Skip to content

පටුනට යන්න

දිගටම දෙවිට කීකරු වන්න

දිගටම දෙවිට කීකරු වන්න

දිගටම දෙවිට කීකරු වන්න

“යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇත්තාවූ ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ සන්තෝෂවත්ය.”—ගීතා. 128:1, නව ලොව පරිවර්තනය, NW.

1, 2. ජීවිතයේ සතුට අත් කරගත හැකි දෙයක් බව අපට තහවුරු වන්නේ කුමකින්ද?

අප සියලුදෙනාම ජීවිතයේ ලබන්න ආශා කරන දෙයක් තිබෙනවා. එය නම් සතුටයි. නමුත් කෙනෙක් ඊට ආශා වූ පමණින් එය භුක්ති විඳිනවා කියා පැවසිය නොහැකියි.

2 ඉන් අදහස් කරන්නේ සැබෑ සතුට අත් කරගත නොහැකි බවද? කොහෙත්ම නැහැ. ගීතාවලිය 128:1හි [NW] පවසන්නේ “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇත්තාවූ ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ සන්තෝෂවත්ය” කියායි. ඉන් තහවුරු වන්නේ අප යෙහෝවා දෙවිට ගරුබිය ඇතිව ඔහු අණ කර තිබෙන ලෙස ජීවත් වෙනවා නම් අපට සැබෑ සතුට ලැබිය හැකි බවයි. ඒ සඳහා අප වර්ධනය කරගත යුතු ගුණාංග කිහිපයක් දැන් අපි සලකා බලමු.

විශ්වාසවන්ත පුද්ගලයෙකු වන්න

3. අප විශ්වාසවන්ත පුද්ගලයන් බව දෙවිට කළ අපගේ කැපවීම මගින් පෙන්විය හැක්කේ කෙසේද?

3 යෙහෝවා දෙවිට ගරුබිය ඇති පුද්ගලයන් ඔහු මෙන් විශ්වාසවන්තයි. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් පොරොන්දු එකක් නෑර ඉෂ්ට කිරීම මගින්, ඔහු ඉතා විශ්වාසවන්ත කෙනෙකු බව ඔප්පු කළා. (1 රාජා. 8:56) ඔහුගේ සේවකයන් හැටියට අපද දෙවිට ඉතා වැදගත් පොරොන්දුවක් වී තිබෙනවා. එය නම් දෙවිට වූ අපගේ කැපවීමයි. ඊට එකඟව ජීවත් වීමෙන් අප විශ්වාසවන්ත පුද්ගලයන් බව පෙන්විය හැකියි. ඒ සඳහා අප දෙවිගේ උපකාර ඉල්ලිය යුතු අතර දාවිත් මෙන් මෙසේ යාච්ඤා කිරීමටත් අපට හැකියි. ‘දෙවියනි, ඔබ මා දුන් පොරොන්දුවලට ඇහුම්කන් දුන්නේය. මම සදහටම ඔබේ නාමය ගැන ප්‍රශංසා ගී ගයන්නෙමි. එවිට මට සැමදා මාගේ පොරොන්දු ඉටු කිරීමට හැකි වෙයි.’ (ගීතා. 61:5, 8NW; දේශ. 5:4-6) අපට දෙවිගේ මිතුරෙකු වීමටද විශ්වාසවන්තකම අත්‍යවශ්‍යයි.—ගීතා. 15:1, 4.

4 දෙවිට වූ පොරොන්දුව යෙප්තා සහ ඔහුගේ දියණිය සැලකුවේ කෙසේද?

4 ඊශ්‍රායෙලයේ සිටි විනිශ්චයකාරයෙකු වූ යෙප්තාද විශ්වාසවන්තකම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ඔහු දෙවිට භාරයක් වුණා. එනම් අම්මොන්වරුන් සමඟ කරන යුද්ධයෙන් දෙවි ඔහුට ජය ලබා දුන්නොත් ඔහු නිවසට නැවත එන විට මුලින්ම හමු වන තැනැත්තාව “දවන පූජාවක්” ලෙස ඔප්පු කරන බවයි. ඒ අනුව ඔහු ජය ලබා පැමිණෙද්දී ඔහු ඉදිරියට පළමුවෙන් පැමිණියේ ඔහුගේ එකම දරුවා වූ ඔහුගේ දියණියයි. විවාහය සහ දරුවන් ලැබීම ඊශ්‍රායෙල්වරුන් සැලකුවේ ඉතාමත් උසස් දෙයක් හැටියටයි. නමුත් යෙප්තාගේ දියණිය එය කැමැත්තෙන්ම කැප කළා. මේ දෙදෙනාටම දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබූ අතර යෙප්තා දෙවිට වූ තම පොරොන්දුව ඉටු කළා. මෙසේ යෙප්තාගේ දියණිය සැමදා තනිකඩව සිට දෙවිට සේවය කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.—විනි. 11:28-40.

