Skip to content

පටුනට යන්න

මතෙව් පොතෙන් විශේෂාංග

මතෙව් පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

මතෙව් පොතෙන් විශේෂාංග

යේසුස්ගේ ජීවිතය හා දේවසේවය ගැන මුලින්ම වාර්තා කළේ මතෙව්. යේසුස්ගේ සමීප ගෝලයෙක් වූ ඔහු කලින් බදු අය කරන්නෙක්. මතෙව්ගේ සුවිශේෂය මුලින්ම ලියනු ලැබුවේ හෙබ්‍රෙව් භාෂාවෙන් වුවත් පසුව එය ග්‍රීක භාෂාවට පරිවර්තනය කළා. ක්‍රිස්තු වර්ෂ 41දී පමණ ලියා අවසන් කළ මේ පොත හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වූ බොහෝ අනාවැකි ඉටු වූ ආකාරය පෙන්වා දෙනවා. එමෙන්ම දෙවිගේ අරමුණ ගැන සඳහන් ග්‍රීක ශුද්ධ ලියවිල්ලට යම් හැඳින්වීමක්ද මේ පොත මගින් සපයනවා.

මේ පොත මූලිකවම ලියනු ලැබුවේ යුදෙව් සමාජය වෙනුවෙන් බව පෙනෙන්න තිබෙනවා. යේසුස් යනු පොරොන්දු වූ ගැලවුම්කරු බවත් දෙවිගේ පුත්‍රයා බවත් මතෙව් පොතේ වාර්තා කරනවා. අප මෙහි අඩංගු පණිවිඩයට හොඳ අවධානයක් දීම ඉතාම වැදගත්. ඊට හේතුව වන්නේ එමගින් සැබෑ දෙවි හා ඔහුගේ පොරොන්දු කෙරෙහි මෙන්ම ඔහුගේ පුත්‍රයා කෙරෙහිත් තිබෙන ඇදහිල්ල තවත් ශක්තිමත් කරගැනීමට අපට හැකි වන නිසයි.—හෙබ්‍රෙ. 4:12.

“ස්වර්ග රාජ්‍යය ළං වී ඇත”

(මතෙ. 1:1–20:34)

දේවරාජ්‍යය පිළිබඳව බොහෝ තොරතුරු මෙන්ම යේසුස්ගේ ඉගැන්වීම් ගැනත් මතෙව් සඳහන් කරනවා. නමුත් ඔහු තොරතුරු වාර්තා කර තිබෙන්නේ සිද්ධීන් සිදු වූ අනුපිළිවෙළට නොවෙයි. උදාහරණයක් හැටියට, යේසුස් කන්ද උඩ දේශනාව ඉදිරිපත් කරන විට පොළොව මත ඔහු කළ දේවසේවා කාලයෙන් අඩක් පමණ ගෙවී ගොස් තිබුණා. නමුත් මතෙව් එය වාර්තා කරන්නේ ඔහුගේ පොතේ මුල් කොටසෙයි.

යේසුස් ගලීලයේදී ආශ්චර්යයන් සිදු කළා. මුල් ගෝලයන් 12දෙනාට දේශනා සේවය සාර්ථක කරගැනීමට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම දේවරාජ්‍යයේ විවිධ අංග විස්තර කරන උපමා පැවසුවා. ඉන්පසු ඔහු ගලීලයෙන් පිටත් වී ‘යොර්දානෙන් එතෙර පිහිටි යුදයේ මායිම්වලට පැමිණියා.’ (මතෙ. 19:1) එහි යන අතරතුරේදී ඔහු තම ගෝලයන්ට පැවසුවේ ‘අපි යෙරුසලමට නැඟ යමු. මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන්ටද ලියන්නන්ටද පාවා දෙනු ලබනවා. එවිට ඔවුහු ඔහුව මරණයට නියම කරනවා’ කියායි.—මතෙ. 20:18, 19.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

3:16—යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී “අහස විවර” වුණා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් මිනිසෙක් ලෙස පොළොවට පැමිණීමට පෙර ස්වර්ගයේ ගත කළ ජීවිතය ගැන සම්පූර්ණ මතකය ඔහුට ලැබුණු බවයි.

5:21, 22—වඩා බරපතළ වන්නේ දිගින් දිගටම කෝපයෙන් සිටීමද? නැත්නම් අවමන්සහගත ලෙස කතා කිරීමද? තමාගේ සහෝදරයා කෙරෙහි දිගින් දිගටම කෝපයෙන් සිටීම අධිකරණයට ගෙන යා යුතු බරපතළ පාපයක් බව යේසුස් පැවසුවා. කෙසේවෙතත්, කෝපයෙන් පිපිරී තම සහෝදරයාට අවමන්සහගත ලෙස කතා කිරීම ඊටත් වඩා බරපතළ පාපයක්. ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යා යුතු බව යේසුස් පැවසුවේ ඒ නිසයි.

