Skip to content

පටුනට යන්න

රාජ්‍යයක් ලැබීමට වටිනා කුඩා රැළ

රාජ්‍යයක් ලැබීමට වටිනා කුඩා රැළ

රාජ්‍යයක් ලැබීමට වටිනා කුඩා රැළ

‘මෙය දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ සාක්ෂියකි. ඔබ දෙවිගේ රාජ්‍යය ලබන්න වටින්නන්යයි ගණන්ගනු ලැබීමට එම විනිශ්චය මඟ පාදන්නේය.’—2 තෙස. 1:5.

1, 2. මිනිස් වර්ගයාව විනිශ්චය කිරීම සඳහා දෙවි සැලසුම් කර තිබෙන්නේ කුමක්ද?

එය ක්‍රිස්තු වර්ෂ 50 අවට කාලයයි. ඒ වන විට පාවුල් සිටියේ ඇතන්ස් නගරයේයි. ඒ නගරය දේවතා රූපවලින් පිරී තිබෙනවා දුටු ඔහුට කෝපයක් ඇති වුණත් වැදගත් කරුණක් සඳහන් කිරීමට ඔහු එය අවස්ථාවක් කරගත්තා. ඔහු පැවසූ දෙය එතැන සිටි පිළිම නමස්කාරකයන්ගේ අවධානයට ලක් වූ බව නිසැකයි. ඔහු පැවසුවේ මෙසේයි. “දැන් ඔහු [දෙවි] සෑම තැනකම සිටින මනුෂ්‍ය වර්ගයාට කියන්නේ ඔවුන් සියල්ලන්ම පසුතැවිලි විය යුතුය කියාය. මන්ද තමන් පත් කළ මිනිසෙකු මාර්ගයෙන් මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට ඔහු දවසක් නියම කර තිබේ. ඔහු ඒ මිනිසාව මළවුන්ගෙන් නැවත නැඟිටවීමෙන් සියලුදෙනාටම සහතිකයක් දී තිබේ.”—ක්‍රියා 17:30, 31.

2 ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීම සඳහා පත් කර තිබෙන්නේ කාවද කියා පාවුල් එහිදී සඳහන් කළේ නැහැ. නමුත් ඒ කවුද කියා අප දන්නවා. ඒ නැවත නැඟුටුවා සිටින යේසුස්. ඔහු අනාගතයේදී එම විනිශ්චය සිදු කිරීමට නියමිතයි. කෙනෙකුට ලැබෙන්නේ සදාකාල ජීවනයද නැත්නම් මරණයද කියා තීරණය වන්නේ එම විනිශ්චය මගිනුයි. එමනිසා මෙම විනිශ්චය ගැනත් ඒ සඳහා නියම කර තිබෙන කාලය ගැනත් අප ගැඹුරින් කල්පනා කර බැලීම ඉතාම වැදගත්!

3. විනිශ්චය කිරීමේ කාර්යයට හවුල් වන්නේ කවුද? එමෙන්ම දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කළේ ඇයි?

3 ඒ විනිශ්චය දවස කුමක්ද? එය පැය 24ක දවසක් නොව අවුරුදු 1,000ක් පුරා දිව යන කාල පරිච්ඡේදයක්. එම කාලය පුරාම යේසුස් විනිශ්චය කරන්නේ තනිවම නොවෙයි. දෙවි පත් කළ රජු වන ඔහු සමඟ හවුලේ රජකම් කිරීමට හා විනිශ්චය කිරීමට දෙවි මිනිස් වර්ගයාගෙන් කොටසක්ද තෝරාගෙන තිබෙනවා. (ලූක් 22:29, 30 බලන්න.) ඔවුන්ව තෝරාගැනීම සඳහා දෙවි පදනමක් දැමුවේ මීට අවුරුදු 4,000කට පෙර ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගැනීමෙනුයි. එම ගිවිසුම ක්‍රිස්තු පූර්ව 1943 සිට ක්‍රියාත්මක වුණා. (උත්පත්ති 22:17, 18 කියවන්න.) දෙවි තමන් සමඟ කළ ඒ ගිවිසුමෙන් සියලුම මිනිසුන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද කියා ආබ්‍රහම්ට වැටහුණේ නැතත් අපට එය වටහාගැනීමට හැකි වී තිබෙනවා.

