Skip to content

පටුනට යන්න

අපිව තිරිඟු මෙන් පොළන්න ඉඩ නොදෙමු

අපිව තිරිඟු මෙන් පොළන්න ඉඩ නොදෙමු

අපිව තිරිඟු මෙන් පොළන්න ඉඩ නොදෙමු

තම මරණයට කලින් යේසුස් ඔහුගේ ගෝලයන්ට අනතුරු අඟවමින් මෙසේ පැවසුවා. “බලන්න! තිරිඟු පොළන්නාක් මෙන් පොළන පිණිස සාතන් ඔබ සියල්ලන්ව ඉල්ලා ඇත.” (ලූක් 22:31) යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද?

මෙය තේරුම්ගැනීමට යේසුස්ගේ කාලයේදී තිරිඟු අස්වැන්න ලබාගත් ආකාරය සලකා බලමු. මුලින්ම කෙතට ගොස් කපාගත් තිරිඟු කමතේ අතුරා දණ්ඩකින් තැළුවා. එසේ නැත්නම් ගවයෙකුව ධාන්‍ය මඩින උපකරණයකට ගැට ගසා, අතුරා තිබූ තිරිඟු කරල් උඩින් යැව්වා. එමගින් තිරිඟු ඇට කරලෙන් වෙන් කරගත හැකි වූ අතර සමහර ඒවායින් පොතුද ගැලවී ගියා. ඉන්පසු රොඩු සහිත ධාන්‍ය ගොඩ ඉහළට විසි කළා. එවිට පොතු හා පිදුරු කැබලි සුළඟින් ඈතට ගසාගෙන ගොස් තිරිඟු ඇට පමණක් කමතට වැටුණා. මේ ආකාරයට පොළාගත් තිරිඟුවල ඇති අනෙකුත් අනවශ්‍ය දෑ කුල්ලක් වැනි දෙයක් ආධාරයෙන් තවදුරටත් පෙළුවා. මෙසේ තිරිඟු කරල විවිධ තැලීම් පොඩිවීම්වලට ලක් වුණා.

ඒ හා සමානව යේසුස්ගේ මුල් ගෝලයන්ව තිරිඟු මෙන් පොළන්න සාතන් මහත් වෑයමක් දැරුවා. ඔහු එදා මෙන් අදත් දැඩි පීඩා ගෙනෙමින් උත්සාහ කරන්නේ අපවත් පොළන්නයි. (එෆී. 6:11) අප අද්දකින සෑම දුෂ්කරතාවකටම හේතුව සාතන් නොවුණත් දෙවිට දක්වන අපේ පක්ෂපාතකම බිඳ දැමීමට හැකි සෑම දෙයක්ම කිරීමට ඔහු මාන බලනවා. (දේශ. 9:11) උදාහරණයක් හැටියට සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කිරීමට, දෙවිව අසතුටු කරවන ආකාරයේ විනෝදාස්වාද තෝරාගැනීමට හෝ අනාචාරයේ යෙදීමට ඔහු අපව පොලඹවන්න ඉඩ තිබෙනවා. එමෙන්ම අප ලබන අධ්‍යාපනයෙන් හෝ රැකියාවෙන් ඉහළටම යෑමේ අරමුණින් ඕනෑම දෙයක් කිරීමට සාතන් අපට දැඩි පීඩනයක් එල්ල කළ හැකියි. මේ සඳහා පාසැලේ මිතුරන්ව, රැකියා ස්ථානයේ සිටින අයව හා සාක්ෂිකරුවන් නොවන නෑදෑයන්ව යොදාගැනීම ඔහුට අමාරු දෙයක් නොවෙයි. ඊට අමතරව දෙවි කෙරෙහි තිබෙන අපේ පක්ෂපාතකම නැති කර දැමීමට ඔහු දරුණු පීඩාද ගෙනෙනවා. මේවා ඇතුළු තව බොහෝ ක්‍රම සාතන් භාවිත කරන්නේ තිරිඟු මෙන් අපව පොළන්නයි.

මේ දරුණු සතුරාට විරුද්ධව සිටීමට අප කළ යුත්තේ කුමක්ද? සාතන් අපට වඩා බලවත් නිසා එය අපේම හැකියාවෙන් කළ හැකි දෙයක් නම් නොවෙයි. නමුත් යෙහෝවා දෙවි ඉදිරියේ සාතන් ඉතාම දුර්වලයි. එමනිසා දෙවිගේ උපකාරය ඇතිව අපට ඔහුගේ ප්‍රහාරවලට විරුද්ධව සිටින්න පුළුවන්. ඒ කෙසේද? යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇතුව සිටීමෙන් හා විඳදරාගැනීමට අවශ්‍ය ප්‍රඥාවත් ධෛර්යයත් ඉල්ලා යාච්ඤා කිරීම මගිනුයි. එහි ප්‍රතිඵලයක් හැටියට දෙවිගෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීමෙන් සාතන්ට විරුද්ධව සිටින්න අපට හැකියි.—ගීතා. 25:4, 5.

සාතන්ගේ කූට උපායන්වලට රැවටෙන්නේ නැතුව සිටීමට නම් ‘හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමේ’ හැකියාවද අපට තිබිය යුතුයි. (හෙබ්‍රෙ. 5:13, 14) එම හැකියාව දියුණු කරගැනීම සඳහා අපට උපකාර කිරීමට දෙවිට හැකියි. හරි දෙය හෙවත් දෙවිව සතුටු කරන දේවල් හඳුනාගත් පසු කුමන තත්වයකට මුහුණ දෙන්න සිදු වුණත් දෙවිගේ මඟ පෙන්වීමට එකඟව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අප එසේ කරනවා නම් ඒ සඳහා අප ගන්නා අධිෂ්ඨානයට දෙවි අපට දිගටම උපකාර කරන බව නිසැකයි.—එෆී. 6:10.

තිරිඟු පොළන්නාක් මෙන් අපවත් පොළන්න සාතන් උත්සාහ කරාවි. නමුත් යෙහෝවා දෙවි සපයන ශක්තිය නිසා ඔහුට විරුද්ධව සිට ඇදහිල්ලේ ස්ථිරව සිටින්න අපට හැකි බව කිසිවිටෙක අමතක නොකරමු. (1 පේතෘ. 5:9) අප දිගටම එසේ කරද්දී සිදු වන්නේ කුමක්ද? බයිබලයේ දෙන සහතිකය මෙයයි. “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.”—යාකො. 4:7.