Skip to content

පටුනට යන්න

ඔවුන් ලැබූ තෘප්තිය ලබන්න ඔබත් කැමතිද?

ඔවුන් ලැබූ තෘප්තිය ලබන්න ඔබත් කැමතිද?

ඔවුන් ලැබූ තෘප්තිය ලබන්න ඔබත් කැමතිද?

මාක් කැනඩාවේ ජීවත් වන සහෝදරයෙක්. ඔහු රැකියාව කළේ අභ්‍යවකාශ ගමන් සඳහා රොබෝ යන්ත්‍ර නිපදවන ආයතනයකයි. ඔහු එහි අර්ධ කාලීනව වැඩ කරන අතරම ස්ථාවර පුරෝගාමි සේවයද කළා. ඔහුගේ සම්පූර්ණ කාලයම කැප කිරීමට සිදු වන ඉහළ වැටුපක් සහිත උසස් වීමක් ඔහුට ලැබුණේ මේ කාලයේදීයි. මාක් ගත් තීරණය කුමක්ද?

ඒමි නමැති සහෝදරිය ජීවත් වන්නේ පිලිපීනයේයි. ඇය පාසැල් යන අතරම ස්ථාවර පුරෝගාමි සේවයේ නිරත වුණා. නමුත් උසස් පෙළ විභාගයෙන් පසුව ඇයට ඉහළ වැටුපක් සහිත පූර්ණ කාලීන රැකියා අවස්ථාවක් ලැබුණා. ඒමි ගත් තීරණය කුමක්ද?

මාක් සහ ඒමි ගත් තීරණ එකිනෙකට වෙනස්. කෙසේවෙතත් ඔවුන් ගත් තීරණ ඥානවන්තද නැද්ද කියා අප දන්නේ කෙසේද? මේ සඳහා පාවුල් දුන් මෙම උපදෙස සලකා බැලීමෙන් ඒ බව තේරුම්ගත හැකියි. ඔහු පැවසුවේ මෙසේයි. ‘මේ ලෝකය භුක්ති විඳින අය මුළුමනින්ම එය භුක්ති නොවිඳින්නන් මෙන් විය යුතුය.’—1 කොරි. 7:29-31.

ලෝකය මුළුමනින්ම භුක්ති නොවිඳින්න

මාක් සහ ඒමි ගැන සලකා බැලීමට පෙර පාවුල් ඉහත සඳහන් කළ “ලෝකය” (ග්‍රීක වචනය කොස්මොස්) යන වචනයේ තේරුම සලකා බලමු. මෙහි ලෝකය කියා දක්වා තිබෙන්නේ පොදු මිනිස් සමාජයටයි. එමෙන්ම කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් වැනි අපේ ජීවිතයේ මූලික අවශ්‍යතාද එම වචනයෙන් අදහස් වෙනවා. * එම මූලික අවශ්‍යතා සපුරාගැනීමට අපගෙන් බොහෝදෙනා රැකියාවක නිරත වෙනවා. ඒ අනුව පවුලේ අවශ්‍යතා සපයන්න කියා බයිබලයේ දී තිබෙන ප්‍රතිපත්තිය රැකීමට නම් මේ “ලෝකය” යම් ප්‍රමාණයකට භුක්ති විඳීමට අපට සිදු වෙනවා. එනම් ප්‍රයෝජනයට ගැනීමට සිදු වෙනවා. (1 තිමෝ. 5:8) කෙසේවෙතත්, මේ ‘ලෝකය පහව යමින් තිබෙන’ බවත් අප තේරුම්ගත යුතුයි. (1 යොහ. 2:17) එමනිසා අප මේ ලෝකය ප්‍රයෝජනයට ගන්නේ අපේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට මිස “මුළුමනින්ම” නොවෙයි. එනම් ධන සම්පත් රැස්කරගෙන සැප පහසු ජීවිතයක් ගත කරන්න නොවෙයි.—1 කොරි. 7:31.

