට කලින්ම උපදෙස් දුන්නේ මෙසේයි. “ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න.” (මතෙව් 24:44) යේසුස් එය පවසද්දී ඔහුද දැඩි පරීක්ෂණයකට මුහුණ දීමට සූදානමින් සිටියා. ඒ අප වෙනුවෙන් කුරිරු මරණයකට මුහුණ දීමටයි. (මතෙව් 20:28) ඒ සඳහා ඔහු සූදානම් වූ ආකාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5, 6. (අ) දෙවි සහ සෙසු මිනිසුන් කෙරෙහි අපට තිබෙන ප්‍රේමය දෙවිගේ මහත් දවසට සූදානම් වීම සඳහා අපට උපකාරවත් වන්නේ කෙසේද? (ආ) මිනිසුන්ට ප්‍රේම කිරීම සම්බන්ධයෙන් යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?

5 එම පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට යේසුස්ට හැකියාව ලබා දුන්නේ කුමක්ද? එක් දෙයක් නම් යෙහෝවා දෙවිටත් ඔහුගේ ප්‍රතිපත්තිවලටත් තිබූ ඉමහත් ප්‍රේමයයි. ඒ ගැන හෙබ්‍රෙව් 1:9හි මෙසේ පවසනවා. “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කර, නීති විරෝධීකමට වෛර කළෙහිය. එහෙයින් දෙවි, ඔබේම දෙවි, ඔබේ හවුල්කරුවන්ට වඩා ඔබව ප්‍රීතිය නමැති තෛලයෙන් අභිෂේක කළේය.” යේසුස් මෙන් අපත් දෙවිට ප්‍රේම කර ඔහුගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා නම් ඔහු අපට ආරක්ෂාව සපයයි. (ගීතාවලිය 31:23) දෙවිගේ මහත් දවසට සූදානම් වීම සඳහා එවන් ප්‍රේමයක් සහ කීකරුකමක් අපට උපකාරවත් වන බව පැහැදිලියි.

6 යේසුස්ට උපකාරවත් වූ තවත් දෙයක් නම් මිනිසුන් කෙරෙහි ඔහු දැක්වූ ප්‍රේමයයි. එදා සිටි මිනිසුන් “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” බව දුටු යේසුස් “ඔවුන්ට අනුකම්පා” කළා. (මතෙව් 9:36) පසුව යේසුස් ඔවුන්ට ශුභාරංචිය දේශනා කරන්න පටන්ගත්තා. මිනිසුන් කෙරෙහි එවැනිම ප්‍රේමයක් අපටත් තිබෙනවා නම් අපත් ඔවුන්ට රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරන්න පෙලඹෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අප ඉතා උද්‍යෝගිමත් දේවසේවකයන් වන අතර දෙවිගේ මහත් දවසට මුහුණ දීමට වඩාත් සුදුසු තත්වයක සිටිනවා.—මතෙව් 22:37-39.

7. දෙවිගේ දවසට සූදානම් වන අතරේදී අපට ප්‍රීති විය හැක්කේ කුමක් කිරීමෙන්ද?

7 දෙවිගේ කැමැත්ත කිරීමට යේසුස්ට තිබූ දැඩි ආශාවද එම පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට උපකාර කළා. (ගීතාවලිය 40:8) දෙවිගේ කැමැත්ත කරන්න අපටත් එවැනිම ආශාවක් තිබෙනවා නම් ඉන් අප මහත් ප්‍රීතියක් ලබනවා. යේසුස් මෙන් අපටත් දීමේ ස්වභාවය තිබෙනවා නම් ඉන් අපට වැඩි සන්තෝෂයක් ලැබෙන බව ස්ථිරයි. (ක්‍රියා 20:35) “යෙහෝවා කෙරෙහි ප්‍රීතිය ඔබගේ ශක්තිය වේ” කියා බයිබලයේ පවසනවා. ඒ අනුව දෙවිගේ මහත් දවසට හොඳින් සූදානම් වෙන්න ඒ ප්‍රීතියෙන් ලැබෙන ශක්තිය අපට මහත් උපකාරකයක්.—නෙහෙමියා 8:10.

8. යාච්ඤාව මගින් අප දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත යුත්තේ ඇයි?

