Skip to content

පටුනට යන්න

ජීවන වතුරට මඟ පෙන්වනු ලබන වෙනත් බැටළුවෝ

ජීවන වතුරට මඟ පෙන්වනු ලබන වෙනත් බැටළුවෝ

ජීවන වතුරට මඟ පෙන්වනු ලබන වෙනත් බැටළුවෝ

“බැටළු පැටවා එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන, ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට මඟ පෙන්වන්නේය.”—එළි. 7:17.

1. අභිෂේක ලත් අයව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ කෙසේද? එමෙන්ම යේසුස් ඔවුන්ට දුන් වගකීම කුමක්ද?

පොළොවේ තිබෙන යේසුස් සන්තක දේවල් රැකබලා ගන්නා වූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලෙසයි. වර්ෂ 1918දී යේසුස් මෙම ‘දාසයාව’ පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී තම ගෙයි වැසියන්ට ‘නියම වේලාවට ආහාර දෙමින්’ සිටියේ ඔවුන් බව ඔහු දුටුවා. එමනිසා ස්වාමියා වන යේසුස් “තමන් සන්තක සියල්ල කෙරෙහි” ඔවුන්ව පත් කිරීමට සතුටු වුණා. (මතෙව් 24:45-47 කියවන්න.) මෙසේ මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් තමන්ගේ ස්වර්ගික ත්‍යාගය ලැබීමට කලින් පොළොව මත සිටින සෙසු නමස්කාරකයන්ට සේවය කරමින් සිටිනවා.

2. යේසුස් සන්තක දේවලට ඇතුළත් වන්නේ කුමක්ද?

2 තමා සන්තක දේ තමාට කැමති පරිදි පාවිච්චි කිරීමට ඕනෑම ස්වාමියෙකුට අයිතියක් තිබෙනවා. ඒ හා සමානව ස්වාමියා වන යේසුස්ටද ඔහු සන්තක බොහෝ දේ මේ පොළොවේ තිබෙනවා. ඊට යොහන් දර්ශනයෙන් දුටු ‘මහත් සමූහයද’ අයත් වෙනවා. ඔහු මහත් සමූහයව විස්තර කරන්නේ මේ ආකාරයටයි. “බලන්න! කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් මම දුටිමි. සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ ඔවුන්, සුදු සළු පැළඳ, සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටිනවා දුටිමි. ඔවුන් අත තාල පත්‍ර තිබිණ.”—එළි. 7:9.

3, 4. මහත් සමූහයට විශේෂ වරප්‍රසාදයක් ලැබී ඇති බව පවසන්නේ ඇයි?

3 මහත් පීඩාව මැදින් බේරී එන මෙම මහත් සමූහය යේසුස් පැවසූ ‘වෙනත් බැටළුවන්ට’ අයත් වෙනවා. (යොහ. 10:16) ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමයි. යේසුස් ඔවුන්ව ‘ජීවන වතුර ඇති උල්පත්වලට මඟ පෙන්වන බවත් දෙවි ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන’ බවත් ඔවුන්ට විශ්වාසයි. එවැනි බලාපොරොත්තුවක් තිබෙන ඔවුන් ‘තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගෙන’ තිබෙනවා. (එළි. 7:14, 17) ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන නිසා දෙවි ඔවුන්ව සලකන්නේ ‘සුදු සළු’ පැළඳ සිටින අය හැටියටයි. ඉන් අදහස් කරන්නේ දෙවි ආබ්‍රහම්ව මිතුරෙකු ලෙස සලකා ධර්මිෂ්ඨ පුද්ගලයෙක් ලෙස සැලකූ ආකාරයටම මොවුන්වද සලකන බවයි.

4 මෙම මහත් සමූහය දෙවි ධර්මිෂ්ඨයන් ලෙස සලකන නිසා මහත් පීඩාවෙන් ගැලවීමේ අපේක්ෂාව ඔවුන්ට තිබෙනවා. (යාකො. 2:23-26) දිනෙන් දින වැඩි වන ඔවුන්ට දෙවිට තව තවත් ළං වන්න අවස්ථාව උදා වන අතර මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් ගැලවීමේ ප්‍රීතිමත් බලාපොරොත්තුවත් තිබෙනවා. (යාකො. 4:8; එළි. 7:15) කිසි විටක තම තමන්ට කැමති ආකාරයට කටයුතු නොකරන ඔවුන් යේසුස්ගේ හා පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම යටත් වෙනවා.

