Skip to content

පටුනට යන්න

“නිසි නැඹුරුවාවක්” දක්වන්නෝ තවත් සිටියි

“නිසි නැඹුරුවාවක්” දක්වන්නෝ තවත් සිටියි

“නිසි නැඹුරුවාවක්” දක්වන්නෝ තවත් සිටියි

“සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් තිබුණු සියල්ලෝම අදහන්නන් බවට පත් වූහ.”—ක්‍රියා 13:48.

1, 2. මතෙව් 24:14හි යේසුස් පැවසූ වදන්වලට මුල් ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

ලොව පුරාම ශුභාරංචිය දේශනා කරන්න කියා යේසුස් පැවසුවා. (මතෙ. 24:14) එය සිතට ගත් මුල් ක්‍රිස්තියානීන් දේශනා කිරීමෙහි මොන තරම් උද්‍යෝගයෙන් හවුල් වුණාද! ඒ පිළිබඳ දිරිගන්වනසුලු වාර්තාවක් ක්‍රියා පොතේ සඳහන් වෙනවා. මුල් ශතවර්ෂයෙන් පසුව එම පැවරුම භාරගැනීමට සිටි අයටත් ඔවුන් තැබුවේ කදිම ආදර්ශයක්. යෙරුසලමේ ඔවුන් කළ සේවයේ ප්‍රතිඵලයක් හැටියට “පූජකයන්ගෙන් මහත් සමූහයක්” ඇතුළුව තවත් දහස් ගණනක්, ක්‍රිස්තියානි සභාවට එකතු වුණා.—ක්‍රියා 2:41; 4:4; 6:7.

2 බොහෝදෙනෙකුට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කළේ මුල් ශතවර්ෂයේ සිටි මිෂනාරිවරුනුයි. උදාහරණයකට සමාරියේ දේශනා කළ ෆිලිප්ට බොහෝදෙනෙක් ඉතා උනන්දුවෙන් ඇහුම්කන් දුන්නා. (ක්‍රියා 8:5-8) පාවුල්ද තවත් අය සමඟ සයිප්‍රසය, සුළු ආසියාව, මැසිඩෝනියාව, ග්‍රීසිය සහ ඉතාලිය වැනි රටවලට ගොස් ශුභාරංචිය දේශනා කළා. ඔහු සේවය කළ නගරවල සිටි යුදෙව්වන් සහ ග්‍රීකයන් විශාල පිරිසක් ක්‍රිස්තියානීන් බවට පත් වුණා. (ක්‍රියා 14:1; 16:5; 17:4) තීතස් ක්‍රීට්හි සේවය කළා. (තීත. 1:5) එමෙන්ම පේතෘස් බැබිලෝනියේ ඉතා කඩිසරව දේශනා කරමින් සිටි අතර ඔහු තම මුල්ම ලිපිය ලියනු ලැබුවේ එහි සිටයි. එනම් ක්‍රිස්තු වර්ෂ 62-64 පමණ කාලයේදීයි. ඒ වන විට පොන්තසය, ගලාතිය, කපදෝසිය, ආසියාව සහ බිතිනියේ දේශනා කටයුතු ඉතා වේගයෙන් සිදු වෙමින් තිබුණා. (1 පේතෘ. 1:1; 5:13) ඒවා මොන තරම් දිරිගන්වනසුලු වාර්තාද! ඔවුන්ට තිබූ උද්‍යෝගය කොතරම්ද කියනවා නම්, එදා සිටි විරුද්ධවාදීන් ඔවුන්ව හැඳින්වූයේ “මුළු ලෝකය පෙරළූ” අය හැටියටයි.—ක්‍රියා 17:6; 28:22.

3. අද දින දේශනා කිරීමේ කාර්යයෙන් ලබා ඇති ප්‍රතිඵල මොනවාද? ඉන් අපට පෙනී යන්නේ කුමක්ද?

