Skip to content

පටුනට යන්න

ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න

ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න

ඔබේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න

‘වචනය දේශනා කරන්න. බොහෝ ඉවසිල්ලෙන් හා ඉගැන්වීමේ කලාව භාවිත කරමින් අවවාද කරන්න, තරවටු කරන්න, උනන්දු කරන්න.’—2 තිමෝ. 4:2.

1. යේසුස් තම අනුගාමිකයන්ට අණ කළේ කුමක් කිරීමටද? ඒ පිළිබඳව ඔහු තැබූ ආදර්ශය කුමක්ද?

යේසුස් පොළොව මත සිටි විට බොහෝ ආකාර ආශ්චර්යවත් ක්‍රියා කළා. නමුත් ඔහු ප්‍රසිද්ධියක් ලබා සිටියේ සුව කරන්නෙක් හෝ ආශ්චර්යවත් ක්‍රියා කරන්නෙක් ලෙස නොවෙයි. නමුත් ගුරුවරයෙක් හැටියටයි. (මාක් 12:19; 13:1) ඊට හේතුව නම් ඔහුගේ ප්‍රධාන කාර්යය වුණේ දේවරාජ්‍යය පිළිබඳව මිනිසුන්ට ප්‍රකාශ කිරීමයි. අද සිටින ඔහුගේ අනුගාමිකයන්ටද ඔහු අණ කර තිබෙන්නේ ඒ දේම කිරීමටයි. ඒ නිසා ඔහුගේ අනුගාමිකයන් යේසුස් විසින් අණ කළ දේවල් පිළිපැදීමට ජනයාට නොකඩවාම ඉගැන්වීම අවශ්‍යයි.—මතෙ. 28:19, 20.

2. දේශනා කිරීමේදී අප දියුණු කරගත යුත්තේ කුමක්ද?

2 දක්ෂ ගුරුවරුන් ලෙස එම පැවරුම වඩා හොඳින් ඉටු කිරීමට නම් අපගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න අප නිතරම උත්සාහ කළ යුතුයි. එය කොතරම් වැදගත්ද කියා පාවුල් තිමෝතිට ලියූ ලිපියෙන් අපට තේරුම්ගන්න පුළුවන්. ඔහු පැවසුවේ මෙසේයි. “ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් නිතරම අවධානයෙන් ඉන්න. ඒවායෙහි පවතින්න. මන්ද, ඔබ මෙසේ කිරීමෙන් ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්නෙහිය.” (1 තිමෝ. 4:16) මෙහිදී ඉගැන්වීම කියා පාවුල් අදහස් කළේ අසන්නන්ගේ මනස් තොරතුරුවලින් පිරවීම නොවෙයි. ඒ වෙනුවට වැරදි ජීවන රටාවන් වෙනස් කරගැනීමට මිනිසුන්ව පොලඹවන ආකාරයෙන් ඉගැන්වීමයි. එසේ කිරීම කලාවක්. එසේනම් “ඉගැන්වීමේ කලාව” දියුණු කරගැනීමට අපට හැක්කේ කෙසේද?—2 තිමෝ. 4:2.

එය දියුණු කරගන්නා ආකාරය

3, 4. (අ) “ඉගැන්වීමේ කලාව” දියුණු කරගැනීමට අපට හැක්කේ කෙසේද? (ආ) දක්ෂ ගුරුවරුන් වීමට දිව්‍යාණ්ඩු සේවා පාසැල අපට උපකාර කරන්නේ කෙසේද?