5. හන්නා තම විශ්වාසවන්තභාවය පෙන්වූයේ කෙසේද?

5 විශ්වාසවන්තකම සම්බන්ධයෙන් තවත් කදිම ආදර්ශයක් වන්නේ හන්නායි. ඇගේ පුරුෂයාගේ නම එල්කානා වූ අතර ඔහුට පෙනින්නා කියා තවත් භාර්යාවක්ද සිටියා. මොවුන් ජීවත් වුණේ එෆ්‍රායිම් නමැති කඳුකර ප්‍රදේශයේයි. හන්නා වඳ ස්ත්‍රියක් වූ නමුත් පෙනින්නාට නම් දරුවන් සිටියා. ඒ නිසා පෙනින්නා නිතරම හන්නාට අපහාස කළා. ඇය විශේෂයෙන්ම මෙසේ කළේ මොවුන් පවුලක් හැටියට දෙවිගේ ගෘහයට යන අවස්ථාවලදීයි. එවන් එක් අවස්ථාවකදී හන්නා දෙවිට භාරයක් වෙමින් පැවසුවේ ඇයට පුතෙක් ලැබුණොත් ඔහුව දෙවිගේ ගෘහයේ සේවයට කැප කරන බවයි. ඒ අනුව ඇය වැඩි කල් නොගොස් පුත්‍රයෙකු බිහි කළ අතර ඔහුට සාමුවෙල් යන තැබුවා. ඔහු කිරි වැරූ පසු ‘ඔහුගේ ජීවිත කාලය පුරාම’ දෙවිගේ ගෘහයේ සේවය කිරීම සඳහා ඇය ඔහුව ඉදිරිපත් කළා. (1 සාමු. 1:11NW) තමන්ට තවත් දරුවන් ලැබෙයිද නැද්ද කියා ඇය දැන සිටියේ නැතත් දෙවිට වූ භාරය ඇය ඉතා විශ්වාසවන්තව ඔප්පු කළා.—1 සාමු. 2:20, 21.

6. තිකිකස් විශ්වාසවන්ත පුද්ගලයෙක් වූයේ කෙසේද?

6 දැන් අපි මුල් සියවසේ සිටි “විශ්වාසවන්ත දේවසේවකයෙකු” වූ තිකිකස් ගැන සලකා බලමු. (කොලො. 4:7) ඔහු පාවුල් සමඟ ග්‍රීසියේ සිට මැසිඩෝනියාව සහ සුළු ආසියාව මෙන්ම සමහරවිට යෙරුසලමේත් සංචාරය කළා. (ක්‍රියා 20:2-4) වරක් යුදයේ සිටි දිලිඳු ක්‍රිස්තියානීන්ට අවශ්‍ය සහනාධාර බෙදා දීම සඳහා තීතස්ට උපකාර කළ “ඒ සහෝදරයා” කියා පාවුල් විස්තර කරන්නේ තිකිකස්ව විය හැකියි. (2 කොරි. 8:18, 19; 12:18) එමෙන්ම පාවුල්ව රෝමයේ සිරගත කළ මුල් වතාවේදී එෆීසයේ සහ කොලොස්සියේ තිබූ සභාවලට පාවුල් ලියූ ලිපි රැගෙන ගියේ ඔහුයි. (එෆී. 6:21, 22; කොලො. 4:8, 9) පාවුල්ව දෙවන වරට රෝමයේ සිරගත කළ අවස්ථාවේදීත් ඔහු එෆීසයට යැව්වේ තිකිකස්වයි. (2 තිමෝ. 4:12) අපත් ඔහු මෙන් විශ්වාසවන්තව කටයුතු කරනවා නම් දෙවිගේ සේවය තුළ බොහෝ වරප්‍රසාද භුක්ති විඳීමට අපටත් හැකියි.