4, 5. (අ) ආබ්‍රහම්ගෙන් පැවත එන විශේෂ තැනැත්තා වූයේ කවුද? දේවරාජ්‍යය ගැන ඔහු පැවසුවේ කුමක්ද? (ආ) දේවරාජ්‍යයේ පාලනයට හවුල් වීමේ වරප්‍රසාදය විවෘත වුණේ කවදාද?

4 දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමෙන් එක්තරා විශේෂ තැනැත්තෙක් පැමිණෙන බව සඳහන් කළා. ඒ යේසුස්. ඔහුව ක්‍රි.ව. 29දී පොරොන්දු වූ ගැලවුම්කරු ලෙස දෙවිගේ බලයෙන් අභිෂේක කළා. (ගලා. 3:16) එතැන් සිට ඊළඟ අවුරුදු තුනහමාර පුරා ඔහු යුදෙව් ජනතාවට දේවරාජ්‍යය ගැන දේශනා කරමින් සිටියා. යොහන් බව්තීස්ත මිය යෑමට ටික කලකට පෙර දේවරාජ්‍යය ගැන ඉතාම වැදගත් තොරතුරක් යේසුස් යුදෙව්වන්ට හෙළි කළා. “යොහන් බව්තීස්තගේ දවසේ පටන් මේ දක්වා මිනිස්සු ස්වර්ග රාජ්‍යය ඉලක්ක කරගෙන මහත් පරිශ්‍රමයක් දරති. මහත් පරිශ්‍රමයක් දරන්නෝ එය අත් කරගනිති.” (මතෙ. 11:12) එමගින් තමන් සමඟ දේවරාජ්‍යයේ රජුන් ලෙස විනිශ්චය කිරීමේ කාර්යයට තවත් පිරිසක් හවුල් වන බව යේසුස් හෙළි කළා.

5 ඒ වරප්‍රසාදය යේසුස්ගේ ගෝලයන්ට විවෘත වුණේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ඔවුන්ට දෙවිගේ බලය ලැබීමත් සමඟයි. (ක්‍රියා 2:1-4) නමුත් යොහන් බව්තීස්ත ඒ වන විටත් මිය ගොස් සිටි නිසා ඔහුට ඒ වරප්‍රසාදය හිමි වුණේ නැහැ. එමනිසා යේසුස් යොහන් බව්තීස්ත ගැන මෙවැනි දෙයක් පැවසීමට හේතුව අපට තේරුම්ගත හැකියි. “සැබවින්ම මම ඔබට කියමි, ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙකු ඉපදුණේ නැත. නමුත් ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තෙකු වුවද ඔහුට වඩා උතුම්ය.”—මතෙ. 11:11.

ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරයි

6, 7. (අ) ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් “අහසේ තාරකා මෙන්” වන බව කීමෙන් අදහස් කළේ කුමක්ද? (ආ) ආබ්‍රහම් ලැබූ ආශීර්වාද මොනවාද? ඒ හා සමානව යේසුස් සමඟ පාලනයට හවුල් වන අය ලබන ආශීර්වාද මොනවාද?

6 දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමේදී ඔහුගෙන් පැවතෙන්නන් “අහසේ තාරකා මෙන්ද” මුහුදු වෙරළේ වැලි මෙන්ද වැඩි වන බව පැවසුවා. (උත්. 13:16; 22:17, නව ලොව පරිවර්තනය, NW) අහසේ තාරකාවල ගණනවත් මුහුදු වෙරළේ වැලිවල ගණනවත් හරියටම කියන්න කිසිවෙක් දන්නේ නැහැ. ඒ හා සමානව පාලනයට හවුල් වන අයගේ ගණන හරියටම කියන්න කාලයක් යන තුරු කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ. ඒ වුණත් පසු කාලයේදී දෙවි එම සංඛ්‍යාව 1,44,000ක් බව දෙවි හෙළි කළා.—එළි. 7:4; 14:1.