3 අද දිනත් එම උද්‍යෝගය එලෙසම පවතිනවා. ක්‍රිස්තියානි සභාව තුළ නොකඩවා සිදු වන මහත් වර්ධනය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික වාර්තාවෙන් දැකගන්න පුළුවන්. ලොව පුරා සිටින සාක්ෂිකරුවන් 2007 වර්ෂයේදී බයිබල් පාඩම් මිලියන හයකට වඩා වැඩියෙන් පවත්වා තිබෙනවා. එය අපට මොන තරම් දිරිගැන්වීමක්ද! මේ ගැනත් සිතා බලන්න. පසුගිය වසරේ යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා සහභාගි වූ පිරිස අතරින් මිලියන දහයකට ආසන්න සංඛ්‍යාවක්ම නවකයනුයි. ඔවුන් එම අවස්ථාවට සහභාගි වීමෙන් පැහැදිලි වන්නේ ශුභාරංචිය ගැන ඔවුන් තුළ ඇති උනන්දුවයි. එමෙන්ම අපට කිරීමට තවත් බොහෝ දේ ඉතිරි වී තිබෙන බව ඉන් පෙනී යනවා.

4. ශුභාරංචිය පිළිගන්නේ කිනම් අයද?

4 එදා මෙන් අදත් “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගනිමින් සිටිනවා. (ක්‍රියා 13:48) එයින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ඔහුගේ සංවිධානයට ජනයාව රැස් කරමින් සිටින බවයි. (හග්ගයි 2:7 කියවන්න.) මෙම විශේෂ කාර්යයට අපගේ පූර්ණ සහයෝගය දැක්වීම සඳහා අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

තරාතිරම් නොබලා

5. දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැක්කේ කිනම් අයටද?

5 ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවත් සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නා’ බවත් මුල් ක්‍රිස්තියානීන් හොඳින් තේරුම්ගෙන තිබුණා. (ක්‍රියා 10:34, 35) එමෙන්ම කෙනෙකු යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් ඔහු යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතු බවත් ඔවුන් වටහාගත්තා. (යොහ. 3:16, 36) එවැනි ඇදහිල්ලක් පෙන්වන ‘සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීම සහ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම’ දෙවිගේ කැමැත්තයි.—1 තිමෝ. 2:3, 4.

6. අප වැළකිය යුත්තේ කුමකින්ද? ඊට හේතුව කුමක්ද?

6 මිනිසුන්ගේ ජාතිය, සමාජ තත්වය, පිටාතර පෙනුම, ආගම වැනි දේවල් නිසා ඔවුන්ට ශුභාරංචිය දේශනා කිරීමෙන් වැළකී සිටීම කොහෙත්ම සුදුසු නැහැ. ඔබට මුලින්ම ශුභාරංචිය පැවසූ තැනැත්තා ගැන මදක් සිතන්න. ඔහු ඔබගේ ආගම, ජාතිය වැනි දේ ගැන සැලකුවාද? නැහැ නේද? එසේනම් අන් අයගේ ජීවිතය ගැලවිය හැකි වැදගත් පණිවිඩයක් සතු අප එය ඔවුන්ට දැනුම් දීමෙන් වැළකී සිටීම සාධාරණද?—මතෙව් 7:12 කියවන්න.

7. අප දේශනා කරන අයව විනිශ්චය නොකළ යුත්තේ ඇයි?

7 මිනිසුන්ව විනිශ්චය කිරීමේ අයිතිය යෙහෝවා දෙවි ලබා දී තිබෙන්නේ යේසුස්ට පමණයි. ඒ නිසා කිසි කෙනෙකුව විනිශ්චය කරන්න අපිට අයිතියක් නැති බව මතක තබාගනිමු. අප යම් කෙනෙකුව විනිශ්චය කරන්නේ අප “දකින දේ අනුව” සහ අපට “ඇසෙන දේ” අනුව පමණයි. නමුත් කෙනෙකුගේ හදවතේ තිබෙන සියලු සිතුවිලි දැනගැනීමට යේසුස්ට හැකියි. ඒ නිසා විනිශ්චය කිරීමට සුදුසුම තැනැත්තා ඔහුයි.—යෙසා. 11:1-5, නව ලොව පරිවර්තනය NW; 2 තිමෝ. 4:1.

