Skip to content

පටුනට යන්න

“ස්වාමීන් තුළ ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න.”

“ස්වාමීන් තුළ ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න.”

“ස්වාමීන් තුළ ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න.”

“ස්වාමීන් තුළ ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න.”—කොලො. 4:17.

1, 2. සෙසු ජනයා සම්බන්ධයෙන් අපට ඇති වගකීම කුමක්ද?

ක්‍රිස්තියානීන් වන අපට ඉතා බරපතළ වගකීමක් තිබෙනවා. එය නම් අනතුරේ තිබෙන ඔවුන්ගේ ජීවිත ගලවාගැනීමට පියවර ගන්න කියා මිනිසුන්ට අනතුරු ඇඟවීමයි. ඔවුන් ගන්නා තීරණය අනුව ‘මහත් පීඩාව තුළදී’ ඔවුන්ට ජීවනය හෝ මරණය අත්වීමට නියමිතයි. (එළි. 7:14) එමනිසා හිතෝපදේශ පොතේ පවසන මෙම උපදෙස අපි සිතට ගනිමු. “මරණයට ගෙන යන අයව ගලවාගන්න. මරණයට වැටෙන්න යන අයව එයින් වළක්වාගන්න.” එය මොන තරම් බැරෑරුම් කාර්යයක්ද! නමුත් අප එම අනතුරු ඇඟවීම නොකළොත් ඔවුන්ගේ ජීවිතවලට වග කියන්න සිදු වන්නේ අපටයි. ඒ ගැන එහි තවදුරටත් පවසන්නේ මෙසේයි. “‘බලන්න! අපි මේ ගැන දැන සිටියේ නැත’ යයි ඔබ කීවොත්, සිතේ ආකල්ප සෝදිසි කර බලන තැනැත්තාට එය වැටහෙන්නේ නැද්ද? ඔබ ගැන සෝදිසියෙන් සිටින තැනැත්තා එය දැනගෙන, මිනිසාගේ ක්‍රියාවලට අනුව ඔහුට ප්‍රතිඵල නොදෙන්නේද?” ඔව්, “අපි මේ ගැන දැන සිටියේ නැහැ” කියා පවසන්න අපගෙන් කිසිවෙකුට හැකියාවක් නැහැ.—හිතෝ. 24:11, 12, නව ලොව පරිවර්තනය.

2 මිනිස් ජීවිත යෙහෝවා දෙවිට ඉතා අනර්ඝයි. ජීවිත ගලවන මෙම කාර්යයෙහි හැකි උපරිමයෙන් හවුල් වන්න කියා ඔහු අපට උනන්දු කරන්නේ ඒ නිසයි. අප සියලුදෙනාම මෙම කාර්යයෙහි උද්‍යෝගයෙන් හවුල් වීම අනිවාර්යය දෙයක්. අප කරන මෙම අනතුරු ඇඟවීම පුරාණයේ සිටි මුරකරුවෙකුගේ සේවයට සමාන කරන්න පුළුවන්. ඔහු කළේ ඈතින් පැමිණෙන යම් අනතුරක් දුටු සැනින් ඒ ගැන වහාම දැනුම් දීමයි. අපත් එයාකාරයෙන් අනතුරු ඇඟවූයේ නැත්නම් මරණයට පත් වන අයගේ ජීවිතවලට වග කියන්න සිදු වන්නේ අපටයි. (එස. 33:1-7) එමනිසා නොනවත්වා ‘වචනය දේශනා කිරීම’ සඳහා අපට හැකි සියල්ල කිරීම මොන තරම් වැදගත්ද!—2 තිමෝති 4:1, 2, 5 කියවන්න.

3. මෙම ලිපියේ මෙන්ම ඊළඟ ලිපි දෙක තුළත් අප සලකා බලන්නේ කුමන තොරතුරුද?