7, 8. දාවිත් සහ යොනාතාන් එකිනෙකාට විශ්වාසවන්ත මිතුරන් වූයේ කෙසේද?

7 විශ්වාසවන්ත මිත්‍රයන් වීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (හිතෝ. 17:17) ඒ සම්බන්ධයෙන් දාවිත් සහ යොනාතාන් කදිම ආදර්ශයක්. යොනාතාන් දාවිත්ගේ කිට්ටුම මිතුරා වුණා. යෝධ ගොලියත්ව දාවිත් මරා දැමූ බව ඇසූ ‘යොනාතාන්ගේ සිත දාවිත් වෙත ඇදී ගියා. එදා පටන් ඔහු තම පණට මෙන් දාවිත්ට ආදරේ කළා.’ (1 සාමු. 18:1, 3NW) ඒ විතරක් නොවෙයි, තම පියා වූ සාවුල් දාවිත්ව මරන්න සෙවූ අවස්ථාවේදීද ඔහු දාවිත්ට ඒ ගැන අනතුරු ඇඟෙව්වා. ඒ නිසා දාවිත් පණ බේරාගැනීමට පලා ගියත් යොනාතාන් ඔහුව හමු වී ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. පසුව යොනාතාන් දාවිත් වෙනුවෙන් සාවුල්ට කතා කළ අතර ඉන් ඔහුගේ ජීවිතය නැති වෙන්න පවා ඉඩ තිබුණා. දාවිත් සහ යොනාතාන් නැවතත් මුණගැසුණු අතර ඉන් ඔවුන්ගේ මිත්‍රකම තවත් ශක්තිමත් වුණා. (1 සාමු. 20:24-41) ඔවුන්ගේ අවසාන හමුවීමේදී යොනාතාන් දාවිත්ව දිරිගන්වමින් “දෙවි කෙරෙහි” දාවිත්ට තිබූ විශ්වාසය තවත් ශක්තිමත් කළා.—1 සාමු. 23:16-18NW.

8 පසුව පිලිස්තිවරුන් සමඟ පැවති සටනකදී යොනාතාන් මිය ගියා. (1 සාමු. 31:6) ඒ ගැන තමාට දැනුණු ශෝකය දාවිත් ගීතිකාවකින් පළ කළේ මෙසේයි. “අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන බොහෝ සෙයින් දුක් වෙමි. ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද! ඔබ මට පෙන්වූ ප්‍රේමය මොන තරම් මිහිරිද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!” (2 සාමු. 1:26NW) එකිනෙකාට විශ්වාසවන්ත මිත්‍රයන් වීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා මොන තරම් කදිම ආදර්ශයක්ද!

නිතරම “යටහත්පහත් මනසක් ඇතිව” සිටින්න

9. යටහත්පහත් මනසක් ඇතිව සිටීම මොන තරම් වැදගත්ද?

9 දෙවිගේ මිතුරෙකු වීමට නම් අපි “යටහත්පහත් මනසක් ඇතිව” සිටිය යුතුයි. (1 පේතෘ 3:8; ගීතා. 138:6) මෙය කොතරම් වැදගත් ගුණාංගයක්ද කියා අපට පුරාණ සිද්ධියකින් දැකගත හැකියි. වරක් ගිඩියොන්ගේ පුත් යෝතාම් මෙසේ පැවසූවා. “එකමත් එක රටක සියලුම ගස් එකතු වී රජ කෙනෙක්ව පත් කරන්න තීරණය කළා.” මෙම වාර්තාවේ ඔලීව, අත්තික්කා, මිදි යන ගස් ගැන සඳහන් වෙනවා. ඒවායින් සංකේතවත් කළේ ඊශ්‍රායෙල්හි රජකම ලැබීමට සුදුසු පුද්ගලයන්වයි. නමුත් ඔවුන්ට සෙසු ඊශ්‍රායෙලිතයන්ගේ පාලකයන් වීමට වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් වාර්තාවේ දරට පමණක් සුදුසු වූ කටු පඳුරක් ගැනද සඳහන් වී තිබෙනවා. ඉන් නියෝජනය කළේ කාවද? ඒ බලතණ්හාවෙන් පිරි කෲර පාලනයක් දියත් කළ මිනීමරු අබිමෙලෙක් ගැනයි. ඔහු ‘අවුරුදු තුනක් පුරා ඊශ්‍රායෙල් දේශය පාලනය’ කළත් ඔහුට අකාලයේ මිය යන්න සිදු වුණා. (විනි. 9:8-15, 22, NW; 50-54) “යටහත්පහත් මනසක්” ඇතිව සිටීම මොන තරම් හොඳද!