8, 9. (අ) පාවුල් කලින් කුමනාකාර පුද්ගලයෙක්ද? (ආ) පාවුල්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

8 සෑම පසුබිමකටම අයත් මිනිසුන් දෙවිගේ සේවකයන් බවට පත් වී තිබෙනවා. ඉන් එක් සුවිශේෂී චරිතයක් වන්නේ පාවුල් බවට පත් වූ තාර්සස්හි සාවුල්. කලින් ඔහු පරිසිවරයෙක් මෙන්ම යේසුස්ගේ ගෝලයන්ගේ ප්‍රබල සතුරෙක්. තමා කරන්නේ දෙවි ඉදිරියේ හරි දේ යයි සිතූ ඔහු ක්‍රිස්තියානි සභාවට බොහෝ සේ පීඩා කළා. (ගලා. 1:13) ඔහු යේසුස්ගේ ගෝලයෙක් වෙයි කියා එදා සිටි කිසිවෙක් සිතන්න නැතිව ඇති. එහෙත් ඔහු තුළ යහපත් ගුණාංග තිබෙන බව යේසුස් දුටු නිසා ඔහුව තෝරාගෙන ඔහුට විශේෂ කාර්යයක් පැවරුවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු මුල් ක්‍රිස්තියානි සභාවේ ඉතාම ක්‍රියාශීලී, උද්‍යෝගිමත් සාමාජිකයෙක් බවට පත් වුණා.

9 ඔහුගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? අප සේවය කරන ප්‍රදේශයේ සිටින මිනිසුන්ද අපගේ පණිවිඩයට දැඩි සේ විරුද්ධ විය හැකියි. ‘මේ පැත්තේ ඉන්න අය නම් කවදාවත් යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙක් වෙන එකක් නැහැ’ කියා අපට සිතෙන්න පුළුවන්. ඒ වුණත් අපි අපේ උත්සාහය අත් නොහැරිය යුතුයි. ඊට හේතුව නම් අප කොහෙත්ම නොසිතූ කෙනෙක් එම ප්‍රදේශයෙන් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඉඩ තිබෙනවා. එමනිසා අපගේ පැවරුම වන්නේ සියලුදෙනාටම “අත් නෑර” ශුභාරංචිය දේශනා කිරීමයි.—ක්‍රියා 5:42 කියවන්න.

“අත් නෑර” දේශනා කිරීමේ ප්‍රතිඵල

10. දරුණුයයි සිතිය හැකි කෙනෙකුට වුණත් අප ශුභාරංචිය දේශනා කළ යුත්තේ ඇයි? ඔබ දන්නා අද්දැකීමක් විස්තර කරන්න.

10 කෙනෙකුගේ පිටාතර පෙනුම නිසා අප ඔහු ගැන වැරදි නිගමනයකට පැමිණෙන්න ඉඩ තිබෙනවා. දකුණු ඇමරිකානු රටක ජීවත් වන ඇන්තනීගේ * අද්දැකීම සලකා බලන්න. ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ සිරභාරයේ සිටියදීයි. ඔහු ඉතා දරුණු පුද්ගලයෙක්. උදාහරණයකට සමහර සිරකරුවන් යම් භාණ්ඩ නිෂ්පාදනය කර සෙසු සිරකරුවන්ට විකුණුවා. නමුත් භාණ්ඩ ලබාගත් සිරකරුවන් නියමිත මුදල් ගෙවීම ප්‍රමාද කරන විට ඒ මුදල් එකතු කිරීම සඳහා ඔවුන් යොදාගත්තේ ඇන්තනීවයි. ඒ කෙසේවෙතත් ඔහු බයිබලයෙන් ඉගෙනගත් දේවලට අනුව ටිකෙන් ටික ජීවිතයේ වෙනස්කම් කරන්න පටන්ගත්තා. මෙම දරුණු මිනිසා ක්‍රමානුකූලව කරුණාවන්ත කෙනෙක් බවට පත් වුණා. පසුව මුදල් එකතු කිරීම සඳහා කිසිවෙක් ඔහුව යොදාගන්නේ නැහැ. ඔහු ඉගෙනගත් දේවලින් සහ දෙවිගේ උපකාරයෙන් ඔහුගේ ජීවිතයේ සිදු වී තිබෙන වෙනස නිසා ඔහු සිටින්නේ ඉතාමත් ප්‍රීතියෙනුයි. එමෙන්ම තමා සිරගෙදර සිටියදී බයිබලය පාඩම් කිරීමට පැමිණි සාක්ෂිකරුවන්ටත් ඔහු තම අගය පළ කරනවා. එසේ කරන්නේ සෑම මට්ටමක සිටින ජනයාට එක සේ සැලකීමට ඔවුන් ඉදිරිපත් වූ නිසයි.