5:48—‘ස්වර්ගයේ සිටින අපේ පියාණන් මෙන් පරිපූර්ණව සිටින්න’ අපටත් හැකිද? ඔව්. යම් දුරකට අපට එසේ කළ හැකියි. යේසුස් මෙහිදී කතා කරමින් සිටින්නේ ප්‍රේමය ගැනයි. ඔහු සවන් දෙන්නන්ට පවසන්නේ පරිපූර්ණ හෙවත් සම්පූර්ණ ලෙස ප්‍රේමය පෙන්වීමෙන් දෙවිව අනුකරණය කරන්න කියායි. (මතෙ. 5:43-47) ප්‍රේමය පෙන්වීම සම්පූර්ණ වන්නේ සතුරාටත් ප්‍රේම කිරීමෙනුයි.

7:16—සැබෑ ආගම හඳුනාගත හැක්කේ කුමන ‘පලවලින්ද?’ මේ පලවලට අපේ යහපත් හැසිරීම මෙන්ම බයිබලය මත පදනම් අපගේ විශ්වාසයන්ද අයිතියි.

10:34-38—පවුලේ සමගියට බයිබල් ඉගැන්වීම් බාධාවක්ද? කොහෙත්ම නැහැ. පවුලේ අසමගිය හෙවත් බෙදීම් ඇති වන්නේ බයිබල් විශ්වාසයන් පිළිනොගන්නා පවුල් සාමාජිකයන් නිසයි. ක්‍රිස්තියානි ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමට හෝ ඒවාට විරුද්ධ වීමට ඔවුන්ට අයිතියක් තිබුණත් පවුල තුළ බෙදීම් ඇති වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන් මිස බයිබල් ඉගැන්වීම් නිසා නොවෙයි.—ලූක් 12:51-53.

11:2-6—දෙවි විසින්ම යේසුස්ව අනුමත කළ බවත් යේසුස් ගැලවුම්කරු බවත් යොහන් දැන සිටියා. එසේනම් “එන්නාවූ තැනැත්තා” යේසුස්ද කියා යොහන් ඇසුවේ ඇයි? යොහන්ට වුවමනා කළේ ඒ බව යේසුස්ගෙන්ම දැනගැනීමට විය හැකියි. යුදෙව්වන්ගේ රජු හැටියට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන “වෙන කෙනෙකු” පැමිණෙනවාද කියා දැනගන්න යොහන්ට අවශ්‍ය වුණා. යේසුස්ගේ පිළිතුරෙන් පෙනෙන්නේ ඔහුට පසුව වෙන කෙනෙකු පැමිණෙන්නේ නැති බවයි.

19:28—විනිශ්චය කරනු ලබන ‘ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසෙන්’ නියෝජනය වන්නේ කාවද? ඉන් දෙවිගේ ඊශ්‍රායෙල් හෙවත් 1,44,000දෙනාව නියෝජනය වන්නේ නැහැ. (ගලා. 6:16; එළි. 7:4-8) ඔවුන්ව ස්වර්ගයට ගනු ලබන්නේ ඔවුන් එකිනෙකාව විනිශ්චය කරගැනීමට නොවෙයි. එය අප දන්නේ කෙසේද? යේසුස් ඔවුන් සමඟ “රාජ්‍යයක් සඳහා ගිවිසුමක්” කර තිබෙනවා. එමෙන්ම ‘ඔවුන් රාජ්‍යයක් මෙන්ම දෙවි සඳහා පූජකයන්’ ලෙසද කටයුතු කරන බව බයිබලයේ පවසනවා. (ලූක් 22:28-30; එළි. 5:10) ඒ අනුව ඔවුන් විනිශ්චය කිරීමට නියමිත වන්නේ මේ ‘ලෝකයයි.’ (1 කොරි. 6:2) මෙසේ ඔවුන් විසින් විනිශ්චය කරනු ලබන “ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසෙන්’ නියෝජනය වන්නේ මේ පොළොවේ ජීවත් වන මිනිසුන්ව බව පැහැදිලියි.—ලෙවී. 16 පරි.

අපට ගත හැකි පාඩම්:

4:1-10. සාතන් යනුවෙන් හඳුන්වන්නේ යම් දුෂ්ට තත්වයක් නොව සැබෑ පුද්ගලයෙකු බව මෙම කොටසින් පැහැදිලිව පෙන්වා දෙනවා. ඔහු අපව රැවටීමට “මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්” යොදාගන්නවා. නමුත් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් දෙවිට පක්ෂපාතව සිටින්න අපට හැකියි.—1 යොහ. 2:16.