10. ‘දෙවිව මහිමයට පත් නොකළ’ හෙරොද්ගෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

10 තවත් උඩඟු රජෙක් වූයේ පළමු සියවසේ සිටි හෙරොද් අග්‍රිපායි. ඔහුට තීර් සහ සීදොන් රටවල් සමඟ ගැටුම් තිබුණා. නමුත් ඔහු සමඟ සාමය ඇති කරගැනීමට ඔවුන් උත්සාහ කළ අවස්ථාවකදී ඔහු ඔවුන්ව අමතමින් කතාවක් කළා. එවිට “මෙය මිනිසෙකුගේ කටහඬක් නොව දෙවි කෙනෙකුගේ කටහඬක්!” කියා රැස්ව සිටි ඔවුන් කෑගැසුවා. උඩඟු හෙරොද් එම “මහිමය දෙවිට නොදුන්” නිසා දෙවිගේ දූතයෙක් ඔහුට පහර දුන් අතර ඉතාමත් නින්දාසහගත මරණයකට ඔහු මුහුණ දුන්නා. (ක්‍රියා 12:20-23) “යටහත්පහත් මනසක්” නොතිබීමේ ප්‍රතිඵල මොන තරම් භයානකද! අපටත් දේවවචනය ඉගැන්වීම සම්බන්ධයෙන් යම් දක්ෂතාවයක් තිබිය හැකියි. ඒ ගැන අපි නිතරම දෙවිට ප්‍රශංසා කරනවාද?—1 කොරි. 4:6, 7; යාකො. 4:6.

ධෛර්යවත් වන්න

11, 12. දෙවි තම සේවකයන්ට අවශ්‍ය ධෛර්ය ලබා දෙන බව ඒනොක්ගේ සිද්ධියෙන් ඔප්පු වන්නේ කෙසේද?

11 අපි යටහත්පහත් වී දෙවිගේ අණ පනත් පවත්වනවා නම් ඔහු අපට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය ලබා දෙයි. (ද්වි. 31:6-8, 23) පුරාණයේ සිටි ඒනොක් ගැන සිතා බලන්න. ඔහු ඉතාමත් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ දෙවිගේ සේවකයෙක්. (උත්. 5:21-24) ඔහුගේ කාලයේ සිටි දුෂ්ට මිනිසුන්ට දෙවිගේ විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය දෙවි ඔහුට ලබා දුන්නා. (යූද් 14, 15 කියවන්න.) අද දිනත් දෙවි ගෙනෙන විනාශය ගැන අනතුරු අඟවන්න අවශ්‍ය ධෛර්යය ඔබටත් තිබෙනවාද?

12 ඒනොක් පැවසූ ලෙස දෙවි නෝවාගේ කාලයේදී ජලගැල්මක් මගින් දුෂ්ටයන්ව විනාශ කළා. ඒ වුණත් ඔහුගේ පණිවිඩය අදටත් අදාළ වන අතර ඉන් අපට ගෙන දෙන්නේ මහත් ශක්තියක්. ඊට හේතුව නම් අද පවතින දුෂ්ට සමාජයද ළඟදීම දෙවි විනාශ කිරීමට නියමිත නිසයි. (එළි. 16:14-16; 19:11-16) අප ප්‍රකාශ කරන්නේ දෙවිගේ රාජ්‍ය මගින් ගෙනෙන ආශීර්වාද ගැන වේවා, දුෂ්ටයන් මත ගෙනෙන විනාශය ගැන වේවා, ඒ කුමක් වුවත් ඒ සඳහා අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය ඉල්ලා දෙවිට යාච්ඤා කරමු. ඔහු අපට එය ලබා දෙනවා ස්ථිරයි.