8 දැඩි පරීක්ෂණයට මුහුණ දීමට යේසුස්ව සූදානම් කළ තවත් වැදගත් දෙයක් වූයේ මුළු හදින්ම දෙවිට යාච්ඤා කිරීමයි. එවන් අවස්ථා කිහිපයක් බලන්න. යොහන්, ඔහුව බව්තීස්ම කළ විට ඔහු යාච්ඤා කළා. ගෝලයන්ව තෝරාගැනීම සඳහා ඊට පෙර දින රාත්‍රිය පුරාම ඔහු යාච්ඤා කළා. (ලූක් 6:12-16) එමෙන්ම තම මරණයට පෙර දින රාත්‍රියේදී ඔහු මුළු හදින්ම දෙවිට යාච්ඤා කළා. (මාක් 14:32-42; යොහන් 17:1-26) අපත් යේසුස් මෙන් නිතරම දෙවිට යාච්ඤා කරනවාද? අපිත් යාච්ඤා කරද්දී යේසුස් මෙන් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ගෙන අපගේ සිතුවිලි දෙවි ඉදිරියේ වගුරුවමු. එමෙන්ම යාච්ඤාව තුළින් දෙවිගේ බලයේ මඟ පෙන්වීමද ඉල්ලමු. දෙවි අපිට මඟ පෙන්වීම් සපයන විට කල් නොදමා ඒවා අදාළ කරගනිමු. වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී යාච්ඤාව තුළින් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් ඔහුගේ මහත් දවසට අප හොඳින් සූදානම් බව පෙන්වීමට හැකි වෙනවා ස්ථිරයි.—යාකොබ් 4:8.

9. දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් වෙනවා දැකීමට අප තුළ දැඩි වුවමනාවක් තිබිය යුත්තේ ඇයි?

9 යෙහෝවා දෙවිගේ ශුද්ධ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට යේසුස්ට මහත් ඕනෑකමක් තිබුණා. ඔහුගේ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට එයත් හේතුවක් වුණා. ඒ ගැන යාච්ඤා කරන්න කියා ඔහු තම අනුගාමිකයන්ටද දිරිගැන්නුවේ මෙසේයි. “ඔබගේ නාමය විශුද්ධ වේවා.” (මතෙව් 6:9) දෙවිගේ නාමය විශුද්ධ කිරීම හෙවත් ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් වෙනවා දැකීමට අප තුළත් දැඩි වුවමනාවක් තිබෙනවා නම් දෙවිගේ නාමයට අගෞරවය ගෙනෙන ඕනෑම දෙයකින් වැළකී සිටින්න අප උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලය වන්නෙත් දෙවිගේ දවස සඳහා හොඳින් සූදානම් වීමට අපට හැකි වීමයි.

අප යම් සකස් කිරීම් කළ යුතුද?

10. අපගේ ක්‍රියාවන් සහ ආකල්ප සෝදිසි කර බැලීම සුදුසු ඇයි?

10 දැන් මෙසේ සිතන්න. දෙවිගේ මහත් දවස හෙට ආවොත් මම ඊට සූදානම්ද? අපගේ ජීවිතය කෙටියි, හෙට අපට කුමක් වෙයිද කියා කියන්න බැහැ. ඒ නිසා අප සෑම කෙනෙක්ම සැමවිටම දෙවි සමඟ ඉතා ශක්තිමත් මිත්‍රත්වයක් ඇතිව සිටීම මොන තරම් වැදගත්ද! ඒ සඳහා ජීවිතයේ නිවැරදි කරගත යුතු යම් ක්‍රියාවන් සහ ආකල්ප අප තුළ තිබෙනවා නම් ඒවා හඳුනාගෙන නිවැරදි කරගැනීම අත්‍යවශ්‍යයි. (දේශනාකාරයා 9:11, 12; යාකොබ් 4:13-15) අපේ ජීවිතයේ සකස් වීම් කරගත යුතු පැති කිහිපයක් දැන් අපි සලකා බලමු.