3 කලාවක් කියන්නේ අධ්‍යයනය කිරීමෙන්, නිරීක්ෂණය කිරීමෙන් හෝ පුහුණු වීමෙන් අත් කරගන්නා දක්ෂතාවයකටයි. එමනිසා දේවවචනයේ දක්ෂ ගුරුවරුන් වීමට නම් අප ඉහත සඳහන් අංග තුන කෙරෙහිම හොඳ අවධානයක් දීම වැදගත්. සාකච්ඡා කිරීමට නියමිත විෂය ගැන නිවැරදි අවබෝධයක් අපට ලැබෙන්නේ අප යාච්ඤාවෙන් දෙවිගේ උපකාරය ඉල්ලමින් අධ්‍යයනය කරනවා නම් පමණයි. (ගීතාවලිය 119:27, 34 කියවන්න.) දක්ෂ ගුරුවරුන් දේවවචනය උගන්වන විට අපි එය හොඳින් නිරීක්ෂණය කරමු. පසුව ඔවුන්ගේ එම ඉගැන්වීමේ ක්‍රම අනුගමනය කරන්න උත්සාහ කරමු. එමෙන්ම අප ඉගෙනගත් දේවල් නිතරම පුහුණු වීම මගින්ද අපගේ ඉගැන්වීමේ කලාව දියුණු කරගන්න අපට පුළුවන්.—ලූක් 6:40; 1 තිමෝ. 4:13-15.

4 අපගේ උතුම්ම උපදේශකයා වන්නේ යෙහෝවා දෙවියි. ඔහු තම සංවිධානය මගින් දේශනා කිරීමේ කාර්යය වඩාත් සාර්ථකව ඉටු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් සපයනවා. (යෙසා. 30:20, 21) සෑම සභාවකම සතිපතා පවත්වන දිව්‍යාණ්ඩු සේවා පාසැල සැලසුම් කර තිබෙන්නේ ඒ සඳහායි. බලපෑමෙන් යුක්තව දේශනා කිරීම සඳහා ඊට සහභාගි වන සියලුදෙනාටම කදිම පුහුණුවක් එමගින් ලබා දෙනවා. ඒ සඳහා යොදාගන්නා ප්‍රධානම පොත වන්නේ බයිබලයයි. ජනයාට ඉගැන්විය යුත්තේ කුමක් ගැනද කියා සඳහන් වී තිබෙන්නෙත් එය තුළයි. එමෙන්ම ඉගැන්වීම සඳහා යොදාගත හැකි වඩාත් සාර්ථක ක්‍රම මොනවාද කියාත් එහි සඳහන් වෙනවා. දක්ෂ ගුරුවරුන් වීම සඳහා අප අනුගමනය කළ යුතු ක්‍රම ගණනාවක් එම පාසැලෙන් අපට නිතරම සිහිගන්වනවා. ඉන් කිහිපයක් නම් අප උගන්වන සෑමවිටම බයිබලය යොදාගැනීම, දක්ෂ ලෙස අදහස් විමසන ප්‍රශ්න ඇසීම, පහසුවෙන් තේරුම්ගත හැකි ලෙස ඉගැන්වීම සහ උගන්වන අය කෙරෙහි අවංක සැලකිල්ලක් දැක්වීමයි. අපි දැන් මේ සෑම කරුණක්ම වෙන වෙනම සාකච්ඡා කරමු. එමෙන්ම ශිෂ්‍යයාගේ ජීවිතයේ යම් වෙනස්කම් කිරීමට හැකි ආකාරයෙන් උගන්වන්නේ කෙසේද කියා අපි ඉන්පසුව සලකා බලමු.

බයිබලය යොදාගෙන උගන්වන්න

5. ඉගැන්වීම සඳහා අප සෑමවිටම යොදාගත යුත්තේ කුමක්ද? ඒ ඇයි?

5 පොළොව මත සිටි ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වන යේසුස් පවා ඉගැන්වීම සඳහා යොදාගත්තේ දේවවචනයයි. (මතෙ. 21:13; යොහ. 6:45, 46; 8:17) ඔහු කිසිවිටෙක තමාගේම අදහස් ඉගැන්වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු ඉගැන්වූයේ යෙහෝවා දෙවි ඔහුට ඉගැන්වූ දේවල්. (යොහ. 7:16-18) අප කළ යුත්තේද එයයි. එමනිසා දේවසේවයේදී හෝ බයිබල් පාඩම් පැවැත්වීමේදී අපි සෑමවිටම බයිබලය යොදාගෙන ඉගැන්වීමට වගබලා ගනිමු. (2 තිමෝ. 3:16, 17) යම් කාරණා ඒත්තුගැන්වීම සම්බන්ධයෙන් අපට සහජ දක්ෂතාවයක් තිබෙනවා විය හැකියි. ඒ කෙසේවෙතත් දේවවචනයේ බලගතුකම ඊටත් වඩා ප්‍රබලයි. උදාහරණයකට යම් කරුණක් තේරුම්ගැනීමට අප ශිෂ්‍යයාට උපකාර කරමින් සිටිනවා කියා සිතන්න. මෙහිදී හොඳම දේ වන්නේ ඊට අදාළ බයිබල් පදය කියවීමට ඔහුට අවස්ථාවක් දීමයි.—හෙබ්‍රෙව් 4:12 කියවන්න.