7 යේසුස් හා සමානව පාලනයට හවුල් වන මේ අයවද දෙවි සලකන්නේ ධර්මිෂ්ඨයන් හැටියටයි. කිසි මිනිසෙක් සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨ නැති බව බයිබලයේ පවසා ඇති නිසා එය එසේ වන්නේ කෙසේද? (යාකො. 3:2) මෙය වටහාගැනීමට ආබ්‍රහම් ගැන බයිබලයේ පවසා ඇති දෙයක් සලකා බලමු. “[ආබ්‍රහම්] යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල තැබුවේය. ඒ නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගත්තේය.” (උත්. 15:5, 6NW) දෙවි ආබ්‍රහම්ව තමාගේ මිතුරා ලෙසත් ධර්මිෂ්ඨ කෙනෙකු ලෙසත් සැලකුවේ ඔහුගේ කැපී පෙනෙන ඇදහිල්ල නිසයි. (යෙසා. 41:8) ඒ හා සමානව අභිෂේක ලත් අයවත් ධර්මිෂ්ඨයන් ලෙස දෙවි ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ ඇදහිල්ල නිසයි. ඔවුන් ආබ්‍රහම්ටත් වඩා ආශීර්වාද භුක්ති විඳිමින් සිටිනවා.

8. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ලබන ආශීර්වාද මොනවාද?

8 දේවරාජ්‍යයේ පාලනයට හවුල් වන මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරන්නේ කුමන පදනම මතද? ඒ ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන නිසයි. (රෝම 3:24, 28) ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ව සලකන්නේ දැනටමත් පාපයෙන් නිදහස් වූ අය හැටියටයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ව තම දරුවන් ලෙසත් යේසුස්ගේ සහෝදරයන් ලෙසත් තම බලයෙන් අභිෂේක කිරීමට දෙවිට හැකියි. (යොහ. 1:12, 13) මෙසේ ඔවුන් අලුත් ගිවිසුමට ඇතුළත් වන අතර “දෙවිගේ ඊශ්‍රායෙල්” නමැති අලුත් ජාතියේ සාමාජිකයන් බවට පත් වෙනවා. (ගලා. 6:16; ලූක් 22:20) මේ පොළොවේ ජීවත් වීමට තිබෙන ආශාව කැප කර ඇති අභිෂේක ලත් අය අවුරුදු දහසක් පුරා පවතින විනිශ්චය දවසේදී යේසුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. එය මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!—රෝම 8:17 කියවන්න.

9, 10. (අ) ක්‍රිස්තියානීන්ව මුලින්ම අභිෂේක කළේ කවදාද? එතැන් සිට ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද? (ආ) විශ්වාසවන්තව සිටීම සඳහා දෙවි ඔවුන්ට උපකාර කළේ කෙසේද?

9 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් 120දෙනෙකුව දෙවි තම බලයෙන් අභිෂේක කළා. මුල්ම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වූයේ ඔවුනුයි. ඔවුන් ස්වර්ගික ජීවිතය උරුම කරගැනීමට නම් එතැන් සිට සාතන් ගෙනෙන ඕනෑම ආකාරයේ පීඩාවකට මුහුණ දී මරණය දක්වාම විශ්වාසවන්තව සිටිය යුතුයි.—එළි. 2:10.

10 දිගටම විශ්වාසවන්තව සිටීමට යෙහෝවා දෙවි ඔවුන්ට උපකාර කළා. එසේ කළේ බයිබලයෙන් හා සභා රැස්වීම් මගින් ඔවුන්ට අවශ්‍ය දිරිගැන්වීම් සැපයීම මගිනුයි. උදාහරණයක් හැටියට තෙසලෝනිකයේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පාවුල් දුන් මෙම දිරිගැන්වීම බලන්න. “පියෙකු තම දරුවන්ට කරන්නාක් මෙන්, අප ඔබ එකිනෙකාව කොතරම් උනන්දු කළාද කියාත්, සැනසෙව්වාද කියාත්, ඔබට සාක්ෂි දැරුවාද කියාත් ඔබ හොඳින් දන්නහුය. එසේ කළේ, තම රාජ්‍යයටත් මහිමයටත් ඔබව කැඳවන දෙවිට ඔබින ලෙස ඔබ දිගටම කටයුතු කරන පිණිසය.”—1 තෙස. 2:11, 12.

11. “දෙවිගේ ඊශ්‍රායෙල්” වෙනුවෙන් පිළියෙල කළ ලියවිල්ල කුමක්ද?