13. කලකිරවන තත්වයන්වලදී අපට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය දෙවි ලබා දෙන බවට අපට නිසැක විය හැක්කේ ඇයි?

13 අප යම් කලකිරවන තත්වයන් සමඟ පොරබදින විටත් දෙවි සපයන ධෛර්යය සහ ශක්තිය අවශ්‍යයි. මේ උදාහරණය සලකා බලන්න. ඒසව් පාවාගත් හිත්තීය ජාතික භාර්යාවන් දෙදෙනා නිසා ඔහුගේ දෙමව්පියන් වන “ඊසාක්ට සහ රෙබෙකාට ජීවිතය තිත්ත” වුණා. ඒ නිසා රෙබෙකා මේ විදිහට වැලපුණා. “හෙත්ගේ දූවරුන් නිසා මට මගේ ජීවිතය එපා වෙලා. යාකොබ් කවදා හරි දවසක ඒසව් මෙන් මේ දේශයෙන් බිරිඳක් සොයා ගත්තොත් මගේ ජීවිතෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?” (උත්. 26:34, 35; 27:46NW) ඒ නිසා ඊසාක් තම පුත් යාකොබ්ට දෙවිගේ නමස්කාරකයන් අතරින් භාර්යාවක් සොයාගැනීම සඳහා ඔහුව නෑදෑයින් වෙත පිටත් කර හැරියා. ඒසව් කළ දේ වෙනස් කිරීමට ඊසාක්ට සහ රෙබෙකාට හැකි වුණේ නැහැ. නමුත් මෙම කලකිරවන තත්වය හමුවේ දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ප්‍රඥාව දෙවි ඔවුන්ට ලබා දුන්නා. අපත් එවන් තත්වයන්වලට මුහුණ දෙන විට දෙවිගේ උපකාර ඉල්ලා අයදිනවා නම් ඔහු අපට එය ලබා දෙනවා නිසැකයි.—ගීතා. 118:5.

14. ඊශ්‍රායෙල් දැරියක් ධෛර්යය පෙන්වූයේ කෙසේද?

14 ඊට බොහෝ කලකට පසු සිදු වූ තවත් දෙයක් සලකා බලන්න. සිරියාවේ වහල්කමට ගෙන ගොස් සිටි කුඩා ඊශ්‍රායෙල් දැරියකට එරටේ සිටි නාමන් නමැති හමුදාපතිගේ නිවසේ සේවය කරන්න සිදු වුණා. ඔහු ලාදුරු රෝගියෙක්. අනාගතවක්තෘ එලිෂා මාර්ගයෙන් යෙහෝවා දෙවි කළ ආශ්චර්යවත් ක්‍රියා ගැන මේ කුඩා දැරිය අසා තිබූ නිසා ධෛර්ය වඩවාගෙන නාමන්ගේ භාර්යාවට ඇය මෙසේ පැවසුවා. “මගේ ස්වාමියා සමාරියේ ඉන්න අනාගතවක්තෘවරයාව මුණගැහෙන්න ගියා නම් කොයි තරම් හොඳද! ඔහුට පුළුවන් මගේ ස්වාමියාගේ ලාදුරු රෝගය සුව කරන්න.” ඈ කී පරිදි නාමන් එලිෂා වෙතට ගොස් සම්පූර්ණ සුවයක් ලැබුවා. (2 රාජා. 5:1-3NW) අද දිනත් බොහෝ දරුදැරියන් යෙහෝවා දෙවිගේ උපකාර ඇතිව පාසැල් ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට හා වෙනත් අයට ධෛර්යවත්ව සාක්ෂි දරනවා. කුඩා ඊශ්‍රායෙල් දැරිය ඔවුන්ට මොන තරම් කදිම ආදර්ශයක්ද!

15. ඔබදියා ධෛර්යවත්ව කළ ක්‍රියාව කුමක්ද?