11. අප අත් නෑර මිනිසුන්ව හමුවීමට යා යුත්තේ ඇයි?

11 අප අත් නෑර මිනිසුන්ව හමුවීමට යා යුතු තවත් හේතුවක් තිබෙනවා. ඒ, ඔවුන් මුහුණ දෙන තත්වයන් සහ ඔවුන්ගේ ආකල්ප දිනපතාම වෙනස් වන නිසයි. ඒ අනුව ඔවුන් අපගේ පණිවිඩයට දක්වන ප්‍රතිචාරයත් යහපත් විය හැකියි. උදාහරණයකට අප සේවයේ යද්දී මුණගැසුණු කෙනෙකුව නැවත වතාවක් හමු වන විට ඔහු ජීවිතයේ බොහෝ වෙනස්කම්වලට මුහුණ පා තිබිය හැකියි. සමහරවිට ඔහු බරපතළ අසනීපයකින්, ප්‍රේමණීය කෙනෙකුගේ වියෝවෙන් හෝ රැකියාව අහිමි වීමෙන් කනගාටුවට පත්ව සිටිනවා විය හැකියි. (දේශනාකාරයා 9:11 කියවන්න.) එසේත් නැත්නම් අද ලෝකයේ සිදු වන දේවල් නිසා ඔහු අනාගතය ගැන කනස්සලු වෙන්න පටන්ගෙන ඇති. එවන් තත්වයන් නිසා සමහරවිට අපට කලින් උනන්දුවක් නොදැක්වූ හෝ විරුද්ධත්වයක් පෑ ගේහිමියෙකු පවා මේ වතාවේදී හොඳින් ඇහුම්කන් දීමට පෙලඹෙන්න පුළුවන්. එමනිසා අපට හැකි සෑම අවස්ථාවකදීම ශුභාරංචිය ගැන කතා කිරීමට පසුබට නොවිය යුතුයි.

12. අප මිනිසුන්ට සැලකිය යුත්තේ කෙසේද? ඊට හේතුව කුමක්ද?

12 තරාතිරම් බැලීම සහ විනිශ්චය කිරීම මිනිස් නැඹුරුවාවක්. නමුත් යෙහෝවා දෙවි සෑම පුද්ගලයෙක් කෙරෙහිම සැලකිල්ලක් දක්වන අතර ඒ සෑම කෙනෙකු තුළම තිබෙන යහපත් ගුණාංග සැලකිල්ලට ගන්නවා. (1 සාමුවෙල් 16:7 කියවන්න.) අපත් එසේම කිරීමට උත්සාහ කරමු. අපට හමු වන සෑම කෙනෙක්ම හොඳ ප්‍රතිචාරයක් දක්වයි යන හැඟීමෙන් යුතුව දේශනා කරමු. ඉන් බොහෝ ප්‍රතිඵල ලැබෙන බව අද්දැකීම්වලින් ඔප්පු වී තිබෙනවා.