11 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් මුල් සභාව පිහිටුවා වැඩි කාලයක් ගතවීමට පෙර දෙවි තවත් දෙයක් කළා. එනම් යේසුස්ගේ දේවසේවය ගැනත් මුල් සියවසේ සභාවන්ට දුන් උපදෙස් ගැනත් ලිඛිත වාර්තාවක් පිළියෙල කිරීමයි. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල කියා හඳුන්වන්නේ එයයි. දෙවි ඒ වන විටත් දී තිබූ හෙබ්‍රෙව් ලියවිල්ලට මෙම ලියවිල්ලත් ක්‍රමානුකූලව එකතු කළා. හෙබ්‍රෙව් ලියවිල්ල මූලිකවම ලියා තිබුණේ දෙවිගේ ජනයා වූ ඊශ්‍රායෙල් ජාතියේ ප්‍රයෝජනය සඳහායි. නමුත් ග්‍රීක ලියවිල්ල ලියනු ලැබුවේ “දෙවිගේ ඊශ්‍රායෙල්” හෙවත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. හෙබ්‍රෙව් ලියවිල්ල කියවීමෙන් ඊශ්‍රායෙල් නොවූ අයත් බොහෝ ප්‍රයෝජන ලැබුවා සේම ග්‍රීක ලියවිල්ල අධ්‍යයනය කිරීමෙන් හා එහි ඇති මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වීමෙන් අභිෂේක ලත් නොවන ක්‍රිස්තියානීන්ටද බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි.—2 තිමෝති 3:15-17 කියවන්න.

12. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පාවුල් දුන්නේ කිනම් සිහිගැන්වීම්ද?

12 දෙවි මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ව ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කර ඔවුන්ව අභිෂේක කළේ ඔවුන්ට ස්වර්ගික ජීවිතය ලබා දීමේ අරමුණ ඇතිවයි. නමුත් ඔවුන් මේ පොළොවේ සිටින විට සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව පාලනය කිරීමට දෙවි ඔවුන්ට අවසර දී නැහැ. පෙනෙන විදිහට ඒ බව තේරුම් නොගත් සමහර අභිෂේක ලත් ක්‍රිස්තියානීන් එසේ කිරීමට උත්සාහ කර තිබෙනවා. පාවුල් මෙසේ ඇසුවේ ඒ නිසා විය හැකියි. “ඔබ දැනටමත් තෘප්තිමත්ද? ඔබ දැනටමත් පොහොසත්ද? අප නැතුව ඔබ රජකම් කරන්න පටන්ගෙන තිබෙනවාද? අපත් ඔබ සමඟ රජකම් කරන පිණිස ඇත්තටම ඔබ රජකම් කිරීමට පටන්ගෙන තිබුණා නම් මම කැමැත්තෙමි.” (1 කොරි. 4:8) මේ හේතුව නිසා පාවුල් ඔවුන්ට මතක් කළේ “ඔබේ ඇදහිල්ල කෙරෙහි අපි පාලකයන් වෙනවා නොව, ඔබේ ප්‍රීතිය සඳහා ඔබත් සමඟ හවුල් සේවකයෝ වන්නෙමු” කියායි.—2 කොරි. 1:24.

ගණන සම්පූර්ණ වෙමින්

13. අභිෂේක ලත් අයව තෝරාගැනීම මුල් සියවසේ සිට අද දක්වා සිදු වෙමින් පවතින්නේ කෙසේද?

13 මුල් සියවසේදීම 1,44,000දෙනාව තෝරාගැනීම අවසන් කළේ නැහැ. ඉන්පසුව පවා ඉතාම ස්වල්ප වශයෙන් එසේ තෝරාගත් බව පෙනී යනවා. එම තෝරාගැනීම මේ කාලය දක්වාම සිදු වෙමින් තිබෙනවා. (මතෙ. 28:20) නමුත් එම තෝරාගැනීම වේගවත් වුණේ 1914දී යේසුස් ස්වර්ගයේ රජ වීමත් සමඟයි.

14, 15. මේ කාලයේදී අභිෂේක ලත් අයව තෝරාගැනීම සිදු වන ආකාරය විස්තර කරන්න.