6. සාකච්ඡා කරන තොරතුරු තේරුම්ගැනීමට ශිෂ්‍යයාට උපකාර කළ හැක්කේ කෙසේද?

6 මෙහිදී ගුරුවරයා එම පාඩමට සූදානම් වීමට අවශ්‍ය නැහැයි කියා ඉන් අඟවන්නේ නැහැ. බයිබල් පාඩම පවත්වන අතරේදී කියවීමට අදහස් කරන්නේ කුමන බයිබල් පදද කියා ගුරුවරයා කලින්ම සූදානම් විය යුතුයි. සාකච්ඡාව අතරතුර අපගේ විශ්වාසයන්ට පදනම සපයන බයිබල් පද කියවීම ඉතාම වැදගත්. එමෙන්ම කියවන කොටසේ අර්ථය වටහාගැනීමටද ශිෂ්‍යයාට උපකාර කරන්න.—1 කොරි. 14:8, 9.

අදහස් විමසන ප්‍රශ්න අසන්න

7. ප්‍රශ්න යොදාගැනීම දක්ෂ ඉගැන්වීමේ ක්‍රමයක් වන්නේ ඇයි?

7 ගැළපෙන ප්‍රශ්න ඇසීමෙන් ශිෂ්‍යයාගේ හදවතේ තිබෙන දේ වටහාගැනීමට ගුරුවරයාට හැකියි. එමනිසා බයිබල් පදයේ අර්ථය ඔබ විස්තර කරනවා වෙනුවට, එසේ කිරීමට ශිෂ්‍යයාට ඉඩ දෙන්න. එහි නියම තේරුම වටහාගැනීමට ඔහුට උපකාර කිරීම සඳහා සමහරවිට අමතර ප්‍රශ්නයක් හෝ දෙකක් ඇසීම සුදුසු විය හැකියි. මේ ආකාරයට ශිෂ්‍යයාවත් සාකච්ඡාවට හවුල් කරගැනීමෙන් සිදු වන්නේ කුමක්ද? සාකච්ඡා කළ විෂය ගැන බයිබලයේ එවැනි දෙයක් පැවසීමට හේතු ඔහු වටහාගන්නවාට අමතරව එය හරිද වැරදිද කියලා ඔහුටම ස්ථිර කරගන්නත් හැකියාව ලැබෙනවා.—මතෙ. 17:24-26; ලූක් 10:36, 37.

8. ශිෂ්‍යයාගේ හදවතේ තිබෙන දේ දැනගත හැක්කේ කෙසේද?

8 අපගේ ප්‍රකාශනවලද ඉගැන්වීමේ ක්‍රමය හැටියට යොදාගෙන තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයයි. එවැනි ප්‍රකාශන යොදාගෙන අප බයිබල් පාඩම් පවත්වන විට බොහෝ අය පෙලඹෙන්නේ ප්‍රශ්නයට අදාළ ඡේදයේ තිබෙන පිළිතුරම දීමටයි. එහෙත් දක්ෂ ගුරුවරයෙක් නිතරම උත්සාහ කරන්නේ ශිෂ්‍යයා දුන් පිළිතුර ගැන ඔහුගේම අදහස දැනගැනීමටයි. උදාහරණයකට වේශ්‍යාකම ගැන බයිබලයේ පවසා ඇති දේ පැහැදිලිව විස්තර කිරීමට ශිෂ්‍යයෙකුට හැකියාව තිබිය හැකියි. (1 කොරි. 6:18) නමුත් ඔහු ඒ ගැන පෞද්ගලිකව දරන මතය කුමක්ද කියා දැනගැනීමට නම් අදහස් විමසන ප්‍රශ්න ඇසිය යුතුයි. ඔහුගෙන් මෙවැනි දෙයක් අපට අසන්න පුළුවන්. “විවාහයෙන් පිටත පවත්වන ඕනෑම ලිංගික සම්බන්ධතාවක් වැරදි බව බයිබලයේ පවසන්නේ ඇයි? දෙවි පනවා තිබෙන ඒ නීතිය සාධාරණයි කියා ඔබ හිතනවාද? බයිබලයේ ඇති එවැනි ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීම ප්‍රයෝජනවත්ද?” ඊට ඔහු දෙන පිළිතුරෙන් ඒ ගැන ඔහු දරන මතය කුමක්ද කියා දැනගත හැකියි.—මතෙව් 16:13-17 කියවන්න.