13, 14. (අ) පුරෝගාමි සහෝදරිය එම කාන්තාව කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූයේ ඇයි? (ආ) ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

13 කැරිබියන් දූපතක පුරෝගාමි සේවය කරන සහෝදරියක් වන සැන්ඩ්‍රාගේ අද්දැකීම සලකා බලන්න. දිනක් ඇය ගෙයින් ගෙට සේවයේ යෙදෙමින් සිටින විට රූත් නමැති කාන්තාව මුණගැසුණා. ඇය සැණකෙළි සංදර්ශනවල නැටුම්වලට හවුල් වූ තැනැත්තියක්. දෙවරක්ම ඇයව සැණකෙළි රැජින ලෙස ඔටුනු පළඳවා තිබුණා. නමුත් සැන්ඩ්‍රා ඇයට බයිබලයෙන් පෙන්වූ දේවල් කෙරෙහි රූත්ගේ සිත පුදුමාකාර ලෙස ඇදී ගිය අතර විගස බයිබල් පාඩමක් ආරම්භ කළා. ඒ ගැන සැන්ඩ්‍රා විස්තර කරන්නේ මෙසේයි. “දවසක් මම දැක්කා ඇය ඔටුනු පළඳපු අවස්ථාවකදී ගත් විශාල පින්තූරයක් ඇගේ කාමරයේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇය ජයග්‍රහණය කර තිබූ කුසලානත් ඇගේ කාමරයේ තිබුණා. ඒ නිසා මට හිතුණේ සැණකෙළිවල මෙතරම් ඇලී ගැලී ඉන්න මේ වගේ ජනප්‍රිය කෙනෙක් කවදාවත් සත්‍යයට එන එකක් නැහැ කියලයි. ඒ නිසා මම ආයෙත් ඇයව හමු වෙන්න ගියේ නැහැ.”

14 නමුත් ටික කලකට පසු රූත් රාජ්‍ය ශාලාවට පැමිණ සිටියා. රැස්වීම අවසන් වුණාට පසු ඇය සැන්ඩ්‍රාගෙන් මෙසේ ඇසුවා. “ඇයි ඔයා එදායින් පස්සේ පාඩමට ආවේ නැත්තේ?” ඒ ගැන තම කනගාටුව පළ කළ සැන්ඩ්‍රා නැවතත් ඇය සමඟ බයිබල් පාඩම පටන්ගත්තා. ඉතාමත් ඉක්මනින් ජීවිතයේ වෙනස්කම් කරගත් රූත් කාමරයේ තිබූ ඇගේ සැණකෙළි සංදර්ශනවල පින්තූර ඉවත් කළ අතර ක්‍රියාශීලී දේවසේවකයෙක් බවට පත් වුණා. අවසානයේදී ඇය තම ජීවිතය දෙවිට කැප කළා. මින් සැන්ඩ්‍රා තේරුම්ගත්තේ කුමක්ද? පිටාතර පෙනුම බලා ඇය කළ විනිශ්චය වැරදි බවයි.

15, 16. (අ) ඥාතියෙකුට සාක්ෂි දැරීමෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද? (ආ) නෑදෑයෙකුට සාක්ෂි දැරීමේදී ඔහුගේ පසුබිම බාධාවක් කර නොගත යුත්තේ ඇයි?

15 සත්‍යය තුළ නැති පවුල් සාමාජිකයන්ට සාක්ෂි දැරීමෙන් පලක් නැහැයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් මේ අද්දැකීම සලකා බලන්න. ඇමරිකාවේ ජීවත් වන ජොයිස් නමැති සහෝදරියගේ මස්සිනා නහඹර වයසේ සිටම බොහෝ වාර ගණනක් සිරගත වී තිබුණා. ඒ ගැන ඇය පවසන්නේ මේ ආකාරයටයි. “මිනිස්සු නම් කිව්වේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට, සොර මැරකම්වලට සම්බන්ධ වී සිටි නිසා ඔහු කිසි වැඩකට නැති කෙනෙක් කියලයි. මිනිස්සු මොනවා කිව්වත් මම අවුරුදු 37ක් තිස්සෙම සත්‍යය මොකක්ද කියලා ඔහුට බයිබලයෙන් කියා දුන්නා.” ඇගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ඔහු බයිබලය පාඩම් කරන්න පටන්ගෙන ඔහුගේ වැරදි ජීවන රටාවද වෙනස් කරගත්තා. මෑතකදී ඔහු දෙවිට කැප වී බව්තීස්ම වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 50යි. ඒ ගැන ජෝයිස් පවසන්නේ මෙසේයි. “එදා මට දැනුණු සතුට කියලා නිම කරන්න බැහැ. අත් නෑර ඔහුට සත්‍යය වටහා දීම ගැන මම අද ගොඩාක් සතුටු වෙනවා.”

