Skip to content

පටුනට යන්න

දිගටම ගවේෂණය කිරීමට ඔවුන්ට ලැබුණු දිරිගැන්වීම

දිගටම ගවේෂණය කිරීමට ඔවුන්ට ලැබුණු දිරිගැන්වීම

123වන ගිලියද් පාසැල

දිගටම ගවේෂණය කිරීමට ඔවුන්ට ලැබුණු දිරිගැන්වීම

වර්ෂ 2007 සැප්තැම්බර් 8වනදා රටවල් 41කින් 6,352 පැමිණ සිටියා. ඒ කුමක් සඳහාද? 123වන ගිලියද් පාසැලේ පැවරුම් ලබා දීමේ වැඩසටහන සඳහායි. එම වැඩසටහනේ සභාපති වූයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනී මොරිස්. ඔහු උදෑසන 10ට, වැඩසටහන ආරම්භ කරමින් පැමිණ සිටි සියලුදෙනාවම සාදරයෙන් පිළිගත්තා. පසුව වැඩසටහන සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කළ ඔහු පළමු කථිකයා වන සහෝදර ගැරි බ්‍රෝව හඳුන්වා දුන්නා. ඔහු එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක්.

සහෝදර බ්‍රෝ එහි සිටි ශිෂ්‍යයන්ට ඉතා වැදගත් කාරණයක් පැහැදිලි කළා. එනම් ඔවුන්ගේ පිටාතර පෙනුම කුමක් වුණත් දෙවිගේ කැමැත්ත කරන සියල්ලන්ම දෙවිට ඉතාමත් වටිනා පුද්ගලයන් බවයි. (යෙරෙ. 13:11) එමනිසා එම වටිනාකම කෙදිනකවත් බාල කර නොගන්න කියා ඔහු ශිෂ්‍යයන්ට උනන්දු කළා. ඊළඟ කථිකයා වූයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ගෙරිට් ලොෂ්. ඔහු අවධාරණය කළේ දෙවිට සේවය කිරීමෙන් අපට ලැබෙන ආශීර්වාද කෙරෙහි බලා සිටීම හොඳ දෙයක් බවයි. (හෙබ්‍රෙ. 11:6) නමුත් අප එසේ කළ යුත්තේ ආත්මාර්ථකාමී චේතනාවෙන් නොවන බව ඔහු පැවසුවා.

ඊළඟට ශිෂ්‍යයන්ව ඇමතුවේ දිව්‍යාණ්ඩු සේවා පාසැල් අංශයේ අවේක්ෂක සහෝදර විලියම් සැමුයල්සන්. * ඔහු ශිෂ්‍යයන්ට උනන්දු කළේ යේසුස් රජ වී ඇති බව දැනුම් දීමට ලැබීම ඉතාමත් ගෞරවාන්විත පැවරුමක් බවයි. එමනිසා ඔවුන්ගේ යහපත් හැසිරීම මගින් ඊට ගෞරවය පෙන්වන්න කියාත් එම පැවරුම විශ්වාසවන්තව ඉෂ්ට කරන්න කියාත් ඔහු ඔවුන්ව දිරිගැන්වූවා. ඉහත සඳහන් කළ අංශයේ සහය අවේක්ෂක වන සහෝදර සෑම් රොබර්සන්ගේ කතාව තුළදී ඔහු ශිෂ්‍යයන්ට සිහිගැන්වූයේ නිතරම අන් අයගේ යහපත් ගුණාංග අගය කරන්න කියායි. එසේ කිරීමෙන් “මුළු සහෝදර සංගමයටම ප්‍රේම කරන්න” ඔවුන්ට හැකි වන බවත් ඔහු අවධාරණය කළා.—1 පේතෘ. 2:17.