5:1–7:29. දෙවි සමඟ සමීප මිත්‍රත්වයක් දිගටම පවත්වාගැනීමට නිතරම උත්සාහ කරන්න. සාමය ඇති කරන කෙනෙකු වන්න. අනාචාර සිතුවිලිවලින් දුරු වෙන්න. පොරොන්දු ඉටු කරන්න. යාච්ඤා කරන විට අපේම අවශ්‍යතාවලට වැඩි අවධානයක් දෙනවා වෙනුවට දෙවිගේ අරමුණ හා සම්බන්ධ කාරණාවලට මුල් තැන දෙන්න. දෙවි කෙරෙහි පොහොසත් වෙන්න. රාජ්‍යයත් දෙවිගේ ධර්මිෂ්ඨකමත් සොයන්න. අන් අයව විනිශ්චය කිරීමෙන් වළකින්න. දෙවිගේ කැමැත්ත කරන්න. කන්ද උඩ දේශනාවේ සඳහන් මේ මඟ පෙන්වීම් අපට මොන තරම් ප්‍රයෝජනවත්ද!

9:37, 38. ‘අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන්න’ කියා ස්වාමියාට යාච්ඤා කරන අතරම මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයෙහිද අප උද්‍යෝගයෙන් හවුල් විය යුතුයි.—මතෙ. 28:19, 20.

10:32, 33. අපේ ඇදහිල්ල ගැන අන් අයට කතා කිරීමට අප කිසිවිටෙක පසු නොබැසිය යුතුයි.

13:51, 52. දේවරාජ්‍යය පිළිබඳ සත්‍යයතා අප තේරුම්ගත් පසු ඒවා අන් අයට ඉගැන්වීම අපේ වගකීමයි.

14:12, 13, 23. යේසුස් මෙන් අපද ඉගෙනගත් දේවල් ගැන ගැඹුරින් කල්පනා කිරීම සඳහා විටින් විට පෞද්ගලිකව යම් කාලයක් වෙන් කරගැනීම සුදුසුයි.—මාක් 6:46; ලූක් 6:12.

17:20. ගැටලුවලට සාර්ථකව මුහුණ දීමටත් දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයට තර්ජනයක් විය හැකි කඳු වැනි බාධක ජය ගැනීමටත් අපට ඇදහිල්ල අවශ්‍යයි. යෙහෝවා දෙවි කෙරෙහිත් ඔහුගේ පොරොන්දු කෙරෙහිත් තිබෙන අපේ ඇදහිල්ල ශක්තිමත් ලෙස ගොඩනඟා ගැනීමට හැකි සෑම වෑයමක්ම දරමු.—මාක් 11:23; ලූක් 17:6.

18:1-4; 20:20-28. වඩා උතුම් තැනැත්තා කවුද කියා යේසුස්ගේ ගෝලයන් අතර නිතරම වාද හටගත්තා. ඊට හේතු වූයේ ඔවුන් තුළ තිබූ පව්කාර නැඹුරුවාව හා ඔවුන් පැමිණි යුදෙව් ආගමික පසුබිමයි. අපද එවැනි පව්කාර නැඹුරුවාවන්ට එරෙහිව සිටිය යුතුයි. එමෙන්ම සභාවේ වගකීම් දැරීම සඳහා අපට ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් අපත් යටහත් පහත් ආකල්පයක් වර්ධනය කරගත යුතුයි.

‘මනුෂ්‍ය පුත්‍රයාව භාර දෙනු ලබන්නේය’

(මතෙ. 21:1–28:20)

යේසුස් ක්‍රි.ව. 33 නීසාන් නවවෙනිදා ‘බූරු පැටවෙකු පිට නැඟී’ යෙරුසලමට පැමිණියා. (මතෙ. 21:5) පසුවදා දේවමාලිගාවට පැමිණ එය පවිත්‍ර කළා. නීසාන් 11වෙනිදා දේවමාලිගාවේ සිට ගෝලයන්ට ඉගැන්වූ ඔහු ලියන්නන් හා පරිසිවරුන්ව හෙළා දැක්කා. ඉන්පසුව ඔහුගේ ‘පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ’ ගැන ඔහු තම ගෝලයන්ට පැවසුවා. (මතෙ. 24:3) ඊළඟ දවසේදී ඔහු ඔවුන්ට පැවසුවේ “තව දවස් දෙකකින් පාස්කුව පැමිණෙන බව ඔබ දන්නහුය. මනුෂ්‍ය පුත්‍රයාව කණුවක ඇණ ගසන පිණිස භාර දෙනු ලබන්නේය” කියායි.—මතෙ. 26:1, 2.