15 දෙවි සපයන ධෛර්ය පීඩා විඳදරාගැනීමටත් අපට උපකාර කරනවා. ආහබ් රජගේ මාලිගාවේ සේවය කළ ඔබදියා ගැන සලකා බලන්න. ඔහු අනාගතවක්තෘ එලියාගේ කාලයේ ජීවත් වූ කෙනෙක්. යෙසබෙල් රැජින දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මැරීමට අණ දුන් විට ඔබදියා ඔවුන්ගෙන් 100දෙනෙකු රැගෙන “පනස්දෙනා බැගින් ගුහා” දෙකක සඟවා තැබුවා. (1 රාජා. 18:13, NW; 19:18) අද දිනත් එවැනි තත්වයක් පැන නැගුනොත් ඔබත් ඔබදියා මෙන් ධෛර්යවත්ව, පීඩා විඳින සහෝදරයන්ට අවශ්‍ය උපකාර ලබා දෙනවාද?

16, 17. අරිස්තාකස් සහ ගායස් පීඩාවලට මුහුණ දුන්නේ කෙසේද?

16 අපට පෞද්ගලිකව යම් පීඩා විඳින්න සිදු වුණත්, දෙවි අවශ්‍ය උපකාර සපයන බව නිසැකයි. (රෝම 8:35-39) පාවුල්ගේ සහයකයන් වූ අරිස්තාකස් සහ ගායස් එෆීසයේ සේවය කරමින් සිටියදී කලහකාරීන් දහස් ගණනක් පැමිණ ඔවුන්ව එළිමහන් රංග භූමියකට බලෙන් ඇදගෙන ගියා. එම මිනිසුන්ව උසිගන්වා තිබුණේ දෙමේත්‍රියස් නම් රිදී රූප සාදන්නායි. ඔහු මෙන් තවත් කිහිපදෙනෙක්ද ආටෙමිස්ගේ රූප සැදීමේ නියැලී සිටි අතර ඉන් බොහෝ ලාභ ඉපදෙව්වා. නමුත් පාවුල්ගේ දේශනා කිරීම නිසා එම නගරයේ බොහෝදෙනෙක් එම රූපවලට වන්දනා කිරීම අතහැර තිබූ අතර එය ඔවුන්ගේ ව්‍යාපාරයට ප්‍රබල පහරක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අරිස්තාකස්ව සහ ගායස්ව එම රංග භූමියට ඇදගෙන ගොස් “එෆීසයන්ගේ ආටෙමිස් උතුම්ය!” කියා කෑගැසුවා. සමහරවිට ඒ අවස්ථාවේදී තමන්ගේ ජීවිත එතැනින් අවසන් වෙයි කියා මේ දෙදෙනාට සිතෙන්න ඇති. නමුත් නගරාධිපති පැමිණ එම සමූහයාව සන්සුන් කළා.—ක්‍රියා 19:23-41.

17 ඔබ එවන් තත්වයකට මුහුණ දී තිබුණා නම් තත්වය කුමක්ද? ඉන් අධෛර්යට පත් වී පීඩාවලින් තොර ජීවිතයක් ගත කරන්න උත්සාහ කරනවාද? අරිස්තාකස් සහ ගායස් අධෛර්ය වූ බවට බයිබලයේ කිසිම සඳහනක් නැහැ. ඒ වෙනුවට ශුභාරංචිය දේශනා කිරීම නිසා පීඩාවලට මුහුණ දෙන්න සිදු වන බව අරිස්තාකස් කලින්ම තේරුම්ගෙන තිබුණා. (ක්‍රියා 17:5; 20:4) අරිස්තාකස් සහ ගායස් යෙහෝවා දෙවිගේ අණට කීකරුව ජීවත් වූ නිසා දෙවි ඔවුන්ට අවශ්‍ය ධෛර්ය සහ ශක්තිය ලබා දුන් අතර දැඩි පීඩා හමුවේ විඳදරාගන්න ඔවුන්ට හැකි වුණා.

අන් අය කෙරෙහි සැලකිල්ල දක්වන්න

18. අකිලා සහ ප්‍රිස්කා අන් අය කෙරෙහි සැලකිල්ල දැක්වූයේ කෙසේද?