3 මෙම ජීවිත ගලවන කාර්යයේ හවුල් වීමේදී ඇති වන බාධා ජය ගන්නේ කෙසේද කියාත් බොහෝදෙනෙකුගේ ජීවිත ගලවාගැනීමට අපට හැක්කේ කෙසේද කියාත් මෙම ලිපිය තුළ සලකා බලනවා. ඊළඟ ලිපියේ සාකච්ඡා කරන්නේ අපේ ඉගැන්වීමේ කලාව දියුණු කරගත හැකි ආකාරයයි. එමෙන්ම ලෝක ව්‍යාප්තව කරන ලද දේවසේවයෙන් ලැබූ දිරිගන්වන අද්දැකීම් කිහිපයක් තුන්වන ලිපියේ සඳහන් වෙනවා. මුලින්ම අප ජීවත් වන කාලය මෙතරම් දුෂ්කර වීමට හේතු කිහිපයක් අපි කෙටියෙන් සලකා බලමු.

බලාපොරොත්තු සුන්වීමට හේතු

4, 5. අද දින මිනිසුන් මුහුණ පාන්නේ කුමන දේවල්වලටද? ඒ නිසා ඔවුන් සිටින්නේ කුමන තත්වයකද?

4 ලෝකයේ සිදු වන භයානක දේවල්වලින් පැහැදිලි වන්නේ අප ජීවත් වන්නේ මේ දුෂ්ට ‘සමාජයේ අවසාන කාල පරිච්ඡේදය’ තුළ බවයි. මිනිසුන් අද අද්දකිමින් සිටින්නේ යේසුස් සහ ඔහුගේ ගෝලයන් පැවසූ “අන්තිම දවස්වල” අංග ලක්ෂණයි. යේසුස් සඳහන් කළ ‘විපත්ති නිසා ඇති වන වේදනාවලට’ යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා සහ තවත් භයානක සිදුවීම් අයත් වෙනවා. එමෙන්ම සෑම තැනකම වගේ සිටින්නේ නීති විරෝධී, දෙවිගේ ප්‍රමිතිවලට විරුද්ධව කටයුතු කරන ආත්මාර්ථකාමි මිනිසුන්. එමනිසා දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට උත්සාහ කරන අයටද මෙය ‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලයක්’ වී තිබෙනවා.—මතෙ. 24:3, 6-8, 12; 2 තිමෝ. 3:1-5.

5 කෙසේනමුත් මේ කාලයේ මෙවන් දේවල් සිදුවීමට හේතුව කුමක්ද කියා බහුතරයක් දන්නේ නැහැ. තමන් සහ තම පවුලේ අයගේ ආරක්ෂාව ගැන බොහෝදෙනෙක් පසු වෙන්නේ ඉතා කනස්සල්ලෙනුයි. තවත් අයට ඔවුන්ගේ ප්‍රේමණීයන් මරණයෙන් අහිමි වී ඇති නිසා හෝ යම් විපත්ති නිසා ඔවුන් සිටින්නේ දරාගත නොහැකි වේදනාවකිනුයි. මේ දේවලට හේතුව නොදන්නා නිසා ඔවුන් සිටින්නේ බලාපොරොත්තු සුන් වූ තත්වයකයි.—එෆී. 2:12.

6. ජනයාට සහනයක් ගෙන දීමට “මහ බැබිලෝනිය” අසමත් වී ඇති හේතුව කුමක්ද?

6 “මහ බැබිලෝනිය” හෙවත් අසත්‍යය උගන්වන ආගම් එවැනි ජනයාට සහනයක් ලබා දී නැහැ. ඒ වෙනුවට ඇය ඇගේ “වේශ්‍යාකම නමැති වයින්වලින්” බොහෝදෙනෙකුව මත් කර ව්‍යාකූල කර තිබෙනවා. එනම් සැබෑ දෙවිව හඳුනාගෙන ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න ඔවුන්ට උපකාර කර නැහැ. ඒ වෙනුවට ඔවුන්ව නොමඟ යවා තිබෙනවා. ගණිකාවක් ලෙස ක්‍රියා කරන ඇය ‘පොළොවේ රජවරුන්ව’හෙවත් ලෝකයේ පාලකයන්ව තමාට කැමති පරිදි නම්මවාගෙන තිබෙනවා. එමෙන්ම ඇගේ භූතවාදී ක්‍රියා සහ බොරු ඉගැන්වීම් මගින් පොදු ජනයාව එම පාලකයන්ට යටත් කර දී තිබෙනවා. එයාකාරයෙන් ඇය තම බලය ප්‍රබල ලෙස තහවුරු කරගන්නා අතරතුර දෙවි පිළිබඳ සත්‍යය ප්‍රතික්ෂේප කර තිබෙනවා.—එළි. 17:1, 2, 5; 18:23.