නීසාන් 14වෙනිදා යේසුස් තම මරණය සිහි කිරීම පවත්වා වැඩි වේලාවක් යෑමට පෙර යූදස් ඔහුව පාවා දුන්නා. පසුව යේසුස්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර වධකණුවේ ඇණ ගැසුවා. තුන්වෙනිදා ඔහු මළවුන්ගෙන් නැඟිටුවනු ලැබුවා. ඔහු ස්වර්ගයට යෑමට පෙර ගෝලයන්ට මෙසේ අණ කළා. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.”—මතෙ. 28:19.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

22:3, 4, 9—විවාහ මංගල්‍යය සඳහා ආරාධනා තුන යැවුවේ කුමන කාලයේදීද? මනාලි පංතිය හෙවත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව එක්රැස් කිරීම සඳහා මුල්ම ආරාධනාව ඉදිරිපත් කළේ ක්‍රි.ව. 29දීයි. ඒ යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ දේශනා සේවය ආරම්භ කිරීමත් සමඟයි. එය ක්‍රි.ව. 33 දක්වා පැවතුණා. දෙවන ආරාධනාව ඉදිරිපත් කළේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිට ක්‍රි.ව. 36 දක්වායි. ඉහත ආරාධනාවන් දෙකම ඉදිරිපත් කළේ යුදෙව්වන්ට, යුදෙව් ධර්මය වැළඳගෙන සිටි අයට හා සමරිතානුවරුන්ටයි. කෙසේවෙතත් තුන්වන ආරාධනාව ඉදිරිපත් කළේ චර්මච්ඡේදනය නොවූ අන්‍යජාතිකයන්ටයි. නුවරින් එපිටට විහිදෙන මාවත්වල සිටින අය කියා පැවසුවේ ඔවුන් ගැනයි. එය ක්‍රි.ව. 36දී කොර්නේලියස් නමැති රෝම ජාතික හමුදා නිලධාරියාගෙන් ආරම්භ කර වර්තමාන කාලය දක්වා ක්‍රියාත්මක වෙයි.

23:15—පරිසිවරුන් තමන්ගේ ධර්මයට හරවාගත් කෙනෙකුව ඔවුන්ට ‘වඩා දෙගුණයකින් ගෙහෙන්නාවට සුදුස්සෙකු’ කරවන බව යේසුස් පැවසුවා. ඒ කිනම් ආකාරයෙන්ද? පරිසිවරුන් විසින් හරවාගත්තේ කලින් ඉතා පව්කාර ජීවිතයක් ගත කළ කෙනෙකුව විය හැකියි. නමුත් ඔහු පරිසිවරුන්ගේ අන්තවාදී ඉගැන්වීම් වෙතට හැරුණු විට ඊටත් වඩා පව්කාර තත්වයකට පත්වීමට ඉඩ තිබුණා. මේ ආකාරයට ඔවුන් පරිසිවරුන්ට වඩා දෙගුණයක් ‘ගෙහෙන්නාවට සුදුස්සන්’ බවට පත් වෙයි.

27:3-5—යූදස් බලවත් සේ තැවුණේ කුමක් ගැනද? යූදස් තුළ අවංක පසුතැවිල්ලක් තිබූ බව කිසිවිටෙක අඟවා නැහැ. තමන් කළ පාපයට සමාව ලබාගැනීම සඳහා ඔහු උත්තම පූජකයන් හා වැඩිමහල්ලන් වෙත ගියා මිස දෙවි ඉදිරියේ පසුතැවිලි වුණේ නැහැ. “මරණයට පමුණුවන පාපයක්” කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහු තුළ වරදසහගත බවක් හා දැඩි කනස්සල්ලක් ඇතිවීම සාධාරණයි. (1 යොහ. 5:16) ඔහු තැවුණේ සමාව ලැබීමට ඔහුට අවස්ථාවක් නොමැතිකම නිසයි.

අපට ගත හැකි පාඩම්:

21:28-31. යෙහෝවා දෙවි ඉදිරියේ වඩාත්ම වැදගත් දෙය වන්නේ ඔහුගේ කැමැත්ත කිරීමයි. එමනිසා මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමෙහිත් ඔවුන්ව ගෝලයන් කිරීමෙහිත් අප උද්‍යෝගයෙන් හවුල් විය යුතුයි.—මතෙ. 24:14; 28:19, 20.

22:37-39. දෙවි තමන්ට නමස්කාර කරන අයගෙන් බලාපොරොත්තු වන දෙය ඉතාම පැහැදිලිව ආඥා දෙකක් තුළ කැටි කර දක්වා තිබෙන ආකාරය මොන තරම් කදිමද!

[31වන පිටුවේ පින්තූරය]

ඔබ අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උද්‍යෝගයෙන් හවුල් වෙනවාද?

[හිමිකම් විස්තර]

© 2003 BiblePlaces.com

[31වන පිටුවේ පින්තූරය]

මතෙව් දේවරාජ්‍යය පිළිබඳව බොහෝ තොරතුරු සඳහන් කරයි