18 අප පීඩාවලට මුහුණ දුන්නත් නැතත් සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි සැලකිල්ල දැක්විය යුතුයි. අන් අය ගැන ‘පෞද්ගලික සැලකිල්ලක් දැක්වූ’ ප්‍රිස්කා සහ අකිලා මේ සම්බන්ධයෙන් ඉතා කදිම ආදර්ශයක්. (ෆිලිප්පි 2:4 කියවන්න.) කලින් සඳහන් කළ එෆීසයේ සිදු වූ කෝලහාලයේදී පාවුල්ට නවාතැන් ලබා දෙන්න ඇත්තේ මේ යුවළ විය හැකියි. ඒ අවස්ථාවේදී පාවුල්ට උපකාර කිරීම නිසා සමහරවිට ඔවුන්ගේ “ජීවිත අනතුරට ලක්” වන්න ඇති. (රෝම 16:3, 4; 2 කොරි. 1:8) අද දිනත් පීඩාවලට මුහුණ දී සිටින අපගේ සහෝදරයන් කෙරෙහි සැලකිල්ල දැක්වීමේදී අප “සර්පයන් මෙන් සුපරීක්ෂාකාරිව” කටයුතු කළ යුතුයි. (මතෙ. 10:16-18) එවැනි පීඩාකාරී අවස්ථාවලදී අපි ඉතා ඥානවන්තව දේශනා කරමු. එමෙන්ම පීඩා කරන්නන්ට අපගේ සහෝදරයන්ව පාවා නොදී එනම් ඔවුන්ගේ නම් හෙළි නොකර ඔවුන්ව ආරක්ෂා කරමු. එයාකාරයෙන්ද ඔවුන් කෙරෙහි ඇති අපගේ සැලකිල්ල පෙන්විය හැකියි.

19. දොර්කස් අන් අය වෙනුවෙන් කළ යහපත් ක්‍රියා මොනවාද?

19 එම සැලකිල්ල පෙන්විය හැකි ක්‍රම තිබෙනවා. සමහර ක්‍රිස්තියානීන්ට ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් පවා ලබාගැනීම දුෂ්කර විය හැකියි. සමහරවිට ඒවා සැපයීමට අපට හැකියාව ඇති. (එෆී. 4:28; යාකො. 2:14-17) එසේ කළ ක්‍රිස්තියානි කාන්තාවක් පළමු සියවසෙත් සිටියා. ඇයගේ නම දොර්කස්. (ක්‍රියා 9:36-42 කියවන්න.) ඇය “යහපත් ක්‍රියා කිරීමේද දයාන්විත ලෙස පරිත්‍යාග කිරීමේද බොහෝ සේ නියැලී සිටි” අතර දිලිඳු වැන්දඹු ස්ත්‍රීන්ට ඇඳුම් මසා දුන් බව පෙනෙන්න තිබෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ 36දී සිදු වූ ඇගේ මරණය සෙසු වැන්දඹුවන්ට මහත් ශෝකයට හේතුවක් වුණා. නමුත් යෙහෝවා දෙවි ඇයව නැවත නැඟුටුවීම සඳහා පේතෘස්ව පෙලඹෙව්වා. එතැන් සිට ඇය නැවතත් ඉතා ප්‍රීතියෙන් ශුභාරංචිය දේශනා කරමින් සහ අන් අයට යහපත් ක්‍රියා කරමින් ඇගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කළ බව නිසැකයි. දොර්කස් හා සමාන බොහෝ ත්‍යාගශීලී ක්‍රිස්තියානි කාන්තාවන් අප අතරත් සිටීම ගැන අපට දැනෙන්නේ මොන තරම් සතුටක්ද!

20, 21. (අ) එකිනෙකාව දිරිගැන්වීමෙන්, ඔවුන් කෙරෙහි සැලකිල්ල දක්වන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද? (ආ) අන් අයව දිරිගැන්වීමට අපට කළ හැකි දේවල් මොනවාද?

20 අන් අයව දිරිගැන්වීමෙන්ද ඔවුන් කෙරෙහි ඇති අපගේ සැලකිල්ල පෙන්විය හැකියි. (රෝම 1:11, 12) පාවුල්ගේ සහය සේවකයෙක් වූ සීලස් දිරිගැන්වීමේ උල්පතක්. ඒ කෙසේද කියා බලන්න. ක්‍රිස්තු වර්ෂ 49දී යෙරුසලමේ පාලක මණ්ඩලය විසින් චර්මච්ඡේදනය පිළිබඳ ප්‍රශ්නය සමතයකට පත් කළා. ඒ ගැන සහෝදරයන්ට දැනුම් දීම සඳහා ලිපි සමගින් තම නියෝජිතයන්ව පිටත් කර හැරියා. සීලස්, යූදස්, බර්නබස් සහ පාවුල් අන්තියෝකියට ගියා. එහිදී ඔවුන් “බොහෝ කතා කර සහෝදරයන්ව දිරිගන්වා ඔවුන්ව ශක්තිමත්” කළා.—ක්‍රියා 15:32.