7. මිනිසුන්ගෙන් බහුතරයකට සිදුවීමට නියමිත කුමක්ද? නමුත් සමහරුන්ට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද?

7 යේසුස් පැවසූ ලෙස අද දින බොහෝදෙනෙක් ගමන් කරමින් සිටින්නේ පළල් මාර්ගයෙයි. (මතෙ. 7:13, 14) සමහරුන් දෙවි පිළිබඳ සත්‍යය ප්‍රතික්ෂේප කරමින් කැමැත්තෙන්ම එහි ගමන් කරමින් සිටිනවා. එහෙත් දිගින් දිගටම එසේ කරමින් මහ බැබිලෝනිය තුළ රැඳී සිටින අය ‘මහත් පීඩාවේදී’ ගැලවෙන්නේ නැහැ. (එළි. 7:14) නමුත් තවත් පිරිසක් එහි ගමන් කරන්නේ නොදැනුවත්වයි. ඔවුන් එසේ කරන්නේ ආගමික නායකයන් ඔවුන්ට බොරු උගන්වා ඔවුන්ව රවටා ඇති නිසයි. දෙවි මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඔවුන්ට උගන්වා නැහැ. නමුත් එවැනි අයට බයිබලයේ ඇති සත්‍යය නිවැරදිව පහදා දුන්නොත් ඔවුන් එම පාරෙන් ඉවත් වී ඔවුන්ගේ ජීවිත වෙනස් කරගන්න ඉඩ තිබෙනවා.

අත් නෑර දේශනා කරන්න’

8, 9. විරුද්ධවාදිකම් හමුවේ මුල් ක්‍රිස්තියානීන් ක්‍රියා කළේ කෙසේද? ඒ ඇයි?

8 තම අනුගාමිකයන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දිගටම දේශනා කරන බවත් යේසුස් පැවසුවා. (මතෙ. 28:19, 20) එම කාර්යයේ හවුල් වීම සැබෑ ක්‍රිස්තියානීන් සලකන්නේ කෙසේද? තමන් දෙවිට දක්වන පක්ෂපාතකමේ සහ තම ඇදහිල්ල ක්‍රියාවෙන් පෙන්වන ප්‍රධාන ක්‍රමයක් හැටියටයි. යේසුස්ගේ මුල් ගෝලයන් දැඩි විරුද්ධවාදිකම් හමුවේ පවා අත් නෑර එහි හවුල් වුණේ ඒ නිසයි. අවශ්‍ය ශක්තිය හා ධෛර්යය දෙවිගෙන් ලැබෙන බව විශ්වාස කළ ඔවුන් ‘නිර්භීතකමින් වචනය දිගටම කතා කරන්න’ අවශ්‍ය උපකාරය ඉල්ලා යාච්ඤා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි තම බලය ඔවුන්ට නොඅඩුව ලබා දුන් නිසා ඔවුන් නිර්භීතකමින් ශුභාරංචිය දේශනා කළා.—ක්‍රියා 4:18, 29, 31.

9 නමුත් ඒ විරුද්ධවාදිකම් වඩාත් උත්සන්න වූ විට ඔවුන් ඊට බිය වී ඒ කාර්යය නතර කළාද? කොහෙත්ම නැහැ. යේසුස්ගේ ගෝලයන් කළ සේවයට කුපිත වූ යුදෙව් ආගමික නායකයන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ට තර්ජනය කර හොඳටම තැළුවා. ඒ වුණත් ඔවුන් “අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද” සිටියා. ඊට හේතුව නම් තමන් “කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිට” කියා ඔවුන් හොඳින් තේරුම්ගෙන තිබූ නිසයි.—ක්‍රියා 5:28, 29, 40-42.