14 රජ වීමත් සමඟම යේසුස් මුලින්ම කළේ දෙවිගේ පාලනයට විරුද්ධ සියලුදෙනාව ස්වර්ගයෙන් ඉවත් කිරීමයි. (එළිදරව් 12:10, 12 කියවන්න.) පසුව ඔහු 1,44,000දෙනාව තෝරාගැනීම අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළා. එක්දහස් නවසිය තිස්ගණන්වල මැදභාගයේදී එම තෝරාගැනීම සෑහෙන දුරට අවසන් වී තිබූ බව පෙනී ගියා. ඊට හේතුව වූයේ එවකට ශුභාරංචියට සවන් දුන් බොහෝදෙනා ආශා කළේ ස්වර්ගයට යෑමට නොව පොළොව මත සදාකල් ජීවත් වෙන්නයි. ඔවුන් අභිෂේක ලත් අය බවට දෙවිගෙන් කිසිම සාක්ෂියක් ලැබුවේ නැහැ. (රෝම 8:16 බලන්න) එයින් පැහැදිලි වූයේ ඔවුන් ‘වෙනත් බැටළුවන්ට’ අයිති බවයි. (යොහන් 10:16) එමනිසා 1935න් පසු දේශනා සේවය තුළින් වැඩි අවධානයක් යොමු කළේ “මහත් පීඩාවෙන්” බේරෙන වෙනත් බැටළුවන්ට අයත් “මහත් සමූහය” එක්රැස් කිරීමේ කාර්යයටයි.—එළි. 7:9, 10, 14.

15 ඒ වුණත් 1930 සිට ගත වූ අවුරුදු ගණනාව තුළ ස්වර්ගික ජීවිතය සඳහාද ස්වල්ප දෙනෙකුව තෝරාගෙන තිබෙනවා. එසේ කර තිබෙන්නේ ඇයි? සමහරවිට කලින් අභිෂේක කර තිබුණත් පසුව ඇදහිල්ලෙන් වැටී ගිය අයගේ අඩුව පිරවීම සඳහා විය හැකියි. (එළිදරව් 3:16 බලන්න.) පාවුල් පවා තමන් පෞද්ගලිකව දැන සිටි සමහර අය ඇදහිල්ල අත්හැර ගිය බව සඳහන් කළා. (ෆිලි. 3:17-19) ඒ අඩුව පිරවීම සඳහා තෝරාගන්නේ කාවද? එය තීරණය කරන්නේ දෙවියි. නමුත් පෙනෙන විදිහට ඒ සඳහා දෙවි තෝරාගන්නේ අලුතින් බව්තීස්ම වූ අයට වඩා, තම විශ්වාසවන්තකම ඔප්පු කර ඇති අයව බව සිතිය හැකියි. *ලූක් 22:28.

16. අභිෂේක ලත් අය සම්බන්ධයෙන් අප දෙවිට ස්තුතිවන්ත විය යුත්තේ ඇයි? එමෙන්ම අපට ස්ථිර විශ්වාසයක් තබාගත හැක්කේ කුමක් ගැනද?

16 කෙසේවෙතත් 1930 ගණන්වලින් පසුව යෙහෝවා දෙවි විසින් ස්වර්ගික ජීවිතය සඳහා අභිෂේක ලත් අයව තෝරාගැනීමට තවත් හේතුවක් තිබිය හැකියි. පෙනෙන විදිහට දෙවිගේ අරමුණ වන්නේ ‘මහ බැබිලෝනියේ’ * විනාශය දක්වාම ඔවුන්ගෙන් සමහරෙකු අප සමඟ සිටීමට සැලැස්වීමයි. (එළි. 17:5) නමුත් දෙවි තම නියමිත කාලයේදී අභිෂේක ලත් සාමාජිකයන්ගේ ගණන සම්පූර්ණ කරන බව අපට නිසැක වීමට පුළුවන්. එවිට ඔවුන් සියලුදෙනාම දේවරාජ්‍යයේ පාලකයන් ලෙස තමන්ගේ පැවරුම භාරගනීවි. මේ අතර බයිබලයේ පවසා ඇති ආකාරයට දිනපතාම මහත් සමූහයට එකතු වන සාමාජිකයන්ද දිගටම දෙවිට විශ්වාසවන්තව සිටින බවත් ස්ථිරයි. සාතන්ගේ දුෂ්ට ලෝකයට ගෙනෙන්නා වූ “මහත් පීඩාවෙන් බේරී” පාරාදීස පොළොවට ඇතුල් වීමට තව ඇත්තේ කෙටි කාලයයි.