ඒ අනුව මේ ලෝකය ප්‍රයෝජනයට ගත යුත්තේ අපේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට පමණයි. එම උපදෙස බොහෝ ක්‍රිස්තියානීන් බැරෑරුම්ව සලකා තිබෙනවා. ඒ නිසා ඔවුන් සිටින තත්වයන් ගැන යළි සලකා බැලීමටත් රැකියාව සඳහා යොදවන කාලය අඩු කිරීමටත් තමන්ගේ ජීවන රටාව සරල කරගැනීමටත් ඔවුන් පෙලඹී තිබෙනවා. එසේ කර වැඩි කල් යන්න මත්තෙන් ඔවුන්ගේ ප්‍රීතිය සහ තෘප්තිය බොහෝසෙයින් වැඩි වී ඇති බව ඔවුන්ට වැටහී ගොස් තිබෙනවා. ඊට හේතුව නම් පවුලේ අය සමඟත් දේවසේවයෙත් වැඩි කාලයක් ගත කරන්න ඔවුන්ට හැකිවීමයි. නමුත් ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ඔවුන් මේ ලෝකය කෙරෙහි නොව දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න පෙලඹී තිබීමයි. ඒ ආකාරයටම දේවරාජ්‍යයට මුල් තැන දීම සඳහා ඔබේ ජීවිතය සරල කරගන්න ඔබටත් පුළුවන්ද?—මතෙ. 6:19-24, 33.

“කවදාකටත් වඩා දෙවිට ළං වෙලා”

මාක් මේ ලෝකය මුළුමනින්ම භුක්ති නොවිඳින්න අධිෂ්ඨාන කරගත්තා. ඔහුට ලැබුණු උසස් වීම ඔහු ප්‍රතික්ෂේප කළේ ඒ නිසයි. නමුත් කෙසේ හෝ ඔහුව රඳවාගැනීමට උත්සාහ කළ ඔහුගේ වැඩ බලන නිලධාරියා ඔහුගේ වැටුප තවත් වැඩි කරන බවද පැවසුවා. “ඒක නම් පුදුමාකාර පරීක්ෂණයක්. නමුත් මම ඒකත් ප්‍රතික්ෂේප කළා” කියා මාක් පවසනවා. ඊට හේතුව හැටියට මාක් සඳහන් කරන්නේ මෙයයි. “මටත් මගේ බිරිඳ වන පෝලාටත් අවශ්‍ය වුණේ යෙහෝවා දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්නයි. ඒ නිසා අපේ ජීවිත පුළුවන් තරම් සරල කරගන්න අපි තීරණය කරගෙන සිටියා. ඒ වගේම සුදුසු කාලයේදී අපේ ඉලක්කය අත් කරගන්න අපට උපකාර කරන්න කියාත් අපි නිතරම යාච්ඤා කළා.”

පෝලා මෙසේ කියනවා. “මම රෝහලක ලේකම්වරියක් විදිහට සතියට දවස් තුනක් වැඩ කළා. මට හොඳ වැටුපකුත් ලැබුණා. ඒ අතරම මම ස්ථාවර පුරෝගාමි සේවයෙත් යෙදුණා. කොහොම වුණත්, මාක්ට වගේ මටත් අවශ්‍ය වුණේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කරන්නයි. ඒත් අස්වීමේ ලිපිය බාර දෙන්න යද්දී මගේ වැඩ බලන නිලධාරිනිය මට කිව්වේ සුදුසුකම් තිබෙන නිසා මට උසස් වීමක් ලබා දෙන්න පුළුවන් කියලයි. එම රෝහලේ ලේකම්වරියකට ගෙවන වැඩිම මුදල ලබාගන්න මට හැකියාව තිබුණත් අස්වෙන්න මම ගත් තීරණය වෙනස් කළේ නැහැ. ඊට හේතුව ඒ නිලධාරිනිය දැනගත්තාම මගේ ඇදහිල්ල ගැන පැහැදිලා ඇය මාව අගය කළා.”