10. අද දින ක්‍රිස්තියානීන් මුහුණ දෙන සමහර ගැටලු මොනවාද? නමුත් ඔවුන්ගේ යහපත් හැසිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

10 අද දින සිටින දෙවිගේ සේවකයන්ගෙන් වැඩිදෙනෙක් එවන් පහරකෑම්වලට ලක් වී නැහැ. නමුත් ඔවුන් යම් ආකාර පරීක්ෂා, පීඩාවලට මුහුණ දෙනවා. උදාහරණයකට ඔබ ඔබගේ හෘදය සාක්ෂිය පුහුණු කර තිබෙන්නේ බයිබල් ප්‍රමිතිවලට එකඟව නිසා ඔබ කටයුතු කරන්නේ ලෝකයේ මිනිසුන්ට වඩා වෙනස් ආකාරයටයි. ඒ නිසා රැකියා ස්ථානයේ, පාසැලේ අය හෝ අසල්වාසීන් ඔබව අමුතු පුද්ගලයෙක් ලෙස හංවඩු ගසන්න ඉඩ තිබෙනවා. නමුත් ඔවුන්ගේ කතාවලින් ඔබව අධෛර්යය කිරීමට ඉඩ දෙන්න එපා. දෙවිගෙන් ඈත් වූ මෙවැනි අය සිටින්නේ ඝන අන්ධකාර තත්වයකයි. ඒ නිසා අප එවන් අය අතරේ “ප්‍රදීප ලෙස බැබළෙමින්” සිටිය යුතුයි. (ෆිලි. 2:15) එවිට එය දකින අවංක අය අපව අගය කර යෙහෝවා දෙවිව මහිමයට පත් කරාවි.—මතෙව් 5:16 කියවන්න.

11. (අ) අපගේ දේවසේවයට සමහරුන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) පාවුල් මුහුණ පෑ විරුද්ධවාදිකම් මොනවාද? එමෙන්ම ඔහු ඒවාට මුහුණ දුන්නේ කෙසේද?

11 පීඩා විරුද්ධවාදිකම් මැද පවා දිගටම දේශනා කරන්න අපට ධෛර්යය අවශ්‍යයි. මෙම සේවය අඩාළ කිරීමට නෑදෑයන් මෙන්ම තවත් බොහෝ අය උත්සාහ කළ හැකියි. (මතෙ. 10:36) පාවුල් ගැන සිතා බලන්න. ඔහුත් අත් නෑර දේශනා කළ නිසා අවස්ථා ගණනාවකදීම පහරකෑම්වලට ලක් වුණා. නමුත් එවන් අවස්ථාවලදී ඔහු ක්‍රියා කළේ කෙසේද? ඒ ගැන ඔහුම පවසන්නේ මෙසේයි. ‘අපි වධ විඳ, නින්දාවට ලක් වුණෙමු. නමුත් ඉන්පසුව බොහෝ වෙහෙස දරමින් ඔබට දෙවිගේ ශුභාරංචිය කීමට අපි අපේ දෙවිගෙන් නිර්භීතකම ලැබුවෙමු.’ (1 තෙස. 2:2) පාවුල්ව අල්ලා ඔහුගේ ඇඳුම් ඉරා, කෝටුවලින් ඔහුට හොඳටම තැළුවා. ඒ විතරක් නෙවෙයි අවසානයේදී ඔහුව සිරගෙටත් දැමුවා. මේ සියල්ල යටතේ නොනවත්වා දේශනා කරන්න ඔහුට ධෛර්යය අවශ්‍ය වූ බව නම් හොඳටම පැහැදිලියි. (ක්‍රියා 16:19-24) මේ සඳහා ඔහුට නිර්භීතකම ලබා දුන්නේ කුමක්ද? ඒ, ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔහු තුළ තිබූ පුදුමාකාර උද්‍යෝගයයි.—1 කොරි. 9:16.

12, 13. සමහරුන් මුහුණ දෙන අභියෝග මොනවාද? ඉන් ගොඩ ඒමට ඔවුන් උත්සාහ කර තිබෙන්නේ කෙසේද?