5. මහත් සමූහය අභිෂේක ලත් අයට සහයෝගය දක්වන්නේ කෙසේද?

5 අභිෂේක ලත් අයට සාතන්ගේ ලෝකයෙන් පැමිණෙන දරුණු පීඩා තවමත් නතර වී නැහැ. නමුත් මහත් සමූහයේ සාමාජිකයන්ගේ සහයෝගය ඔවුන්ට ඉමහත් ශක්තියක්. පොළොව මත සිටින අභිෂේක ලත් අයගේ සංඛ්‍යාව අඩු වේගන යන විට මහත් සමූහයේ සාමාජිකයන්ගේ ගණන සිය දහස් ගණනින් වැඩි වෙනවා. මේ නිසා ලොව වටා තිබෙන 1,00,000කට ආසන්න සභාවන් පෞද්ගලිකව අධීක්ෂණය කිරීමට අභිෂේක ලත් අයට පහසු දෙයක් නොවෙයි. ඒ නිසා ඔවුන්ට වෙනත් බැටළුවන්ගෙන් විවිධාකාරයෙන් සහයෝගය ලැබී තිබෙනවා. ඉන් එක් ආකාරයක් නම් ඔවුන් අතර සිටින සුදුසුකම් ඇති අය වැඩිමහල්ලන් ලෙස සේවය කිරීමයි. මෙසේ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ භාර දී ඇති මිලියන ගණනක් ක්‍රිස්තියානීන්ව රැකබලා ගැනීමට ඔවුන් සහය වී තිබෙනවා.

6. වෙනත් බැටළුවන් අභිෂේක ලත් අයට දක්වන සහයෝගය ගැන යෙසායා පැවසුවේ කුමක්ද?

6 වෙනත් බැටළුවන් අභිෂේක ලත් අයට දක්වන සහයෝගය ගැන යෙසායා පැවසුවේ මෙසේයි. ‘යෙහෝවා දෙවි මෙසේ කියන්නේය: ඊජිප්තුවේ වහල් සේවකයෝද ඉතියෝපියාවේ වෙළෙන්දෝද උස මිනිසුන් වන සෙබාවරුද ඔබගේ අණසකට යටත් වෙති. ඔවුහු විලංගු දමාගෙන ඔබ පසුපසින් පැමිණෙන්නෝය.’ (යෙසා. 45:14, නව ලොව පරිවර්තනය) එමගින් අදහස් කරන්නේ දාස පංතියෙත් එහි පාලක මණ්ඩලයෙත් මූලිකත්වයට මහත් සමූහය දක්වන යටත්කමයි. අභිෂේක ලත් අයට යේසුස් පවරා ඇති දේශනා කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා ඔවුන් “වහල් සේවකයන්” මෙන් සිතේ මුළු කැමැත්තෙන් ඔවුන්ගේ ශ්‍රමය හා ධන සම්පත් වැය කරමින් සිටිනවා.—ක්‍රියා 1:8; එළි. 12:17.

7. මහත් සමූහයේ අයව පුහුණු කරන්නේ කුමක් සඳහාද?

7 මහත් සමූහය අභිෂේක ලත් අයට සහයෝගය දක්වන අතරතුර තවත් දෙයක් සිදු වෙනවා. එය නම් පාරාදීස පොළොවේ ජීවත් වීම සඳහා මහත් සමූහයේ අයව අභිෂේක ලත් අය විසින් දැන් සිටම පුහුණු කිරීමයි. මේ පුහුණුව වැදගත් වන්නේ ඇයි? පාරාදීස පොළොවට පිවිසෙන අය තම ස්වාමියා වන යේසුස් එදාට දෙන මඟ පෙන්වීම් පිළිගැනීමට කැමති අය විය යුතුයි. ඒ බව දැන් සිටම ඔප්පු කිරීමට සියලුදෙනාටම අවස්ථාව තිබෙනවා. එසේනම් සෑම කෙනෙක්ම දැන් සිටම යේසුස් කෙරෙහි ඇදහිල්ල තබා ඔහුට පක්ෂව කටයුතු කරන්න අවශ්‍යයි. එසේ කළොත් ඉදිරියේදී ඔහුගේ මඟ පෙන්වීම්වලට යටත් වී කටයුතු කිරීම පහසු වන බව ස්ථිරයි.