ඉන් ටික කලකට පසුව මාක් සහ පෝලාට විශේෂ පුරෝගාමි සේවය සඳහා පැවරුමක් ලැබුණා. ඒ කැනඩාවේ ඈත පිටිසර පළාතක තිබෙන කුඩා සභාවක් සමඟයි. ඒ ගැන මාක් මෙසේ පවසනවා. “මගේ ජීවිත කාලයෙන් භාගයක්ම මම වැය කළේ රැකියාවටයි. මුදල් අතින් මම හොඳ ස්ථාවරයකයි සිටියේ. ඒ වගේ රැකියාවක් අතහැරලා ආපු නිසා අනාගතයේදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්නේ කියලා මට මුලින් පුංචි බයකුත් දැනුණා. ඒත් යෙහෝවා දෙවි අපේ සේවයට හැම අතින්ම ආශීර්වාද කරලා තියෙනවා. දෙවිට සේවය කිරීමට අනිත් අයට උපකාර කිරීම තරම් සතුටක් දැන් අපිට තවත් නැහැ. ඒ සතුට අපිට දැනෙනවා. අපේ විවාහ ජීවිතය වඩාත් සාර්ථක කරගන්නත් මේ සේවය අපට උදව් වෙලා තියෙනවා. අපි දෙන්නා වැඩිපුරම කතා කරන්නේ දේවසේවය ගැනයි. අපි වෙන කවදාකටත් වඩා දෙවිට ළං වෙලා කියලා දැන් අපිට දැනෙනවා.” (ක්‍රියා 20:35) පෝලාත් ඇයට හැඟෙන ආකාරය ගැන මෙසේ පවසනවා. “මෙච්චර කාලයක් කරපු රස්සාව නවත්තලා, හුරු පුරුදු ගේ දොර දාලා ආවට පස්සේ කරන්න තියෙන්නේ එක දෙයයි. යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියන එක විතරයි. අපි ඒක කළා. ඒ නිසා දෙවි අපිට ආශීර්වාද කළා. දැන් අපි ඉන්න සභාවේ සහෝදර සහෝදරියන් අපිට හරිම ආදරෙයි. ඒගොල්ලන්ගේ කතා බහෙන් තේරෙන්නේ අපි කරන සේවය ඒගොල්ලන් ගොඩාක් අගය කරනවා කියලයි. මම මෙච්චර කාලයක් මගේ ශක්තිය වැය කළේ රස්සාවට. නමුත් දැන් මම කරන්නේ යෙහෝවා දෙවිට ළං වෙන්න මිනිසුන්ට උදව් කරන එකයි. යෙහෝවා දෙවිගෙන් ලැබුණු මේ පැවරුම ගැන මට නම් කියන්න වචන නැහැ. අපි ඉන්නේ හරිම සතුටින්.”

‘මුදල් තිබුණත් සතුටක් නැහැ’

ඒමි ගත්තේ වෙනස් තීරණයක්. ඇය තෝරාගත්තේ සල්ලි පනම් හොඳට හම්බ කරන්න පුළුවන් පූර්ණ කාලීන රැකියාවක්. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම රස්සාව කරපු මුල් අවුරුද්දේදී කොහොම හරි දේවසේවයත් කරන්න පුළුවන් වුණා. ඒත් ටිකෙන් ටික මගේ අවධානය වෙනතකට හැරුණා. මම හැම තිස්සෙම හිතුවේ රැකියාවේ ඉහළටම යන්නයි. ඒ එක්කම දියුණු වෙන්නත් මට ඕනෑ තරම් අවස්ථා පෑදුණා. ඒ නිසා මම මගේ කාලයයි ශක්තියයි තව තවත් වැය කළේ උසස් වීම් ලබාගන්නයි. රස්සාවේ වගකීම් වැඩි වෙන්න වැඩි වෙන්න දේවසේවය සඳහා තියෙන කාලය අඩු වේගන ගියා. අන්තිමේදී මගේ දේවසේවය එහෙම්මම නැවතුණා.”

අතීතය දෙස ආපසු හැරී බලන ඒමි තවදුරටත් මෙසේ කියනවා. “මුදල් අතින් නම් මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම ගොඩාක් රටවල සංචාරය කළා. මගේ තනතුර නිසා ලොකු කීර්තියකුත් මට ලැබුණා. ඒ වුණත් මට කිසිම සතුටක් තිබුණේ නැහැ. මට සල්ලිවලින් වගේම ප්‍රශ්නවලිනුත් අඩුවක් තිබුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා මම සොයා බැලුවා. එතකොටයි මට තේරුණේ මම මෙච්චර කල් මේ ලෝකය කොයිතරම් භුක්ති විඳිමින් හිටියාද කියලා! මගේ ඇදහිල්ලත් සෑහෙන්න දුර්වල වෙලා තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට බයිබලයේ කියන විදිහටම මම ‘බොහෝ වේදනාවලින්’ පීඩිත වෙලයි හිටියේ.”—1 තිමෝ. 6:10.