12 දේශනා කිරීමට අපට ඇති උද්‍යෝගය හීන කළ හැකි දෙයක් තිබෙනවා. එනම් අප යන ප්‍රදේශවල මිනිසුන් ඔවුන්ගේ නිවෙස්වල නොසිටීම හෝ හමු වන අය පවා පණිවිඩයට එතරම් උනන්දුවක් නොදැක්වීමයි. එවිට අපට කළ හැක්කේ කුමක්ද? වෙනත් ස්ථානවලදී හමු වන අයට අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට අපට ධෛර්යය වඩවාගන්න සිදු විය හැකියි. තවත් අවස්ථාවලදී මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල දේශනා කිරීමට හෝ අප සේවයේ යෙදෙන වේලාවන්වල යම් වෙනසක් කිරීමට සිදු විය හැකියි.—යොහ. 4:7-15; ක්‍රියා 16:13; 17:17 බලන්න.

13 මහලු විය හා දුර්වල සෞඛ්‍ය තත්වය අප මුහුණ දෙන තවත් ගැටලුවක්. අප කරමින් සිටින සේවය අඩාළ වීමට එය හේතුවක් විය හැකියි. ඔබත් සිටින්නේ එවැනි තත්වයක නම් අධෛර්යය වන්න එපා. අපට කළ හැකි ප්‍රමාණය කුමක්ද කියා යෙහෝවා දෙවි හොඳින් දන්නා අතර ඔහු එය ඉහළින් අගය කරනවා. (2 කොරින්ති 8:12 කියවන්න.) එමනිසා දේශනා සේවයේදී විරුද්ධවාදිකම් පැමිණියත්, මිනිසුන් උනන්දුවක් නොදැක්වුවත් හෝ අසනීපවලින් පෙළුණත් ඔබේ සීමාවන් තුළ ඔබට කළ හැකි සියල්ල කරන්න.—හිතෝ. 3:27; මාක් 12:41-44 බලන්න.

‘ඔබගේ සේවය සම්පුර්ණ කිරීමට වගබලා ගන්න’

14. ක්‍රිස්තියානීන්ට පාවුල් තැබූ ආදර්ශය කුමක්ද? එමෙන්ම ඔහු දුන් උපදෙස කුමක්ද?

14 පාවුල් දේශනා සේවය සැලකුවේ ඉතා බැරෑරුම් කටයුත්තක් හැටියටයි. ඔහු අන් අයටද එසේ කිරීමට දිරිගැන්නුවා. (ක්‍රියා 20:20, 21; 1 කොරි. 11:1) පාවුල් කොලොස්සිවරුන්ට ලියූ ලිපියේ ආකිපස් නම් ක්‍රිස්තියානිවරයාට මෙවන් දිරිගැන්වීමක් දුන්නා. “ආකිපස්ට මෙසේ කියන්න. ‘ස්වාමීන් තුළ ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න.’” (කොලො. 4:17) ආකිපස් කියන්නේ කවුද කියාවත් ඔහු සිටි තත්වය කුමක්ද කියාවත් අප දන්නේ නැහැ. නමුත් දේශනා කිරීමේ කාර්යය ඔහු භාරගෙන තිබුණු බව පෙනෙන්න තිබෙනවා. ඒ හා සමානව ඔබත් දෙවිට කැප වූ ක්‍රිස්තියානියෙකු නම් ඉන් පැහැදිලි වෙන්නේ දේශනා කිරීමේ කාර්යය ඔබත් භාරගෙන ඇති බවයි. එසේනම් එම සේවය සම්පූර්ණ කිරීමට ඔබ උත්සාහ කරමින් සිටිනවාද?

15. ක්‍රිස්තියානියෙකු දෙවිට කැප වන විට එයින් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම අප සිතා බැලිය යුත්තේ කුමක් ගැනද?

15 අප බව්තීස්ම වීමට කලින් කළ හෘදයාංගම යාච්ඤාවෙන් අපගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කළා. ඉන් අප පෙන්වූයේ දෙවිගේ කැමැත්ත කිරීමට වූ අපගේ අධිෂ්ඨානයයි. එමනිසා අපි අවංකව මෙසේ සිතා බලමු. ‘ඇත්තටම මගේ ජීවිතයේ ප්‍රධානම දෙය දෙවිගේ කැමැත්ත කිරීමද?’ දෙවි අපගෙන් බලාපොරොත්තු වන ලෙස පවුලේ අයගේ අවශ්‍යතා සැපයීම වැනි නොයෙකුත් වගකීම් අපට තිබෙනවා විය හැකියි. (1 තිමෝ. 5:8) නමුත් ඊට අමතරව අපගේ කාලය හා ශක්තිය අප යොදවන්නේ කුමක් කිරීමටද? අප ජීවිතයේ මුල් තැන දෙන්නේ කුමකටද?—2 කොරින්ති 5:14, 15 කියවන්න.