පහසුවෙන් තේරුම්ගත හැකි ලෙස උගන්වන්න

9. ඉගැන්වීමට බයිබලය යොදාගනිද්දී අප මතක තබාගත යුත්තේ කුමක්ද?

9 බයිබලයේ සඳහන් බොහෝමයක් ඉගැන්වීම් ඉතාම සරලයි. නමුත් අප සමඟ බයිබලය පාඩම් කරන සමහර අය අසත්‍ය ආගමික ඉගැන්වීම් නිසා ව්‍යාකූල වී සිටිනවා. ඒ නිසා ගුරුවරුන් හැටියට අපගේ වගකීම වන්නේ බයිබල් සත්‍යය තේරුම්ගැනීමට පහසු, සරල ආකාරයෙන් ඉගැන්වීමයි. දක්ෂ ගුරුවරුන් නිතරම උගන්වන්නේ සරල, පැහැදිලි සහ නිවැරදි ආකාරයටයි. අපත් එලෙසම උගන්වනවා නම් බයිබල් සත්‍යය තේරුම්ගැනීම අපගේ ශිෂ්‍යයන්ට අපහසු දෙයක් වන්නේ නැහැ. එමනිසා උගන්වද්දී විෂයට අදාළ නොවන සියලුම කරුණු බැහැර කරන්න. එමෙන්ම බයිබල් පදයක් කියවීමෙන් පසුව එහි ඇති සියලුම තොරතුරු ගැන අදහස් දක්වනවා වෙනුවට සාකච්ඡා කරන කරුණට අදාළ කොටස පමණක් සලකා බැලීම යෝග්‍යයි. මෙසේ ශිෂ්‍යයා සත්‍යය තුළ ප්‍රගතියක් ලබනවාත් සමඟම බයිබලයේ ඇති අනෙකුත් ගැඹුරු විෂයන් ගැනද වැටහීමක් ක්‍රමානුකූලව ලබාගනියි.—හෙබ්‍රෙ. 5:13, 14.

10. කොපමණ තොරතුරු ප්‍රමාණයක් සාකච්ඡා කළ යුතුද කියා තීරණය වන්නේ කුමකින්ද?

10 එක් වතාවකදී කොපමණ තොරතුරු ප්‍රමාණයක් ඔහු සමඟ සාකච්ඡා කළ යුතුද? එය තීරණය කළ යුත්තේ ශිෂ්‍යයාගේ හැකියාවට අනුවයි. ගුරුවරුන් හැටියට නිතරම අපගේ අරමුණ විය යුත්තේ ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගැනීමට ශිෂ්‍යයාට උපකාර කිරීමයි. එමනිසා පාඩම තුළදී කියවීමට, ඉගෙනගන්නා දේ තේරුම්ගැනීමට සහ ඒවා හරිද වැරදිද කියා ඔහුටම ස්ථිර කරගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න. නමුත් ශිෂ්‍යයා එම කරුණ වටහාගත් පසු පාඩම ඉදිරියට ගෙන යෑමට අපට හැකියි. එකවර තේරුම්ගැනීමට බැරි තරම් තොරතුරු රාශියක් ඔහු සමඟ සාකච්ඡා නොකළ යුතු බවද අප මතක තබාගත යුතුයි.—කොලො. 2:6, 7.