11. බයිබලය කියවීම සම්බන්ධයෙන් ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

11 මේ අන්තිම දවස්වලදී අප සුළුවෙන් නොතැකිය යුතු එක් දෙයක් නම් දිනපතාම බයිබලය කියවන්න කියා ‘විශ්වාසවන්ත දාසයා’ අපට නොකඩවාම කරන සිහිගැන්වීමයි. (මතෙව් 24:45) උත්පත්ති පොතේ සිට එළිදරව් දක්වා කියවා, ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමට ඔබ උත්සාහ කරනවා විය හැකියි. ඔබ දිනකට පරිච්ඡේද හතරක් පමණ කියවීමෙන් අවුරුද්දක් ඇතුළත එහි ඇති මුළු පරිච්ඡේද 1,189 කියවා අවසන් කළ හැකියි. පුරාණයේ සිටි ඊශ්‍රායෙල් රජවරුන්ටද ඔවුන්ගේ ‘ජීවිතයේ සියලු දවස්වලදී’ දෙවිගේ නීතිය කියවීමට අණ කර තිබුණා. යෝෂුවාද ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් බව පෙනෙන්න තිබෙනවා. (ද්විතීය කතාව 17:14-20; යෝෂුවා 1:7, 8) ඒ හා සමානව සභාවන් රැකබලා ගන්නා අවේක්ෂකයන්ද දෙවිගේ වචනය දිනපතාම කියවීම කොතරම් වැදගත්ද! එසේ කිරීමෙන් අන් අයට ‘සුවදායී ඉගැන්වීම්’ නොහොත් බයිබල් ප්‍රතිපත්ති පැහැදිලිව කියා දීමට ඔවුන්ට හැකි වෙයි.—තීතස් 2:1.

12. දෙවිගේ දවස ළඟා වෙත්ම අප කුමක් කළ යුතුද?

12 දෙවිගේ දවස ළං වෙනවාත් සමඟම අවශ්‍ය තවත් දෙයක් වන්නේ අපගේ රැස්වීම්වලට නොකඩවාම සහභාගි වීමයි. (හෙබ්‍රෙව් 10:24, 25) එසේ කිරීමෙන් සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් දක්වන අයව සෙවීමටත් ඔවුන්ට ඉගැන්වීමටත් අවශ්‍ය හැකියාවන් දියුණු කරගැනීමට අපට හැකි වෙනවා. (ක්‍රියා 13:48) එමෙන්ම සභාවේ විවිධ කටයුතුවල වඩාත් ක්‍රියාශීලීව හවුල් වීමටත් මහලු අයව සහ යෞවනයන්ව දිරිගන්වමින් ඔවුන්ට උපකාර කිරීමටත් අවස්ථාද උදා වෙනවා. මෙවන් දේවල හවුල් වීමෙන් අපට ලැබෙන්නේ මොන තරම් තෘප්තියක්ද!

අන් අය සමඟ කදිම මිත්‍රත්වයක්

13. අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීම සම්බන්ධයෙන් අප අසාගත යුත්තේ කුමන ප්‍රශ්නද?

13 දෙවිගේ දවස ආසන්නයේ සිටින මම ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීම’ සඳහා දැඩි උත්සාහයක් දරමින් සිටිනවාද? (එෆීස 4:20-24) එසේ කිරීමෙන් කදිම ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගන්න අපට හැකි අතර අපට දෙවිගේ බලයේ උපකාර ඇති බවත් අන් අය දකියි. (ගලාති 5:16, 22-25) මෙම අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීම නිසා ඔබ සහ ඔබේ පවුලේ අය තුළ කැපීපෙනෙන්නේ කුමන යහපත් ගුණාංගද? (කොලොස්සි 3:9, 10) උදාහරණයකට අවශ්‍යතා ඇති සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීම සම්බන්ධයෙන් ඔබ හොඳ ආදර්ශයක්ද? (ගලාති 6:10) දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කිරීම එවන් යහපත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමට ඔබට රුකුලක් වන අතර දෙවිගේ දවස සඳහා හොඳින් සූදානම් වීමටත් අපට උපකාර වෙයි.

14. තම කෝපය පාලනය කරගැනීමට දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කළ යුත්තේ ඇයි?

14 මම සුළු දේටත් කෝප වන කෙනෙක්ද? මීට වඩා මට ඉවසීම අවශ්‍යයි කියා සිතෙනවා නම් කුමක් කළ හැකිද? එවන් අවස්ථාවලදී අපවම පාලනය කරගන්න දෙවිගේ බලය අපට උපකාර කරනවා. ඒ නිසා හොඳම දෙය වන්නේ දෙවිගේ බලයේ උපකාර අයැදීමයි. යේසුස්ද උනන්දු කළේ මෙසේයි. “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ. නොකඩවා සොයන්න. එවිට ඔබට සම්බ වේ. නොකඩවා තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබේ. . . . ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය [දෙවිගේ බලය] දෙනු ඇද්ද!”—ලූක් 11:9-13.

15. සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ අමනාපයක් ඇති වුවහොත් කළ යුත්තේ කුමක්ද?