16, 17. තරුණ ක්‍රිස්තියානීන්ට සිතා බැලිය හැක්කේ කුමක් ගැනද?

16 ඔබ මූලික පාසැල් අධ්‍යාපනය අවසන් කළ හෝ අවසන් කිරීමට ආසන්නයේ සිටින කැප වූ තරුණ ක්‍රිස්තියානියෙක්ද? සමහරවිට ඔබට තවමත් විශාල පවුල් වගකීම් නැතිව ඇති. එමනිසා ඔබ ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ගත කිරීමට තීරණය කර තිබෙන්නේ කෙසේද? ඔබ දෙවිට වූ පොරොන්දුවට අනුව ජීවත් වීමට නම් ඔබ ගත යුත්තේ කුමන තීරණද? ඔබ වැනි බොහෝදෙනෙක් පුරෝගාමි සේවයේ යෙදීමට හැකි වන ආකාරයෙන් ඔවුන්ගේ අනෙකුත් කටයුතු සකස් කරගෙන තිබෙනවා. එයින් ඔවුන් බොහෝ ප්‍රීතියක් මෙන්ම තෘප්තියක්ද අත් කරගෙන තිබෙනවා.—ගීතා. 110:3; දේශ. 12:1.

17 ඔබ පූර්ණ කාලීන රැකියාවක් කරන තරුණ ක්‍රිස්තියානියෙක්ද? ඔබට සමහරවිට බරපතළ පවුල් වගකීම් නැතිව ඇති. ඔබගේ කාලසටහනට අනුව සභාවේ වැඩකටයුතුවලට සහයෝගය දැක්වීමෙන් ඔබ දැනටමත් මහත් ප්‍රීතියක් ලබනවා ඇති. නමුත් ඒ ප්‍රීතිය තවත් වැඩි කරගන්න ඔබ කැමතිද? ඔබගේ දේශනා සේවය තව ටිකක් වැඩි කරගන්න ඔබ කල්පනා කර තිබෙනවාද? (ගීතා. 34:8; හිතෝ. 10:22) සමහර ප්‍රදේශවල සිටින ජනයාට මෙම ජීවිත ගලවන පණිවිඩය දැනුම් දීමේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. එවැනි ප්‍රදේශයකට ගොස් සේවය කිරීම සඳහා ඔබගේ කාලසටහනේ යම් වෙනස්කම් සිදු කරගැනීමට ඔබට පුළුවන්ද?—1 තිමෝති 6:6-8 කියවන්න.

18. තරුණ යුවළක් කළ වෙනස්කම් මොනවාද? එහි ප්‍රතිඵලය කුමක්ද?