11. ඉගැන්වීම සම්බන්ධයෙන් අපට පාවුල්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 පාවුල්ද අන් අයට ශුභාරංචිය දේශනා කළේ පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයටයි. ඔහු ඉතා උගත් පුද්ගලයෙක් වුණත් ඔහු උසස් භාෂා ශෛලියක් යොදාගෙන ඉගැන්නුවේ නැහැ. (1 කොරින්ති 2:1, 2 කියවන්න.) ඔහු මෙන් අපත් බයිබලයේ ඇති සත්‍යය තේරුම්ගැනීමට පහසු ආකාරයෙන් උගන්වනවා නම් අවංක හදවත් ඇති අය ඉන් ප්‍රයෝජන ගනියි. එයාකාරයෙන් අප උගන්වනවා නම් බයිබලයේ සඳහන් තොරතුරු තේරුම්ගැනීමට ඕනෑම කෙනෙකුට හැකි වෙයි.—මතෙ. 11:25; ක්‍රියා 4:13; 1 කොරි. 1:26, 27.

එය අගය කිරීමට උපකාර කරන්න

12, 13. ඉගෙනගන්නා තොරතුරු අදාළ කරගැනීමට ශිෂ්‍යයාට උපකාර කරන්නේ කෙසේද? උදාහරණයක් දෙන්න.

12 ඉගෙනගන්නා තොරතුරු අදාළ කරගැනීමටත් ඉන් ප්‍රයෝජන ලබාගැනීමටත් ගුරුවරයා ශිෂ්‍යයාට උපකාර කළ යුතුයි. එමෙන්ම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම මගින් ජීවිතය වඩාත් සාර්ථක එකක් කරගන්නේ කෙසේද කියා ඔහුටම ස්ථිර කරගැනීමටත් ගුරුවරයා උපකාර කළ යුතුයි.—යෙසා. 48:17, 18.

13 උදාහරණයකට දෙවි පිළිබඳව ඉගෙනගැනීමටත් සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇසුර භුක්ති විඳීමටත් රැස්වීම්වලට සහභාගි වන්න කියා හෙබ්‍රෙව් 10:24, 25 දී ඇති උපදෙස සැලකිල්ලට ගන්න. ශිෂ්‍යයා තවමත් රැස්වීම්වලට පැමිණෙන්නේ නැත්නම් කුමක් කළ හැකිද? රැස්වීම් පැවැත්වෙන ආකාරයත් එහි සාකච්ඡා කරන තොරතුරු ගැනත් පැහැදිලි කිරීමට අපට හැකියි. එමෙන්ම සභා රැස්වීම් දෙවිට කරන අපගේ නමස්කාරයේ එක් අංගයක් බවත් ඉන් අපට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි බවත් ඔහුට වටහා දෙන්න අපට පුළුවන්. ඉන්පසුව ඊට සහභාගි වන ලෙස ඔහුට ඇරයුම් කළ හැකියි. එසේ ඔහු රැස්වීම්වලට සහභාගි විය යුත්තේ බයිබලයේ දී ඇති උපදෙසට අනුව මිස ගුරුවරයාව සතුටු කිරීමේ චේතනාවෙන් නොවෙයි.—ගලා. 6:4, 5.

14, 15. (අ) ශිෂ්‍යයෙක් යෙහෝවා දෙවි ගැන කුමක් ඉගෙනගනීවිද? (ආ) දෙවිගේ ගුණාංග ඉගෙනගැනීමෙන් ශිෂ්‍යයාට ඇති ප්‍රයෝජනය කුමක්ද?