ඇදහිල්ල පෙන්වන ආකාර

8, 9. මහත් සමූහයට අයිති අය ඔවුන්ගේ ඇදහිල්ල පෙන්වා තිබෙන ආකාර මොනවාද?

8 වෙනත් බැටළුවන් විවිධ ආකාරවලින් ඔවුන්ගේ ඇදහිල්ල පෙන්වනවා. ඉන් පළමුවන ආකාරය නම් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අභිෂේක ලත් අයට සහය වීමයි. (මතෙ. 24:14; 28:19, 20) දෙවන ආකාරය වන්නේ පාලක මණ්ඩලය සපයන මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළිපැදීමයි.—හෙබ්‍රෙ. 13:17; සෙකරියා 8:23 කියවන්න.

9 වෙනත් බැටළුවන් අභිෂේක ලත් සහෝදරයන්ට සහය දක්වන තුන්වන ආකාරය නම් යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමයි. ඔවුන් “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” වැනි ගුණාංග වර්ධනය කරගැනීමට බොහෝ සේ වෑයම් කරනවා. (ගලා. 5:22, 23) නමුත් ලෝකයේ බොහෝදෙනා “වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදයේ නියැලීම, සතුරුකම්, අඬ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, කුඩුකේඩුකම්, බේබදුකම්, ඝෝෂාකාරී උත්සව යනාදි” දේවලින් පිරි ජීවිතයක් ගත කරනවා. නමුත් එවැනි පව්කාර ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට මහත් සමූහයට අයිති අය දැඩි සේ අධිෂ්ඨාන කරගෙන සිටිනවා.—ගලා. 5:19-21.

10. මහත් සමූහයේ අධිෂ්ඨානය කුමක්ද?

10 ඉහත කී යහපත් ගුණාංග වර්ධනය කරගැනීමත් පව්කාර ක්‍රියාවලින් වැළකී සිටීමත් වැරදි කිරීමට සාතන්ගේ ලෝකයෙන් පැමිණෙන පීඩනවලින් මිදීමත් බොහෝදෙනෙකුට පහසු දෙයක් නොවෙයි. ඒ අප පව්කාර අසම්පූර්ණ මිනිසුන් වන නිසයි. එමෙන්ම අපේම දුර්වලකම්, පසුබට වීම් හෝ ශාරීරික ගැටලු නිසා ඇති වන සීමාවන් වැනි දේවල් අපව යම් පමණකට අධෛර්යය කළ හැකියි. නමුත් අපේ අධිෂ්ඨානය නම් ඒ කිසිවකට අපේ ඇදහිල්ල දුර්වල කිරීමටවත් දෙවිට තිබෙන අපේ ප්‍රේමය අඩු කිරීමටවත් ඉඩ නොතැබීමයි. පොරොන්දු වී ඇති ආකාරයටම යෙහෝවා දෙවි මහත් සමූහය මහත් පීඩාව මැදින් පාරාදීස පොළොවට රැගෙන යන බව අපට නිසැකයි.

11. ඇදහිල්ල දුර්වල කිරීමට සාතන් යොදාගෙන ඇති උපක්‍රම මොනවාද?