දැන් ඒමිගේ තීරණය කුමක්ද? ඇය මෙසේ පවසනවා. “දෙවි සමඟ තියෙන මගේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්න මට උපකාර කරන්න කියලා මම වැඩිමහල්ලන්ගෙන් ඉල්ලුවා. ඒ වගේම දිගටම රැස්වීම් යන්නත් පටන්ගත්තා. එක දවසක් ගීතිකාවක් ගායනා කරද්දී මට ඇඬුණා. ඒ මම ස්ථාවර පුරෝගාමි සේවය කරපු දවස් මතක් වෙලා. ඒ කාලෙ ඒ තරම් සල්ලි නොතිබුණත් ඒ අවුරුදු පහ පුරා මම මොන තරම් ප්‍රීතියක් ලැබුවාද කියලා මට මතක් වුණා. සල්ලි පස්සේ දුවන එක නවත්තලා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න ඕනේ කියලා මට හොඳටම තේරුණා. ඊටපස්සේ මම රැකියාවේ සාමාන්‍ය මට්ටමේ තනතුරක් ඉල්ලාගත්තා. මගේ වැටුප හරියටම භාගයකින් අඩු වුණා. එහෙම කරලා ආයෙත් දේවසේවයේ යන්න පටන්ගත්තා.” ඒමි ඒ ගැන සතුටෙන් පවසන්නේ මෙසේයි. “මම දැන් ආයෙත් ස්ථාවර පුරෝගාමියෙක්! දැනට අවුරුදු කිහිපයක් තිස්සේ මම මේ සේවය කරගෙන යනවා. විනාශයට කැප වුණු මේ ලෝකය වෙනුවෙන් මගේ මුළු කාලයයි, ශක්තියයි වැය කළ කාලයේදී නොලබපු ආකාරයේ සතුටක් සහ තෘප්තියක් දැන් මම ලබනවා.”

ඔවුන් මෙන් ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගෙන ඔබේ ජීවිතයත් සරල කරගන්න ඔබට පුළුවන්ද? ඔබේ ජීවිතය වඩා තෘප්තිමත් එකක් කරගන්න ඔබ කැමතිද? එසේනම් දෙවිගේ නමස්කාරය හා බැඳි කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමෙන් එය අත් කරගත හැකි බවට නිසැක වන්න.—හිතෝ. 10:22.

[පාදසටහන]

^ 6 ඡේ. Insight on the Scriptures, 2වන වෙළුමේ, 1207-1208 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අවශ්‍ය වෙනස්කම් කරගෙන ඔබේ ජීවිතය සරල කරගන්න ඔබටත් පුළුවන්ද?

[19වන පිටුවේ කොටුව/පින්තූරය]

“සතුට කියලා නිම කරන්න බැරි තරම්!”

වැඩිමහල්ලෙක් වන ඩේවිඩ් ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේයි. ඔහුගේ බිරිඳත් දරුවනුත් පූර්ණ කාලීන දේවසේවකයන්. රැකියාවක් කළ ඔහුට වුවමනා කළෙත් පුරෝගාමියෙක් වෙන්නයි. ඒ නිසා රැකියා ස්ථානයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ඔහුට ඒ ස්ථානයේම අර්ධ කාලීන රැකියාවක් ලබාගැනීමට හැකි වුණා. ඉන්පසු ඔහු ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. ඔහු කළ ඒ වෙනස්කම නිසා ඔහුගේ ජීවිතයට තෘප්තියක් ලැබුණාද? මාස කිහිපයකට පසු ඔහු මිතුරෙකුට ලියූ ලියුමක මෙසේ සඳහන් වුණා. “පවුලේ අයත් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිට සේවය කරන්න වැඩි කාලයක් යෙදවීම තරම් තෘප්තියක් ගෙන දෙන දෙයක් තවත් නැහැ. පුරෝගාමි සේවයට හුරු වෙන්න මට කාලයක් යයි කියලයි මම මුලින් හිතුවේ. නමුත් මම දැනටමත් ලබන සතුට කියලා නිම කරන්න බැරි තරම්! මට දැන් දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්!”

[18වන පිටුවේ පින්තූරය]

මාක් හා පෝලා දේවසේවයේ යෙදෙමින්