21 පසු අවස්ථාවකදී පාවුල්ව සහ සීලස්ව ෆිලිප්පියේදී සිරභාරයට ගත් නමුත් භූමිකම්පාවක් සිදු වූ නිසා ඔවුන්ට ඉන් නිදහස ලැබුණා. ඔවුන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිරගෙදර භාරකරුට සහ ඔහුගේ පවුලේ සියල්ලන්ටම ශුභාරංචිය දේශනා කළ අතර ඔවුන් සියල්ලන්ම ගෝලයන් බවට පත් වුණා. එමෙන්ම පාවුල් සහ සීලස් එම ප්‍රදේශයෙන් පිටවීමට පෙර එහි සිටි සහෝදරයන්ට දිරිගැන්වීමක් දීමට අමතක කළේ නැහැ. (ක්‍රියා 16:12, 40) සෙසු සහෝදරයන්ව දිරිගැන්වීමට අපටත් හැකියි. ඒ කෙසේද? රැස්වීම්වලදී අප දෙන පිළිතුරු මගින්, අපගේ කතා බහ මගින් සහ දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල්වීම මගින් එසේ කළ හැකියි. තවදුරටත් අපගේ සහෝදරයන්ව “දිරිගැන්වෙන පිණිස” යම් දෙයක් ඇත්නම් “එය කියන්න” අපි කිසිසේත් පසුබට නොවෙමු.—ක්‍රියා 13:15.

දිගටම දෙවිගේ අණට කීකරුව ජීවත් වන්න

22, 23. බයිබලයේ සඳහන් ජීවිත අද්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

22 මෙවන් ජීවිත අද්දැකීම් ඇතුළත් වාර්තාවක් තිබීම ගැන අපි “සියලු සැනසිල්ලේ දෙවි” වන යෙහෝවාට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! (2 කොරි. 1:3) මෙම වාර්තාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් අප එහි ඇති උපදෙස් අදාළ කරගත යුතුයි. එමෙන්ම නිතරම දෙවිගේ බලයෙන් මඟ පෙන්වනු ලැබීම සඳහා සුදුසු තත්වයක සිටිය යුතුයි.—ගලා. 5:22-25.

23 දෙවිව සතුටු කරවන ගුණාංග වර්ධනය කරගැනීම සඳහා අප බයිබලය හොඳින් කියවීම සහ ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම අත්‍යවශ්‍යයි. “ප්‍රඥාවද දැනගැන්මද ප්‍රීතියද” අපට ලබා දෙන දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට එමගින් අපට හැකියි. (දේශ. 2:26NW) මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ සිත ප්‍රීති කිරීමට අපට හැකි වෙයි. (හිතෝ. 27:11) එමනිසා අපි සියලුදෙනාම දිගටම දෙවිට කීකරුව ජීවත් වීමට දැඩි අධිෂ්ඨානයක් ගනිමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අප විශ්වාසවන්ත පුද්ගලයන් බව ඔප්පු කළ හැක්කේ කෙසේද?

• අප “මනසින් යටහත්පහත්” විය යුත්තේ ඇයි?

• ධෛර්යවත්ව දෙවිට සේවය කිරීමට බයිබලයේ ඇති අද්දැකීම් අපට උපකාර කරන්නේ කෙසේද?

• අන් අය ගැන සැලකිලිමත් විය හැකි ක්‍රම මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

දුෂ්කර යමක් වුණත් යෙප්තා සහ ඔහුගේ දියණිය දෙවිට වූ පොරොන්දුව විශ්වාසවන්තව ඉටු කළා

[10වන පිටුවේ පින්තූරය]

දරුවෙනි, කුඩා ඊශ්‍රායෙල් දැරියගෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

[11වන පිටුවේ පින්තූරය]

දොර්කස් සෙසු ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතාවන් කෙරෙහි සැලකිලිමත් වූයේ කෙසේද?