11 නමුත් සාතන් අපව ලෙහෙසියෙන් අතහරින්නේ නැති බව දන්නා නිසා අප නිතරම සෝදිසියෙන් සිටිය යුතුයි. (1 පේතෘස් 5:8 කියවන්න.) අප ඉගෙනගන්නා දේවල් බොරු බව පෙන්වීමට ඔහු ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසා ඇති අයව හා වෙනත් අයව පාවිච්චි කර තිබෙනවා. නමුත් ඔහුගේ ඒ උපක්‍රමය එතරම්ම සාර්ථක එකක් නොවෙයි. ඔහුගේ තවත් අසාර්ථක උපක්‍රමයක් නම් පීඩා ඇති කිරීමයි. එමගින් යම් කලකට අපගේ දේවසේවය අඩපණ කරන්න හැකි වුණත් බොහෝවිට සිදු වී තිබෙන්නේ පීඩාවලට ගොදුරු වූ අයගේ ඇදහිල්ල පෙරටත් වඩා ශක්තිමත් වීමයි. ඒ නිසා ඔහු වඩා සූක්ෂ්ම ආකාරයේ උපක්‍රමයක් භාවිත කරනවා. අපේ ඇදහිල්ල දුර්වල කිරීමේ වැඩි හැකියාවක් එයට තිබෙන බව ඔහු හොඳින් දන්නවා. එය නම් අපව අධෛර්යයට පත් කිරීමයි. සාතන්ගේ මේ උගුල ගැන මුල් ක්‍රිස්තියානීන්ව දැනුවත් කරමින් පාවුල් පැවසුවේ “ඒ නිසා ඔබ වෙහෙසට පත්ව සිතින් ක්ලාන්ත නොවන පිණිස, තමන්ටම හානි පමුණුවාගත් පව්කාරයන් විසින් ඔහුට විරුද්ධව පැවසූ දේ විඳදරාගත් තැනැත්තා [යේසුස්] ගැන හොඳින් කල්පනා කර බලන්න” කියායි.—හෙබ්‍රෙ. 12:3.

12. අධෛර්යයට පත්ව සිටින අයට බයිබලය සපයන දිරිගැන්වීම කුමක්ද?

12 දෙවිට කරන සේවය නතර කිරීමට කවදා හෝ ඔබටත් හැඟී තිබෙනවාද? ඔබ කරන කිසිම දෙයකින් පලක් නැහැයි කියා ඔබට සිතෙනවාද? එසේනම් ඔබ යෙහෝවා දෙවිට කරන සේවය නතර කිරීමට එවැනි සිතුවිලි යොදාගන්න සාතන්ට ඉඩ දෙන්න එපා! ‘සිතින් ක්ලාන්ත නොවී’ ශක්තිමත්ව සිටීමට එවැනි කෙනෙකුට උපකාරවත් වන්නේ කුමක්ද? බයිබල් ඉගැන්වීම් ගැඹුරින් අධ්‍යයනය කිරීම, දැඩි උනන්දුවකින් යාච්ඤා කිරීම, සියලුම රැස්වීම්වලට සහභාගි වීම හා අපේ සහෝදරයන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම යනාදියයි. යෙහෝවා දෙවි තමන්ට සේවය කරන අයව තව තවත් ශක්තිමත් කරන බව බයිබලයේ තවදුරටත් පොරොන්දු වී තිබෙනවා. (යෙසායා 40:30, 31 කියවන්න.) ඒ නිසා දෙවිට කරන සේවයට මුල් තැන දෙන්න. කාලය කා දමන දේවල්වල යෙදෙනවා වෙනුවට එම කාලය අන් අයට උපකාර කිරීම සඳහා යොදවන්න. එවිට ඔබ විටින් විට අධෛර්යයට පත් වුණත් ඊට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා නියතයි.—ගලා. 6:1, 2.

මහත් පීඩාව මැදින් පාරාදීසයට

13. මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරෙන අයට කිරීමට තිබෙන්නේ මොනවාද?

13 මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් පසුව නැවත නැඟිටුවන සිය දහස් ගණන් අධර්මිෂ්ඨ අයට යෙහෝවා දෙවිගේ ප්‍රමිති ගැන කියා දීමට අවශ්‍යයි. (ක්‍රියා 24:15) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා ඒ කෙරෙහි ඇදහිල්ල තැබීමට ඔවුන්ට ඉගැන්විය යුතුයි. ඔවුන්ට තිබූ බොරු ආගමික විශ්වාසයන් ඔවුන් අත්හැරිය යුතුයි. එමෙන්ම ඔවුන්ට කලින් තිබූ වැරදි ගතිගුණ ඔවුන් වෙනස් කරගැනීමත් අවශ්‍යයි. ඉන්පසු අලුත් පෞද්ගලිකත්වය හෙවත් දෙවිව සතුටු කරන ගුණාංග වර්ධනය කරගැනීමට ඔවුන් ඉගෙනගත යුතුයි. (එෆී. 4:22-24; කොලො. 3:9, 10) පාරාදීසයේ ජීවත් වන අයට කිරීමට තිබෙන දේවල් බොහෝයි. එදාට කිසිම බාධාවකින් තොරව යෙහෝවා දෙවි ගැන ඔවුන්ට ඉගැන්වීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