18 ඇමරිකා එක්සත් ජනපදයේ සිටින අලුත විවාහ වූ යුවළක් වන කෙවින් සහ එලිනාගේ අද්දැකීම සලකා බලන්න. * අලුත් නිවසක් මිල දී ගැනීමට ඔවුන් අදහස් කළා. එමනිසා ඔවුන් දෙදෙනාම පූර්ණ කාලීන රැකියාවක නිරත වුණේ ඔවුන්ගේ ජීවිතය පහසුවෙන් ගත කිරීමට සිතා ගෙනයි. නමුත් ඔවුන් එසේ රැකියාවේ වැඩි කාලයක් ගත කරද්දී දේශනා සේවය සඳහා කාලය ඉතිරි වුණේ නැති තරම්. ඔවුන් තම කාලය සහ ශක්තිය යොදවමින් සිටියේ ඔවුන්ගේ ගේ දොර බඩු මුට්ටු වෙනුවෙන් බව ඔවුන්ට වැටහුණේ පසුවයි. කොහොමවුණත් ඉතාම සරල ජීවිතයක් ගත කරමින් සතුටින් සේවය කළ පුරෝගාමි යුවළක් සමඟ ආශ්‍රය කරන්න ඔවුන්ට අවස්ථාව ලැබුණා. ටික කලකට පසුව ඔවුන් ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් සම්බන්ධයෙන් තීරණයක් ගත්තා. මඟ පෙන්වීම් සම්බන්ධයෙන් ඔවුන් දෙවිට යාච්ඤා කළා. තම නිවස විකුණූ ඔවුන් කුලී නිවසක පදිංචියට ගියා. එලිනා රැකියාවට යෙදවූ පැය ගණන අඩු කළ අතර ඒ කාලය පුරෝගාමි සේවය සඳහා යෙදෙව්වා. එම සේවයෙන් ඇය ලබන ප්‍රීතිය දුටු ඇගේ පුරුෂයා වන කෙවින්ද රැකියාවෙන් අස් වී පුරෝගාමි සේවය පටන්ගත්තා. ඊට ටික කලකට පසු ඔවුන් දෙදෙනා දකුණු ඇමරිකාවේ අවශ්‍යතාව වැඩි රටකට ගොස් සේවය කරන්න පටන්ගත්තා. ඒ ගැන ඔවුන් පවසන්නේ මෙසේයි. “අපි දෙන්නා කොහොමත් හිටියේ සතුටින්. ඒත් දෙවිට වැඩිපුර සේවය කරද්දී ඒ සතුට තව තවත් වැඩි වුණා.”—මතෙව් 6:19-22 කියවන්න.

19, 20. අද තිබෙන වැදගත්ම කාර්යය වන්නේ ශුභාරංචිය දේශනා කිරීම කියා පැවසිය හැක්කේ ඇයි?

19 මේ පොළොව මත දැන් සිදු කරන වැදගත්ම කාර්යය වන්නේ ශුභාරංචිය දේශනා කිරීමයි. (එළි. 14:6, 7) දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට එය මහත් සේ දායක වෙනවා. (මතෙ. 6:9) සෑම වසරකම මිනිසුන් ශුභාරංචිය පිළිගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වඩා යහපත් අතට හැරී තිබෙන අතර ගැලවීම ලබාගැනීමටද ඔවුන්ට ඉන් ප්‍රස්තාව උදා වී තිබෙනවා. එහෙත් “දේශනා කරන්නෙකු නැතිව, ඔවුන් අසන්නේ කෙසේද?” කියා පාවුල් ඇසුවා. (රෝම 10:14, 15) ඔව් එය සත්‍යයක්. එමනිසා ශුභාරංචිය දේශනා කිරීම නමැති අපගේ සේවය සම්පුර්ණයෙන් ඉෂ්ට කිරීම සඳහා අපට හැකි සියල්ල කිරීමට අධිෂ්ඨාන කරගනිමු.

20 මේ අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු තත්වයන් ඇතිවීමට හේතුවත් සදාකාල ජීවනය වෙනුවෙන් හරි තීරණය ගන්නේ කෙසේද කියාත් ජනයාට තේරුම් කර දිය හැකි තවත් ආකාරයක් තිබෙනවා. එය නම් අප උගන්වන ආකාරය දියුණු කරගැනීමයි. එය කරන්නේ කෙසේද කියා අපගේ ඊළඟ ලිපියේ සාකච්ඡා කරයි.

[පාදසටහන]

^ 18 ඡේ. නම් වෙනස් කර ඇත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ක්‍රිස්තියානීන් හැටියට සෙසු මිනිසුන් සම්බන්ධයෙන් අපට ඇති වගකීම කුමක්ද?

• දේවසේවයට පැමිණෙන බාධා ජය ගැනීමට අපට හැක්කේ කෙසේද?

• අප භාරගත් සේවය සම්පුර්ණයෙන් ඉෂ්ට කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ පින්තූරය]

විරුද්ධවාදිකම් හමුවේ දේශනා කිරීමට ධෛර්යය අවශ්‍යයි

[7වන පිටුවේ පින්තූරය]

ඔබ සේවය කරන ප්‍රදේශයේ මිනිසුන්ව නිවෙස්වලදී හමුවීමට නොහැකි නම් කුමක් කළ හැකිද?