16 නෑදෑයෙකුගේ පසුබිම නිසා සාක්ෂි දැරීමට ඔබ අදි මදි කරනවා විය හැකියි. නමුත් ජොයිස් එවන් බාධාවන්ට ඉඩ දුන්නේ නැති බව අපට පැහැදිලියි. අන් අයගේ හදවතේ තිබෙන්නේ කුමක්ද කියා අප දන්නේ නැහැ. සමහරවිට ඔවුන් මහත් ඕනෑකමකින් සත්‍යය සොයමින් සිටිනවා විය හැකියි. එමනිසා එවැනි කෙනෙකුට සත්‍යය කුමක්ද කියා පහදා දීමට තිබෙන අවස්ථාව අපි මඟ නොහැරිය යුතුයි.—හිතෝපදේශ 3:27 කියවන්න.

කදිම උපකාරකයක්

17, 18. (අ) බයිබල් ඉගැන්වීම් පොතෙන් ලබා ඇති ප්‍රයෝජන ගැන වාර්තා වී ඇති උදාහරණ මොනවාද? (ආ) මේ පොත යොදාගැනීමෙන් ඔබ ලබා ඇති අද්දැකීම් මොනවාද?

17 බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර බොහෝමයක් සෑම රටකින්ම පාහේ අසන්නට ලැබෙනවා. ඇමරිකාවේ සිටින පුරෝගාමි සහෝදරියක් වන පෙනී මෙම පොත යොදාගෙන අලුතින් බයිබල් පාඩම් කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. ඉන් දෙදෙනෙකුම ඔවුන්ගේ ආගමේ භක්තිමත් සාමාජිකයන්. එමනිසා මෙම පොතේ ඇති බයිබල් ඉගැන්වීම්වලට ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වයිද යන්න ගැන ඇයට පුංචි සැකයක් තිබුණා. නමුත් සිදු වූ දෙය ගැන ඇය පවසන්නේ මෙසේයි. “මේ පොතේ තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත් පැහැදිලි, තර්කානුකූල මෙන්ම සරල ආකාරයකටයි. ඔවුන් ඉගෙනගන්නේ සත්‍යය බව පහසුවෙන්ම තේරුම්ගන්න ඒ නිසා ඔවුන්ට හැකි වුණා.”