15 සෙසු ඇදහිලිවන්තයෙක් සහ මා අතර යම් අමනාපයක් තිබෙන විට කුමක් කළ යුතුද? ඒ තැනැත්තා සමඟ නැවතත් මිත්‍රවීමට තමාගේ පැත්තෙන් කළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස සභාව තුළ සාමය සහ එකමුතුකම පවත්වාගන්න අපට හැකියි. (ගීතාවලිය 133:1-3) ඒ සඳහා මතෙව් 5:23, 24 හෝ මතෙව් 18:15-17හි සඳහන් යේසුස් දුන් උපදෙස් පිළිපැදීම හොඳම ක්‍රමයයි. සිදු වූ දේ නිසා ඔබ සිටින්නේ කේන්තියෙන් වුණත් ඉර බසින්න කලින් නොපමාව එය විසඳාගැනීමට පියවර ගන්න. මෙහිදී අවශ්‍ය වන්නේ එක දෙයයි. එනම් සමාව දීමට ඇති කැමැත්තයි. පාවුල් පැවසුවේද එයයි. “එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට මුළු හදවතින්ම කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.”—එෆීස 4:25, 26, 32.

16. විවාහ ජීවිතයේදී දයානුකම්පාව පෙන්විය හැක්කේ කෙසේද?

16 විවාහක යුවළයන් අතර සිදු වන අඩුපාඩුකම් ගැන කුමක් කිව හැකිද? ඔවුන් එකිනෙකාට ගැඹුරු දයානුකම්පාව පෙන්වීම සහ එකිනෙකා අතින් සිදු වන වැරදිවලට සමාව දීමද අවශ්‍යයි. එමෙන්ම ඔහුට හෝ ඇයට වඩාත් ප්‍රේමයෙන් සහ අනුකම්පාවෙන් සලකන්න ඔබට අවශ්‍ය නම් ඒ සඳහා දෙවිගේ සහ ඔහුගේ වචනය වන බයිබලයේ ඇති මඟ පෙන්වීම් ලබාගන්න. පළමුවන කොරින්ති 7:1-5 අනුව, දෙදෙනා අතර ඇති බැඳීම ශක්තිමත් කරගැනීමටත් සහ තම සහකරුවාට ද්‍රෝහි නොවී සිටීමට ඔබගේ පැත්තෙන් කළ හැක්කේ කුමක්ද කියා සිතා බලන්න. මෙය විවාහ දිවියේ එකිනෙකාට “ගැඹුරු දයානුකම්පාව” පෙන්විය හැකි එක් පැත්තකි.

17. බරපතළ පාපයක් කළ කෙනෙක් ගත යුතු පියවර මොනවාද?

17 කෙනෙක් යම් බරපතළ පාපයක් කර තිබෙනවා නම් කුමක් කළ හැකිද? එය නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීම වැදගත්. ඒ සඳහා වැඩිමහල්ලන්ගේ උපකාර පැතිය යුතු අතර ඔවුන්ගේ යාච්ඤා සහ උපදෙස් සමඟින් දෙවි සමඟ තිබූ ඔහුගේ මිත්‍රත්වය නැවතත් ගොඩනඟා ගැනීමට ඔහුට හැකි වෙයි. (යාකොබ් 5:13-16) මෙහිදී අවංකව පසුතැවිලි වෙමින් දෙවිට කන්නලව් කිරීමත් අත්‍යවශ්‍යයි. නමුත් එසේ නොකළොත් ඔහුගේ හෘදය සාක්ෂිය නිතරම ඔහුට දොස් නඟන්න පටන්ගනියි. දාවිත් රජද බරපතළ පාපයක් කළත් ඔහු දෙවි ඉදිරියේ ඒ වරද පිළිගෙන පසුතැවිලි වූ නිසා ඉන් මහත් සහනයක් ලැබුවා. පසුව ඒ ගැන ඔහු ලිව්වේ “වරදට සමාව ලැබුවාවූ, පාපය වසා දමනු ලැබුවාවූ තැනැත්තා සන්තෝෂවත්ය. යමෙකුගේ වරද යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් යමෙකුගේ සිතේ වැරදි චේතනා නැත්තේ නම් ඒ තැනැත්තා සන්තෝෂවත්ය” කියායි. (ගීතාවලිය 32:1-5NW) පව් කළත් ඒ ගැන අවංකවම පසුතැවිලි වන අයට දෙවි සමාව දෙන බව ඉන් පැහැදිලියි.—ගීතාවලිය 103:8-14; හිතෝපදේශ 28:13.