14 බයිබලය අධ්‍යයනය කිරීමෙන් සහ එහි ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් ශිෂ්‍යයා බොහෝ ප්‍රයෝජන ලබයි. ඉන් එකක් නම් යෙහෝවා දෙවි යනු සැබෑ පුද්ගලයෙක් බව තේරුම්ගෙන දෙවිට ප්‍රේම කිරීමට පටන්ගැනීමයි. (යෙසා. 42:8) එමෙන්ම දෙවි ප්‍රේමණීය පියෙක් මෙන්ම අපගේ නිර්මාණකරු බවත් මුළු විශ්වයේම අයිතිකරු බවත් ඔහු තේරුම්ගනියි. එපමණක්ද නොව දෙවි තමන්ට ප්‍රේම කරන අයට තම ගුණාංග සහ අරමුණු තේරුම්ගැනීමට උදව් කරන බවත් ඔහු තේරුම්ගනියි. (නික්මයාම 34:6, 7 කියවන්න.) උදාහරණයකට ඊජිප්තුවේ වහල්භාවයේ සිටි සෙනඟව ඉන් පිටතට ගෙන ඒමට සුදානම් වන විට දෙවි මෝසෙස්ට ඔහුව හඳුන්වා දුන් ආකාරය බලන්න. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.” (නික්. 3:13-15, නව ලොව පරිවර්තනය) මින් අදහස් කළේ තම සෙනඟ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා ඕනෑම තත්වයකට අනුව සකස් වෙන්න දෙවිට හැකි බවයි. මෙසේ යෙහෝවා දෙවි ගැලවුම්කරුවෙකු, සේනාධිපතියෙකු, සපයන්නෙකු, පොරොන්දු ඉටු කරන්නෙකු සහ වෙනත් ඕනෑම තත්වයකදී පිහිට විය හැකි තැනැත්තෙකු බව ඊශ්‍රායෙල්වරුන් හොඳින් තේරුම්ගත්තා.—නික්. 15:2, 3; 16:2-5; යෝෂු. 23:14.

15 මෝසෙස්ගේ කාලයේ මෙන් දෙවි අද දින ආශ්චර්යයන් නොකරන බව අපගේ ශිෂ්‍යයන් තේරුම්ගනියි. එමෙන්ම ඔවුන් ඉගෙනගන්නා දේවල් ක්‍රියාත්මක කරමින් සත්‍යය තුළ ප්‍රගතියක් ලබනවාත් සමඟම ඔවුන් තවත් යමක් වටහාගනියි. එනම් ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම්, ධෛර්යය, සහ ප්‍රඥාව සඳහා ඔවුන් දෙවිගේ උපකාර පැතිය යුතු බවයි. එසේ කිරීමෙන් ඔවුන් දෙවිගේ උපකාර අද්දකිද්දී දෙවි ඉතා ප්‍රඥාවන්ත මෙන්ම විශ්වාසවන්ත උපදේශකයෙක් බවත් තමන්ට ආරක්ෂාව සපයමින් අවශ්‍ය දේවල් නිසි වේලාවට සපයන තැනැත්තෙක් බවත් ඔවුන්ටම සහතික වෙයි.—ගීතා. 55:22; 63:7; හිතෝ. 3:5, 6.

අවංක සැලකිල්ලක් දක්වන්න

16. දක්ෂ ගුරුවරයෙකු වීම සඳහා ප්‍රධානම දේ සහජ හැකියාව නොවන්නේ ඇයි?

16 දක්ෂ ගුරුවරයෙකු මෙන් ඉගැන්වීමේ හැකියාවක් නැහැයි කියා අපගෙන් සමහරෙකුට සිතෙන්න පුළුවන්. ඔබටත් එසේ හැඟුණොත් අධෛර්යය වන්න එපා! දක්ෂ ගුරුවරුන් වීම සඳහා ලෝක ව්‍යාප්තව ලබා දෙන අධ්‍යාපනයට මඟ පෙන්වන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් විසිනුයි. (ක්‍රියා 1:7, 8; එළි. 14:6) එමනිසා අප දේශනා කරන පණිවිඩය මගින් අවංක හදවත් ඇති අයව සත්‍ය නමස්කාරය වෙතට ඇදගැනීමට උපකාර කරන්න ඔවුන්ට හැකියි. (යොහ. 6:44) දක්ෂ ලෙස ඉගැන්වීම සඳහා සහජ හැකියාවක් නොතිබුණත් ශිෂ්‍යයා කෙරෙහි අවංක ප්‍රේමයක් පෙන්වීමෙන් ඒ අරමුණ ඉටු කරගත හැකියි. එසේ කිරීම කොතරම් වැදගත්ද කියා පාවුල්ද දැන සිටියා.—1 තෙසලෝනික 2:7, 8 කියවන්න.