18 බ්‍රිතාන්‍යයේ ජීවත් වන පැට් නමැති සහෝදරිය ඇගේ රටට සරණාගතයෙකු ලෙස පැමිණි කාන්තාවක් සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළා. මෙම කාන්තාවගේ පුතාව සහ ස්වාමිපුරුෂයාව ඒ රටේ කැරලිකාර හමුදාවක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර යළි කෙදිනකවත් ඔවුන්ව දැකගන්න ඇයට ලැබුණේ නැහැ. මේ කැරලිකරුවන් පිරිස ඇයව දූෂණය කළ අතර ඇගේ නිවසත් ගිනිබත් කළා. ඒ විතරක් නොවෙයි රටින් පිට වෙන්න කියාද ඇයට බල කළා. මේ තත්වය යටතේ ඇගේ ජීවිතය තිබුණේ ඉතා අනතුරුදායක තත්වයකයි. මේ තත්වයන් යටතේ තවදුරටත් ජීවත් වන්නේ කුමටද කියා කල්පනා කළ ඇය කිහිප වතාවකදීම සිය දිවි හානි කරගැනීමටත් කල්පනා කළා. නමුත් බයිබලයෙන් ඇය ඉගෙනගත් දෙයින් ඇයට අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. ඇයගේ වර්තමාන තත්වය ගැන පැට් මෙසේ සඳහන් කරනවා. “බයිබල් ඉගැන්වීම් පොතේ ඇති තොරතුරු විස්තර කර තිබෙන්නේ හරිම සරල ආකාරයටයි. ඒ වගේම එහි ඇති උදාහරණත් ඇගේ හදවතට තදින්ම කාවැදුණා.” ඇය ඉගෙනගත් දේවල් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පටන්ගත්තා. වැඩි කල් නොගොස් ඇය බව්තීස්ම නොලත් ප්‍රචාරිකාවක් බවට පත් වුණා. ඒ වගේම ඊළඟ එක්රැස්වීමේදී දෙවිට කැප වී බව්තීස්ම වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඇය පැවසුවා. එවැනි අවංක හදවත් ඇති අයට බයිබලයේ සපයන බලාපොරොත්තුව ගැන ඉගෙනගැනීමට උපකාර කරන්න ලැබීම මොන තරම් ප්‍රීතියට හේතුවක්ද!

“යහපත කිරීම අත් නොහරිමු”

19. ශුභාරංචිය දේශනා කිරීම මෙතරම්ම හදිසි ඇයි?

19 ගෙවී යන සෑම දවසක් පාසාම මෙම පණිවිඩය ජනයාට දැනුම් දීමට ඇති හදිසිතාව වැඩි වෙමින් පවතිනවා. සෑම වසරකම සදාකාල ජීවනය ලැබීමට සුදුසු සිය දහස් ගණන්දෙනා මෙම පණිවිඩයට කීකරු වෙමින් සිටිනවා. එහෙත් තවත් බොහෝදෙනෙකු සිටින්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ අරමුණු පිළිබඳව දැනුමක් නැතිවයි. ‘යෙහෝවා දෙවිගේ මහත් දවස ළං වෙමින්’ තිබෙන නිසා ඔවුන් සිටින්නේ “මරණය” අබියසයි.—ශෙප. 1:14; හිතෝ. 24:11NW.

20. අප සැමගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

20 අනතුරේ සිටින එවැනි අයට උපකාර කිරීමට අපට තවමත් අවස්ථාව තිබෙනවා. එසේ කිරීමට නම් අප මුල් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි. ඔවුන් “අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටි” බව බයිබලයේ පැහැදිලි කරනවා. (ක්‍රියා 5:42) ඒ හා සමානව අපිත් බාධා හමුවේ වුවත් අත් නෑර දේශනා කරමු. අපගේ “ඉගැන්වීමේ කලාව” දියුණු කරගනිමු. එමෙන්ම තරාතිරම් නොබලා සියලුදෙනාටම ශුභාරංචිය දේශනා කරමු. අපි “යහපත කිරීම අත් නොහරිමු.” එවිට යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇතිව බහුල ආශීර්වාද ලබන්න අපට හැකි වනවා ස්ථිරයි.—2 තිමෝ. 4:2; ගලාති 6:9 කියවන්න.

[පාදසටහන]

^ 10 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ශුභාරංචියට කීකරු වෙමින් සිටින්නේ කවුද?

• තරාතිරම් නොබලා අප දේශනා කළ යුත්තේ ඇයි?

• බයිබලයේ ඉගැන්වීම් පොත යොදාගැනීමෙන් ලබා තිබෙන ප්‍රතිඵල මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

අවංක හදවත් ඇති දහස් ගණනක් ශුභාරංචියට කීකරු වෙමින් සිටියි

[15වන පිටුවේ පින්තූරය]

පාවුල්ගේ ජීවිතයේ සිදු වූ වෙනස්කම්වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

[16වන පිටුවේ පින්තූරය]

අප මිනිසුන්ට ශුභාරංචිය දේශනා කළ යුත්තේ භේදයකින් තොරවයි