14, 15. මහත් පීඩාවෙන් බේරෙන අය, නැවත නැඟිටින ඇදහිලිවන්තයන්ව මුණගැසෙන විට අද්දකින්නේ කුමක්ද? එය විස්තර කරන්න.

14 පුරාණයේ සිටි දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන්ටත් බොහෝ දේ ඉගෙනගැනීමට තිබේවි. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි පොරොන්දු වූ ගැලවුම්කරු කවුද කියා ඔවුන් එදාට ඉගෙනගනීවි. දෙවිගේ අරමුණු ගැන ඉගෙනගැනීමට ඔවුන් කවදත් සිටියේ දැඩි ආශාවකින්. උදාහරණයකට තමන් ලියූ අනාවැකිවල තේරුම නොදැන සිටි දානියෙල්ට ඒවා ගැන පහදා දීමට අපට ලැබෙන අවස්ථාව ගැන මොහොතකට සිතා බලන්න!—දානි. 12:8, 9.

15 නැවත නැඟිටුවන ඇදහිලිවන්තයන්ට බොහෝ දේ කියා දීමට අපට සිදු වන බව ඇත්තයි. නමුත් අපටත් ඔවුන්ගෙන් බොහෝ දේ අසා දැනගැනීමට තිබෙනවා. බයිබලයේ සමහර සිද්ධීන් වාර්තා කර තිබුණත් ඒ සම්බන්ධයෙන් අමතර තොරතුරු සඳහන් කර නැති අවස්ථාද තිබෙනවා. යේසුස්ගේ ජීවිතයේ අප නොදන්නා බොහෝ තොරතුරු ගැන ඔහුගේ ඥාති සහෝදර යොහන් බව්තීස්තගෙන් අසා දැනගන්න අපට පුළුවන්. එය මොන තරම් අද්දැකීමක් වෙයිද! එවැනි ඇදහිලිවන්තයන්ගෙන් අප ඉගෙනගන්නා දේවල් නිසා බයිබලය ගැන අපට දැන් තිබෙන අවබෝධය වැඩි වන බව ස්ථිරයි. මේ අන්තිම කාලයේ මිය යන ඇදහිලිවන්තයන් ඇතුළු දෙවිගේ පුරාණ ඇදහිලිවන්තයන් “වඩා උතුම් නැවත නැඟිටීමක්” ලබන්න නියමිතයි. ඔවුන් දෙවිට සේවය කළේ සාතන්ගේ දැඩි පාලනය යටතේ තිබූ ලෝකයක වුණත් ඔවුන් නැවත නැඟිටින්නේ පරිපූර්ණ වටාපිටාවක් සහිත පාරාදීස පොළොවකටයි. එහි දෙවිට දිගටම සේවය කරන්න ලැබීම ඔවුන්ට මොන තරම් ප්‍රීතියට හේතුවක් වේවිද!—හෙබ්‍රෙ. 11:35; 1 යොහ. 5:19.

16. බයිබල් අනාවැකිවලට අනුව විනිශ්චය දවස ක්‍රියාත්මක වන්නේ කෙසේද?