එම දිරිගන්වනසුලු කතාවලින් පසුව සම්මුඛ සාකච්ඡාවන් ගණනාවක් පැවැත්වුණා. ඒවා මෙහෙයවූයේ ගිලියද් උපදේශකයෙකු වන සහෝදර මාක් නූමෑය විසිනුයි. ඒ සඳහා ඔහු ශිෂ්‍යයන් ගණනාවක්ම කැඳවූ අතර ගිලියද් පාසැල අතරතුර දේශනා සේවයේ හවුල් වීමෙන් ඔවුන් ලැබූ අද්දැකීම්ද සාකච්ඡා කළා. මිනිසුන් කෙරෙහි මෙන්ම දේවසේවය වෙනුවෙන් මොන තරම් ඇල්මක් මේ ශිෂ්‍යයන්ට තිබෙනවාද කියා ඔවුන්ගේ අදහස් මගින් සබයේ සිටි සියල්ලන්ට හොඳින් අවබෝධ වුණා. ඊළඟට, පැටසන් බෙතෙල් කාර්යාලයෙන් පැමිණි සහෝදර කෙන්ට් ෆිෂර්, දැනටමත් මිෂනාරිවරුන් සිටින රටවල් තුනක ශාඛා කාර්යාල සාමාජිකයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදුණා. එහිදී සබයේ සිටි නවක මිෂනාරිවරුන්ගේ දෙමව්පියන් ඇතුළු සෙසු අයට මෙම විශ්වාසවන්ත සහෝදරයන්ගේ වචන මහත් දිරිගැන්වීමක් වුණා. මේ සහෝදරයන් පැවසුවේ ඔවුන්ගේ රටට පැමිණි මිෂනාරිවරුන්ව ඔවුන් ඉතා හොඳින් රැකබලා ගන්නා බවයි. පරිවර්තන සේවා අංශයේ සේවය කරන සහෝදර ඉසාක් මරේද බොහෝ කාලයක් පුරා මිෂනාරි සේවයේ යෙදෙමින් සිටින කිහිපදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. ඔවුන්ගේ අද්දැකීම්වලට සවන් දීම මෙම නවක මිෂනාරිවරුන්ට මහත් ප්‍රීතියක් වුණා. එමෙන්ම මිෂනාරි සේවයෙන් මොන තරම් තෘප්තියක් ලැබෙනවාද යන්න ගැනත් ඔවුන්ට යම් ඉඟියක් ඉන් ලැබුණා.

මෙම වැඩසටහනේ මූලික කතාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ජෙෆ්රි ජැක්සන් විසිනුයි. ඔහු පැසිෆික් සාගරයේ දකුණට වෙන්න තිබූ දූපත්වල අවුරුදු 25කට ආසන්න කාලයක් පුරා මිෂනාරිවරයෙක් හැටියට සේවය කර තිබුණා. සහෝදර ජෙෆ්‍රිගේ කතාවේ තේමාව වූයේ “මේ සියල්ලට සවන් දුන් ඔබේ තීරණය කුමක්ද?” යන්නයි. එහිදී ඔහු කන්ද උඩ දේශනාවේ සඳහන් නිවෙස් ගොඩනැඟූ නුවණ ඇති සහ නුවණ නැති මිනිසුන් දෙදෙනා ගැන කතා කළා. පෙනෙන ආකාරයට මේ නිවෙස් දෙකම ගොඩනඟා ඇත්තේ එක හා සමාන බිම් ප්‍රදේශයක බව කථිකයා පැවසුවා. නමුත් වෙනසක් තිබුණා. එනම් නුවණ නැති මිනිසා තම අත්තිවාරම දැමුවේ නිකම්ම වැලි මතයි. නමුත් නුවණ ඇති මිනිසා ගලක් මතු වන තුරු ඒ වැලි පොළොව හාරා, ඒ මත අත්තිවාරම දමා ඔහුගේ නිවස ගොඩනැඟුවා. පසු කලෙක ඉතා දරුණු කුණාටුවක් හමා ඒ නිවෙස්වලට ගැසූ අතර වැලි මත ගොඩනැඟූ නිවස කඩා වැටුණා. නමුත් ගල මත ගොඩනැඟූ ගෙයට කිසිම හානියක් වුණේ නැහැ.—මතෙ. 7:24-27; ලූක් 6:48.