ලෝකයේ කොටසක් නොවන්න

18. අපට යේසුස්ව ආදර්ශයට ගත හැක්කේ කෙසේද?

18 තමාව පාලනය කිරීමට යේසුස් මේ “ලෝකයේ පාලකයා” වන සාතන්ට කිසිවිටකත් ඉඩ දුන්නේ නැහැ. එසේනම් පාරාදීස පොළොවේ ජීවිතය භුක්ති විඳින්න ආශාවෙන් බලා සිටින අප, යේසුස්ව ආදර්ශයට ගන්නේ කෙසේද? (යොහන් 12:31; 14:30) අපව පාලනය කිරීමට සාතන්ට සහ ඔහුගේ ලෝකයේ තිබෙන කිසිම දෙයකට අප ඉඩ නොදීමෙනුයි. “ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම නොකරන්න” කියා යොහන් දුන් අවවාදයත් සිතට ගනිමු. ඊට හේතුව නම් “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම” පවතින නිසයි. ඇත්තෙන්ම ඊට කීකරු වීම කොතරම් ඥානවන්තද!—1 යොහන් 2:15-17.

19. ක්‍රිස්තියානි යෞවනයන්ට උපකාර කළ යුත්තේ කුමක් කිරීමටද?

19 ඔබ දෙමාපියෙක් නම් “ලෝකයෙන් කිලිටි නොවී සිටීමට” ඔබ ඔබේ දරුවන්ට උපකාර කරනවාද? (යාකොබ් 1:27) සාතන් උත්සාහ කරන්නේ ඔබේ දරුවාව ටිකෙන් ටික ඔහු වෙතට ඇදගැනීමටයි. යෞවනයන් සඳහාම සංවිධානය කළ නොයෙකුත් තරුණ සමිති සමාගම් බිහි වී ඇත්තේ ඔවුන්ව සාතන්ගේ ලෝකයට ලෙහෙසියෙන්ම නම්මවාගැනීම සඳහායි. නමුත් යෙහෝවා දෙවිගේ සේවකයන් අයත්ව සිටින්නේ එකම එක සංවිධානයකට පමණයි. එමෙන්ම මේ දුෂ්ට සමාජයට ගෙනෙන විනාශයෙන් බේරී පවතින්නෙත් එය පමණයි. එමනිසා “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න” කියා ක්‍රිස්තියානි යෞවනයන්ව දිරිගැන්විය යුතුයි. (1 කොරින්ති 15:58) යෙහෝවා දෙවිගේ සිත සතුටු කරන ආකාරයෙන් ඔවුන්ගේ ජීවිත ගත කිරීම සඳහා දරුවන්ට උපකාර කරන්න දෙමාපියන්ට හැකියි. ඒ තුළින් ඔවුන්ට ජීවිතයේ නියම සතුට ලැබෙනවා වගේම දෙවිගේ දවසට සූදානම් වීමටත් හැකි වන බව ස්ථිරයි.

ඒ දවසින් පසු

20. දෙවිගේ මහත් දවසින් පසුව අපට ලැබෙන ජීවිතය ගැන කල්පනා කළ යුත්තේ ඇයි?

20 දෙවිගේ මහත් දවස අවසන් වූ පසුව අපට ලැබෙන ආශීර්වාද ගැන කල්පනා කිරීමද ඊට හොඳින් සූදානම් වීමට මහත් උපකාරයක්. (යූද් 20, 21) පාරාදීස පොළොවේදී ශක්ති සම්පන්න, සැමදා තරුණභාවයෙන් යුත් ජීවිතයක් ලැබීමට නියමිත අතර දෙවි ගැනත් තව බොහෝ දේ ගැනත් ගවේෂණය කිරීමට එවිට ඕනෑ තරම් කාලය තිබෙනවා. දෙවිගේ මැවිලි ගැන දැන් අප දන්නේ අල්පමාත්‍රයක් පමණක් නිසා නිමක් නැති ඒ ජීවිතය තුළ සෑම දිනකම ඔහු ගැන තවත් බොහෝ දේ ඉගෙනගන්න අපට අවස්ථාව උදා වෙයි. (යෝබ් 26:14) අපට ඇත්තේ මොන තරම් මවිතකර අනාගතයක්ද!