17. සෑම බයිබල් ශිෂ්‍යයෙකු කෙරෙහිම අවංක සැලකිල්ලක් දැක්වීමට අපට හැක්කේ කෙසේද?

17 සෑම ශිෂ්‍යයෙකු කෙරෙහිම අවංක උනන්දුවක් පෙන්විය හැකි එක් ක්‍රමයක් වන්නේ ඔහුව හොඳින් දැන හඳුනා ගැනීමට යම් කාලයක් වෙන් කිරීමයි. අප ඔහු සමඟ බයිබලය පාඩම් කරන විට ඔහු පිළිබඳව වැඩි වැඩියෙන් දැනගැනීමට හැකි වෙනවා. ඉගෙනගන්නා ප්‍රතිපත්තිවලට අනුව ඔහුගේ ජීවිතයේ වෙනස් කරගෙන ඇති යම් පැතිද අප දකීවි. එමෙන්ම සකස් කරගත යුතු පැතිද තිබෙනවා විය හැකියි. එවන් අවස්ථාවලදී කුමක් කළ හැකිද? සාකච්ඡාවෙන් ඉගෙනගත් තොරතුරු ජීවිතයට අදාළ කරගැනීමට ප්‍රේමණීයව ඔහුට උපකාර කරන්න අපට හැකියි.

18. ශිෂ්‍යයා සමඟ සිට ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම වැදගත් වන්නේ ඇයි?

18 ඒ සියල්ලට වඩා ශිෂ්‍යයා සමඟ සිට ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම ඉතා වැදගත්. ගුරුවරයෙකුගේ එකම බලාපොරොත්තුව වන්නේ ශිෂ්‍යයා දෙවිට ළං වෙනවා දකින්නයි. අප කරන යාච්ඤාවෙන් ඒ බව ඔහු වටහාගනියි. (ගීතාවලිය 25:4, 5 කියවන්න.) ශිෂ්‍යයා ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට ඔහුට උපකාර කරන්න කියාද අප යාච්ඤා කළ යුතුයි. එවිට ඉගෙනගන්නා දේ ‘පිළිපදින්නෙකු’ වීම කොතරම් වැදගත්ද කියා ඔහු තේරුම්ගනියි. (යාකො. 1:22) එමෙන්ම යාච්ඤා කරන්නේ කෙසේද කියාත් ශිෂ්‍යයා අපගෙන් ඉගෙනගනියි. අවසානයේදී ඔහුම යාච්ඤා කරමින් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ගොඩනඟා ගනිද්දී එය අපට මොන තරම් සතුටක්ද!

19. ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ කුමක් ගැනද?

19 ලොව පුරා මිලියන හතකට ආසන්න දෙවිගේ සේවකයන් “ඉගැන්වීමේ කලාව” දියුණු කරගැනීමට උත්සාහ කරමින් සිටින බව දැන සිටීම අපට මොන තරම් ශක්තියක්ද! එම උත්සාහයේ අරමුණ කුමක්ද? යේසුස් අණ කළ සියලු දේ පැවැත්වීමට මිනිසුන්ට උපකාර කිරීමයි. ඉන් ලබා තිබෙන ප්‍රතිඵල මොනවාද? ඊට පිළිතුරු ඊළඟ ලිපියේ සාකච්ඡා කරයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ක්‍රිස්තියානීන් “ඉගැන්වීමේ කලාව” දියුණු කරගත යුත්තේ ඇයි?

• බලපෑමෙන් යුක්තව ඉගැන්විය හැකි ක්‍රම මොනවාද?

• ඉගැන්වීමට සහජ හැකියාවක් නොතිබුණත් වඩාත් වැදගත් දෙය වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

ඔබත් දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ශිෂ්‍යයෙක්ද?

[10වන පිටුවේ පින්තූරය]

පාඩම අතරතුර බයිබලය කියවීමට ශිෂ්‍යයාට ආරාධනා කිරීම වැදගත් ඇයි?

[12වන පිටුවේ පින්තූරය]

ශිෂ්‍යයා සමඟ සිට ඔහු වෙනුවෙන් යාච්ඤා කරන්න