එහි සඳහන් නුවණ නැති මිනිසාගෙන් නියෝජනය වන්නේ යේසුස්ගේ ඉගැන්වීම් ඇසුවත් ඒවා අදාළ කර නොගත් මිනිසුන් බව යේසුස් පැවසුවා. යේසුස්ගේ ඉගැන්වීම් අසා ඒවාට අනුව ජීවත් වන මිනිසුන් නුවණ ඇති මිනිසාට සමාන වන බවත් ඔහු පැහැදිලි කළා. එම උපමාව නවක මිෂනාරිවරුන්ට අදාළ කරමින් සහෝදර ජැක්සන් පැවසුවේ මෙයයි. “ඔබත් බයිබලය අධ්‍යයනය කිරීම තුළින් ඉගෙනගන්නා දේවල් ඔබගේ මිෂනාරි සේවයට අදාළ කරගන්නා විට ඒ නුවණ ඇති මිනිසා මෙන් වීමට ඔබටත් පුළුවන්.” ඒ අනුව කතාව අවසානයේදී ඔහු ශිෂ්‍යයන්ට උනන්දු කළේ ඔවුන්ගේ මිෂනාරි සේවය තුළත් “හාරන්න පටන්ගන්න” නැත්නම් ගවේෂණය කරන්න පටන්ගන්න කියායි.

වැඩසටහන අවසානයේදී ශිෂ්‍යයන්ට ඔවුන්ගේ පැවරුම් පිරිනමනු ලැබූ අතර සහෝදර මොරිස් විසින්ද අවසන් වශයෙන් යම් මඟ පෙන්වීම් කිහිපයක් දෙනු ලැබුවා. සෑම කාරණයකදීම යේසුස් මෙන් කටයුතු කරන්න කියාද ශක්තිය අවශ්‍ය සෑම වේලාවකදීම යෙහෝවා දෙවිගේ පිහිට පතන්න කියාද ඔහු ශිෂ්‍යයන්ව දිරිගැන්වූවා. ඔහුගේ එම වදන් සමඟින් වැඩසටහන අවසන් වුණා.

[පාදසටහන]

^ 5 ඡේ. ගිලියද් පුහුණු පාසැල, ශාඛා කමිටු සාමාජික පුහුණු පාසැල සහ සංචාරක අවේක්ෂකයන් පුහුණු කිරීමේ පාසැල යන මේවා ක්‍රියාත්මක වන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැල් අංශය යටතේයි. එම අංශය ක්‍රියාත්මක වන්නේ ඉගැන්වීම් කමිටුවේ අධීක්ෂණය යටතේයි.

[31වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 10

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 24

ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව: 56

වයසේ සාමාන්‍යය: 33.5

සත්‍යයේ සිටි වසර ගණනේ සාමාන්‍යය: 17.9

පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.8

[32වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 123වන පංතිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබෙනවා.

(1) එස්පාර්සා, ඊ.; පපායා, එස්.; බිලාල්, ඒ.; සුවාරේස්, එම්.; එවර්ස්, ඊ.; දිමිචීනෝ, කේ. (2) රෝසා, එම්.; ෆූජී, ආර්.;රේටි, ඕ.; ලෙවටන්, ජේ.; වැන් ලීම්පුටන්, එම්. (3) බොස්කායිනෙ, ඒ.; බෙක්, කේ.; බූඩනොෆ්, එච්.; බ්‍රාස්, සී.; පෙල්ට්ස්, කේ.; සියව්, ඒ. (4) ලෙවටන්, එස්.; සන්තික්කෝ, එච්.; කොන්ති, එස්.; විල්සන්, ජේ.; රයිලට්, ජේ.; පියස්, එස්.; ෆූජී, කේ. (5) රෝසා, ඩී.; බොස්කායිනෙ, එම්.; ඔස්ටින්, වී.; රොඩ්යෙල්, පී.; බිලාල්, පී.; දිමිචීනෝ, පී. (6) රේටි, වී.; චිසික්, ඩී.; ක්ලාක්, සී.; රීඩ්ල්, ඒ.; එස්පාර්සා, එෆ්.; සියව්, පී.; වැන් ලීම්පුටන්, ටී. (7) රොඩ්යෙල්, ජේ.; එවර්ස්, ජේ.; ග්‍රීන්, ජේ.; චිසික්, ජේ.; සන්තික්කෝ, එම්.; රයිලට්, එම්. (8) පෙල්ට්ස්, එල්.; ඔස්ටින්, ඩී.; රීඩ්ල්, ටී.; බෙක්, එම්.; පියස්, ඩබ්.; කොන්ති, එස්.; ග්‍රීන්, එස්. (9) සුවාරේස්, ජේ.; ක්ලාක්, ජේ.; පපායා, එස්.; බූඩනොෆ්, එම්.; විල්සන්, ආර්.; බ්‍රාස්, ආර්.