21, 22. පාරාදීස පොළොවේදී තව කුමන දේවල් සඳහා අපට අවස්ථාව ලැබෙයිද?

21 එමෙන්ම පුරාණයේ සිදු වූ සමහර දේවල් ගැන තව තොරතුරු දැනගන්නත් අපට ඕනෑ තරම් අවස්ථා තිබේවි. උදාහරණයකට එදා සිටි දුෂ්ට මිනිසුන්ට දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කළේ කෙසේද කියා ඒනොක්ගෙන් අසා දැනගන්න අපට පුළුවන්. (යූද් 14, 15) නැව සෑදීමේදී නෝවා ලැබූ අද්දැකීම් ඔහු අපට විස්තර කරන විටත් සමෘද්ධිමත් ඌර් නගරය අත්හැර කූඩාරම්වල වාසය කිරීම ගැන ආබ්‍රහම් සහ සාරා ඔවුන්ගේ අද්දැකීම් අපට පවසන විටත් අප මොන තරම් සතුටු වෙයිද! දුෂ්ට හාමාන්ගේ කුමන්ත්‍රණය නිෂ්ප්‍රභ කර තම සෙනඟව ආරක්ෂා කළ ආකාරයත් එස්තර්ගෙන් දැනගන්න අපට හැකියි. (එස්තර් 7:1-6) එමෙන්ම දින තුනක් යෝධ මත්සයාගේ බඩේ සිටිද්දී යෝනාට ඇති වුණු හැඟීමත් තමාගෙන් බව්තීස්ම වීමට යේසුස් පැමිණෙද්දී ඒ ගැන යොහන් බව්තීස්තට හැඟුණු ආකාරයත් අපට ඔවුන්ගෙන්ම දැනගන්න පුළුවන්. (ලූක් 3:21, 22; 7:28) ඒ කාලයේදී ඉගෙනගැනීමට තව මොන තරම් දේවල් තිබේවිද!

22 යේසුස්ගේ දහස් අවුරුදු පාලනයේදී නැවත නැඟිටුවනු ලබන බොහෝ පිරිසකට “දෙවි පිළිබඳව දැනුම” ලබා දීමට අපට ඇති වරප්‍රසාදය ගැන මොහොතකට සිතන්න. (හිතෝපදේශ 2:1-6NW) අද දිනත් මිනිසුන් සත්‍යය දෙවිව පිළිගෙන ඔහුට නමස්කාර කරනවා දැකීම අපට මහත් ප්‍රීතියක්. නමුත් මීට අවුරුදු සිය දහස් ගණනකට පෙර මිය ගිය අය නැවත නැඟිටිද්දී ඔවුන්ට සත්‍යය ඉගැන්වීම ගැන සිතා බලන්න. ඔවුන් එය අගය කර දෙවිට නමස්කාර කරන්න පටන්ගනිද්දී ඔබට මොන තරම් සතුටක් දැනෙයිද!

23. අප සැමගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

23 එම ප්‍රීතිමත් පාරාදීස පොළොවේදී අප භුක්ති විඳීමට නියමිත ආශීර්වාද මුළුමනින්ම වටහාගැනීමට දැන් අපට බැරි තරම්! (ගීතාවලිය 40:5) මේ කාලයේදී අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා දෙවි සපයන සෑම දෙයකටමත් අප ඔහුට කොතරම් ණයගැතිද! (යෙසායා 48:17, 18) එමනිසා අපගේ තත්වය කුමක් වුණත් දෙවිගේ මහත් දවස ළඟා වෙනවාත් සමඟම හැකි උපරිමයෙන් ඔහුට සේවය කිරීමට අපි අධිෂ්ඨානය කරගනිමු!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• “යෙහෝවා දෙවිගේ දවස” යනු කුමක්ද?

• දෙවිගේ දවසට සූදානම් බව පෙන්වන්න අපට හැක්කේ කෙසේද?

• ඒ දවස ළඟා වෙනවාත් සමඟම අපගේ ජීවිතයේ කළ යුතු වෙනස්කම් මොනවාද?

• දෙවිගේ දවසින් පසු ඔබ ආශාවෙන් සිටින්නේ කුමක් කිරීමටද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

දැඩි පරීක්ෂණයට මුහුණ දීමට තමා සූදානම් බව යේසුස් ඔප්පු කළා

[15වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටුවන අයට දෙවි පිළිබඳව කියා දීමට හැකිවීම මොන තරම් වරප්‍රසාදයක්ද!