ගණන සම්පූර්ණ වීමට ආසන්නයි!

17. මිය ගිය විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සිදු වී ඇත්තේ කුමක්ද? (1 තෙස. 4:15-17; එළි. 6:9-11)

17 ක්‍රිස්තු වර්ෂ 33 සිට මේ දක්වා දස දහස් ගණනක් අභිෂේක ලත් අය ඉතා විශ්වාසවන්ත ලෙස මරණය දක්වාම විඳදරාගෙන තිබෙනවා. ඒ අය රාජ්‍යයක් ලැබීමට වටින්නන්යයි ගණන් ගෙන හමාරයි. යේසුස් රජු ලෙස පැමිණ වැඩි කලක් යෑමට මත්තෙන් ඔවුන් ස්වර්ගික ත්‍යාගය ලැබූ බව අපට විශ්වාසයි.—1 තෙසලෝනික 4:15-17; එළිදරව් 6:9-11 කියවන්න.

18. (අ) පොළොව මත සිටින අභිෂේක ලත් අයට ඇත්තේ කිනම් ස්ථිර විශ්වාසයද? (ආ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන වෙනත් බැටළුවන්ට හැඟෙන්නේ කුමක්ද?

18 තමන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටියොත් ස්වර්ගික ත්‍යාගය තමන්ට නිසැකවම අත් වන බව දැනට පොළොවේ ජීවත්ව සිටින අභිෂේක ලත් අය දන්නවා. ඔවුන්ගේ විශ්වාසවන්ත ආදර්ශය ගැන ගැඹුරින් කල්පනා කරන මිලියන ගණන් වෙනත් බැටළුවන් පාවුල් පැවසූ මෙම වදන්වලට එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. “අපි දෙවිගේ සභාවන් අතරෙහි ඔබ ගැන ආඩම්බර වන්නෙමු. මන්ද ඔබ ඉවසන සියලු හිංසා පීඩාවලදී ඔබ විඳදරාගැනීම සහ ඇදහිල්ල විදහා පෙන්වන්නහුය. මෙය දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ සාක්ෂියකි. දෙවිගේ රාජ්‍යය උදෙසා දුක් විඳින ඔබ, එය ලබන්න වටින්නන්යයි ගණන්ගනු ලැබීමට එම විනිශ්චය මඟ පාදන්නේය.” (2 තෙස. 1:3-5) ඒ අනුව මේ පොළොවේ ජීවත්ව සිටින අවසාන අභිෂේක ලත් සාමාජිකයාගේ මරණයත් සමඟම දේවරාජ්‍යයේ සාමාජිකයන්ගේ ගණන සම්පූර්ණ වෙයි. ඔවුන් සියලුදෙනාම යේසුස් සමඟ හවුල් වී පාලනය කිරීම ස්වර්ගයේ මෙන්ම පොළොවේ සිටින සියලුදෙනාටම එය මොන තරම් සතුටට හේතුවක් වේවිද!

[පාදසටහන්වල]

^ 15 ඡේ. වර්ෂ 1992 මාර්තු 1 මුරටැඹ සඟරාවේ 20වන පිටුවේ 17වන ඡේදය බලන්න. (සිංහලෙන් නැත)

^ 16 ඡේ. වර්ෂ 2007 මැයි 1වැනිදා මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපිය බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• විනිශ්චය දවස ගැන දෙවි ආබ්‍රහම්ට හෙළි කළේ කුමක්ද?

• දෙවි ආබ්‍රහම් ධර්මිෂ්ඨ පුද්ගලයෙක් කියා සැලකුවේ ඇයි?

• ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලය කුමක්ද?

• සියලුම ක්‍රිස්තියානීන්ට තිබෙන විශ්වාසය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍යය අත් කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්න කියා යේසුස් තම ගෝලයන්ව දිරිගැන්නුවා

[21වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී දෙවි අභිෂේක ලත් අයව තෝරාගැනීම ඇරඹුවා

[23වන පිටුවේ පින්තූර]

මේ අන්තිම කාලය පුරාම අභිෂේක ලත් අය තමන් සමඟ සිටීම ගැන වෙනත් බැටළුවන් සතුටු වෙනවා