16 විනිශ්චයේ දවස තුළදී අකුළන ලියවිලි දිගහරිනු ලබනවා. සදාකාල ජීවනය ලැබීමට සුදුසුද නැද්ද යන්න විනිශ්චය කිරීමට පදනම ලෙස යොදාගැනෙන්නේ එම ලියවිලි හා බයිබලයයි. (එළිදරව් 20:12, 13 කියවන්න.) යෙහෝවා දෙවිට තමන් පක්ෂද නැද්ද කියා තීරණයක් ගැනීමට විනිශ්චය දවස අවසානයේදී සෑම කෙනෙකුටම අවස්ථාව ලැබෙනවා. ඔවුන් දේවරාජ්‍යයට පක්ෂව ‘ජීවන වතුර ඇති උල්පත්වලට මඟ පෙන්වීමට’ ඉඩ දෙයිද? එසේත් නැත්නම් දේවරාජ්‍යයේ යටත් වැසියෙකු වීම ප්‍රතික්ෂේප කරයිද? (එළි. 7:17; යෙසා. 65:20) බලපෑම්වලින් තොරව ඒ ගැන තීරණයක් ගැනීමට සෑම කෙනෙකුටම එදාට හැකි වේවි. නමුත් දුෂ්ටයන් එහිදී සදාකාලයටම විනාශ වෙනවා. එසේ කිරීමට දෙවිට ඇති අයිතිය ගැන ප්‍රශ්න කිරීමට එදාට කිසිවෙකුට බැහැ.—එළි. 20:14, 15.

17, 18. අභිෂේක ලත් අයත් වෙනත් බැටළුවනුත් විනිශ්චය දවස ගැන දරන්නේ කුමන ආකල්පයක්ද?

17 අද සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් රාජ්‍යයක් ලැබීමට සුදුසු අය බව දැනටමත් ගණන් ගෙන තිබෙනවා. විනිශ්චය දවස තුළ මේ පොළොව කෙරෙහි පාලනය කිරීමට ඔවුන් සිටින්නේ ඉතා ආශාවෙන්. ඔවුන්ට ලැබෙන වරප්‍රසාදය මොන තරම් පුදුමාකාරද! එවැනි අපේක්ෂාවකින් සිටින නිසා පේතෘස් දුන් මෙම උපදෙස් පිළිපැදීමට ඔවුන් කැමැත්තෙන් සිටිනවා. “ඔබේ කැඳවීමද තෝරාගනු ලැබීමද ඔබටම ස්ථිර කරගන්නා පිණිස, නොකඩවා උපරිමය කරන්න. මන්ද, ඔබ මේ දේවල් කරමින් සිටින්නහු නම් ඔබ කිසි කලක කිසිසේත්ම වැටෙන්නේ නැත. ඇත්තෙන්ම, මෙසේ අපේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ සදාකාලික රාජ්‍යයට තේජාන්විතව ඇතුල් වීමේ අවස්ථාව ඔබට දෙනු ඇත.”—2 පේතෘ. 1:10, 11.

18 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් එවන් බලාපොරොත්තුවකින් සිටීම ගැන වෙනත් බැටළුවන්ද සිටින්නේ ඉමහත් ප්‍රීතියෙන්. ඔවුන්ට දිගටම සහයෝගය දැක්වීමට වෙනත් බැටළුවන් අධිෂ්ඨාන කරගෙන සිටිනවා. දෙවිගේ මිතුරන් හැටියට ඔවුන් තමන්ගේ උපරිමයෙන් දෙවිට සේවය කිරීමට පෙලඹී තිබෙන්නේ ඒ නිසයි. විනිශ්චය දවස තුළදී යේසුස් ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට මඟ පෙන්වන විට හද පත්ලෙන්ම ඊට සහයෝගය දැක්වීමට ඔවුන් සිටින්නේ ඉතාම සතුටින්. එවිට සදාකාලයටම යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට වටින්නන් හැටියට ඔවුන්ව ගණන් ගනු ලබනවා!—රෝම 8:20, 21; එළි. 21:1-7.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස් සන්තක දේවලට ඇතුළත් වන්නේ මොනවාද?

• මහත් සමූහයේ සාමාජිකයන් අභිෂේක ලත් අයට සහයෝගය දක්වන්නේ කෙසේද?

• මහත් සමූහයේ අය ලබන වරප්‍රසාද මොනවාද?

• විනිශ්චය දවස ගැන ඔබේ අදහස කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

මහත් සමූහය තම සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගෙන තිබෙනවා

[27වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටින පුරාණ ඇදහිලිවන්තයන් සමඟ ඔබ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මොනවාද?